කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් රචිත Mainstreaming Radical Politics in Sri Lanka: The case of JVP post – 1977 නමින් යුතු ලිපියේ සිංහල පරිවර්තනයයි. ඔහු මෙම ලිපිය ලියා ඇත්තේ 2010 වසරේදී වන අතර ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලන විකාශනයේ සීමාව එම වසර දක්වා අදාළය. ඉන් වසර 14 කට පසුව ජ වි පෙ විසින් ගොඩනැගූ හා එම පක්ෂය කේන්ද්‍රීය බලවේගය ලෙස පවතින ජාතික ජන බලවේගය නම් දේශපාලන පක්ෂය රාජ්‍ය බලය ලබාගත්තේය. ජවිපෙ / ජාජබ නායක අනුර කුමාර දිසානායක දැන් රටේ ජනාධිපතිය. ජවිපෙ / ජාජබ පක්ෂයද තුනෙන් දෙකක බලය සහිත ආණ්ඩුව පිහිටුවා ඇත. 2010 වසරේ සිට 2024 වසරේ රාජ්‍ය බලය ලබාගැනීම දක්වා වන වසර 14 ක කාලය තුළ ජ වි පෙ දේශපාලන විකාශනය මේ ලිපියේ සාකච්ඡා නොවේ. එසේවුවද මේ වසර 14 ක කාලය තුල ජ වි පෙ හි සිදුවූ විකාශනය, සංවර්ධනය, වෙනස්වීම් තේරුම් ගැනීම සඳහා මෙම ලිපිය මහත් වූ වටිනාකමක්, උපකාරයක් ලබා දෙනු නිසැකය.
මෙම ලිපියේ ඉංග්‍රීසි බසින් තිබූ පාදක සටහන් සියල්ල සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත. ආශ්‍රිත ග්‍රන්ථ මුල් ලිපියේ පරිදිම ඉංග්‍රීසි බසින් තබා ඇත.
ඉංග්‍රීසි බසින් රචිත මෙම ලිපිය සිංහල බසට පරිවර්තනය කිරීමට අවසර ලබාදීම පිළිබඳව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වෙත ස්තූතිය පිළිගන්වන්නෙමි.
මෙම සිංහල පරිවර්තනයේ කවර හෝ දෝෂ ඇතොත් එහි වගකීම පරිවර්තක සතුය.
( පරිවර්තක – ඊ.එම්.තිස්සකුමාර )
මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසිනි –
වර්ෂ 1977 පසුකාලීනව ශ්‍රී ලංකා දේශපාලනයේ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ ) භූමිකාවන් පිටුපස ඇති ගතිකයන් පිළිබඳ විවේචනාත්මක අවබෝධයක් මෙම ලිපියෙන් සපයයි. 1970 දශකයේ මුල් භාගයේදී දැඩි පසුබෑමකට ලක් වූවද , අවසානයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස ) බලයට රැගෙන ඒමට තරම් මැතිවරණ දේශපාලනය තුල සැලකිය යුතු බලවේගයක් බවට ජවිපෙ පරිවර්තනය විය. ශ්‍රී ලංකාවේ ආධිපත්‍යවාදී දේශපාලන ධාරාව තුළ ප්‍රමුඛයෙකු ලෙස ජවිපෙට මතුවීමට ඉඩ සැලසූ රැඩිකල් දේශපාලන වටපිටාව සහ විවිධ තත්වයන් මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ. තවද, ජවිපෙ දේශපාලනයේ ව්‍යුහාත්මක වෙනස්කම් සහ එහි අනාගත අභියෝග ද ඉස්මතු කර දක්වයි.
හැඳින්වීම
1977 මහ මැතිවරණය පශ්චාත් යටත් විජිත ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළේය. මැතිවරණ ප්‍රතිඵලවල වැදගත්ම සිදුවීම එක්සත් ජාතික පක්ෂයේ (එජාප) අතිවිශිෂ්ට ජයග්‍රහණය වූ අතර, පැරණි වාමාංශික පක්ෂවලට ලැබුණු කම්පන සහගත පරාජය ද ඒ හා සමානව වැදගත් විය. එ ජා පයේ ජයග්‍රහණය සහ වමේ පරාජය යන දෙකම සංකේතාත්මක විය. වමේ මැතිවරණ පරාජයෙන් පසු, එ ජා ප පාලනය යටතේ නව සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් හඳුන්වා දෙන ලද අතර , වාමාංශිකයින් විසින් අනුමත කරන ලද ආරක්ෂිත ආර්ථික ප්‍රතිපත්ති රාමුව එමගින් විස්ථාපනය කළේය.[1] උත්ප්‍රාසාත්මක ලෙස, තමන්ගේම මිනීවළ කපා ගැනීමට මෙන්, එම එක්සත් ජාතික පක්ෂ රජයම, නව ආර්ථික ප්‍රතිපත්ති සුමටව ක්‍රියාත්මක කිරීමට ප්‍රබල තර්ජනයක් බවට පත් වූ ජනතා විමුක්ති පෙරමුණට (ජ වි පෙ) තම නායකත්වය බන්ධනාගාරයෙන් නිදහස් කර ගනිමින් දේශපාලන ප්‍රධාන ධාරාවට නැවත පිවිසීමට උදව් කළේය. 1971 දී අසාර්ථක වූ සන්නද්ධ අරගලයෙන් පසු, පසුගිය රජය (1970 බලයට පත්වූ සමගි පෙරමුණ රජය- පරිවර්තක ) විසින් ජවිපෙ නායකත්වය සිරගත කර තැබුවේය.
1971 අරගලයේ පරාජයෙන් පසු නැවත නැගිටගත් , ජවිපෙ 1977 න් පසු දේශපාලන ඉතිහාසය තුල ඉතා වැදගත් ක්‍රීඩකයෙක් බවට පත්වූ අතරම 1987-1989 දක්වා පැවති ලේ වැකි සන්නද්ධ අරගලයක් සංවිධානය කරමින් මුළු සිංහල-බෞද්ධ දකුණම පාහේ සිවිල් යුද්ධයකට ඇද දැමීය. මේ අරගලය කෲර ලෙස මර්දනය කර , සමස්ත ජවිපෙ නායකත්වය – එහි ක්‍රියාකාරීන් දහස් ගණනක් ගැන නොකියවුනත් – මුලිනුපුටා දමන ලද නමුත් , ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස එ ජා ප රජයේ දේශපාලන ස්ථාවරත්වයට බරපතල ලෙස හානි සිදුවී තිබුණි. කෙසේ වෙතත්, ජ වි පෙ නැවතත් යථා තත්ත්වයට පත්වූවා පමණක් නොව, නව නායකත්වයක් යටතේ මැතිවරණ දේශපාලනයේ ප්‍රබල බලවේගයක් බවට පත්වීම සඳහා සම්පූර්ණයෙන්ම පරිවර්තනය වෙමින් පැවතිණ. අවසානයේදී, වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ (මෙම ලිපිය ලියා පලවූ 2010 වසරේ ජනාධිපති වූයේ මහින්ද රාජපක්ෂය – පරිවර්තක) නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය (එ ජ නි ස) බලයට ගෙන ඒමේදී එය තීරණාත්මක විය.
වසර 1977 න් පසුකාලීන දේශපාලනයේ ජවිපෙ ඉටුකල කේන්ද්‍රීය හා අතිශය ගතිකත්වයෙන් යුත් කාර්යභාරය පැහැදිළි කිරීමට මෙම රචනාවෙන් උත්සහායක් දරනු ලබයි . එහිදී රැඩිකල් දේශපාලන සහ මතවාදීමය පසුබිමක් සහිත සුවිසල් සන්දර්භයක ජවිපෙ ස්ථානගත කරයි. 2000 දශකයේ මුලාරම්භයේ දී ආධිපත්‍යවාදී (hegemonic) දේශපාලන ප්‍රධාන ධාරාවේ අංගයක් බවට පරිවර්තනය වීමෙන් පසුව සහ එහි ප්‍රතිඵලයක් ලෙස 2008 දී අභ්‍යන්තර බෙදීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ තත්වය සොයාබැලීම මෙහිදී විශේෂයෙන් අරමුණු කෙරේ. එසේ කිරීම මගින් 2008 න් පසුකාලයේ ජවිපෙ තුල සිදුවු වර්ධනයන් කෙරෙහි යම් ආලෝකයක් එල්ල කිරීම ද අරමුණකි.
මෙම රචනය කොටස් තුනකින් යුක්තය
පළමුවන කොටස – 1977 න් පසු රැඩිකල් දේශපාලන පසුබිම විස්තර කරයි. ජවිපෙ හා පැරණි වම වැනි රැඩිකල් දේශපාලනයේ සම්ප්‍රදායික ප්‍රධාන කොටස්කරුවන් පමණක් නොව , ජාතික චින්තනය ව්‍යාපාරය සහ පුරෝගාමී වාමාංශික ව්‍යාපාරය (avant-garde left movement) යනුවෙන් මවිසින් හඳුන්වන සාම්ප්‍රදායික නොවන කොටස්කරුවන් ද විශ්ලේෂණයට ඇතුළත් කිරීමට ද උත්සාහ කරන්නේය.
දෙවන කොටස – 1977 න් පසු ජ වි පෙ ගතිකත්වය හෙළිදරව් කරයි. 1971 සහ 1987-89 අසාර්ථක සන්නද්ධ අරගලවලින් පසුව මුහුණ දුන් බරපතල පසුබෑමෙන් ජනතා විමුක්ති පෙරමුණ යථා තත්ත්වයට පත් වූ ආකාරය සහ 2000 දශකයේ මුල් භාගයේදී ආධිපත්‍යවාදී දේශපාලන ප්‍රධාන ධාරාව තුළ ප්‍රමුඛයෙකු ලෙස මතු වූ ආකාරය පැහැදිලි කිරීම මෙහි අරමුණයි.
තුන්වන කොටස – ජවිපෙ දේශපාලනය ප්‍රධාන ධාරාවට පිවිසීමේ සන්දර්භය තුළ එහි ව්‍යුහාත්මක වෙනස්කම් විශ්ලේෂණය කිරීමට උත්සාහ කරයි. 2008 න් පසු යලි නැගිටීමේ ක්‍රියාවලියේ පටන් මේ දක්වා එය මුහුණ දෙන අභියෝග ද එය ඉස්මතු කරයි .
1 කොටස – 1977 න් පසු අවධියේදී සිංහල බෞද්ධ දකුණේ පැරණි වමේ බිඳවැටීම සහ ජවිපෙ නැඟීම
1977 වසරේ එජාප මැතිවරණ ජයග්‍රහණයේ සෘජු ප්‍රතිඵලය වූයේ ජවිපෙ නායකත්වය සිරගෙයින් නිදහස් කිරීමය. 1971 දී විශේෂ පාර්ලිමේන්තු පණතකින් පිහිටුවන ලද අපරාධ යුක්ති කොමිසම නම් විශේෂ අධිකරණයකින් කැරලිකරුවන්ට දඬුවම් පමුණුවනු ලැබීය. එජාප ආණ්‌ඩුව විසින් අපරාධ යුක්ති කොමිසම පණත අවලංගු කිරීමත් සමග සිරගත කල කැරලිකරුවන් ඉබේම නිදහස් විය (Alles, 2001: 253).
පැරණි වමේ සියලුම පාර්ලිමේන්තු ආසන අහිමි වුවද , දේශපාලන භූමිය තුල රැදී සිටියද , එහි බලපෑම සීග්‍රයෙන් බිදවැටෙමින් තිබිණ. දේශපාලන භූමිය තුල රැඳී සිටීමට ප්‍රධාන සාධක දෙකක් බලපෑවේය. වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ තවදුරටත් පැවතීම පළමුවන සාධකයයි. 1980 මහා වැඩවර්ජනයෙන් වෘත්තීය සමිතිවල සටන්කාමීත්වය දුර්වල කලද2, කර්මාන්ත ක්ෂේත්‍රය සම්බන්ධව සාමුහික කේවල් කිරීම තවදුරටත් ඉතා වැදගත් කාර්යයක් ඉටුකළේය. සෑම වාමාංශික පක්ෂවලටම සැලකිය යුතු වෘත්තීය සමිති පදනමක් තිබූ අතර එමගින් කම්කරුවන් ඒකරාශි කිරීමේ හැකියාව ඔවුන් වෙත ලැබිණි. මැයි දින සැමරුම් සහ වීදි පෙළපාලි උද්ඝෝෂණ වැනි වාමාංශික පක්ෂවල දේශපාලන යාතුකර්ම (political rituals of left parties) සඳහා අඩුම තරමින් සමහර වෘත්තීය සමිති සාමාජිකත්වය ඒකරාශි කිරීමට හැකිවිය.
දෙවනුව ගත්කළ , තරමක දුර්වල වුවත් , තම මැතිවරණ බල ප්‍රදේශ වල බහුජන සහයෝගයක් තවමත් පැවති වමේ ප්‍රධාන නායකයෝ ද සිටියෝය. එය වමේ ඉතිහාසයේ මුල් අවධිවලදී ලබාගත් අතිවිශාල මහජන සහයෝගයේ ඉතිරිවූ කුඩා කොටසකි. පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ හා අනෙකුත් පළාත් පාලන ආයතනවල නියෝජනය ලබාගැනීම පිණිස මෙම සීමිත මහජන සහයෝගය භාවිතා කිරීමට පුළුවන් විය. සමානුපාතික නියෝජනය සහ මනාප ඡන්ද ක්‍රමය යටතේ පැවති මැතිවරණවලදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සමඟ සන්ධානගතව තරග කල මැතිවරණ වලදී මෙම නියෝජනය ලබාගැනීමට හැකිවිය . 1994 මහ මැතිවරණයෙන් පසුව මෙය සිදු විය. කොළඹ, රත්නපුර, කෑගල්ල , ගාල්ල හා මාතර දී වමේ පක්‍ෂ සාමාජිකයන්ට මෙසේ ජයගැනීමට හැකිවිය . එපමණක් නොව, ඔවුන් ජාතික ලැයිස්තුවේ ස්ථාන කිහිපයක් ද ලබා ගත් අතර, 225 න් 29 ක් තෝරා ගන්නා ලදී. ශ්‍රීලනිප සමග සන්ධානගතව ලබාගත් මැතිවරණ ජයග්‍රහණ සමග වමේ පක්ෂ මුහුණදුන් එක් ගැටළුවක් වූයේ ඔවුන්ගේ ජනප්‍රිය නායකයන් ශ්‍රීලනිප විසින් ඩැහැගැනීමය.
පැරණි වමෙන් කැඩීගිය කණ්ඩායම්
පැරණි වමෙන් කැඩීගිය කණ්ඩායම් තම විප්ලවීය පරමාදර්ශ භාවිතයට නැංවීමට උත්සාහ කළහ. මෙම පක්ෂ තුළ විසම්මුතික කොටස්, විප්ලවවාදී පරමාදර්ශයන්ට පක්ෂව, මහජන සහයෝගය තවදුරටත් පහත වැටීම වැළැක්වීම සඳහා ආධිපත්‍යධාරී පක්ෂ නායකත්වය විසින් ගනු ලබන ප්‍රායෝගික පියවරයන්ට අභියෝග කළ විට බෙදී වෙන්වීම් ඇති විය.
1960 ගණන්වල ආරම්භයේදී පැරණි වමේ බෙදීම් මාලාවක් සිදුවීමට වැදගත් සිදුවීම් දෙකක් විසින් මුලපුරන ලදී . ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරය තුල ඇතිවූ සෝවියට් – චීන මතභේදය නිසා කොමියුනිස්ට් පක්ෂය තුල ඇතිවූ බෙදී වෙන්වීම ඉන් පළමුවැන්නය. අනෙක වූයේ 1964 දී ශ්‍රීලනිපය සමග සභාගයකට ඇතුළත්වීමට ලංකා සමසමාජ පක්ෂය (ලසසප) ගත් තීරණයයි. වමේ ඇතිවූ මෙම අර්බුදය සමග විශාල කණ්ඩායම් ප්‍රමාණයක් බිහිවිය. ඇත්ත වශයෙන්ම, මෙම කණ්‌ඩායම් සමූහය අතරින් බලපෑම් සහගත වූයේ ජවිපෙ ය. තවත් බොහෝ කණ්ඩායම් වියැකී යමින් අතුරුදහන් වූ අතර, සමහරුන් 1977 න් පසු දේශපාලන ක්ෂේත්‍රයේ යම් කාර්යභාරයක් ඉටු කිරීමට සමත් වූහ. මෙම කණ්ඩායම්වලින් සමහරක් වමේ රැඩිකල් පරමාදර්ශවල ප්‍රකාශකයන් ලෙස බලපෑම් සහගතව ක්‍රියා කළහ. කෙසේවුවද, පුළුල් මහජන සහයෝගයක් ලබාගැනීමට මේ කණ්ඩායම් අසාර්ථක වූවා සේම ඇමීබාකරණය වෙමින් කුඩා කුඩා කණ්ඩායම් වලට බෙදී ගියහ.
පශ්චාත් යටත් විජිත දේශපාලනයේ විශේෂයෙන්ම රැඩිකල් දේශපාලන අවකාශය තුළ ඔවුන්ගේ ස්ථානය තක්සේරු කිරීම සඳහා මෙම කණ්ඩායම්වල ඉතිහාසය තවමත් ලියා නොමැත. සමහර කණ්ඩායම් අතුරුදහන් වූ අතර සමහර කණ්ඩායම් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට විවිධාකාරයෙන් අන්තර් ග්‍රහණය විය. කෙසේ වෙතත්, කණ්ඩායම් කිහිපයක් වැදගත් දෘෂ්ටිවාදාත්මක මැදිහත්වීම් සිදු කිරීම තුළින් කැපී පෙනුණි. විප්ලවකාරී කොමියුනිස්ට් සංගමය (The Revolutionary Communist League – පසුව සමාජවාදී සමානතා පක්ෂය ලෙස නම් කෙරිණි), විශිෂ්ඨ රැඩිකල් වාමවාදී ලේඛකයෙකු වූ ටී. අන්ද්‍රාදි විසින් නායකත්වය දුන් මාක්ස්වාදී කම්කරු සංගමය සහ සමකාලීන විශිෂ්ඨ ලේඛකයෙකු වූ දයාන් ජයතිලක නායකත්වය දුන් විකල්ප කණ්ඩායම මෙම විශේෂිත කණ්ඩායම් වූයේය.
මෙම කණ්ඩායම්වල ප්‍රධානතම ක්‍රියාකාරිත්වය පැවතියේ බුද්ධිමය අඩවිය තුළය. රැඩිකල් දේශපාලන කොටස් තුල අධ්‍යාපනික හා ප්‍රචාරණවාදී කටයුතු වල ඔවුහු නිරත වූහ. මේ කණ්ඩායම් සෑමවිටම හඳුනාගැනීමට හැකිවූයේ ඔවුන් පළකල වාර ප්‍රකාශන සමගය. විප්ලවකාරී කොමියුනිස්ට් සංගමය විසින් කම්කරු මාවත නම් පුවත්පත පලකළේය. විකල්ප කණ්ඩායම යන නාමය බිහිවූයේ වාමවාදී ක්‍රියාකාරිකයන් පිරිසක් විසින් සංස්කරණය කල ත්‍රෛමාසිකව පළකල විකල්ප සඟරාව නිසා වූ අතර ඔවුන් අතරින් සමහරක් විකල්ප කණ්ඩායම සමඟ තමන්ව අනන්‍ය කරගත්තේ නැත. එහි නිල නාමය “විප්ලවකාරී ජනතා විමුක්ති පෙරමුණ (Revolutionary People’s Liberation Front)” වූයේ නමුත් එය බාහිර කිසිවෙක් නොදත්තේය.
ලසසපයෙන් බිඳී වෙන්වූ කණ්ඩායමක් වන නව සමසමාජ පක්‍ෂය (නසසප) පිහිටුවන ස්ථානය ගැන වෙනම පැහැදිළි කල යුතුය. එක අතකට, ඉතාමත්ම ප්‍රබල වෘත්තීය සමිති පදනමක් එයට තිබුණි. පක්ෂයේ පාලනය යටතේ වූ වෘත්තීය සමිතිවල රැඩිකල් කොටස් පක්ෂයට ආකර්ෂණය විය. අනෙක් අතට, ග්‍රාමීය ජනතාව තුල එක්තරා ආකාරයක ප්‍රතාපවත් බලාධිකාරයක් (Charismatic Authority) පවත්වාගෙන ගිය ජනප්‍රිය චරිත ගණනාවක් – වාසුදේව නානායක්කාර ඔවුන් අතරින් එක් අයෙකි – එම පක්ෂයට සිටියහ . කෙමෙන් ජනප්‍රිය බව අඩුවෙන අවධියක වුවත්, මහජනතාව ඒකරාශී කරගැනීමට සහ මැතිවරණ ඡන්ද ක්‍රමය තුළ රැඳී සිටීමට මෙම සාධක දෙක උදව් විය.
1977 න් පසු අවධියේ ජවිපෙ නැඟීම
පැරණි වමේ සංවිධානයක් ලෙසින් ආරම්භ වූවද (ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය- චීන පිලෙන්) වාමාංශික රැඩිකල් වාදයේ නව ප්‍රවණතාවයක් බිහිකිරීම ජවිපෙ විසින් සනිටුහන් කළේය. පළමු වතාවට සහ ප්‍රධාන වශයෙන්, පැරණි වමට වඩා වෙනස් ඡන්ද ගොනුවක් – එනම් ග්‍රාමීය සහ පහළ සිට මධ්‍යම පාන්තික තරුණයින් – ජවිපෙ විසින් බලමුළු ගැන්වීය. මේ අර්ථයෙන් ගත් කල, ජනතා විමුක්ති පෙරමුණ එහි ආරම්භක අවධියේදී සාම්ප්‍රදායික ‘රතු පදනම’ තුළ ස්ථාපිත වූ බවට මික් මුවර් කළ නිරීක්ෂණය එතරම් නිවැරදි නොවේ (Moore, 1993: 629). ජනතා විමුක්ති පෙරමුණේ සමාජ පදනම සම්බන්ධයෙන් ගත් කල, සිංහල-බෞද්ධ දකුණේ ගොවි කෘෂිකර්මාන්තයේ මූලික අර්බුදය තුළින් ජවිපෙ ආරම්භ වූ බවට යෝජනා කළ හැකිය.[3] මෙම අර්බුදයේ කේන්ද්‍රය වූයේ පවතින ගොවි නිෂ්පාදනයට අවශෝෂණය කර ගත නොහැකි අතිරික්ත ශ්‍රමය පිළිබඳ ගැටලුවයි. මෙම අතිරික්ත ශ්‍රම හිමිකරුවන්ගෙන් සැලකිය යුතු කොටසක් අධ්‍යාපනය ලබා ගත්තේ පුළුල් වන නිදහස් – අධ්‍යාපන ක්‍රමය හරහාය. කෙසේ වෙතත්, විශේෂයෙන් උගත් ග්‍රාමීය තරුණයින් ගේ මෙම අතිරික්ත ශ්‍රමය අවශෝෂණය කර ගැනීමට ප්‍රමාණවත් ලෙස නාගරික ආර්ථිකය ද ප්‍රසාරණය නොවීය.
ආර්ථික සහ සමාජීය හිනිමඟෙහි ඉහලට යාමේ අපේක්ෂාව මෙම අර්බුදය තුළින් අවහිර වීම නිසා මෙම උගත් ග්‍රාමීය තරුණ පරපුර බලවත් පීඩාවට පත්විය. එම හේතුව නිසා , ජවිපෙ දේශපාලනය මෙම සමාජ කණ්ඩායමට බෙහෙවින්ම ආකර්ෂණීය වූයේය[4]. වසර හතර පහක කෙටි කාල වකවානුවක් තුල ක්‍රියාකාරිකයන් විශාල ප්‍රමාණයක් ඒකරාශී කරගැනීම දෙස බැලීමේදී , මෙම පරම්පරාවේ රැඩිකල් සමාජ ස්වරූපය ( radical social character of this generation) ගැන කෙනෙකුට අගය කල හැකිය. සමස්ත සමාජ ව්‍යුහයම කම්පනයට පත් කළ පෙර නොවූ විරූ ආකාරයේ දීප ව්‍යාප්ත කැරැල්ලක් සඳහා මෙම තරුණයින්ව ජනතා විමුක්ති පෙරමුණ විසින් බලමුළු ගැන්වූයේය. මෙම කාර්යය සාක්ෂාත් කර ගන්නා ලද්දේ අවම සම්පත් සහ සරල දැනුමෙනි.
1960 ගණන්වල මැද භාගයේදී, එවකට එන්. ෂන්මුගදාසන් විසින් නායකත්වය දුන් කොමියුනිස්ට් පක්ෂයේ තරුණ (සහ චීන) අංශයට නායකත්වය දීමේ කාර්යය භාර දුන් විට, ජවිපෙ නායක රෝහණ විජේවීරට මෙම ග්‍රාමීය තරුණ පරම්පරාව මුණගැසුණු ආකාරය සිහිපත් කිරීම ප්‍රයෝජනවත් වේ. සංවිධාන ශක්තිමත් කිරීම සඳහා තමා රට පුරා සංචාරය කළ බව ඔහු පසුව සිහිපත් කළේය (Alles, 2001: 9). මෙතරම් ඉක්මනින් විශාල ක්‍රියාකාරීන් පිරිසක් ගොඩනඟා ගැනීමට විජේවීරට හැකි වූවාද යන්න මතක තබා ගැනීම ප්‍රමාණවත්ය.
ජවිපෙ ඕනෑම 1971 සාමාජිකයෙකු සමඟ කතා කිරීමේදී, නව සාමාජිකයින් බඳවා ගැනීම ඔවුන්ට කොතරම් පහසු වූවාද යන්න පැහැදිලි විය. බඳවා ගැනීමේ ප්‍රසිද්ධ ක්‍රමය වූයේ “කොකු ගැහිල්ල” (කොකු ගැසීම) ය. යම් පුද්ගලයෙකු ව්‍යාපාරයට බැඳීමට පෙළඹවූ පසු, ඔහුට/ඇයට රහසිගත ස්ථානයකදී “පන්ති පහ” ලෙස හැඳින්වෙන දේශන මාලාවක් පවත්වන ලදී. පවතින ආර්ථික දේශපාලන හා සමාජ සැකසුම පිළිබඳ සරලමතික ජනප්‍රිය මාක්ස්වාදී විවේචනයක් සහ සමාජවාදී විප්ලවය පිළිබඳ අනුරාගික හැඟීමක් කෙරෙහි මෙම පන්තිවල අන්තර්ගතය කේන්ද්‍ර ගත විය.
1977 දී නායකත්වය සිරගෙයින් නිදහස් කල වහාම 1971 පරාජයෙන් පසුව නැවත ගොඩනැඟීම සිදුවූයේ කෙසේද කියා දැන් ඇසීම සුදුසුය. මෙයට පිළිතුර බොහෝ සරල විය හැකිය. 1971 මර්දනයෙන් පසුව ද, සහ පාලන තන්ත්‍රය විසින් ජවිපෙ ආධාරක පදනම දිනා ගැනීමට ගත් උත්සාහයන් නොතකා, ජවිපෙ ඡන්දදායකයින්ගේ මානසිකත්වය නොවෙනස්ව පැවතුනි. විශේෂයෙන්ම, ග්‍රාමීය ආර්ථිකයට නව ජීවයක් දීමට පියවර ගත්තද කෙටිකාලීනව හෝ එය බලපෑම් සහගත වූයේ නැත. ප්‍රධාන වශයෙන්ම ග්‍රාමීය දිළිඳුකම සහ තරුණ පරපුරේ රැකියා විරහිත භාවය දුරැලීම අරමුණු කරගත් පශ්චාත් 1977 යුගයේ ආර්ථික ලිබරල්කරණ ක්‍රියාවලිය ප්‍රමාණවත් ප්‍රතිඵලයක් ජනිත කළේ නැත. සිංහල බෞද්ධ දකුණෙහි ග්‍රාමීය තරුණයන්ගේ විශාල කොටසක සහයෝගය සහිතව පශ්චාත් 1980 ගණන්වල ඉතා බලවත් ආයුධ සන්නද්ධ අරගලයක් සංවිධානය කිරීමට හැකිවූයේ ඇයිද යන්න මෙමගින් පැහැදිළි කරයි [5].
අපේක්ෂාවන් සහ අවස්ථාවන් අතර නොගැලපීම පුළුල් වීම නිසා තත්වය අතිශයින් නරක අතට හැරුණි. මෙම නොගැලපීම පැහැදිලි කරන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙළදපලකරණය කිරීම ගැන විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින්ගෙන් එල්ල වන දැඩි විරෝධයයි. තෘතීයික ආයතනවල පෞද්ගලික අංශයේ මැදිහත්වීමට එරෙහිව දැඩි විරෝධයක් රාජ්‍ය අනුග්‍රහය ලත් උසස් අධ්‍යාපන ක්‍රමයට දායක වූ අයගෙන් එල්ල විය. 1980 දශකයේ අගභාගයේදී අලුතින් පිහිටුවන ලද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට එරෙහිව උද්ඝෝෂණ කළ වෛද්‍ය සිසුන්ගේ රැඩිකල්කරණය, ජවිපෙ අනුග්‍රහය ලත් ශිෂ්‍ය ක්‍රියාකාරකම් සඳහා ප්‍රධාන පෙළඹවීමේ ලක්ෂ්‍යයක් විය. එබැවින්, වෛද්‍ය උපාධි අපේක්ෂකයින් සාමාන්‍යයෙන් ශිෂ්‍ය ජනගහනයේ ගතානුගතික (conservative ) කොටසක් වන බැවින්, ඔවුන්ගේ රැඩිකල්කරනය, තරුණයින්ගේ උගත් කොටස් අතර රැඩිකල්කරණය වීමේ ප්‍රධාන දර්ශකයක් ලෙස භාවිතා කළ හැකිය.
පශ්චාත් – 1977 යුගයේ ජවිපෙ හි බඳවා ගැනීමේ ශක්‍යතා
නව සාමාජිකයන් බඳවා ගැනීමට ඇති හැකියාව රැඩිකල් දේශපාලන ව්‍යාපාර වල වැදගත් අංගයකි. පැරණි වාමාංශික පක්ෂවලට වඩා, අඛණ්ඩව නව සාමාජිකයන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ජවිපෙට තිබුණි. නව සාමාජිකයන් ආකර්ෂණය කර ගැනීමේ පැරණි වමට තිබූ හැකියාව 1960 දශකයේ මැද භාගය වනවිට අවසන්ව විය.
ඇසිය හැකි සුදුසු ප්‍රශ්නය නම්: යම් පුද්ගලයෙකු රැඩිකල් දේශපාලන කණ්ඩායමකට සම්බන්ධ වන්නේ ඇයි? මෙය “පක්ෂයට පක්ෂපාතී වීමේ ගැටලුව” යන තේමාව යටතේ පුළුල් ලෙස සාකච්ඡා කළ හැකිය. සිංහල බෞද්ධ දකුණෙහි පක්ෂයට පක්ෂපාතී වීමේ ව්‍යුහයන් තුනක් මම හඳුනා ගනිමි:
(1) සම්ප්‍රදායික පක්ෂපාතීත්වය (traditional allegiance);
(2) ගතානුගතික පක්ෂපාතීත්වය (pragmatic allegiance );
(3) ආධිපත්‍යය විරෝධී පක්ෂපාතීත්වය (anti hegemonic allegiance);
ඒ සමඟම, එක් පක්ෂපාතී ව්‍යුහයකින් තවත් ව්‍යුහයකට චලනය විය හැකිය. මෙම චලනයන් විවිධ දේශපාලන කණ්ඩායම්ගත වීම් වලට සාපේක්ෂව බව මම තර්ක කරමි. මෙම සාකච්ඡාව සඳහා, – ආධිපත්‍යවාදී කණ්ඩායම් සහ ආධිපත්‍ය විරෝධී කණ්ඩායම් අතර වෙනස ලෙස දේශපාලන ක්‍රමයේ දේශපාලන කණ්ඩායම්ගතවීම් ආකාර දෙකක් අතර විශේෂත්වය හඳුනා ගැනීම ප්‍රයෝජනවත් විය හැකිය . ආධිපත්‍යවාදී කණ්ඩායම් (Hegemonising groups ) යනු පවතින ආධිපත්‍යය (existing hegemony ) තුලම ජනතාවගේ සාමූහික කැමැත්ත සංවිධානය කිරීමේ කාර්යය ඉටු කරන කණ්ඩායම් වේ. එයට ප්‍රතිවිරුද්ධව, ආධිපත්‍යය විරෝධී කණ්ඩායම් විසින් ආධිපත්‍යය විරෝධී සාමුහික අභිප්‍රායන් සංවිධානය කරයි. දේශපාලන පක්ෂපාතිත්වයේ පරිවර්තනය තේරුම් ගැනීම සඳහා අදියර දෙකක යෝජනා ක්‍රමයක් මම මෙහිදී යෝජනා කරමි.
පලමු අදියර: ඉහත සඳහන් කළ පරිදි, ආධිපත්‍යවාදී සහ ආධිපත්‍ය විරෝධී කණ්ඩායම්, එකම කාර්යය – එනම්, සාමූහික කැමැත්ත සංවිධානය කිරීම ඉටු කරයි. පවතින දේශපාලන ක්‍රමය සඳහා ජනතාවගේ කැමැත්ත ස්ථිරව තහවුරු වූ විට මෙම අදියර අවසන් වේ. ආධිපත්‍ය විරෝධී කණ්ඩායම් සම්බන්ධයෙන් ගත් කල, පවතින පාලන තන්ත්‍රයන්ට එරෙහිව ඔවුන්ගේ තීරණාත්මක සටන්වල ජයග්‍රහණය හෝ පරාජය මගින් මෙම අදියරේ අවසානය සනිටුහන් කළ හැකිය.
දෙවන අදියර: මෙම අදියරේදී, පක්ෂ පක්ෂපාතිත්වය ප්‍රධාන වශයෙන් තීරණය වන්නේ සමාජ-ආර්ථික සැකසුම තුළ පක්ෂ සාමාජිකයින්ට සම්පත් නැවත බෙදාහැරීමේ ජාල වෙත ප්‍රවේශය ලබා දීමට පක්ෂ නායකත්වයන්ට ඇති හැකියාව මගිනි. පළමු අදියර හා සැසඳීමේ දී, දෙවන අදියර නියෝජනය කරන්නේ ආධිපත්‍යවාදී නැවත බෙදාහැරීමේ ජාලය (hegemonic redistributive network) තුළදී දේශපාලන කණ්ඩායම්වල හැසිරීම සාමාන්‍යකරණය කිරීමයි.[6] දේශපාලන කණ්ඩායම්ගතවීමට අදාළව සාමාන්‍යකරණය සිදු වූ පසු , සම්පත් නැවත බෙදාහැරීමේ ජාලය කෙරෙහි පවතින සාමාජිකයින්ගේ තනි අවශ්‍යතා, පක්ෂවලට ඇති පක්ෂපාතීත්වයේ හේතුව ලෙස ඡන්ද කොට්ඨාශයේ සාමූහික කැමැත්ත ප්‍රතිස්ථාපනය කළ හැකි අතරම, නැතහොත් එවැනි උනන්දුවක් ඇති නව සාමාජිකයින් පක්ෂයට සම්බන්ධ විය හැකිය.
මෙම තත්වය සේවාදායකවාදය ලෙස හැඳින්වේ. මෙම අදියරේදී, දේශපාලන කණ්ඩායම් වල බඳවා ගැනීමේ හැකියාව රඳා පවතින්නේ සම්පත් නැවත බෙදාහැරීමේ ජාලයේ කොටසක් වීමට ඇති හැකියාව මත ය. වෙනත් වචන වලින් කිවහොත්, සම්පත් නැවත බෙදා හැරීම සඳහා වඩාත්ම දක්ෂ ආයතනය රාජ්‍යය වන බැවින්, කණ්ඩායමට යම් ප්‍රමාණයක රාජ්‍ය බලය භුක්ති විඳීමට සිදුවේ. රුසියාවේ බොල්ෂෙවිකයන් සහ චීනයේ කොමියුනිස්ට්වාදීන් සිදුකළ ආකාරයට පළමු අදියරේදී රාජ්‍ය බලය අල්ලා නොගන්නේ නම් ආධිපත්‍ය විරෝධී කණ්ඩායම්වලට මෙම හැකියාව භුක්ති විඳීමේ හැකියාව අඩුවන්නේ ඔවුන් රාජ්‍ය බලයෙන් පිටත රැඳී සිටින බැවිනි .
පැරණි වමේ තත්ත්වය සම්බන්ධයෙන් ගත් කල, පළමු අදියර 1950 දශකයේ මැද භාගයේදී අවසන් විය. ආධිපත්‍ය විරෝධී වාමාංශිකයින් විසින් අභියෝගයට ලක් කරන ලද දේශපාලන බලවේග 1950 දශකයේ අග භාගයේදී ඔවුන්ගේ අහිමි වූ භූමිය නැවත ලබාගත්හ. “53 හර්තාලය” නමින් හඳුන්වන, 1953 ජන නැගිටීම ආධිපත්‍යය විරෝධී අවධියේ අවසානය ලෙස මම හදුනාගනිමි . 1956 මහ මැතිවරණ ජය සමග , ග්‍රාමීය ජනතාව සාර්ථක ලෙස ආකර්ෂණය කරගත් ආධිපත්‍යයධාරී පක්ෂය ලෙස ශ්‍රීලනිපය මතුවූ අතරම වාමාංශික පක්ෂ බලවත් බලවේගයක් බවට පත්ව තිබුණි. ප්‍රභූ කේන්ද්‍රීය පක්ෂයක සිට බහුජන පදනමක් සහිත පක්ෂයක් බවට එ.ජා.ප ය ප්‍රතිසංවිධානය කිරීම සහ පරිවර්තනය කිරීම මගින්, ග්‍රාමීය පහළ පන්ති සහ නාගරික කම්කරු පන්තිය යන දෙපිරිසටම එහි ආමන්ත්‍රණය කිරීම යළි තහවුරු කළේය. ජනතාව අතර අහිමි වූ භූමිය නැවත ලබා ගැනීම සඳහා වාමාංශිකයින් අනුගමනය කළ සන්ධානගත වීමේ උපාය මාර්ගය දිගු කාලීනව අසාර්ථක විය. මේ අනුව, 1970 දශකය අවසානයේ දී එයට නව සාමාජිකයින් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව පාහේ අහිමි විය. එසේවුවද, නව සාමාජිකයින් ආකර්ෂණය කර ගැනීම ජවිපෙ විසින් අඛණ්ඩව සිදුකලේ කෙසේද? මෙයට හේතුව, 2005 න් පසු මහින්ද රාජපක්ෂ පාලන තන්ත්‍රය තහවුරු වන තෙක්ම, ජ වි පෙ හි ප්‍රධානතම ඡන්දදායක ගොනුව වූද – ග්‍රාමීය උගත් තරුණයින් ඒකරාශී කරගැනීමට ආධිපත්‍යවාදී බලවේග අසාර්ථක වී තිබුණි . එමනිසා, මෙම ඡන්දදායක ගොනුව පහසුවෙන් බඳවා ගැනීමට ජ .වි .පෙට හැකි විය. කෙසේ වෙතත්, මහින්ද රාජපක්ෂ පාලනය තහවුරු වීමෙන් පසු මෙම හැකියාව බරපතල ලෙස අඩු විය.
1994 – 2004 කාලයේ පටන් , කොළඹ නගරය අවට අර්ධ නාගරික ප්‍රදේශවල නව මධ්‍යම පංතික ජනතාව අතර දැවන්ත බලවත් ඡන්දදායක බලවේගයක් බවට ජවිපෙ පත්විය. විශේෂයෙන් 1990 න් පසු , නාගරික ආර්ථිකයේ ප්‍රසාරණයේ ප්‍රතිඵලයක් ලෙස මෙම නව මධ්‍යම පංතිය නිර්මාණය විය. මෙම පන්තියේ සාමාජිකයෝ ග්‍රාමීය ප්‍රදේශ වලින් මෙම ප්‍රදේශවලට සංක්‍රමණය වූ අය වූහ. ජ වි පෙට අමතරව, මෙම ඡන්දදායක ගොනුවේ සහයෝගය දිනා ගැනීම සඳහා ජාතික හෙළ උරුමය (ජා හෙ උ) ශක්තිමත් තරඟකරුවෙකු ලෙස මතු විය. ජ වි පෙ සම්බන්ධයෙන් ගත් කල, පවතින ආර්ථික හා සමාජීය සැකසුම තුළට ස්ථීර ලෙසම බද්ධ වී තිබෙන මෙම පන්තියේ සාමාජිකයින් රැඩිකල් අරමුණක් සඳහා බඳවා ගැනීමේ හැකියාව අතිශයින්ම අවම වන්නේය. 1994-2005 කාලය තුළ ජවිපෙ දේශපාලනය රැඩිකල්හරණය වීමට බොහෝ දුරට හේතු වූයේ මෙම නව මධ්‍යම පන්තියේ දේශපාලන අවශ්‍යතා ජවිපෙ දේශපාලන උපාය මාර්ගයට ඇති කළ බලපෑමයි.[7]
ජ . වි . පෙ වෙතින් කැඩීගිය කණ්ඩායම්
නව සාමාජිකයින් එක් දොරටුවකින් අඛණ්ඩව ඇතුළු වන අතරෙම අනෙක් දොරටුවෙන් නිරන්තර ප්‍රවාහයක් ඉවත්වීම සිදුවන නමුත් ශාලාව පිරී පවතින , දොරවල් දෙකක් සහිත විශාල ශාලාවකට ජනතා විමුක්ති පෙරමුණ සමාන කර ඇත (Chandraprema, C.A., The Island, February, 21, 1990). ජනතා විමුක්ති පෙරමුණ සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ නිශ්චිත වයස් කාණ්ඩයකට අයත් සාමාජිකත්වය ආධිපත්‍යය දරන තරුණ දේශපාලන ව්‍යාපාරයක් ලෙසය.
ජ. වි. පෙ තරුණ සාමාජිකයෙකු රැඩිකල් දේශපාලනයේ මෙම යුගය පසු කලායින් පසු , රැඩිකල් දේශපාලන ක්‍රියාකාරකම් අතහැර සහ ආධිපත්‍යවාදී සැකසුම තුළ තැන්පත් වීමේ ප්‍රවණතාවය පවතී. මේ කාලය බොහෝ සාධක මත රඳා පවතී , විශේෂයෙන් සාමාජිකයා ආර්ථික පද්ධතියට සහ පවුල් ජීවිතයට ඒකාබද්ධ වන ආකාරය අනුවය. දේශපාලන ආත්මීයත්වයේ රැඩිකල්හරණය හේතුවෙන් (de-radicalisation of political subjectivity) ජවිපෙ සාමාජිකයින් පක්ෂයෙන් ඉවත්ව යාම දැකිය හැකිය. සාමාජිකයින්ගේ මෙම මූලික ඉවත්ව යාමට අමතරව, පක්ෂ සාමාජිකයාගේ දේශපාලන ආත්මීයත්වය රැඩිකල්කරණය කිරීම හරහා – අඩු ප්‍රමාණයකින් වුවත් – තවත් පක්ෂයෙන් ඉවත්ව යාමක් ඇත මෙම ඉවත්ව යාම සිදුවන්නේ පක්ෂයේ දේශපාලන දෘෂ්ටිවාදයේ විප්ලවවාදී පරමාදර්ශ ( revolutionary ideals ) සහ දී ඇති මොහොතක පක්ෂයේ සැබෑ දේශපාලන හැසිරීම අතර ආතතියක් ඇති වූ විටය. මෙම “රැඩිකල් කොටස්” වල සාමාන්‍ය රටාව වන්නේ , ඔවුන් පසුව පක්ෂයට කරන පාවාදීමක් ලෙස සලකන්නේ නමුත්, පක්ෂයෙන් ඉවත් වී තරඟකාරී කණ්ඩායම් පිහිටුවා ගැනීමය.
ජවිපෙ ඉතිහාසයේ රැඩිකල් කණ්ඩායම් පක්ෂයෙන් ඉවත් වී නව කණ්ඩායම් පිහිටුවීමට උත්සාහ කළ අවස්ථා කිහිපයක් තිබුණි – 1971-77, 1980 දශකයේ මුල් භාගය සහ 1990 දශකයේ මුල් භාගය උදාහරණයෝ වෙති. මේ වෙන්වීම් සිදුවූයේ තීරණාත්මක දේශපාලන සිදුවීම් වලින් පසුව ජවිපෙ සිය දේශපාලන උපාය මාර්ගය නැවත සලකා බලමින් සිටි අවස්ථාවන් වලදීය.
කෙසේ වෙතත්, මෙම බිඳී ගිය කණ්ඩායම්වල ඉතිහාසය පෙන්නුම් කරන්නේ, ජවිපෙ හැර ගිය ක්‍රියාකාරීන් දිගු කාලීනව රඳවා ගැනීමට ඔවුන් අසමත් වී ඇති බවයි. මේ ආකාරයෙන් පක්ෂය හැර යන බොහෝ සාමාජිකයින් ක්‍රමයෙන් රැඩිකල් දේශපාලන ක්‍රියාකාරකම් වලින් ඉවත් වන අතර, සමහරු දිගු කාලයක් රැඩිකල් දේශපාලන අදහස් වලට පක්ෂපාතීව සිටිය හැකිය. මෙම බිඳුණු කණ්ඩායම්වල සාමාජිකයන් නම් කිරීම සඳහා සමහර ජවිපෙ ප්‍රකාශකයින් හාස්‍යජනක ලෙස විශ්‍රාමික කැරලිකරුවන් (retired rebels) යන යෙදුම භාවිතා කරයි. එබැවින්, අන්ත වාමාංශික රැඩිකල් ස්ථාවරයක් පවත්වා ගෙන ගිය ජවිපෙ සාමාජිකයින් ඉවත් කිරීමේ මෙම ක්‍රියාවලිය, ආධිපත්‍ය විරෝධී දේශපාලනයෙන් ඉවත් වී ආධිපත්‍යවාදී සමාජ-ආර්ථික සැකසුමට ඒකාබද්ධ වීමට ආරක්ෂිත මාර්ගයක් සැපයීම උත්ප්‍රාසාත්මක ය.
ජනතා විමුක්ති පෙරමුණට අමතරව, 1980 දශකයේ මැද භාගයේදී නව රැඩිකල් කතිකාවන් දෙකක් මතුවීම දක්නට ලැබුණි. ඒවා ඉදිරි වසරවලදී ජනතා විමුක්ති පෙරමුණට තීරණාත්මක බලපෑමක් ඇති කළේය. මෙම වැදගත් කතිකාවන් දෙක පිළිබඳ සාකච්ඡාවක් පහත දැක්වේ.
රැඩිකල් දේශපාලනයේ නව තාර්කික අවකාශයන් දෙකක්: ජාතික චින්තනය සහ පෙරටුගාමී වාමාංශය
වමේ ආධිපත්‍යධාරී පරිකල්පනයේ පවතින දේශපාලනික හා දෘෂ්ටිවාදාත්මක අර්බුදයට ප්‍රතිචාර ලෙස මෙම රැඩිකල් කතිකාවන් දෙක හඳුනාගත හැකිය. ඒවා පරිණාමය වූයේ දිගු ඉතිහාසයක් ඇති විචාරාත්මක තාර්කික අංගයන් ගෙනි. ජාතික චින්තනය යනු දහනව වෙනි සියවසේ අවසන් කාලයේදී උපත ලද සිංහල ජාතිකවාදී කතිකාව (Sinhala nationalist discourse) සමග දෘෂ්ටිවාදාත්මක සබඳතාවයක් පවතින්නකි (Dewasiri, 2000). නවරැල්ලේ වාමාංශයේ (avant-garde left) තාර්කික මූලයන් (discursive roots) තිබුණේ, 1960 ගණන්වල මුල් භාගයේදී ආරම්භ වූ නව කලා ව්‍යාපාරය තුළය. 1980 දශකයේ අග භාගයේ – 1990 දශකයේ මේ ව්‍යාපාර දෙක ඉමහත් බලපෑම් සහගත තත්ත්වයට පත්වූ අතර, පවත්නා වාමාංශික දේශපාලන සුසමාදර්ශයට (existing paradigm of radical left politics) මූලධාර්මික අභියෝගයක් (a fundamental challenge) එල්ල කරන ලදී.
ජාතික චින්තනය
මූලික වශයෙන් බුද්ධිමතුන් දෙදෙනෙකුගේ කෘති පාදක කරගෙන මෙම ව්‍යාපාරය 1977 න් පසු කාලයේදී මතු විය. එය ධනවාදයට එරෙහි වමේ පරිකල්පනයට විකල්ප දේශපාලන පරිකල්පනයක් ඉදිරිපත් කළේය. ගුණදාස අමරසේකර ප්‍රසිද්ධ ලේඛකයෙක් සහ සංස්කෘතික හා දේශපාලන විචාරකයෙක් විය. දිගු කලක් තිස්සේ ඔහුට වාමාංශිකයින් සමඟ සමීප සබඳතා තිබුණි. ඔහුට සම්ප්‍රදායික මාක්ස්වාදය (Orthodox Marxism) කෙරෙහි විවේචනාත්මක ආකල්පයක් තිබූ අතර සිංහල ජනතාවගේ ජාතිකවාදී හැඟීම් කෙරෙහි අඩු සහානුකම්පාවක් තිබුණි. මාක්ස්වාදය ස්වදේශීයකරණය කිරීමට (Indigenise Marxism) වමේ අසමත් වීම සම්බන්ධයෙන් තවත් ප්‍රසිද්ධ ලේඛකයෙකු සහ සංස්කෘතික විචාරකයෙකු වන මාර්ටින් වික්‍රමසිංහ නැඟූ චෝදනාව අමරසේකර විසින් නැවත නැවතත් වරනැගීම කළේය. 1976 දී “අබුද්දස්ස යුගයක්” පොත ප්‍රකාශයට පත් කරමින් ඔහුගේ අදහස් ක්‍රමානුකූලව ඉදිරිපත් කළේය (Amarasekera, 1976). නලින් ද සිල්වා වමේ බලපෑම් සහගත සාමාජිකයෙකු වූවා සේම, ඇත්ත වශයෙන්ම එහි අන්ත රැඩිකල්වාදී විය. ලසසපයෙන් කැඩී ගිය කණ්ඩායමක් වූ නව සම සමාජ පක්ෂයේ (නසසප) 1970 දශකයේ මැද භාගයේදී ඔහු ප්‍රමුඛ බුද්ධිමය චරිතයක් විය .
වැදගත් සිදුවීම් දෙකක කම්පන සහගත බලපෑම නිසා මෙම බුද්ධිමතුන් දෙදෙනා වමෙන් බැහැර වූ බව මම තර්ක කරමි. 1975 දී ශ්‍රී ලං නි ප සහ ල ස ස ප අතර සන්ධානය බිඳ වැටී, එක්සත් පෙරමුණු රජය අර්බුදයකට ඇද වැටීම , අමරසේකර කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කළ සිදුවීමයි. මෙම බලපෑම ඔහුගේ ගමනක මැද නවකතාවෙන් (Amarasekera, 2006) තේරුම් ගත හැකිය. නලින් ද සිල්වාට බලපෑ “සිදුවීම” වූයේ 1980 මහා වැඩ වර්ජනය පරාජය වීමය. 1980 ජූලි මහා වැඩ වර්ජනය විප්ලවය සඳහා උත්ප්‍රේරකයක් වනු ඇතැයි නසසපයට ඉහළ අපේක්ෂාවන් තිබුණි. මහා වැඩ වර්ජනයේ පරාජය නසසපයේ දේශපාලන උපාය මාර්ගයට සහ විශේෂයෙන්, ආසන්න කාලයේදීම විප්ලවයක් (an imminent revolution ) සිදුවෙතැයි එහි ශුභවාදී ආකල්පයට දැඩි පහරක් විය[8].
මේ සමඟම, නලින්ද සිල්වා න ස ස ප යෙන් ඉවත්වී ධනවාදයට අභියෝග කිරීමට මාක්ස්වාදයේ ඇති හැකියාව , විශේෂයෙන්ම කම්කරු පංතියේ විප්ලවීය කාරකත්වය (revolutionary agency of the working class) පදනම් වුන දේශපාලන දැක්මේ සීමාසහිත බව ප්‍රශ්ණ කිරීමට පටන් ගත්තේය. මාක්ස්වාදය සහ කම්කරු පංතියේ කාරකත්වය ගැන ප්‍රශ්ණ කරන මුල් කාලයේ ජාතිකවාදී ප්‍රවණතාවයක් නලින් ද සිල්වාට තිබුණේ නැත. 1980 දශකයේ මැදභාගයේ දී , කෙසේවුවද, ඔහු සහ අමරසේකර යන දෙදෙනාම නිගමනය කළේ (කම්කරු) පන්තියට වඩා හොඳ විකල්පයක් ජාතිය (nation) විය හැකි බවත්, “ජාතියේ ආචාර ධර්ම (ethos of the nation)” විකල්ප දේශපාලන සවිඥානකත්වයක් සහ ධනවාදී පාරිභෝගිකවාදයට ( capitalist consumerism ) අභියෝග කිරීම සඳහා දේශපාලන දැක්මක් ගොඩනැගීමට පදනමක් සපයන බවත්ය. මෙම දෙදෙනාගේ දේශපාලන ධාරා වල සිංහල ජාතිකවාදී හැරවුම බොහෝ දුරට තීරණය වූයේ 1980 ගණන්වල දෙමළ සටන්කාමී ජාතිකවාදයේ නැගීම මගිනි. සිංහල ජාතිකවාදයේ නැගීමට ප්‍රතිචාර වශයෙන් සිංහල බෞද්ධයන් අතර ජාතිකවාදී හැඟීම්වල පිබිදීමක් ඇති විය.
කම්කරු පන්තියේ දේශපාලන දැක්ම ගොඩනැගී ඇති විප්ලවවාදී නියෝජිතත්වය (the revolutionary agency) ප්‍රශ්න කිරීමෙන් රැඩිකල් වමේ දේශපාලන දැක්මට අභියෝග කළා පමණක් නොව, මාක්ස්වාදයේ ඥානවිභාගාත්මක පදනම (the epistemological basis of Marxism) ද නලින් ද සිල්වා විසින් ප්‍රශ්න කළේය. ඔහුගේ ඥානවිභාගාත්මක විචාරය “මගේ ලෝකය” නම් කෘතියෙන් ක්‍රමානුකූලව ඉදිරිපත් කර ඇත. මාක්ස්වාදී චින්තනයේ මුල් ගල බවට ඔහු තර්ක කල දැනුම සඳහා වන කාටිසියානු ප්‍රවේශය ( Cartesian approach to knowledge ) විවේචනය කළ අතර වෛෂයික සත්‍යයේ හැකියාව ( possibility of objective truth ) ද මෙම කෘතියේදී , ප්‍රශ්න කළේය.
නලින් ද සිල්වා මතු කළ බොහෝ කරුණු බටහිර මාක්ස්වාදයේ විචාර සම්ප්‍රදායේ (the critical tradition of western Marxism) අවධානයට ලක් ව තිබූ බව සඳහන් කළ යුතුය. උදාහරණයක් ලෙස, නලින් ද සිල්වා මතු කළ ගැටළු සහ අර්නස්ටෝ ලැක්ලාව් සහ ශන්තාල් මූෆ් විසින් ඔවුන්ගේ “Hegemony and Socialist Strategy” කෘතියේ මතු කරන ලද ගැටළු අතර විශාල සමානකමක් තිබුණි (Laclau & Mouffe, 1985). කෙසේ වෙතත්, මා තර්ක කරනුයේ, ලැක්ලාව් සහ මූෆ් මෙන් නලින් ද සිල්වා මෙම ගැටළු ප්‍රමාණවත් සංකල්පීය බරපතල මැදිහත්වීමකින් විසඳා නොමැති බවය.
මෙම මැදිහත්වීම රැඩිකල් තරුණයන්ගෙන් සැලකිය යුතු කොටසක්, විශේෂයෙන් විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින්ගේ බුද්ධිමත් කොටස් විසින් කැමැත්තෙන්ම පිළිගනු ලැබීය. කොළඹ සහ මොරටුව විශ්ව විද්‍යාලවල සැලකිය යුතු අනුගාමිකයින් පිරිසක් නලින් ද සිල්වා හට සිටියහ. නලින් ද සිල්වාගේ බුද්ධිමය මැදිහත්වීම් වලට ආකර්ෂණය වූ මෙම තරුණ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් බොහෝ දෙනෙක් ඉදිරි කාල පරිච්ඡේදයේදී බුද්ධිමය ක්ෂේත්‍රයේ කේන්ද්‍රීය චරිත බවට පත්විය. වසර දෙකකට පසු, අමරසේකර ද සිංහල ග්‍රාමීය උගත් තරුණයින් ඉලක්ක කරගත් තවත් බලගතු කෘතියක් බිහි කළේය. මෙම කෘතිය “ගණදුරු මැදියම දකිනෙමි අරුණළු” යන ප්‍රබෝධමත් මාතෘකාව දරා තිබුණි. මාක්ස්වාදය සිංහල ජාතිකවාදය සමඟ ඒකාබද්ධ කිරීමට මෙම කෘතිය මගින් ජවිපෙ තරුණයින්ට පෙළඹවීමක් ඇති කළේය. මෙම තත්ත්වය මේ අවස්ථාවේ ජවිපෙ දේශපාලන උපාය මාර්ගයට බෙහෙවින් ගැළපුණේය. එබැවින්, අමරසේකරගේ කෘති සමග එකඟතාවක් නොවූවත්, ජවිපෙ උපායශීලීව මෙම මැදිහත්වීම ඉවසා සිටියේය. කෙසේ වෙතත්, මෙම ඉවසීම, ජවිපෙ දේශපාලන ක්‍රියාකාරකම්වල පරිධියේ සිටි තරුණ රැඩිකල් කොටස්වලට ජාතික චින්තනය දෙසට නැඹුරු වීමට උපකාරී විය.
ජාතික චින්තනයේ ධනවාදී විරෝධී ස්ථාවරය ක්‍රමයෙන් අඩු වැදගත්කමක් ලබා ගත්තේ එහි ප්‍රකාශකයින් දෙමළ වාර්ගික ජාතිකවාදයේ (Tamil ethnonationalism) වර්ධනය වන දේශපාලන හා දෘෂ්ටිවාදාත්මක බලයට මුහුණදීමට සිංහල ජාතිකවාදී අභිලාෂයන් (Sinhala nationalist interest) වෙනුවෙන් වඩාත් විදග්ධ ප්‍රකාශකයන් වීමට තීරණය කිරීමත් සමඟය. මෙම දෙමළ ජාතිකවාදය, ධනවාදී පාරිභෝගිකවාදය වෙනුවට ජාතික චින්තනයේ දේශපාලනික සහ දෘෂ්ටිවාදාත්මක “අනෙකා (other)” ලෙස මතු විය.
වසර 2000 දශකයේදී ඇතිවූ ජවිපෙ සහ ජාතික චින්තනය ව්‍යාපාරය අතර සමීප සම්බන්ධතාවය බලවත්ම බලපෑම් සහගත දේශපාලන සන්ධානයක් නිර්මාණය කළේය. මෙම සන්ධානයේ වැදගත් ප්‍රතිඵලයක් වූයේ දර්ශීය ජවිපෙ සාමාජිකයෙකුගේ දේශපාලන ආත්මීයත්වය (the political subjectivity of the typical JVP member) රැඩිකල් විශ්වදේශිකවාදියෙකු (a radical cosmopolitanist) ගේ සිට ජනප්‍රිය ජාතිකවාදියෙකු a popular nationalist) දක්වා පරිවර්තනය වීමයි. 2008 දී ඇති වූ අභ්‍යන්තර බෙදීමේ සන්දර්භය තුළ මෙම පරිවර්තනය බෙහෙවින් වැදගත් විය. මෙම බෙදීමේ, ජ වි පෙ හි බලසම්පන්න ප්‍රචාරක ලේකම් සහ වඩාත් ජනප්‍රිය මහජන කථිකයා වූ විමල් වීරවංශ, විශාල කණ්ඩායමක් සමඟ පක්ෂය අතහැර රාජපක්ෂ පාලන තන්ත්‍රයට එක් විය.
නව පුරෝගාමී වාමාංශය (Avant-garde left)
මෙම ව්‍යාපාරයේ මූලයන් 1960 ගණන්වල මුල් භාගයේ සංස්කෘතික ක්ෂේත්‍රය තුළ දක්නට ලැබෙන අතර , ඒ වන විට දෙවන ලෝක යුද්ධයෙන් පසු බටහිර නව පුරෝගාමී ( avant-garde) බුද්ධිමය පරිසරයේ දැඩි බලපෑම යටතේ කොළඹ පදනම් කරගත් කලාකරුවන් සහ කලා විචාරකයින් පිරිසක් මතුවෙමින් සිටියහ.
පහත දැක්වෙන කෘතින් වල මෙම ව්‍යාපාරයේ ආරම්භක ලක්ෂණ දක්නට ලැබිණ: සිරි ගුණසිංහ ගේ “හෙවනැල්ල” නවකතාව (1960); අමරසේකර ගේ “යලි උපන්නෙමි” නවකතාව (1962); අජිත් තිලකසේන ගේ කෙටිකථා; සුගතපාල ද සිල්වා ගේ නාට්‍යය ආදියයි. විශේෂයෙන් කලා-නාට්‍ය ක්ෂේත්‍රය, තරුණ රැඩිකල් කලාකරුවන් සහ විචාරකයින් සඳහා සජීවී බුද්ධිමය අවකාශයක් නිර්මාණය කළේය. නාට්‍ය නිෂ්පාදනය ස්වභාවයෙන්ම සාමූහික උත්සාහයකි. මෙම ක්ෂේත්‍රය තරුණ කලාකරුවන්ට සහ විචාරකයින්ට සජීවී අදහස් හුවමාරුවක යෙදීමට විකල්ප අවකාශයක් ලබා දුන්නේය.
විශේෂයෙන්ම 1971 තරුණ කැරැල්ලෙන් පසුව, මෙම ව්‍යාපාරය 1970 ගණන්වලදී වේගවත් තත්ත්වයට පත්විය . 1960 ගණන්වල අගභාගයේදී රැඩිකල් තරුණයින්ගේ දේශපාලනයට මෙම ව්‍යාපාරය කිසිදු බලපෑමක් ඇති නොකළ නමුත් එයට ප්‍රතිවිරුද්ධ දෙය සිදුවිය. සැලකිය යුතු ලෙස, මෙම බුද්ධිමතුන් සියල්ලන්ටම පාහේ සාම්ප්‍රදායික වාමාංශික පක්ෂ සමඟ සමීප සම්බන්ධතා තිබුණද, වාමාංශිකයින්ගේ සහ මෙම නව පුරෝගාමී කලාකරුවන්ගේ අධිපති දේශපාලන පරිකල්පන අතර කැපී පෙනෙන පරතරයක් තිබුණි. රැඩිකල් ට්‍රොට්ස්කිවාදී කණ්ඩායමක් වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස – Revolutionary Communist League , මෙම නව පුරෝගාමී ( avant-garde) ප්‍රවණතාවයේ දේශපාලන විභවය හඳුනා ගත් අතර, ඇත්ත වශයෙන්ම, එහි සමහර පුද්ගලයන් 1970 ගණන්වල සහ 1980 ගණන්වල මුල් භාගයේදී විකොස හි දේශපාලන ආධාරකරුවන් බවට පත්ව තිබුණි. මෙම කලාකරුවන් සහ විචාරකයින් රැඩිකල් මාක්ස්වාදී දේශපාලනයට දිනා ගැනීමට මෙම කණ්ඩායම සවිඥානික උත්සාහයක් ගත්හ. 1980 දශකයේ මුල් භාගයේදී මෙම නව පුරෝගාමී කලාකරුවන් සමඟ නොනවත්වා සම්බන්ධ වූ ප්‍රමුඛ සාහිත්‍ය විචාරකයින් දෙදෙනෙකු ලෙස විකොසට අයත් විශ්ව විද්‍යාල ශාස්ත්‍රඥයින් ලෙස සුචරිත ගම්ලත් සහ පියසීලි විජේගුණසිංහ මතු වූහ.
1980 දශකයේ මුල් භාගයේදී කලාකරුවන් සහ විචාරකයින් පමණක් නොව, ඉහළ මට්ටමේ රැඩිකල් දේශපාලන සංවේදීතාවයක් ද පෙන්නුම් කළ තරුණ රැඩිකල් කණ්ඩායම් බිහි විය. මෙම කණ්ඩායම්වල පුද්ගලයෝ විවිධ ආකාරයේ ප්‍රභවයන් වෙතින් පැමිණියෝය. සමහරුන් පැමිණියේ ජවිපෙ වෙතිනි. එවැනි කණ්ඩායමක් වූ “නිර්මාණ සංවාද කුලකය” මෙහෙයවූයේ ජවිපෙට සම්බන්ධ කණ්ඩායමක් විසිනි.
1983 දී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමෙන් පසු එහි යටිබිම්ගත දේශපාලන ක්‍රියාකාරකම් වලට ආවරණයක් ලෙස මෙය පිහිටුවන ලදී. කෙසේ වෙතත්, එහි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මතභේද මතුවීමෙන් පසු සංවිධානය ඉක්මනින්ම බිඳී ගියේය. මෙම නව පුරෝගාමී (avant-garde) සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහා ඉඩ සැලසීමට ස්ථාපිත රැඩිකල් දේශපාලනයට ඇති නොහැකියාව මෙම එකඟ නොවීම් මගින් ඉස්මතු කර පෙන්වන ලදී. ප්‍රධාන බුද්ධිමය ආභාෂය ජනතා විමුක්ති පෙරමුණෙන් නොලැබීම ද යුතු සඳහන් කල යුතු කරුණකි. ප්‍රධාන සම්පත්දායකයින් අතරින් කෙනෙකු වූ සුචරිත ගම්ලත්, ඔවුන්ගේ සාකච්ඡා සංසද වලදී ජවිපෙ දැඩි ලෙස විවේචනය කළේය[9].
1980 දශකය අවසානයේ, ජ වි පෙ නායකත්වය දුන් සන්නද්ධ කැරැල්ලේ පසුබිම තුළ, නව පුරෝගාමී (avant-garde ) ප්‍රවණතාවය ද සුවිශේෂී සංස්කෘතික-දේශපාලන අවකාශයක් ලෙස තහවුරු වෙමින් පැවතුනි. 1990 දශකයේ මුල් භාගයේ බුද්ධිමය පරිසරය මෙම අවකාශය පුළුල් කිරීම සඳහා බෙහෙවින් හිතකර විය. මෙම තරුණ බුද්ධිමතුන්ගේ ක්‍රියාකාරකම් සඳහා ප්‍රකාශන සහ සංස්කෘතික සංවිධාන ගණනාවක් භාවිතා විය. මෙම වැදගත් ප්‍රකාශන සහ සංවිධාන අතරට රාවය, යුක්තිය සහ හිරු ටැබ්ලොයිඩ් පුවත්පත්, සමාජ විද්‍යාඥයින්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රවාද සඟරාව සහ විභාවි සංස්කෘතික මධ්‍යස්ථානය ඇතුළත් විය. මෙම තීරණාත්මක මොහොතේ දී, එවැනි කතිකාව බටහිර රටවල නව විවේචනාත්මක පශ්චාත්-නූතනවාදී බුද්ධිමය ප්‍රවණතාවල (new critical post-modernist intellectual trends) දැඩි බලපෑමට යටත් විය.
1990 දශකයේ මැද භාගයේදී, එක්ස් කණ්ඩායම (X Group) ලෙස හැඳින්වෙන රැඩිකල් දේශපාලන කණ්ඩායම නිර්මාණය වීමත් සමඟ, නව පුරෝගාමී (avant-garde ) ව්‍යාපාරයේ කූටප්‍රාප්තිය සිදු වූ බවට තර්ක කළ හැකිය. මෙයට පෙර කුඩා පරිමාණ සංවිධානාත්මක අත්හදා බැලීම් ගණනාවක් සිදු කරන ලදී – ඒවායේ නොදන්නා සහ ආන්තික ඉතිහාසය තවමත් ලියා නොමැත. කෙසේ වෙතත්, එක්ස් කන්ඩායම යනු නව පරම්පරාවේ රැඩිකල් තරුණයින්ට බලපෑම් කළ වඩාත්ම ප්‍රසිද්ධ හා බලගතු සංවිධානාත්මක අත්හදා බැලීමයි. තම අදහස් ජනප්‍රිය කර ගැනීම සඳහා අතිශයින්ම ඵලදායී හා නිර්මාණශීලී ක්‍රමයක් වර්ධනය කරගත් එක්ස් කණ්ඩායම විසින් සඟරා සහ පොත් කිහිපයක් ප්‍රකාශයට පත් කිරීම ද, ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීම සහ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ද දායක කරගත්තේය.
වසර 2000 ගණන්වලදී, එහි බලපෑම රැඩිකල් තරුණයින් අතර පැහැදිලිව දැකගත හැකි වූ අතර, වඩාත්ම වැදගත් දෙය නම්, ජවිපෙ ද මෙම නව සංසිද්ධියට ප්‍රතිචාර දැක්වීමට පටන් ගැනීමයි. පළමුවැන්නා විසින් විශේෂයෙන් නව පුරෝගාමී වමේ (avant-garde left) බලපෑම දැඩි ලෙස දැනුණු කොළඹ තදාසන්න ප්‍රදේශවල තරුණයින් අතර තම සංස්කෘතික හා බුද්ධිමය ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස වෙනස්කල බව දක්නට ලැබිණ. 2000 දශකයේ මැද භාගයේදී, මෙම ඇවන්ගාඩ් වමේ බුද්ධිමය අභියෝගයට වඩාත් ක්‍රියාශීලී ආකාරයකින් මුහුණ දීමට ජවිපෙ තීරණය කර ඇති බවක් පෙනෙන්නට තිබුණි . මෑත කාලයේ දී, විශේෂයෙන්, 2008 දී ජවිපෙහි සිදුවූ තීරණාත්මක ලෙස බෙදී යාමෙන් පසුව, නව පුරෝගාමී වමේ (avant-garde left) යම් කොටසක් සමඟ සමීප සම්බන්ධතාවයක් සොයන බවක් පෙනෙන්නට තිබුණේ, බොහෝ විට එහි යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙසය.
දෙවන කොටස: පශ්චාත් 1977 යුගයේ ගතිකයන්
ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ, ඇත්ත වශයෙන්ම, නිරන්තර ඉහළ – පහළ යාම් සමඟින් වුවද , බලපෑම් සහගත දේශපාලන ආයතනයක් ලෙස එහි අඛණ්ඩ පැවැත්මයි. 1977 සිට දේශපාලන ක්ෂේත්‍රයේ හුදු නරඹන්නෙකු බවට පත්ව ඇති මෙය පැරණි වමේ අවපාතයකට යොමුවූ ගමන් පථය සමඟ සැසඳිය හැකිය. 1950 ගණන්වල හෙජමොනික සහ අධිපතිවාදී දේශපාලන ප්‍රභූ තන්ත්‍රය (hegemonic and dominant political elite ) නැවත ස්ථාපිත කිරීමෙන් පසු ඇති වූ පසුබෑම්වලින් පැරණි වාමාංශික පක්ෂ කිසි විටෙකත් යථා තත්ත්වයට පත් නොවූ අතර, එවැනි පසුබෑම්වලින් ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමේ දැවැන්ත හැකියාවක් ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ පරිණාමය නිරීක්ෂණය කිරීමට එක් වැදගත් ක්‍රමයක් නම්, මෙම පසුබෑම් සහ කාලයත් සමඟ යථා තත්ත්වයට පත්වීමේ ගමන් පථය දෙස බැලීමයි. මෙම ප්‍රකෘතිමත් වීමේ, වර්ධනයේ සහ පසුබෑමේ චක්‍රයන් අනුව මම ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය කාල පරිච්ඡේද හතරකට බෙදමි. මෙම විශ්ලේෂණයේ පහසුව සඳහා, පසුබෑමකට ලක් වූ කාලයකට පසු, නැවත යථා තත්ත්වයට පත්වූ මොහොතේ සිට සම්පූර්ණ චක්‍රයක් ආරම්භ කර ඇත. එනම් රාජ්‍ය මර්දනය හෝ ප්‍රධාන අභ්‍යන්තර බෙදීම මගින් සලකුණු කරනු ලබන, උච්චතම සිදුවීමක් සමග පැමිණි පසුබෑම මගින් චක්‍රය සම්පූර්ණ කරයි . චක්‍ර එක සහ හතර අර්ධ චක්‍ර ලෙස දක්නට ලැබෙන අතර, පළමු චක්‍රයේ, ප්‍රකෘතිමත් වීමේ කාල පරිච්ඡේදයක් නොමැති අතර සිව්වන චක්‍රය ප්‍රකෘතිමත් වීමේ අවධියේ පවතින අතර, තවමත් උච්චතම අවස්ථාවට එළඹ නොමැති බැවිනි.
පළමුවන චක්‍රය (අර්ධ ) 1965 – 1977
වෙනම දේශපාලනික සංවිධානයක් ලෙස ජ වි පෙ 1965 දී පමණ කලලරූපී ස්වරූපයෙන් සහ කුඩා රහසිගත කණ්ඩායමක් ලෙස ආරම්භ විය. ඉන්පසු, 1971 සන්නද්ධ කැරැල්ල , රාජ්‍යය විසින් දරුණු ආකාරයට මර්ධනය කරන තෙක් එය දැවැන්ත වර්ධනයක් අත්විඳින ලදී. මෙම උච්චතම අවස්ථාවෙන් පසුව සංවිධානයේ සමස්ත නායකත්වයම සිරගත කරන ලද පසුබෑම් කාල පරිච්ඡේදයක් ඇති විය. පසුබෑමේ කාල පරිච්ඡේදය තුළ අභ්‍යන්තර ආරවුල් සහ හැර යාම් මහා පරිමාණයෙන් සිදු විය.
දෙවන චක්‍රය ( සම්පූර්ණ) , 1977 – 1994
1977 දී අලුතින් තේරී පත් වූ එ ජා ප රජය විසින් , වරදකරුවන් වූ කැරලිකරුවන් සිරෙන් නිදහස් කිරීමෙන් පසුව, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රකෘතිමත් වීම ආරම්භ විය. එ ජා ප පාලන සමයේ මුල් වසරවලදී මූලික ප්‍රකෘතිමත් වීම සාපේක්ෂව පහසු වූවා සේම එ ජා පය විසින් විපක්ෂය දුර්වල කිරීම සඳහා ජ වි පෙය බළල් අතක් භාවිතා කළේය. ජනතා විමුක්ති පෙරමුණට තම රට පුරා සංවිධාන ජාලය ප්‍රතිසංවිධානය කර ගැනීමට සහ පැරණි වාමාංශික පක්ෂ දුර්වල තත්ත්වයක පැවතීම හේතුවෙන් වඩාත් ක්‍රියාකාරී රැඩිකල් දේශපාලන ව්‍යාපාරය ලෙස නැගී සිටීමට මෙය කදිම අවස්ථාවක් ලබා දුන්නේය. 1982 ජනාධිපතිවරණයේදී අනෙකුත් වාමාංශික පක්ෂවලට වඩා විශාල ඡන්ද ප්‍රමාණයකින් ඉක්මවා යමින් බලවත් දේශපාලන බලවේගයක් බවට ජවිපෙ පත්විය. මෙම මැතිවරණයේදී, ජවිපෙ නායකයා වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 273,438 (4.19) ක් ලබාගත් අතර ඔහුගේ විරුද්ධවාදීන් වූ ලසසපයේ කොල්වින් ආර්. ද සිල්වා ඡන්ද 58,531 ක් සහ නසසපයේ වාසුදේව නානායක්කාර ඡන්ද 17,005 ක් පමණක් ලබාගත්හ. 1983 දෙමළ විරෝධී සංහාරයෙන් පසු පක්ෂය තහනම් කිරීම හේතුවෙන් ව්‍යාපාරයේ වර්ධනය තාවකාලිකව අඩාල වුවද, ජවිපෙට සම්බන්ධ වීමට අපේක්ෂාවක් ඇති අය වඩාත් ආකර්ශනය කර ගනිමින් රහසිගත ව්‍යාපාරයක් ලෙස එහි වර්ධනයට තහනම විසින්ම අවකාශ සලසා දුන්නේය. මිලිටරි බලයක් සහ යම් ප්‍රමාණයක මහජන සහයෝගයක් සහිතව සමාන්තර රජයක් (a parallel government) ප්‍රබල ලෙස පවත්වාගෙන ගිය 1989 දී ජවිපෙහි උච්චතම අවස්ථාව විය10. පසුබෑම ආරම්භ වූයේ 1989 අගභාගයේදී සහ 1990 මුල් භාගයේදී කැරැල්ල මර්දනය කර මුළු අභ්‍යන්තර නායකත්වයම පාහේ ඝාතනය කිරීමත් සමඟය.
තුන්වන චක්‍රය ( සම්පූර්ණ), 1994 – 2008
දහහත් වසරක එජාප පාලනය 1994 වසරේදී අවසාන වීමත් සමඟ , නව නායකත්වයක් යටතේ නැවත ප්‍රතිසංවිධානය වීමට වාසිදායක අවස්ථාවක් උදාකර ගත්තේය. 1990 දශකයේ අගභාගයේදී චන්ද්‍රිකා කුමාරතුංග පාලනය කෙරෙහි පැවති ජනප්‍රියතාවය කෙමෙන් අඩුවීයාමත් , එය තම ප්‍රයෝජනට ගැනීමට එ ජා පයට තිබූ නොහැකියාව සහ පක්ෂ දෙකෙහිම පිරිහුණු දේශපාලන ප්‍රභූ පැලැන්තිය කෙරෙහි මධ්‍යම පාන්තික අතෘප්තිය, ආදිය විසින් මැතිවරණ ප්‍රධාන ධාරාවේ ස්ථාපිත වීමට ජවිපෙට හිතකර පදනමක් ලබා දුන්නේය.
1994 මහ මැතිවරණයේදී ලබාගත් එක් ආසනයට11 සාපේක්ෂව පාර්ලිමේන්තුවේ ආසන 10 ක් දිනා ගනිමින් සහ මුළු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 6 ක් ලබාගනිමින් ජවිපෙ නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වූ බව 2000 මහ මැතිවරණයෙන් පැහැදිලිව පෙන්නුම් කළේය. 2001 වසරේ මැතිවරණයේදී ආසන 16 ක් සහ 9.10% ක ඡන්ද ලබා ගනිමින් තම ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් තම ඡන්ද පදනම තවදුරටත් පුළුල් කර ගත්තේය . මෙම අවස්ථාවේදී, විශේෂයෙන්ම අර්ධ නාගරික මධ්‍යම පන්තියේ සහයෝගය ආකර්ෂණය කර ගැනීමේ වර්ධනය වන හැකියාව සමඟ , පවතින හෙජමොනික ද්වි-පක්ෂ ක්‍රමයට (hegemonic two-party system), බරපතල තර්ජනයක් ලෙස ජවිපෙ මතුවන බවට සෑම ලකුණක්ම තිබුණි. 1990 දශකයේ අගභාගයේ සහ 2000 දශකයේ මුල් භාගයේදී භාවිතා කරන ලද “උනුත් එකයි මුනුත් එකයි” යන ජනප්‍රිය සටන් පාඨය මෙම මධ්‍යම පන්තියට බෙහෙවින් ආකර්ශනීය විය. මෙම සටන් පාඨයේ වචනාර්ථය වන්නේ “පක්ෂ දෙකම සමානයි” යන්නයි. මෙම සටන් පාඨය මගින් අධිපති දේශපාලන ප්‍රභූ පැලැන්තියේ පරිහානිය සම්බන්ධයෙන් ඡන්දදායකයින්ගේ අතෘප්තිය ප්‍රකාශ විය.
මේ අවස්ථාවේදී , පවතින මැතිවරණ ක්‍රමය තුළ බලය අල්ලා ගැනීමේ හැකියාව පිළිබඳව ජ වි පෙ කල්පනා කරමින් සිටි බව පැහැදිලිය. 2000 වසරේ මහ මැතිවරණයේදී , “රට හදන පස් අවුරුදු සැලැස්ම” යන වඩාත් අර්ථාන්විත නමක් සහිත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඔවුන් විසින් ඡන්දදායකයින් වෙත ඉදිරිපත් කළේය.
තුන්වන ලෝකයේ රටවල සැලසුම්ගත ආර්ථිකයක් ( a planned economy ) පැවතීම ජනප්‍රිය ප්‍රතිපත්ති විකල්පයක් (popular policy alternative) වූ යුගයකට මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය නිසැකවම අයත් වූයේය. 1977 න් පසු පාරිභෝගිකවාදී සමාජය තුළ තදින් මුල් බැස ගත් මධ්‍යම පන්තිකයින්ට නිසැකවම මෙය එතරම් ආකර්ශනීය නොවීය. සිත්ගන්නා කරුණ නම්, උත්සවාකාරයෙන් නිකුත් කරන ලද මෙම ලේඛනය, 2000 වසරේ මැතිවරණයෙන් පසු ජවිපෙ ප්‍රචාරක පද්ධතියෙන් අභිරහස් ලෙස අතුරුදහන් වීමයි. මෙයට එක් හේතුවක් විය හැක්කේ මධ්‍යම පාන්තික ඡන්දදායකයින් අතර ජවිපෙ පිළිබඳව නරක පිළිගැනීමක් ඇති විය හැකි බවට ස්වයං අවබෝධයක් ලබාගැනීම විය හැකිය.
මෙම කාල පරිච්ඡේදය ජවිපෙ තමන් පිළිබඳ දේශපාලන පරිකල්පනයේ වෙනසක් පැහැදිලිව සනිටුහන් කළේය. ශ්‍රී ල නි ප සමඟ කෙටිකාලයක් පැවති සභාග රජයක් 2001 වසරේදී පිහිටුවීම මෙම නව දේශපාලන පරිකල්පනයේ කැපී පෙනෙන අවස්ථාව විය. මහින්ද රාජපක්ෂ බලයට ගෙන ආ 2005 වසරේ ජනාධිපතිවරණය දක්වා සන්ධාන උපාය මාර්ගය අනුගමනය කරන ලදී. 2004 වසරේදී ශ්‍රීලනිප නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ අමාත්‍ය ධුර තුනක්, කෙටි කාලයක් සඳහා, ජ වි පෙ විසින් දරන ලදී.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ධජය යටතේ මැතිවරණයට තරඟ කරමින් , මෙම චක්‍රයේ උච්චතම අවස්ථාවට පැමිණි ජවිපෙ ආසන 39 ක් දිනා ගත්තේය. 1971 සහ 1989 දී එය ළඟා වූ උපරිම තත්ත්වයට වෙනස්ව, මෙවර එය ජයග්‍රහණය කළද – නමුත් එය අපේක්ෂා කළ අවසාන ජයග්‍රහණය නොවීය. කෙසේ වෙතත්, මැතිවරණයෙන් පසු තම ඊළඟ පියවර කුමක් විය යුතුද යන්න පිළිබඳව ප්‍රධාන උභතෝකෝටිකයකට ජ වි පෙ මුහුණ දුන්නේය. වසර 2004 දී චන්ද්‍රිකා කුමාරතුංග විසින් පිහිටුවන ලද රජයේ අමාත්‍ය ධුර තුනක් එය දැරුවද, දෙමළ ඊලාම් විමුක්ති කොටි ( එල්ටීටීඊ ) සමඟ යෝජිත පශ්චාත් සුනාමි අන්තර්කාලීන ගිවිසුමක් ( proposed post-tsunami interim arrangement ) පිළිබඳ ගැටළුව හේතුවෙන් ජවිපෙ එම ඇමති ධූර වලින් ඉවත් විය. 2005 වසරේ පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය සඳහා එය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ අතර, පසුව රජයට එක්වීම ප්‍රතික්ෂේප කළේය. මෙය අභ්‍යන්තර අර්බුදයක් ඇති කළ අතර එය අවසන් වූයේ 2008 වසරේ මුල් භාගයේදී විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් බලවත් කණ්ඩායමක් ඉවත් වීමත් සමඟය.
හතරවන චක්‍රය (අසම්පූර්ණ) , පශ්චාත් 2008
1989 මර්දනයෙන් පසු ජවිපෙ මුහුණ දුන් බරපතලම පසුබෑම නම් 2008 වසරේ සිදුවූ පක්ෂ හැරයාම විය හැකිය. 2008 අර්බුදයෙන් පසු පැවති පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵලවලින් මෙම පසුබෑමේ තරම පැහැදිලි වූ අතර, එම මැතිවරණයේදී ජ වි පෙ ක්‍රියාකාරිත්වය අතිශයින් දුර්වල විය. කෙසේ වෙතත්, මෙම පසුබෑම මධ්‍යයේ, පක්ෂය එහි ප්‍රබලම සාමාජිකත්වය ( hardcore membership ) රඳවා ගැනීමට සමත් විය. ප්‍රධාන වශයෙන් අහිමි වූයේ අර්ධ නාගරික මධ්‍යම පාන්තික ඡන්ද පදනමයි (voter base of the semi-urban middle classes).
පසුබෑමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ යථා තත්ත්වයට පත්වීමේ උත්සාහය පහත සඳහන් කරුණු ඇතුළුව කරුණු කිහිපයක් මත පදනම් වන බව පෙනේ: (1) අනෙකුත් විපක්ෂ කොටස් සමඟ එක්වීම; මේ සම්බන්ධයෙන් වැදගත් ඉදිරි ගමනක් සිදු වූයේ, ශ්‍රී ලංකාවේ රැඩිකල් දේශපාලනයේ පෙර නොවූ විරූ පියවරක් ලෙස, ජ වි පෙ “ප්‍රතිගාමී කඳවුරේ” අවසාන නැවතුම්පළ ලෙස සලකනු ලැබූ එ ජා පය සමඟ එක්වීමෙනි. (2) වෘත්තීය සමිති අංශය තුළ සහ විශ්වවිද්‍යාල සිසුන් අතර තම තත්ත්වය ශක්තිමත් කිරීම; (3) දෙමළ ජනයා වෙසෙන උතුරු ප්‍රදේශයේ තම ක්‍රියාකාරකම් ව්‍යාප්ත කිරීම; එල්ටීටීඊයට එරෙහි මිලිටරි මර්දනයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීම හේතුවෙන් දෙමළ දේශපාලනය සහ ජවිපෙ අතර බරපතල පරතරයක් ඇති වී තිබූ බැවින් මෙය ද වැදගත් ඉඟියක් විය.
ඉහත සාකච්ඡා කළ පරිදි, සෑම චක්‍රයක්ම වර්ධන කාල පරිච්ඡේදයකින් සමන්විත වන අතර එය උච්චතම අවස්ථාවට මඟ පාදයි, ඉන්පසු පසුබෑමේ කාල පරිච්ඡේදයක් ඇති අතර පසුව යථා තත්ත්වයට පත් වේ. යථා තත්ත්වයට පත්වූ පසු, නැවත වරක් වර්ධනයක් ඇති වන අතර එය නැවත වරක් උපරිමයට මඟ පාදයි. ඇත්ත වශයෙන්ම, ඓතිහාසික අවිනිශ්චිතතාවයන් (historical contingencies) මගින් තීරණය කරනු ලබන, එක් එක් චක්‍රය තුළ සැලකිය යුතු විචලනයක් ඇත.
ජ වි පෙ හි දේශපාලන දැක්ම සහ මතවාදීමය දිශානතීන්
ශ්‍රී ලංකාවේ එකම අව්‍යාජ මාක්ස්-ලෙනින්වාදී විප්ලවවාදී ව්‍යාපාරය තමන් බව ජනතා විමුක්ති පෙරමුණ සැමවිටම කියා සිටියේය. මාක්ස්වාදී – ලෙනින්වාදයේ ජවිපෙ ප්‍රභේදයට (The JVP version of Marxist-Leninism) සැබවින්ම ඉතා සුවිශේෂී ලක්ෂණ ඇත. 1930 ගණන්වලදී ශ්‍රී ලංකාවේ රැඩිකල් දේශපාලනයට මාක්ස්වාදය හඳුන්වා දුන් දා සිට, එය වමේ දෘෂ්ටිවාදාත්මක පැස (ideological baggage ) තුළ තීරණාත්මක ස්ථානයක් හිමි කරගෙන තිබේ. වමේ කණ්ඩායම් අතර අභ්‍යන්තර එදිරිවාදිකම් වර්ධනය වන විට, මාක්ස්වාදී න්‍යායේ අර්ථ නිරූපණය කේන්ද්‍රීය ලක්ෂ්‍යය බවට පත් වූ අතර, සෑම කණ්ඩායමක්ම තමන් සැබෑ මාක්ස්වාදී පක්ෂය ලෙස ප්‍රකාශ කළහ. ශ්‍රී ලාංකික වාමාංශය තුළ තහවුරු කර ඇති මාක්ස්වාදයේ ප්‍රභේදය (The version of Marxism) නම් රුසියානු විප්ලවවාදී මාක්ස්වාදයයි (Russian revolutionary Marxism). මාක්ස්වාදී-ලෙනින්වාදය’ යන යෙදුම ජනප්‍රිය වාක්‍ය ඛණ්ඩයක් බවට පත් වූ අතර, ලෙනින්ගේ ප්‍රතිමූර්තියක් වන් චරිතය (iconic figure of Lenin), විප්ලවවාදී ව්‍යාපාරය සඳහා මඟ පෙන්වන මූලධර්ම මාලාවක් ( a set of guiding principles for the revolutionary movement ) බවට මතවාදයක් පරිවර්තනය කළ තැනැත්තා ලෙස සලකනු ලැබීය. රෝහණ විජේවීරගේ භූමිකාව ලෙනින්ගේ චරිතයට සමාන කල අතර ලෙනින්ගේ සංකේතාත්මක වටිනාකම ජ වි පෙ හි දෘෂ්ටිවාදාත්මක ජීවිතයේ වැදගත් අංගයක් වූයේය. 1970 දී විජේවීර අත්අඩංගුවට ගත් විට, තරුණ සංවිධානය විසින් සංවිධානය කරන ලද ප්‍රචාරක ව්‍යාපාරයේදී ඔහු ශ්‍රී ලාංකික ලෙනින් ලෙස නිරූපණය කරන ලදී. මෙම සංජානනය මේ දක්වාම, විශේෂයෙන් ජවිපෙ සාමාජිකයින්ගේ මනසෙහි පවතී (Dewasiri, 1991). මාක්ස්වාදය ජාතික අභිලාෂයන්ට තර්ජනයක් ලෙස දුටු ජාතික චින්තනය සහ ජාතික හෙළ උරුමය (ජා හෙ උ ) වැනි අති -සිංහල ජාතිකවාදී (ultra-Sinhala nationalist) දෘෂ්ටිවාදයේ ප්‍රමුඛ ප්‍රකාශකයින් සිටින අති – ජාතිකවාදී (ultra-nationalist) දේශපාලන-දෘෂ්ටිවාදී සන්දර්භයක් තුළ ක්‍රියාත්මක වූ විට පවා , ජවිපෙ තම දේශපාලන ව්‍යාපෘතිය මාක්ස්වාදයේ ලෙනින්වාදී ප්‍රභේදය (Leninist version of Marxism) අනුව අර්ථකථනය කිරීමට උත්සාහ කළේය.
2000 දශකයේ මුල් භාගය වන විට, ජ වි පෙ සිංහල ජාතිකවාදී (Sinhala nationalist) දේශපාලන ව්‍යාපෘතිය තුළට සම්පූර්ණයෙන්ම අන්තර් ග්‍රහණය විය. මෙම ජාතිකවාදී දිශානතියේ වඩාත්ම වැදගත් සංවිධානාත්මක ප්‍රකාශනය වූයේ අමරසේකර ප්‍රධාන දෘෂ්ටිවාදියා වූ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයයි (Patriotic National Movement). විමල් වීරවංශ ඒ වන විට අමරසේකර වෙත දෘෂ්ටිවාදාත්මකව සහ පෞද්ගලිකව ඉතා සමීප වී සිටියේය. දෙවැන්නා එනම් අමරසේකර මාක්ස්වාදය සැබෑ ජාතික විමුක්ති අරගලයක් කිරීමට මූලික බාධකයක් ලෙස සැලකූ අතර එහි මාක්ස්වාදී නැඹුරුව අත්හැරීමට ජවිපෙට බල කළේය. 2000 දශකයේ අගභාගයේදී පක්ෂ අභ්‍යන්තරයේ ඇතිවූ අරගලයේදී තම ස්ථාවරය සාධාරණීකරණය කිරීමේදී විමල් වීරවංශ විසින් ලෙනින් ගැන පුළුල් ලෙස සඳහන් කිරීම එවැනි සන්දර්භයක් තුළ පවා සිත්ගන්නා කරුණකි. (Weeravansa, 2008: 181-182, 186-188, 221, etc).
ජ වි පෙ දේශපාලන හැසිරීමේ කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ සමාන්තර දේශපාලන න්‍යාය පත්‍ර දෙකක් – එකක් පුළුල් ජනතාව සඳහා සහ අනෙක පක්ෂය තුළ සඳහා වශයෙන් එකවර නිරවුල්ව ප්‍රකාශ කිරීමට ඇති හැකියාවයි. එය සැමවිටම පක්ෂය තුළ ආරක්ෂිත දේශපාලන සංවාදයක් පවත්වා ගෙන ගිය අතර, මහජන න්‍යාය පත්‍රය තම බහුජනයා වෙත ගෙනයාම සඳහා පක්ෂ ක්‍රියාකාරීන් පුහුණු කළේය. අභ්‍යන්තර න්‍යාය පත්‍රය සැමවිටම මුලුමනින්ම සංගත වූ අතර පක්ෂයේ අවසාන ඉලක්කය “නිර්ධන පංතියේ ආඥාදායකත්වය මගින්” (through the dictatorship of proletariat) සමාජවාදී සමාජ ක්‍රමයක් (socialist social order) ස්ථාපිත කිරීම ලෙස පැහැදිලිව දක්වා තිබුණි. රාජ්‍ය බලය අල්ලා ගැනීම මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා පූර්ව කොන්දේසියක් ලෙස සලකනු ලැබීය. රාජ්‍ය බලය අල්ලා ගැනීමෙන් පසු ජනතාව සඳහා ද්විතීයික න්‍යාය පත්‍රයක් අවශ්‍ය විය.
මෙම මහජන න්‍යාය පත්‍රය ඉතා සැලකිලිමත්ව සකස් කරන ලද්දේ රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා පක්ෂයේ උපායමාර්ගික අරමුණට අනුකූලවය. 1977න් පසු කාලපරිච්ඡේදයේ උපායමාර්ගික චින්තනය තුළ, සන්නද්ධ අරගලය හෝ ජනප්‍රිය මැතිවරණ හරහා දේශපාලන බලය අල්ලා ගැනීම සඳහා මහජන සහයෝගය ලබාගැනීම ප්‍රධානතම සාධකය ලෙස සලකනු ලැබීය. එබැවින්, සිංහල-බෞද්ධ දකුණේ මභජනතාවගේ සහයෝගය දිනා ගැනීම සඳහා ද්විතීයික න්‍යාය පත්‍රයක් සැමවිටම ක්‍රියාත්මක විය.
පක්ෂ අභ්‍යන්තර න්‍යාය පත්‍රය සහ පොදු න්‍යාය පත්‍රය අතර දෘෂ්ටිවාදාත්මක ගැටුම පිළිබඳව පක්ෂ නායකත්වයට පැහැදිලි අදහසක් තිබුණි. උදාහරණයක් ලෙස, උපායික පදනමක් මත භාවිතා කළද, නිල පක්ෂ දෘෂ්ටිවාදය තුළට සිංහල-බෞද්ධ ජාතිකවාදය සමෝධානය කළ නොහැකි බව පක්ෂ නායකත්වය දැනුවත්ව සිටියෝය. මෙම අතිශය සියුම් ද්විත්ව උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීමේදී, පක්ෂ ක්‍රියාකාරිකයා සහ මහජනතාව අතර තියුණු වෙනසක් පවත්වා ගැනීමට සිදු විය. මෙම ද්විත්ව උපාය මාර්ගය පක්ෂ ක්‍රියාකාරීන්ට පැහැදිලි කිරීමේදී ජවිපෙ දේශපාලන භාෂාවෙන් උපක්‍රම යන සංකල්පය තීරණාත්මක විය. පක්ෂ කාඩර්වරයෙකු මෙම ද්විත්ව උපාය මාර්ගය පිළිබඳව කිසියම් අවිනිශ්චිතතාවයක් පෙන්නුම් කළ විට, ප්‍රසිද්ධ පිළිතුර වූයේ “ඒක උපක්‍රමයක් සහෝදාරයා” යන්නයි. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වයට සහාය දැක්වීම සඳහා පක්ෂය පොළඹවා ගැනීමට වූ තම අභ්‍යන්තර අරගලයේදී විමල් වීරවංශ මෙම ද්විත්ව උපාය මාර්ගය චතුර ලෙස ප්‍රකාශ කළේය. 2010 ජනාධිපතිවරණයට තරඟ කර ජයග්‍රහණය කිරීමේ අරමුණින් යුතුව උපායශීලී පියවරක් ලෙස මෙවර පක්ෂය මෙම සහයෝගය පෙන්විය යුතු බව ඔහු තර්ක කළේය. (Weeravansa, 2008: 111).
මෙම ද්විත්ව උපාය මාර්ගික ප්‍රවේශය හේතුවෙන්, ජනතා විමුක්ති පෙරමුණේ දෘෂ්ටිවාදාත්මක හැසිරීම අද්විතීය තත්ත්වයක් අත්පත් කරගෙන ඇත. එක් දේශපාලන න්‍යාය පත්‍රයක් තුළ දෘෂ්ටිවාදාත්මක කතිකාවන් කිහිපයක අංග ප්‍රකාශ කිරීම මගින් මෙම දෘෂ්ටිවාදාත්මක හැසිරීම සංලක්ෂිත වේ. ජවිපෙ දෘෂ්ටිවාදාත්මක පැස සාදන මෙම දෘෂ්ටිවාදාත්මක අංග, විවිධ අවස්ථා වලදී තම දේශපාලන න්‍යාය පත්‍රය සඳහා මහජන සහයෝගය ලබා ගැනීමට භාවිතා කරන උපක්‍රම අනුව ජවිපෙ දෘෂ්ටිවාදාත්මක හැසිරීම් වල කාර්යභාරය ඉටු කරයි. එහි දේශපාලන න්‍යාය පත්‍රය හැඩගැස්වීමට විවිධ දෘෂ්ටිවාදාත්මක සංරචක දායකවන සහ එක් එක් දෘෂ්ටිවාදාත්මක සංරචක අතර ආතතිය නිසා අභ්‍යන්තර බෙදීම් සහිත ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයේ ඇතැම් අඛණ්ඩතාවයන් නොමැති අවස්ථා තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ දෘෂ්ටිවාදාත්මක පැස දෙස බලන විට, එහි ප්‍රධාන කොටස් ලෙස පහත සඳහන් සංරචක හඳුනාගත හැකිය: වාමාංශික රැඩිකල්වාදය (left radicalism) ; මෘදු සිංහල ජාතිකවාදය (soft Sinhala nationalism) ග්‍රාමීය මූලයක් සහිත රැඩිකල් ජනතාවාදය (rural-oriented radical populism). මෙම දෘෂ්ටිවාදාත්මක අංග නාගරික නැඹුරුතා සහිත සමාජ සිහින (urban-oriented social dreams) දැරූ ග්‍රාමීය සම්භවයක් ඇති තරුණයන්ගෙන් සමන්විත වූ ජවිපෙ ඡන්දදායක ගොනුවට ආමන්ත්‍රණය කිරීමේදී වඩාත් ඵලදායී විය. ජ වි පෙ දේශපාලන වැඩසටහනේ බාහිර ප්‍රක්ෂේපණය සෑම විටම සකස් කරන ලද්දේ නිශ්චිත අවස්ථාවට ගැලපෙන පරිදි මෙම දෘෂ්ටිවාදාත්මක අංග ප්‍රකාශ කිරීමෙනි.
ජ වි පෙ දේශපාලන-දෘෂ්ටිවාදී අඛණ්ඩතාවයන්හි සාමාන්‍ය රටාව නම්, දේශපාලන-දෘෂ්ටිවාදී ව්‍යාපෘතියේ ප්‍රගමනයේ නිශ්චිත අවස්ථාවක දී, මූලික සංවිධානයේ දේශපාලන ඉලක්කය සමඟ ප්‍රමුඛ දෘෂ්ටිවාදාත්මක අංගය ගැටුම්කාරී ස්ථානයකට ළඟා වේ. මෙම ගැටුම ද්විත්ව උපායමාර්ගික ප්‍රවේශය (dual strategy approach) අනුව පැහැදිලි කළ හැකි අතර, එහිදී අභ්‍යන්තර න්‍යාය පත්‍රයට පුළුල් පිළිගැනීමක් සහ මහජන සහයෝගයක් ලබා ගැනීම සඳහා නායකත්වය විසින් වෙනම න්‍යාය පත්‍ර දෙකක් සියුම් ලෙස ප්‍රකාශ කරනු ලැබේ. බාහිර න්‍යාය පත්‍රයේ ඉහළ මට්ටමේ දෘෂ්ටිවාදාත්මක බලය හේතුවෙන්, ක්‍රියාකාරිකයාගේ දේශපාලන ආත්මීයත්වය උපායශීලීව භාවිතා කරන දෘෂ්ටිවාදාත්මක න්‍යාය පත්‍රය මගින් පරිවර්තනය කර ප්‍රතිව්‍යුහගත කරනු ලැබේ. යම් නිශ්චිත අවස්ථාවක දී, අභ්‍යන්තර න්‍යාය පත්‍රයට ප්‍රතිවිරුද්ධව බාහිර න්‍යාය පත්‍රය විසින් පක්ෂ අභ්‍යන්තර එදිරිවාදිකම් සංවිධානය කරයි. බාහිර න්‍යාය පත්‍රයේ දේශපාලන චාරිත්‍ර වාරිත්‍ර හරහා දේශපාලනීකරණය වූ සාමාජිකයින්, ඒ සමඟම, අවිවාදයෙන්ම නායකත්වයට පක්ෂපාතීව සහ න්‍යාය පත්‍ර දෙකක් අතර දෝලනය වෙමින් සිටිති. බිඳී යාමේ අවස්ථාවේදී, අභ්‍යන්තර ප්‍රතිවාදී කණ්ඩායම්වල බල සමතුලිතතාවය සහ බාහිර දෘෂ්ටිවාදාත්මක සංරචකවල ප්‍රකාශන හැකියාවේ සාපේක්ෂ ශක්තිය මත පදනම්ව සාමාජිකත්වය කණ්ඩායම් දෙකක් අතර බෙදී යයි.
1989 පරාජයෙන් පසු කාලපරිච්ඡේදය තුළ නැවත පක්ෂය ගොඩනැඟීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ වැදගත් පුද්ගලයින් දෙදෙනෙකු වන රෝහිත භාෂණ අබේවර්ධන සහ විමල් වීරවංශ යන අයගේ දේශපාලන ජීවිතයේ ගමන් පථවලින් මෙය වඩාත් හොඳින් පැහැදිලි කළ හැකිය. 1989 රාජ්‍ය මර්දනයෙන් දිවි ගලවා ගත් මෙම තරුණ ක්‍රියාකාරීන් දෙදෙනා පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා සමීපව කටයුතු කළහ. 1989 වසරෙන් පසු දෙමළ සටන්කාමී ව්‍යාපාරය දෙසට කෙටි කාලීන විවෘත වීමක් ඇති වූ විට, දෙමළ සටන්කාමී දේශපාලනය සමඟ ඔහුගේ සම්බන්ධතා හරහා අබේවර්ධනගේ දේශපාලන ආත්මීයත්වය පරිවර්තනය වීම සහ ප්‍රතිව්‍යුහගත වීම සිදුවිය. මෙම සම්බන්ධතාවේ ප්‍රධාන පුද්ගලයෙක් බවට පත්වීමත් සමඟ අබේවර්ධන දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතියේ බලවත් ආරක්ෂකයෙක් බවට පත්වූයේය. ඔහු ඉක්මනින්ම ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වී විකල්ප දේශපාලන කණ්ඩායමක් පිහිටුවා ගත්තේය. පසුව, දෙමළ ජාතිකවාදී දේශපාලන ඉල්ලීම් (Tamil-nationalist political demands) සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය පිළිබඳ දැඩි විවේචකයෙකු බවට පත්විය. වීරවංශගේ දේශපාලන ආත්මීයත්වය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට පරිවර්තනය වීම සහ ව්‍යුහගත වීම සිදුවිය. 1990 දශකයේ අගභාගයේදී ද්විත්ව උපාය මාර්ගයේ බාහිර න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගය ලෙස අන්ත-සිංහල ජාතිකවාදය (ultra-Sinhala nationalism) පත් වූ හා වීරවංශ එහි ප්‍රධාන ප්‍රකාශකයා බවට පත් වූ කාලයකදී සිංහල අන්ත-ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතියේ නියැලීම හරහා ඔහුගේ දේශපාලන ආත්මීයත්වය පරිවර්තනය වීම හා ව්‍යුහගත වීම සිදුවිය. 2008 වසරේ දී ඔහු ජ වි පෙන් ඉවත් වන විට, ඔහු සිංහල අන්ත-ජාතිකවාදී කතිකාවේ (Sinhala ultra-nationalist discourse) ජනප්‍රියම ප්‍රකාශකයා බවට පත්ව සිටියේය.
අභ්‍යන්තරව නිර්වචනය කරන ලද දේශපාලන ඉලක්කයක් සපුරා ගැනීම සඳහා විවිධ දේශපාලන-දෘෂ්ටිවාදී අංග ප්‍රකාශ කරන ලද මෙම ද්විත්ව උපාය මාර්ගික ප්‍රවේශය, ජනතා විමුක්ති පෙරමුණ අද්විතීය හා අතිශයින්ම සජීවී දේශපාලන ආයතනයක් බවට පත් කළේය. මෙය අඩුම තරමින් අර්ධ වශයෙන් හෝ , බරපතල පරාජයන්ගෙන් ගොඩ ඒමට සහ සැලකිය යුතු මහජන සහයෝගයක් සහිත දේශපාලන කාරකයෙකු ( a political player ) ලෙස රැඳී සිටීමට ජවිපෙට උපකාරී විය. කෙසේ වෙතත්, ඒ කාලයේදීම, විවිධාකාර – සහ සමහර විට ගැටුම්කාරී විය හැකි – දෘෂ්ටිවාදී සංරචක එක් දේශපාලන න්‍යාය පත්‍රයකට ප්‍රකාශ කිරීමේ මෙම අද්විතීය ලක්ෂණය නිතර අභ්‍යන්තර බෙදීම් ඇති කළේය.
තුන්වන කොටස . රැඩිකල් දේශපාලනය ප්‍රධාන ධාරාවට ගෙන ඒමේ උභතෝකෝටිකය: අවසාන නිගමනය
2004-2005 කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණ ඉහළ මට්ටමේ ජනතා සහයෝගයක් ලබගෙන සිංහල-බෞද්ධ දකුණේ (Sinhala-Buddhist south) දේශපාලන ප්‍රධාන ධාරාවේ අත්‍යවශ්‍යම පාර්ශ්වයක් ලෙස ස්ථිරව ස්ථාපිත වූ විට, එහි රැඩිකල් ජීවගුණය තියුණු ලෙස ක්ෂය වූයේය. මෙම රැඩිකල්හරණය (de-radicalisation)සහ ප්‍රධාන ධාරාවට පිවිසීමට හේතු වූ පහත සඳහන් සාධක තුනක් මම යෝජනා කරමි: (1) ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය ප්‍රභූකරණය වීම (elitisation of the JVP leadership ); (2) ග්‍රාමීය තරුණයින්ගේ දේශපාලනික ආත්මීයත්වය පරිවර්තනයට ලක්වීම (transformation of the political subjectivity of the rural youth); (3) ජවිපෙ හි සමාජ පදනම පුළුල් වීම (broadening of the social base of the JVP).
ජ වි පෙ නායකත්වය ප්‍රභූකරණය වීම
පැරණි වමේ නායකත්වය මෙන් නොව, ජවිපෙ නායකත්වය ප්‍රභූ නොවන පසුබිමකින් පැමිණි සේම – නායකත්වය ද හැම අතින්ම ජවිපෙ ඡන්දදායක ගොනුවේ (constituency) කොටසක් විය. කෙසේ වෙතත්, 1989 න් පසු ප්‍රති සංවිධාන ක්‍රියාවලියේදී, නායකත්ව ශ්‍රේණිවල වැදගත් පරිවර්තනයක් සිදු විය. දිගු කලක් දේශපාලන ප්‍රධාන ධාරාවේ රැඳී සිටි ඉහළ නායකත්වය, ප්‍රභූ තත්ත්වයකට පරිවර්තනය වෙමින් සිටියේය. මෙම ප්‍රභූකරණයේ (elitisation) සාධක තුනක් මම හඳුනා ගනිමි.
පළමුවැන්න නම් නියෝජිත ආයතනවලට සාමාජිකයින් විශාල සංඛ්‍යාවක් තෝරා පත් කර ගැනීමයි පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය ඉහළ සමාජ සංචලතාවය සඳහා යාන්ත්‍රණයක් බවට පත්ව ඇත. නියෝජිත ආයතනවලට තේරී පත් වූ අය තම ධනය, බලය සහ සමාජ තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා තමන් තේරී පත් වූ ආයතන භාවිතා කිරීමට උත්සාහ කළේය. එසේ වූවද , පසුගිය වසර 15 තුළ ජ වි පෙ අත්දැකීම මෙයට වඩා තරමක් වෙනස් ය. මෙම නියෝජිතායතන වෙත තේරී පත්වූ ජවිපෙ සාමාජිකයන් සම්බන්ධව පක්ෂ යාන්ත්‍රණය විසින් සමීප අධීක්‍ෂණයක් සිදුකරන ලදී. කෙසේ වෙතත්, මෙම තේරී පත් වූ සාමාජිකයින් තේරී පත්වීමෙන් සහ ඔවුන් පොදු මහජනතාවගේ කටයුතුවල නිරත වීමෙන් ඔවුන්ගේ සමාජ තත්ත්වය වැඩිදියුණු වීම නොවැළැක්විය හැකිය. සමාජ සැකසුමේ තත්ව ධූරාවලියේ පහළ ස්ථරයන්ගෙන් පැමිණෙන ඔවුන්, තේරී පත් වූ පසු ප්‍රභූ තත්ත්වය ලබා ගනිමින් ස්වයංක්‍රීයව ඉහළ ස්ථරයකට උසස් වූයේය.
දෙවැන්න නම් ජවිපෙ වෘත්තීය සමිති අංශය ඒකාබද්ධ කිරීම සහ ජවිපෙ වෘත්තීය සමිති නායකත්වය තුළ වෘත්තීය සමිති නිලධාරිවාදයක් මතුවීමයි. සාමූහික කේවල් කිරීමේ ක්‍රියාවලීන්හිදී වෘත්තීය සමිතිගත වැටුප් කම්කරුවන්, සේවා යෝජකයින් සහ රාජ්‍යය අතර අතරමැදියෙකු ලෙස ක්‍රියා කරන වෘත්තීය සමිති නිලධරයක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාවේ ශක්තිමත් වෘත්තීය සමිති අංශය දිගු කලක් තිස්සේ, පහසුකම් සපයා ඇත . පසුගිය වසර 15 තුළදී, වෘත්තීය සමිති ක්ෂේත්‍රය තුළ ජ වි පෙ ශක්තිමත් ලෙස තහවුරු විය. මෙම සංවර්ධනයේ ස්වාභාවික ප්‍රතිඵලයක් ලෙස වෘත්තීය සමිති නායකත්වය ප්‍රභූ මට්ටමට ඔසවා තැබීම සිදුවිය. ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලට සහභාගී වීම සහ වැදගත් මාධ්‍ය චරිත බවට පත්වීම මෙම ප්‍රභූ තත්ත්වයේ සැලකිය යුතු ලක්ෂණ බවට පත්ව ඇත.
තෙවැන්න නම් පක්ෂ නිලධාරී තන්ත්‍රයේ සහ පූර්ණ කාලීන නිලධාරීන්ගේ වර්ධනයයි. පක්ෂ ක්‍රියාකාරකම් පුළුල් වීමත් සමඟ පක්ෂ නිලධාරී තන්ත්‍රය එහි පූර්ණ කාලීනයන් සමඟ වර්ධනය වී ඇත. පසුගිය දශක දෙක තුළ පක්ෂයේ මූල්‍ය ශක්තිය බෙහෙවින් දියුණු විය. එබැවින්, පක්ෂ නිලධාරීන්ගේ සහ පූර්ණ කාලීනයන්ගේ ජීවිත නිසැකවම දියුණු වී ඇත. මෙම තත්ත්වය නිසැකවම ඔවුන් සාමාන්‍ය පක්ෂ සාමාජිකයින්ගේ මට්ටමට වඩා ඉහළට ඔසවා ඇත.
නායකත්වයේ එවැනි ප්‍රභූකරණයක් (elitisation) සිදුවීම මත ඇති විය හැකි ප්‍රතිවිපාක පිළිබඳව ජවිපෙ නායකත්වය හොඳින් දැන සිටි බව සඳහන් කළ යුතුය. පක්ෂ සාමාජිකයින්ගේ සමාන තත්ත්වය මූලිකම සම්මතයක් ලෙස සැලකේ . එබැවින්, නියෝජිත ආයතනවලට තේරී පත් වූ පක්ෂ සාමාජිකයින් දැඩි විනය නීති මාලාවකට යටත් කර ඇත. මෙම විනය නීති මාලාවේ වැදගත්ම එකක් වන්නේ තේරී පත් වූ ආයතනවල නියෝජිතයන් වන පක්ෂ සාමාජිකයින්ට වේතන ලබා දීමේ ප්‍රතිපත්තියයි. මෙම තනතුරුවලට අදාළ වැටුප් භාවිතා කිරීමට ඔවුන්ට ඉඩක් ලබාදී නැත. මෙම වැටුප් සමාජ සුභසාධන ව්‍යාපෘති සඳහා භාවිතා කරන පොදු අරමුදලකට යොමුකරනු ලැබේ. වාහන භාවිතය සම්බන්ධයෙන් ද යම් සීමාවන් තිබේ. කෙසේ වෙතත්, මම තර්ක කරන්නේ, ප්‍රභූකරණ ක්‍රියාවලිය අවහිර කිරීම සඳහා මෙම පියවරයන් සම්පූර්ණයෙන්ම සාර්ථක වී නොමැති, නමුත් ඒවා නිසැකවම එම ක්‍රියාවලිය අධෛර්යමත් කර ඇත.
එපමණක් නොව, මෙම ප්‍රභූකරණය ජනතා විමුක්ති පෙරමුණ හෙජමොනික දේශපාලන ප්‍රධාන ධාරාව (hegemonic political mainstream) ට ඒකාබද්ධ කිරීමේ තාර්කික ප්‍රතිඵලයකි. ආයතනික අංශය (cooperated sector), රාජ්‍ය නිලධාරිවාදය සහ විදේශීය රාජ්‍ය තාන්ත්‍රික කව වැනි හෙජමොනික බලවේගයන්ගේ නිරන්තර ඇසුර , යම් මට්ටමක ඉහළ සමාජ තත්වයක් පවත්වා ගැනීමට පක්ෂ නායකත්වයට බල කෙරී ඇත. අනෙකුත් ප්‍රධාන පක්ෂ හා සසඳන විට ජවිපෙ නායකත්වය පවත්වා ගෙන ගොස් ඇති තත්ත්වය සැලකිය යුතු ලෙස අඩු වුවද, සමහර ආන්තික අවස්ථා ද තිබේ. විමල් වීරවංශගේ සිද්ධිය එවැනි එක් ආන්තික අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. සුඛෝපභෝගී ජීවන රටාවක් පවත්වා ගැනීම නිසා මාධ්‍ය විසින් ඔහුව ඉලක්ක කරගත්තේය. එසේම, මෙම සුඛෝපභෝගී ජීවන රටාව සංකේතවත් කිරීම සඳහා කාටූන් ශිල්පීන් විසින් ඔහුව සැමවිටම නිරූපණය කළේ ජංගම දුරකථන දෙකක් සහිතවය.
ග්‍රාමීය තරුණ පරපුරෙහි දේශපාලන ආත්මීයත්වයේ විපරිණාමය
එක් වැදගත් අංගයක් වන්නාවූ විරැකියා ප්‍රතිශතයේ විශාල ලෙස පහත වැටීම සමඟ පසුගිය දශක දෙකෙහි දී (මෙම ලිපිය පළවන්නේ 2010 වසරේ දීය – පරිවර්තක) ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ මූලික වෙනස්වීම් සිදුවිය. ග්‍රාමීය අතිරික්ත ශ්‍රමය සඳහා විවිධ නව අවස්ථාවන් විවෘත වී ඇත . ග්‍රාමීය හා නාගරික ආර්ථික ක්‍රියාකාරකම්වල ව්‍යාප්තිය සමඟ ඇතිවූ ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොළ සඳහා නව විවෘත වීම් එවැනි වැදගත් අවස්ථාවන් වූයේය. ග්‍රාමීය තරුණ තරුණියන්ට ඔවුන්ගේ අපේක්ෂාවන් ගවේෂණය කිරීමට ඇති ඉඩකඩ මෙම තත්ත්වය විසින් නිසැකවම පුළුල් කළේය.
මෙම වෙනස්කම් විසින් නිසැකවම ග්‍රාමීය තරුණයින්ගේ දේශපාලන ආත්මීයත්වය පරිවර්තනයකට ලක් කළේය. 1960 සහ 1980 ගණන්වල රැකියා විරහිත සහ ඌන සේවා නියුක්ත ග්‍රාමීය තරුණයින්ගේ බලාපොරොත්තු සුන් වූ මානසිකත්වය සමඟ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ආයාචනය ගැළපුන ද, පසුගිය දශකය තුළ හෝ ඊට ආසන්න කාලය තුළ තත්වය බෙහෙවින් වෙනස් වී ඇත. බලවත් ප්‍රධාන ( dominant) සමාජ හා සංස්කෘතික සැකසුමට ග්‍රාමීය තරුණයින් අන්තර් ග්‍රහණය කිරීම සඳහා ආධිපත්‍යධාරී නව ආකාර (New forms of hegemony) දැන් ක්‍රියාත්මක වෙමින් පවතී. නව පාරිභෝගික සංස්කෘතියෙන් නිදහස් නොවන පරිභෝජනවාදී සමාජයක් (Consumerisation of society) රටේ දුර ඈත ප්‍රදේශ වෙත පවා පැමිණ තිබේ. මෙම සංස්කෘතිය ග්‍රාමීය තරුණයින්ගේ මනස අතිමහත් බලයකින් ග්‍රහණය කරගෙන ඇති අතර, ඔවුන් අතර ප්‍රධාන වශයෙන් නිර්දේශපාලනීකරණයක් ඇති කිරීමට ද හේතු වී තිබේ. ඉලෙක්ට්‍රොනික මාධ්‍යවල (රූපවාහිනී සහ එෆ් එම් රේඩියෝ නාලිකා) පැතිරීම සහ ලාභදායී පාරිභෝගික භාණ්ඩ ලබා ගැනීමේ පහසුකම විසින් ග්‍රාමීය තරුණයින්ගේ මනස අත්පත් කරගෙන ඇත. ග්‍රාමීය තරුණයින් අතර නව “රියැලිටි ටීවී” සංසිද්ධියක් කෙරෙහි ඇති දැවැන්ත ආකර්ෂණය, නව පාරිභෝගික සංස්කෘතියේ ආධිපත්‍යවාදී බලය තුළ පැහැදිලි ප්‍රකාශනයක් වේ.
ජවිපෙ සමාජ පදනම පුළුල් වීම
දැනටමත් පෙන්වා දී ඇති පරිදි, පසුගිය වසර 15 තුළ අර්ධ නාගරික මධ්‍යම පාන්තිකයින් අතර ප්‍රබල මැතිවරණ බලවේගයක් බවට ජවිපෙ පත්ව ඇත. මෙම සමාජ පන්තියේ දේශපාලන ආත්මීයත්වය, ජවිපෙ සන්නද්ධ කැරලි දෙකක් සඳහා බලමුලු ගැන්වූ ග්‍රාමීය තරුණයින්ගේ පදනමට වඩා මූලික වශයෙන් වෙනස් වී ඇත. රැඩිකල්හරණය වූ ග්‍රාමීය තරුණයින් සමඟ ඒකාබද්ධ වූ ජවිපෙ හි මෙම නව සමාජ පදනම, පක්ෂය රැඩිකල් ක්‍රම විරෝධී දේශපාලන ව්‍යාපාරයක (a radical anti-systemic political movement) සිට ප්‍රතිසංස්කරණවාදී දේශපාලන පක්ෂයක් (a reformist political party) බවට පරිවර්තනය වීමට පහසු කර ඇත. රැඩිකල් දේශපාලන මාවතේ සිට වඩාත් අනුකූල මාවතකට ගමන් කිරීමට එයට ඇති පහසුව දෙස බලන විට, ජවිපෙ සමාජ පදනමේ රැඩිකල්හරණය ප්‍රත්‍යක්ෂව – පැහැදිලි වේ. ආරම්භයේ සිටම ජ වි පෙ දැඩි ලෙස විරුද්ධ වූ උපාය මාර්ගයක් වන ශ්‍රී ලං නි ප සමඟ සන්ධානයක් ගොඩනැගීම සඳහා ජ වි පෙ හට විශිෂ්ඨ අවස්ථාවක් ලබාදුන්නේය. පැරණි වාමාංශික පක්ෂ ඒ මාවතේම ගමන් කිරීමට පටන් ගත් විට ඔවුන් මුහුණ දුන් දැඩි ප්‍රතිරෝධය මෙහිදී කෙනෙකුට සිහිපත් කළ හැකිය. කෙසේ වෙතත්, ජ වි පෙ සම්බන්ධයෙන් ගත් කල, විප්ලවවාදී මතවාදයේ සිට ප්‍රධාන ධාරාවේ සන්ධාන දේශපාලනයට (revolutionary idealism to mainstream coalition politics) මාරුවීම බොහෝ පහසුවෙන් සිදු වී තිබේ.
2008 න් පසු ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂාවන්
2008 දී ජනතා විමුක්ති පෙරමුණේ සිදුවූ බෙදීම නිසැකවම හැරවුම් ලක්ෂ්‍යයක් විය. ඉන්පසු පැවති මැතිවරණ ප්‍රතිඵලයෙන් එහි ක්ෂණික ප්‍රතිවිපාකය ඉතා පැහැදිළි විය. 1994 අග භාගයේ සිට ජවිපෙ ලබා ඇති ප්‍රධාන මැතිවරණ ජයග්‍රහණ හා සසඳන විට එය දැඩි පරාජයන්ට ලක් විය. මැතිවරණවලදී ලද මෙම පරාජයන්ගේ ඇඟවුම් මොනවාද?
ජවිපෙ නැවතත් අවි අරගලයට යොමු වනු ඇතැයි ඇතැම් කොටස් සිතූ බවක් පෙනෙන්නට තිබුණි. එය සැබෑවක් ලෙසම හෝ ජවිපෙ ආණ්ඩු විරෝධී ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා කඩතුරාවක් ලෙස හෝ සලකමින් රජයේ ප්‍රචාරක යන්ත්‍රය ද ඒ හා සමාන ආකාරයකින් සිතන බවක් පෙනෙන්නට තිබුණි . ජවිපෙ නැවත සන්නද්ධ අරගලයක් දෙසට මාරුවීමේ අදහස ගැන කල්පනා කරමින් සිටියත් නැතත්, එවැනි ප්‍රවේශයක් අනුගමනය කිරීම සඳහා නිශ්චිත ව්‍යුහාත්මක බාධාවන් තිබේ . ප්‍රධාන සාධකය වන්නේ ආයුධ සන්නද්ධ අරගලයකට අත්‍යවශ්‍යම සහයෝගයක් ලබාදෙන ග්‍රාමීය තරුණයින්ගේ දේශපාලනික ආත්මීයත්වයේ පරිවර්තනයයි. 1990 ට පෙර යුගයේ පැවති තත්ත්වයට සාපේක්ෂව, ක්‍රම විරෝධී දේශපාලන උපාය මාර්ගය දැන් ග්‍රාමීය තරුණයින්ට එතරම් ආකර්ශනීය නොවේ.
ඇත්තටම කවරක් හෝ වේවා , ජ වි පෙ තම පැවැත්ම පිළිබඳ බරපතල ගැටලුවකට මුහුණ දී සිටින බව පැහැදිලිය. මෙම අර්බුදය පිළිබඳව ජ වි පෙ නිසැකවම හොඳින් දනී. විකල්ප දේශපාලන මාර්ග දෙකක් අත්හදා බලමින් සිටින බව පෙනේ. එකක් නම්, ‘ප්‍රජාතන්ත්‍රවාදය’ පුළුල් සටන් පාඨයක් ලෙස ගනිමින්, ජනප්‍රිය විපක්ෂ දේශපාලනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සහ සාමාන්‍ය ජනතාවට ක්ෂණික උනන්දුවක් දක්වන ගැටළු විසඳීම කෙරෙහි අවධානය යොමු කිරීමයි. මෙම රේඛාවේ ප්‍රධානතම දෙය නම් සිරගතව සිටින හිටපු හමුදාපති සරත් ෆොන්සේකා වටා ජනතාව බලමුලු ගැන්වීමයි.
ඒ සමඟම වඩාත් සාම්ප්‍රදායික මාක්ස්වාදී – ලෙනින්වාදී (orthodox Marxist-Leninist) දේශපාලන ධාරාවක් ගැන ද වැඩි වශයෙන් අවධාරණය වෙමින් පවතී. මෙම දේශපාලන ධාරාව පක්ෂයේ තරුණ කොටස් අතර වඩාත් ජනප්‍රිය බව පෙනේ. මෑතකදී, පක්ෂයේ තරුණ කණ්ඩායමක් විසින් “අවුරෝරා” ලෙස විශේෂයෙන් නම් කරන ලද වාර සඟරාවක් ආරම්භ කළහ (vol.1 no. 1, December 2010-January 2011). 1917 රුසියානු විප්ලවයේ බොල්ෂෙවික් ජයග්‍රහණය හා සම්බන්ධ පුරාවෘත්තගත රුසියානු නෞකාවේ නම “අවුරෝරා” ය.
කෙසේ වෙතත්, මුලින්ම බැලූ බැල්මට, මෙම ධාරාවන් දෙක වෙනස් දිශානති දෙකක් නියෝජනය කරන බවක් නොපෙනන නමුත් ඒ වෙනුවට, අන්‍යෝන්‍ය වශයෙන් අනුපූරක ලෙස දැකිය හැකිය. කලින් විස්තර කළ ද්විත්ව උපාය මාර්ගික ප්‍රවේශය අනුව එය පහසුවෙන් පැහැදිලි කළ හැකිය. කෙසේ වෙතත්, මෙම ධාරාවන් දෙක උපායමාර්ගිකව අර්ථ දක්වා ඇති ද්විත්ව දේශපාලන ධාරාවක ප්‍රකාශනයක් ද, නැතහොත් මෑත කාලීන පසුබෑම් වලින් ගොඩ ඒමට අවදානම් සහගත උත්සාහයන් ද යන්න විනිශ්චය කිරීමට තවමත් කල් වැඩියි.
පක්ෂය තුල සිදුවන සාකච්ඡා පිළිබඳව විශ්වාසදායක අභ්‍යන්තර තොරතුරු නොමැතිකම විසින් මෙම ධාරාවන් දෙක පිළිබඳව දැඩි නිගමනවලට එළඹීමෙන් අපව වළක්වයි. කෙසේ වෙතත්, පොදුවේ ලබා ගත හැකි තොරතුරු විවේචනාත්මකව ඇගයීමට ලක් කරමින්, මෙම දේශපාලන දිශානති දෙක ජනතා විමුක්ති පෙරමුණේ අද්විතීය නව වර්ධනයක් නියෝජනය කරන බව මම යෝජනා කරමි – එනම්, පක්ෂය විසින් ආමන්ත්‍රණය කරනු ලබන ඡන්දදායක ගොනු දෙකක සුවිශේෂී දේශපාලන ආත්මීයත්වය සහිතව පක්ෂ දේශපාලන ධාරාවන් වල විවිධත්වයක් මතුවීමයි. ධනේශ්වර පාරිභෝගිකවාදයේ පවතින ආධිපත්‍යය (hegemony of capitalist consumerism)තුළ ඉතා හොඳින් ස්ථාපිත සමාජ පන්තියක් වන අර්ධ නාගරික මධ්‍යම පන්තියට, මෙම “ප්‍රජාතන්ත්‍රවාදී” ධාරාව , සේවය කරයි. “සමාජ ක්‍රමය” තුළ තවමත් සම්පූර්ණයෙන්ම ආධිපත්‍යය දරා නොමැති රැඩිකල් තරුණයින්ට , “සමාජවාදී ධාරාව”, සේවය කරයි.
කෙසේ වෙතත්, 1971 සහ 1987-89 කැරලිවලට සහභාගී වූ පෙර පරම්පරාවල කැරලිකාරත්වය සමඟ සසඳන විට නිසැකවම අපේක්ෂා භංගත්වයට පත් මෙම තරුණ පරපුර සන්නද්ධ අරගලයට යොමු වනු ඇතැයි සිතිය නොහැක.
පාදක සටහන්
==============
1 . 1977 සාර්ව – ආර්ථික වෙනස් වීම සඳහා බලන්න – Luxman (1997).
2 . 1980 මහා වැඩ වර්ජනය සඳහා බලන්න – Fernando (1983).
3 . ජ වි පෙ ඡන්දදායක ගොනුවේ දේශපාලන ආර්ථිකය පිළිබඳව ප්‍රමාණවත් ලෙස සාකච්ඡා කර ඇත. 1971 කැරැල්ලෙන් පසු, සිදු වූ දේ තේරුම් ගැනීමට විද්වතුන් ගණනාවක් උත්සාහ කළහ. මෙමගින් ඒ පිළිබඳ ප්‍රමාණවත් සාහිත්‍ය සම්පාදනය කරන ලද අතර, එහි දී කැරැල්ලේ සමාජ-ආර්ථික මූලයන් කෙරෙහි සැලකිය යුතු අවධානයක් යොමු කර තිබුණි. Halliday (1971), Keerawella (1980), and Obeyesekera (1974) ජ වි පෙ මුල් අවධිය පිළිබඳව ඉතා ප්‍රයෝජනවත් තොරතුරු සැපයුවේය. තවද, “දිළිදු බවේ චක්‍රය” ෂන්මුගරත්නම් විසින් යෝජනා කරන ලදී. Shanmugaratnam (1984: 26), සිංහල-බෞද්ධ දකුණේ ගොවි නිෂ්පාදන අර්බුදය, ග්‍රාමීය තරුණයින්ගේ රැඩිකල්කරණයට තුඩු දෙන ආකාරය පැහැදිලිව නිරූපණය කළේය.
4 . රැඩිකල් ක්‍රම විරෝධී කෝපය ජනනය කළ ග්‍රාමීය තරුණයින් අතර ඇති වූ බලාපොරොත්තු සුන්වීම පිළිබඳ ප්‍රයෝජනවත් විස්තරයක් සඳහා, see Uyangoda (2003).
5 . 1977න් පසු සාර්ව ආර්ථික ප්‍රතිපත්ති තරුණ නොසන්සුන්තාවයට ඇති කළ බලපෑම පිළිබඳ ප්‍රයෝජනවත් පැහැදිලි කිරීමක් සඳහා, see Luxman (1996: 89-102).
6 . මම “සාමාන්‍යකරණය ( normalisation )” යන යෙදුම භාවිතා කරන්නේ ” සුසමාදර්ශි වෙනස ( paradigm shift)” යන්න භාවිතා කරන තෝමස් කුන්ගේ” සාමාන්‍ය විද්‍යාව ( normal science )” පිළිබඳ විස්තර කිරීම අනුවය (Khun, 1962).
7 . රොබට් ටකර් ගේ “මාක්ස්වාදී ව්‍යාපාරයන්හි රැඩිකල්හරණය ( deradicalisation of Marxist movements )” යන ප්‍රවාදය භාවිතා කරමින් ශාන්තසිරි ( Shanthasiri -2004) විසින් මෙම හීන වෙමින් පවතින රැඩිකල් බව පිළිබඳව අධ්‍යයනය කර ඇත (Tucker, 1967).
8 . 1980 ජූනි – අගෝස්තු මාසවල සිදුවීම් සම්බන්ධයෙන් නසසප නායකත්වයේ ශුභවාදී බව එවකට න ස ස ප දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ , මහාචාර්ය සුමනසිරි ලියනගේ විසින් , මා හට විස්තර කළේය. වැඩ වර්ජනය පරාජය වීම නිසා නලින් ද සිල්වා දැඩි කලකිරීමකින් පසුවූ බව ද ඔහු මට පැවසීය.
9 . මෙම තොරතුරු ලබාදීම පිළිබඳව, මෙම කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු වූ නන්දන වීරරත්න හට මම ස්තූතිවන්ත වෙමි.
10 . මෙම කාලයේ ජ වි පෙ ක්‍රියාකාරකම් දැනගැනීමට , බලන්න – Chandraprema (1991), Gunarathna (1990), Gunasekera (1998).
11 . 1994 වසරේ මැතිවරණයේදී, ජ වි පෙ යන නමින් නොව ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ ( Sri Lanka Progressive Front ) නම් ආදේශක පක්ෂ නාමයෙන් තරග කරන ලදී.
ආශ්‍රිත ග්‍රන්ථ (References)
Alles, A.C. (2001) Janatha Vimukthi Peramuna (1969-1989), Rathmalana: Vishvalekha.
Alokabandara, Sumana (2001) Sinhala Vedikave raththaran Avadiya Pilibanda Sumana Mataka (Memories of Sumana on the golden era of the Sinhala theatre), Dehiwala: Vidarshana.
Amarasekera, Gunadasa (1962) Yali Upannemi, Gampaha, Sri Lanka: Sarasavi Publishers.
Amarasekera, Gunadasa (1976 &1996) Abuddassa Yugayak, Borelesgamuwa, Sri Lanka: Visidunu Publication.
Amarasekera, Gunadasa (1987) Ganaduru Mediyama Dakinemi Arunalu, Maharagama, Sri Lanka: Chintana Parshadaya.
Amarasekera, Gunadasa (1993) Jathika Chinthanayai Jathika Arthikayai, Maharagama, Sri Lanka: Chintana Parshadaya.
Amarasekera, Gunadasa (2009), Gamanaka Meda, Borelesgamuwa, Sri Lanka: Visidunu Publication.
Amarasinghe, Y.R. (2000), Revolutionary Idealism and Parliamentary Politics: A Study of Trotskyism in Sri Lanka, Social Scientists’ Association
Aurora, Vol. 1, No. 1. (in Sinhala).
Chandraprema C.A. (1981) Sri Lanka, the Years of Terror: The J.V.P. Insurrection, 1987-1989, Colombo: Lake House Bookshop.
De Silva, Nalin (1986) Mage Lokaya, Author Publication.
Dewasiri, Nirmal Ranjith (1991) Deshapalana Nayakayeku Lesa Rohana Wijeweerage Balapema- 1966-1989 (Impact of
Rohana Wijeweera as a political leader) (Unpublished dissertation submitted for the BA degree in History, University of Colombo).
Dewasiri, Nirmal Ranjith (2000) Formation of Sinhala Nationalist Ideology in the Nineteenth and Early Twentieth Centuries (Unpublished dissertation submitted for the MPhil degree in History, University of Colombo)
Dissanayake, Wimal (2005) Enabling Traditions: Four Sinhala Cultural Intellectuals, Borelesgamuwa, Sri Lanka: Visidunu Publication.
Fernando, Laksiri (1983), ‘The State and Class Strugglein Sri Lanka: The General Strike of 1980’ Labour Capital and Society, McGill University, November 1983
Gunaratna, Rohan (1990) Sri Lanka, a lost revolution? The inside story of the JVP Institute of Fundamental Studies, Kandy, Sri Lanka
Gunasekera, Prins (1998) A Lost Generation: Sri Lanka in Crisis, Colombo: S. Godage&Brothers.
Gunasinghe, Siri (1960) Hevenella, Colombo: Rathna Publishers.
Fred Halliday (1971) ‘The Ceylonese Insurrection’, New Left Review I/69, September – October 1971.
Keerawella, G.B. (1980) ‘The Janatha Vimukthi Peramuna and the 1971 Uprising’, Social Science Review, No. 2 Jan. 1980.
Kuhn, Thomas, S. (1962) The Structure of Scientific Revolutions, Chicago: University of Chicago Press.
Laxman, W. D. (1996) ‘Macro-Economic Policy Framework and its implications for Youth Unrest’, in Unrest or Revolt: Some aspects of youth unrest in Sri Lanka (ed. By S.T. Hettige), Colombo: Goethe-Institute.
Laxman, W.D. (1997), Dilemmas of Development, Colombo: Sri Lanka Association of Economists.
Moore, Mick (1993) ‘Thoroughly Modern Revolutionaries: The JVP in Sri Lanka’, in Modern Asian Studies, 27, 3, pp. 593-642.
JVP (2000) Rata Hadana Pasaurudu Selesma (Five Year Plan to Build the Country), JVP Publication 2000.
Shanmugaratnam, N. (1984) ‘Sri Lanka’s “New” Economic Policy and Agriculture’ Social Scientist, Vol. 12, No. 3 (Mar., 1984).
Shanthasiri, Abewarna Patabendige (2004) Viplaveeya Drushtivadaya Ha Parlimentuwadee Deshapalanaya; Janatha Wimukthi Peramuna Pilibanda Adyayanayak, (Revolutionary Ideology and Parliamentary Politics; A Study on the JVP), Unpublished MPhil Thesis, Peradeiya University.
Tennakoon, Serena (1988) ‘Rituals of Development : The Accelerated Mahaveli Development Program of Sri Lanka’ in American Ethnologist Vol.15.
Tucker, Robert (1967) ‘The Deradicalization of Marxist Movements’, The American Political Science Review, Vol. 61, No. 2 (Jun., 1967).
Uyangoda, J. (2003) ‘Social Conflict, Radical Resistance and Projects of State Power in Southern Sri Lanka: The Case of JVP’ in Markus Mayer, et.al., (eds.) Building Local Capacities for Peace: Rethinking Conflict and Development in Sri Lanka. London: Macmillan.
Weeravansa, Wimal (2008) Ntta venuvata etta: ja.vi.pe. arbudaye sebe hetu (Truth instead of Lies: real causes of the JVP crisis), Battaramulla, Sri Lanka: Nidahase Niyamuwo.
=================================