“මිනිසකුගේ සදාචාර සම්පන්න බව ප්‍රවර්ධනය නො කර, මනස පමණක් ප්‍රවර්ධනය කරන අධ්‍යාපනය, සමාජයට උවදුරක් බිහි කරන අධ්‍යාපනයකි.” ~ තියඩෝර් රූස්වෙල්ට් විසින් කරන ලද ප්‍රකාශයක් ලෙස සැලකේ
“හදවත ප්‍රවර්ධනය නො කර මනස පමණක් ප්‍රවර්ධනය කරන අධ්‍යාපනය කිසි ලෙසකින් හෝ අධ්‍යාපනයක් වන්නේ නැත” ~ ඇරිස්ටෝටල් විසින් කරන ලද ප්‍රකාශයක් ලෙස සැලකේ
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ව ජාතික කතිකාවක් ඇති වී තිබෙන මේ අවස්ථාවේ, අප පාසල් අධ්‍යාපනයේ සාරධර්ම අධ්‍යාපනයට හිමි වී ඇති ස්ථානය ගැන සලකා බැලීම අත්‍යවශ්‍ය ම කරුණක් වේ. මෙම ලිපියෙන්, සාරධර්ම අරභයා ඉදිරිපත් කර තිබෙන මූලික ගෝලීය මෙන් ම ජාතික නිර්දේශ පිළිබඳ සමාලෝචනයක් කෙරෙන අතර, ඒවා පිළිබඳ උනන්දුවක් දක්වන අධ්‍යාපනඥයින් සහ පුරවැසියන් ඒවායේ වැදගත්කම ගැන දක්වන අදහස් වෙත ද විශේෂ අවධානයක් යොමු කෙරේ. එසේ ම අපේ වත්මන් අධ්‍යාපන ක්‍රමය තුළ සාරධර්ම අධ්‍යාපනයෙහි දක්නට ලැබෙන දුබලතා විමසා බැලීමත්, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය තුළ වඩාත් අර්ථවත් හා කාර්යක්ෂම සාරධර්ම අධ්‍යාපන ක්‍රියාවලියක් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ගත යුතු ප්‍රායෝගික පිළියම් මාලාවක් යෝජනා කිරීමත් සිදු කෙරේ.
සාරධර්ම අධ්‍යාපන සංකල්පය සහ සාරධර්මවල වැදගත්කම
මානව සාරධර්ම යනු පවුල, සමීප ප්‍රජාව, රට සහ සමස්ත ලෝක මානව වර්ගය දක්වා ව්‍යාප්ත වන සමාජවලට අයත් වන මිනිසාගේ පුද්ගලික මෙන් ම ඔහු අයත් වන සමාජවල යහ සාධනය සහ ප්‍රගතිය තහවුරු කරන උත්තරීතර සහ සදාතනික අගයක් සහිත ගුණාංග සමුදායක් වේ. එසේ ම තමා වාසය කරන සමීප පරිසරයෙන් ආරම්භ වී ලෝක ගෝලය දක්වා ව්‍යාප්ත වන ජෛව පරිසරයේ සංරක්ෂණය, සංහිඳියාව සහ තිරසර බව ඒවායින් තහවුරු කෙරේ. සාරධර්ම සියලු මානවයන්ට සාධාරණ විශ්වීය ගුණාංග වන අතර ඒවා මානව වර්ගයා අතර පවත්නා විශ්වාස, ජන වර්ග, ජාති, සංස්කෘති සහ ස්ත්‍රී පුරුෂ ආදී මායිම් අභිබවා සිටී.
ජීවිතය පුරා හැසිරීමට, සිතීමට හා තීරණ ගැනීමට මග පෙන්වනු ලබන මානව සාරධර්ම සිසුන් තුළ අභ්‍යන්තරීකරණ ක්‍රියාවලිය, සාරධර්ම අධ්‍යාපනය යනුවෙන් සැලකේ. ශාස්ත්‍රීය දැනුම සහ තාක්ෂණික කුසලතා පමණක් ලබා දීමට සීමා නො වී අවංක බව, සහකම්පනය සහ වගකීමෙන් යුතු ව ක්‍රියා කරන සමබර පෞරුෂයක් සහිත පුද්ගලයින් හැඩ ගැස්වීම එයින් අවධාරණය කෙරේ. සීඝ්‍ර වෙනස් වීම්වලට භාජනය වෙමින් පවත්නා සහ සමාජීය පාරිසරික හා සංස්කෘතික ගැටුම් උද්ගත වෙමින් පවත්නා වත්මන් ලෝකය තුළ, අභියෝගවලට මුහුණ දෙමින් සමාජ යහ සාධනයට ධනාත්මක ලෙස දායක වෙමින් කටයුතු කිරීමට අවශ්‍ය දිශානතිය වෙත තරුණ ප්‍රජාව යොමු කරනු ලබන්නේ සාරධර්ම අධ්‍යාපනය විසිනි.
සිසුන් රැකියාවලට සූදානම් කිරීම පමණක් නො ව ඔවුන් යහපත් අසල්වැසියන් පුරවැසියන් සහ මිනිසුන් ලෙස ජීවත් වීමට සූදානම් කිරීමත්, පාසල්වල වගකීමක් බව, ගෝලීය වශයෙන් සියලු අධ්‍යාපනඥයන්ගේ පිළිගැනීම වේ. අවංක බව, කරුණාවන්ත කම, විවිධත්වයට ගරු කිරීම, පුරවැසි වගකීම් සහිත බව සහ සාධාරණත්වය පිළිබඳ හැඟීමෙන් යුක්ත වීම ආදී සාරධර්ම වැඩීම, අර්ථවත් අධ්‍යාපන ක්‍රමයකින් ඉටු විය යුතු බව දේශීය අධ්‍යාපනඥයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් ද අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාව තුළ සමාජ සංහිඳියාව සහ තිරසර සංවර්ධනය සඳහා මෙකී ගුණාංග අත්‍යවශ්‍ය ව ඇත.
සාරධර්ම ඉගෙනුම හෙවත් අභ්‍යන්තරකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ ක්ෂේත්‍ර තුනක් අධ්‍යාපනඥයින් විසින් හඳුනා ගනු ලැබ ඇත. ප්‍රජානන (සාරධර්මවල අර්ථය, ඒවායේ වැදගත්කම සහ ඒවා සැබෑ ජීවිතයේ දී ප්‍රකාශ වන අන්දම පිළිබඳ දැනුම සහ අවබෝධය), ආවේදනික (සාරධර්ම අගය කිරීමට, ඒවා කෙරෙහි කැප වීම ඇති කිරීමට යොමු කෙරෙන සුභවාදී සහකම්පනාත්මක හැඟීම් ඇති වීම) සහ චර්යාමය (සාරධර්මානුකූල ස්ථාවර ක්‍රියාකාරකම්, පුරුදු සහ අන්තර් පුද්ගල සම්බන්ධතා සහිත වීම) යනුවෙන් මෙම ක්ෂේත්‍ර හැඳින්වේ. සාරධර්ම අධ්‍යාපනය යනු හුදු දැනුමට පමණක් සීමා වූවක් නො ව දැනුමෙන් මෙන් ම සුභවාදී හැඟීම්වලින් මෙහෙයවනු ලබන යහපත් ලෙස හැසිරීමට සිසුන් මෙහෙයවන ඉගෙනුම් ක්‍රියාවලියක් වන බවට මෙම ක්ෂේත්‍ර සාමුහික ව සහතික කරයි.
ජාතික අධ්‍යාපන පද්ධති සඳහා, සාරධර්ම අධ්‍යාපනය පිළිබඳ නිර්දේශ ඇතුළත් ගෝලීය වාර්තා සහ ආකෘති
පසුගිය දශක තුනක පමණ කාලය පුරා ප්‍රකාශයට පත් කර ඇති ප්‍රධාන අධ්‍යාපන වාර්තා සහ ප්‍රතිපත්ති ප්‍රකාශන සෑම එකක් ම පාහේ, සාරධර්ම අධ්‍යාපනය මානව සංවර්ධනය සහ සමාජ ප්‍රගතිය උදෙසා පදනම සපයන කේන්ද්‍රීය කුලුනක් ලෙස අවධාරණය කර තිබේ.
විසි එක් වන සියවස සඳහා වන අධ්‍යාපනය පිළිබද යුනෙස්කෝ ජාත්‍යන්තර කොමිසම, සිය වාර්තාවේ, සාරධර්මවල විශ්වීය අවශ්‍යතාව, පහත සඳහන් පරිදි ගොනු කර දක්වයි.
“බොහෝ විට හඳුනා නො ගැනෙන සහ ප්‍රකාශ නො කෙරෙන, අප ‘සදාචාරාත්මක’ යනුවෙන් හඳුන්වන පරමාදර්ශයක් සහ සාරධර්ම සඳහා, ලෝකයාට දැඩි කැමැත්තක් ඇත. එබැවින්, සෑම කෙනෙක් ම ඔවුන්ගේ සම්ප්‍රදායයන් සහ විශ්වාසයන්ට අනුකූල ව ක්‍රියා කරමින් සහ බහුත්වවාදයට පූර්ණ ගෞරවය දක්වමින්, ඔවුන්ගේ සිත් සහ අධ්‍යාත්මයන් විශ්වීය තලයට ඔසවා තැබීමට සහ යම් ප්‍රමාණයකින් තමන් ව අභිබවා යාමට දිරිමත් කිරීම අධ්‍යාපනයේ උතුම් මෙහෙවරක් වේ. මානව වර්ගයාගේ පැවැත්ම රඳා පවතින්නේ ඒ මත බව කොමිසම අනුව යමින් පැවසීම අතිශයෝක්තියක් නො වේ” (Delors, Jacques et al., 1996).
මෙම වාර්තාව සාමය සහ සංහිඳියාව, ඉවසීම, මානව ගරුත්වය සහ පුද්ගල පෞරුෂ සාධු ගුණය යන සාරධර්ම ගැන විශේෂ අවධානයක් යොමු කරයි. අනතුරු ව ප්‍රකාශයට පත් අධ්‍යාපනය පිළිබඳ ගෝලීය වාර්තා, විශ්වීය සාරධර්ම පිළිබඳ දැක්ම තවදුරටත් වර්ධනය කර තිබේ. “සැමට අධ්‍යාපනය : ක්‍රියාකාරකම් රාමුව” නම් වන ඩකාර් වාර්තාව (2000) සමාජ සාධාරණත්වය සහ අන්තර්කරණය අවධාරණය කරයි. “තිරසර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන දශකය : 2004-2014 – (2002)” වාර්තාව, පරිසර සංරක්ෂණය සහ අනාගත මානව පරපුර සඳහා පරිසරය සුරැකීමේ වත්මන් පරපුර සතු වගකීම වෙත ප්‍රමුඛතාවක් දක්වයි. මෑත දී ප්‍රකාශයට පත් යුනෙස්කෝ “ගෝලීය පුරවැසි අධ්‍යාපනය – (2015)” සහ එක්සත් ජාතීන්ගේ “අපේ ලෝකය පරිණාමනය කිරීම– තිරසර සංවර්ධනය සඳහා වන වැඩ සටහන – (2015)” යන වාර්තාවලින් සාධාරණත්වය, විවිධත්වය, බහුත්වවාදය සහ තිරසර බව යන විශ්වීය සාරධර්ම ඉස්මතු කර දක්වයි. ආර්ථික සහයෝගය සහ සංවර්ධනය සඳහා වන සංවිධානයේ (OECD) “ඉගෙනුම් රාමුව-2030” – (2018) සහ යුනෙස්කෝවේ “අධ්‍යාපනයේ අනාගතය” – (2021) යන වාර්තා, අනාගත ගෝලීය අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දීමට අවශ්‍ය වන සහකම්පණය, සහයෝගී බව, ඉවසීම, ඔරොත්තු දීමේ ගුණය ආදී සාරධර්ම වර්ධනය කිරීම පිණිස අධ්‍යාපනයට පැවරෙන වගකීම අවධාරණය කර තිබේ.
සමස්තයක් වශයෙන් සලකන විට, සමබර පෞරුෂයක් සහිත සාමකාමී පුද්ගලයින් හා සමාජ, ලොව පුරා බිහි කිරීම සඳහා, සාරධර්ම අධ්‍යාපනය කේන්ද්‍රීය සහ තීරණාත්මක විශ්වීය අවශ්‍යතාවක් බව මෙම වාර්තා තහවුරු කරයි.
සාරධර්ම අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශන සහ වාර්තා
ශ්‍රී ලංකාවේ ද පසුගිය දශක තුනකට ආසන්න කාලයක් පුරා නිකුත් කර ඇති සියලු අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රකාශන සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වාර්තා, සදාචාරාත්මක, නීති ගරුක, කාරුණික සහ සමාජීය වගකීම් සහිත පුරවැසියන් බිහි කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.
සාරධර්ම සංවර්ධනය, අධ්‍යාපනයේ කේන්ද්‍රීය පරමාර්ථයක් වන බව, 1992 ජාතික අධ්‍යාපන කොමිෂන් සභා වාර්තාවේ දැක්වේ. ජාතික අනන්‍යතාව පිළිබඳ අභිමානය, ජාතික සමගිය, පුරවැසි වගකීම්, සංස්කෘතික විවිධත්වයට ගරු කිරීම, සදාචාර ධර්ම, සමාජ සහ පාරිසරික සංවේදීතාව ආදී සාරධර්ම සිසුන් තුළ ප්‍රගුණ කිරීම ජාතික අධ්‍යාපන අරමුණුවලට අයත් අංගයක් ලෙස මෙහි පැහැදිලි ව දක්වා ඇත. මේ සඳහා වෙන ම විෂයයක් වෙනුවට විෂයමාලාවට අයත් සෙසු විෂයයන් ද විෂය සමගාමී කටයුතු ද, පාසල් සංස්කෘතිය ද සමග සාරධර්ම සමෝධානය කළ යුතු බවත් වාර්තාව නිර්දේශ කර තිබේ.
සදාචාර සම්පන්න ව, සහ ආගමානුකූල ව එදිනෙදා ජීවත් වීමට හුරු කෙරෙන අයුරු සාරධර්ම ඉගෙනුම හා අභ්‍යන්තරීකරණය ළමයින් තුළ තහවුරු කළ යුතු බව 2003 ජාතික අධ්‍යාපන කොමිෂන් සභා වාර්තාවේ දැක්වේ. මේ සඳහා විධිමත් විෂය මාලාව මෙන් ම පාසල් සංස්කෘතිය හා විෂය සමගාමී ක්‍රියාකාරකම් ද උපයෝගී කර ගත යුතු අතර ම සාරධර්ම ඉගෙනුම් ප්‍රතිඵල පැහැදිලි ව සහ විවෘත ව අනාවරණය කිරීම අරමුණු කර ගත් ඇගයුම් ක්‍රියාවලියක් සහිත විෂයමාලා සම්පාදනයක් සිදු විය යුතු බව වාර්තා කරයි.
සාරධර්ම ප්‍රගුණ කිරීම අධ්‍යාපනයේ මූලික පරමාර්ථයක් වන නමුදු ඉතා ශීඝ්‍රයෙන් සාරධර්ම පරිහාණියට පත් වෙමින් තිබෙන බවත්, මෙයට පිළියමක් වශයෙන් සාරධර්ම විෂයමාලාව සහ ඉගැන්වීමේ ක්‍රියාවලිය සකස් විය යුතු බවත්, “සාමාන්‍ය අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්ති යෝජනා” යන මැයින් 2016 වසරේ දී ප්‍රකාශයට පත් ජාතික අධ්‍යාපන කොමිෂන් සභා වාර්තාව යෝජනා කර තිබේ.
“ශ්‍රී ලංකාවේ ද්වීතීයක අධ්‍යාපනය සඳහා ජාතික විෂයමාලා රාමුවක්”, යන මැයින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වාර්තාවක් 2020 වර්ෂයේ නිකුත් කරනු ලැබ තිබේ. සාමාන්‍ය අධ්‍යාපනයේ පරමාර්ථය විය යුත්තේ ප්‍රජානන කුසලතා මෙන් ම චර්යා හැඩ ගැස්මට පදනම් වන සාරධර්ම සහිත පුරවැසියකු බිහි කිරීම බවත් එහෙයින් විෂයමාලාව විසින් දැනුම සහ කුසලතා වර්ධනය මෙන් ම ළමයින් තුළ සාරධර්ම ප්‍රවර්ධනය ද සිදු කළ යුතු බවත් අවධාරණය කරයි.
තරුණ කොමිෂන් සභා වාර්තාවෙන් ද (1990), ජාතික අධ්‍යාපන කොමිෂන් සභා වාර්තාවලින් (2003 සහ 2016) ද නිර්දේශිත යෝජනා ද සැලකිල්ලට ගනිමින්, 2020-2030 කාල පරිච්ඡේදය සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක්, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් 2022 වර්ෂයේ දී ඉදිරිපත් කරන ලදි. අධ්‍යාපනය මගින් සපුරා ගත යුතු යැයි සැලකෙන ජාතික අරමුණු අටක් එහි දැක්වේ. එහි පළමුවැන්න වන්නේ පුද්ගලයන්ට නිරෝගී හා තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වන කායික, අධ්‍යාත්මික, සමාජීය, ආවේදනික හා පාරිසරික යහපැවැත්ම උදෙසා පදනම් වන මානව සාරධර්ම ප්‍රවර්ධනය කිරීම ය (තෘප්තිමත් හා නිරෝගී පුද්ගලයෙක්). සමාජ සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී වගකීම් හා වගවීම් පිළිබඳ සම්මතවලට අනුව කටයුතු කරන අතර මානව අයිතිවාසිකම් සහ නීතිගරුක බව ප්‍රවර්ධනය කිරීම තවත් අරමුණකි (ගෞරවාන්විත සහ විශ්වසනීය පුද්ගලයෙක්). ජාතික සහ ගෝලීය අභියෝගවලට මුහුණ දෙන අතර ම ජාතියේ සංස්කෘතික සහ පාරිසරික උරුමයන් ආරක්ෂා කිරීමේ අගය පුද්ගලයන් තුළ වර්ධනය කිරීම තවත් අරමුණකි (සංස්කෘතිමය වශයෙන් සන්නද්ධ වූ පුරවැසියෙක්). සංස්කෘතික විවිධත්වය පිළිගනු ලබන අතර ජාතික අනන්‍යතාව, ජාතික සමගිය සහ සහජීවනය ගරු කරන දේශප්‍රේමී පුරවැසියකු බිහි කිරීම යන අරමුණ ද ඒ අතර වේ (දේශප්‍රේමී පුරවැසියෙක්). සාරධර්ම ප්‍රවර්ධනය මගින් මෙම අරමුණු සඵල කර ගෙන සමබර පෞරුෂයක් සහිත පුද්ගලයින් බිහි කිරීමට උපයෝගී වන අයුරින් විෂයමාලාව සකස් විය යුතු බව වාර්තාව පෙන්වා දෙයි.
සාරධර්ම අධ්‍යාපනයේ අවශ්‍යතාව පිළිබඳ ව පවත්නා ජනතා අවධානය / සැලකිල්ල
පාසල්වල සාරධර්ම ඉගැන්වීමේ සහ ඉගෙනීමේ වැදගත්කම, පසුගිය මාස කිහිපය පුරා රටේ ගෞරවනීය පුරවැසියන් බොහෝ දෙනකු විසින් ජන මාධ්‍ය හරහා ඉදිරිපත් කර ඇති අදහස්වලින් ඉස්මතු වී තිබේ. අනාගත පරපුර තාක්ෂණික කුසලතාවලින් පමණක් නො ව වගකීමෙන් යුතු සංවේදී මානවීය පුරවැසියන් ලෙස වර්ධනය කළ හැකි අයුරු පාසල් සාරධර්ම අධ්‍යාපනය කඩිනමින් ශක්තිමත් කළ යුතු බව මේ හැම අයකුගේ ම අදහස වී ඇත. පහත දැක්වෙන්නේ මෙලෙස සාකච්ඡාවට බඳුන් වී ඇති අදහස් කීපයකි.
“සමාජ විරෝධී අමානුෂික යාන්ත්‍රික රොබෝවරු වෙනුවට, සදාචාරාත්මක සාරධර්ම සංවර්ධනය සහිත නිපුණතා පුර්ණ පුද්ගලයින් සමාජයට බිහි කර දීමට සමත් පුර්ණ සංවර්ධන අධ්‍යාපන ක්‍රමයක සැබෑ ප්‍රගතියක් සිදු කිරීම සඳහා අත්‍යවශ්‍ය කාලය එළඹ තිබේ” (විනෝදිනී ජයවර්ධන – ඩේලි මිරර් පුවත්පත).1
“සංවර්ධිත බොහෝ රටවල අධ්‍යාපනය, ප්‍රධාන ඉලක්ක දෙකක් වෙත අවධානය යොමු කර තිබේ. එනම් මෘදු කුසලතා සංවර්ධනය සහ වෘත්තීය කුසලතා සංවර්ධනය යි. එසේ වුව ද ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් වෘත්තීය කුසලතා සංවර්ධනය සඳහා බොහෝ දුරට අවධානය යොමු කෙරෙන අතර, සිසුන් තුළ සහයෝගී බව, බෙදාහදා ගැනීම, පරාර්ථකාමිත්වය, ඉවසීම, සහ ගැටලු විසඳා ගැනීමේ නිර්මාණශීලි බව යනාදී ගුණාංග නොකඩවා පරිහාණියට පත් වී තිබේ. අනාගත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රධාන ඉලක්ක දෙක අතර මනා සමතුලිත බවක් ඇති කිරීමෙහි ලා උත්සුක විය යුතු ය” (සම්මානිත මහාචාර්ය දයා අමරසේකර – ලංකාදීප පුවත්පත).2
“සදාචාරාත්මක සහ ආචාර ධර්මානුකූල චරිත සංවර්ධනය අප අධ්‍යාපන ක්‍රමයේ අනිවාර්ය අංගයක් ලෙස පිළිගත යුතු ය. වගකීම් සහිත බව සහ විශ්වසනීය බව ආදී ගුණාංග කුඩා කල සිට ම වර්ධනය කළ යුතු ය. ඊළඟ පරපුරට වෘත්තීයමය වශයෙන් මෙන් ම ගුණ දහම් අතින් ද සාර්ථක වීමට මග පාදන අධ්‍යාපනයක් ලබා දීම අනිවාර්ය කටයුත්තක් වේ. මෙම ගුණාංග සෑම පාසලක ම ළමයින් තුළ ප්‍රවර්ධනයට හා පිළිගැනීමට තුඩු දෙන ක්‍රමෝපාය, පැහැදිලි ඉදිරි දැක්මක් සහිත ප්‍රතිපත්තියක අන්තර්ගත විය යුතු ය. පරිපූර්ණ ජාතික අභිවෘද්ධිය උදෙසා ශාස්ත්‍රීය විශිෂ්ටත්වය සහ වෘත්තීය කුසලතා මෙන් ම සමාජීය, සංස්කෘතික, ආගමික සහ සදාචාරාත්මක ගුණාංග ප්‍රවර්ධනය කිරීම වෙත ද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යොමු විය යුතු ය” (ගාමිණී ජයවීර – ද අයිලන්ඩ් පුවත්පත).3
“අධ්‍යාපනයේ මූලික පරමාර්ථ දෙකක් වේ. එනම් සුදුසු වෘත්තියක යෙදීමට අවශ්‍ය කුසලතා වර්ධනය කිරීම සහ වගකීමෙන් යුතු ව සමගි සම්පන්න ලෙස ජීවත් වන පුරවැසියන් බිහි කිරීම එම පරමාර්ථ වේ. මෙම දෙයාකාර පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමට උපයෝගී වන පරිදි විෂයමාලාවේ සමබරතාව තහවුරු විය යුතු ය” (මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි – ලංකාදීප පුවත්පත).4
“බුද්ධිමය වර්ධනය කෙරෙහි පමණක් අවධානය නො කර කාරුණික සහ දයානුකම්පිත හදවත් සහිත ළමයින් හදා වඩා ගැනීම වෙත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යොමු කරන ලෙස අති පූජ්‍ය මල්වතු අස්ගිරි අනුනායක හිමිවරු ගරු අගමැතිතුමියගෙන් ඉල්ලා සිටියහ” (ගරු අගමැතිතුමිය සමග පැවති සාකච්ඡා වාර්තාවක් – ලංකාදීප පුවත්පත).5
“හොඳ අධ්‍යාපනයක් යනු, ගැටලු විසඳීමේ කුසලතාව, විචාරශීලි බව සහ නිර්මාණශීලි බව සහිත ගුණ යහපත් චරිතයක් ගොඩ නැගීමට ඉවහල් වන මතකයේ රැඳෙන දැනුම ය. එබඳු දැනුමක් ළමයින් තුළ වර්ධනය කිරීම පාසලේ පළමු වන වසරේ සිට ආරම්භ කළ යුතු ය” (සම්මානිත මහාචාර්ය එන්. ඒ. ද එස් අමරතුංග – ද අයිලන්ඩ් පුවත්පත).6
“වර්‍තමාන අධ්‍යාපන ක්‍රමය සමබර පෞරුෂ වර්ධනය කෙරෙහි ප්‍රමාණවත් සැලකිල්ලක් නො දක්වයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෘත්තීය හා තාක්ෂණික කුසලතා වර්ධනය මෙන් ම වඩාත් පුළුල් ක්ෂේත්‍රයක් ආවරණය වන මානව හැකියා පෝෂණය කිරීම වෙත යොමු විය යුතු ය. ජීවිතයේ නානාවිධ අවස්ථාවන්ට අනුගත වීමේ හැකියාව, ගුණ ගරුක බව, මිනිස් කම, අනුකම්පා සහගත බව, ලාංකිකත්වයට ගරු කිරීම, ජාත්‍යයන්තර ප්‍රජාව හා සම්බන්ධතාවලට ගරු කිරීම, අන් මිනිසුන්ගේ අනන්‍යතාව හදවතින් ම පිළිගැනීම සහ සාමය හා සන්හිඳියාවට ගරු කිරීම යන ගුණාංග මේ අතර වේ” (ආචාර්ය උපාලි එම්. සේදර – අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : අරුම පුදුම ඉස්කෝලේ, දෙරණ අලුත් පාර්ලිමේන්තුව).7
“විසි එක් වන සියවස නවෝත්පාදන සහ නිපුණතාවලින් සන්නද්ධ ගෝලීය පුරවැසියන් බිහි කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රකාශිත අරමුණ වේ. කෙසේ වුව ද මෙම දැක්ම, ශ්‍රී ලාංකීය අනන්‍ය සංස්කෘතික උරුමය, අධ්‍යාත්මික ආචාර ධර්ම සහ කලාත්මක උරුමයන් සෝදා පාලුවකට භාජනය කිරීමට හේතු විය හැකි ය” (ආචාර්ය අශෝක බණ්ඩාරගේ – ද අයිලන්ඩ් පුවත් පත).8
“අධ්‍යාපනයේ මුලික පරමාර්ථයක් විය යුත්තේ, ශාස්ත්‍රීය නිපුණතාව පමණක් නො ව නීතියට සහ ප්‍රජාතන්ත්‍රීය මූලධර්මවලට ගරු කරන, සමාජය පිළිබඳ සංවේදී, මානව ගරුත්වය සහ මිනිස් නො වන ජීවිතවල අයිතිය පිළිගනු ලබන, පාරිසරික තිරසර බව සහ ජෛව විවිධත්වය සුරකින, දූෂණයට එරෙහි, ජාතික ස්වාධිපත්‍යය ආරක්ෂා කරන, සැවොම ඇතුළත් කෙරෙන සාධාරණ සංවර්ධනය උදෙසා යොමු කෙරෙන පුරවැසියන් බිහි කිරීම වේ” (ආචාර්ය ජයලත් බණ්ඩාර අදිකාරගේ – ග්‍රවුන්ඩ් විව්ස් පුවත්පත).9
“ඕමල්පේ සෝභිත හිමියන්ගේ 75 වන උපන් දින සැමරුම් උත්සවය අමතමින් ‘නව සාරධර්ම පද්ධතියක’ අවශ්‍යතාව අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ඉස්මතු කළේ ය. එතුමා සඳහන් කළ තවත් කරුණක් වූයේ, සමාජය සහ ආයතන කෙතරම් දුරට පරිහාණියට පත් ව තිබේ ද යත හොත්, මෙවා ප්‍රතිශෝධනය නො කර අපට රටක් සහ ජාතියක් වශයෙන් ඉදිරියට යා නො හැකි බව ය. සාරධර්ම සුරැකීම සහ ප්‍රතිසංස්කරණය උදෙසා ආගමික මෙන් ම සමාජ සිවිල් සංවිධාන විසින් ඉටු කළ යුතු කාර්යභාරයක් ඇත. දේශපාලන නායකත්වය විසින් ඉටු කළ යුතු භූමිකාවක් ද තිබේ. මේ සියල්ලට ම වඩා වැදගත් වන්නේ නව සාරධර්ම මාලාවක් හඳුනා ගැනීම සහ ගොඩ නගා ගැනීම පමණක් නො ව, ඒවා සම්ප්‍රේෂණය සඳහා ඉගැන්වීම පිළිබඳ ව අධ්‍යාපන නායකත්වය විසින් ඉටු කළ යුතු ව ඇති තීරණාත්මක කාර්යභාරයයි” (ආචාර්ය සිරි ගමගේ – කලම්බු ටෙලිග්‍රාප් පුවත්පත).10
“සීඝ්‍රයෙන් යහගුණ පරිහානිය කරා යන වක්මන් සමාජය තුළ දූෂණය, අපචාර, නොපනත්කම් හිස ඔසවා කුඩා දරුවන් බිල්ලට ගන්නා අවධියක සදාචාරාත්මක හැසිරීම් රටාවක වටිනාකම සමස්ත සමාජයට අවබෝධ කර දී ගුණගරුක මානව පිරිසක් දැයට දායාද කිරීම අධ්‍යාපනයේ මූලික අවශ්‍යතාවක් වී ඇත” (මහාචාර්ය ජී.එල්. පීරිස්, අධ්‍යාපන ඇමති – සුචරිතවත් දරු පරපුරක්: යහපත් සමාජයක්, සාරධර්ම අත්පොත).11
ශ්‍රී ලංකාවේ සාරධර්ම අධ්‍යාපනය පිළිබඳ වත්මන් තත්ත්වය
පාසල්වල සාරධර්ම ඉගැන්වීම සඳහා, ලෝකයේ විවිධ රටවල, සාමාන්‍යයෙන් ප්‍රධාන ප්‍රවේශ දෙකකින් එකක් අනුගමනය කෙරේ. “සාරධර්ම අධ්‍යාපනය”, “සදාචාර අධ්‍යාපනය”, “චරිත අධ්‍යාපනය”, “ආචාර ධර්ම අධ්‍යාපනය” ආදී නම්වලින් හැඳින්වෙන ස්වාධීන විෂයයක් ලෙස ඉදිරිපත් කිරීම එක් ප්‍රවේශයකි. භාෂාව, සාහිත්‍යය, ඉතිහාසය, පුරවැසි අධ්‍යාපනය, සමාජ අධ්‍යයනය, පරිසර අධ්‍යාපනය, ආගම, විෂය සමගාමී ක්‍රියාකාරකම් සහ පාසල් සංස්කෘතිය ආදී ක්ෂේත්‍ර සමග සාරධර්ම සමෝධානය කර ඉදිරිපත් කිරීම අනෙක් ප්‍රවේශය වේ. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික, කණිෂ්ඨ ද්වීතීයක සහ ජ්‍යෙෂ්ඨ ද්වීතීයක පන්තිවල සිසුන්ට සාරධර්ම ඉගැන්වීම සඳහා අනුගමනය කරනුයේ මෙම දෙවන ප්‍රවේශයයි.
ශ්‍රී ලංකාවේ අනුගමනය කරන සමෝධානිත ප්‍රවේශය, නිර්දේශිත සාරධර්ම විෂයමාලා රාමුව, පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය, ඉගෙනුම් ඵල මැනීමේ ඇගයීමේ ක්‍රියාවලියේ ඵලදායකත්වය සහ ළමයින්ගේ සාරධර්ම ඉගෙනුම් සාධන මට්ටම් කෙබඳු ද යන්න අනාවරණය කර ගැනීම සඳහා කර ඇති පුළුල් හා විධිමත් පර්යේෂණ කිසිවක් ගැන දැන ගැනීමට ද නැත. මෙම කරුණු පිළිබඳ ව 1995 වර්ෂයේ කරන ලද නියැදි අධ්‍යයනයකින් සාරධර්ම අධ්‍යාපනය හා සම්බන්ධ ඌනතා රැසක් අනාවරණය විය. විෂයය කීපයක් මගින් ඉගැන්වීමට අපේක්ෂා කළ සාරධර්ම පැහැදිලි ව හා සුවිශේෂී ලෙස විෂයයන් සහ ශ්‍රේණි අනුව ව්‍යූහගත කරන ලද සමස්ත සාරධර්ම විෂයමාලා රාමුවක් නොතිබීම, සාරධර්ම ඉගැන්වීම හා ඇගයීම පිළිබඳ කුසලතා ගුරුවරුන් තුළ වර්ධනය කිරිමට ගුරු අධ්‍යාපන වැඩසටහන් අපොහොසත් වීම, ඉගෙනුම් ඵල මිනුම සහ ඇගයීම ප්‍රජානන ක්ෂේත්‍රයට පමණක් සීමා වීම සහ එබැවින් ගුරුවරුන් සාරධර්ම ඉගැන්වීමට උනන්දු නොවීම, ඉගෙනුම් සාධනය යෝග්‍ය මට්ටමක නොතිබීම මෙම ප්‍රධාන දුබලතා විය (ගුණවර්ධන, ජී.අයි.සී., කුලරත්න, එන්.ජී., කාරියවසම්, සී.).12
පසුගිය දශක කීපය තුළ දී මෙම තත්ත්වයේ සැලකිය යුතු වෙනසක් සිදු වී ඇති බවට සාක්ෂි නොමැත. ඉහත දක්වන ලද පරිදි සාරධර්ම අධ්‍යාපනය පිළිබඳ දැනට පවත්නා ජනතා උනන්දුව සහ කනස්සල්ල මෙන් ම අධ්‍යාපන ඇමතිවරයකු විසින් ම 2021 වසරේ දී සාරධර්ම අධ්‍යාපනය පිළිබඳ ව කර ඇති, ඉහත දක්වා ඇති ප්‍රකාශය අනුව, පැහැදිලි වන්නේ සාරධර්ම අධ්‍යාපනයේ පරමාර්ථ ඉටු කර ගැනීමට මේ දක්වා අප අපොහොසත් වී ඇති බව ය.
නිගමන සහ යෝජනා
පසුගිය දශක තුනක පමණ කාලය පුරා නිකුත් වූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රකාශනවල ‘සමබර අධ්‍යාපනය’, සහ ‘පූර්ණ ළමා පෞරුෂ වර්ධනය’ ගැන සඳහන් වී ඇත. එම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා යෝජනා ද ඉදිරිපත් කර ඇත. එහෙත් යථාර්ථය වන්නේ මෙම අපේක්ෂා තව ම ඉටු වී නොමැති බව ය. අප පාසල්වල සාරධර්ම අධ්‍යාපනය අර්ථවත් හා ඵලදායි එකත් බවට පත් කිරීම සඳහා, ඉහත දක්වන ලද කරුණු අනුව, ඊට අදාළ ප්‍රතිපත්ති හා ව්‍යවහාර පිළිබඳ පූර්ණ ප්‍රතිසංස්කරණයක් කළ යුතු බව පැහැදිලි ය. එසේ නොවුව හොත් සමබර පෞරුෂ සහිත අනාගත පුරවැසියන් බිහි කිරීම ඉටු නො වන පරමාදර්ශයක් ලෙස තවදුරටත් පවතිනු ඇත.
දැනට සකස් වෙමින් පවත්නා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව, ‘ආගම සහ සාරධර්ම අධ්‍යාපනය’, ප්‍රාථමික (1-5), කණිෂ්ඨ ද්වීතීයික (6-9), ජ්‍යෙෂ්ඨ ද්විතීයික (10-11) ශ්‍රේණිවල අනිවාර්ය විෂයයකි. එහෙත් එය දැනට ක්‍රියාත්මක වන පරිදි වෙනත් විෂයයන් කීපයක් හා සමෝධානය කර ඉදිරිපත් කරන්නේ ද නැත හොත් ‘සාරධර්ම අධ්‍යාපනය’ යන නමින් වෙන ම විෂයයක් ලෙස ඉදිරිපත් කරන්නේ ද යන්න පැහැදිලි නැත.
සාරධර්ම අධ්‍යාපන පරමාර්ථ සපුරා ගැනීම සඳහා මේ දක්වා අප අනුගමනය කර ඇති විෂය සමෝධාන ප්‍රවේශය අසාර්ථක වී ඇති බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීම වේ. ඒ සමඟ ම, සාරධර්ම අධ්‍යාපනය, අන් විෂයයන් කීපයක් හා සමෝධානය කර ඉදිරිපත් කිරීම වෙනුවට, ස්වාධීන විෂයයක් ලෙස ඉදිරිපත් කළ යුතු ය, යන ජනතා ඉල්වීම ද වර්ධනය වෙමින් පවතී. මෙම දෙවැනිවට සඳහන් විෂය පාදක ප්‍රවේශය මගින්, සාරධර්ම අධ්‍යාපනයේ ප්‍රකට හා විනිවිද බවත්, විෂය ඉගැන්වීම සඳහා ප්‍රමාණවත් හා නිශ්චිත කාලයක් වෙන් කෙරෙන බවත්, ශ්‍රේණි අනුව මැනවින් ව්‍යූහගත කරණ ලද විෂය මාලාවක් උපයෝගී කර ගැනීමත් තහවුරු කෙරේ. මෙම ප්‍රවේශ දෙකෙහි මිශ්‍ර ආකෘතියක යෝග්‍යතාව ගැන ද අධ්‍යාපනඥයන්ගේ සැලකිල්ල දැනට යොමු වෙමින් පවතී. හර ඉගෙනුම් ක්ෂේත්‍ර තුන ආවරණය වන පරිදි ස්වාධීන විෂයයක් ලෙස සාරධර්ම ඉගැන්වීම සිදු කරන අතර ම, සාරධර්ම හා ප්‍රබල ලෙස ඈඳුණු විෂයයන්ගේ ප්‍රජානන ක්ෂේත්‍රයට අයත් විෂය කරුණු, සාරධර්ම විෂය මාලාවට අයත් අදාළ ප්‍රජානන විෂය කරුණු ප්‍රතිපෝෂණය වන ලෙස ඉගැන්වීම මෙයින් අදහස් කෙරේ. වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කාර්යයෙහි දී, සාරධර්ම අධ්‍යාපන ප්‍රතිපත්ති හා ව්‍යවහාරවලට අදාළ තීරණ ගැනීමේ දී මෙම කරුණු පිළිබඳ ව ඉතා ප්‍රවේශමෙන් සලකා බැලිය යුතු වේ.
සාරධර්ම අධ්‍යාපනය සඳහා අනුගමනය කරන ප්‍රවේශය කවර එකක් වුව ද, මෙහි ලා ඉටු කළ යුතු පළමු කාර්යය වන්නේ විෂයය ඉගැන්වීමට නියමිත, සියලු ශ්‍රේණි ආවරණය කෙරෙන, පරිපූර්ණ සාරධර්ම විෂයමාලා රාමුවක් ගොඩ නැගීම වේ. මෙම විෂයමාලා රාමුව, නිශ්චිත ව හා පැහැදිලි ව ප්‍රකාශ කෙරෙන හර සාරධර්ම, එක් එක් හර සාරධර්මයට අයත් උප සාරධර්ම සහ එක් එක් උප සාරධර්මයට අයත් සියුම් හා සුවිශේෂී සාරධර්මවලින් සමන්විත විය යුතු වේ. මෙලෙස නිශ්චිත ව හා සුවිශේෂී ලෙස ප්‍රකාශිත හා ව්‍යූහගත කරන ලද සමස්ත විෂයමාලාවට අයත් සාරධර්ම, ශ්‍රේණි හා ළමා සංවර්ධන අවස්ථාවලට (සමෝධාන ප්‍රවේශය අනුගමනය තරන්නේ නම් විෂයවලට ද) අනුරූප වන පරිදි පෙළ ගැස්විය යුතු වේ. මෙම මූලධර්ම අනුව සම්පාදනය කරනු ලබන සාරධර්ම විෂයමාලාව, හොඳ සාරධර්ම අධ්‍යාපන වැඩසටහනක ප්‍රථම අවශ්‍යතාව වේ. ඉගෙන ගනු ලබන සාරධර්ම අනුව ක්‍රියාත්මක වීමට මග පාදන, ප්‍රකාශිත විෂයමාලාවට මැනවින් අනුබද්ධිත හා සැලසුම්ගත ලෙස සම්පාදිත විෂය සමගාමී වැඩසටහන්, සාරධර්ම විෂයමාලාවට අයත් තවත් අවශ්‍යතම අංග වේ. අවසාන අවශ්‍යතාව වන්නේ, උගත් සාරධර්ම භාවිතයට හා ප්‍රතිපෝෂණයට අවස්ථා සැලසෙන පරිදි පාසල් පිරියත තුළ දී කටයුතු කිරීමට අවස්ථා සම්පාදනය කෙරෙන පාසල් සංස්කෘතියක් (නිති රීති, සම්මුති, සම්ප්‍රදාය, උත්සව ආදී) සහිත සැඟවුණු විෂයමාලාවක්, ක්‍රියාත්මක වීම ය.
ඵලදායි ලෙස විෂයමාලාවක් ක්‍රියාත්මක කිරීම රඳා පවත්නේ, සුදුසු උපදේශන ශිල්පක්‍රම සහ සිසුන්ගේ ඉගෙනුම් ඵල මැනීමේ සහ ඇගයීමේ නිපුණතා සහ ආකල්ප ගුරුවරුන් තුළ වර්ධනය කිරීම මගිනි. විශ්වවිද්‍යාල සහ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ මගින් කවර විෂය ක්ෂේත්‍රයක් පිළිබඳ විශේෂඥ පුහුණුවක් ගුරුවරුනට ලබා දුන්න ද, සියලු ගුරුවරුනට පොදු වෘත්තීය විෂයයක් ලෙස සාරධර්ම ඉගැන්වීමේ ක්‍රම හඳුන්වා දීම වඩාත් යෝග්‍ය වේ. එවිට පුහුණුවක් ලබන සෑම ගුරුවරයකුට ම, සෑම ශ්‍රේණියක ම සිසුන්ට සාරධර්ම ඉගැන්වීමේ නිපුණතාව ලැබේ.
ගුරුවරුන් විිසින් සිසුන්ට උගන්වනු ලබන්නේ, මිනුමට සහ ඇගයීමට භාජනය කෙරෙන දෑ පමණක් බව ප්‍රකට කරුණකි. දැනට සාරධර්ම ඉගෙනුම ඇගයීම විධිමත් ලෙස නො කෙරෙන හෙයින්, ඉගැන්වීම සෙසු විෂයයන්ට පමණක් සීමා වී තිබේ. සාරධර්ම ඉගැන්වීම සැබවින් ම සිදු කෙරෙන කාර්යයක් බවට පත් වන්නේ, සාරධර්ම ඉගෙනුම පාසල්වල සිදු කෙරෙන සන්තතික සහ සම්පිණ්ඩිත ඇගයීම් ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් වුව හොත් පමණි. ප්‍රජානන ඉගෙනුම් ඵල ඇගයීමේ දී මෙන් නො ව සාර්ධර්ම ඉගෙනුම් ඵල ඇගයීමේ දී ප්‍රජානන, ආවේදනික හා චර්යාමය යන සියලු අංග ඇගයීමට භාජනය කළ යුතු හෙයින්, විවිධ මිනුම් ශිල්පක්‍රම භාවිත කිරීමට සිදු වේ. ලිඛිත පරීක්ෂණ, ශ්‍රේණිගත පරිමාණ, ප්‍රත්‍යවේක්ෂණ පරීක්ෂණ, සම්මුඛ පරීක්ෂණ, අවස්ථා පාදක ඇගයීම් ක්‍රම, ලිපි කළඹ තක්සේරුකරණය, ප්‍රක්ෂේපණීය ශිල්ප ක්‍රම සහ විධිමත් චර්යා නිරීක්ෂණ සහ වාර්තාකරණ ශිල්ප ක්‍රම ආදිය මින් සමහරකි.
දැනට පාසල්වල පිළිගනු ලැබීම, ත්‍යාග ප්‍රදානය සහ නායකත්ව භූමිකා සඳහා තෝරා ගනු ලැබීම, ශාස්ත්‍රීය දැනුම සඳහා විශිෂ්ටත්වයක් දක්වන ළමයින්ට සීමා වී තිබේ. ඉහත සඳහන් ක්‍රියා මාර්ග අනුගමනය කරනු ලැබුව හොත් වඩාත් පිළිගැනීමට, වගකීම් පැවරීමට, ත්‍යාග ලැබීමට සහ සම්මානයට පාත්‍ර විය යුතු පන්ති කාමරය, පාසල සහ බාහිර සමාජය තුළ දී මැනවින් සාරධර්මානුකූල ව ආදර්ශමත් ලෙස හැසිරෙන සිසුන් හඳුනා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
සාරධර්ම අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව ගැන තවදුරටත් නොසලකා සිටිමට නො හැකි ය. දශක ගණනක් පුරා පූර්ණ පෞරුෂ සංවර්ධනය, සමබර අධ්‍යාපනය ගැන ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් වී ඇති නමුත් එම දැක්ම සාක්ෂාත් කර ගැනීමට තවමත් අප පාසල්වලට හැකි වී නොමැත. වචන සහ ක්‍රියාව අතර ඇති පරතරය නිසා පෞරුෂ වර්ධනය, සමාජ සන්හිඳියාව සහ ජාතික දියුණුවට හේතු වන තරම් ප්‍රමාණවත් සාරධර්ම වර්ධනයක් රහිත, ශාස්ත්‍රීය දැනුම පමණක් සහිත ශිෂ්‍ය පරම්පරා ගණනක් බිහි වී තිබේ. සාරධර්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හුදු අධ්‍යාපනික ප්‍රතිසංස්කරණයක් පමණක් නො ව එය අනාගත ශ්‍රී ලාංකිකයන්ගේ චරිත සහ අධ්‍යාත්මයන් උදෙසා කෙරෙන ආයෝජනයක් ද වේ.
1. Education Reforms: A Historic Opportunity – Vinodini Jayawardena, Daily Mirror (26.8.2025)
2. අධ්‍යාපනයේ සැඟවුණු යථාර්ථය : සම්මානිත මහාචාර්ය දයා අමරසේකර, ලංකාදීප (15.8.2025)
3. Educational Reforms: Capitalism Compassion or Both – Gamini Jayaweera, The Island (11.8.2025)
4. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සැබෑ අරමුණු : මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ලංකාදීප (5.8.2025)
5. Report of a Meeting, the Hon. Prime Minister Held with the Anunayake Theros of the Malwathu and Asgiri Chapters – Lankadeepa (1.8.2025)
6. Education Reforms: N.A de S. Amaratunga – The Island (31.7.2025)
7. A discussion on Education Reforms: Dr. Upali M. Sedera – Aluth Parlimenthuwa – Ada Derana (30.7.202)
8. Protecting Human Heritage: Sri Lanka’s Buddhist Culture – Dr. Asoka Bandarage, The Island (28.7.2025)
9. Reimagining Sri Lankan Education for a Just and Compassionate Future: Dr. Jayalath Bandara Adikarige – Ground Views (22.7.2025)
10. Need for a New Ethical and Value System: Dr. Siri Gamage – Colombo Telegraph (29.5.2025)
11. A Virtuous Generation, A Better Society: Handbook on Moral Values for Schools – Message from Prof. G.L. Peiris, Hon. Minister of Education (2021-2022)
12. Growing up in a Sri Lankan School: Development of Attitudes and Values in Children – Gunawardena, G.I.C.; Kularatna, N.G.; Kariyawasam, C. (1995)
*ආචාර්ය එන්.ජී. කුලරත්න, විශ්රාමික අධ්යක්ෂ, අධ්‍යාපන පර්යේෂණ – ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකාව සහ අධ්යාපනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්යලය