28 March, 2024

Blog

පරිණත අපේක්‍ෂකයාට ඡන්දය දෙමු

මහාචාර්ය මිල්ටන් රාජරත්න

මහාචාර්ය මිල්ටන් රාජරත්න

ජනාධිපතිවරණයක දී තෝරා පත්කර ගනු ලබන්නේ විධායකයේත්, ආණ්ඩුවේත්, රජයේත්, කැබිනට් මණ්ඩලයේත්, ආරක්ෂක හමුදාවලත් නායකයා ය. ඔහුට අත්‍යන්තයෙන්ම රාජ්‍ය පාලනය, රාජ්‍ය ආරක්ෂාව, රටේ ප්‍රශ්න, ජනතා අහිලාශයන්, ජාත්‍යන්තර සම්බන්ධතා, අනාගත ඉලක්ක යනාදිය  පිළිබඳ පරිණත දැනුමක් තිබිය යුතුය. මේ ලිපියෙන් අපේක්ෂා කරන්නේ මෙවර ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂයකයන් දෙදෙනාගේ පරිණත භාවය පිළිබඳ විමසීමය.

ජාතික ආරක්ෂාව, ආර්ථිකය යනාදිය පිළිබඳව රටේ පවතින ගැටලුකාරී වාතාවරණය තුළ සිය ඡන්දය දීම සඳහා සුදුස්සෙකු තෝරා ගැනීමේ ඡන්ද දායක වගකීම අතිශය බැරෑරුම් එකක් වේ. ඡන්දදායකයා සිය ඡන්දය නොසැලකිලිමත් ලෙස භාවිත කළහොත් අයෝග්‍ය පුද්ගලයෙකු ජනාධිපති ලෙස තේරී පත් වීමට ඉඩ තිබේ. එබැවින් අප රට මුහුණ දී සිටින වර්තමාන අභියෝග පමණක් නොව දිගු කාලයක් පවතින විසඳුම් දිය හැකි අපේක්ෂකයා තෝරා පත් කර ගැනීමට ඡන්දදායකයාට මහත් වගකීමක් පැවරී තිබේ. එහි ලා ඡන්දදායකයාට වැදගත් විය යුත්තේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා රටේ ප්‍රශ්න හඳුනාගෙන තිබේද ඒවාට දෙන විසඳුම් පිළිගත හැකිද යන කරුණුය.       

එමෙන්ම පසු ගිය වසර පහේ දී ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවති රණ්ඩුව නිසා සමස්තයක් ලෙස අප රටේ ආර්ථිකය, ආරක්ෂාව, ආදායම, දේශපාලනය, විනය යන කුමන අංශයෙන් බැලුවද රට ප්‍රපාතයට ගිය ආකාරය ද සැලකිල්ලට ගෙන අනාගත ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රණ්ඩු සරුවල් නැති සුහද බැඳීමෙන් යුතුව රට වෙනුවෙන් කැප විය හැකි අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කිරීම සියලු බුද්ධිමත් ඡන්දදායකයන්ගේ යුතුකම වන්නේය. මෙවර ඡන්දය වැදගත් වන්නේ රටේ පිරිහී ගිය ආරක්ෂාව, විනය, හා ආර්ථිකය ගොඩනගා අභිමානවත් ජාතියක් නිර්මාණය කිරීම පිණිස මිස පක්‍ෂයක් දිනවීමට නොවේ. එබැවින් ඡන්දය අර්ථවත් ලෙස ප්‍රකාශ කිරීමට පුළුල් කාරණා පිළිබඳව ඡන්දදායකයා සිය අවධානය යොමු කළ යුතුය. අප රට දැනට මුහුණ දී තිබෙන බරපතළ ගැටළු මොනවාද ඒවා විසඳීමට කුමක් කළ යුතුද යන්න මැනවින් ත්රුම් ගත් අපේක්ෂකයෙකුට විනා වෙනත් අපේක්ෂකයෙකුට සිය වටිනා ඡන්දය දීමෙන් ප්‍රයෝජනයක් නැත. 

විශේෂ අවධානය යොමු විය යුතු අංශ වන්නේ ජාතික ආරක්ෂාව, විනය, ආර්ථික සංවර්ධනය, ජාත්‍යන්තර සම්බන්ධතා, අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ප්‍රවාහනය, ජලය, විදුලිය වැනි පොදු සේවා, පරිසරය, සමාජ ආරක්ෂණය, සමාජ සාධාරණත්වය, රැකියා, ළමා සහ වැඩිහිටි ගැටළු යනාදියටයි. ජාත්‍යන්තර උපනති, ඒවායින් ඇතිවන වාසි හා අවාසි, උපායමාර්ගික විසඳුම් යනාදිය පිළිබඳව ද අපේක්ෂක අවබෝධය ඉතා වැදගත් වේ. මෙවර තරග වැදී සිටින ප්‍රධාන අපේක්ෂකයන් වන ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස මේ වන විට ජනතාව ඉදිරියේ ප්‍රකාශ කර ඇති දේ වෙන වෙනම විශ්ලේෂණය කිරීමෙන් ඔවුන්ගේ යෝග්‍යතාව පිළිබඳ තක්සේරුවකට එළඹිය හැක.

ගෝඨාභය රාජපක්ෂ මෙම ජනාධිපතිවරණ තරගයේ එක් ප්‍රධාන අපේක්ෂකයෙකි. ඔහුගේ අධ්‍යාපන මට්ටම බෙහෙවින් ඉහළ ය. එමෙන්ම ඔහු මේ වන විට ප්‍රකාශ කොට ඇති අදහස් සාම්ප්‍රදායික පැරැණි අදහස්වලට වඩා වෙනස්ය. ගෝඨාභය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස පෙරට එන්නේ ඔහුගේ සභාපතිත්වයෙන් යුත් වියත්මග සංවිධානය විසින් නිර්මාණය කරන ලද දැනුමෙන් පිරිපුන් පුද්ගලයෙකු ලෙසත්, ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ ඉහළ ශ්‍රේණියේ  නිළධාරියෙකු හා ආරක්ෂක ලේකම්වරයා ලෙස දීර්ඝ කාලයක් ක්‍රියාකිරීමෙන් දැන උගත් අත්දැකීම් හා පළපුරුද්ද ඇති පුද්ගලයෙකු ලෙසත්, නාගරික සංවර්ධන ලේකම්වරයා ලෙස නගර සැලසුම්, නිර්මාණය හා නඩත්තුව පිළිබඳ දැනුම හා පළපුරුද්ද කැටි කරගත් පුද්ගලයෙකු ලෙසත් පමණක් නොව රාජ්‍ය පාලනය පිළිබඳ අත්දැකීම් මෙන්ම සිය පිය පරම්පරාවෙන් ලද අභාෂය ද ඇතිවය. 

පසුගිය අවුරුදු තුනක කාලය තුළ රටේ දැන උගත් හා වෘත්තීයමය වියතුන් දහස් ගණනක් ඇසුරු කොට ඔවුන්ගේ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළුවලට සහභාගී වූවෙකු ලෙස ඔහුට ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝක සන්දර්භයේ ද තත්වය, ගැටළු හා අභියෝග පිළිබඳව හසළ දැනුමක් තිබේ. ඔහුගේ මග පෙන්වීම අනුව වියත්මග ඔස්සේ අප රටේ ප්‍රශ්න ක්ෂේත්‍ර කීපයක් ඔස්සේ ඔහු හඳුනා ගත්තේය. ඒවා ජාතික ආරක්ෂාව සහ සාමය, ආර්ථික සංවර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය, තාක්‍ෂණය, වෙළඳාම, ජාත්‍යන්තර සම්බන්ධතා, සහජීවනය, හා පරිසරය වශයෙන් දැක්වේ. ඔහු ඉදිරිපත් කරන අදහස් නිසැකයෙන්ම විද්‍යාත්මකය, තාර්කිකය, ප්‍රායෝගිකය. 

රටේ ප්‍රශ්න එකිනෙක හා බැඳී ඇති ආකාරය ඔහු හඳුන බව පෙනේ. ඔහු රටේ ගැටලුවලට විසඳුම් සොයන්නේ ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති වියතුන්ගේ උපදෙස් ලබා ගනිමිනි. 21 වෙනි සියවසට ඔබින අදහස්, අධ්‍යාපන ක්‍රමය, ආර්ථික ක්‍රමය, තාක්‍ෂණය, ජන වර්ග අතර අන්‍යොන්‍ය අවබෝධය, ශ්‍රී ලාංකීය ජාතියක් වශයෙන් නැගී සිටීමේ අවශ්‍යතාව හා නාගරීකරණය යනාදිය පිළිබඳ වියත්, බුද්ධිමත් හා ප්‍රායෝගික ප්‍රවේශයන් කෙරෙහි ඔහු විශ්වාසය තබා සිටින බව මේ වන විට ප්‍රත්‍යක්ෂ වී තිබේ. ඒකාබද්ධ සංවර්ධන ක්‍රමයක් ඔස්සේ ආර්ථික දියුණුව මෙන්ම අනෙකුත් ගැටලුවලට විසඳුම් සෙවිය යුතු බවත් දීර්ඝ කාලීන සැලසුම් ඒ සඳහා අවශ්‍ය බවත්, ඒ තුළින් “ජනතා කේන්ද්‍රීය” සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීම පිණිස සම්පත් මෙහෙයවිය යුතු බවත් ඔහු අවධාරණය කරයි. ඒ සඳහා රජයේ මෙන්ම දේශීය ව්‍යවසායකයාගේත් විදේශීය ව්‍යවසායකයාගේත් ප්‍රාග්ධනය, ඥානය, හා හැකියාවන් ඒකාබද්ධ කොට උපායමාර්ගිකව රටේ ගැටලුවලට විසඳුම් සෙවිය යුතු බව ඔහුගේ අදහස යි. ඔහු පැලැස්තර වෙනුවට තිරසාර ප්‍රවේශයක් හා උපායික ක්‍රම කෙරෙහි විශ්වාස කරයි. මැවුම් වාදියෙකු මෙන් සිතූ පැතූ දේවල් මහජනයාට පිරිනැමීමට ඔහු කිසිදු විටෙක ඉදිරිපත් නොවේ. ඒ වෙනුවට ඔහු අවධාරණය කරන්නේ අප විසින් අපගේ සම්පත් යොදවා උපායික ලෙස කැපවීමෙන් අපට අවශ්‍ය කරන ඉලක්ක වෙත යා යුතු ප්‍රායෝගික ප්‍රවේශයකි. එය “අපි වෙනුවෙන් අපි” වැඩසටහන සිහි ගන්වන්නකි. 

ඔහු සතු විශිෂ්ට ගුණාංග වන්නේ කිසිවිටෙකත් ඔහු තමා පිළිබඳව පුරාජේරු නොකීම, අධි මානයෙන් නොපෙලීම, නිහතමානී කම යනාදිය යි. ඔහු සිය සහෝදරයන්ගේ සහාය ලැබුවා ද ඔවුන් කළ කී දෙ කරන බව නොපවසයි. ඔහුගේ දින චර්යාව සකස් කරගන්නේ කෙසේ දැයි නොපවසයි. ජනමාධ්‍යවේදීන් නගන ප්‍රශ්නවලට ගැටපද පිළිතුරු දීම ඔහුගේ සිරිත නොවේ. ඔහුගේ පිළිතුරු ඍජුය, නිශ්චිතය, තාත්විකය, කාලෝචිතය. එමෙන්ම ඔහුගේ හැසිරීම ශිෂ්ට සම්පන්නය, විනීතය. ඔහුගේ බිරිය හෝ දරුවන් සිය දේශපාලන කාර්යයේ කොටස්කරුවන් ලෙස නොසලකයි. ඇහුම්කන් දීම, නිහතමානී චර්යාව, සම්මුතිවාදී චින්තනය ඔහු කෙරෙන් දැකිය හැකිය.                         

අනෙක් ප්‍රධාන අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මේ වන විට සමාජ ගත කොට තිබෙන අදහස් කීපයක් කෙරෙහි ද අවධානය යොමු කරමු. ඔහු සුවිශේෂ පුද්ගලයෙකු බව ඔහුම පවසයි. ඒ අනුව ඔහු “ශ්‍රී මුඛයෙන්” කතාකරන “තේජස්” පිරි පුද්ගලයෙකි. ඔහු බලයට පත් වූ පසු ශ්‍රී ලංකාව සුරපුරයක් කිරීම, ජනතාවට සුර සැප ලබා දීම, පියා අවසන් කළ තැනින් වැඩ පටන් ගැනීම, පියාගේ ප්‍රතිපත්ති අකුරක් නෑර ක්‍රියාත්මක කිරීම, සෑම සියලු දෙනාට නිවාස ලබාදීම, හමුදා සෙබළුන්ගේ දෙපාමුලට යාම, ජනසවිය දෙපා මුලට ගෙන ඒම, කාන්තාවන් කෝටිපතියන් බවට පත් කිරීම, සතියේ දින හතේම වසරේ දින 365 ම ජනතා සේවයට කැපවීම, නොනිදා සේවය කිරීම, දාගැබ්, පන්සල්, කෝවිල් හා පල්ලි දහස් ගණනින් ගොඩනැගීම, ගම් මට්ටමේ බිම් මට්ටමේ රෙද්ද බැනියම අඳින මිනිසුන් රජ කරවීම, ඇති නැති පරතරය තුරන් කිරීම, සෑම පුද්ගලයෙකුටම රැකියාවක් ලබා දීම, ජනාධිපති මන්දිරය කාර්මික විද්‍යාලයක් කිරීම, වැටුප් හා දීමනා ලබා නොගෙන සිටීම සහ ජනතා සේවය වෙනුවෙන් දිවි පරදුවට තැබීම යනාදිය යි. එපමණක් ද නොව නිදි වැරීම, පැය 24ක් වැඩ කිරීම, මිනිසුන්ගේ දෙපා ළඟට යාම, ජනාධිපති ලෙස සෑම ජනතා ප්‍රශ්නයක්ම පෞද්ගලිකව විසඳීම, රටේ ප්‍රශ්න සියල්ල ඔහු හඳුනාගෙන ඇති බැවින් කිසිවෙකුගේවත් උපදෙස් ඔහුට අවශ්‍ය නොවේ යැයි පැවසීම, දරදඬු පාලනයක් නොපවත්වා සිය පියාගේ පාලන ක්‍රමය අනුගමනය කිරීම යනාදියෙන් ඔහු පරිණත පුද්ගලයෙකු ලෙස නොපෙනෙන බව ජනතාවගේ පොදු අදහස යි. 

ඔහු සඳහන් කරන මේ සියල්ල විසඳුම් සමුහයකි. එහෙත් ගැටළු හා ඒවායෙහි ස්වභාවය පිළිබඳ අධ්‍යයනයක් කර තිබේ දැයි ඔහු නොපවසයි. එබැවින් ඒවා ක්‍රියාත්මක කළ හැකි යෝජනා දැයි ඡන්ද දායකයාට කුකුසක් හටගෙන තිබේ. වැරදීමකින් හෝ ඒවා ක්‍රියාත්මක කළ හොත් රට තව තවත් විනාශ මුඛයට යාමත් මෙවැනි දේවල් මැජික් කාරයෙකුට පමණක් කළ හැකි යෝජනා ලෙසත් සාමාන්‍ය තාර්කික බුද්ධියක් ඇති ඡන්ද දායකයාට වැටහී ගොස් තිබේ. එසේම ඇමතිවරයෙකු ලෙස ඔහුගේ අතීත ක්‍රියාකාරකම් ගැන ද ඡන්දදායකයා අවදියෙන් සිටී. ඔහු කිසිදු අවස්ථාවක රටේ වැදගත් ප්‍රශ්නයක දී හෝ වැදගත් අණපනත් සම්මත කරගන්නා අවස්ථාවක දී හෝ හදිසි අවස්ථාවක දී පාර්ලිමේන්තුවේ වාද විවාදවලට සහභාගී වී නැති බවත්, රටට වැදගත් මාතෘකාවක් සාකච්ඡා වන විද්‍යුත් නාලිකාවකට පැමිණ නැති බවත් ජනතාව දනී. ඔහු සැම දා සංකීර්ණ හා කාලීන මාතෘකා මගහැර ගොස් ඇති බැවින් ඔහුට ජනාධිපති ධුරය ලබාදීමට ඡන්දදායකයා දෙවරක් සිතා බලයි. ඔහු සිය පක්ෂ නායකයා සමග ආරවුලක් නිර්මාණය කරගෙන ඇති බවත් ජයග්‍රහණය කළහොත් අගමැතිවරයා සමග සහජීවනය පවත්වා ගත නොහැකි පසුබිමක් නිර්මාණය වී ඇති බවත් ඡන්ද දායකයා දනී.         

ජනාධිපතිවරයෙකු සිය වැටුප නොගෙන සිටීමට පෙළඹේ නම් ඉන් අදහස් වන්නේ ඔහු වෙනත් මාර්ගවලින් ධනය උපයන බවය. එම මාර්ග මොනවා ද ඒවා නීත්‍යානුකුල ද ඒවා ලියාපදිංචි කොට තිබේ ද, ඒ සම්බන්ධ ආදායම් බදු ගෙවා තිබේ ද, යම් ආධාරකරුවෙකුගෙන් එම ධනය ලැබෙන්නේ ද, ඒ කුමන හේතුවක් නිසා ද යන ප්‍රශ්න ඡන්ද දායකයා ප්‍රශ්න කරයි. එමෙන්ම ඔහුගේ නොනිදා සේවය කිරීමේ ප්‍රකාශය ගැන ද ඡන්දදායකයා සැලකිලිමත් වී සිටී. ඒ මක් නිසාද යත් වෛද්‍ය විද්‍යාත්මකව මිනිසාට සැලකිය යුතු නින්දක් අවශ්‍ය වීමත් එම නින්ද ලබා ගත නොහැකි වූ විට මිනිසා මානසිකව මෙන්ම ශාරීරිකව ද රෝගී වීමයි. එබැවින් නිදි වරා රෝගී වීමට නියමිත ඔහු ඔහුගේ පාක්ෂිකයන් විසින් ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමට ඇති අඩකඩ අඩුය. එමෙන්ම ඔහු මග තොට මිය යාමට සුදානම් වීමට සැරසෙන බැවින් ඔහුටත් සිය පියාගේ ඉරණම අත්වෙතැයි යන බියෙන් පාක්ෂිකයා ඔහුට ඡන්දය නොදෙනු ඇත. 

එසේම රට වැසියෙකු අසන කුමන හෝ ප්‍රශ්නයකට අපේක්ෂකයෙකු සිය පියා ගැන හෝ තමාගේ නම කෙරෙහි විශ්වාසය තබා ක්‍රියාකිරීමට පවසන්නේ නම් අසනු ලබන ප්‍රශ්නය එක්කෝ ඔහුට තේරුම් ගත නොහැකි බව හෝ නැතිනම් එම ප්‍රශ්නවලට පිළිතුරු නොදන්නාකම යන දෙකෙන් එකක් ඡන්දදායකයා තේරුම් ගත යුතුය. එමෙන්ම මැනිය නොහැකි පොරොන්දු කෙරෙහි විශ්වාස කිරීම අපහසුය. ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීමෙන් පසු කෙටි කාලයක් තුළ ජනාධිපති ධුරය අහෝසි කිරීමට ක්‍රියා කිරීමට පොරොන්දු දුන් පුද්ගලයෙකු ජනාධිපති ලෙස පත් කර ගැනීමෙන් ඵලක් නමැති බව ඡන්දදායකයා දනී. තව ද වෙනත් පුද්ගලයෙකු අගමැති තනතුරේ පිහිටු වීමට පොරොන්දු දීම නිසා ද ජනාධිපති ධුරය අහෝසි කිරීමට පියවර ගන්නා නිසා ද කෙටි කලකින්ම මොහුට කිසිදු තනතුරක සේවය කිරීමට අවස්ථාව නොලැබෙන බැවින් එවැනි පුද්ගලයෙකුට ඡන්දය දීම නිෂ්ප්‍රයෝජන කටයුත්තක් බව ඡන්දදායකයා කල්පනා කරයි. 

මෙනයින් විමසා බලන කල මෙම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා එකිනෙකාට බෙහෙවින් පරස්පර බව තේරුම් ගත හැකිය. එම පරස්පරතා පිළිබඳ ප්‍රශ්නය ඡන්ද දායකයා ග්‍රහණය කරගත යුතු වන්නේ එම දෙදෙනාගේ අදහස් ප්‍රායෝගිකද, අවංකව ඉදිරිපත් කොට තිබේද, වර්තමානයට ගැළපේද, යතාර්ථවාදී ද, අප රට මුහුණ පා ඇති අර්බුදවලින් ගොඩ ඒම පිණිස ඉවහල් වේද යන්න පිළිබඳව බුද්ධිය මෙහෙයවා විමසීමෙනි. එමෙන්ම මෙම අපේක්ෂකයන් දෙදෙනාගේ වියත් බව පිළිබඳව ද ඡන්දදායකයා විමසිය යුතුය. එහි ලා ඔවුන් දෙදෙනාගෙන් කවරෙකු රටේ ප්‍රශ්න හඳුනා ගෙන තිබේද, ඒ සඳහා කාලය කැප කොට තිබේද, කොතරම් ගැඹුරින් හා නවීන ලෙස ප්‍රශ්න දෙස බැලීමට පුරුදු වී සිටීද යන කරුණු විමසා බැලිය යුතුය. විනයකාමී බව, නිහතමානී බව, සහජීවනකාමී බව, ලිබරල්වාදී බව යනාදී චරිත ලක්ෂණ කෙරෙහි ද අවධානය යොමු විය යුතුය. මේ සියලු කරුණු සලකා බැලීමේ දී අපගේ මතය වන්නේ මෙම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනීමට සුදුසු වන්නේ පරිණත පුද්ගලයෙකි. 

විසි එක්වෙනි සියවසේ නව ලෝකයට සුදුසු ජනාධිපතිවරයෙකු වන්නේ විසි වෙනි සියවසේ හෝ දහනම වෙනි සියවසේ මානසිකත්වයක් තිබෙන රටේ සැබෑ අභියෝග නොතේරෙන පුද්ගලයෙකු නොවේ. එබැවින් මෙවර ජනාධිපති ධුරය භාර දිය යුත්තේ කිසිවෙකුට කළ නොහැකියි කියා අතහරින ලද අභියෝග භාරගෙන එය ජයගත්, වැඩ කිරීමෙන් සිය කාර්ය ශුරත්වය මැනවින් පෙන්වා දුන්, නිර්මාණාත්මක ලෙස වැඩ කිරීමේ පරිකල්පන ශක්තියකින් හෙබි, රටේ බොහෝ අංශවල ගැටළු හා ඊට සුදුසු විසඳුම් පිළිබඳ ඇසූපිරු තැන් ඇති, වියත්කමින් පිරි, වියතුන්ට සවන් දෙන, ලෝක ප්‍රජාව හා අවබෝධයෙන් ක්‍රියා කළ හැකි, ලෝක ආර්ථිකය හා ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දැනුමක් ඇති පුද්ගලයෙකු මෙන්ම ජාතික ආරක්ෂාව සලසා දිය හැකි, නීති ගරුක හා විනය ගරුක සමාජයක් නිර්මාණය කළ හැකි, තරුණ අපේක්‍ෂාවන් අවබෝධ කරගත්, ආර්ථික දර්ශනයක් සහිත, සාකච්ඡා සම්මන්ත්‍රණ ඔස්සේ සමාජ ආර්ථික, ජාතික ආරක්ෂාව, ජාත්‍යන්තර උපනති යනාදිය ගැන මනා අවබෝධයක් ඇති පරිණත අපේක්ෂකයෙකුට ය. සජිත් ප්‍රේමදාස හා ගෝඨාභය රාජපක්‍ෂ යන දෙදෙනා අතුරින් පරිණත අපේක්‍ෂකයා කවරෙකු ද යන වග පහදා ගැනීමට ඉහත දක්වන ලද විමර්ෂණය ප්‍රයෝජනවත් වනු ඇත.   

Print Friendly, PDF & Email

Latest comments

  • 12
    1

    Ane ban, Umba hodai Australiwatama wela hitapan…. mehe awilla me moda athal denne nathuwa.
    PhD ekak thibbata data set ekak analyze keraganna baruwa bahubutha kiyawanawa, mehemath wihiluwak

  • 4
    1

    Ane milto…. une analysis hodai uba wagema modayakuta. PhD ekak complete kala paliya buddiya pahala wenne naa kiyanna mu thamai living example eka. Buruwa.

  • 2
    1

    The good professor has forgotten to mention about Gota’s democracy and freedom of expression. Another slave?

  • 1
    1

    Professor Milton,
    Why don’t you spend your time to do something useful at least for your professional development? I don’t understand what kind of ‘professor’ you are? Even journalists are are better than you. What a joke is this?

  • 0
    1

    මහාචාර්වරයාට අසැබි වචනයෙන් බැණ වදිමින් කොමෙන්ටු දමා ඇති අය භාෂණයේ නිදහස වෙනුවෙන් ගෝටා ප්‍රශ්න කිරීම තරම් විහිළුවක් තවත් ඇද්ද? unp / jvp පාක්ෂිකයන්ගේ සාමාන්‍ය ස්වභාවය එයයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.