28 March, 2024

Blog

ඉතිහාසය ආ පිට කැරකේ ද?

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

සම්මුතික ආණ්ඩුවේ පාර්ශ්වයන් දෙක වන ජනාධිපතිවරයා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයත් අතර දැඩි උණුසුම් වාතාවරණයක් පසුගිය දා ඇති විය. ඊට හේතුව වූයේ මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධ ජනාධිපති විමර්ශන කොමිසමේ කටයුතු ය. එහෙත් සැබෑ හේතුව පක්ෂ දෙක අතර බල අරගලය බව දන්නෝ දනිති. නමුත් අග්‍රාමාත්‍ය රනි වික්‍රමසිංහගේ නිවැරැදි මැදිහත්වීම මත එම උණුසුම් තත්ත්වය මේ වනවිට පහව ගොසින් ඇත.

ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා දේශපාලන පක්ෂ දෙකකින් තේරී පත්වීම ශ්‍රී ලංකාවේ ජන සමාජයට අරුමයකි. එසේම පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ද සකස් වී ඇත්තේ එවැනි නුහුරු තත්ත්වයකට නොවේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හරය සකස් වී ඇත්තේ ශක්තිමත් හා දැඩි ආණ්ඩුවක් ස්ථාපිත කරන තනි පක්ෂ බලයකට ය. එවැනි තත්ත්වයක් තුළ සම්මුතික ආණ්ඩුවේ ද ගැටුම් ඇතිවීම දේශපාලන තාර්කිකයකි.

මෙවැනි තත්ත්වයක් 2001 – 2004 කාලයේ දී ඇතිවී විශාල සමාජ විනාශයකින් කෙලවර වූ අන්දම කාටහටත් තවමත් අමතකව ගොස් නැත. පොදු ජන එක්සත් පෙරමුණේ ජනාධිපතිවරියකු තේරී පත්ව තිබිය දී 2001 මහ මැතිවරණයෙන් බලයට පත් වූයේ එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍යවරයෙකි. එසේ තේරී පත්වීමම නොහොද නෝක්කාඩු හා ගැටුම් මැද සිදුවූ අතර ආණ්ඩුකරණයේ දී ඒ නොහොද නෝක්කාඩු තවත් උග්‍ර විය. එහි අවසන් ප්‍රථිපලය වූයේ විශාල යුද්දයකට රට ඇද දමමින් යුදවාදී සිතැගියාවන් ඉෂ්ඨ කරගත හැකි ආණ්ඩුවකට පාර කැපීමයි.

එදා ආණ්ඩුවේ අර්බූදයේ දී ද එවකට අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ විශාල මහන්සියක් දරමින් සම්මුතිකභාවය රැක ගැනීමට උත්සාහ දැරීය. වෙනකක් තබා ජනාධිපතිණිය​ ආණ්ඩුවේ අමාත්‍යංශ තුනක් පවරාගෙන තිබිය දී ත් ඊළග අයවැයේ දී එම අමාත්‍යංශ තුනෙහි වැය ශීර්ෂ පරාජය නොකිරීමට ඔහු තීරණය කළේ ය. එසේම අමාත්‍යංශ තුන පවරා ගන්නා විට ජනාධිපතිණිය​ට එරෙහිව නැගී සිටි එක්සත් ජාතික පක්ෂ සමාජිකයන් කළමනාකරණය කර ගනිමින් ඒ යෝධ ජන රැල්ල ආපිට හැරවීමට ද ඔහු පසු බට නොවීය. එහෙත් එදා පැවැති දේශපාලන සංස්කෘතිය රටටම තේරුම් ගත නොහැකි විය. අග්‍රාමාත්‍යවරයාට කළමනාකරණය කර ගැනීමට ගැටළු තිබුණේ පහළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් සමග පමණක් නොවේ. ඔහුට තම පක්ෂයේම ජේෂ්ඨ අමාත්‍යවරුන්ගේ ක්‍රියා කලාපය ද පාලනය කර ගැනීමට සිදුවිය. එදා ඔවුන් ද හැසිරුණේ නොමේරූ ළදරුවන් මෙනි. අවසානයේ කෙසේ හෝ ඒ ආණ්ඩුව බිද වැටුණි.

අද ද උද්ගතව ඇත්තේ එවැනි තත්ත්වයකි. එහෙත් එදාට වඩා සමස්ත සමාජයම සම්මුතික දේශපාලනයක භාවිතාව තේරුම් ගෙන ඇත. එසේම වර්තමාන සම්මුතික ආණ්ඩුව බිහිවූයේ නොහොද නෝක්කාඩු හා දේශපාලන ගැටුම් වලින් නොවේ. මහින්ද රාජපක්ෂට එරෙහි සමස්ත එක්සත් ජාතික පක්ෂයම පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේනව පිළි ගත්තේත් ඔහුව ජනාධිපතිවරයා බවට පත් කළේත් අධ්‍යාත්මික ආදරයකිනි. එනිසා ඒ සම්මුතියට දරුණු බාධා එල්ල කිරීමට කිසිවකුට පහසුවෙන් ඉඩක් නොපවතී.

වර්තමාන සම්මුතික ආණ්ඩුවේ දේශපාලන ගැටුම් ආරම්භ වන්නේ ආණ්ඩුව පවත්වාගෙන යෑමේ දී ය. ඊට ආණ්ඩුව පිහිටුවීමේ දී හෝ පොදු අපේක්ෂකයා පත් කර ගැනීමේ දී හෝ දායක නොවූ කටවාචාලයන්ගේ කියුම් කෙරුම් ද බල පා ඇත. සම්මුතික ආණ්ඩුවක අවශ්‍යතාවත් රාජපක්ෂ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමත් බරපතල දේශපාලන ප්‍රතිසංස්කරණයක පාදක අවශ්‍යතාවන් බව තේරුම් ගෙන ඇත්තේ ස්වල්ප දෙනෙකි. සම්මුතික ආණ්ඩුවේම බොහෝදෙනෙක් සිහින මවන්නේ බලය පවත්වාගෙන තමන්ට අභිමත දෑ කිරීමට මිස ජනවාරී 08 මහජන අභිලාශයන් ශක්තිමත් කර ජයග්‍රහණය කර ගැනීමට නොවේ. එවැනි අයට සම්මුතික ආණ්ඩුවේ දේශපාලන සංස්කෘතිය නුහුරුය.

එහෙත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සම්මුතික ආණ්ඩුවේ පැවැත්ම මනා ලෙස තේරුම් ගෙන ඇත. ඉන්දියාවේ සංචාරයකින් පසුව දිවයිනට ආ ඔහු සාකච්ඡා වටයකින් පසුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවවාද කළේ කිසිම හේතුවකට ජනාධිපතිවරයාව විවේචනය නොකරන ලෙසයි. මෙය අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් ගත් ප්‍රශංසනීය පියවරකි. එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද බහුලව සිටින්නේ දේශපාලන ළදරුවන් ය. ඔහුන්ට සම්මුතික දේශපාලන සංස්කෘතියක් ගැන හෝ ගෝලීය දේශපාලන ප්‍රවනතා ගැන හෝ කිසිම අවබෝධයක් නොපවතී. කටවාචාලකම එකම සුදුසුකම කරගත් ඔවුහු ඡන්ද එකතු කරගෙන මන්ත්‍රීකමක් ලබා ගැනීමට පමණක් දක්ෂ වෙති. ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් කටයුතු කිරීමට සිදුව ඇත්තේ මෙවැනි නොදරුවන් සිටින දේශපාලන අවකාශයක ය.

සම්මුතික ආණ්ඩුවේ අභ්‍යන්තර බල අරගලය ජනාධිපතිවරයාගේත් අග්‍රාමාත්‍යවරයාගේත් දේශපාලන පක්ෂ දෙකටම යහපත් නොවේ. මේ මොහොතේ ඒ දෙදෙනා කළ යුත්තේ 2015 ජනාධිපතිවරණ අවස්ථාවටත් වඩා එකිනෙකා හා ශක්තිමත්ව බැදීමයි. පොදු සතුරා වන මහින්ද රාජපක්ෂගේ දේශපාලනය රටට බරපතල හානි ගෙන දෙන්නකි. ඒ දේශපාලනයට ඉතුරු වී ඇති එකම උපාය උපක්‍රමය වන්නේ ජාතිවාදය ඇවිස්සවීම පමණි. ඊට මුහුණදීමට නම් සම්මුතික ආණ්ඩුව ශක්තිමත් විය යුතුය. එහෙත් එහි අභ්‍යන්තර ගැටුම් නිසා රට සමස්තයක් ලෙස ගමන් කරන්නේ ජාතිවාදී අවකාශයකට ය.

සම්මුතික ආණ්ඩුවේ දේශපාලනික වැදගත්කම අවස්ථාවාදීන්ට වැදගත් නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ කාගේ නායකත්වයෙන් හෝ බලයට පත්වන ආණ්ඩුවක තනතුරු දරා තමන්ගේ පෞද්ගලික අභිලාශයන් ඉෂ්ඨ කර ගැනීම පමණි. එහෙත් රටේ සමස්ත ජනතාවට ඊට වඩා බරපතල ප්‍රශ්න පවතී. එක් අතකින් ජාතික ප්‍රශ්නයට විසදුමක් සෙවීමය. අනෙක් අතින් ඒ සදහා වූ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමය. එසේම පවතින දේශපලන සංස්කෘතිය පරාජය කර අලුත් දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කර ගැනීම ය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලක් ජයග්‍රහණය කරවා ගැනීමය. මේ අභිලාශයන් ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී සිහින දකින සමාජ කොටස් වලට මිස අවස්ථාවාදී දේශපාලකයන්ට නොවේ.

2015 දේශපාලන වෙනසෙහි පදනම වූයේ එදා මහින්දගේ ගෝලයන් ගමේ පාරට දැමූ කාපට් රනිල්ගේ හෝ මෛත්‍රීගේ හෝ ගෝලයන් ලව්වා දම්මා ගැනීමට නොවේ. ග්‍රාමීය සංවර්ධනය නිර්මාණශීලී අර්ථයකින් සිදු කර ගැනීම අවශ්‍යය. එහෙත් දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කර අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර ගැනීම සම්මුතික ආණ්ඩුවේ ප්‍රධාන සමාජ අභිලාශයයි. එය සම්ප්‍රදායික අර්ථයෙන් පහසු වැඩක් නොවේ. ගමේ පාරට කාපට් දැමීම හෝ ගමේ පොදු ළිද ඉදි කර ගැනීම හෝ වැනි ග්‍රාමීය සංවර්ධනයට අත ගසන්නට බොහෝ දෙනෙක් කැමැතිය. එහෙත් දේශපාලන ප්‍රතිසංස්කරණයන් කරන්නට බොහෝ දෙනෙකුට නොතේරේ. නමුත් ආණ්ඩුවේ පැවැත්ම තීරණය වන්නේ දේශපාලන ප්‍රතිසංස්කරණ ජයග්‍රහණය කරන තරමට ය.

අලුත් දේශපාලන සංස්කෘතියක් තේරුම් ගැනීමට නොහැකි සම්මුතික ආණ්ඩුවේ අලුත් සංකල්ප තේරුම් ගත නොහැකි කොන්ත්‍රාත් – දේශපාලකයන් නිසා රට දේශපාලනිකව ප්‍රතිසංස්කරණය කිරීම පමණක් නොව ආණ්ඩුව පවා ජනප්‍රියභාවයෙන් ගිලිහෙමින් තිබේ. කීයක් හෝ සාක්කුවේ දමා ගැනීමට කොන්ත්‍රාත් වටා එකතු වන දේශපාලකයන් නිසා දේශපාලන ප්‍රතිසංස්කරණයන්ගේ සමාජ වටිනාකම හෑල්ලු වෙමින් පවතී. සමාජය තුළ දේශපාලන ප්‍රතිසංස්කරණයන්ට පවතින ගෞරවය හා පිළිගැනීම බරපතල ලෙස ව්‍යාධියකට තල්ලු වන්නේ මහජන අප්‍රසාදයට පත්වන කොන්ත්‍රාත් – දේශපාලකයන් නිසාය.

සම්මුතික ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ තිබිය යුතු දේශපාලන ප්‍රතිසංස්කරණයන්ට සමාජ වලංගුභාවයක් තහවුරු කර ගැනීම අද විශාලම අභියෝගයයි. මහින්ද රාජපක්ෂගේ දේශපාලනයේ ජාතිවාදී ගෝත්‍රවාදය නිසා සිංහලබෞද්ධ සමාජය තුළ දේශපාලනික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් බරපතල කුකුසක් ඇති වී තිබේ. ඒ නිසා ආණ්ඩුවේ පාර්ශවයෙන් සිංහලබෞද්ධ සමාජ තීරුව ආමන්ත්‍රණය කිරීම අසාර්ථක වී ඇත. ඒ ආසාර්ථකභාවය තුළ ආණ්ඩුව විසින් කිරීමට නියමිත දේශපාලන ප්‍රතිසංස්කරණයන්ට සමාජ වලංගුභාවයක් ලබා ගැනීම දිෂ්කර ය. විශේෂයෙන් සිංහලබෞද්ධ සමාජ තීරුවේ සුජාත පිළිගැනීමක් රහිතව දේශපාලන ප්‍රතිසංස්කරණයන් ශක්තිමත් ලෙස සිදු කිරීම දුෂ්කර ය.

ප්‍රජාතාන්ත්‍රික නොවන අන්දමකින් දේශපාලන ප්‍රතිසංකරණයන් සිදු කරන්නට යෑම පෙරලා බරපතල හානි ඇති කරන සුළු ය. සිංහල බහුතරය තුළ වපුරා ඇති මිථ්‍යාවන් පරාජය කළ හැක්කේ ප්‍රතාන්ත්‍රික අවකාශයක සිදු කරන සංවාදයකිනි. ඒ සදහා මහජනයා අතරට යන්නට ආණ්ඩුවේ දේශපාලන කොටස් වලට සුජාතභාවයක් තිබිය යුතුය. මහජන පිළිගැනීමට හා ගෞරවයට හේතු නොවන්නා වූ කොන්ත්‍රාත් – දේශපාලකයන්ට ඇති අප්‍රසන්න පිළිකුල නිසා දේශපාලන ප්‍රතිසංස්කරණ සිංහල සමාජ තීරුවෙන් ප්‍රතික්ෂේපවීමට ඉඩ තැබීම අපරාධයකි.

සම්මුතික ආණ්ඩුවේ අභ්‍යන්තර බල අරගලය විසදා ගැනීමට නායකයන් දෙපළම ශක්තිමත් ය. එහෙත් ඒ නායකයන් දෙපළගේ පක්ෂ සාමාජිකයෝ සම්මුතික දේශපාලන සංස්කෘතියක වටිනාකම නොදන්නා නිසා පළමුව තම නායකයන්ට ද දෙවැනිව සමාජයට ද එරෙහිව කටයුතු කරති. එහෙත් අද දවසේ රට හමුවේ පවතින දේශපාලන අභියෝග ජය ගැනීමට නම් මේ නොමේරූ දේශපාලකයන්ගේ ක්‍රියාකාරීකම් පරාජය කළ යුතුය.

shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.