12 May, 2026

Blog

හිජාබය සහ ජාතිවාදය

මොහොමඩ් ෆාවාස් හසේන්

මොහොමඩ් ෆාවාස් හසේන්

සෑම තැනකම අයුක්තිය සෑම තැනකම යුක්තියට තර්ජනයකිමාටින් ලූතර් කිං1963 අප්‍රේල් 16 දින.

ලංකාව තුළ යම් සිද්දියක් ජනප්‍රිය කර වීමට නම් එයට දේශපාලන හෝ ජාතිවාදී මුහුණුවරක් ලබා දිය යුතුය. එය අතීත සිදුවීම් සහ මෑත ඉතිහාසය තුළ සුලබව දැකිය හැකි කාරණයකි. ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාව 2020/06/10 දින මිරිහානේ ලීසිං සමගමක් ඉදිරිපිට පොල්ලකින් ගසා මරා දැමීම සමාජගත වූවාට වඩා, එම කාලයේම පාකිස්තානයේ සිල්කොට් හි ප්‍රියන්ත කුමාර ගේ ඝාතනය වැඩි කථා බහට ලක් විය. අදාල අපරාධකරුවන්ට පාකිස්තාන නිතිය අනුව දැඩි දඩුවම් පැමිණ වූවත් එය ලංකාවේ ජාතිවාදි අනුසාරයෙන් වැඩි කථාබහට ලක් විය. එමෙන්ම පුද්ගලයන් 50ක් අතර අන්තර්ජාලය ඔස්සේ ගණිකාවක් ලෙස හුවමාරු වුණු ගල්කිස්ස 15 හැවිරිදි දැරිය ගේ සිද්ධිය සමාජගත වූවාට වඩා රිෂාඩ් බදුර්දීන් ගේ නිවසේ සිය දිවි නසා ගත් ෂාලනි දැරිය ගේ සිද්ධිය සමාජගත විය.

දැන් ජනප්‍රියම මාතෘකාව හිජාබයයි. මෙය කරලියට එන්නේ හිජාබය පලදා රෝහල් වල හෙදියන්ට සේවය කිරීමට හැකි බව විදේශ අමාත්‍ය විජිත හේරත් අමාත්‍යවරයා පැවසීමත් එයට එල්ල වන බාධාවන්  ඔවුන්ට දන්වන ලෙස ප්‍රකාශ කිරීම සහ ධාවන ශූරී ෆතිමා සෆියා යමික් ගේ ජයග්‍රහණයත් සමගයි. ෆතිමා සෆියා යමික් කාලකට පෙර රූපවාහිනි වැඩ සටහනක දී කල ප්‍රකාශයක් මුල් කරගෙන මෙම ජාතිවාදී කථා මාද්‍ය තුළ සැරිසැරීම දකින්නට ලැබුණි. එම ප්‍රකාශය තුලින් කියවුණේ ඇගේ ඇදුම සම්බන්ධව මුස්ලිම් පල්ලියෙන් ඇයට බලපෑමක් පැමිණි බවයි. සෆියා කියන ආකාරයේ බලපෑම් ඇය පවසන පරිදි පැමිණ තිබුණේ පල්ලියෙන් පමණක් නොවෙයි, එය තම පාසලින් සහ තම පුහුණු කණ්ඩායමෙන් ද විවිධ කාරනා පදනම් කර ගෙන පැමිණ ඇත. ඇය මේ බව වෙනත් රූපවාහිණිය මාධ්‍යක පවසා තිබුණි. ජීවිතයේ ලබන ජයග්‍රහණ වලදී තමන් අත්විදි බාධාවන් සහ කටුක අත්දැකීම් ප්‍රසිද්ධියේ පැවසීම සාමාන්‍ය දෙයකි, නමුත් මෙහි විශේෂත්වය අනෙක් බාධාවන් සමාජගත නොවී පල්ලියෙන් කළ අනුශාසනාව පමණක් සමාජගත වීමයි. පල්ලිය ක්‍රියා කර තිබූ ආකාරය අනුව ක්‍රිඩාවට බලපෑමක් නොව මුස්ලිම් ගැහැණු දරුවකුට සුදුසු ඇදුම පිලිබදව දැනුවත් කිරීම සහ ගැහැණු දරුවකු හැඩි දැඩි විය යුතු පරිසරය මතක් කර දීමකි. එයට මුස්ලිම් පල්ලියට සහ මුස්ලිම් සමාජයට නිසි වගකීමක් තිබෙන අතර ක්‍රීඩිකාවන්ට ලංකාවේ තුල අතීතයේ සිදු වුණු අමිහිරි අත්දැකීම් පල්ලිය සහ මුස්ලිම් ප්‍රජාව ඇතුළුව සියලුම දෙනා දන්නා කාරණයකි.

සෆියා ගේ කථාව දිග හැරුණේ ඇයෆර්දාවනොපැලඳ ජයග්‍රහණය කිරීම නිසයි. ෆර්දාව පැලද පදක්කම් ගෙනා මුස්ලිම් ගැහැණු දරුවන් මෙසේ ප්‍රසිද්ධ වූයේ නැත. මරියම් මුර්තසා කියන මුස්ලිම් දැරිය කික් බොක්සිං ක්‍රීඩාවෙන් IMFA  (International Federation of Muaythai Associations) ලෝක තරුණ ශූරතාව දිනා රටට ලෝකඩ පදක්කමක් ගෙනආවාය. ෆතූම් ඉසදීන් දැරිවිය පිළිවෙලින් 2019,2020 සහ 2021 වසර වල ජාතික ස්කොෂ් ශූරතාව දිනා ගත්තාය. නමුත් ෆර්දාව නිසා ඔවුන් ප්‍රසිද්ධ වූයේ නැත.

අද අමතක වුණු තවත් එක් මුස්ලිම් ලෝක ශූරයකු නම් ලෝක ආධුනික බිලියඩ්ස් (Billiard) ක්‍රීඩාවෙන් 1973 වසරේ ලෝක වාර්ථාවක් තැබූ එම්. ජේ. එම්. ලාෆිර් මහතාය. එමෙන්ම ඔහු 1966 වසරේ ලෝක ආධුනික ස්නුකර් ශුරතාවයෙන් හතර වන ස්ථානය දිනා ගැනීමට ද සමත් විය. මෙම ක්‍රීඩකයා ඇගයීම මුල්කරගෙන 1973 දෙසැම්බර් මස ඔහු ගේ පින්තූරයක් සහිත මුද්රයක් නිකුත් කිරීම සදහන් කල යුතුය. ඔහුගේ මරණින් වසර තුනකට පසු එදා කොළඹ මැසෙන්ජර් පාර එම්. ජේ. එම්. ලාෆිර් මාවත නමින් නම් කරන ලදි. අද මලල ක්‍රීඩා ගත් විට අපහට බොහෝ දුරට මතකයට එන්නේ ඩන්කන් වයිට් (Duncan White) සහ සුසන්තිකා ජයසිංහයි. ඔවුන් රටට කීර්තියක් අත්කර දීම අගය කළ යුතු අතර ඔවුන් ගේ වකවානු දෙක අතර සිටී නාගලිංගම් එතිර්වීරසිංහම් (Nagalingam Ethirveerasinga) යන ක්‍රීඩකයා ද අමතක නොකළ යුතුය. නාගලිංගම් මහතා යාපනය වලිගාමම් (Jaffna – Valigamam) ප්‍රදේශයේ උපත ලද යාපනය මධ්‍ය මහා විද්‍යාලයෙන් අද්‍යාපනය ලැබු ක්‍රීඩකයකි. මොහු පදක්කමක් නොලැබුවත් 1952 සහ 1956 වසර වල මලල ක්‍රීඩකයෙක් ලෙස ඔලිම්පික් ගිය ක්‍රීඩකයකි. එමෙන්ම මොහු 1958 සහ 1962 වසර වල ආසියානු මලල ක්‍රීඩා සදහා සහභාගී වී පිළිවෙලින් රන් පදක්කමක් සහ රිදී පදක්කමක් රටට දිනා දීමට සමත් විය. 1958 දී ජපානයේ පැවැත් වුණු ආසියාතික මලල ක්‍රීඩා තරගයෙන් රන් පදක්කමක් දිනු අතර එය ආසියාතික තරගකින්  දිවයිනට ගෙනා ප්‍රථම රන් පදක්කම ලෙස ඉතිහාස ගත වේ. අද නුතන ජාතිවාදීන් මෙම තොරතුරු දන්නේ ද යන්න සැක සහිතය. අපිට ඉතිහාසය කියා දෙන පාඩම නම් ජාති ආගම් බේදයකින් තොරව රටට කීර්තියක් අත්කර දී ඇති බවයි.

අද කථාවෙන රෝහල් හෙදියන්ගේ ෆර්දාව වුවද අලුත් මාතෘකාවක් නොවන අතර එය 1992 වසරේ දී  එම්. එල්. . එම්. හිස්බුල්ලා මන්ත්‍රීවරයාව සිටිය දී ගෙනා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකි. 1992 අගෝස්තු මස 7 වැනි දින පෞද්ගලික යෝජනාවක් ලෙස එය පාර්ලිමේන්තුවේ දී බහුතරයක් ගෙන සම්මත වුණු යෝජනාවකි. ඔහු ගේ යෝජනාවට හේතු වූයේ මුස්ලිම් ප්‍රජාව ගෙන් ලැබුණු ආයාචනයකි. මෙම යෝජනා සම්මතයෙන් බලාපොරොත්තු වූයේ වැඩි වැඩියෙන් මුස්ලිම් කාන්තාවන් සෞඛ්‍ය සේවයට සම්බන්ධ කර ගැනීමයි.

මුස්ලිම් හෙදියන්ට හිජාබය පැලදිය හැකි නම්, බෞද්ධ හෙදියන්ට ළමා සාරියෙන් පැලදීමට අවසරය ලබා දිය යුතු යයි බෙංගමුවේ නාලක හිමියන් පැවසීමත් මෙය දිවයින පුවත් පතේ මංගලා මදුරප්පෙරුම ගේ පුවත් වාර්තාකරණයත් පසුගිය දවස් වල දැකිය හැකි විය. මෙම හිමියන් එදා රාජපක්‍ෂ කඳවුරේ හිමි නමක් වන අතර ඔහු අද්‍යාත්මික වශයෙන් නොව දේශපාලනික වශයෙන් ප්‍රසිද්ද හිමිනමකි. මයිත්‍රීපාල සිරිසේන ගේ යහපාලනය සමයේ එනම් 2016 නොවැම්බර් මස 7වෙනි දින ආබාදිත රණවිරුවන්ගේ විරෝධතාවක් අතර තුර දී පොදු දේපල වලට හාණි කළ බවට කොළඹ කොටුව පොලීසිය විසින් ගොනු කල නඩුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී 2018 අගෝස්තු මස කැද වූ අතර එහි දී මෙම හිමි අත් අඩංගුවට ගැනීමට නියෝග කරන ලදී. මොහු ජාතිවාදී දේශපාලනය වෙනුවෙන් කටයුතු කරන හිමිවරුන්ගේ කඳවුරේ හිමිනමකි. දිවයින පුවත් පත යනු එදා දොස්තර ෂාෆි ගේ සිද්ධිය ගවේෂණයකින් තොරව ඉදිරිපත් කළ පුවත් පතක් යන්න ද පසක් කර දීමට කැමැත්තෙමි.

අද සමහර පුද්ගලයන් තුළ පවතින දුර් මතය නම්, කාන්තා හිස් ආවරණය හෝ කාන්තාවට අදාළ ඇදුම් මුස්ලිම් ජාතියේ අනන්‍යතාවය පමණක් පිළිබිඹු කිරීමක් යන්නයි. නමුත් එය එසේ නොවන අතර එය ප්‍රධාන කොට ආගමික අවශ්‍යතාවයකි. මුස්ලිම් කාන්තාවන්ට ඇදුම් කේථයක් අල්කුර්ආණයේ සහ මුහම්මද් නබි තුමාගේ (ඔහුට සාමය සහ ශාන්තිය අත්වෙවා) මග පෙන්වීම තුල ඇත. අල්කුරාණයේ ඉගැන්වීම දුරාචාරය අසලට හෝ නොයන ලෙසයි. එයට අදාළව අල්කුරාණයේ  24 සහ 33 පර්ච්චේද වල කාන්තාවකට තම සුන්දර බව නොව තම අලංකාරයන් වූවත් (adornment) පවා පෙන්වීමට තම පියා, තම පුත්‍රයන්, සහෝදර වරුන් වැනි ලේ ඥාතීන්ට සහ තම ස්වාමි පුරුෂයාට පමණක් සිමා කර තිබීම දකින්නට ලැබේ. මෙහි දී කාන්තාව මෙන්ම අන්‍යය පුරුෂ පාක්ෂිකයින්ද අනිසි පෙළඹවීම් තුළින් ආරක්ෂා කරයි. මුස්ලිම්වරයකු යන්න මෙම මුලාශ්‍ර දෙකම පිළිපදින්නන් වන අතර එය ලංකාවේ මූලික නිතීය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ලබා දී ඇති අයිතිවාසිකමකි. මෙම මූලාශ්‍ර තුනම සැලකිල්ලට ගත් විට මෙම මූලාශ්‍ර වලට අභිබවා කිසිම පුද්ගලයකුට හෝ සංවිධානයකට ක්‍රියා කල නොහැක.

ප්‍රධාන වශයෙන් ලංකාවේ මුස්ලිම්, දෙමළ සහ සිංහල ජනයා ශත වර්ෂ ගණනාවක් එකට ජිවත් වූවත් අපට තවම ජාතික සමගිය ගොඩනගා ගැනීමට හැකි නොවුයේ  ඇයි ? කියන ප්‍රශ්නයට දැන් අප උත්තර සෙවිය යුතුය. එක් ජාතියක ආගමික අවශ්‍යතාවක්, සංස්කෘතිය, භෂාව, සිතුම් පැතුම් තවත් ජාතියකට ප්‍රශ්ණයක්ව තිබෙන තුරු අප රටේ ජාතික සමගිය ගොඩනැගිය හැකිද ? නොහැක.නමුත් ජාතික සමගිය ගැන තව තවත් කථා කළ හැක.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.