25 April, 2024

Blog

ගයන්ත, මේ ඔබේ වාරයයි: ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ගැන විමර්ශනයක්

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

ඔක්තෝබර් 11 වෙනිදා පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය නියත පරාජයක් ලබන බව කල් ඇතුවම පෙනෙන්නට තිබුණි. ඊට හේතුව ඇල්පිටිය ප්‍රදේශයේ දේශපාලන බලය යූඑන්පී විරෝධීන් අත සෑහෙන කලක සිට පැවතීම ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිදී වෙන්වී යන්නට කලින් පොදුජන එක්සත් පෙරමුණත්, එක්සත් ජනතා නිදහස් සංධානයත් අත දීර්ඝ කාලයක් තිබූ බලය එමගින් ගිලිහී යන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. කල් ඇතිවම බොහෝදෙනා දැක්ක එම යථාර්ථය පසුගිය සිකුරාදා රාත්‍රී වනවිට තහවුරු විය.

මෙවර 2019  ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 23, 404ක්(57%) ලබා ගන්නා විට එක්සත් ජාතික පක්ෂය ලබා ගත්තේ ඡන්ද 10,037(24%)ක් පමණි. 2002 වර්ෂයේ පැවැති ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී සභාව ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය වුවද ලබා ගත් චන්ද ප්‍රතිශතය 48.27%කි. ඉන් අනතුරුව 2006 දී හා  2011 දී පැවැති ප්‍රාදේශීය සභා මැතිවරණ වල දී එක්සත් ජාතික පක්ෂය පරාජය වූ අතර ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 10,000ක් බැගිනි. පිට පිට තුන්වන වරටත් මෙවර ද එක්සත් ජාතික පක්ෂයට ලබා ගත හැකිවී ඇත්තේ ඡන්ද 10,000ක් පමණි. මෙය එම පක්ෂයේ බරපතල පරාජයකි.  2006 වර්ෂයේ සිටම පිට පිට ප්‍රාදේශීය සභා මැතිවරණ තුනක දී ම වර්ධනය නොවන ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීම ලැජ්ජාසහගත ය. 

එක්සත් ජාතික පක්ෂය විසින් 1977 වර්ෂයේ දී වැඩි ඡන්ද 12,000කින් ජයග්‍රහණය කරන ලද බෙන්තර – ඇල්පිටිය ආසනය ඊට වසර පහකට පසුව පවත්වන ලද 1982 ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කළේ වැඩි චන්ද 1,800ක් පමණ ලබා ගනිමිනි. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ජේ. ආර්. ජයවර්ධනට 50%ක චන්ද ප්‍රතිශතය පවා ලබා ගැනීමට නොහැකි විය. ඊට පසුව පැවැති 1982 ජනමත විචාරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ යෝජනාව 50%ක් ඔබ්බෙන් වූ චන්ද ලබා ජයග්‍රහණය කළ ද ඊට පසුව පැවැත්වූ 1988 ජනාධිපතිවරණයේ දී බෙන්තර ඇල්පිටියෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය විය. 1989 මහා මැතිවරණයේ දී හා 1993 දකුණු පළාත් සභා මැතිවරණයේ දී ජයග්‍රහණය කළ ද 50%ක ප්‍රතිශතය ලබා ගැනීමට නොහැකි විය. එදා පටන් සෑම ජනාධිපතිවරණයක දී ම හා මහා මැතිවරණයක දී ම එක්සත් ජාතික පක්ෂය බෙන්තර ඇල්පිටිය ආසනයෙන් පරාජය විය.  මීට මූලික හේතුව බෙන්තර ඇල්පිටිය මැතිවරණ බල ප්‍රදේශය පදනමක් ලෙස එක්සත් ජාතික පක්ෂ විරෝධීවීමයි.

මහා ජාතිකවාදීන්ට තිබුණ තැනත් අහිමි වේ

ඒ අනුව මෙවර මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බොහෝදෙනා බලාපොරුත්තු වූයේ ඔවුනට 70% ඉක්මවන ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත හැකි බව ය. එහෙත් අවසන් වරට ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැති 2011 වසරේ දී පාවිච්චි කළ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 58%ක චන්ද ප්‍රතිශතයක් ලබා ගත් රාජපක්ෂවරුන් (එ.ජ.නි.සං) මෙවර ලබා (ශ්‍රී.ලං.පො.පෙ.) ගත්තේ 56%කි. ඒ අනුව ඔවුන්ගේ චන්ද බලයේ 2%ක ප්‍රතිශතාත්මක ඡන්ද අඩුවීමක් වාර්තා වී ඇත. වාමාංශික නැඹුරුවක් සහිත ඡන්ද ප්‍රදේශයක මහා ජාතිකවාදී ඝෝෂාවක් පවතින යුගයක ජනාධිපතිවරණයකට අභිමුඛව එම ජාතිකවාදී බලවේගයේ ප්‍රධාන පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය අඩුවීම බරපතල ප්‍රශ්නයකි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය 98%ක්ම සිංහල බෞද්ධ ජනතාවක් වාසය කරන ප්‍රදේශයකි. එවැනි සිංහල බෞද්ධ ජනතාවක් රටේ පවතින විශාල යැයි කියන ජාතිකවාදී දේශපාලන බලවේගය හමුවේ ඡන්ද ප්‍රතිශතය අඩු කර, ඇල්පිටිය ප්‍රදේශයේ දේශපාලන බලය 56%ක මට්ටමකට සීමා කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනය සම්බන්ධයෙන් සංවාදශීලී මොහොතක් නිර්මාණය කරයි. එහි අර්ථය ව්‍යාජ සිංහල ජාතිකවාදය කර පින්නා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අමුම අමු සිංහල බෞද්ධ බල ප්‍රදේශයකින් ලබා ගත හැක්කේ 56%ක ඡන්ද සංඛ්‍යාවක ප්‍රතිශතයක් නම් සිංහල නොවන ජනවාර්ගික සමාජ තීරු වාසය කරන මැතිවරණ බල ප්‍රදේශයන්හි දී කෙතරම් දුක්ඛිත මට්ටමකට ඇද වැටේද යන්නයි.

මෙහිදී බොහෝදෙනෙක් උත්සාහ ගන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයට ලැබුන 13%ක ඡන්ද සංඛ්‍යාව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු කරන්නට ය. එහෙත් එම ඡන්ද රාජපක්ෂවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්දම නම් මේ තරම් උත්කර්ශයට පත්ව ඇති මොහොතක ඒවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට භාවිතා නොවී සිටින්නේ නැත.  ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තෝරා ගනිමින් ඔහුව ඉහළින්ම ඔසොවා තබන මොහොතක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අහෝසි වෙමින් පවතින මොහොතක හා ඊට ශක්තිමත් නායකත්වයක් නැතිව සිටින මොහොතක එක්සත් ජනතා නිදහස් සංධානයට එහි දිගුකාලීන පාක්ෂිකයන් විසින් ඡන්දය භාවිතා කරන්නේ යැයි විශ්වාස කළ නොහැකිය. එහෙත් ඊට ඡන්දය ලැබී ඇත්තේ කළකිරුණු එක්සත් ජාතික පාක්ෂිකයන් තම විරෝධය දැක්වීමට එක්සත් ජනතා නිදහස් සංධානයට චන්දය භාවිතා කර ඇති බැවින් යැයි අනුමාන කළ හැකිය. එසේම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවට වඩා එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂක ලැයිස්තුව ශක්තිමත්වීම මේ අනුමානය තහවුරු කරයි.

නිදසුනක් ලෙස ඇල්පිටිය නගරය අයත් කුඩාගල – කදිරන්දොල ඡන්ද කොට්ඨාශයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර ඇත්තේ ජන ආකර්ශනයක් නොමැති මීට පෙර අවස්ථාවක දී තරග කර අන්ත පරාජයක් ලැබූ තැනැත්තෙකි. නමුත් එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තරග කර ඇත්තේ මීට පෙර ජවිපෙ සාමාජිකයකු වූ ක්‍රියාකාරී ආකර්ශනීය පුද්ගලයෙකි. එවිට එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් වුවද තම පක්ෂයේ අපේක්ෂකයාට වඩා එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂකයාට ඡන්දය භාවිතා කිරීම විය හැක්කකි. මේ අනුව එක්සත් ජනතා නිදහස් සංධානයට භාවිතා කර ඇති චන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ චන්ද හා එකට එකතු කිරීම අර්ථ විරහිත ය. තනි සිංහල බෞද්ධ බල ප්‍රදේශයකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා ගැනීමට නොහැකිවූ චන්ද උපරිමය ලබා ගැනීමට නොහැකිවීමේ හානිය පූර්ණය කිරීම එම හාස්‍යජනක වෑයමේ ඉලක්කයයි.

එජාපයට ඇල්පිටියේ පක්ෂ යාන්ත්‍රනයක් නැත

මෙම මැතිවරණයේ දී කොට්ඨාශ තුනක දී එක්සත් ජාතික පක්ෂය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව අනුව තුන්වන ස්ථානය ලබාගෙන ඇත. එම කොට්ඨාශයන් වන්නේ කැටන්දොල, අමුගොඩ හා ඉදිපලේගොඩයි. මෙම කොට්ඨාශ අයත් ග්‍රාම නිලධාරී වසම් මීට ඉහත දී ශක්තිමත් එජාප බලකොටු විය. ඊට හේතුව මෙම කොට්ඨාශ තුනෙහිම වාර්ගික හා කුල පදනමේ බලපෑමයි. ඉදිපලේගොඩ හා අමුගොඩ යන කොට්ඨාශ දෙකෙහිම ගොවිගම නොවන කුලයන්ට අයත් ජන කොටස් බහුලව වාසය කරයි. එසේම වතු දෙමළ ජනයා වාසය කරන එකම කොට්ඨාශය වන්නේ කැටන්දොලයි. එම ජන කොටස් හා කුල සාධකයන් දක්ෂ ලෙස කළමනාකරණය කර ගන්නා ක්‍රම වේදයක් එක්සත් ජාතික පක්ෂයට අසූව දශකයේ දී තිබුණි. එහෙත් එම සමාජ කළමනාකරණ හැකියාව වත්මන් ආසන සංවිධායකවරයා වන ගයන්ත කරුණාතිලකට නොමැත.

වල්ලඹගල කොට්ඨාශය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වූ පත්ම භාතිය ලියනාරච්චි ජාතික තරුණ සේවා සභාව තුළින් අසූව දශකයේ දී දේශපාලනයට ආ කැපී පෙනෙන තරුණයෙකි. ඔහු 1991 දී මුල්ම ප්‍රාදේශීය සභාවට තරග කර එහි උප සභාපති ධූරය දැරීය. වල්ලඹගල වාසය කරන ගත්තර දෙමළ නම් වූ සුවිශේෂ සමාජ කුලය එක්සත් ජාතික පක්ෂය විසින් කළමනාකරණය කලේ පත්ම භාතිය ලියනාරච්චි මගිනි. එහෙත් අමාත්‍ය ගයන්ත කරුණාතිලක එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක වූ දා සිටම ඔහුට පල නොකියා පළා බෙදීම ඇරඹුණි. ඊට හේතුව පත්ම භාතිය දක්ෂ ප්‍රාදේශීය දේශපාලකයකුවීමත් තරුණ තරුණියන් ආකර්ශනය කර ගන්නා චරිතයක්වීමත් ඉලක්ක ගත දේශපාලන අභිලාශයක් තිබීමත් විය හැකිය. 2002 වර්ෂයේ දී ප්‍රාදේශීය සභාව එක්සත් ජාතික පක්ෂය ජයගත් විට සභාපති ධූරය ලබා දුන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රී ගාමිණී අබේවර්ධනගේ ශරීරාක්ෂකයකුව සිට 1991 ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ලැයිස්තුව පිරවීමට ඊට ඇතුලත් කළ පුද්ගලයකුට ය. උප සභාපති ධූරය ලබා දුන්නේ පාරම්පරික ව්‍යාපාරිකයකු වූ එජාප පාක්ෂිකයකුගේ සෙල්ලක්කාර පුතෙකුට ය. දක්ෂ හා දුරදිග දේශපාලනයක් කළ පත්ම භාතිය ලියනාරච්චි නිකම්ම නිකම් මන්ත්‍රී කෙනෙකු පමණක් විය. ඊට හේතුව සභාපතිවරයාත් උප සභාපතිවරයාත් ආසන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිකගේ රූකඩවීම ය. 

ගයන්ත කරුණාතිලක ඉල්ලා අස්විය යුතුයි

1977 – 1994 කාලයේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායකවරයා වූ අමාත්‍ය රූපා කරුණාතිකට දක්ෂ ලේකම්වරයකු සිටියේ ය. ඔහු පසුව පළාත් සභා මන්ත්‍රීවරයකු වී රූපා කරුණාතිලක සමග දුර දිග යන ගැටුමක් ඇති කර ගත්තේ ය. එහෙත් 1970 පමණ සිට 1992 පමණ දක්වා මේ දෙපළ විද්‍යාත්මක ලෙස ඇල්පිටියේ දේශපාලනය කළ දෙදෙනෙකි. දක්ෂ සංවිධායකයකු මෙන්ම දක්ෂ කථිකයකු වූ ගාමිණී අබේවර්ධන බෙන්තර ඇල්පිටිය ආසනයේ සියළු එජාප ශාඛා සමිතිවල නිලධාරීන්ගේ නම ගම මතකයෙන් කියන්නට හැකියාව තිබූ අයෙකි. ඔවුන් දෙදෙනා බෙන්තර ඇල්පිටිය සංවිධානය කළේ ක්‍රමවත් කළමනාකරණ සැලස්මකට අනුව ය. ඒ තුළ කට්ටිවාදය, කුලවාදය හෝ දක්ෂයාට බිය හෝ නොවීය. එහෙත් ගාමිණී අබේවර්ධන අවසානයේ නතර වූයේ මහින්ද රාජපක්ෂගේ දෑත ශක්තිමත් කරන්නට ගොසිනි. ඊට හේතුව ද අමාත්‍ය ගයන්ත කරුණාතිලකට ආවේනික නොහැකියාව ය.  

අමාත්‍ය ගයන්ත කරුණාතිලකට අවශ්‍ය වන්නේ ගාල්ල දිස්ත්‍රික්කය පුරා මනාප සංවිධානය කර ගනිමින් පාර්ලිමේන්තු යෑමට සූදානම්වීම පමණි. ගාල්ල දිස්ත්‍රික්කය පුරා විහිදී ඇති තේ කර්මාන්ත ශාලාවල කම්කරුවන්ගේ ස්ථාවර චන්ද පදනමක් ගයන්ත කරුණාතිකට ඇත. ඒ ඔහුත් ඔහුගේ පවුල් පරම්පරාවත් තේ කර්මාන්ත ශාලා හිමියන් බැවිනි. එම ස්ථාවර ඡන්ද පදනමට පාවෙන ඡන්ද ස්වල්පයක් එකතු කර ගත් විට පාර්ලිමේන්තු යෑමේ මග සකස් වේ. ඉන් එහා දේශපාලනයක් ගයන්ත කරුණාතිලකට නොමැත. එනිසා දෙවැනි පෙළ නායකයන් නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවක් ගයන්ත කරුණාතිලකට නොමැත. ඊට වඩාත්ම බලපාන්නේ දෙවැනි පෙළට ඔහු දක්වන අසීමිත බියයි. 1991 දී පළමු ප්‍රාදේශීය සභාවට ආ තරුණ නායකයන්ගෙන් බහුතරය මහින්ද රාජපක්ෂගේ දෑත ශක්තිමත් කරන්නට ගොස් අද වන විට ඔවුන්ගේ පක්ෂයෙන් ප්‍රාදේශීය සභාවට පත්ව සිටිති. පක්ෂයේ රැදුන සෙසු අයට කුඩම්මාගේ සැලකිලි ය. එනිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්, එක්සත් ජනතා නිදහස් සංධානයටත් දෙවැනි පෙළ තරුණ හා දක්ෂ පිරිසක් ඇතත් එක්සත් ජාතික පක්ෂයට එවැන්නෝ නොමැත.  

පසුගිය සිකුරාදා පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය 24%ක චන්ද පදනමක් තුළ සීමාවීම සිදුවන්නේ මෙවැනි වටපිටාවක ය. එන්න එන්නම එක්සත් ජාතික පක්ෂයේ චන්ද පදනම දිය වූයේ ආසනයේ පක්ෂ සංවිධාන යාන්ත්‍රණයේ දුර්වලකමක් නිසා නොව එවැන්නක් ඇත්තටම නොමැති නිසා ය. මේ සියල්ලට හේතුව පක්ෂ දේශපාලන ක්‍රමය අවලංගුවීමත් හා මහජන දේශපාලනය විශ්වාස නොකිරීමත් නිසාම නොවේ. ඊට බරපතල ලෙස ආසන සංවිධායකවරයාගේ ආකල්ප හා අභිරුචීන් බලපෑවේ ය. ඔහු ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස සිදු කළ ප්‍රමුඛ කාර්යය වූයේ අසනීපව සිටින කලාකරුවන් බලන්නට යෑමත් ඔවුන් මිය ගිය පසුව දේහයට අවසන් ගෞරව දැක්වීමට යෑමත් ය. ඉන් එහා නිර්මාණශීලී තීන්දු තීරණ ගෙන ප්‍රතිපත්තිමය වෙනසක් ජනමාධ්‍ය සම්බන්ධයෙන් නොකළේ ය. 

බෙන්තර ඇල්පිටියේ දේශපාලනය සම්බන්ධයෙන් ද ඔහුගේ දායකත්වය ඊට වඩා වැඩි දෙයක් නොවීය. ඔහුගේ බාප්පා වූ හිටපු අමාත්‍ය රූපා කරුණාතිලක ගමෙන් ගමට ගොස් මිනිසුන් දැක බලාගෙන සිටියත් ගයන්ත කරුණාතිලක පැත්ත පළාතේ ගොස් මිනිසුන් හමුවූවකු නොවේ. ඒ දේශපාලනයේ ප්‍රතිලාභයන් ඔහු විසින්ම දැන් නෙලමින් සිටී. තම මැතිවරණ බල ප්‍රදේශයේ කොට්ඨාශ තුනක දී එජාපය තුන්වන ස්ථානයට පත්වීම එහි ආසන සංවිධායකවරයා වන ගයන්ත කරුණාතිලක ඉල්ලා අස්විය යුතු තරම් ප්‍රබල කරුණකි. එහෙත් සම්ප්‍රාදායි හා පාරම්පරික දේශපාලනයක නියුතුව සිටින ගයන්ත කරුණාතිලක මේ සම්ම ජාතියේ ඉල්ලා අස්වන්නකු නම් නොවේ.  

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    1

    යූන්පී එකට ලොකුම හානිය කරමින් ඉන්නෙ මෙ ෆිලිප් ශාන්තලා වගේ උග්‍ර සින්හල බෞද්ධ විරෝධී, [edited out] යූන්පී එක නියෝජනය කරන්න ප්‍රසිද්ධියේ එන එක. ඔක්කොම කරලා අන්තිමට උන් ඇගිල්ල දික් කරන්නේ යූන්පී ආසන සන්විධායකයට. රටේ මිනිස්සු පක්ශය ගැන කරකිරිලා ඉන්නවනම් ආසන සන්විධායක චන්ද ගන්නෙ කොහොමද? සිමෙන්ති බෙදලද? ටකරන් බෙදලද?

    සජිත් ප්‍රේමදාස මුලින්ම කරන්න ඕනෙ රනසින්හ ප්‍රේමදාස කරා වගේ පක්ශේ සුද්ද කරන එක. පක්ශය මල පොලොවේ පැල කරන එක. නගුට විසින් බල්ලා නැටවීම නැවැත්තුවේ නැත්නම් ඉස්සරහට යූන්පී එකට ඉතුරු වෙන්නේ බ්ලොක් වෝට් එක විතරයි.

  • 0
    0

    It’s good that Dev, at least, has commented – blaming Philip Shantha for the article. Actually blame is probably better than praise.
    .
    It is good that Philip has posted this article here. That way, some of us slightly “Thuppahi” guys like me are seeing it, and actually reading it.
    .
    However, it should be clear to you that not enough Sinhala-readers are seeing it here. I hope that having it published elsewhere as well. It is very important that users of Sinhalese and Tamil who don’t know English, but who are the people who matter, are educated by us.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.