17 September, 2021

Blog

මූල්‍ය ලෝකයේ ආලෝකය: ජයක් නොව බයක් දෙන ණය උගුල්

නිෂාදි තෙන්නකෝන්

නිෂාදි තෙන්නකෝන්

කෝපි කඩේ ටෙලි නාට්‍යයේ පොලී මුදලාලි ණය ගත්ත අය හොයාගෙන එනකොට එයාල ගෙවල් පිටිපස්සෙ හැංගෙනව ඔබට මතක ඇති. බලෙන්ම මිනිස්සුන්ට ණය දීල ඒ මුදල් ආපසු අය කර ගැනීමේදී චණ්ඩිකමින් ගෙවල්වලට ඇවිත් හිරිහැර කරන පිරිස් ගැන කලින් කල අපේ රටෙන් වාර්තා වෙනවා.

බුදු දහමෙ ණය නොවී සිටීම ‘අනණ සුඛය’ නම් සැපතක් හැටියටයි හැඳින්වෙන්නෙ. ණය ගැනීමක් කියන්නෙ පාර්ශව දෙකක් අතර කෙරෙන ගිවිසුමක්. එක් අයෙක් තමන් සතු මුදලක් පොලියක් ඇතිව හෝ නැතිව තවත් කෙනෙකුට ණයට දෙන්න එකඟ වෙනව. අනෙක් කෙනා ඒ ණය මුදල ආපසු ගෙවීමට එකඟ වෙනව. මේ විදිහට හදිසියකට

අතමාරුවක් ගන්න නීතියෙන් තහනමක් නැහැ. ණය ගෙවීම පැහැර ඇරියොත් නීති මාර්ගයෙන් කටයුතු කරන්න පුළුවන්.

ඒත් හන්දි ගානෙ, පොලවල් ගානෙ, ගමෙන් ගමට ගිහින් දවස් ණය, සති ණය, මාසික ණය කිය කියා බලෙන්ම වගේ මිනිසුන්ට ගිනි පොලියට ණය දෙන එක නම් කූඨ ව්‍යාපාරයක්. මිනිසා තීරණ ගන්නෙ තර්කානුකූලව හිතල බලලයි කියල ආර්ථික විද්‍යාවෙදි කියැවුණත් ඒක ප්‍රායෝගික තලයෙදි හැම වෙලාවෙම එහෙම වෙන්නෙ නැහැනෙ.

අර වගේ කණ්ඩායම් බලෙන්ම ණය දෙනකොට කොහොම හරි ගෙවන්න පුළුවන් වෙයි කියල හිතාගෙන මිනිස්සු ගිනි පොලියට ණය ගන්නවා. ඒ මුදල් ව්‍යාපාරයක හරි වෙනත් ආදායමක් ලැබෙන ක්‍රමයක යෙදෙව්වොත් ඒ ලැබෙන මුදලින් ණය ගෙවාගන්න පුළුවන් වෙයි. ඒත් එදිනෙදා පරිභෝජනයට වගේම අත්‍යවශ්‍ය නොවන බඩු මුට්ටු ගන්නත් කලින් ගත්තු ණය ආපසු ගෙවන්නත් ගොඩක් අය අධික පොළියට ණය ගන්නවා. එතකොට ණය උගුල ක්‍රියාත්මක වෙනවා.

ණයක් ගන්න නීත්‍යනුකූල බැංකුවකට හෝ මුදල් සමාගමකට ගියාම අයදුම් පත්‍ර පුරවන්න, ගොඩාක් තැන්වල අත්සන් කරන්න, ඇප කරුවො නැත්නම් ඇපයට දේපලක් හෝ යමක් ඉදිරිපත් කරන්න වගේම ණය ආපසු ගෙවන්නෙ කොහොමද කියලත් තහවුරු කරන්න වෙනවා. එහෙම නීති රීති තියෙන්නෙ ණය ගැනුම්කරුගෙත් අදාළ ආයතනයෙත් ආරක්ෂාවට. ණය අවදානම ඉහළ නොයන විදිහට මේ ආයතන වල කාර්ය පටිපාටි සුදුසු විදිහට ළිහිල් කළොත් නීත්‍යනුකූල ආයතන වෙත ජනතාව කැඳවන්න පහසු වෙනවා.

අන්තර්ජාලය පදනම් කරගෙන ක්‍රියාත්මක වෙන ණය දෙන ආයතන සහ ගමටම ඇවිත් ළඟටම ණය ගෙනත් දෙනව කියන අයගෙ කතා මීට වෙනස්. ඇපකර මොනවත් නැතිව වැඩිය ලියකියවිලි නැතිව එයාල ණය දෙනව සුහදව. පොළිය නම් බොහොම වැඩියි හැබැයි. ඒත් අර පහසුව නිසා හෝ නොදැනුවත්කම නිසා මේ දිනපතා ණය, සති ණය, මාසික ණය ආදී විවිධ ණය උගුල්වල හිරවෙලා අසරණ වෙලා ඉන්න අය බොහෝමයි.

මේ ලේසියෙන් ණය දෙන කණ්ඩායම් ගොඩක් වෙලාවට ඉලක්ක කරන්නෙ කාන්තාවන්ව. ණය දෙන මහත්තුරුන්ගෙ සුරංගනා කතාවලට රැවටිලා එයාල ණය ගන්නවා. ණය ආපසු ගෙවන දවස ඉතා වේගෙන් ළඟා වුණත් එතකොට සල්ලි අතේ නැහැ. අර ණය දුන්න සුහද මහත්තුරු වෙනුවට දැන් ණය ආපසු අය කරගන්න එන්නෙ නපුරු සැර අය. එයාල ගේ ඉදිරිපිටට ඇවිත් තර්ජනය කරනකොට සැමියා ඒ බව දැනගන්නවට, නෑදෑයො, අසල්වැසියො දැනගන්නවට බයේ ලැජ්ජාව වේදනාව දරන්න බැරිව සිය දිවි හානි කරගත්ත කාන්තාවන්ගෙ පුවත් කොයිතරම් දුක්මුසුද?

ණය ගන්න එපා කියල නෙමෙයි මේ කියන්නෙ. අත්‍යවශ්‍ය කටයුතුවලට ණය මුදලක් ලබා ගන්න නීත්‍යනුකූල බැංකු, මුදල් සමාගම් වගේම 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත යටතේ ලියාපදිංචි වුණ ආයතනත් තියෙනවා. ඒ ආයතනවලින් ණය ගන්නකොට අදාළ ව්‍යාපාරයට අවශ්‍ය උපදෙස් වගේම පහසු ණය ආපසු ගෙවීමේ ක්‍රම ආදිය ගැන කතා කර ගන්නත් පුළුවන්. එවැනි ආයතනයකින් අසාධාරණයක් වුණොත් සහන පතා පැමිණිලි කිරීමේ ක්‍රමවේදත් තියෙනවා.

අර ගිනි පොලියට ණයට දෙන කණ්ඩායම් එහෙම ණය උපදේශන සේවා පවත්වන්නෙ නැහැ. කොහොම හරි අධික පොලියක් එක්ක ණය ආපසු අය කරගන්නම තමයි එයාලගෙ වෑයම.

තමන්ගෙ මුදලින් තව අයට ණයක් දෙන එක පාලනයට ලක් කරලා තවම ලංකාවෙ නීතියක් පැනවිලා නැහැ. මහජන තැන්පතු අරගෙන ඒ මුදල් ණයට දෙන ආයතන තමයි මහ බැංකුව යටතට අයිති වන්නෙ. මේ ගිනි පොලී ණය කරුවන් සඳහා නීතියක් ගෙන ආ යුතු බව දැනටමත් යෝජනා වෙලා තියෙනවා. එහෙම නීතියක් පැනවෙනකම් හොඳට හිතල බලල සැලසුම් කරල නීත්‍යනුකූල ආයතන වලින් පමණක් ණය ගන්න.

එක් එක් ව්‍යපාරවලට වෙන්වුණු ණය යෝජනා ක්‍රම ශ්‍රී ලංකා මහ බැංකුවෙ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව මගිනුත් හඳුන්වල දීල තියෙනවා. වැඩිදුර තොරතුරු මහ බැංකු වෙබ් අඩවියෙනුත් මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාලවලිනුත් දැනගන්න පුළුවන්.

ස්වයං රැකියාවලට, කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන නගා සිටුවීමට ණය සහ උපදෙස් ලබා දීම ආර්ථික සංවර්ධනය සඳහා වැදගත්. ණය නොවී බය නොවී සිටීමට නම් සැබෑ ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමවලයි ගිනි පොලියට ණය දෙන ණය මෝරුන්ගෙයි වෙනස හඳුනාගත යුතුයි. ගිනි පොලී ණය ගන්නකොට මිහිරි මී පැණි වගේ වුණාට ඒවා ගෙවන එක තිත්ත කටුක වේදනාවක්.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    සුනඛයන් විදේශ ඇමාත්‍යාංශ යට දමගෙන මේ රට කරන විනාශරය කැඅලැවට කරන විනශයට අන්තයි.. රටේ විදේද්ශ ඇමති පාහර බල්ලෙක් බවට පත්වීම මේ රට මුලු ලෝකයටම කොන්වීම හේතුවෙනවා මයි.. මේ තිරිසන් කටු කන බල්ලන් මැරිල යාවි හෙට අනිද්දය එනමුත්.. මේ රටේ අනගතයක්ට කුමක් වේද ? සින්හල වහලුනේ උම්බලගෙ ඇස්ගෙඩි වලට හෙනගහලද ?

    https://www.youtube.com/watch?v=1Uf__5DNkJI

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.