25 April, 2024

Blog

මූල්‍ය ලෝකයේ ආලෝකය – එතෙරින් මෙතෙරට සල්ලි එවන හැටි

නිෂාදි තෙන්නකෝන් –

නිෂාදි තෙන්නකෝන්

දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන රට රස්සාවකට යන අපේ කෙනෙක් හම්බ කරන සල්ලි හරි පිළිවෙළකට ලංකාවට එවාගන්න බැරි නම්, කිසිම ඉතිරියක් නැත්නම් ඒක හරිම දුක්මුසු තත්ත්වයක්.

ශ්‍රී ලංකාවෙ ක්‍රියාත්මක වන විදේශ විනිමය නීති අනුව මෙරට බැංකුවක යම් කෙනෙක් පවත්වාගෙන යන ගිණුමකට පිටරට ඉඳල තව කෙනෙකුට මුදල් එවන්න පුළුවන්. ඒ ගිණුම රුපියල් ගිණුමක් නම් එවන විදේශ මුදල් රුපියල් බවට හරවල අදාළ බැංකුව විසින් ගිණුමට බැර කරනවා. ලංකාවෙ පදිංචි පුද්ගලයන්ට විදේශ මුදල්වලින්ම පවත්වාගෙන යන්න අවසර තියෙන ගිණුම් වර්ගත් තියෙනවා. විදේශිකයෙක් අපේ රටේ ආයෝජනයකට මුදල් එවනව නම් ක්‍රමවේදය වෙනස්. මේ කියන්නෙ පිටරටක රැකියාවකට ගිය ලංකාවෙ කෙනෙක් තමන්ගෙ පවුලෙ අයට සල්ලි එවීම පිළිබඳවයි.

හැබැයි මෙහෙම පිටරටක ඉඳල අපේ ගිණුමකට මුදල් කවුරු හරි එවනව නම් මුදල් එවන කෙනාගෙ රටේ බැංකුවටත් අපේ රටේ බැංකුවටත් හෙළිකළ යුතු කරුණු තියෙනවා. මුදල් උපයාගත් ආකාරය, මුදල් එවීමට හේතුව වගේ කරුණු මේ අතර ප්‍රධානයි. එම කරුණු හෙළි කරන්න බැරි වුණොත් මුදල් එවන කෙනා ඉන්න රටේ බැංකුවටත් ලංකාවෙ අදාළ බැංකුවටත් සිදුවෙනව ඒ ගනුදෙනුව ‘සැක සහිතයි’ කියල වාර්තා කරන්න. ශ්‍රී ලංකාවෙ නම් මහ බැංකුවෙ තියෙන මූල්‍ය බුද්ධි ඒකකයට ඒ වගේ සැක සහිත ගනුදෙනු පිළිබඳව අදාළ බැංකුව විසින් වාර්තා කළ යුතුයි. එවිට මූල්‍ය බුද්ධි ඒකකය කරන මූලික විමර්ශන අනුව අදාළ ගිණුම අත්හිටුවීමට නියෝගයක් දෙන්නත් පුළුවන්. ඒ නිසා නිවැරදි තොරතුරු බැංකුවලට ඉදිරිපත් කිරීම ඉතා වැදගත්. එතකොට මුදල් එවීමේදී ගැටළු මතු වෙන්නෙ නැහැ. මෙහෙම නීති තියෙන්නෙ අපරාධවලින් උපයාගත් මුදල් හෝ ත්‍රස්තවාදීන්ට දෙන ආධාර මුදල් අපේ රටට ඇතුළු වීම වැළකීමටයි.

ඔබ අසා ඇති ඇතැම් පුද්ගලයන් කියනව මට පිටරටින් සල්ලි වගයක් ආව ඒ මුදල් මහ බැංකුවෙන් නිදහස් කරන්නෙ නැහැ කියල. තනි පුද්ගලයන්ගෙ / සමාගම්වල නමින් මහ බැංකුවෙ ගිණුම් පවත්වාගෙන යන්නෙ නැහැ. මූල්‍ය බුද්ධි ඒකකයෙ නියෝගයක් අනුව මුදල් ආපු බැංකුව තමයි අවශ්‍ය නම් අදාළ ගිණුම අත්හිටුවීමට කටයුතු කරන්නෙ.

ඇතැම් විට වාර්තා වෙනව එහෙම අත්හිටවූ ගිණුම්වල මුදල් නිදහස් කරන්න මහ බැංකුවට හෝ වෙනත් පාර්ශවයකට මුදල් ගෙවීම් කරන්න කියල ඊ මේල් පණිවිඩ ආපු අවස්ථා ගැනත්. ඒ වගේ දේවල් සිදු කරන්නෙ වංචනික පුද්ගලයන්. මූල්‍ය බුද්ධි ඒකකය, විදේශ විනිමය නීති සහ බැංකු පනත යටතේ අත්හිටවූ බැංකු ගිණුමක මුදල් නිදහස් කර ගැනීමට එහෙම තුන්වන පාර්ශවයකට මැදිහත් වීමට ඉඩක් නැහැ. ඒ නිසා එහෙම කිසිම පුද්ගලයෙකුට මුදල් ගෙවන්න එපා.

මේ අවුරුදු කාලෙනෙ. පිටරට සේවය කරන ඔබේ පවුලේ කෙනෙක් හෝ හිතවතෙක් ඔබට මුදල් එවනවානම් නීත්‍යනුකූල බැංකුවක් හරහාම ඒ මුදල් ගෙන්වාගන්න. මුදල් ලැබෙන කෙනා හැටියට ඔබට අවසර තියෙනව විදේශ මුදල් ගිණුමක් පවත්වාගන්නත්. පිටරට සේවය කරන අයටත් විදේශ මුදල් වලින්ම තමන්ගෙ නමින් ලංකාවෙ බැංකුවක පෞද්ගලික විදේශ මුදල් ගිණුමක් (Personal Foreign Currency Account) පවත්වාගෙන යන්න පුළුවන්.

පිටරටින් එවන මුදල්, විදේශ මුදල් විදිහටම ඉතිරි කර ගැනීමටත් එවිට අවස්ථාව තියෙනවා. බොහෝ සෙයින් වෙහෙසී මුදල් ඉපැයූවත් කිසිම ඉතිරියක් නැත්නම් ඵලක් නෑ නේද? බැංකුවක් හරහා මුදල් එව්වොත් තමයි එහෙම ඉතුරුවක් වෙන්නෙ.

විදේශ මුදල් ලැබෙන ව්‍යාපාරයක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවෙ ව්‍යාපාරික ආයතනයකටත් පුළුවන් ව්‍යාපාරික විදේශ මුදල් ගිණුමක් (Business Foreign Currency Account) පවත්වාගෙන යන්න. ශ්‍රී ලංකා මහ බැංකුවෙ විදේශ විනිමය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙ මේ ගිණුම් පිළිබඳව වැඩි විස්තර, අවශ්‍ය ලියකියවිලි ආදී තොරතුරු භාෂා තුනෙන්ම දක්වලා තියෙනව.

මේ ආකාරයට නීත්‍යනුකූල බැංකු පද්ධතිය හරහා අපේ රටට ලැබෙන විදේශ මුදල් අපේ රටේ විදේශ විනිමය සංචිත වලට එකතු වෙනවා. එතෙර ගිහින් තම ශ්‍රමය වැය කරල ලංකාවට මුදල් එවන අපේ සහෝදර පුරවැසියන් “රට විරුවො” කියල හඳුන් වන්නෙත් ඒකයි.

නීත්‍යනුකූල නොවන මාර්ග වලින් එවන මුදල් යන්නෙ පාතාල කටයුතු මෙහෙයවන කළු ආර්ථිකයට. එහෙම විදේශ මුදල් සංචිත අඩුවෙනකොට රටේ ආර්ථිකයට ඉතා අහිතකරයි. බැංකුවක් හරහා මුදල් එවීමේදී එක් එක් බැංකුවලින් පිරිනමන විශේෂ ත්‍යාග, සහන ක්‍රම යටතේ දෙන ණය, දරුවන්ට ශිශ්ෂ්‍යත්ව, මුදල් ආයෝජනය කිරීමට උපදෙස් සහ වෙනත් දීමනා ආදී බොහෝ වාසිත් තියෙනවා. පිටරට වැඩ කරන කෙනාට සල්ලි එවන්න පහසු වෙන්න ලංකාවෙ ඇතැම් බැංකුවල ශාඛා පවා විවිධ රටවල පිහිටා තියෙනවා.

රට රැකියාවකට යන්න කලින්ම මේ ගිණුම් ගැන දැනගෙන යාම වැදගත්. නොදැනුවත්කම නිසා හෝ වෙනත් කුමන හේතුවකටවත් නීති විරෝධී ක්‍රමවලට සල්ලි එවන එක භයානකයි. සමහර විට ඒ විදිහට කෙනෙක් ඔබේ අතටම ගෙදරටම මුදල් ගේනව කිව්වත් බැංකුවකින් ලැබෙන කිසිම වාසියක් එවිට ලැබෙන්නෙ නැහැ.එවන මුදල් වල ආරක්ෂාව ගැන තහවුරුවක්වත් ලිඛිත සටහනක්වත් නැතිවීම තවත් අවාසිදායක තත්වයක්.

නීත්‍යනුකූල බැංකු මාර්ග ඔස්සේම තමන්ගෙ රටට මුදල් එවීමත්, ගෙන්වා ගැනීමත් වගකීම් සහගත පුරවැසියන්ගෙ යුතුකමක්. ඔබ සැබෑ රට විරුවෙක් වන්නේ එවිටයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.