Colombo Telegraph

භික්ෂුවගේ උරුමය, භික්ෂු දේශපාලනය සහ ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ භූමිකාව

නවින්ද්‍ර ද සොයිසා

ආචාර්ය නවීන්ද්‍ර ද සොයිසා

ජාතික දේශපාලනය තුල භික්ෂුවගේ භූමිකාව සඳහා ආසන්නතම උදාහරණය සපයන්නේ මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ය. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය තුලින් දේශපාලන ක්‍රමවේදයේ වෙනසක් ඇති කිරීමට උන්වහන්සේ පෙරමුණ ගත්හ. එහෙත් වෙනස සහ සාධාරණ සමාජයේ ප්‍රථිපල පිලිබඳ සිහිනයද සහිතවම උන්වහන්සේ අපවත් වූ සේක. ඇතිකළ වෙනසෙහි කිසිදු වෙනසක් නොපෙනෙන නිසාවෙන්ම ඇල්ලේ ගුණවංශ හිමියන් වැනි භික්ෂුන් වහන්සේලා නැවතත් නව වෙනසක් පිළිබඳව සිතීමට පටන් ගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

මාක්ස්වාදීන්, අධි භෞතිකවාදීන් මෙන්ම නව ලිබරල්වාදී චින්තකයින් ඇතුළු සැලකිය යුතු පිරිසක් ලංකාවේ දේශපාලනය සහ භික්ෂුව අන්ත දෙකක තැබීමට උත්සාහ කලද යථාර්තය නම් භික්ෂුව යනු ලාංකීය සමාජයේ දේශපාලනය තුල තීරණාත්මක සාධකයක්ය යන්නය. ඉහතින් සඳහන් කල කණ්ඩායම් වලට අකමැත්තෙන් හෝ මෙම යථාර්තය පිළිගැනීමට සිදු වී තිබේ. භික්ෂුව සහ දේශපාලනයේ සබැඳියාව හොඳ ප්‍රථිපල හෝ නරක ප්‍රථිපල ගෙන දුන්නත් ඉතිහාසය විසින් අපට ඔප්පු කර දී තිබෙන්නේද මෙම කාරණාවය. අප කල යුතුව තිබෙන්නේ මෙම තීරණාත්මක සාධකයක් වූ භික්ෂුව දේශපාලනයෙන් ඉවත් කර තැබීමට වෙර දරනවාට වඩා හොඳ ප්‍රථිපල ලබා ගත හැකි වන ආකාරයට අවශේෂ කාරණා මෙහෙයවීමය.

භික්ෂුව සහ දේශපාලනය පිලිබඳ මතුපිටින් පෙනෙන රුපය නම් නව ජනාධිපතිවරු, අගමැතිවරු, කථානායකවරු, ඇමතිවරු, මන්ත්‍රීවරු අමාත්‍යංශ ලේකම් වරු ඇතුළු දේශපාලන ප්‍රභූන් සහ රජයේ උසස් නිලධාරීන්  ජාති ආගම් භේදයකින් තොරව තම නව ධුරයේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව මුලින්ම ගොස් මහා නායක හිමි වරුන් බැහැ දැකීමය. එසේම මෙම ප්‍රභූන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් සිට පිරිත් නුලක් බැඳ සෙත් පතා ඉඳ හිට පුංචි තරවටුවක් කරන ස්වාමින් වහන්සේලාය. එසේත් නැතහොත් වීදි අරගල වලදී බංකර් පෙරලීමට තරම් ශක්තිමත් සටන්කාමී භික්ෂුන් වහන්සේලාවය. එහෙත් අප මතු කර ගන අවබෝධ කර ගත යුතුව තිබෙන්නේ ඉන් ඔබ්බට ගිය සමස්ථ ලාංකීය සමාජය වෙනුවෙන් බෞද්ධ භික්ෂුව සහ දේශපාලනය අතර තිබූ සහ තිබිය යුතු සබැඳියාවය.

සමාජ සත්වයකු වූ මිනිසා සිටින ඕනෑම ස්ථානයක ආගම තිබීම තුලින් පෙන්නුම් කරන්නේ මිනිසා යනු උපතින්ම දේශපාලන සත්වයෙකු මෙන්ම උපතින්ම ආගමික මූලාශ්‍ර වලටද  බද්ධ වී සිටින්නකු යන්නය. නොපෙනෙන බලවේග වලට බියෙන් හෝ ආරක්ෂාව පතා හෝ තනි තනිව මෙන්ම කණ්ඩායම් වශයෙන්ද ආගමක පිහිට පැතීමට මිනිසා පුරුදුව සිටී. 11 වන ශත වර්ෂයේ පටන් ගත් කුරුස යුද්ධ මෙන්ම 16 වන ශතවර්ෂයේදී මාර්ටින් ලූතර් විසින් ක්‍රිස්තියානි පල්ලියේ සිදු කල ප්‍රතිසංස්කරණත් 20 වන ශතවර්ෂයේදී මාර්ටින් ලූතර් කින් විසින් අප්‍රිකානු සම්භවයක් සහිත ඇමෙරිකානුවන්ගේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කිරීමත් ආගම හෝ ආගමික නායකයින් විසින් දේශපාලනයේ දිශානතීන් වෙනස් කල අවස්ථාවන්ය.  

බුදුන් වහන්සේ විසින්ම දේශපාලනය පිලිබඳ අදහස් දැක්වූ අවස්ථාවන් දක්නට ලැබේ. රාජ්‍ය නායකයින් විසින් රට පාලනය කල යුත්තේ දානය, ශීලය, පරිත්‍යාගය, සෘජු බව, මෘදු ගතිය, තපස්කම, ක්‍රෝධ නොවීම, හිංසා නොකිරීම, ඉවසීම, සහ අවිරුද්ධතාවය යන දශරාජ ධර්මයන්ට අනුකුලව බව උන්වහන්සේ පෙන්වා දුන් සේක. හුදී ජනයාගේ යහපත වෙනුවෙන් කැප වීමට භික්ෂුවට අයිතියක් ඇති බව බුදුන් වහන්සේ අවස්ථා ගණනාවකදීම පෙන්වා දුන් සේක. බුද්ධ පුත්‍රයකු යනු ආත්මාර්ථකාමීව තම විමුක්තිය පමණක් සලසා ගන්නකු නොව පරාර්ථකාමී චරිතයක් විය යුතුය යන්නට බුදු සසුනේ උදාහරණ මනාවට තිබේ.

ලංකාවේ ඉතිහාසය තුලද බෞද්ධ භික්ෂුන් වහන්සේලා දේශපාලනයට මැදිහත් වූ අවස්ථාවන් ඉතා පහසුවෙන් සොයා ගත හැකිය. මේ අතර මෑත ඉතිහාසයේ මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් විසින් “භික්ෂුවගේ උරුමය” (1946) ග්‍රන්ථය තුළින් ඉස්මතු කළ භික්ෂු දේශපාලනය පිලිබඳ සාධකයන් අද දවසේ තරුණ භික්ෂුන් වහන්සේලාටද න්‍යායාත්මක පසුබිමක් සපයා දෙයි. ශ්‍රාස්ත්‍රීය දායකත්වයට අමතරව ප්‍රායෝගිකවද උන්වහන්සේ භික්ෂු දේශපාලනය පිලිබඳ ආදර්ශයක් සැපයු යථිවරයෙකි. භික්ෂුවගේ දේශපාලනය යනු මන්ත්‍රීධුර ලබා ගැනීම හෝ දේශපාලන පක්ෂ වල අනුශාසකවරුන් වීම හෝ දේශපාලන ප්‍රභූන්ගේ උපදේශකයින් වීමට වඩා සමස්ථ සමාජයේම යහ පැවැත්ම වෙනුවෙන් වැඩ කටයුතු කිරීම බව උන්වහන්සේ පෙන්වා දුන් සේක.

කෙසේ වෙතත් වර්ථමාන බෞද්ධ භික්ෂුන් බහුතරයක් තම දේශපාලන වගකීම ලෙස වටහාගන තිබෙන්නේ හාත්පසින්ම වෙනස් දෙයකි. වඩා ඇළුම් කරන්නේ ජනප්‍රිය දේශපාලනයේ නියලිමටය. බුද්ධ පුත්‍රයින්ගෙන් සිදු විය යුතු දේශපාලන යුතුකම කෙසේ වෙතත් භික්ෂුන් කෙරෙහි ගිහියන්ගේ තිබෙන ගෞරවය සහ ශ්‍රද්ධාව හීන වීමනම් මෙවන් ක්‍රියාකලාපයන් නිසා සිදුවීම නිසැකය.

බහුතරයක් භික්ෂුන් වහන්සේලාගෙන් වෙනස්ව ඇල්ලේ ගුණවංස හිමියන් දශක කිහිපයක සිට විවිධ දේශපාලන ධාරාවන් ඔස්සේ තම දේශපාලන සහ ජාතික වගකීම ක්‍රියාත්මක කලද විටින් විට දේශපාලන පක්ෂ වෙනුවෙන් පෙනී සිටි අවස්ථාද ඇති බව කවුරුත් දන්නා දෙයකි. යුද්ධය පැවති කාල සීමාවේදී උන්වහන්සේගේ කැපවීමද පැසසිය යුතුය. මේ අවස්ථාවේදීද සෝභිත හිමියන් සිදු කල ආකාරයේ වෙනසක් සඳහා මුලිකත්වය ගැනීමට වෙර දරන බවක් දක්නට ලැබේ. එනම් සිටින කුකුලන්ගෙන් එකෙකු තෝරාගන ඔසවා තැබීමය. අත්දැකීමෙන් උන්වහන්සේ මෙන්ම අනෙකුත් භික්ෂුන් වහන්සේලාද වටහා ගත යුතු වන්නේ මෙම ඉන්න අයගෙන් එකෙකු තෝරා ගැනීම ඉතාමත් තාවකාලික විසඳුමක් බවයි. ඒ වෙනුවට අප කල යුතු වන්නේ බිත්තරයේ පටන් හැඩ ගස්වා ක්‍රමානුකුලව රත් කර අළුත් පරපුරක් නිර්මාණය කිරීමය. මෙය කෙටි කාලින විසඳුමක් නොවන බවනම් පැහැදිලිය. එහෙත් අපේක්ෂිත වෙනස සාක්ෂාත් කර ගැනීමට නම් සිදු කල යුතුව තිබෙන්නේ සිටින කුකුලන්ගෙන් එකෙකු තෝරා ගැනීමේ න්‍යාය භාවිතා කිරීම පසෙක තබා සුදුසුකම් ඇති කුකුල් පැටවුන් ඇති කිරීම ආරම්භ කිරීමයි.

මුලදී සඳහන් කල ආකාරයේ භික්ෂුවගේ නියම දේශපාලන වගකීම වැඩිපුර තිබෙන්නේ මෙම අලුත් පරපුරක් නිර්මාණය කිරීමේ කර්තව්‍ය සඳහාය. ධර්මානුකූල හික්මීමක් ඇති විනය ගරුක, වංචාවෙන් දුෂණයෙන් තොර අනාගත පරපුරක් නිර්මාණය කිරීමේදී ලාංකික සමාජය තුල බෞද්ධ භික්ෂුවට තිබෙන්නේ සිමා කල නොහැකි ආකාරයේ බලයකි. කෙසේ වෙතත් එම බලය වර්ථමානයේ නිසි ලෙස භාවිතා කර ඇතිද එසේ නැතහොත් අවභාවිතා කර ඇතිද යන්න පිළිබඳව තිබෙන්නේ සැකයකි.

ශත වර්ෂ ගනනාවක් විවිධ දේශපාලනික අවශ්‍යතාවයන් නිසා විකෘති කරන ලද අධ්‍යාපන ක්‍රමයක් හා ඒ තුලින් බිහි වූ චින්තන ශක්තිය මොට වූ පරම්පරා කිහිපයක පුර වැසියන් සිටින රටක යහපත් විනය ගරුක පුරවැසියන්ගෙන් සමන්විත අනාගත පරපුරක් බිහි කිරීමට සිදු කල යුත්තේ කුමක්ද කියා ඇසුවහොත්, පැවසීමට ඇත්තේ මා නොදන්නා බවයි. බල ලෝභී නායකයන් විසින් පෝෂණය කල පාතාල කරුවන් කූට ව්‍යාපාරිකයින් වන්දි බට්ටයන් සහ හෙන්චයියන් විසින් හප කර සාරය උරා බිවු රටක සාමාන්‍ය පුරවැසියා සිටින්නේ මංමුලාවීමෙන්ය. වාසනාවකට චීවරයට සහ චීවරය දරා සිටින්නාට මේ සමාජය තුලම පුදුම සහගත බලයක් ඉතිරිව තිබේ. ඇල්ලේ ගුණවංශ හිමියන් සිදු කල යුතුව තිබෙන්නේ එම බලය අපගේ අනාගත පරපුර නිර්මාණය කිරීමට යොදා ගැනීමය.

Back to Home page