29 October, 2020

Blog

රටක ඉරණම පවුල් පෙළපෙතකින් පෙළගැසෙන විට

නිරූපමා සුබ්‍ර​මනියම්

නිරූපමා සුබ‍්‍රමානියම්

නිරූපමා සුබ‍්‍රමානියම්

චන්ද්‍රිකා කුමාරණතුංගගේ අතීත මතක සටහන් අතර, ඇය එකොළොස් වියැතිව සිටියදී ගත් එක් පින්තූරයක් තිබේ. එහි සිටින්නේ විසිවැනි සියවසේ දශක පහක කාල පරාසයක් තුළ දකුණු ආසියාවේ විවිධ රටවල අගමැති ධුරයට පත්වූ පුද්ගලයන් පස් දෙනෙකි: ඇගේ පියා, එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක, ඇගේ මව, සිරිමාවෝ බණ්ඩාරනායක, ජවහර් ලාල් නේරු, ඉන්දිරා ගාන්ධි සහ චන්ද්‍රිකා කුමාරණතුංග (1994 දී ජනාධිපති වීමට පෙර ඇය ලංකාවේ අගමැතිවරිය වශයෙන් පත්ව සිටියාය) ඒ අයවළුන්ය. 1956 දී ශ‍්‍රී ලංකාවට ගිය මේ ගමනේ දී, ඉන්දිරා ගාන්ධි තම පුත් රජිව් ගාන්ධිවත් එක්කරගෙන ගොස් සිටියේ නම්, එම පින්තූරයේ අගමැතිවරුන් පස් දෙනෙකු සිටින්නට තිබුණි.

නේරු-ගාන්ධි පවුල් වංශයේ තවත් උරුමක්කාරයෙක් ඔහුගේ පක්ෂයේ මැතිවරණ සටනකට නායකත්වය සැපයීමට දැන් සැරසෙමින් සිටී. එය සාර්ථක වුවහොත්, ඔහු එම පවුලෙන් පත්වෙන ඉන්දියාවේ හතරවැනි අගමැතිවරයා වනු ඇත. එවැනි උසස් තනතුරක් සඳහා වන ඔහුගේ සුදුසුකම් ගැන මතුවන සියලූ සැකසාංකා, ‘වෙනත් විකල්පයක් නැතැ’ යි යන මහා පර්වතයේ බිඳී නැසී යයි. අනිත් අතට, වෙනත් විකල්පයක් තිබුණත්, එය පවා ඇත්තේ එම පවුල තුළම බවට වන විශ්වාසයක් ද තිබේ.

රාහුල් ගාන්ධි යනු, දකුණු ආසියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටවල්වල මේ රාජවංශික පවුල් පැවැත්මේ ඇති යම් නොවැළැක්විය හැකි ගතියක් පෙන්නුම් කරන අළුත්ම නිදර්ශනයක් පමණි. ඝාතනය වූ සැමියා වෙනුවෙන් බිරිඳ කරළියට ඒම, ඝාතනය වූ බිරිඳ වෙනුවෙන් සැමියා කරළියට ඒම, ඝාතනය වූ පියා වෙනුවෙන් දියණියක් කරළියට ඒම සහ අම්මාගේ තනතුරට පුතෙකු පත්වීම, මේ රටවල්වල සාමාන්‍ය සංසිද්ධියකි. ඉන්දියාවේ මේ තත්වය දකින්ට ඇත්තේ, කොන්ග‍්‍රස් පක්ෂය තුළ පමණක් නොවේ. ඉන්දියාවේ සෑම තැනකම – ජාතික සම්මේලනය වේවා, අකාලි දාල් වේවා, සමාජවාදී පක්ෂය වේවා, ද්‍රවිඩ මුන්නේත‍්‍ර කසාගම් පක්ෂය වේවා, ජාතික කොන්ග‍්‍රස් පක්ෂය වේවා, රාෂ්ටී‍්‍රය ජනතා දාල් වේවා, ෂිව් සේනා වේවා – ඒ සෑම තැනකම සම්මත චාරිත‍්‍රය වන්නේ, මේ කියන රාජවංශික උන්නතියයි. එය නැත්තේ, වාමාංශික පක්ෂවල සහ භාරතීය ජනතා පක්ෂයේ පමණි. මේ රෝගබීජය, පක්ෂයක නායකත්වයට පමණක් නොව, ඒවායේ පහළ සාමාජිකත්වයට ද රූරන්නේය. ඒ අංශයෙන් ගත් විට, භාරතීය ජනතා පක්ෂය පවා නිදොස් නොවේ. ඒ අයවළුන් තම තමන්ගේ ආසන සළකන්නේ, පරම්පරාවෙන් පරම්පරාවට උරුම කර දිය හැකි, තමන්ගේ නින්දගම් වශයෙනි. පාකිස්තානයේදීත්, එරටේ ‘පාකිස්තාන ජනතා පක්ෂයේ’ බූතෝලා, ෂරීෆ්ලා සහ වෙනත් පවුල්, ඉන්දියාවේ ගාන්ධිලාට වෙනස් නොවෙත්.

Chandrika Soniaපක්ෂයක දීර්ඝ කාලීන පැවැත්ම තුළ, අධිකාරී පවුල් නායකත්වයකින් ලැබෙන ප‍්‍රතිලාභ ක්ෂය වන යම් මොහොතක් ද පැමිණිය යුතු යැයි කෙනෙකුට සිතේ. එවිට, උරුමයෙන් පිටස්තර කෙනෙකු නායකත්වයට වඩාත් සුදුසු බව පෙනෙන්ට පිළිවන. එහෙත්, තිබෙන අත්දැකීම් අනුව, ඒ මොහොතට තවමත් ඉන්දියාව පැමිණ නැති බව කිව යුතුය.

පසුගිය වසර පහ තුළ මුහුණදුන් මැතිවරණ පරාජයන් තිබියේ වී නමුත්, නායකත්වය තුළ පැහැදිළිව ස්ථානගත වීමට පොල්මක්කාර පවුලම පවා අසාර්ථකව සිටියේ වී නමුත්, තමන්ගේ ගැලවීම ඇත්තේ ගාන්ධි පවුල තුළම යැයි තවමත් කොන්ග‍්‍රස් පක්ෂය සිතයි. ද්‍රවිඩ මුන්නේත‍්‍ර කසාගම් පක්ෂයත්, එහි නායක පවුලේ සාමාජිකයන් පක්ෂ නායකත්වය සඳහා ඇනකොටා ගනිද්දිත්, මහළු වියට පත්වෙමින් සිටින එහි ගෝත්‍රික පියාට ඒ රණ්ඩුසරුවල් බේරුමක් කර දීමට නොහැකිව තිබියදීත්, එම පක්ෂය කටයුතු කරන්නේ ද, එකී පවුලේ අභිමතයට යටත්ව ය. ඊට එරෙහිව යම් කසුකුසුවක් ඇතොත් එය යටපත් කරනු ලැබේ. ප‍්‍රශ්නය වන්නේ, මෙවැනි රාජවංශික පවුල්, නායකත්ව හැකියාවන් සහිත, තමන්ගෙන් ‘පිටස්තරයන්’ කිසිවෙකු දේශපාලනය තුළ පුහුණු කරවනු නොලැබීමයි. එය, ඔවුන්ගේ අභිවෘද්ධියට සහ චිරස්ථිතියට පෙරලා තුඩුදෙයි. තීරණාත්මක මොහොත පැමිණි විට, නායකත්වයට එම පවුලෙන්ම හැර වෙනත් විකල්පයක් නැතැ යි කියන්නේ, එසේ ඇති කරගත් සන්දර්භයක් තුළ ය.

ව්‍යතිරේකයක්

එසේ වතුදු, පුදුමයකට මෙන්, ඇතැම් දේශපාලනික හේතූන් සහ පෞද්ගලික තේරීම් නිසා මෙවැනි පාරම්පරික පාලක පවුලක් දේශපාලනයෙන් සමුගත් එක් අවස්ථාවක් දකුණු ආසියාවෙන් හමුවෙයි. තමන් විසින් තව වසර හතරකින් ලෝකයේ ප‍්‍රථම පවුල් පාලන පෙළපත ආරම්භ කරනු ඇතැ යි, චන්ද්‍රිකා කුමාරණතුංගගේ ඉහත පින්තූරය 1956 දී ගන්නා අවස්ථාවේ, බණ්ඩාරනායකලාට දැනගන්ට ක‍්‍රමයක් නොවුණි. 1959 දී බණ්ඩාරනායක ඝාතනයේ සොවින් තැවෙමින් සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගැනීමට බලකෙරුණි. එයින් හැට වරසක් ගිය තැන, ඇගේ අනුප‍්‍රාප්තිකාව, තමන්ගේම පවුල ගොඩනංවන ලද සහ පෝෂණය කරන ලද පක්ෂයේ පාලනය අතහැර දේශපාලනයෙන් පසුබැසීමට තීරණය කළ, දකුණු ආසියාවේ ප‍්‍රථම සහ, සමහර විට එකම තැනැත්තිය ද වුණි. මීට ප‍්‍රතිපක්ෂයේ නිදර්ශනයෙන් පිරී ඇති දේශපාලනික භූදර්ශනයක් තුළ, මෙවැනි නිදසුනක් ගැන වැඩියෙන් කතාබහ වන්නේ නැත.

මවගේ ඇවෑමෙන් පක්ෂයේ නායිකාව බවට පත්වූ චන්ද්‍රිකා කුමාරණතුංග, 2005 වන තෙක්, දෙවරක්ම ජනාධිපති ධුරය ද හෙබවූවාය. ඇගේ අභිමතය පරිදි කරුණු සිද්ධ වුණි නම්, ඈ ඊට වැඩි කාලයක් රටේ නායකත්වයේ සිටින්නට තිබුණි. එහෙත් එදා පැවති ව්‍යවස්ථාව තුළ, ජනාධිපති ධුරය වාර දෙකකට සීමා වී තිබුණි. අගමැතිවරයා විධායකය වන වෙස්ට්මින්ස්ටර් මාදිලියේ පාලන ක‍්‍රමයක් හඳුන්වා දෙමින් එහි අගමැති ධුරයේ තවදුරටත් රැුඳී සිටීමට ඇය තුළ පැවති කැමැත්ත, පක්ෂය ඇතුළේම සිටි ඇගේ විරුද්ධවාදීන් සේම විපක්ෂය ද විසින් ව්‍යර්ථ කරන ලදි. ඇත්තෙන්ම, මේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පැකේජය තුළ පැවති උතුරු නැගෙනහිරට බලය බෙදා හැරීමේ යෝජනාව පවා ක‍්‍රියාත්මක කළ නොහැකි වුණේ, නව ක‍්‍රමය තුළ ඇති කෙරෙන අගමැති ධුරය කෙරෙහි ඇය තුළ පැවති අභිලාෂය නිසා යැයි කියැවේ.

දෙවැනි වාරය සඳහා තමා දිව්රුම් දී ඇත්තේ, ඡන්දයෙන් තේරී පත්වීමෙන් වසරකට පසුව (2000) යැයි කියන තර්කය යටතේ, තව අවුරුද්දක් බලයේ සිටීමට ඇත්තෙන්ම ඇයට උවමනා විය. එහෙත් අධිකරණය ඊට හරස් විය. ඇගේ අනුප‍්‍රාප්තිකත්වයට වසර ගණනාවක් තිස්සේ ඇස ගසාගෙන සිටි මහින්ද රාජපක්ෂ ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට ගත්තේය. ඒ තත්වය තුළ, දේශපාලනික වශයෙන් මෙන්ම නීතිමය වශයෙන් ද තමා වටකොට ඇතැ යි තේරුම්ගත් චන්ද්‍රිකා කුමාරණතුංග බලය අතහැරියාය. ඒ වන විට, පක්ෂ නායිකාව වශයෙන් ඇගේ ජනප‍්‍රියත්වය, 1994 දී ඇගේ මව විසින් ඇයව පක්ෂ නායකත්වයට තෝරාගත් අවස්ථාවේ පැවති ජනප‍්‍රියත්වයට සමාන නොවීය. එසේ හෙයින්, රාජපක්ෂ කෙරෙහි වන තමාගේ අමනාපය පසෙකින් තැබූ ඈ, තමාගේ සහෝදරයා වන අනුරව ඊළඟ නායකත්වයට පත්කරගත හැකිව තිබියදීත්, රාජපක්ෂගේ අපේක්ෂකත්වයට සහයෝගය දැක්වූවාය. පවුලේ උරුමය ගැන වඩාත් තද ආශාවකින් පෙලූණු අනුර, අනිත් අතින්, තමාගේ උන්නතිකාමී ජවය හැංගුවේ නැත. ඊට පෙර, මව විසින් පක්ෂයේ නායකත්වයට තමා අතහැර චන්ද්‍රිකාව පත්කර ගැනීම ගැන උරණව, ඔහු කෙටි කාලයකට එක්සත් ජාතික පක්ෂයට ද ගොස් තිබුණි. කෙසේ වෙතත්, එක දිගටම අවිවාහකව සිටි ඔහු, 2008 දී මියගියේය. පවුලේ වැඩිමහල් දියණිය වූ සුනේත‍්‍රා, ඊට බොහෝ කලකට පෙර සිටිම දේශපාලනයෙන් ඈත්ව සිටියාය.

පක්ෂයේ සිටි සිය හිතවතුන් හරහා තම පවුලේ බලපෑම දිගටම පක්ෂය කෙරෙහි අභ්‍යාස කිරීමට චන්ද්‍රිකා උත්සාහ කෙළේ නැත. කොන්ග‍්‍රස් පක්ෂය කෙරෙහි තිබූ පවුලේ බලය කිසි විටෙක අතනොහැරිය ගාන්ධි පවුල මෙන් නොව, තමා වෙනුවෙන් හෝ තම පවුලේ අනාගත පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් පක්ෂයේ යම් ස්ථානයක් රැුකගත යුතුව ඇතැ යි ඈ කල්පනා නොකළාය. ඒ වෙනුවට, ඈ ඉතා පහසුවෙන්ම පෞද්ගලික දිවියකට පිලිපන්නාය. එසේම, අනුප‍්‍රාප්තිකයා ගැන පැහැදුනු සිතක් නැතිව සිටියේ වී මුත්, ඈ තමන්ගේ වැඩක් බලාගෙන කල් ගෙව්වාය.

බලයෙන් විශ‍්‍රාම ගැනීමට ඈ ගත් තීරණය, සමහර විට, තමාගේ කිසි දරුවෙකු දේශපාලනයට ගෙන නොඒමට මුල සිටම ඈ ගෙන තිබූ තීරණයක් නිසා, වඩාත් පහසු වන්නට ඇත. ඈ බලයෙන් ඉවත් වන විට ඔවුන් අඩු වයසක සිටියා නොවේ – ඇගේ දියණිය, එවකට එංගලන්තයේ වෛද්‍යවරියක වශයෙන් සේවය කරිමින් සිටි යසෝධරාට, එවිට වයස 25 ක් විය. පශු වෛද්‍යවරයෙකු වීමට උගනිමින් සිටි පුතා විමුක්තිට, වයස 23 ක් විය. ඇගේ එක දරුවෙකුවත් නායකත්වය භාර ගැනීමට ඉදිරිපත් නොවීම ගැන යමෙකු විස්මය පළකළ හැම විටකම ඇය කියන්නේ, ඔවුන් කුඩා කල සිටම තමා ඔවුන්ගේ ‘‘මොළ සේ දූ ’ බවයි. අද ඔවුන් දෙන්නාම තම තමන්ගේ වෘත්තීන්හි නියැලෙමින්, ලංකාවෙන් පිට අප‍්‍රකටව වෙසෙති. පියා සහ සැමියා යන දෙන්නාම මිනීමරුවන්ගේ වෙඩි පහරට ලක්ව මියගොස් සිටි සහ තමා ද එවැනි ප‍්‍රයත්නයකින් දිවි ගලවාගෙන සිටි තත්වයක් තුළ, තමාගේ දරුවන් ද එවැන්නකට බිලි විය හැකිය යන තමන් තුළ වන බිය චන්ද්‍රිකා කිසි විටෙක වසං කෙළේ නැත.

බණ්ඩාරනායකලා වෙනුවට තමාගේ විස්තීරණ පවුල් ගස, බල මර්මස්ථාන තුළ පැලපදියම් කරගෙන සිටින ජනාධිපති රාජපක්ෂ ගැන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළම කෝන්තර ලියලමින් තිබෙන තත්වයක් මධ්‍යයේ, චන්ද්‍රිකා නැවත වරක් දේශපාලනයට පිවිසීමට යන්නේය යන හාහෝව පසුගිය සති කිහිපයේ ලංකාවේ පැතිරෙමින් තිබේ. එහෙත් ඇයටවත්, ඇගේ දරුවන්ටවත් පක්ෂයේ නායකත්වය ගන්නැ යි කරන බලවත් ඉල්ලීමක් ඇත්තේ නැත. නැවත දේශපාලනයට ඒමට ඈ තීරණය කළත්, එය කලින් සිටි පක්ෂයම නොවීමටත් ඉඩ තිබේ.

නායකත්වයේ සුජාත භාවය දිනා ගැනෙන්නේ ද මැතිවරණවලට තරග වැදීම තුළින්ම නම්, තමන් යම් බලයක් පවුලෙන් උරුම කර ගැනීම ප‍්‍රශ්නයක් වන්නේ කෙසේදැ යි, දකුණු ආසියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල බලය හොබවන අධිපති පාලකයෝ බොහෝ විට අසති. එම ප‍්‍රශ්නයට පිළිතුර සැපයෙන්නේ තවත් ප‍්‍රශ්නයකිනි: ස්ටැලින් හෝ ඕමාර් හෝ රාහුල් හෝ අකිලේෂ්, යම් අධිපති පාලක පවුලක කොටසක්කරුවන් නොවුණි නම්, ඔවුන් ලද නායකත්ව අවස්ථාව ඒ ආකාරයෙන්ම ඔවුන්ට ලැබන්නට ඉඩ තිබුණි ද? කකුල් දෙකම දොරකඩ තබා ගැනීමට හැකිවීමේ පවුල් වරප‍්‍රසාදය ඔවුන් පාවිච්චි කරන විට සිදුවන්නේ, එම අවස්ථාව සඳහා ඊට වඩා සුදුසුකම් ඇති අනිත් සියල්ලන්ට එම දොරටුව වැසීයාමයි.

රාහුල් ගාන්ධි මෙය වටහාගෙන ඇති බව දකින්ට ලැබීම අපූරුවකි: තමාගේ පියා (රජිව් ගාන්ධි), ආච්චි අම්මා (ඉන්දිරා ගාන්ධි), සහ මීමුත්තා (ජවහර්ලාල් නේරු) නොවන්නට, තමා අද සිටින තත්වයේ නොසිටිනු ඇතැ යි ඔහු වරක් ප‍්‍රකාශ කෙළේය. හැබැයි, එසේ කී පමණින්, එම වංශයේ වරප‍්‍රසාදිත තත්වයට ඔහු පස්ස හැරෙව්වේ නැත. එසේ කළ හැකි දැ යි පෙන්විය හැක්කේ, කුමාරණතුංග කෙනෙකුට පමණි.

*2014 පෙබරවාරි 28 වැනි දා ‘ද හින්දු’ පුවත්පතේ පළවූ When A Dynasty Read The Futur නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.