7 May, 2021

Blog

මූල්‍ය ලෝකයේ ආලෝකය – සල්ලිවලටත් රක්ෂණයක්!

නිෂාදි තෙන්නකෝන් –

නිෂාදි තෙන්නකෝන්

මේ ලිපි මාලාවෙන් මෙතෙක් සලකා බැලුනේ ධනය හානි වන ක්‍රම ගැනනෙ. අද කියන්න යන්නෙ ධනය ආරක්ෂා වෙන ක්‍රමයක් ගැන. ඒ තමයි තැන්පතු රක්ෂණ සංකල්පය. හැම දෙයක්ම අස්ථිර ලෝකයේ අපට යම් යම් දේවල් අහිමී වී ගියොත් ඒ වෙනුවෙන් වන්දි ලබා ගැනීමට විවිධ රක්ෂණ ක්‍රම තිබෙනවා. ජීවිත, වාහන, සෞඛ්‍යය, නිවාස වැනි දේ මෙහෙම රක්ෂණය කරනවා.

ඉතින් බැංකු හෝ මුදල් සමාගම්වල තැන්පත් කරන අපේ මුදල් කුමක් හෝ හේතුවකින් නොලැබී ගියොත් ඒ වෙනුවෙන් වන්දි ගෙවීමටත් රක්ෂණ ක්‍රමයක් තිබුණොත් හොඳයි නේද? අන්න ඒ රක්ෂණය තමයි ‘තැන්පතු රක්ෂණය’ කියන විශිෂ්ට සංකල්පය යටතේ ක්‍රියාත්මක වෙන්නෙ.

අපේ රටේ තැන්පතු රක්ෂණ අරමුදල 2010 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිහිටවනු ලැබුවා. මේ වැඩපිළිවෙල දැන් හඳුන්වන්නෙ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය කියල. මෙරට පිහිටුවා ඇති බලපත්‍රලාභී බැංකු සහ මුදල් සමාගම් විසින් අනිවාර්යයෙන් ගෙවිය යුතු සාමාජික වාරික මුදලින් තමයි මේ රක්ෂණ යෝජනා ක්‍රමයේ අරමුදල ගොඩ නැගෙන්නේ.

බැංකුවකට හෝ මුදල් සමාගමකට මහජනතාවගෙන් තැන්පතු ලබා ගැනීමට බලය දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කරල තියෙන බලපත්‍රය යම් හේතුවක් නිසා අත්හිටුවීමට හෝ අහෝසි කිරීමකට ලක්වුණොත් ඒ ආයතනවල මුදල් තැන්පත් කළ අයට තමන්ගේ මුදල් අහිමිවීමේ අවදානමක් තියනවා. එහෙම අවස්ථාවකදි ඒ තැන්පතු කරුවන්ට තමන්ගෙ මුදල් වෙනුවෙන් වන්දි මුදලක් ලබා ගැනීමට සැලසීම තමයි තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමයේ මූලික අරමුණ.

දැනට සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී, ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්, ටී.කේ.එස්.ෆිනෑන්ස් ලිමිටඩ්, ද ෆිනෑන්ස් කම්පනි පී.එල්.සී., ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ්, ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී. යන මුදල් සමාගම්වල තැන්පතුකරුවන්ට වන්දි මුදල් ලබාදීම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ හා බලගැන්වීම් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන්නේ ඒ යෝජනා ක්‍රමය යටතේ තමයි.

මේ රක්ෂණ ක්‍රමය යටතේ එක් තැන්පතුකරුවෙකුට එක් ආයතනයක තැන්පතු වෙනුවෙන් උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 6 සිට ලක්ෂ 11 දක්වා වැඩිකිරීමටත් මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කෙරුණා.

ඒ අනුව අපි මුදල් තැන්පත් කරල තියෙන නීත්‍යනුකූල බැංකුවක් හෝ මුදල් සමාගමක් කුමන හෝ හේතුවක් නිසා වසා දැමීමට තීරණය කෙරුණොත් ඒ ආයතනයේ මුදල් තැන්පත් කරල තියෙන එක් තැන්පතුකරුවෙකුට උපරිම වන්දි මුදල ලෙස රුපියල් ලක්ෂ 11 ක් තැන්පතු ආරක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ලැබෙනවා.

උදාහරණයක් විදිහට යම් අයෙක් රුපියල් ලක්ෂ 20ක් තැන්පත් කරල තියෙනව නම් මේ යෝජනා ක්‍රමය යටතේ රුපියල් ලක්ෂ 11 ක් අනිවාර්යයෙන්ම ආපසු ලැබෙනවා. රුපියල් ලක්ෂ 10ක් තැන්පත් කරලා තියෙනවා නම් ඒ මුළු මුදලම තැන්පතු රක්ෂණය යටතේ ආවරණය වෙනවා. ඉතින් තැන්පතුකරුවන්ට හිමි වන මේ සුවිශේෂ ආරක්ෂාව ලැබෙන්නේ නීත්‍යනුකූල ආයතනවල මුදල් තැන්පත් කළොත් පමණයි.

යම් මූල්‍ය ආයතනයක් වසා දමන අවස්ථාවේ සියලුම තැන්පතු මුදල් ආපසු ගෙවීමේ හැකියාවක් අදාළ ආයතනයට තිබෙනව නම් ගැටළුවක් නැහැ. තැන්පතු රක්ෂණය වැදගත් වෙන්නෙ එහෙම අවශ්‍ය මුදල් ආයතනය සතුව නැති අවස්ථාවකයි. අදාළ ආයතනයේ බලපත්‍රය අත්හිටුවීම හෝ අහෝසි කිරීමට සිදු කළාට පසුව ඊට අයිති දේපළ හා වත්කම් විකුණා (ඈවර කර) ඒ ලැබෙන මුදලින් තමයි තැන්පතු රක්ෂණයෙන් ආවරණය නොවන ඉතිරි මුදල ගෙවන්නෙ.

සමාගමක් ඈවර කරලා ඒ කියන්නෙ ඊට අයිති දේපළ හා අනෙකුත් වත්කම් විකුණල ඒ සමාගම ණය අරන් තිබෙන ණය හිමියන්ට, රජයට ගෙවන්න තිබෙන බදු හෝ වෙනත් ගාස්තු සහ තැන්පතුකරුවන්ට ඉතිරි මුදල් හෝ වෙනත් ගෙවීම් ආදිය සිදු කරනවා. මේ ගෙවීම් කරන්නෙ මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරල තියෙන රෙගුලාසියක දක්වා ඇති අනුපිළිවෙලට. මූල්‍ය ආයතන ඈවර කිරීමේ විශේෂ ක්‍රමයක් තවම අපේ රටේ නැති නිසා සාමාන්‍ය පටිපාටිය යටතේ කටයුතු කිරීමේදී ඊට යම් කාලයක් ගතවෙනවා. මහ බැංකුවෙන් ගෙවන වන්දි මුදල් ඉතා ඉක්මනින් ලැබුණත් ඉතිරි මුදල් ලබා ගැනීමට ඒ නිසා යම් ප්‍රමාදයක් විය හැකියි.

මූල්‍ය ව්‍යාපාර ස්වභාවයෙන්ම අවදානම් සහගතයි. ආර්ථිකයේ අවපීඩන තත්ත්වයක් හෝ දුර්වල පරිපාලනය හෝ වෙනයම් හේතුවකට මූල්‍ය ආයතන වසා දැමීමට තීරණය කිරීමේදී ඒවායේ වත්කම් තිබියදීම එසේ කිරීමෙන් තැන්පතුකරුවන්ට ඇතිවන පාඩුව අවම කරගත හැකියි.

කුඩා ප්‍රමාණයේ මුදල් තැන්පතු ආයෝජනය කර ඇති පුද්ගලයන්ට සහන සැලසීම තමයි තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයෙ මූලික අරමුණ. මුදල් තැන්පතුවක් දැමීමේදී තමන්ගේ නම, හැඳුනුම්පත් අංකය, තමා මිය ගියහොත් අදාළ මුදල හිමි විය යුතු උරුමකරුගේ නම ආදී තොරතුරු නිවැරදිව සඳහන් කිරීමෙන් වන්දි ලැබීමේදී ඇතිවන ප්‍රමාදයන් වලකා ගත හැකියි.

තමන් මුදල් දැමූ ආයතනය ගැන අයහපත් ආරංචියක් ලැබුණොත් හැමෝම ඇවිත් සල්ලි ආපසු ඉල්ලනකොට ස්ථාවර ආයතනයක් වුණත් දැඩි අසීරුතාවකට ලක්වෙනවා. එහෙම තත්ත්වයක් මගින් සමස්ත මූල්‍ය පද්ධතියම අර්බුදයකට ඇද වැටිය හැකියි. රුපියල් ලක්ෂ 11 ක් දක්වා ආවරණය වන රක්ෂණයක් තිබෙන නිසා අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැහැ. ඒ වුණත් තමන් මුදල් තැන්පත් කළ ආයතනය පිළිබඳව විමසිලිමත්ව සිටීම තැන්පතුකරුවන්ගෙත් වගකීමක් කිව්වොත් ඒකෙත් වරදක් නම් නැහැ.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.