Colombo Telegraph

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කම්කරුවන් වීම පිළිබඳ ආඩම්බරයෙන් ලියමි

නිර්මාල් රංජිත් දේවසිරි

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා මැයි 26 වෙනි ඉරිදා දිවයින පුවත්පතට සපයා තිබූ ලිපිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් සම්බන්ධ විවේචනයකට වඩා ඒ සම්බන්ධ අගය කිරීමක්‌ ලෙස සැලකීමට මම කැමැත්තෙමි. කෙසේ වෙතත් ‘අගය කිරීම’ නම් ඔහුගේ අභිප්‍රාය නොවූ බව පැහැදිලිය. ඔහුගේ ප්‍රධාන අභිප්‍රාය ලෙස පෙනෙන්නේ ඔහුම ප්‍රකාශ කරන ආකාරයට “මේ සුපිරි පැලැන්තියේ උදවිය සාමාන්‍ය කම්කරුවන් මෙන් මහ පාරේ හැසිරෙන ප්‍රවණතාවය” එළිදරව් කිරීමයි. කනගාටුවකට මෙන් චන්ද්‍රප්‍රේම මහතාට මතක්‌ කිරීමට සිද්ධවන්නේ එහි අමුතුවෙන් චන්ද්‍රප්‍රේම මහතා ලවා එළිදරව් කරවීමට කිසිවක්‌ ඇත්තේ නොමැති බවයි. මක්‌නිසාද යත් එය අපගේ අරමුණම වන හෙයිනි. ඒ මහතා ඉතාම නිවැරදිව ප්‍රකාශ කරන පරිදි “පසුගිය 21 වනදා පවත්වන ලද වැඩ වර්ජනයේ තීරුබදු රහිත වාහන බලපත්‍ර ලාභී වෘත්තිකයන් පිරිසක්‌ මහ මග උද්ඝෝෂණය කළේ නම් ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරු පමණි”.

පසුගිය වසර තුනක පමණ කාලයක්‌ තිස්‌සේ අප නියෑළී සිටි අරගලය තුළ අත්පත් කර ගැනීමට උත්සාහ කළ ජයග්‍රහණ සම්බන්ධව මීට වඩා ඉහළ අගය කිරීමක්‌ තවත් කාගෙන් නම් ලබාගන්න දර?

චන්ද්‍රප්‍රේම මහතාගේ ලිපියේ මාතෘකාව “විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කම්කරුවන් වීම” යන්නයි. ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරු ද කම්කරුවන් කොටසක්‌ වේ. කම්කරුවන් යනු තම ශ්‍රම ශක්‌තිය අලෙවි කොට ඊට වේතනයක්‌ ලබා ගන්නා අයයි. මේ නිර්වචනයට අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරු ද කම්කරුවන් කොටසක්‌ වෙති. ඒ නිසා චන්ද්‍රප්‍රේම මහතාගේ ලිපියේ මාතෘකාව ගැන කිසිවකු කලබල විය යුතු නැත.

ඉංග්‍රීසියෙන් ලිවීමට ඇති හැකියාව හැරුණු කොට චන්ද්‍රප්‍රේම මහතා බැරෑරුම් මාධ්‍යවේදියෙක්‌ ලෙස මම නොසලකමි. සාක්‌ෂි ඒ මහතාම සපයයි. මෙන්න ඒ මහතාගේ විදග්ධ වචන “අප විශ්වවිද්‍යාලයේ සිටි සමයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට දැන් ලබන ආකාරයේ ඉහල වැටුප් තිබුණේ නැත. තීරුබදු රහිතව වාහන ගෙන්වා ගැනීමට බලපත්‍ර හෝ ණය පහසුකම් තිබුණේ නැත. ඒ කාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු පවා බස්‌වල යනු අපි අනන්තවත් දැක ඇත. නමුත් එදා ඔවුන් කම්කරුවන් මෙන් මහමග සටන්පාඨ කීවේ නැත. ඒ කාලයේ විශ්වවිද්‍යාල ආචාර්යවරු තම වෘත්තියේ ගරුත්වය රැකගෙන සිටිය හ”.

අඩුම තරමින් චන්ද්‍රප්‍රේම මහතා මෙවැනි සම්පප්‍රලාප ලිවීමට පෙර තමන් රැකියාව කරන දිවයින හා දි අයිලන්ඩ් පුවත්පත්වල විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය ගැන ලියෑවුණු කතුවැකි හෝ කියවා බැලීම උචිතය.

චන්ද්‍රප්‍රේම මහතා තරුණ කාලයේ මමත් තරුණයෙකි. ඒ මහතාත් මමත් එකම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තා පමණක්‌ නොව එකම ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් වීමු.  ඒ මහතා ඒ කාලයේ විශ්වවිද්‍යාලවල සිටි පතාක යෝධයන් ලෙස හඳුන්වන අය මම ද දනිමි. නමුත් මේ පතාක යෝධයන් “කම්කරුවන් මෙන් මහ මග සටන් පාඨ” නො කීම ඒ අය පිළිබඳ අගය කිරීමක්‌ ලෙස දැක්‌වීම සම්බන්ධයෙන් නම් ඒ බොහොමයක්‌ දෙනා චන්ද්‍රප්‍රේම මහතා සමඟ දැඩි ලෙස කෝප වන බව නම් නො අනුමානය. මක්‌නිසාද යත්ට, මේ බොහොමයක්‌ දෙනා රැඩිකල් දේශපාලනය සමඟ සම්බන්ධව සිටි හෝ එය අගය කළ අය නිසා ය. විශේෂයෙන්ම කම්කරු ව්‍යාපාර සම්බන්ධව දැඩි අනුරාගයකින් කටයුතු කළ මහාචාර්ය කුමාරි ජයවර්ධන වැන්නියක්‌ චන්ද්‍රප්‍රේම මහතාගේ ප්‍රභූවාදී ප්‍රවාදය තහවුරු කිරීම සඳහා යොදාගනු ලැබ තිබීම අතිශය ෙ€දවාචකයකි. එපමණක්‌ නොව මහාචාර්ය ඔස්‌මන්ඩ් ජයරත්න, ඩොරික්‌ ද සූසා වැනි තම ඊනියා “වෘත්තීය ගරුත්වය” සතපහකට ගණන් නොගෙන කම්කරුවන් සමඟ හරි හරියට “මහ පාරේ හැසිරුණු” පතාක යෝධයන් චන්ද්‍රප්‍රේමට අමතක වී ඇති හැඩයි.

චන්ද්‍රප්‍රේම මෙසේ කියයි; “අද විශ්වවිද්‍යාලයක ආචාර්යවරුන් හා සුළු සේවකයන් අතර වෙනසක්‌ නැත. අප තරුණ කාලයේ මහ පාරේ පුවරු ඔසවාගෙන සටන් පාඨ කෑගසන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දුටුවේ නම් අප විශ්වවිද්‍යාලයට එන්නේද නැත” චන්ද්‍රප්‍රේම ‘අප’ යයි කියන්නේ කාටදැයි මම නොදනිමි. මා නම් දන්නා විදිහට එකල අපගේ පරමාදර්ශ වූයේ ඔස්‌මන්ඩ් ජයරත්න, කුමාරි ජයවර්ධන, නිව්ටන් ගුණසිංහ වැනි ගුරුවරුය. මේ අයට නම් ,මහ පාරේ පුවරු ඔසවාගෙන සටන් පාඨ, කීම පිළිබඳව කිසිදු ගැටලුවක්‌ තිබුණේ නැත.

කෙසේ වෙතත් චන්ද්‍රප්‍රේම මහතා අප සමඟ ඇති දැඩි කේන්තිය නිසාදෝ අල්ලේ පැළවෙන බොරු විශාල ප්‍රමාණයක්‌ ද කියා ඇත. සාමාන්‍යයෙන් අපගේ මහජන උද්ඝෝෂණවල ,එන්න කියාපිය, ,දෙන්න කියාපිය, වැනි වදන් භාවිත කරන්නේ නැත. එපමණක්‌ නොව අපගේ උද්ඝෝෂණවලදි සාමාන්‍යයෙන් හඬනඟා සටන් පාඨ කීමක්‌ සිදුවන්නේද නැත. අප කරන්නේ නිහඬව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කිරීම පමණි. ඒ සම්බන්ධව වැඩි දුර තොරතුරු චන්ද්‍රප්‍රේම මහතාට දිවයින පුවත්පතේම අපගේ මහජන උද්ඝෝෂණ ආවරණය කිරීමට පැමිණෙන මාධ්‍යවේදීන්ගෙන් අසා දැනගත හැක.

අපගේ ඉල්ලීම් ලැයිස්‌තුවේ 3.5.2.3 වගන්තියෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ළමුන් දෙදෙනකුට පෞද්ගලික පාසලකට ගාස්‌තු ගෙවීමට වෙනම දීමනාවක්‌ ඉල්ලා සිටියේ ය, යන්නද එවැනි ගල් පැලෙන බොරුවකි. මේ බොරුවව අපගේ වැඩවර්ජනය කාලයේ අපට විරුද්ධව දසදහස්‌ වරක්‌ යොදා ගනු ලැබූ එමෙන්ම අපද එවැනිම වාර ගණනක්‌ පිළිතුරු දෙනු ලැබූ කරුණකි. වෙනෙකක්‌ තබා මේ සම්බන්ධ තත්ත්වය මා චන්ද්‍රප්‍රේම මහතාට ද මගෙන් විමසන ලදුව පැහැදිලි කොට දී ඇත. ඒ මහතාට එම පැහැදිලි කිරීමට සවන් දීමට අවශ්‍ය නැත. අවුරුදු තිහකට ආසන්න කාලයක්‌ තිස්‌සේ චන්ද්‍රප්‍රේම මහතාගේ චින්තනය සම්බන්ධව කිට්‌ටු නිරීක්‌ෂකයෙක්‌ වන මට ඒ මහතා අනුගමනය කරන මෙම ගොබෙල්ස්‌ ක්‍රමය හොඳින් තේරුම් ගත හැක. ඒ සම්බන්ධව මට ඒ මහතාට කීමට ඇත්තේ මෙවැන්නකි. තම උපක්‍රමය පිළිබඳව සතුරා සියයට සියයක අවබෝධයක්‌ ඇතිව සිටින විට උපක්‍රමය ඵලදායක නොවන බවයි.

අපිට මීට තරමක්‌ වෙනස්‌ ලෙස ද චන්ද්‍රප්‍රේමගේ මේ පට්‌ටපල් බොරු දෙක දෙස බැලිය හැකිය. මේ කියන දේ සත්‍ය යෑයි අපි මොහොතකට විශ්වාස කරමු. එවිට අපිට මෙසේ විමසිය හැකිය , “ඔව් ඉතින් මොකද කියන්නෙර?”, මහජන උද්ඝෝෂණවලදී ,එන්න කියාපිය, ,දෙන්න කියාපිය, වැනි වදන් භාවිත කිරීමේ ඇති වරද කුමක්‌දර? චන්ද්‍රප්‍රේම මහතා කතා කරන්නේ දේශපාලනයේ සදාචාරය ගැන නම් ඒ මහතා ගැන හොඳින් දන්නා මා වැන්නෙක්‌ සමඟ දේශපාලන සදාචාරය ගැන පැටලීමට පෙර ඒ මහතා දෙවරක්‌ සිතා බැලිය යුතුය.

කෙසේ වෙතත් පසුගිය කාලයේ අපගේ අරගලයේ මූලික අංගයක්‌ වූයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලය පොදුවේ සමස්‌ත කම්කරු පංතියේ අරගල සමඟ බද්ධ කිරීමයි. අපගේ අරගලයේ ශක්‌තිය වූයේ ද එයමයි. පසුගිය 21 වනදා පැවැති සංකේත වර්ජනය සම්බන්ධව චන්ද්‍රප්‍රේම මහතා නොදන්නවා සේ පෙනෙන කරුණක්‌ පැහැදිලි කිරීමට මම කැමැත්තෙමි. එම සංකේත වර්ජනයට සහභාගි වීමට තීන්දු කරනු ලැබූ සෑම පීඨයකම හා විශ්වවිද්‍යාලයකම එය සියයට සියයක්‌ම සාර්ථක විය. මා අයත් කොළඹ විශ්වවිද්‍යාලය සහ තවත් ස්‌ථාන කීපයක්‌ විවිධ හේතු මත (අවශ්‍ය නම් පසුව හේතු මොනවාදැයි දැක්‌වීමටද පුළුවන-) වර්ජනයට සහභාගි විමට තීන්දු ගනු නොලැබූ බැවින් එම ස්‌ථානවල වර්ජනය ක්‍රියාත්මක නොවීය.

අපගේ ප්‍රකාශිත අරමුණ වන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරු සමාජයේ වරප්‍රසාද භුක්‌තිවිඳිමින් ප්‍රභූ පංතියේ කොටසක්‌ ලෙස ජීවත් වන කොටසක්‌ බවට පත් කිරීම නොව තම අයිිතිවාසිකම් සම්බන්ධව සංවේදීවන සහ සටන් කරන අතරම සෙසු පීඩිත සමාජ කොටස්‌වල අයිතිවාසිකම් සම්බන්ධයෙන්ද සංවේදී වන සහ ඒ කොටස්‌වල අරගලවලට සක්‍රීය ලෙස දායක වෘත්තික කණ්‌ඩායමක්‌ බවට පත්කිරීමයි. ඇත්ත වශයෙන්ම අපට ඇති ගැටලුව වන්නේ පැහැදිලි ප්‍රායෝගික ගැටලු නිසා එය අපට අවශ්‍ය තරම් ප්‍රමාණවත් ලෙස සිදුකිරීමට නොහැකි වී තිබීමයි. කෙසේ වෙතත් චන්ද්‍රප්‍රේම මහතාගේ විවේචනයෙන් පෙනී යන්නේ අපගේ වෑයම තරමක්‌ දුරට හෝ සාර්ථක වී තිබෙන බවයි.

කෙසේ වෙතත් චන්ද්‍රප්‍රේම මහතාගේ චෝදනාව වන්නේ අපගේ ඊනියා ප්‍රභූවාදී ඉල්ලීම් සහ මෙම “කම්කරුවාදී” නැඹුරුව එකිනෙකට පරස්‌පර බවයි. චන්ද්‍රප්‍රේම අපගේ ඉල්ලීම් ලැයිස්‌තුවේ තිබුණායෑයි කියූ ඉල්ලීම් සත්‍ය යෑයි මොහොතකට සිතමු. ඒවා චන්ද්‍රප්‍රේම සඳහන් කරන ආකාරයේ සුපිරි ඉල්ලීම්දර? ඒවා සුපිරි ඉල්ලීම් වෙනවා නම් එසේ වෙන්නේ යම්කිසි වෘත්තිකයන් පිරිසක්‌ මෙම ඉල්ලීම් “අපිට පමණක්‌ දෙනු, වෙන කිසිවකුට නොදෙනු” යෑයි කියන්නේ නම්ය. මගේ අදහස වන්නේ මේ රටේ ඕනෑම පුරවැසියකුට තමන්ට තම දරුවන්ගේ අධ්‍යාපනයට වැයවන මුදල් රාජ්‍යයෙන් ඉල්ලා සිටීමට අයිතියක්‌ තිබෙන බවයි. ඒ මක්‌ නිසා ද යත් දෙමාපියන්ට තම දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අතින් වියදම් දැරීමට සිද්ධ වී තිබෙන්නේ රාජ්‍යය අධ්‍යාපනය සම්බන්ධ තම වගකීමෙන් ක්‍රමයෙන් ඉවත්වෙමින් සිටින නිසාය. චන්ද්‍රප්‍රේම මහතාගේ නරුම “කොළපාට සමාජය” තුළ නම් මෙවැනි පහසුකම් ප්‍රභූන්ට පමණක්‌ වෙන් වූ වරප්‍රසාද වීම තේරුම් ගත හැකිය. නමුත් අප ගොඩනැංවීමට උත්සාහ කරමින් සිටින සමාජ-දේශපාලන කතිකාව තුළ අධ්‍යාපනය ලැබීම, යහපත් නිවසක ජීවත්වීමල අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම වැනිදේ අප සලකන්නේ සෑම පුරවැසියකුටම ලැබිය යුතු හිමිකම් ලෙසයි. ඒ නිසා මෙවැනි පහසුකම් සඳහා වෛද්‍යවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, මැති ඇමතිවරු වැනි පිරිස්‌ පමණක්‌ නොව කසළ ශෝ්ධක වෘත්තියේ නියෑළෙන්නන් පවා සටන් කළ යුතුය.

කථිකාචාර්යවරු බිඳවැටීම සම්බන්ධයෙන් චන්ද්‍රප්‍රේම මහතාගේ තුට්‌ටු දෙකේ කතාවලට වඩා බැරෑරුම් සාකච්ඡාවක්‌ විශ්වවිද්‍යාල ආචාර්යවරු අතරම ගොඩනැගෙමින් තිබෙන බව ඒ මහතාට මතක්‌ කර දිය යුතුය. එ පමණක්‌ නොව ඒ මහතාට මතක්‌ කරදිය යුතු තවත් දෙයක්‌ තිබේ. එනම් මේ මොහොතේ චන්ද්‍රප්‍රේම මහතා දේශපාලනමය වශයෙන් සහයෝගය දෙමින් සිටින්නේ පරිහානියට පත් විශ්වවිද්‍යාල එයින් ගොඩගැනීමේ ව්‍යාපෘතියට නොව ඒ ක්‍රියාවලිය පරිසමාප්තියට පත්කොට විශ්වවිද්‍යාලවල මළ බෙරය වැයීමේ ව්‍යාපෘතියට බවයි. මෙහිදී ඒ මහතාට අවශ්‍ය නම් සුළු පරීක්‌ෂණයක්‌ සිදුකර බලන ලෙස යෝජනා කිරීමට කැමැත්තෙමි. එනම් විශ්වවිද්‍යාලවල පරිහානියේ වර්තමාන හොඳම ප්‍රතිඵල ලෙස සැලකිය හැකි කථිකාචාර්යවරුන් ගැවසෙන්නේ කොහේ ද යන්නයි. චන්ද්‍රප්‍රේම මහතාත් ගැවසෙන ආණ්‌ඩුවේ විවිධ ආයතනවල සහ ඇමතිවරුන්ගේ අගුපිල්වලින් එවැනි කථිකාචාර්යවරු විශාල වශයෙන් සොයාගැනීමට ඒ මහතාට හැකිවනු ඇත. එසේම පතාක යෝධයන් ලෙස චන්ද්‍රප්‍රේම මහතාගෙන් බුහුමන් ලබන පිරිසෙන් දැනට ජීවත්වන අය පසුගිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය සම්බන්ධයෙන් දක්‌වනු ලැබූ ආකල්පයත් අවශ්‍ය නම් සොයා බැලීමට ඒ මහතාට පුළුවන. එවිට ඒ මහතාට විශ්වවිද්‍යාල අර්බුදය තුළ තමන්මවත් නිවැරදිව ස්‌ථානගත කර ගැනීමට හැකියාව ලැබෙනවා ඇත.

Back to Home page