2 May, 2024

Blog

මුස්ලිම් ප්‍රශ්නය තේරුම් ගැනීම සදහා සටහන්!

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

මුස්ලිමුන් පිළිබඳ සැකය එහි ආචරණය

පාස්කු දින ප්‍රහාරයෙන් පසුව, සිංහල සමාජය තුළ මුස්ලිම් සමාජය සම්බන්ධයෙන් වන සංජානනය අතිශයින් ම අනතුරුදායක මට්ටමකට පත්වී ඇති බව පෙනේ. ප්‍රධාන ධාරවේ දේශපාලන කඳවුරු බෙදීම් මගින් ප්‍රවර්ධනය කරනු ලබන විවිධාකාර පාර්ශවීය අදහස්වල ඍජු බලපෑමට ලක්නොවී ඇතැයි සිතිය හැකි ජනයා අතර පවා මුස්ලිම් සමාජය සම්බන්ධව විශාල සැකයක් ඇති වී තිබේ. මෙම සැකය සම්බන්ධව මේ මොහොතේ පවතින නිෂ්චිත ස්වරූපය හුදෙක් දෘෂ්ටිවාදීමය සංජානන පද්ධතියක ක්‍රියාකාරිත්වය නිසා ඇති වී ඇති මානසික ව්‍යුහයක් ලෙසම තේරුම් ගැනීමට නුපුළුවන. පාස්කු ප්‍රහාරයෙන් ඇති කෙරුණු සාධාරණ භීතිය ද, මුස්ලිම් නිවාස පල්ලි ආදිය පරීක්ෂාවේ දී සොයාගත්තා යැයි කියන අවි ආයුධ පිළිබද තොරතුරු නිසා ද සිය ජීවිතයට ඇත්ත වශයෙන්ම ඇති වී තිබෙන, පැවැත්ම කෙරේ ඇති වී ඇති මූලික තර්ජනයක් පිළිබඳ භීතියක් (fear of existential threat) මේ නිෂ්චිත මොහොතේ මුස්ලිම් සමාජය කෙරේ යොමුවී ඇති සංජානනය කෙරේ හේතු වී තිබේ.

කෙසේ වෙතත් අපගේ අවධානයට යොමුවිය යුත්තේ (හෝ අඩුම තරමින්, මෙහි දී මගේ අවධානයට යොමුවන්නේ මේ සංජානන ව්‍යුහය කොයිතරම් බලපෑම් සහගත ද යන්නයි. මෙවැනි සංජානනයක් දිශානත වන්නේ අතීතය වෙත පමණක් ම නොව ඒය අනාගතය වෙත ද දිශානත වේ. ඒ මගින් මුස්ලිම් හා සිංහල ප්‍රජාවන් දෙක අතර අනාගත සබඳතා වල ආකෘතිය ද සෑහෙන තරමකට නිෂ්චය කරනු ලබයි.

මට මතක විදිහට මීට දශක දෙකකටත් ඉස්සරල ජයන්ත චන්ද්‍රසිරිගේ, පිට සක්වල ජීවීන් හා සම්බන්ධ ටෙලි නාට්‍යක් වූ, “රැජින” රූපවාහිනියේ විකාශය වන දිනවල “හඳුනා නොගත් පියාඹන වස්තු” (UFO) පිළිබඳව ඔහු හා නාලක ගුණවර්ධන සහභාගී වූ රූපවාහිනී සාකච්ඡාවක් පැවතුනා. මේ සාකච්ඡාවේ දී ජයන්ත චන්ද්‍රසිරි පුන පුනා පැවසූවේ මේ “යූඑෆ්ඕ” වනාහී නිසැකවම පෘතුවියෙන් පිටත වසන ජීවීන් හා සම්බන්ධ ඒවා ලෙස පිළිගැනීමට සාධාරණ පදනමක් ඇති බවයි. ඊට වෙනස් ලෙස නාලක ගුණවර්ධන කියා සිටියේ මෙකී පියාඹන වස්තු පිටසක්වල ජීවීන් සමඟ සම්බන්ධ කරන්නේ නොමැතිව  වඩාත් ඒත්තු යන ආකාරයෙන් තේරුම් කීරීමට බොහෝ ක්‍රම ඇති බවයි. එසේ වුව ද නාලක ගුණවර්ධන විසින් ඉදිරිපත් කෙරුණු තර්කය ජයන්ත චන්ද්‍රසිරි තේරුම් ගත් බවක් හෝ ඒ අවස්ථාවේ මට පෙනී ගියේ නැත.

මේ දිනවල මූලික වශයෙන් ම මුස්ලිම් සමාජය ඉලක්ක කරගෙන සිදුකරනු ලබන සොදිසි මෙහෙයුම් හා ඒවා මගින් සොයා ගනු ලබන දේ පිළිබඳව මුස්ලිම් නොවන ජනයා තේරුම් ගනු ලබන ආකාරයත් මීට සමාන වේ. අවශයනම් මේ මෙහෙයුම් මගින් සොයා ගනු ලබන කඩු වැනි දෑ, අනිවාර්යෙන්ම අප්‍රේල් 21 ප්‍රහාරය හා ඊට සම්බන්ධ යැයි සැක කෙරෙන සංවිධානයේ කටයුතු වලට, අඩුම වශයෙන් ඍජුවම, සම්බන්ධ නොකර තේරුම් ගැනීමට ද අනන්තවත් ක්‍රම තිබේ. නමුත් මුස්ලිම් නොවන ජනයාට එවැනි විකල්ප තේරුම් ගැනීමකට යාමට අවශ්‍යතාවයක් ඇත්තේ නැත. ඒ නිසා ඔවුහු ඒ පිළිගැනීමේ රාමුවට කොටුවී සිටිති.

මෙහිදී අපගේ සැලකිල්ලට භාජනය විය යුතු තවත් සාධකයක් තිබේ. එනම් කිසියම් සමාජයක් සිය පිටස්තරයා සම්න්ධව විවේචනාත්මක සහ බැහැර කිරීම්වාදී සංජානනයක් නඩත්තු කරගන්නා විට ඇත්ත වශයෙන්ම සිදුවන්නේ කුමක් ද යන්නයි. සාමාන්‍යයෙන් මෙවැනි සංජානන (අතිශයින් ම ඉහළ අනුභූතික පදනමක් ඇත්තා වූ ද, අතිශයින් ඉහළ මට්ටමේ ආසන්න සහ තත්කාර්යවාදී අදාළත්වයක් තිබිය හැකි වන්නා වූ ද සංජානන ව්‍යුහයන් ද ඇතුළව – මේ මොහොතේ දක්නට ලැබෙන මුස්ලිම් සමාජය සම්බන්ධ සිංහල සංජානනය මෙවැනි ලක්ෂණ සහිත එකකි.) අනෙකා සම්බන්ධව කිසියම් රාමුවක් නිර්මාණය කරනවා මෙන් ම, තමා (self) සම්බන්ධව ද එවැනිම රාමුවක් නිර්මාණය කරනු ලබයි. සරළව කියන්නේ නම් අපි පිටස්තරයේකුගේ “නරක” අවධාරණය කරන විට ම කරන තවත් දෙයක් වන්නේ තමයි ගේ “හොඳ” බව ද අවධාරණය කරයි. තවත් ආකාරයකට කියන්නේ නම් අනෙකා විවේචනය කරන්නේ අනෙකා විවේචනය කිරීම සඳහා ම නොව තමාගේ උත්තරීතරභාවය සාක්ෂාත් කරගැනීම ද සඳහා ය. මෙය තෝරා ගැනීමක් නොව මූලික ව්‍යුහාත්මක ආචරණයකි. මේ නිසා මේ සංජානන ආකෘතිය හා ඉන් ඇති කරන ආචරණ අනාගතය වෙත ද ප්‍රක්ෂේපණය වී ඇති අතර එය අනාගතය කෙසේ වන්නේ ද යන්න පිළිබදව, අඩුම තරමින්, අනාගත විය හැකියාවන් පිළිබඳව සීමිත හෝ අදහසක් අපට ලබා දෙයි. 

සංජානන ව්‍යූහ අප ඉදිරියේ දේශපාලන අභියෝග ලෙස නැගී සිටින්නේ මේ නිසා ය. මේ නිසා සංජානන ව්‍යුහ පරිවර්තනය කිරීම සඳහා වූ භාවිතයක නියැලීම ඉතා වැදගත්ය. එසේ කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන දෙයක් වන්නේ මේ සංජානන ව්‍යුහය ඓතිහාසික වශයෙන් පරිනාමය වී ඇත්තේ කෙසේ ද යන්න මෙන්ම නිෂ්චිත මොහොතක ඒවා අදාළ සමාජ සැකැස්ම තුළ ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න ද තේරුම් ගැනීමයි. මේ සටහන් මාලාවේ එක් අරමුණක් වන්නේ ද එයයි.

මුස්ලිම් සමාජය කෙරෙහි සිංහලයා තුළ ඇති සංස්කෘතික පිළිකුළ සහ එහි මූලයෝ

සිංහල සමාජය හා මුස්ලිම් සමාජය අතර වන සබඳතා හී දක්නට ලැබෙන ඉතා වැදගත් ව්‍යුහාත්මක ලක්ෂණයක් වන්නේ මුස්ලිම් සමාජය කෙරෙහි පවත්නා ඉතා සංකීර්ණ වූ ද ගුප්ත වූ ද සංස්කෘතික පිළිකුලකි. මෙය තනි තනි මුස්ලිම් පුරුෂයින් සහ ස්ත්‍රීන් කෙරෙහි පවා යොමු වී ඇත්තකි. මේ දිනවල මුස්ලිම් ස්ත්‍රීන් ශරීරය ආවරණය කිරීම පිළිබඳ ව පවත්නා කතිකාව දෙස බැලීමේ දී පවා හොඳින් පෙනී යන සාධකයකි. 

මෙය පුදුමයට කාරණයක් නොවේ. ඕනෑම සංස්කෘතියක වෙනත් සංස්කෘතීන් කෙරෙහි මෙවැනි සංස්කෘතික පිළිකුලක් තිබීම සාමාන්‍ය තත්වයකි. එය ඉතාම ගැඹුරු තළයක ලා පරීක්ෂා කර බැලීමේ දී කිසියම් සංස්කෘතියක් සිය සංස්කෘතිය තුළ වසන සාමාජිකයින්ගේ ශරීරය සම්න්ධයෙන් ගොඩනංවා ඇති දෘෂ්ටිවාදය සමඟ සම්බන්ධ වේ. පුද්ගලයකුගේ ස්වස්ථතාව (hygiene) යන්න මුළුමනින්ම තනි තනි පුද්ගලයා මත රඳා පවතින්නක් නොව, ඊට සමාජමය පදනමක් ඇත. පසුගිය දා මුහුණ ආවරණය නොකර බාහිරට යාමේ දී තමන්ට නිරුවතින් ගමන් කරන්නේය වැනි හැඟීමක් ඇති වන්නේ යැයි ඇතැම් මුස්ලිම් ස්ත්‍රීහු පැවැසූ බව වාර්තා විය. මීට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනා මෙය උපහාසයට ලක්කර තිබුණි. ඇත්ත වශයෙන්ම එයින් කියැවුණේ ශරීරය ආවරණය හා නිරාවරණය යන්න කොයිතරම් දුරට දෘෂ්ටිවාදී අඩංගුවක් සහිත ක්‍රියාවක්ද යන්නයි.

සිංහලයින් මුස්ලිම් ආපන ශාලාවලින් ආහාර ගැනීම වැනි චර්යාවල නිරත වුව ද, ඒ චර්යා පිළිබඳව වන කතිකාව තුළ ද මේ පිළිකුළ මුල් කරගත් සැකය මූලික කාර්ය භාරයක් ඉෂ්ට කරනු ලබයි. මුස්ලිම් තේ කඩ සම්බන්ධයෙන් එක් කලක ඉදිරිපත් වූ විවේචනයක් වූයේ, එවායේ සේවකයින් තේ කෝප්පයට කෙළ ගසා සිංහල පාරිභෝගිකයාට බීමට ලබා දෙන බවයි.

මගේ ප්‍රශ්නය වන්නේ සිංහලයා තුළ මුස්ලිමුන් කෙරෙහි ඇතැයි මා මෙහිදී යෝජනා කරන සංස්කෘතික පිළිකුළ තේරුම් ගන්නේ කෙසේ ද යන්නයි. මෙය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු මාතෘකාවක් වුවත්, මෙහි දී මගේ යෝජනාව වන්නේ මෙය නූතන සිංහල සමාජය සංස්කෘතික හා දෘෂ්ටිවාදීමය නිර්මිතයක් ලෙස නිර්මාණය වන ආකාරය සමඟ ඓන්ද්‍රීය ලෙස සම්බන්ධ වී තිබෙන බවයි.

මගේ අවබෝධයට අනුව 19වන ශතවර්ශයට පෙර මුස්ලිම් සමාජය කෙරෙහි මෙවැනි ආකල්පයක් නොපැවැති බවයි. එය 19 වන ශතවර්ශයේ හා 20වන ශතවර්ශයේ සිංහල සමාජය නවීකරණය වන ආකරයත් සමඟ සම්බන්ධ වී ඇති බව මගේ යෝජනාවයි. 

මා පසුව සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන විවිධ ඓතිහාසික සමාජ සාධක නිසා මුස්ලිම් සමාජය හා සිංහල සමාජය අතර පවත්වාගෙන යාමට අවශ්‍ය වූ දුරස්ථභාවය පවත්වාගෙන යාම සම්න්ධයෙන් මෙම සංස්කෘතික පිළිකුළ විශේෂ කාර්යභාරයක් ඉෂ්ට කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් වන විශේෂ ලක්ෂණයක් වන්නේ සම්ප්‍රදායික වශයෙන් මේ පිළිකුළ සැඟවුණු හා බෙහෙවින් පුද්ගල කතාබහ අතර පැවැති කතිකාවක් ලෙස පැවැතිය ද, සමාජ මාධ්‍ය ව්‍යප්තියත් සමඟ එය ප්‍රසිද්ධ කතිකාවක් බවට පත් වීමයි.

ඇත්ත වශයෙන්ම මේ සංස්කෘතික පිළිකුළ සිංහල-මුස්ලිම් සබඳතාවලට පමණක් සීමා වූවක් නොවේ විවිධ වාර්ගික ආගමික හා පංතිමය කණ්ඩායම් අතර එවැනි ප්‍රවණතා දක්නට ඇත. බටහිර සුදු මිනිසා බටහිර නොවන සමාජ සමඟ අභිමුඛ වීමේ දී ද බටහිර නොවන පිරිස් කෙරෙහි දැක්වූ පිළිකුල ඉතා වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කලේය.

මුස්ලිම් ප්‍රශ්නය ජනගහන ප්‍රශ්නයක් ලෙස!

නවීන ලෝකයේ පවත්නා ගැටලු බොහොමයක් අදාළ සමාජ සැකසුම් හී ජනගහන සංයුතිය හා බැඳුණු ඒවා (demographic problems) ලෙස සැලකිය හැක. විශේෂයෙන් ලංකාව සම්බන්ධයෙන් මේ තත්වය බෙහෙවින්ම අදාළ වේ. 20 වන ශතවර්ශයේ මුල් භාගයේ දී ලංකාවේ ජනගහනයේ විශාල වර්ධනයක් ඇති විය. මෙම ජනගහන වර්ධනයේ ප්‍රමාණය මෙන් ම ගුණය ද ඉතා වැදගත් සමාජයීය ප්‍රතිඵල ජනිත කළේ ය. ජනවර්ගයන් අතර සම්බන්ධය ප්‍රතිව්‍යුහගත කිරීම කෙරේ ජනගහන වර්ධනයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක ලක්ෂණ විසින් කරන ලද දායකත්වය අති මහත්ය. මෙහි දී අපගේ අවධානයට ලක්විය යුතු කරුණු කීපයක් තිබේ. ඒ මෙසේය:‍්

• ජනගහනය ප්‍රමාණාත්මකව වර්ධනය වී ඇති ආකාරය

• සමාජයේ උඩුකුරු සමාජ සංචලනය හා එහි ලක්ෂණ

• නාගරීකරණයේ ස්වභාවය 

• ජනගහන වර්ධනයේ ප්‍රමාණාත්මක වර්ධනය විසින් එකිනෙක ජනවර්ග එකිනෙකාගේ ක්ෂේත්‍ර කෙරේ සිදු කරන අන්‍යොන්‍ය බලපෑම. (පසුව සාකච්ඡා කරන ආකාරයට මේ සාධකය ආකාර කීපයකින් සිදුවේ.)

• ජනගහන ව්‍යුහයේ සිදුවන පරිවර්තනය සිදුවන්නේ ජනවාර්ගික දේශපාලනයේ වර්ධනනයට සාපේක්ෂව වීම

• සමාජයීය ශ්‍රම විභජනයේ ඇතිවන වෙනස් කම් සහ ඒවාගේ ජනවාර්ගික ඇඟවීම්

මෙකී කරුණු විස්තරාත්මක තේරුම් ගැනීම මුස්ලිම් ප්‍රශ්නය තේරුම් ගැනීම සම්න්ධයෙන් ඉතාම වැදගත්ය.

මෙහි දී ලංකාවේ මුස්ලිම් ජනගහනයේ ව්‍යාප්ති රටාව තුළ දක්නට ලැබෙන වැදගත් ලක්ෂණයක් වෙත අපගේ අවධානය යොමු විය යුතුය. අප කවුරුත් සාමාන්‍ය යෙන් දන්නා ආකාරයට සිංහල ජනයාට, විශේෂයෙන් ම සිංහල-බෞද්ධ ජනයාට සාපේක්ෂව, ලංකාවේ මුස්ලිම් ජනයාගේ ව්‍යාප්තිය ව්‍යුහාත්මක වශයෙන් සිංහල-බෞද්ධ ජනයාට සාපේක්ෂව දෙමළ ජනයාගේ ව්‍යාප්ති ව්‍යුහයෙන් වෙනස් ය. මෙම වෙනස ඉතා වැදගත් වෙනසකි. සමාන්‍ය යෙන් ලංකාවේ දෙමළ ජනයා ජීවත්වන කලාප සිංහල ජනයා ජීවත්වන කලාප වලින් භූගෝලීය වශයෙන් වෙන්ව තිබේ. උතුර හා නැගෙනහිර හා කොළඹ නගරයේ වැල්ලවත්ත වැනි ප්‍රදේශ එලෙස දැක්විය හැක. සාමාන්‍ය වශයෙන් දෙමළ ජනයාගෙන් අති බහුතරය ජීවත් වනනේ සිංහල-බෞද්ධ ජනයා අතර නොවේ. (මේ පිළිබඳ ව මා මගේ දෙමළාගේ ප්‍රශ්නය පොතේ 10වන පරිච්ඡේදයේ සාකච්ඡා කර ඇත.) විශේෂයෙන්ම සම්ප්‍රදායික සිංහල-බෞද්ධ ප්‍ර දේශ තුළ දෙමළ ජනයා ජීවත් නොවන තරම් ය. මේ නිසා සාමාන්‍ය සිංහල-බෞද්ධයාට තම එදිනෙදා ජීවිතය තුළ දෙමළ ජනයා මුණගැසෙන්නේ තා කලාතුරකිනි.

නමුත් මුස්ලිම් ජනයා පිළිබඳ තත්වය වෙනස්ය. මුස්ලිම් ජනයා සම්ප්‍රදායික සිංහල-බෞද්ධ ප්‍රදේශ මධ්‍යයේ පිහිටා ඇති කුඩා අනුකලාප තුළ විසිරී සිටී. මෙවැනි කුඩා මුස්ලිම් කලාප රට පුරාම දක්නට පුළුවන. මේ නිසා සාමාන්‍යයෙන් සිංහල-බෞද්ධ ජනයාට මුස්ලිම් ජනයා තම දෛනික ජීවිතයේ නිරන්තරව අභීමුඛ වේ. මෙම අභිමුඛ වීම් හරහා සිංහල-බෞද්ධ ජනයා ලබන අනුභූතීන් මුස්ලිම් ජනයා සම්බන්ධ සිංහල-බෞද්ධ සංජානනය කෙරේ තීරණාත්මක බලපෑමක් කරයි. 

විශේෂයෙන්ම සම්ප්‍රදායික සිංහල-බෞද්ධ ප්‍රදේශවල සමාජයීය ශ්‍රම විභජනය තුළ මුස්ලිම් ජනයා තීරණාත්මක කාර්යභාරයක් ඉෂ්ට කරයි. (මා හොඳින් දන්නා තිහාරිය අවට මුස්ලිම් ජන සංකේන්ද්‍රණය ඇසුරෙන් මේ තත්වය පසුව වැඩි දුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.)

මතු සම්බන්ධයි……

*නිර්මාල් රංජිත් දේවසිරි විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන් මාලාව, එහි පෙළගැස්ම පමණක් තරමක් වෙනස් කොට මෙහි පළ කරනු ලැබ ඇත. මේවා සැලකිය හැක්කේ මේ මේ වාද විෂය පිළිබද අවිධිමත් සටහන් මාලාවක් ලෙසටයි. මේ මොහොතේ දිග හැරෙන සිදුවීම් තේරුම් ගැනීම සඳහා වැදගත් විය හැකි නිරීක්ෂණ වලින් මේ සටහන් සමන්විත බැවින් දැනට පළවී ඇති සටහන් එක් කොටසක් ලෙස මෙහි පළ කෙරේ.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.