19 April, 2024

Blog

ආඳා යවා තබාලා වල්පට ගත් ආණ්ඩුව

පුණ්‍යා සමරකෝන්

පුණ්‍යා සමරකෝන්

පාස්කු ප්‍රහාරයේ ප්‍රතිප්‍රහාර දැන් රටේ තැනින් තැන එල්ල වෙමින් පවතී. කෑ මකුණන් ද නොකෑ මකුණන් ද තලා දැමීම ගැන පුවත් නිල නොවන මාධ්‍ය ඔස්සේ වාර්ථා වෙමින් තිබේ. මුස්ලිම් කඩ වර්ජනය කිරීමෙන් ආරම්භ වූ මෙම ප්‍රති පාර්ශවයේ කැරැල්ල දැන් කඩ කාමර ගිණි තබා විනාශ කරන තත්වයටම වැඩී ගොස් තිබේ. ප්‍රදේශයකට දෙකකට පැනවුන ඇඳිරිනීතිය රටටම පැනවීමට සිදුවී තිබේ. ත්‍රස්ථ වාදී, ජාති වාදී, වර්ග වාදී ,ආගම් වාදී පක්ෂ වාදී හා වහබ්වාදී සියලු දෙනා තමන්වත් නොදන්නා විමුක්තියක් වෙනුවෙන් කාගේදෝ අතකොලු වෙමින් සිටිති. පාස්කු ප්‍රහාරයෙන් පසු කාදිනල් හිමිපානෝ කීවේ මරාගෙන මැරුණු තරුණයින්වත් තමන් මැරුණේ ඇයි කියා දන්නේ නැතිව ඇති බවයි. ඇත්ත වශයෙන්ම මුස්ලිම් කඩ ගිණිතබමින් කලබල කරන තරුණ උදවිය ගැන කියන්නට ඇත්තේද එයමය. ඔවුන් ද ඔවුන්වත් නොදන්නා කාගේ හෝ දේශපාලන මගඩියක ඉත්තන් වී ඇති බවය. 

පාස්කු ප්‍රහාරය සිදුවෙද්දී ජාතික ආරක්ෂාවට අදාල සියලු බලතල සමගම පිටරට නිවාඩුවකට ගිය ජනාධිපතිවරයා පාස්කු ප්‍රතිප්‍රහාර සිදුවෙද්දීනම් ආරක්ෂක අමාත්‍යාංශයේ බලතල  රාජ්‍ය අමාත්‍යවරයා වෙත පවරා ගොස් ඇත. ඒ රාජ්‍ය අමාත්‍යවරයාට පැවරූ බලතල ඔහුගේ මස්සිනා හෙවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රියාත්මක කරමින් ජාතික ආරක්ෂාව ගැන අප්‍රමාදව විශේෂ ප්‍රකාශයක් ද සිදුකලේය. ඒ අනුව රට පුරා අනවශ්‍ය කලබල ඇති කරන පිරිස් පාලනය කිරීමට අවශ්‍ය බලතල යොදන ලෙස ආරක්ෂක අංශ වලට උපදෙස් ලැබී තිබේ. දැන් තත්වය යම්තාක් දුරකට තාවකාලිකව පාලනය වී ඇති නමුත් අලු යට ගිණි නිවීම ලේසි පාසු කාරණයක් නොවේ. එවැනි භාර ධූර කාර්යක් අන්තවාදීන්ගේ ඡන්දයට කෙල හලන දේශපාලන කල්ලි වලින් කිසිසේත්  අපේක්ෂා කල නොහැකිය. 

කුලියාපිටිය ප්‍රදේශයේ කලබල ඇතිකල අය අතර මෛත්‍රී පාර්ශවය නියෝජනය කරන දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ද වූ බව ප්‍රධාන ප්‍රවාහයේ රූපවාහිණී නාලිකාවක් වාර්ථා කලේය. පසුව ඔහු මාධ්‍යට කීවේ තත්වය සමතයකට පත්කිරීමට තමා එහි ගිය බවකි. මෙම සිදුවීම් පෙළෙහි වඩා කැපීපෙනෙන චරිත දෙකක් විය. එක් අයෙක් පෙහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට බලාගෙන ඉන්නා නාමල් කුමාරය, අනෙක් කෙනා රාජපක්ෂවරුන්ගේ ශාක්ෂි සහිතව ලගදී කසාද බැන්ද මදු මාදවය. අන්තවාදී අරගලයේ යෙදෙන තමන්ගේ වීඩියෝ දර්ශන පිළිබඳව මේ පොහොට්ටු දෙක නිසහසට කරුණු කියූ හැටි  දකින විට ලුණු දෙහි ගීත එකතුවේ එක් ජනප්‍රිය ගීතයක් සිහියට නැගේ. 

අනෙ ඔබෙ පරණ පොත 

මම ඒක කියවා ඇත 

බස් එක නතර වුනේ මිතුරා මුණගැසුනේ 

තැබෑරුමක්ම ලගදිද?

අරගල කරන මිනිසුන්ට ඉවසීමෙන් සැනසීම ලැබෙන බවටත් නොඉවසීමට දඩුවම් ලැබෙන බවටත් වැඩබලන ආරක්ෂක ඇමතිගේ වැඩබලන අගමැති, පොලිස්පති හා හමුදාපති නිරන්තරයෙන් නිවේදන නිකුත් කරමින් සිටින බවනම් පෙනෙන්නට තිබේ. ඒත් ආරක්ෂක අමාත්‍යවරයා හා විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ රටේ මුස්ලිම් ජන සමාජය තුල සීඝ්‍රෙයන් වැඩෙමින් පවතින ඉස්ලාම් ත්‍රස්ථවාදයට එරෙහිව කුමන ක්‍රියා මාර්ගයක් ගත්තේදැයි විමසිය යුතුය. 

පාස්කු ඉරිදා ප්‍රහාරය කිසිදු හානියකින් තොරවම වළක්වාගැනීමට තිබූ සියලු අවස්ථා ජනාධිපති ඇතුළු වගකිව යුත්තන් විසින් අති අශෝබන ලෙස පැහැර හැරියේය. වගකීම් පැහැර හැරීම ගැන වගකීම ද එලෙසින්ම නින්දිත ලෙස පැහැර හැරියේය. ඇග බේරා ගැනීමට හෝ වෙනයම් කුමන හෝ හේතුවකට ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා ඉවත්කිරීම පමණක් සිදුකර ඇත. එසේ ඉවත් කිරීම පිළිබඳව ද අගමැති රනිල්ට නම් දුක හිතී තිබිණ. ඔනෑම ව්‍යසනයක් නීති තර්කයෙන් පමණක් දිරවාගන්නට හදන අගමැති රනිල් ට රටේ ජනතාව හිතන පතන හැටි ගැන එජාපයේ ජාතික සංවිධායක නවින් දිසානායක ආදරෙන් කියා දුන් හැටි දැක්වෙන වීඩියෝ පටයක් කවුදෝ සමාජ මාධ්‍ය වෙත හොර රහසේ මුදාහැර තිබිණ. යූඇන්පීයේ රට ජාතිය ගැන හිතන අයත් ඉන්නවාදැයි එම වීඩියෝ පටය නැරඹූ ඇතැම් අය අසා තිබිණ. 

නවින් දිසානායකගේ හැගීම් නිල නොවන මට්ටමින් එළියට ආවත් යූඇන්පියේම මංගල සමරවීරගේ හැගීම්නම් මේ දිනවල නිල වශයෙන්ම එළියට එන්නේය. ඇවිලෙන ගින්නට පිදුරු දමනවා යනුවෙන්ද අඩන්න ඉන්න මිනිහගෙ ඇහැට ඇගිල්ලෙන් අනිනවා කියන්නේද මංගලගේ කතා වාගේ අවකැපෙන ඒවාටය. රාජිත ඇමතිවරයා ගැනද අමුතු කතා අසන්නට ලැබේ. පාස්කු ප්‍රහාරයට මාසයකට කලින් බෝම්බ ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ මුස්ලිම් ත්‍රස්ත කල්ලි සාමාජිකයෙකුට ආරක්ෂක අංශ වලට හොරෙන් ප්‍රථිකාර කළ පුවතක් රාජිත නමට ඈඳී මේ දිනවල සැරිසරයි. 

මුස්ලිම් ත්‍රස්ථවාදය මුලිනුපුටා දැමීම පිළිබඳ කතෝලික සභාවෙන්, ත්‍රස්ථ විරෝදී ප්‍රජාවෙන් මෙන්ම ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් තුළින්මත් විසඳුම් යෝජනා විය. සියලු ආකාරයේ මුස්ලිම් අන්තවාදී සංවිධාන තහනම් කිරීම, හදිසි නීතිය යටතේ තාවකාලිකව තහනම් කෙරුණු නිකාබය හා බුර්කා තහනම දිගටම පවත්වාගෙන යාම උදෙසා නීති කෙටුම්පත් කිරීම, මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය අත්තනෝමතිකව පවත්වාගෙන යනු ලැබූ මද්‍රාසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයට යටත් කිරීම, අරාබි භාෂාව ඉගැන්වීම් හා අධ්‍යාපන ආයතන තුළ අවි පුහුණුව තහනම් කිරීම, ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති සියලු අවකාශ වැසීම හා අඩු වයස් විවාහ තහනම් කිරීම, සියලු ජන කොටස් රටේ පිළිගත් සිවිල් නීතියට යටත් කිරීම, වැනි යෝජනා මාලාවක් ඒ අතර විය. ත්‍රස්ථවාදයේ ආදීනව දත් මුස්ලිම් සමාජය ද බෝහෝ පූජක තුමන්ලාද මෙම සියලු යෝජනාවන්ට සිය කැමැත්ත පළ කළහ. ඒත් පුදුමයකට මෙන් සිංහල බෞද්ධ ජනාධිපතිවරයා තාමත් සිතා බලමින් කල්මරමින් ඇගිලි සපමින් ලෝකය පුරා කරක්ගසමින් සිටින්නේය. 

බැලූ බැලූ අත විසංවාද මිස විසඳුම් නැත.

එක් පසෙකින් ජනාධිපති සිරිසේන ය, අනෙක් පසින්  අගමැති රනිල් ය. එක් පසෙකින් මුස්ලිම් ත්‍රස්ථවාදය ය, අනෙක් පසින් අන්තවාදීන්ය, එක් පසෙකින් සිංහල කතෝලික හා දෙමළ ජන්ද කාඩ්ය, අනෙක් පසින් මුස්ලිම් ජන්ද කාඩ්ය, එක් පසෙකින් රාජපක්ෂලාය අනෙක් පසින් බදියුර්දීන්ලා ය. එක් පසෙකින් මැතිවරණ ය, අනෙක් පසින් අනාරක්ෂාවය. එක් පසෙකින් සමාජ මාධ්‍ය වාරණ නියෝගය, අනෙක් පසින් VPN ය. එක් පසෙකින් බුද්ධි අංශ වාර්ථාය, අනෙක් පසින් ජනාධිපති තාත්තාය. 

මේ නොසන්සිඳෙන විසංවාදය දෙස බලාගෙන මිනිසුන්ට ඉවසා සිටින්නට යැයි කීම වැඩක් නැත. ගැටලුව විසඳීම කෙසේ වෙතත් එය හඳුනාගැනීමටවත් උත්සාහයක් නොගන්නා තැනක අන්තවාදයට පහසුවෙන් පැවතිය හැකිය. මාධ්‍ය වාරණ වලින් හෝ ඇඳිරි නීතියෙන් පාලකයින්ගේ විසංවාදය විසඳිය නොහැකිය. ඉන් පැනනගින කිසිඳු අර්බුධයක් විසඳිය නොහැකි වනු ඇත. 

රටක ව්‍යවස්ථාවක බරපතලකම ගැන නොදන්නා කමට හදිස්සියේම අලුත් අගමැති කෙනෙක් පත්කල සිරිසේන ජනාධිපතිවරයා ඒ දවස්වල කීවේ “මමත් හනුමා වගේ තමයි. යනවනං යන්නෙ හැම දේම ගිණි තියාගෙන” කියාය. ඔහුගේ ඒ කතාවේ බරපතලකම රටට තේරෙන්නේ දැන්ය.   

Print Friendly, PDF & Email

Latest comment

  • 4
    0

    ඉතාමත් කාලෝචිත ලිපියක්

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.