හැඳින්වීම
ලංකාව පසුගිය දිනවල මුහුණ දුන් ගංවතුර, කඳු නායයාම් සහ ඒ හා සම්බන්ධිත මානව ව්‍යසනය නිසා අප අනුගමනය කරමින් සිටින සංවර්ධන මාවත පිළිබඳ සාකච්ඡාවක් මතු වී ඇත. මෙය ඉතා වැදගත් සාකච්ඡාවකි. කෙසේ වෙතත් මෙම සාකච්ඡාව දැනට පවත්නා ජනප්‍රිය තලයෙන් ඔබ්බට යා යුතු බව මගේ අදහසයි. මේ ලිපියේ අරමුණ වන්නේ ඒ සඳහා කිසියම් දායකත්වයක් සැපයීම යි.
අප කවුරුත් දන්නා ආකාරයට ලංකාව වර්තමානයේ ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. ඇත්ත වශයෙන්ම කියනවානම් ලංකාව පමණක් නොව මුළු ලෝකයම දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. ලංකාව මුණුණ දී ඇති ආර්ථික අර්බුදයට එම ලෝක පරිමාණයෙන් ඇති වී ඇති ආර්ථික අර්බුදය හේතු වී තිබෙන බව සත්‍යයක් වුව ද ලංකාවට සුවිශේෂී වූ අර්බුදයක් ද ඇත. මේ අර්බුදය එකිනෙකා සිය සීමිත දේශපාලන දෘෂ්ටිකෝණ වලින් තේරුම් කිරීමේ නැඹුරුවක් ද දැකීමට පුළුවන. ආණ්ඩුවට සම්බන්ධ සහ ඊට සහය දක්වන පිරිස් තර්ක කරන්නේ පැවැති රාජපක්ෂ පාලනය අනුගමනය කළ ආර්ථික පිළිවෙත් වල ප්‍රතිඵලයක් ලෙස මෙම අර්බුදය ඇති වී ඇති බව යි. අනෙක් අතට රාජපක්ෂ පාලනය සාධාරණීකරණය කරන සහ නැවත රාජපක්ෂ පාලනය ගෙන ඒමට උත්සාහ කරන අය පවසන්නේ රාජපක්ෂ සමයේ පැවැති සීඝ්‍ර ආර්ථික වර්ධනය මේ ආණ්ඩුවේ වැරදි ආර්ථික කලමනාකරණය නිසා බිඳවැටී ඇති බවයි. මේ තර්ක දෙකට ම, සීමිත අර්ථයකින්, කිසියම් පදනමක් තිබෙන බව මගේ අදහසයි. ඒ ගැන පසුව කතා කරමු.
මේ ජනප්‍රිය සංවාදයට තවත් තලයක් ඇත. එනම් පොදුවේ ලංකාවේ පැවැති සියළුම ආණ්ඩු විසින් අනුගමය කරන ලද ආර්ථික ප්‍රතිපත්ති මේ අර්බුදයට හේතු වී ඇති බවයි. මේ අදහස ඉදිරිපත් කරන පිරිස් අතර ද විවිධතා දැකිය හැකිය. විශේෂයෙන් ම වාමාංශිකයින් සහ ඇතැම් ජාතිකවාදීන් මේ සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් ආකාර ප්‍රවේශ වලින් මේ ගැටලුව විස්තර කිරීමට උත්සාහ කරනු දැකිය හැකිය. පොදුවේ ගත් කළ වාමාංශිකයින් විසින් ඉදිරිපත් කරනු ලබන විවේචනය පදනම් වී තිබෙන්නේ වර්තමාන “සංවර්ධනයේ” දක්නට ඇති ධනේශ්වර ස්වභාවය මතයි. අනෙක් අතට “ජාතික චින්තන ගුරුකුලය” වැනි ජාතිකවාදීන් පෙන්වා දෙන්නේ මෙය බටහිර නවීනත්වය මත පදනම් වූ සංවර්ධන මාදිලිය පිළිබඳ අර්බුදයක් බවයි. ඇතැම් පරිසරවාදීන් මේ ප්‍රවේශ දෙක අතරමැද තැබිය හැකි විවිධ විශ්ලේෂණ රාමු මත මේ ආර්ථික අර්බුදය පැහැදිළි කිරීම දැකිය හැකි ය.
අනුභූතික වශයෙන් ගත් කළ මේ සියළු පැහැදිළි කිරීම් සඳහා භාවිත කරන තොරතුරු වලට පදනමක් ඇති බව මගේ අදහසයි. ඒ නිසා ඒ එකිනෙක ප්‍රවේශ වෙන වෙනම සාකච්ඡා කරනවා වෙනුවට මේ තොරතුරු සමස්තයක් ලෙස සලකා බලා මේ ගැටලුව විදාරණය කිරීමට මම උත්සාහ කරමි.
සංවර්ධන කතිකාව
අපි මුළින් ම මේ “සංවර්ධනය” යන පදය මදක් විභාග කර බලමු. Development යන ඉංග්‍රීසි පදය සඳහා වූ සිංහල පර්යාය පදය ලෙස භාවිත කරන මේ “සංවර්ධනය” යන සංකල්පයට විශේෂිත ඉතිහාසයක් ඇත. දැනට ඒ පදය පොදු ජනයා අතර පවා බෙහෙවින් ප්‍රචලිත වීම නිසා ඒ පසුපස ඇති සුවිශේෂී ඉතිහාසය අපට බොහෝ විට අමතක වී ගොස් ඇත. බටහිර ලෝකය තුළ “සංවර්ධනය” පිළිබඳ සුවිශේෂ කතිකාව ඇති වන්නේ මූලික වශයෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලයේ දී ය. එසේ වුව ද එය 1929 දී ඇති වන ආර්ථික කඩාවැටීම හා බටහිර ආර්ථික චින්තනයේ ඇති වන (ජෝන් මේනාඩ් කේන්ස් ගේ අදහස් පදනම් කරගත්) කේන්සියානු විප්ලවය සමඟ සම්බන්ධ කිරීමට පුළුවන. එසේ වන්නේ කේන්සියානු ආර්ථික චින්තනය තුළ ආර්ථික ක්‍රියාවලිය කෙරේ රාජ්‍යයේ මැදිහත්වීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරෙන බැවිණි. මීට පෙර ආර්ථික ක්‍රියාකාරිත්වය සැලකුණේ වෙළඳපොළ බලවේග වල හැසිරීම මත ක්‍රියාත්මකවන අඩවියක් ලෙසටයි.
“කේන්සියානු විප්ලවයට” සමාන්තරව, එසේම එයින් මුළුමනින්ම ස්වායත්තව, සෝවියට් සංගමය තුළ ද රාජ්‍ය සහ ආර්ථිකය අතර සම්බන්ධය පිළිබඳව නව චින්තනයක් ඇතිවෙමින් පැවැතිණි. මාක්ස්වාදී රාමුව තුළ රාජ්‍යය පිළිබඳ ලෙනින් ගේ අදහස් වලින් පෝෂණය වූ එම චින්තනය පිළිබඳ අතිශයින් දියුණු සාකච්ඡාවක් 1920 ගණන් වල අග සහ 1930 ගණන්වල මුළ සෝවියට් සංගමය තුළ පැවැතිණි. මෙම සංවාදය තුළ එවකට සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු වූ යෙව්ගේනි ප්‍රියෝබ්‍රෙසන්ස්කි විසින් ඉදිරිපත් කරනු ලැබූ අදහස් තුළ නවීන සංවර්ධන ආර්ථික විද්‍යාවේ මූලයන් ගැබ් වී ඇතැයි සෝවියට් ආර්ථික ඉතිහාසය පිළිබද විශේෂඥයෙක් වන ඇලෙක් නෝවේ (Alec Nove) පවසයි.
කෙසේ වෙතත් මෙම “සංවර්ධන කතිකාව” ලොව පුරා ප්‍රචලිත වීම කෙරේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව “සීතල යුද්ධය“ සම්බන්ධයෙන් වූ ඇමරිකානු ප්‍රවේශය ද තීරණාත්මක සාධකයක් විය. දැඩි සොවියට් විරෝධී ප්‍රවේශයක් අනුගමනය කළ ඇමරිකානු ජනාධිපති හැරී ට්‍රෑමන් ගේ සෝවියට් ව්‍යාප්තිය වැලැක්වීම සම්බන්ධව ප්‍රතිපත්තියේ (containment policy) ප්‍රධාන අංගයක් වූයේ කොමියුනිස්ට් තර්ජනයට ලක් වී තිබූ රටවල ආර්ථික සංවර්ධනය පිළිබද ගැටලු නිරාකරණය කරගැනීම සඳහා ආධාර කිරීමයි. ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝර්ජ් මාර්ෂල් ගේ මූලිකත්වයෙන් ඇරඹි “මාර්ෂල් සැලැස්ම” මෙහි ප්‍රතිඵලයයි.
මේ වනවිට සීඝ්‍ර ආර්ථික වර්ධනයක අවශ්‍යතාවය පිළිබඳ ගැටලුවට මුහුණ පා සිටි, විශේෂයෙන්ම යටත් විජිත පාලනයට නතුව තිබී අළුත නිදහස් වූ, (ආසියා, අප්‍රිකා හා ලතින් ඇමරිකා යන) ත්‍රෛමහාද්වීපික රටවල ආර්ථික වර්ධනය පිළිබඳ ගැටලුව ස්ථානගත වූයේ පුළුල් වශයෙන් ගත් කළ මෙම සංවර්ධන කතිකාව තුළ යි. මේ රටවල පැවැති සුවිශේෂ තත්වයක් වූයේ වර්ධිත කාර්මික රටවල මෙන් ආර්ථිකය නවීකරණය කළ හැකි ප්‍රාග්ධනය විශාල වශයෙන් තමන අත සංකේන්ද්‍රණය වූ සමාජ පංතියක් නොමැති වීම නිසා ආර්ථික පරිවර්ථනයේ ප්‍රධාන ඒජන්තයා බවට පත් වීමට රාජ්‍යයට සිද්ධ වීමයි. මේ නිසා “සංවර්ධනය” යන්න රාජ්‍ය ප්‍රතිපත්තීන් හී ප්‍රමුඛ ඉලක්කය බවට පත් විය. මෙම “සංවර්ධන ප්‍රතිපත්තියේ” සුවිශේෂ ලක්ෂණ ගණනාවක් ගැබ් වී තිබිණි. සීඝ්‍ර කාර්මීක වර්ධනයක් අත්පත් කර ගැනීම, ඉහළ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදනයක් ලඟා කර ගැනීම, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඵලදායීතාවය ඉහළ නැංවීම යනා දී අංග මේ අතරින් ප්‍රධාන වේ. මේ සදහා බටහිර දියුණු කාර්මික රටවලින් ද, 1944 දී ඇති කරගැනුණු බ්‍රෙට්න් වුඩ්ස් සම්මුතිය මගින් පිහිටුවන ලද “ප්‍රතිනිර්මාණය හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව“ (පසුව ලෝක බැංකුව) හා “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල“ මගින් ණය ආධාර මේ රටවලට සපයනු ලැබීය. එසේ ම කාර්මික දැනුම ද, හරිත විප්ලවය යනුවෙන් හඳුන්වනු ලබන ක්‍රියා මාර්ගය හරහා හඳුන්වා දෙනු ලැබූ නව කෘෂීකාර්මික දැනුම ද ලෝක මට්ටමෙන් බෙදා හැරිණි.
කෙසේ වෙතත් එකළ ම මේ නව “සංවර්ධන කතිකාව” ට විරුද්ධව ප්‍රති-කතිකාවක් ද නිර්මාණය විය. එය මූලික වශයෙන්ම නිර්මාණය වූයේ මෙම නව “සංවර්ධන” ප්‍රවේශය මගින් අපේක්ෂිත ප්‍රතිඵල අත්පත් කරගැනීමට අපොහොසත් වූ ලතින් ඇමරිකානු රටවල් ආශ්‍රයෙනි. මෙම විවේචනාත්මක කතිකාව සඳහා මුල පුරනු ලැබූයේ ලතින් ඇමරිකාව හා කැරීබියානු කලාපයේ මෙම සංවර්ධන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිහිටුවනු ලැබූ ලතින් ඇමරිකාව හා කැරීබියානු කලාපය සඳහා වූ එක්සත් ජාතීන් ගේ කොමිසමේ (United Nations Economic Commission for Latin America and the Caribbean – ECLAC) ප්‍රධානියා ලෙස කටයුතු කළ ආර්ජන්ටිනා ජාතික ආර්ථික විශේෂඥයෙක් වූ රාවුල් ප්‍රෙබිෂ් විසිනි. ප්‍රෙබිෂ් සහ ජර්මන් ජාතික ආර්ථික විද්‍යාඥයෙකු වූ හාන්ස් සිංගර් විසින් ඉදිරිපත් කළ “ප්‍රෙබිෂ්-සිංගර් ප්‍රවාදය” නමින් ප්‍රකට වී ඇති අදහස පද්ධතිය මගින් සංවර්ධන කතිකාවේ මූලික පදනමට අභියෝග කළේය. පසුව “පරායත්තාවාදී ගුරුකුළය” ලෙස ප්‍රකට වූ වාම රැඩිකල් ආර්ථික විද්‍යා අදහස් පද්ධතිය පැන නැගුණේ මේ “ප්‍රෙබිෂ්-සිංගර් ප්‍රවාදය” වැඩි දියුණු වීමෙනි. මෙම ප්‍රවාදය මගින් තර්ක කෙරුණෙ ගෝලීය ආර්ථික පද්ධතියේ කේන්ද්‍රයේ පවතින වර්ධිත කාර්මික රටවල නිපදවන කාර්මික භාණ්ඩවල “ආදායම් ඉල්ලුම් නම්‍යතාවය” (income elasticity of demand), ගෝලීය ආර්ථික පද්ධතියේ පරිධියේ පවතින රටවල නිපදවන ප්‍රාථමික භාණ්ඩ වලට “ආදායම් ඉල්ලුම් නම්‍යතාවයට” වඩා ඉහළ බවයි. මේ නිසා ඉල්ලුම වැඩිවන විට ප්‍රාථමික භාණ්ඩ වලට වඩා වැඩි වේගයකින් කාර්මික භාණ්ඩවල මිල ඉහළ යන බව මේ ප්‍රවාදය මගින් පෙන්වා දෙනු ලැබීය. මේ අසමානතාවය නිසා කේන්ද්‍රයේ රටවල් හා පරිධියේ රටවල් අතර භාණ්ඩ හුවමාරු වීමේදී පරිධියේ රටවලට අවාසි සහගත ලෙස අසමානතාවයක් ඇතිවන බව තර්ක කෙරිණි. මේ ප්‍රවාදය මගින් ප්‍රකට අර්ථික චින්තකයෙකු වූ ඩේවිඩ් රිකාඩෝ විසින් ඉදිරිපත් කර තිබූ “සාපේක්ෂ වාසිය” (comparative advantage) පිලිබඳ ප්‍රවාදය අභියෝගයට ලක කරන ලදි. මෙම “සාපේක්ෂ වාසිය” පිලිබඳ න්‍යාය මගින් ඩේවිඩ් රිකාඩෝ තර්ක කර තිබුණේ විශේෂ ප්‍රාගුණ්‍ය මත පදනම්ව සංවිධානය වී ඇති ජාත්‍යන්තර වෙළඳ ක්‍රමයක් මගින් ඊට සම්බන්ධ වන සෑම පාර්ශවයකටම සාපේක්ෂ වාසි සැලසෙන බවයි.
1960 ගණන් වල දී රැඩිකල් දේශපාලන පරිවර්තනයන්ට භාජනය වූ ත්‍රෛමහාද්පික රටවල ජනප්‍රිය වූ විකල්ප ආර්ථික සංවර්ධන ප්‍රවේශයක් වූ ආනයන ආදේශන කාර්මීකරණය (Import Substitution Industrialization) යන ක්‍රමය වර්ධනය වූයේ මේ පසුබිම තුළිනි. 1960 ගණන් වල හා 1970 ගණන්වල ලංකාවේ බලයට පත් වූ වාම නැඹුරුවක් සහිත හවුල් ආණ්ඩු විසින් ද ඉතා තියුණු ලෙස මේ ආර්ථික උපාය මාර්ගය අනුගමනය කිරීමට උත්සාහ දරණු ලැබීම. ආනයන ආදේශන කාර්මීකරණයේ අරමුණ වූයේ කාර්මික භාණ්ඩ කෙරෙහි වූ විදේශ වෙළඳ පොළ මත ඇති රැඳියාව හැකිතාක් අඩු කොට, ඒ භාණ්ඩ දේශීය වශයෙන් නිපදවීමයි.
කෙසේ වෙතත් ආර්ථික මෙන්ම දේශපාලන හේතු නිසා ද මෙම ක්‍රියාමාර්ගය දීර්ඝ කාලීන වශයෙන් සාර්ථක එකක් වූයේ නැත. 1977 දි බලයට පත් ලංකාවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මගින් මේ ක්‍රමය වෙනස් කරනු ලැබීය. එතැන් පටන් අනුගමනය කෙරුණේ කේන්සියානු බ්‍රෙට්න් වුඩ්ස් ක්‍රමය අර්බුදයට යාම නිසා ගෝලීය ධනවාදී ක්‍රමය මගින් අළුතෙන් හඳුන්වා දී තිබූ දැනට ජනප්‍රිය වී තිබෙන “නව-ලිබරල්” (Neo-Liberal) ක්‍රමයයි. මේ ක්‍රමය පදනම් වූයේ මිල්ටන් ප්‍රීඩ්මාන් (Milton Friedman) විසින් ඉදිරිපත් කරනු ලැබූ මූල්‍යවාදය (monetarism) යනුවෙන් හැඳින්වෙන න්‍යාය මතයි. කෙසේ වෙතත් පොදුවේ ගත් කළ මේ ආර්ථික වර්ධන උපායමාර්ග තුනම ක්‍රියාත්මක වූයේ සහ ක්‍රියාත්මක වන්නේ පොදුවේ ගත් කළ මුළින් සඳහන් කළ “සංවර්ධන පැරඩයිමය” තුළ බව කිව හැකිය.
“සංවර්ධන පැරඩයිමය” හා එහි ගැටලු
මෙම “සංවර්ධන පැරඩයිමයේ” ගැටලුව කුමක් ද? එසේත් නැතහොත් එහි අර්බුදය කුමක් ද? මෙම ප්‍රශ්නයට තරමක් විස්තරාත්මක පිළිතුරක් දීමට උත්සාහ කරමු.
මෙම දීර්ඝ පිළිතුරට ප්‍රවේශයක් ලෙස ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති “සංවර්ධන ගැටලුවේ” කේන්ද්‍රය වෙත යොමු වෙමු. සරළව කියනවා නම් මෙම සංවර්ධන ගැටලුවේ කේන්ද්‍රයේ තිබෙන්නේ රටේ සිටින සියලුම පුරවැසියන්ට සාපේක්ෂ වශයෙන් ඉහළ ජීවන අවශ්‍යතා අත්පත් කරගත හැකි මට්ටමේ ආර්ථික හැකියාවක් තනි තනි පුද්ගලයින්ට මෙන් ම පොදුවේ රටට අත්පත් කරගන්නේ කෙසේ ද යන ගැටලුව යි. මෙහි දී අවධාරණය කළ යුතු කරුණු දෙකක් තිබේ. පළමුවැන්න මෙම ආර්ථික හැකියාව අත් පත් කරගත යුතු වන්නේ වෙළඳ පොළට ප්‍රවේශ වීමට ඇති හැකියාව ඉහළ දැමීම මගිනි. වෙනත් වචන වලින් කියනවා නම් එක් එක් පුද්ගලයාගේ මිලදී ගැනීමේ ශක්තිය ඉහළ දැමීම මගිනි. එසේ වන්නේ වර්තමාන මනුෂ්‍යයාට සිය අවශ්‍යතා වලින් අති විශාල ප්‍රමාණයක් ඉෂ්ට කරගැනීමට සිදුව ඇත්තේ වෙළද පොළ හරහා ගොස් වීම නිසා යි.
ඇතැම් අවශ්‍යතා එසේ තනි තනි පුද්ගලයා ලෙස ඍජුව වෙළදපොළ වෙත ගොස් ඉෂ්ට කර ගත්තේ නැතත් පොදුවේ සමූහයක් ලෙස ඒවා ඉෂ්ට කර ගැනීමට වෙළඳ පොළ වෙත යාමට සිදුවේ. උදාරණයක් ලෙස නිදහස් සෞඛ්‍ය සේවය ගනිමු. තනි තනි පුද්ගලයාට රජයේ රෝහල් වලින් ප්‍රතිකාර නොමිලේ ලබා ගත හැකි වුව ද, සාමූහිකව (විශේෂයෙන් ම රාජ්‍යය මැදිහත් වී) එම ප්‍රතිකාර වලට අවශ්‍ය බෙහෙත්, උපකරණ යනා දී දේ වෙළඳපොළෙන් මිල දී ගැනීමට සිදු වේ. (වර්තමානයේ පවත්නා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වූ උද්ඝෝෂණ වලට විරුද්ධව, “නිදහස් අධ්‍යාපනයක් නැත; කවුරුන් හෝ ඒ පිරිවැය දරයි“ යන අතිශයින් දුර්වල තර්කය ඉදිරිපත් කරන්නේ මෙම තත්වය පටු ලෙස තේරුම් ගැනීමෙනි.)
අවධාරණය කළ යුතු අනෙක් කරුණ වන්නේ “සාපේක්ෂ වශයෙන් ඉහළ ජීවන අවශ්‍යතා” යන්න තීරණය වන්නේ කෙසේ ද යන්න යි. මෙය විවිධ සමාජ වල, විවිධ සංස්කෘතීන් වල විවිධ ආකාරයට තීරණය වීමට පුළුවන. එයට අපි කිසියම් සමාජයක පවත්නා “පාරිභෝජන සංස්කෘතිය” යැයි කියමු. දැනට මේ පිළිබඳ ව සංකීර්ණ සංවාදයකට නොගොස් අපි මේ ප්‍රශ්නය නිරාකරණය කර ගනිමු. ලංකාවේ ජීවත් වන සියලු දෙනාම පාහේ අවම වශයෙන් අපේක්ෂා කරන “සාපේක්ෂ ජීවන අවශ්‍යතා” ප්‍රමාණයක් ඇත. ඒවාට සාමාන්‍යයෙන් පහත සඳහන් දේ අයත්ය: ආරක්ෂා සහිත නිවසක්, ප්‍රමාණවත් ආහාර පාන, ඇඳුම්, සෞඛ්‍ය සහ සනීපාරක්ෂක අවශ්‍යතා, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට අවශ්‍ය දෑ, නිවසට අවශ්‍ය මුලික උපකරණ (ගෘහභාණ්ට සහ අනෙකුත් අවශ්‍ය දේ, රෑපවාහිනියක්, ශීතකරණයක්, දුරකථන), විනෝදාස්වාදය ලැබීම සහ විවේකය ගත කිරීම සඳහා වූ හැකියාව (පුවත් පත් මිලදී ගැනීම, සංචාරයක් යාම, නෑ දෑ හිත මිතුරන් බැලීමට යාම සහ ඔවුන් පිළිගැනීම), වාහනයක් (අඩුම වශයෙන් මොටර් බයිසිකලයක් හෝ) වැනි දේ මේ මූලික අවශ්‍යතා වලට අයත් වේ. පවත්නා දේශපාල-දෘෂ්ටිවාද-ලෝකය තුළ කොතැනක සිටියත් අපට මේ මූලික අවශ්‍යතා රාමුවෙන් ඉවතට ගමන් කිරීමට නොහැක. (මේ දිනවල ජවිපෙ නායක අනුර දිසානායක හා නිහාල් ගලප්පත්තිගේ පුතුන් සම්බන්ධව ජවිපෙ විරෝධීන් ගෙන යන ප්‍රචාර පදනම් වී ඇත්තේ මේ ගැටලුව පටු දේශපාලන අවශ්‍යතා තුළ අර්ථකථනය කිරීම මත ය.)
සමාජ ධූරාවලියේ ඉහළට යන විට මේ “සාපේක්ෂ ජීවන අවශ්‍යතා” වෙනස් වීමට පුළුවන. එනම් විශාල සමාගමක ප්‍රධාන විධායක නිලධාරායෙකුගේ “සාපේක්ෂ ජීවන අවශ්‍යතා” ලැයිස්තුවට පුද්ගලික ජෙට් යානාවක් මිල දී ගැනීම, අතිශයින් මිල අධික සංචාරක ගමනාන්ත වල නිවාඩු ගත කිරීම වැනි දේ අයත් විය හැක. නමුත් දැනට පවතින තත්වය යටතේ අපේ වැනි රටවල ඒ වැනි ඉහළ “සාපේක්ෂ ජීවන අවශ්‍යතා” ඇති අය සිටින්නේ සීමිත ප්‍රමාණයක් යැයි සිතුවත් (ඇත්ත වශයෙන්ම මේ ප්‍රමාණ ද සංඛ්‍යාත්මක වශයෙන් විශාල බව කිව හැක. දැනට ඒ ගැටලුවට යොමු නොවී සිටිමු.) බහුතරයක් ඉහත දැක්වූ ලැයිස්තුවට අයත් දේ අඩු වැඩි වශයෙන් ආසන්න ලෙස අපේක්ෂා කරයි.
ආර්ථික සංවර්ධනය පිළිබඳ ගැටලුවේ කේන්ද්‍රයේ ඇත්තේ මේ අවශ්‍යතා ප්‍රමාණය සියලු පුරවැසියන් සඳහා ඉෂ්ට කර දෙන්නේ කෙසේ ද යන්නයි. මෙහි දී අපට මෙම අවශ්‍යතාව ඉටු කිරීම පිළිබඳ දේශපාලන ප්‍රශ්නයේ දී (එම අවශ්‍යතා සැපයීම පිළිබඳ ආර්ථික ප්‍රශ්නය නොවේ) ප්‍රවේශ දෙකක් හමුවේ. අපි මේ දෙක “වෙළඳ පොළවාදී ප්‍රවේශය“ සහ “කොමියුනිස්ට්වාදී ප්‍රවේශය“ ලෙස බෙදා වෙන් කරමු. වෙළදපොළවාදී ප්‍රවේශය “පහළට කාන්දු වීමේ න්‍යාය” (trickle-down theory) ආශ්‍රයෙන් තේරුම් කිරීමට පුළුවන. එයින් අදහස් වන්නේ මූලික අදියරේ දී ඉහළ “සාපේක්ෂ ජීවන අවශ්‍යතා” සහිත පිරිස් වල අවශ්‍යතා කෙරෙහි වැඩි අවධානයක් සහිතව සීඝ්‍ර ආර්ථික වර්ධනය පිළිබඳ ගැටලුව විසඳීමට ප්‍රවේශ වන අතර ඒහි ප්‍රතිඵල ලෙස ක්‍රමාණු කූලව පහළ “සාපේක්ෂ ජීවන අවශ්‍යතා” සහිත අයගේ ආර්ථික ගැටලු වලට ද වක්‍ර ලෙස ආමන්ත්‍රණය කෙරෙන තත්වයක් ඇති වීම බලාපොරොත්තු විය හැකි බවයි. කළකට පෙර ගුණදාස අමරසේකර විසින් “අතපල්ලෙන් වැටෙන සංවර්ධනය” යනුවෙන් නම් කරන ලද්දේ මේ ප්‍රවේශයයි.
“කොමියුනිස්ට්වාදී ප්‍රවේශය“ යනුවෙන් මා නම් කිරීමට කැමති ප්‍රවේශය පදනම් වන්නේ මීට හාත් පසින්ම ප්‍රතිවිරුද්ධ ප්‍රවේශයක් මතය. එහි දී සියලුම පුරවැසියන් ගේ “සාපේක්ෂ ජීවන අවශ්‍යතා” පිළිබඳ ගැටලුවට ඍජුවම සහ ක්ෂණිකවම ආමන්ත්‍රණය කිරීම බලාපොරොත්තු වේ. එලෙසම “සාපේක්ෂ ජීවන අවශ්‍යතාවන් හී” තිබෙන ධූරාවලිගත වීම අහෝසි කිරීම වෙනුවෙන් ද එම ප්‍රවේශය පෙනී සිටී. ඇත්ත වශයෙන්ම දැනට පවත්නා තත්වය තුළ එම ප්‍රවේශයට අදාළව දැකිය හැක්කේ පහළ මට්ටමේ “සාපේක්ෂ ජීවන අවශ්‍යතා” ඇති පිරිස් වල අවශ්‍යතා මට්ටම ඉහළ “සාපේක්ෂ ජීවන අවශ්‍යතා” සහිත පිරිස් වල අවශ්‍යතා මට්ටමටම නොවේනම් ඊට යම් මට්ටමකින් කිට්ටු තලයකට ගෙන ඒම මත පදනම් වූ දැක්මකි. (මේ අවසානයට කී කාරණය අවධාරණය කිරීම අපගේ ඉදිරි සාකච්ඡාව සඳහා අතිශයින් ප්‍රයෝජනවත්ය.)
මෙහි දී ආර්ථික වර්ධනය අත්පත් කරගැනීම පිළිබඳ ගැටලුවට සාපේක්ෂව ගත් කල් හී වෙළදපොළවාදී “පහළට කාන්දු වීමේ න්‍යාය” අනුදක්නා පිරිස් වලට වඩා සංකීර්ණ ගැටලුවකට “කොමියුනිස්ට් ප්‍රවේශය” අනුගමනය කරන පිරිස් මුහුණ දෙයි. එනම් දෙවනුව කී ප්‍රවේශයේ අරමුණ වූ සමස්ත ජනයාටම කිසිඳු වෙනස් කිරීමකට යටත් නොකොට යම් ඉහළ මට්ටමක “සාපේක්ෂ ජීවන අවශ්‍යතා” සැපිරීමට නම් ප්‍රායෝගික වශයෙන් අවශ්‍ය කෙරෙන ආර්ථික වර්ධනයේ මට්ටම අතිශයින් ඉහළ එකක් වීම යි.
මෙහි දී අපිට මතුකිරීමට හැකියාව තිබෙන, සහ මා මේ රචනය මගින් මතු කිරීමට අපේක්ෂා කරන අරමුණ කර අප යොමු කරනු ලබන, ප්‍රශ්නයක් වෙත යොමු වෙමු. ප්‍රශ්නය මෙය යි. “සාපේක්ෂ ජීවන අවශ්‍යතා” යන්න අප නිර්වචනය කරනු ලැබිය යුත්තේ දැනට අප පිළිගන්නා ජීවන දැක්ම තුළ පමණක් ද? එසේත් නැතිනම් දැනට අප විසින් අනුගමනය කරනු ලබන ජීවන දැක්මට විකල්ප ජීවන දැක්මක් තුළ අපට “සාපේක්ෂ ජීවන අවශ්‍යතා” පිළිබඳ ගැටලුව මතු කළ හැකි නම් අපට මේ ප්‍රශ්නය වෙත වෙනත් ආකාරයකට ප්‍රවේශ වීමට හැකියාවක් නොමැතිද?
මගේ යෝජනාව වන්නේ ප්‍රශ්නය තරම් පිළිතුර සරල නොමැති බවයි. ඒ නිසා මේ ගැටලුව වෙත විස්තරාත්මකව යොමු වෙමු. ඊට පෙර දැනට පවත්නා ජීවන දැක්මට විකල්ප ජීවන දැක්මක් පිළිබඳ දැනට පවතින කතිකාව වෙත මදක් යොමු වීම වැදගත්ය.
දැනට ඉදිරිපත් වී ඇති “විකල්ප” කීපයක් අප ඉදිරියේ ඇත. වඩාත් ජනප්‍රිය “විකල්පය” ලෙස මට පෙනෙන්නේ “ධරණීය සංවර්ධනය” (Sustainable Development) පිළිබද කතිකාවයි. මේ කතිකාවේ ඉතාම ප්‍රකට ලාංකේය ප්‍රකාශකයකු වූ, අභාවප්‍රාප්ත සරත් ප්‍රනාන්දු සමඟ මා කළ සාකච්ඡාවක් මෙහි ලා ගෙන හැර දැක්වීමට කැමැත්තෙමි. ඇත්ත වශයෙන්ම සරත් ප්‍රනාන්දුගේ ප්‍රවේශය අධිපති “ධරණීය සංවර්ධනය” පිළිබඳ කතිකාවට ද වඩා අතිශයින් රැඩිකල් එකක් වී ය. ඔහු එය ඉදිරිපත් කළේ “මහ පොළව සුවපත් කරමු!” යන ආකර්ශණීය සටන් පාඨය පෙරදැරි කරගෙනයි. ඔහු මෙම සටන් පාඨය ඉදිරිපත් කළේ කෘෂිකර්මයට මෙන්ම මහා පරිමාණ කාර්මික නිෂ්පාදනයට ද අදාළවයි.
විශේෂයෙන්ම දැනට පවත්නා “හරිත විප්ලව” කෘෂිකර්මයේ ඇති විනාශ කාරී නැඹුරුව විවේචනය කරමින් ඔහු කියා සිටියේ, මහ පොළොවේ, විශේෂයෙන්ම පසේ ඇති පුනර්ජනනීය චක්‍රයට බාධා නොවන ආකාරයෙන් කෘෂි කර්මයේ නියැලිය යුතු බවයි. මගේ ප්‍රශ්නය වුනේ මේ මගින් කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ඇති අධික ඉල්ලුම පිළිබඳ ගැටලුවට පිළිතුරු සපයන්නේ කෙසේ ද යන්න යි.
මේ ගැටලුව විශේෂයෙන් මතු වන්නේ කෙසේ ද? අප ජීවත් වන සමාජ සංදර්භයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ නොනවතින නාගරීකරණය යි. මෙම නොනවතින නාගරීකරණයේ අනිවාර්ය ප්‍රතිඵලයක් වන්නේ කෘෂිකර්මයේ නොනියැලෙන ජනගහනය වැඩි වීමයි. මේ නිසා කෘෂිකර්මයේ නියැලෙන පිරිස් වලට අති විශාල අතිරික්තයක් නිෂ්පාදනය කිරීම අනිවාර්යයක් වේ. දැන් ගැටලුව වන්නේ මේ මහා පරිමාණ කෘෂි නිෂ්පාදනය සරත් ප්‍රනාන්දු විසින් යෝජිත “මහ පොළව සුවපත් කරන” ආකෘතිය තුළ සිදු කරන්නේ කෙසේ ද යන්නයි. මේ සඳහා පිළියම් ලෙස ඉදිරිපත් කර ඇති කාබනික ගොවිතැන, නාගරික ගෙවතු වගාව වැනි ක්‍රියාමාර්ග ගැටලුවේ පරිමාණය සමඟ සන්සන්දනය කළ විට නොවැදගත් මට්ටමේ ඒවාය.
මා සරත් ප්‍රනාන්දු වෙත යොමු කළ අනෙක් ගැටලුව වන්නේ (විශේෂයෙන්ම) නාගරික ජනයාගේ (සහ සාමාන්‍ය යෙන් නූතන මනුෂ්‍යයාගේ) පරිභෝජන අවශ්‍යතා සැපිරීම පිළිබඳ ගැටලුවයි. මෙය ඉහතින් සාකච්ඡා කළ “සාපේක්ෂ ජීවන අවශ්‍යතා සැපිරීම” පිළිබඳ ගැටලුව සමඟ සම්බන්ධ වේ. මා මෙහි දී භාවිත කලේ සරත් ප්‍රනාන්දු පිළිබඳව ම උදාහරණය යි. මා හොඳින් දැනගෙන සිටි ආකාරයට සරත් ප්‍රනාන්දු කිසිසේත්ම පරිභෝජන සංස්කෘතිය තුළ ගිලී සිටි පුද්ගලයෙක් නොවේ. සත්‍යජිත් රායි ගේ “ඝාරේ බයිරේ” චිත්‍රපටයේ එන විදේශීය භාණ්ඩ වර්ජනය කිරිමේ ව්‍යාපාරයේ නියැලෙන ජාතිකවාදී නායකයා මෙන් සරත් ප්‍රනාන්දුගේ ද ව්‍යතිරේකය වූ යේ අධික දුම් පානයයි. (චිත්‍රපටයේ චරිතයට එය අදාළ වන්නේ ඔහු විදේශීය දුම්වැටි පානය කිරීම නිසාය.)
කෙසේ වෙතත් සරත් ප්‍රනාන්දු නිතරම විදේශ ගත වූවෙකි. එසේ බොහෝ විට එලෙස විදේශ ගත වූ යේ ද නූතන සංවර්ධන ප්‍රවේශයේ අර්බුදය පිළිබඳ ගැටලුව මතු කරන විවිධ අවස්ථාවලට සහභාගී වීම පිණිසයි. තේරුම් ගත හැකි ලෙසම ඔහු විදේශ ගමන් වල යෙදුනේ ගුවන් යානා උපයෝගී කරගෙනයි. (මෙසේ ප්‍රකාශ කිරීම කෙනෙකුට විහිළුවක් ලෙස පෙනී යාමට ද ඉඩ තිබේ.) මෙහි ඇති ගැටලුව කුමක්ද? ගැටලුව වන්නේ ගුවන් යානය නවීන මහා පරිමාණ කාර්මික නිෂ්පාදනයේ අග්‍රඵලයක් වීම යි. වෙනත් ආකාරයකින් කියනවා නම් ගුවන් යානය නිපදවීම සඳහා, සරත් ප්‍රනාන්දු ම කියන “මහපොළොව රෝගී කරන“ එහි පුනර්ජනනීය ශක්තිය විනාශ කරන් පරිසරයේ තුළිතතාවය බිඳ දමන දැවැන්ත ක්‍රියාවලියක නිරත වීමට සිදුවේ.
මීට ප්‍රායෝගික විකල්පයක් තිබේ ද? අප ජීවත්වන යුගයේ ගුවන්යානයක් භාවිත නොකොට විදේශ ගමන්වල යෙදීමේ හැකියාවක් තිබේ ද? පැරණි ආකාරයට පරිසරයේ තුළනයට අඩු බලපෑමක් කරන රුවල් නැව් යොදා ගෙන විදේශ ගමන් වල යෙදීම කළ හැකි දෙයක් ද?
මෙයින් තවත් ප්‍රශ්නයක් මතු වේ. ගුවන් යානා භාවිත කරමින් ගුවන් ගමන් වල යෙදීමේ සදාචාරමය අයිතියක් ඇත්තේ සරත් ප්‍රනාන්දු වැන්නෙක්ට පමණක් ද? පරිසර ප්‍රශ්නය පිළීබඳව සාකච්ඡා කිරීමට ගුවන් මගින් විදේශ රටවලට යන සරත් ප්‍රනාන්දුට මෙන්ම වෙනත් විවිධ කියාපෑම් මත ඒ අකාරයෙන් විදේශ රටවලට යාමට සෙසු පුද්ගලයින්ය ඇති සදාචාරමය අයිතිය අපට ප්‍රතික්ෂේප කළ හැකි ද? එසේම ගුවන් ගමන් වල නොයෙදෙන එහෙත් එසේ යෙදීමට ආශාවක් දක්වන පිරිස් වලට ගුවන් ගමන් වල යෙදීමට ඇති සදාචාරමය අයිතිය වෙනුවෙන් ද අපි පෙනී සිටිය නො යුතුද? එසේ පෙනී සිටින්නේ නම් අපි අනිවාර්යයෙන්ම තව තවත් ගුවන් යානා නිෂ්පාදනය සඳහා දිරිමත් කිරීමක් සපයනවා නොවේද? වෙනත් වචන වලින් කියනවා නම් ගුවන් යානා වලට ඇති ඉල්ලුම ඉහළ දැමීමට කටයුතු කරනවා නොවේ ද?
ජාතික චින්තන ව්‍යාපාරය විසින් අධිපති සංවර්ධන මාදිළිය පිළිබඳව ඉදිරිපත් කළ විවේචනය සරත් ප්‍රනාන්දු ගේ විවේචනයටත් වඩා බෙහෙවින් රැඩිකල් එකකි. එසේ වුව ද ඒ මගින් ඉදිරිපත් කරන ලද විකල්ප දැක්ම තරමක් දුරවබෝධ එකකි. ඒසේ වුව ද එහි අඩංගු විකල්ප ප්‍රවේශය තුළ මූලික සාධකයක් අවධාරණය කෙරේ. එනම් පවත්නා අධිපති සංවර්ධන මාදිලිය වෙන් නොකළ හැකි පරිද්දෙන් බටහිර චින්තනය සමඟ ගැට ගැසී ඇති බවයි. කෙසේ වෙතත් අධිපති සංවර්ධන මාදිළිය ප්‍රතිකෂේප කොට යෝජනා කෙරෙන විකල්ප සංවර්ධන මාදිළිය කුමක්ද යන්න සම්බන්ධයෙන් ජාතික චින්තන ගුරු කුලය තුළ ප්‍රමාණවත් අවධානයක් යොමු වීම ඇති බවක නොපෙනේ.
දැනට ජාතික චින්තන ගුරු කුලයේ බුද්ධිමය නැඹුරුව නියෝජනය කරන්නෙක් ලෙස එම ගුරු කුලය තුළ පිළිගැනීමක් නැති වුවත් මේ සම්බන්ධව විධිමත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට උත්සාහ කරනු ලැබුයේ ගුණදාස අමරසේකරයි. ඒ 1993 දී ය. තමන් අනුගමනය කරන සංවර්ධන ප්‍රවේශය විවේචනය කරන්නන් ඊට විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතු බව එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සිය ප්‍රතිවාදීන්ට අභියෝග කළ කල් හී ගුණදාස අමරසේකර මහතා එම අභියෝගය සාධාරණ එකක් යැයි පවසා එය භාර ගැනීමට ඉදිරිපත් විය. ඒ අනුව ඔහු “ජාතික චින්තනය හා ජාතික ආර්ථිකය” යනුවෙන් කුඩා පුස්තිකාවක ලියා පළ කළේය.
කෙසේ වෙතත් එම නිබන්ධය තුළ වර්තමාන සංවර්ධන ගැටලුවලට බැරෑරුම් ලෙස ආමන්ත්‍රණය කිරීමක් දැකීමට නුපුළුවන. මේ කෘතිය තුළ මූලික වශයෙන් දැකිය හැක්කේ පවත්නා සංවර්ධන ආකෘතිය විවේචනය කිරීමක් හා ඊට විසඳුම වන්නේ පැරණි ගැමි ආර්ථිකය කරා යාම බව යෝජනා කිරීමක් පමණි. ඒ සඳහා තිබෙන ප්‍රායෝගික හැකියාව පිළිබඳ බැරෑරුම් සාකච්ඡාවක් එම කෘතිය තුළ කිසිසේත්ම දැකීමට නුපුළුවන. ඔහු එහි දී, රට පුරා ඇඟළුම් කර්මාන්තශාලා පිහිටුවීමේ ප්‍රේමදාස මහතාගේ ව්‍යාපෘතිය විවේචනය කලේ එය ‘අපගේ ගැමි-කෘෂි ආර්ථිකය නමැති මිනීපෙට්ටිය මත ගසන අවසාන ඇනය’ බව පවසමිනි.
කෙසේ වෙතත් එම ජාතික චින්තනවාදීන් අතින් ම මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය කාලයේ සිදු වූ “සීඝ්‍ර සංවර්ධනය” උත්කර්ශයට නංවනු ලැබීම සිත්ගන්නා සුළු ය. කලිනුත් සඳහන් කළ පරිද්දෙන්, ගංවතුර ව්‍යසනය තීව්‍ර කිරීම සඳහා අධිවේගී මාර්ග බල පා ඇතැයි ඇතැම් අය ප්‍රකාශ කළ කල් හී, ඇතැම් විට ඍජුවත්, ඇතැම් විට වක්‍රවත් එම විවෙචන වලට පිළිතුරු බැඳීමට ජාතික චින්තන ගුරු කුලයේ පිරිස් නොපැකිලව ඉදිරිපත් වූහ. ඇතැම් විට ඒ පිරිස් ප්‍රකාශ කරනු ඇත්තේ තමන් ඉදිරිපත් වූ යේ අදාළ විවේචකයින් රාජපක්ෂ මහාතගේ කාර්ය සාඵල්‍යය අසාධාරණ ලෙස හෙළා දකින කල් හී ඊට විරෝධය පෑමට බව කීමට ඉඩ තිබේ. එසේ වුව ද ඒ මගින් ඇත්ත වශයෙන්ම සිදු වනු දැකිය හැක්කේ තමන් විසින් සංකල්පීය වශයෙන් ප්‍රතික්ෂේප කරනු ලබන සංවර්ධන මාදිළිය වක්‍ර ආකාරයකින් සුජාතකරණය කිරීමයි. කෙසේ වෙතත් ඒ ආසන්න ගැටලුව මොහොතකට හෝ අමතක කොට ජාතික චින්තන ව්‍යාපාරය විසින් පවත්නා “සංවර්ධන ආකෘතිය“ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන මූලික විවේචනය වෙත යොමු වෙමු.
මෙම ජාතික චින්තන ප්‍රවේශයේ මූලික අදහස, එනම් මේ සංවර්ධන ආකෘතිය බටහිර රටවල පහළොස්වන ශතවර්ශයේ පමණ සිට වර්ධනය වූ නවීනත්වයේ ප්‍රතිඵලයක්ය යන ප්‍රකාශය, පිළිගත හැකි එකක් බව කිව යුතුය. මෙහි දී මතුවන ගැටලුව වන්නේ මෙම නවීනත්ව ව්‍යාපෘතියෙන් ඉවත් වන්නේ කෙසේ ද යන්න යි. මෙහි දී මගේ මූලික තර්කය වන්නේ නවීනත්වය පීළිබඳ ජාතික චින්තන ව්‍යාපාරයේ ප්‍රවේශය බෙහෙවින් සරළ මතික එකක් බව යි.
නවීනත්වය
බටහිර වර්ධනය වූ නවීනත්වයේ පාර්ශව ගණනාවක් ඇත. එහි ප්‍රතිඵල ලෙස වර්ධනය වූ වැදගත් අදහස් දෙකක් වූයේ “පුද්ගලයා” පිළිබඳ අදහස හා “ප්‍රජාතන්ත්‍රවාදය” පිළිබඳ අදහසයි. “පුද්ගලයා” පිළිබඳ” නවීනත්වවාදී අදහස බටහිර ලිබරල් වාදය හා ඒ මගින් සුජාත කරනු ලැබූ ආර්ථික සංවිධාන ආකෘතිය වූ “ධනවාදය” මගින් නිෂ්චිත අන්තයක් කරා වර්ධනය කරනු ලැබ ඇත. කෙසේ වෙතත් මේ මගින් මූලික වශයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති දෙයක් වන්නේ මනුෂ්‍යයාගේ සාමූහික ජීවිතය පිළිබඳ පාර්ශවයයි. මනුෂ්‍යයා නෛසර්ගිකවම සාමූහික ජීවියෙකි. වර්තමානය වන විට මනුෂ්‍යාගේ සාමූහික රඳා පැවැත්ම තව තවත් සංකීර්ණ වී ඇත. වර්තමානයේ ධනවාදයේ අසීමිත වර්ධනය මගින් සිදු වී ඇත්තේ මනුෂ්‍ය ගේ මේ සාමූහික රඳා පැවැත්ම මුළුමනින්ම අභියෝගයකට ලක් කිරීමයි. ධනවාදය සඳහා දෘෂ්ටිවාදීමය ආවරණය සපයන ලිබරල්වාදයට මීට විසඳුමක් ඇත්තේ නැත.
“ප්‍රජාතන්ත්‍රවාදය” පිළිබඳ අදහස මගින් පුද්ගලයා සමූහයක් ලෙස දේශපාලන වශයෙන් බලසතු කරනු ලැබ ඇත. මෙය මනුෂ්‍ය ඉතිහාසයේ කිනම් කළෙකවත් දක්නට නොලැබුණු සංසිද්ධියකි. ජාතික චින්තනය මගින් උත්කර්ශයට නංවනු ලබන ලංකාවේ පැරණි කාලයේ පැවැති සමාජ-ආර්ථික සැකැස්ම තුළ පවා දක්නට ලැබුණු එක් පාර්ශවයක් වූයේ කිසියම් ප්‍රභූ පිරිසක් සිය ආර්ථික, සමාජයීය. සංස්කෘතික හා දේශපාලන අවශ්‍යතා මත බහුතරය මත, කිසිසේත් ප්‍රශ්න කරනු නොලැබිය හැකි ආකාරයේ, ආධිපත්‍යයක් පවත්වාගෙන යාමයි.
ඒ වගේම “ප්‍රජාතන්ත්‍රවාදය” පිළිබඳ අදහස හරහා වර්ධනය වී ඇති තවත් අදහසක් වන්නේ සමානාත්මතාවය පිළිබඳ අදහසයි. සමානාත්මතාවය පිළිබඳ අදහස බුදු දහම තුළ පවතින බවට තර්ක කෙරී තිබුණ ද, සමානාත්මතාවයට ප්‍රතිවිරුද්ධ වූ, ධූරාවලිය මත පදනම් වූ දේශපාලන සැකැස්මට අභියෝග කළ හැකි මට්ටමේ සංකල්පයක් ලෙස එය කිසිදින, ඉන්දියාවේ දී හෝ ලංකාවේ දී හෝ වර්ධනය වූයේ නැත. බුදුදහම තුළ පැවැති සමානාත්කාවය පිළිබඳ අදහස් ආරම්භයේ දී තරමක් දුරට හෝ භික්ෂු සංඝයේ සංවිධාන මූලධර්මයක් ලෙස පැවැති අතර, ඊට පිටින්, බුදු දහම ක්‍රමාණුකූලව හා ශක්තිමත් ලෙස, පුද්ලයින්ගේ අසමානත්වය මත පදනම් වූ ධූරාවලිය ව්‍යූහගත ලෙස පවත්වාගෙන ගිය දේශපාලන ක්‍රම තුළට තදින් අනුගත වූ වා පමණක් නොව එම ධූරාවලිගත ව්‍යුහයන් යුක්ති සහගත කරන දෘෂ්ටිවාදී මෙවලමක් බවට ද පත් විය. එ පමණක් නොව භික්ෂු සංඝයට අදාළව පවා සමානාත්මතාවය හුදෙක් වත් පිළිවෙත්මය අදහසක් පමණක් බවට ක්‍රමයෙන් පත් විය. දේපළ වල හිමිකාරිත්වය මුල් කරගෙන සංඝ සංවිධානය සමානාත්මතාවය පිළිබඳ මූලධර්මයෙන්, එහි වත්පිළිවෙත්මය භූමිකාව පවා අභියෝගයට ලක්වන ආකාරයෙන්, කොයිතරම් දුරස්ත වූවා ද යන්න මහනුවර යුගයේ දී ඇති වූ සංඝ ප්‍රතිසංස්කරණයත් සමඟ ඊට කුල සාධකය රිංගා ගත් ආකාරය දෙස බැලීමෙන් පෙනේ.
කෙසේ වෙතත් නවීනත්වය හරහා මතු වූ සමානාත්මතාවය පිළිබඳ අදහසේ වර්ධනය මීට හාත්පසින්ම වෙනස් වේ. පවතින ධූරාවලිගත ආධිපත්‍යයට දේශපාලන වශයෙන් අභියෝග කරන එහි වලංගුභාවය දෘෂ්ටිවාදීමය වශයෙන් ප්‍රශ්න කරන මෙවලමක් බවට සමානාත්මතානය පිළිබඳ නවීනවාදී අදහස පත් වී ඇත. නවීන්වය මගින් ම උපත දී ඇති කොමියුනිස්ට්වාදී අදහස් තුළ අපට හඳුනාගත හැක්කේ මේ ලක්ෂණයයි. මේ ලියන මොහොතේ පවා අධිපති සංවර්ධන මාදිලියේ හා ධනවාදී පද්ධතියේ විවේචකයින්ට හා ඊට විරුද්ධව සාමූහිකව මැදිහත්වන අරගලකරුවන්ට ඇති ප්‍රධාන දෘෂ්ටිවාදීමය හා දේශපාලන අවිය වන්නේ මෙම සමානාත්මතාවය පිළිබඳ නවීන සංකල්පය යි.
ජාතික චින්තනවාදීන් විසින් ප්‍රමාණවත් ලෙස මතු නොකරනු ලබන ප්‍රශ්නය වන්නේ නවීනත්වයට පිටින් මනුෂ්‍යයා අතර සමානත්වය පිළිබඳ අදහස දේශපාලන සංකල්පයක් ලෙස පරිකල්පනය කරන්නේ කෙසේ ද යන්නයි. ජාතික චින්තනයේ ආරම්භක පොරොන්දුව වූයේ එය වුවත් එය සාර්ථක ව්‍යායාමක් වී ඇති බව පෙනන්නේ නැත.
කෙසේ වෙතත් අපගේ සාකච්ඡාවට මෙහි දී මූලික වශයෙන් වැදගත් වන්නේ සංවර්ධනය පිළිබඳ ගැටලුවට ජාතික චින්තන ව්‍යාපාරය මුහුණ දෙන්නේ කෙසේ ද යන්නයි. අපට එහිදී ද ජාතික චින්තන ව්‍යාපාරය තුළින් බැරෑරුම් මැදිහත් වීමක් දැකීමට අපහසුය. ඉහතින් ද සඳහන් කළ ආකාරයට ජාතික චින්තන ව්‍යාපාරය “සංවර්ධනය” පිළිබඳ ගැටලුවට ප්‍රවේශ වන්නේ ඉහතින් සාකච්ඡා කළ පශචාත් 1929 අවධියේ මතු වූ “සංවර්ධන කතිකාව” ද ඉක්මවා ගිය ප්‍රවේශයකිනි; එනම් සමස්ත “නවීනත්වයම” පිළිබඳ විවේචනයක් මගිනි. “චින්තනය” නමින්, එතරම් සුපැහැදිළි ආකාරයකට ප්‍රස්තූත ගත කර නැති සංකල්පය භාවිත කොට, ඒ මගින් මූලික වශයෙන් කියැවෙන්නේ “නවීනත්වය” “යුදෙව්-ක්‍රිස්තියානි-ග්‍රීක චින්තනය” මත පදනම් වී ඇති බවත් අවශ්‍ය වන්නේ ලංකාව තුළ පැවැතියා යැයි කියන “සිංහල-බෞද්ධ චින්තනය” වෙත නැවත ගමන් කිරීම බවත් ය. කෙසේ වෙතත් මෙම “සිංහල-බෞද්ධ චින්තනය වෙත නැවත ගමන් කිරීම” යන්නෙන් සංයුක්ත ලෙස අදහස් කරන්නේ කුමක් ද යන්න පැහැදිළි නැත. විශේෂයෙන් වර්තමාන මනුෂ්‍යයා, අඩුම තරමින් ලංකීකයා, මුහුණ දී ඇති ආර්ථික හා සමාජ ගැටලුවලට ඒ මගින් සංයුක්ත ලෙස ආමන්ත්‍රණය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ජාතික චින්තන ව්‍යාපාරය තුළ ප්‍රමාණවත් සාකච්ඡාවක් දක්නට නැත.
මේ සාකච්ඡාව මතුවන අවස්ථාවල දී, විශේෂයෙන්ම එහි විවේචකයින් විසින් මීට අදාළ ඇතැම් සංයුක්ත ප්‍රශ්න කිරීම් සිදුකරන අවස්ථාවන් වල දී, ජාතික චින්තන ව්‍යාපාරයේ සාමාජිකයින් දැනට අවධාරණය කර ඇති කරුණ වන්නේ මුළින්ම අවශ්‍ය කරන්නේ බටහිර නවීනත්වයේ චින්තනය ප්‍රතික්ෂේප කොට “සිංහල-බෞද්ධ චින්තන” ආධිපත්‍යය තහවුරු කිරීම බවයි. එතෙක් මතු කෙරෙන සංයුක්ත ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම නිෂ්ඵල දෙයක් බව ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත් මා සිතන ආකාරයට මෙම ප්‍රවේශය අතිශයින් ගැටලුසහගත වේ. බටහිර නවීනත්වය ලොව පුරා තහවුරු වූ යේ හුදෙක් අදහස් පද්ධතියක් ලෙස, එහෙමත් නැත්නම්, ජාතික චින්තන ව්‍යාපාරය කියන ලෙස, හුදු “චින්තනයක්” ලෙස නොව, මනුෂ්‍යයාගේ ප්‍රායෝගික ජීවිතය කෙරෙහි කෙරෙහි සාධනීය ලෙස බලපාන්නා වූ ක්‍රියාවලියක් ලෙසටයි. මේ අවසානයට කී අදහස මදක් විදාරණය කරමු.
මෙහි දී මට ඩේවිඩ් ලැන්ඩෙස් (David S. Landes) ලියූ “The Wealth and Poverty of Nations” නමැති සුපකට ග්‍රන්ථයේ එන විස්තරයක් මතකයට එයි. ඔහු එහි දී නාදන් රොත්ස්චයිල්ඩ් නමැති දහඅටවන ශතවර්ශයේ අග හා දහනවවන ශතවර්ශයේ මුල එංගලන්තයේ විසූ ප්‍රකට යුදෙව්-ජර්මානු ව්‍යාපාරිකයාගේ මරණය පිළිබඳ පුවත අපට සිහිගන්වයි. රොත්ස්චයිල්ඩ් මියයන්නේ ඔහුගේ පිටේ හටගන්නා කුඩා ඉදිමුමක් මත ඇතිවන ආසාදන තත්වයක් හේතුවෙනි. ලැන්ඩෙස් පවසන්නේ, එවකට මිහිමත ජීවත් වූ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකිය හැකි, එමෙන්ම එවකට මෙළොව පැවැති ඕනෑම මිල අධික ප්‍රතිකාරයක් ලබා ගැනීමට තරම් ධනයක් හිමිව සිටි, නාදන් රොත්ස්චයිල්ඩ් මියයන්නේ වර්තමානයේ නම් ඉතා අඩුමිලට සාමාන්‍ය ඖෂධ වෙළඳ සැලකින් ලබාගත හැකි ප්‍රතිජීවක ඖෂධයක් මගින් සුවකළ හැකි රෝගයකින් බවයි. මෙයින් කියැවෙන්නේ කුමක්ද? නවීනත්වයේ ප්‍රතිඵලයක් ලෙස වර්ධනය වූ විද්‍යාත්මක දැනුමට මනුෂ්‍යාගේ ජීවිත මත බලපෑමට ඇති විභවතාවය කෙතරම් ඉහළ ද යන්නයි. ලැන්ඩෙස්ගේ ම වචන වලින් කියනවානම් මේ බලපෑම සිදුවුනේ ආගමික විශ්වාස හෝ අදහස් වල ඇති වූ වෙනස් කම් නිසා නොව කාර්මික සොයාගැනීම් නිසාය (The answer was found, not in changed religious belief or doctrine, but in industrial innovation. -පිටුව xviii).
මෙලෙස, නවීන විද්‍යාව මගින් මිහිමත ඇති කළා වූ වඩාත්ම විප්ලවීය වෙනස වන්නේ මනුෂ්‍යයා ගේ ආයු කාලය වැඩි කිරීමත්, මනුෂ්‍ය ජනගහනය අති සිඝ්‍රයෙන් වර්ධනය කිරීමත් ය. පහසුවෙන් සේදිය හැකි රෙදි සහ සබන් මහා පරිමාණයෙන් හා ලාබයට අලෙවි කළ හැකි ප්‍රමාණවලින් නිෂ්පාදනය කිරීම, ආහාර නිෂ්පාදනය වැඩි වීම, බැක්ටීරියා ආසාදන මැඩලීම සදහා ඖෂධ සොයා ගැනීම, බෝවන රෝග සඳහා එන්නත් ක්‍රම වර්ධනය වීම, මහා පරිමාණයෙන් ජනයා මරණයට පත් වීමට හේතු වූ (මැලේරියා වැනි) රෝග මර්ධනය සඳහා ක්‍රම වර්ධනය වීම මෙහි ලා ඉතා වැදගත් වේ.
ලංකාවේ විසිවන ශතවර්ශයේ පළමු භාගයේ සිදු වූ දැවැන්ත ජනගහන වර්ධනය ආශ්‍රයෙන් අපට මේ තත්වය හොඳින් අවබෝධ කරගැනීමට පුළුවන. මෙම ජනගහන වර්ධනයට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ මැලේරියාව, වසූරිය වැනි විශාල වශයෙන් ජනයා මරණයට පත් කළ වසංගත රෝග පාලනය කිරීමත්, එසේ ම, පොදුවේ සෞඛ්‍ය පහසුකම් වැඩ් දියුණු වී, මාතෘ හා ළදරු මරණ ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩුවීමත් ය.
එසේ ම ජනයා අතරට නවීනත්වය ගමන් කළේ, ජාතික චින්තනවාදීන් කියන ආකාරයට, ඊනියා “බටහිර” විද්‍යාව අධිපති දැනුමක් ලෙස ස්ථාපිත වීම මගින් නොව ඒ දැනුම් පද්ධතිය මගින් වර්ධනය කෙරුණු කාර්මික නිෂ්පාදන එහි වෙනත් ජයග්‍රහණ මගින් ජනයාගේ ජීවිත පහසු කිරීමට ඊට තිබූ හැකියාව නිසා ය. මෑතක දී මහාචාර්ය නිරා වික්‍රමසිංහ විසින් රචනා කරනු ලැබූ “Metallic Modern” නමැති කෘතිය ලංකාවේ මෙම ක්‍රියාවලිය සිදු වූ ආකාරය තේරුම් ගැනීමට ඉතාම වැදගත්ය. එම කෘතිය මගින් විචිත්‍ර ලෙස පෙන්වා දෙන්නේ මහන මැෂිම, බයිසිකලය වැනි සරළ කාර්මික නිෂ්පාදන ජනයා අතර ව්‍යාප්ත වීම නිසා ජන ජීවිතයේ කොයිතරම් මූලික විපර්යාසයක් සිදු වූවා ද යන්න යි. ඇත්ත වශයෙන්ම මෙම යන්ත්‍ර සාමාන්‍ය ජනයාගේ ජීවිත වල ධාරිතාවය විශාල වශයෙන් පුළුල් කරන ලදි. මේ පිළිබඳ ඉතා කදිම කලාත්මක නියෝජනයක් “දඬු මොණර” යන සිංහල චිත්‍රපටයේ ද දක්නට ලැබේ.
එසේ ම වාමාංශික ව්‍යාපාරය ලංකාවේ විශේෂයෙන් ම ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යාප්ත වූ ආකාරය සොයා බැලීම ද මෙහි දී බෙහෙවින්ම වැදගත් ය. ග්‍රාමීය ප්‍රදේශවල වාමාංශික ව්‍යාපාරයට තහවුරු වීමට හැකියාව ලැබුණේ මැලේරියා වසංගතයට ගොදුරු වී සිටි ජනයාට (බටහිර) වෛද්‍ය ප්‍රතිකාර හඳුන්වා දීම මගින් හා සමානාත්මතාවය මත පදනම් වූ නවීනත්වවාදී සමාජ ප්‍රතිමාන මත පදනම් වෙමින්, පැවැති සම්ප්‍රදායික කුල සහ ප්‍රභූ කේන්ද්‍රීය සමාජ-දේශපාලන ධූරාවලියට අභියෝග කිරීම මගිනි. විශේෂයෙන්ම ඒ හරහා කුල ධූරාවලියේ පහළ කොටස් සංවිධානය කොට ඔවුන් බලගන්වනු ලැබීම තුළිනි.
විකල්ප සඳහා ඇති වියහැකියා
දැන් මෙම රචනය එහි අවසාන අදියරට පැමිණ ඇත. එය අවසන් කිරීම සඳහා මෙවැනි ප්‍රශ්නයක් මතු කිරීමට කැමැත්තෙමි. ‘මේ රචනය තුළ සාකච්ඡා කර ඇති සියලු සංකීර්ණතා සැලකිල්ලට ගෙන අපට පවත්නා සංවර්ධන මාදිලියට අභියෝග කළ හැක්කේ සහ, ඒ අතරම මූලික වශයෙන් සමානාත්මතාවය පිළිබඳ ප්‍රතිමාන මත ජනයාගේ අවශ්‍යතා සාධාරණ ලෙස සපයන ආර්ථික ක්‍රමයක් යෝජනා කරන්නේ කෙසේ ද?’
දැනටමත් සාකච්ඡා කර ඇති ආකාරයට, මූලික ගැටලුව වන්නේ නවීන “සංවර්ධනය” නිසා මතු වී ඇති ගැටලුවලට ආමන්ත්‍රණය කිරීමයි. මගේ යෝජනාව වන්නේ අපට සිතිය හැකි ඔනෑම විකල්පයක් පහත දැක්වෙන කොන්දේසි දෙකට යටත් බවයි. ඒවා මෙසේය:
1). දැනට පවත්නා පරිභෝජන රටාව තුළ රැඩිකල් වෙනසක් හරහා පරිභෝජනය කරන භෞතික සම්පත් ප්‍රමාණය විශාල ලෙස අඩු කිරීම.
2). ජනගහන වර්ධනය සීමා කොට ලෝක ජනගහනය දැරිය හැකි මට්ටමකට පහත හෙළීම.
මෙම ගැටලු දෙකට ආමන්ත්‍රණය නොකොට අපට කිසිසේත්ම ඉහත මතු කළ ගැටලුවලට ආමන්ත්‍රණය කිරීමට නුපුළුවන. කෙසේ වෙතත් මෙම ඉලක්ක දෙකට ආමන්ත්‍රණය කිරීම ප්‍රායෝගික වශයෙන් පහසු දෙයක් නොවේ.
ලෝක ජනගහනය විසින් පරිභෝජනය කරනු ලබන භෞතික සම්පත් ප්‍රමාණය කිසියම් තුළිත මට්ටමකට ගෙන ඒමට හැකිවන මට්ටමකට පරිභෝජන සංස්කෘතියේ රැඩිකල් වෙනසක් කිරීම එතරම් පහසු ඉලක්කයක් ද නොවේ. විශේෂයෙන්ම සමානාත්මතා මූලධර්මය ද රැකගන්නා, කොමියුනිස්ට්වාදී පදනමක් මත එසේ කිරීම අතිශයින් අසීරු ඉලක්කයකි. දැනට ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකගේ සංස්කෘතික පුරුදු, සහ විශේෂයෙන් මිනිස් ශිෂ්ටාචාරයේ ඉහළ ජයග්‍රහණ ලෙස සැලකෙන දේ පවා, පුනර්නිෂ්පාදනය කරන්නේ කෙසේ ද යන ගැටලුව එහි දී මතුවීම නොවැලැක්විය හැකි ය. මෙහි දී අපට මූලික වශයෙන් මතුවන ගැටලුවක් වන්නේ ලෝක ජනගහනය පිළිබඳ ගැටලුව යි. දැනට උපකල්පනය කළ හැකි, සමානාත්මතා පදනමක් මත සංවිධානය කෙරුණු, අවම සම්පත් පරිභෝජනයක් තුළ පවා දීර්ඝ කාලීන වශයෙන් දැරිය හැකි ලෝක ජනගහන මට්ටම කුමක් ද? මේ ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් සැපයීම මෙම රචනයේ සීමාව තුළ කළ හැක්කක් නොවුනත් පැහැදිළිව ප්‍රකාශ කළ හැක්කේ දැනට පවත්නා ජනගහන මට්ටම හා දැනට පවත්නා ජනගහන වර්ධන වේගය දැරිය හැකි මට්ටම ඉක්මවා ඇති බව යි. ඒ අනුව ලෝක ජනගහනය සීමා කිරීම අත්‍යාවශය සාධකයක් වී ඇත.
ජනගහන වර්ධනය සීමා කිරීම සම්බන්ධයෙන් ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ දැනට ලෝකය තුළ තදින් ව්‍යාප්ත වන සාමූහික අනන්‍යාතා මත පදනම් වූ ජාතිකවාදී දෘෂ්ටිවාදය තුළ ජනගහන පාලනය දේශපාලන වශයෙන් අතිශය සංවේදී දෙයක් බවට පත් වී තිබීම යි. ජනවර්ග තම වර්ගයාගේ පැවැත්ම හා වර්ධනය පිළිබඳ ඉහළ සංවේදීතාවයක් දක්වන අතර උපත් පාලන ප්‍රතිපත්ති කෙරේ ප්‍රබල විරෝධයක් දක්ව යි. වැඩි දුර නොයා ලංකාවේ විවිධ ජනවර්ග අතර තිබෙන සිය ජනවර්ගයන්ගේ ප්‍රමාණාත්මක වර්ධනය පිළිබඳ ඇති වී ඇති බෙහෙවින් ආක්‍රමණශීලී උනන්දුව දෙස බැලීම මේ පිළිබඳ අවබෝධයක් ලැබීමට ප්‍රමාණවත් ය.
ඇත්ත වශයෙන්ම ගෝලීය ධනවාදයේ දෘෂ්ටිකෝණයෙන් බැලූව ද ජනගහන වර්ධනය ධනවාදයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි. ඒක් අතකින් ඒ මගින් ධනවාදී ආර්ථික ක්‍රමය තුළ නිෂ්පාදනය කරන වෙළඳ භාණ්ඩ සඳහා වැඩි වෙළඳපොළක් සහතික කරන අතර ම, අනෙක් අතින් ලාභ අනුපාතිකය ඉහළ මට්ටමක පවත්වාගෙන යාම සඳහා අවශ්‍යවන සාධකයක් වන, ශ්‍රමයේ මිල පහළ මට්ටමක පවත්වාගෙන යාමට ද එය උපකාරී වේ. ඊට හේතුව ජනගහන වර්ධනය යන්නෙහි අර්ථය වන්නේ අතිරික්ත ශ්‍රම බලකායේ පැවැත්ම සහතික කිරීම යි. කාල් මාක්ස් 19වන ශත වර්ශයේ දී ම පෙන්වා දුන් ආකාරයට ලාභ ශ්‍රමයේ පදනම වන්නේ ශ්‍රමය සඳහා ඇති ඉල්ලුමට වඩා වැඩි ශ්‍රම සැපයුමක්, එනම් අතිරික්ත ශ්‍රම බලකායක් (reserve labour force) පැවැතීම යි. ඉල්ලුමට සාපේක්ෂව ශ්‍රම සැපයුම පහළ ගියහොත් ශ්‍රමයේ කේවෙල් කිරීමේ ශක්තිය වැඩි වී ශ්‍රමයේ මිල ඉහළ යයි. එනම් ලාභ අනුපාතිකය පහළ යයි. මේ නිසා අතිරික්ත ශ්‍රම බලකායක පැවැතීම, එනම් ශීඝ්‍ර ජනගහන වර්ධනය ධනවාදය විසින් ඉල්ලා සිටින තත්වයකි. මේ අනුව ගත් කළ ධනවාදය මෙන්ම ජාතිකවාදය ද ජනගහනය සීමා කිරීම සඳහා වූ පරිශ්‍රමයක දී හරහට සිටින සාධක බවට පත්වීම වැලැක්විය නොහැක.
මෙම රචනය මගින් මා අපේක්ෂා කළේ සංවර්ධනය පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් දැනට ජනප්‍රිය ව පවත්නා පාර්ශවීය කතිකාවන් හී සීමාවන් පිළිබඳ බැරෑරුම් සාකච්ඡාවක් සඳහා යොමුවක් ඇති කිරීම යි. මේ සඳහා පහසු මාවත් නොමැති බව පෙන්වා දීම මෙන්ම ආමන්ත්‍රණය කිරීමට දුෂ්කර ගැටලුවලට ආමන්ත්‍රණය නොකර මගහැරිම ද කළ නොහැක්කක් බව අවධාරණය කිරීම ද එහි අරමුණු විය.