27 April, 2024

Blog

අධිකරණයේ විශ්වසනීයත්වය යළි ස්ථාපිත කරන්න නැතහොත් ප‍්‍රතිවිපාකවලට මුහුණදෙන්න

මංගල සමරවීර

මංගල සමරවීර

මංගල සමරවීර

ගිය වසරේ ආරම්භ කෙරුණු ජාත්‍යන්තර පරීක්ෂණයක් එහි අවසානයට ලඟා වෙමින් තිබේ. වහාම සංයුක්ත පියවර ගනිමින් අපේ අධිකරණයේ විශ්වසනීයත්වය යළි ස්ථාපිත නොකරන්නේ නම්, මේ ජාත්‍යන්තර පරීක්ෂණයේ ප‍්‍රතිඵල හේතුවෙන් අපේ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට සහ වෙනත් සිවිල් වැසියන්ටත් ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියේ පෙනී සිටීමට සිදුවනු ඇත. අද අප මුහුණදී සිටින මේ දුෂ්කර තත්වයට මගපෑදුණේ, විශ්වාස කටහැකි දේශීය විමර්ශන යාන්ත‍්‍රණයක් ඇති කිරීමට පසුගිය ආණ්ඩුව අසමත් වීම නිසා ය. වර්තමාන ආණ්ඩුවේ විශ්වාසය වන්නේ, විවිධ ප‍්‍රජාවන් අතර විරසක සමනය කිරීමේ ක‍්‍රියාවලියක ආරම්භයත්, අපේ ස්වෛරීත්වයට හානියක් වෙතැ යි බොහෝ දෙනා සිතන ජාත්‍යන්තර නඩු පැවරීමක් වළක්වා ගැනීමත් කළ හැකි වන්නේ, විශ්වසනීය දේශීය පරීක්ෂණ යාන්ත‍්‍රණයක් හැකි ඉක්මණින් ස්ථාපිත කිරීමෙන් බවයි. ශිෂ්ට සම්පන්න ලෝකයට යළි ඇතුළු වීමෙන් ලැබෙන ප‍්‍රතිලාභ, වරප‍්‍රසාද සහ අයිතීන් සඳහා රටක් වශයෙන් හිමිකම් කීමේ අභියෝගය අද අප ඉදිරියේ තිබේ. එහිදී, ආර්ථික සම්බාධකවලට යට නොවන බවට වගබලා ගැනීම මෙන්ම, යුක්ති ධර්මය පසිඳලීම කෙරෙහි වන යම් බියක් නිසා හෝ අප විසින්ම යුක්ති ධර්මය පසිඳලීමේ විශ්වසනීය මාර්ගයකට පිවිසීමට තරම් වන දුර දැකීමේ නුවණක් නැති කම නිසා හෝ රටක් වශයෙන් අවමානයට පත්නොවීමට සහ කීර්තිය පළුදු කර නොගැනීමට වගබලා ගැනීමත්, අප ඉදිරියේ ඇති අභියෝගයයි.

2015 පෙබරවාරි 1 වැනි දා ‘සන්ඬේ අයිලන්ඞ්’ පුවත්පත වාර්තා කර තිබුණු පරිදි මොහාන් පීරිස්ගේ ප‍්‍රකාශයක මෙසේ සඳහන් වෙයි: ‘‘අගවිනිසුරු ධුරයේ අභිමානය සහ ශිෂ්ටත්වය ආරක්ෂා කර ගනිමින් එහි ගෞරවනීයත්වය සහ හැදියාව ස්ථාපනය කිරීම (මගේ) මූලික අභිලාෂය විය. අපේ අධිකරණ පරිපාලනයේ මුදුන්කොත වශයෙන්, ඊට අයත් නොකැළැල් නිර්මලත්වයෙන්, දැනට මෙන්ම අනාගතයටත් එය පවත්වා ගත යුතුය. යුක්තිය පසිඳලීමේ සාරාර්ථ අගය රැුක ගැනීමේ අවශ්‍යතාව ඒ පසුපස තිබේ.’’

මීට වසර දෙකකට පෙර අපකීර්තිමත් ආකාරයෙන් එම ධුරයට පත්වීම් ලැබීමත්, එවක් පටන් එම ධුරය තුළ ප‍්‍රකාට කළ නින්දිත හැසිරීමත් විසින් අපේ සමස්ත අධිකරණ පද්ධතිය ජාත්‍යන්තර අවමානයට සහ ගැරහීමට ලක්කළ මොහාන් පීරිස්, කන්‍යා භාවයේ මහාර්ඝත්වය ගැන දෙසන වෙසඟනක් සේ, අගවිනිසුරු ධුරයේ ‘‘නොකැළැල් නිර්මලත්වයක්’’ ගැන දැන් කඳුළු සලයි.

අවුරුදු දෙකකට පෙර, 2013 ජනවාරි 14 වැනි දා විශාල හමුදා බලඇණියක් ශ්‍රේෂ්ඨාධිකරණ භූමියට ආහ. ඊට පසු දා පාන්දර සිට එම ප‍්‍රදේශයට ඇතුළු වීම මහජනයාට තහනම් කෙරුණි. එසේම කැරලි මර්දන භට කණ්ඩායම් ඒ අවට යොදවා සිටි අතර හමුදා බාධක සහ වතුර තුවක්කු තැන් තැන්වල සවි කොට තිබුණි. මේ සියල්ල කෙරුණේ, මොහාන් පීරිස්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ ‘පිටවීමේ’ දොරටුවෙන් ඇතුළු කැරැුවීමට ය. එය නම්, හොර විනිසුරෙකුට කියාපු පිවිසුමකි.

මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයට නීත්‍යානුකූලව පත් නොකරන ලද බව පෙන්වන වැදගත් වූත්, පරිපාටිමය වූත් කරුණු ගැන අද වන විට බොහෝ දෙනා පැහැදිළි කොට පෙන්වා දී තිබේ. ‘ව්‍යවස්ථානුකූල නොවන ක‍්‍රියාපරිපාටි’ පිළිබඳ තමන් විශේෂඥයෙකු යැයි ඔහුම කියන නිසා, එදා සිටි නීත්‍යානුකූල අගවිනිසුරුවරියව එම ධුරයෙන් පහ කෙරුණු ව්‍යවස්ථා විරෝධී ස්වභාවයේ තරමත්, එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, විශේෂ පොලිස් කාර්ය සාධක බලකායේ රැුකවරණ යටතේ ඔහු එම පුටුවේ වාඩි වූ ආකාරයත්, එසේ වාඩි වීම තරමටම ව්‍යවස්ථා විරෝධී ආකාරයකින් එම ධුරයේ ඔහු කටයුතු කළ ආකාරයත් ගැන ඔහුට මනා වැටහීමක් තිබිය යුතුය. එසේම අධිකරණය හෑල්ලූ කිරීමටත්, එහි අභිමානය, ස්වාධීනත්වය, විෂයබද්ධතාව සහ කීර්තිය වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ තමා විසින්ම විනාශ කිරීම ගැනත් ඔහු හොඳින් දැන සිටිය යුතුය.

බල විභේදනය අපේ ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණයක් බව මෑතකදී ඔහු කීවේය. ඒ වචන අනුසාරයෙන්ම ගත් විට, අමාත්‍ය මණ්ඩලයේ නීති උපදේශකයෙකු වශයෙන් සිටි කෙනෙකු, සෙලාන් බැංකුවේ සභාපති වශයෙන් සිටි කෙනෙකු, ලංකා ලොජිස්ටික් සමාගමේ (ආරක්ෂක අමාත්‍යාංශයේ අවි ආයුධ මිළදී ගැනීමේ ඒකකයේ) අධ්‍යක්ෂවරයෙකු වශයෙන් සිටි කෙනෙකු, රක්නා ලංකා ආරක්ෂක සමාගමේ (ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ස්ථාපිත කළ සමාගමක) අධ්‍යක්ෂවරයෙකු වශයෙන් සිටි කෙනෙකු, ආරක්ෂක අමාත්‍යාංශයේ නීති උපදේශකයෙකු වශයෙන් සිටි කෙනෙකු, යුද අපරාධ චෝදනා ප‍්‍රතික්ෂේප කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ලංකා රජය වෙනුවෙන් ප‍්‍රකාශකයෙකු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකු, අධිකරණයේ ‘තත්වාකාර’ අගවිනිසුරු පදවිය හෙබවිය යුතු නැති බව මම කියා සිටිමි.

මොහාන් පීරිස් මහත් උජාරුවෙන් කතා කරන අධිකරණයේ ‘ගරුත්වය’ රඳා පවතින්නේ එහි අපක්ෂපාතීත්වය සහ වාස්තවිකත්වය මත සේම, විධායකයෙන් සහ ව්‍යවස්ථාදායකයෙන් එය ස්වාධීන වීමත් මතයි. එසේම එම අධිකරණ පද්ධතියේ නියමුවා, නීතිඥ ප‍්‍රජාවේ ගෞරවය දිනා ගත් පුද්ගලයෙකු ද විය යුතුය. එහෙත් එම නීතිඥ ප‍්‍රජාව මෙවර සිටියේ අගවිනිසුරු ධුරයෙන් පහ කරන ලද අගවිනිසුරුවරියව නැවත එම තනතුරේ පිහිටුවීමේ අරගලයේ ය. මොහාන් පීරිස්ගේ සේවා කාලය තුළ, මේ කියන ගරුත්වය සහ ස්වාධීනත්වය, එකිනෙක ගැටුණු ඕනෑඑපාකම් පැටළුණු මකුළුදැළක් විය. ඔහු සැබවින්ම පාලක පක්ෂයේ අතකොලූවක් විය.

ජාත්‍යන්තර වශයෙන් ස්වර්ණමය ප‍්‍රමිති මානකයක් වශයෙන් සැළකෙන අධිකරණමය චර්යාව පිළිබඳ බැංගලෝර් ප‍්‍රතිපත්ති මාලාවට අනුව, ‘‘විනිසුරුවරයෙක් විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ නුසුදුසු සම්බන්ධතාවලින් සහ බලපෑම්වලින් විනිර්මුක්ත විය යුතුවා පමණක් නොව, එය එසේ වන බව සාධාරණ නිරීක්ෂකයෙකුට පෙනී යන සේ හැසිරිය යුතු ද වන්නේය’’. ගිය වසරේ අපේ‍්‍රල් 14 වැනි දා, ගෝඨාභය රාජපක්ෂ සමග කොළඹ සිට තංගල්ලට යමින්, ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ අයවළුන් සමග එකට හිඳ සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද සමරමින්, ශුභ මොහොතින් එකිනෙකාට කිරිබත් කවා ගනිද්දී, තමා දරණ අධිකරණ නිලයේ පවිත‍්‍රත්වය ගැන මොහොතකටවත් මොහාන් පීරිස් සිතුවේද? ගිය වසරේ සැප්තැම්බර් මාසයේ ජනාධිපති රාජපක්ෂ වතිකානුවට ගිය නිල සංචාරයේ තමනුත් සාමාජිකයෙකු වීම තමා දරණ නිලයේ අංගයක් වශයෙන් මොහාන් පීරිස් සිතුවේද? තමන්ට යම් තානාපති තනතුරක් දෙන්නැ යි වත්මන් ආණ්ඩුවේ විධායක බලධාරීන්ගෙන් මොහාන් පීරිස් ආයාචනා කරද්දී, තමා අසුන් ගෙන සිටින ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවය ගැන මහජනතාව කෙසේ සිතයිදැ යි ඔහු තඹේකටවත් සිතුවේද? මැතිවරණයක් පැවැත්වෙන දවසක එක් ජනාධිපති අපේක්ෂකයෙකුට නීති උපදෙස් දීම සඳහා (ඔහු කියා සිටින පරිදි) ඔහුගේ ගෙදරට යාම රටක අගවිනිසුරුවරයෙකුගේ රාජකාරියක් ද?

ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු මේ ආණ්ඩුව බලයට පත්වීම වැළැක්වීම සඳහා කැසකැවුණු කුමන්ත‍්‍රණයේ මොහාන් පිරීස් ද පාර්ශ්වකරුවෙකු වූ බවට වන විශ්වසනීය තොරතුරු මත පදනම්ව මා විසින් පොලිස් අපරාධ විමර්ෂන අංශයට පැමිණිලි කොට ඇත. මේ මිනිසාගේ බාහිර ක‍්‍රියාකාරකම්, පුද්ගල සම්බන්ධතා සහ විවිධ ගනුදෙනු අනුව බලන විට, අධිකරණමය කල්ක‍්‍රියාව පිළිබඳ පවතින ජාත්‍යන්තර ප‍්‍රමිතීන් ඔහු විසින් අමු අමුවේ උල්ලංඝණය කොට ඇති බවත්, ඒ නිසා අධිකරණයේ වගවීමක් සහ පාරදෘෂ්‍ය භාවයක් අපේක්ෂා කරන ජාත්‍යන්තර ප‍්‍රජාවේ හෝ වෙනත් ඕනෑම අවංක ශ‍්‍රී ලාංකිකයෙකුගේ ගෞරවය සහ විශ්වාසය දිනා ගැනීමට ඔහු අපොහොසත් බවත් පැහැදිළි ය.

*ඉතිරිය හෙට..

*2015 පෙබරවාරි 2 වැනි දා විදේශ අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවේ දී කළ ප‍්‍රකාශයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.