27 April, 2024

Blog

බැසිල් රාජපක්ෂ හොරෙක් ද?

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

රාජපක්ෂවාදයට එරෙහිව විකල්ප දේශපාලනයක් සාර්ථක කර ගන්න අපහසු වෙන මූලික හේතුවක් තමයි ග්‍රාමීය මට්ටමෙන් සහචරයන්ට මුදල් බෙදල දෙන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. මේ වැඩේ කළමනාකරණය කරන මූලිකය තමයි බැසිල් රාජපක්ෂ. ඒ නිසා ග්‍රාමීය පොහොට්ටු කාඩරයන් අතර ආණ්ඩුවේ ජනප්‍රියම නායකය වෙන්නෙත් බැසිල් රාජපක්ෂමයි.

මේ ක්‍රමය අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් තුළ සිදු කෙරෙන රජයේ කොන්ත්‍රාත්, අරක්කු බාර්, පෞද්ගලික බස් ධාවනය, ටියුෂන් පන්ති, කැළෑ කැපීම්, බොරළු කැපීම් ආදී සියළු කටයුතුවල තීන්දු තීරණ ගන්නෙ ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලකයන් විසින්. ඒ කියන්නෙ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් විසින්. ප්‍රදේශයේ රජයේ කොන්ත්‍රාත් කරන්නෙ ආණ්ඩු පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරු එහෙමත් නැත්නම් පළාත් පාලන ආයතනයේ ප්‍රධානියා. අරක්කු ලයිසම අරන් දෙන්නෙ, එහෙමත් නැත්නම් මාසෙකට වරක් බාර් එකෙන් කප්පම් ගන්නෙ, පෞද්ගලික බස් වලින් ටියුෂන් පන්ති වලින් කප්පම් ගන්නෙ, හොරට කැළෑ කපන්නෙ, පස් කපන්නෙ, වැලි ගොඩදාන්නෙ එක්කො පළාත් සභා මන්ත්‍රීවරය නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරය.

මේ විදිහට තමන්ගෙ ප්‍රදේශයේ සිදුකරන රජයේ කොන්ත්‍රාත් වලින් ලාභ ඉපයීම හා විවිධ අන්දමින් කප්පම් ගැනීම මගින් විශාල මුදලක් ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලකයන් අත එකතු වෙනව. ඒ මුදල් වලින් කොටසක් පක්ෂ දේශපාලන වැඩ වලට යොමු කරනව. ඉතිරිය දේශපාලකයගෙ බැංකු ගිණුම් තර කරනව. බැසිල් රාජපක්ෂගෙ චක් ගෝලයකු වෙච්ච මහින්ද පතිරණ ෆේස්බුක් එකේ වාද කරන ගොඩක් තැන්වල දි එයා අභියෝග කරනව බැසිල් හොරකම් කරපු තැනක් තියේ නම් පෙන්වන්න කියල. ඔන්න අපි අසරණ වෙන තැනක්. කට්ටිය රාජ්‍ය ධනය කොල්ලකන හැටි දැක්කට අපිට රාජ්‍ය බලය නැති නිසා ඒ කොල්ලකෑම ඔප්පු කරන්න අපට හැකියාවක් නැහැ.  අපේ සහායෙන් රාජ්‍ය බලය ගන්න අයත් මේව හොයන්නෙ නැහැ. ඉතින් මහින්ද පතිරණල වගේ චක් ගෝලයො හුරේ දම දම අපට අභියෝග කරන කොට අපිට විළිලැජ්ජ හිතෙනව. මහ දවල් මහ මංකොල්ලයක් උනාට ඔප්පු කර ගන්න බැහැ.

ප්‍රාදේශීය මට්ටමෙන් සිදුවෙන මේ වින්නැහියම තමයි ජාතික මට්ටමෙන් වෙන්නෙත්. මහ ආණ්ඩුවේ මුදල් ගනුදෙනු ගැන තීන්දු තීරණ ගන්නෙත් ආණ්ඩුවෙ දේශපාලකයන්ට ලාභ, කොමිස් හා කප්පම් ලැබෙන විදිහට තමයි. ගම්වල උන් වගේ කොළඹ ඉන්න මංකොල්ලකාර දේශපාලකයන් කරේ එල්ලගෙන මස් කන්නෙ නෑ. ඒවට ඉන්නව හැරී ජයවර්ධන, දිලිත් ජයවීර වගේ ව්‍යාපාර කරන විද්වත් ව්‍යාපාරික අය. ආණ්ඩුවෙ ලොකු ලොකු බිස්නස් කරන්නෙ අන්න ඒ විද්වත් ව්‍යාපාරිකයො. ඉතින් හිතවත්කමට එයාල දේශපාලකයන්ට උදව් කරනව. අන්න ඒ නිසා මහින්ද පතිරණ වගේ අය අපට අභියෝග කරනව “පුළුවන් නම් බැසිල් හොරෙක් කියල ඔප්පු කරපන්” කියල. එතකොට අපි ලැජ්ජාවෙන් අසරණ වෙනව.

නමුත් ඒක ඔප්පු කරන්න ක්‍රමයක් තියෙනව. අපි මේක මුලින්ම ගම් මට්ටමෙන් කරල බලමු. තම තමන්ගෙ ගම්වල ඉන්න පළාත් පාලන මන්ත්‍රීවරයා  දේශපාලනයට එන්න කළින් හා දේශපාලනයට ආවට පස්සෙ එයාගෙ භෞතික සංවර්ධනය ගැන පොඩි විමර්ශනයක් කරන්න. ඒ කියන්නෙ පොඩි විගණනයක් කරන්න. අන්න එතැනදි පැහැදිලි වෙයි හරිහමන් ආදායම් මාර්ගයක් නැතත් ගමේ මන්ත්‍රී මේ වෙන කොට පොහොසතෙක් බව.  එතකොට එයාට ඒ සල්ලි ලැබුනෙ කොහොම ද? එයා නිකම්ම නිකම් පුරවැසියකු උනා නම් කොන්ත්‍රාත් කරන්න ලැබෙනවද? ලාභ හොයන්න පුළුවන් ද? එයාට කප්පම් ලැබෙනව ද? ඔන්න ඔය වගේ කාරණා ටිකක් හොයල බලන්න.

අන්න එතකොට නිකම්ම පැහැදිලි වෙයි ගමේ පළාත් පාලන මන්ත්‍රීවරය, ප්‍රාදේශීය සභාවෙ සභාපතිවරය, පළාත් සභා මන්ත්‍රීවරය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සල්ලි හම්බ කළේ කොහොමද කියල. ඒ විදිහටම තමයි මහ ආණ්ඩුවෙ ඇමතිවරුත් සල්ලි හම්බ කළෙත්. ඒ විදිහටම තමයි අගමැති හා  ජනාධිපතිත් සල්ලි හම්බ කළේ. ඒ ක්‍රමය තමයි මේ දේශපාලනය පවත්වාගෙන යන මාෆියා, පාදඩ ආර්ථික උපක්‍රමය. ඒක නිසා තමයි පක්ෂ කාඩර්වරුන්ගෙ අතට සල්ලි යන්නෙ. ඒ සල්ලි ගන්න පක්ෂ කාඩර්වරු රාජ්‍ය බලය කොහොම හරි රැක ගන්න මහන්සි වෙනව. කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ රාජ්‍ය බලය රැක ගන්නව.

මේ පවතින පාදඩ මාෆියාව බිද දමන්න පහසු නැහැ. නමුත් ඒ මාෆියාව බිද දමන්න බැරි කමකුත් නැහැ. මේ ක්‍රමය රැක ගන්න කට්ටිය කොච්චර දැගලුවත් මෑත ඉතිහාසයේ අවස්ථා දෙකක දි  මේ පාදඩ මාෆියාව සුණුවිසුණු කරන්න අපට පුළුවන් වුනා. එක අවස්ථාවක් තමයි 1994. අනෙක් අවස්ථාව තමයි 2015. මේ අවස්ථා දෙකේදීම පාදඩ මාෆියාව ආරක්ෂා කර ගන්න විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් තිබුණත් ඒක පරාජය කරන්න සමාජයට පුළුවන් උනා.

මහජන නියෝජිතයන් සල්ලි හම්බු කිරීම

අපි හිතමු දම්පෑලැස්ස ප්‍රාදේශීය සභාව කියල එකක් තියෙනව කියල. ඒකෙ මඩකුඹුර කොට්ඨාශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී තමයි කපිල. ඉතින් කපිලගෙ කොට්ඨාශයේ සියළු ඉදිකිරීම් වල, ඒ කියන්නෙ පාර කාපට් කිරීම, පාර කොන්ක්‍රීට් කිරීම, පාළම් ඉදි කිරීම, අලුතෙන් පාරවල් තැනීම, පැති කානු බැදීම වගේ පොඩි පොඩි වැඩවල කොන්ත්‍රාත් එක කරන්නෙ කපිලමයි. ඒක අහන කොට පොඩ්ඩක් හිනහ යනව. නමුත් ඒක එහෙම වෙනව. මහජන නියෝජිතයන්ට කොන්ත්‍රාත් කරන්න බැහැ. නමුත් ප්‍රායෝගිකව මහජන මන්ත්‍රීවරුන් කොන්ත්‍රාත් කරනව. ඒක කරන්නෙ මෙන්න මෙහෙම.

ඔය පොඩි පොඩි වැඩ වලට මධ්‍යම ආණ්ඩුවෙන් මුදල් ප්‍රතිපාදන එන්නෙ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයට. එතකොට මඩකුඹුර කියන කපිලගෙ කොට්ඨාශයේ පාරක් කොන්ක්‍රීට් කරන්න මුදල් ප්‍රතිපාදන ආවහම ඒකට ඇස්තමේන්තුව හදල කොන්ත්‍රාත්තුව පවරනව ගමේ ප්‍රජා සමිතියකට. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුව ගම්වල කරන ප්‍රජා වැඩ සදහා කොන්ත්‍රාත් පැවරීම් වලට ලංසු කැදවන්න ඕන නෑ. ඇස්තමේන්තු කළ මිලට වැඩේ කරන්න ගමේ ප්‍රජා සංවිධානයකට පවරන්න ප්‍රාදේශීය ලේකම්ට පුළුවන්. එහෙම පවරන කොට ප්‍රාදේශීය ලේකම් අදාළ ප්‍රජා සංවිධානය එක්ක ගිවිසුම් අත්සන් කරනව.

ඔය විදිහට දම්පෑලැස්ස ප්‍රාදේශීය ලේකම් මඩකුඹුර ගොවි සංවිධානය එක්ක ඔන්න ගිවිසුමක් අත්සන් කරනව පාර කොන්ක්‍රීට් කරන්න. නමුත් ලංකාවේ ප්‍රජා සංවිධාන වලින් 0.0001%කටවත් හැකියාවක් නැහැ ඉදිකිරීම් කොන්ත්‍රාත් කරන්න. ඒව පිහිටුවාගෙන තියෙන්නෙ වෙනත් සුබසාධන ඉලක්ක සහිත අරමුණු වලින්. ඒ නිසා කපිල ඒකට මැදිහත් වෙලා වැඩේ කපිලගෙ අතට ගන්නව. කපිල මන්ත්‍රී වෙනකොටම දන්නව කල්ල මරේ කියල. ඒ නිසා මන්ත්‍රීකමේ දිවුරුම් දෙන්නෙම කොන්ත්‍රාත් කරන්න අවශ්‍ය යටිතල පහසුකම් සකස් කරගෙන. එක්කො සුහදව කොන්ත්‍රාත් එක කපිලගෙ අතට ගන්නව. එහෙම නැත්නම් පොඩි තගක් දාල කොන්ත්‍රාත් එක කපිලගෙ අතට ගන්නව. සමිතියට පොඩි ගානක් දෙනව.

ඊට පස්සෙ කපිලගෙ කොට්ඨාශෙ පාර හදන්නෙ කපිලමයි. මහජන නියෝජිතයත් කපිලමයි. කොන්ත්‍රාත් එකේ ගුණාත්මකතාව බලන්න එන්නෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තාක්ෂණ නිලධාරියෙක්. එහෙම නැත්නම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිවිල් ඉංජිනේරුව. ඒ දෙන්න තුලනය කර ගන්න බැරි නම් කපිලගෙ දේශපාලනය මොකටද ඉතින්.  අවශ්‍ය වුනොත් ඒ අයට පොඩි ගානක් දෙනව. නැත්නම් දේශපාලන තර්ජනයක් කරනව. ඒව සෑහෙන්න සරළ හා පහසු වැඩ.  ඊට පස්සෙ කොන්ත්‍රාත් එක ගොඩ. ඇස්තමේන්තු වියදම රුපියල් ලක්ෂ පහක් නම් ලක්ෂ තුනකින් විතර වැඩේ ගොඩ දානව. ඉතුරු සල්ලි වලින් පොඩි පොඩි ගණන් ටිකක් බේරල ලොකු ගාන කපිලගෙ සාක්කුවට දා ගන්නව. මහජන නියෝජිතය කපිල උනාට සමහර වෙලාවට කරන සංවර්ධන ව්‍යාපෘතියෙ ගුණාත්මකතාව වෙනුවෙන් කතා කරන්නෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙ නිලධාරීන්. ඔන්න ඔහොමයි වැඩේ සිද්ධ වෙන්නෙ.

දැන් මෙහෙම හම්බ කරන සල්ලි වලින් තමයි කපිල දේශපාලනය කරන්නෙ. කොළඹ දි ලොකු දේශපාලන වාසියක් උනාම කපිලගෙ ගමේ රතිඤ්ඤා පත්තු කිරීමේ සිට කිරිබත් හැදීම, මැයි පෙළපාලි යන්න බස් වලට ගෙවීම,  ජනාධිපති/අගමැති/ ඇමති ගමට එන කොට වියදම් දැරීම වගේ ලොකු වැඩ ගොඩක් කරන්නෙ මේ සල්ලි වලින්. ඒ සේරමත් කරල ගානක් පොතේ දාගන්නෙ හැමදාමත් මන්ත්‍රීකම් කරන්න නොලැබෙන නිසයි.  කපිලගෙ  ලොකු පුතාව තොරතුරු තාක්ෂණ උපාධිය කරවන්න ඕස්ත්‍රේලියාවට යැව්වෙ එහෙම ඉතුරු කර ගත්ත ලක්ෂ පනහකින් තමයි. ඉතින් කපිල විතරක් නෙවෙයි, හැම ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක්මත්, පළාත් සභා මන්ත්‍රී කෙනෙක්මත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්මත් ඕක කරනව. ඊට අමතරව කප්පම් ගන්නව.

මේ විදිහට තමයි ප්‍රාදේශීය දේශපාලනය සක්‍රීය වෙන්නෙ. ඊට පස්සෙ උපාධිධාරීන්ට ආණ්ඩුවෙ ඔෆීස් වල රස්සා අරන් දෙනව. ඉගෙන ගත්තෙ නැතිවුන්ට රියදුරු හා කාර්යාල කාර්ය සහකාර වගේ රස්සා අරන් දෙනව. එහෙමත් නැත්නම් කම්කරු රස්සා වලට තල්ලු කරනව.  රජයෙන් අරන් දෙන්න පුළුවන් හැම සහනාධාරයම මිනිස්සුන්ට අරන් දෙනව. ආණ්ඩුව නිසා වරදාන අරන් යැපෙන අයගෙන් ඒ විදිහට ලොකු ජාලයක් හදා ගන්නව. මේ ජාලය ශක්තිමත් කර ගත්තහම ආයෙ මොකෙකුටවත් මේ කපේ දි ආණ්ඩුව පෙරලන්න බැහැ.හැබැයි කොන්ත්‍රාත් වල ලාභයෙන්, කොමිස් ගැනීමෙන් හා කප්පම් ගැනීමෙන් ගොඩනැංවෙන්නෙ මාෆියා පාදඩ ආර්ථිකයක්.  ඒ වගේම රාජ්‍යය ශක්තිමත් කරල පුළුවන් හැම එකාටම රජයේ රස්සා දීල කරන්නෙත් මහජන මුදල් නාස්තියක්.

ඒත් 1994 දිත් 2015දිත් ආණ්ඩු දෙකක් පෙරලුනේ මේ වගේම ශක්තිමත් ජාල ඒ ඒ ආණ්ඩු හදාගෙන තිබිය දීම තමයි. 1977 බලයට ආව යූඑන්පියේ එම්.එස් අමරසිරි වෙළෙද ඇමතිවෙලා එයා නියෝජනය කළ ගාල්ලෙ හිනිදුම ආසනයේ හැම කෙනාටම වගේ වෙළෙද අමාත්‍යංශය යටතේ වූ ආණ්ඩුවෙ ආයතනයක රස්සා අරන් දුන්න. ඒ කාලෙ හිනිදුම ආසනයේ පදුරකට ගැහැව්වත් දෙන්නෙක් තුන්දෙනෙක් එළියට පනිනව අමරසිරිගෙන් රස්සා ගත්ත. ඒත් 1991 ප්‍රාදේශීය සභා මැතිවරණය තියෙන කොට එම්.එස් අමරසිරිගෙ හිනිදුම මැතිවරණ කොට්ඨාශයේ ප්‍රාදේශීය සභා හතරෙන් තුනක්ම යූඑන්පිය පැරදුනා. නෙළුව, තවලම හා නාගොඩ ප්‍රාදේශීය සභාවන් ශ්‍රීලනිපය ජය ගන්නා විට එජාපය ජය ගත්තෙ නියාගම ප්‍රාදේශීය සභාව විතරයි.

1994 දි වගේම 2015 දිත් මේ ආයතන ගත දේශපාලන බලය බිදින්න ලොකු දේශපාලන ප්‍රතිවිරෝධයක් නිර්මාණය උනා. මම හිතන්නෙ ව්‍යුහාත්මකව ඒ බලය බිදින්න හැකිවුනේ 1994 දි විතරයි. 2015 දි ආණ්ඩුව පෙරලුවට ගම් මට්ටමේ දේශපාලන බලය තිබුණෙ රාජපක්ෂලට. ඒක බිදින්න එජාපයට නොහැකි උනා. නමුත් 1994 දි චන්ද්‍රිකා බණ්ඩාරනායකට පුළුවන් උනා ගම් මට්ටමෙන් පවා එජාපයේ දේශපාලන බලය බිදින්න.

ගමේ ආර්ථිකය ශක්තිමත්

1994 වෙනකොට 17 වසරක යූඑන්පී පාලනයෙන් මිනිස්සු හෙම්බත් වෙලා හිටියෙ. යූඑන්පියේ අභ්‍යන්තරයෙන්ම පැන නැගුණ ලලිත්-ගාමිණී කණ්ඩායමේ අරගලය නිසා යූඑන්පී දේශපාලනය කම්පනයකට ලක් උනේ ඔය කාලවකවානුවෙයි. ඒ කාලෙ ඇත්තටම ආණ්ඩු විරෝධයේ ජව සම්පන්න පණිවුඩය ගම් මට්ටමට අරගෙන ගියේ සාධක දෙකක් විසින්. එකක් තමයි ලලිත්- ගාමිණී කණ්ඩායමේ අරගලය. අනෙක මහින්ද රාජපක්ෂ විසින් මෙහේයවූ කොළඹ – කතරගම පාද යාත්‍රාව.

හැබැයි රණසිංහ ප්‍රේමදාස විසින් ග්‍රාමීය සමාජය තුළ ඇති කළ ආර්ථික වර්ධනය ඒ කියන්නෙ ගාමන්ට් ෆැක්ටරි ඇති කිරීම, ජනසවිය දීම වැනි වැඩ නිසා ස්ථාවර යූඑන්පී ඡන්ද පදනමට කිසිම බලපෑමක් ඇතිවුනේ නෑ. ඒ චන්ද පදනම එහෙමම තිබිය දී යූඑන්පියේ මැද පාන්තික බුද්ධිමත් චන්ද රාජාලියා කණ්ඩායමට කැඩිල ගියා. චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙ ප්‍රවේශය නිසා පාවෙන ඡන්ද ආණ්ඩු විරෝධී පිළට එකතු උනා. නමුත් 1993 පළාත් සභා ඡන්ද වටය තුළ දී පවා යූඑන්පියේ ශක්තිය කඩා දමන්න පුළුවන් වුනේ පළාත් කිහිපයක විතරයි. ඒ දකුණ, බස්නාහිර හා වයඹ පළාත් වල විතරයි. ආණ්ඩු විරෝධයට ලොකු ගැම්මක් ආවෙ 1994 දකුණු පළාත් සභා ඡන්දය විශාල වැඩි ඡන්දයකින් පොදුජන පෙරමුණ ජයගත් නිසයි. ඊට පස්සෙ වේගයෙන් ආණ්ඩු විරෝධය ශක්තිමත් උනා. මිනිස්සු ආණ්ඩු විරෝධීව ක්‍රියාකාරී උනේ පක්ෂවල මැදිහත්වීමකට වඩා සාමූහිකව ස්ව කැමැත්තෙන් කිව්වොත් වඩා නිවැරැදියි.

ඒ කියන්නෙ 1994 දිත් දේශපාලන ප්‍රබෝදයක් ඇතිවුනේ ගම් මට්ටමෙන් පැන නැගුණ මහජන උනන්දුවකින් නෙවෙයි. ඒ ප්‍රබෝදය පසුව ස්වයං සිද්ධව ක්‍රියාත්මක උනත් මිනිස්සු වැඩේට උනන්දු උනේ ඉහළ සිට පහළට ගලා ආ කම්පනය නිසයි. මැද පන්තිය දෙදරුම් කෑවෙත් පාවෙන ඡන්ද විපක්ෂයට හැරුනෙත් ඉහළින් ආ කම්පනයෙන් ඇති කළ දේශපලාන තිගැස්ම නිසා කියල කියන්න පුළුවන්. ඒ කියන්නෙ ලලිත්-ගාමිණී අරගලය, පාද යාත්‍රාව හා චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආකර්ශනීය ප්‍රවේශය නිසා ඇතිවූ මැද පන්තියේ දේශපාලන ප්‍රබෝදය නිසා තමයි 1994 ආණ්ඩු මාරුව ශක්තිමත් උනේ.

ප්‍රේමදාස කොච්චර මිනීමැරුවත් ඒ මිනීමැරීමේ පාපය තුලනය උනේ ජවිපෙත් හරි හරියට මිනිස්සු මැරුව නිසයි. ඒ නිසා පාලකයගෙ මර්දනය ගම් මට්ටමේ මිනිස්සු තේරුම් ගත්තෙ ජවිපෙ මිනීමැරුම් නතර කරන්න ගත්ත උත්සාහයක් ලෙසයි. ගම්වල එක නිවෙසක විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා දරුවව පැහැරගෙන ගිහින් මරා පුච්චල දාද්දි ඒක ගමට ලොකු බලපෑමක් නොවුනෙ ඒ ගමේම වගා නිලධාරිය, ග්‍රාම සේවක, පොලිස්කාරය ජවිපෙ විසින් මරා දමා තිබූ නිසයි. ඒ නිසා ගම සමස්තයක් විදිහට ප්‍රේමදාසගෙ ආර්ථික ප්‍රතිසංස්කරණ වල ප්‍රබෝදය අත්විදිමින් හිටිය.

නමුත් දෙගෙල්ලොගෙම මනුෂ්‍ය ඝාතන, මැද පන්තියට පිළිකුල් සහගත බවක් හා හිසේ රුදාවක් ජනනය කළා වෙන්නට ඇති. ඒ නිසා ආණ්ඩු මාරුවේ ජව සම්පන්න ශක්තිය උනේ සමාජයේ මැද පන්තිය කියල කියන්න පුළුවන්. ඒ මැද පන්තිය ක්‍රියාකාරී වෙනකොට පහළ සමාජ තීරුවත් ක්‍රියාකාරී නොවුනාම නෙවෙයි. එතැනදි සිදුවුනේ දේශපාලන ආධිපත්‍යයේ මාරුවීම පිළිබද පණිවුඩය සමාජ කොටස් තේරුම් ගෙන ඒ අනුව තමන්ගෙ දේශපාලන සහයෝගය දෙන්නෙ කාටද කියන එක තීරණය කිරීමයි. අපට එතැනින් තේරුම් ගන්න තියෙන්නෙ මේ යුගය තුළ දේශපාලන මාරුවීම් සිදුවෙන්නෙ සමස්ත මහජන ව්‍යාපාරයක බලපෑමෙන් පමණක් නොව දේශපාලන අධිපතිත්වය හිමිවෙන්නෙ කාටද කියන එක මතත් එය තීරණය වන බවයි.

බැසිල්ගේ ආර්ථික මාෆියාව පරාජය කරන්නේ කෙසේද?

1994 දිත් 2015 දිත් ආණ්ඩු පෙරලුනේ ඉහළ සිට පහළට ආව ආණ්ඩු විරෝධී ගැම්මක්, උද්යෝගයක් නිසා මිසක් ගම තුළින් සමාජය තුළින් ඇතිවූ දේශපාලනික ප්‍රතිවිරෝධී අදහස් නිසා නොවන බව ඉතා පැහැදිලි කරුණක්. ගම තුළින් හෝ සමාජය තුළින් හෝ එහෙම දේශපාලන ප්‍රතිවිරෝධයක් නිර්මාණය නොවන්න එක්තරා සාධකයක් බලපෑව බවයි මගේ අදහස. ඒ සාධකය තමයි මොන ප්‍රශ්න සමාජය තුළ ඇවිලී ගොස් තිබුණත් ග්‍රාමීයව ආර්ථිකය තුළ යම්කිසි ශක්තියක් ගොඩනැගී තිබීම. 1993-1994 වනවිට ජනසවිය හා ග්‍රාමීය ඇගළුම් කම්හල් ඉදිකිරීම වැනි කාරණා නිසාත් යූඑන්පී ආණ්ඩුවෙන් අතිවිශාල ප්‍රමාණයකට රජයේ රැකියා සපයා දී තිබූ නිසාත් යම්කිසි තුලනයක් හටගෙන තිබුණ.  ඒ වගේම 2014-2015 වනවිටත් රජයේ රැකියා සපයාදීමගම් මට්ටමේ මහජන නියෝජිතයන් විසින් නිර්මාණය කරගෙන තිබූ පාදඩ ආර්ථික ක්‍රමය ආදිය නිසා යම්කිසි තුලනයක් හටගෙන තිබුණ. මේ නිසා ඒ තුලනය ඇතිව තිබූ ග්‍රාමීය සමාජය දේශපාලනිකව කුලප්පු කරන්නට හැකිවුනේ මැද පන්තියෙන් පහළට ගලා ආ පණිවුඩය නිසයි. ඒ පණිවුඩය නිසා 1994 දි ගමේ දේශපාලන තුල්‍යතාව කඩා වැටුනත් 2015 දි ඒ තුල්‍යතාව කඩා වැටුනෙ නැහැ. ඊට හේතුව උනේ බැසිල් රාජපක්ෂ විසින් නිර්මාණය කර තිබූ ප්‍රාදේශීය ආර්ථික මාෆියාකරණය බිදිය නොහැකි ලෙස ශක්තිමත්ව තිබීමයි.

ඒ තත්ත්වය 2019 දී රාජපක්ෂවාදය විසින් රාජ්‍ය බලය ලබා ගැනීමෙන් පසුව යළි සක්‍රිය උනා. ඒ තත්ත්වය තුළ ආණ්ඩු විරෝධී දේශපාලන ව්‍යාපාරයන්ට ගම තුළ සක්‍රියවීම බරපතල ලෙස සීමා වී තිබෙනව. නමුත් තමන්ගෙ දේශපාලනය හමුවේ ගමේ පවතින බරපතල බාධාව වන්නේ බැසිල් රාජපක්ෂගේ ග්‍රාමීය ආර්ථික මාෆියාව බව කිසිම දේශපාලන පක්ෂයක් තේරුම් ගත් බවක් හෝ පෙනෙන්නට නැහැ. එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය හා ජාතික ජනබලවේගය අන්ධානුකරණයෙන් බලා සිටිනවා මිස තමන් හමුවේ සක්‍රියව පවතින දේශපාලන අභියෝගය අවම වශයෙන් විග්‍රහ කර ගැනීමට හෝ මහන්සියක් දරා නැහැ. ඒ නිසා මේ ප්‍රබල දේශපාලන අභියෝගය නිශ්ක්‍රීය කර ගැනීමට පවතින හැකියාව අවමයි.

ධනේශ්වර දේශපාලනයට එරෙහිව ක්‍රියාත්මක විය යුතු විමුක්ති දේශපාලනයකට මේ තත්ත්වය සමග හැප්පීමට අපහසුයි. ඊට හේතුව විශාල රාජ්‍ය අනුග්‍රහය ලත් මාෆියා සුබසාධනයකට පිටුපා විමුක්ති ව්‍යාපාරයකට සහායදීමට ඉදිරියට එන්නේ අතලොස්සක් නිසයි. එවැනි මාෆියා රාජ්‍ය යාන්ත්‍රණයකට අභියෝග කළ හැක්කේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාරයකට පමණයි. විමුක්ති ව්‍යාපාරයක ක්‍රියාකාරීත්වය  සජීව වන්නේ පවතින අවකාශයෙන් බැහැරව නිසාත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක ක්‍රියාකාරීත්වය සජීව වන්නේ පවතින අවකාශය තුළම නිසාත් වඩා ප්‍රායෝගික වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාරයක් ඉදිරියට ගැනීමයි.

නමුත් ප්‍රශ්නය වන්නේ ආර්ථික මාෆියාකරණයකින් ප්‍රාදේශීයව පාදඩ දේශපාලනය ශක්තිමත් කර ඇති රාජපක්ෂවාදයට එරෙහිව ශක්තිමත්ව නැගී සිටිය හැකි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කුමක්ද යන්නයි. ඒ සදහා ශක්තිමත් කළ හැකි දේශපාලන ව්‍යාපාරයන් දෙකක් ඇතත් ඒ දෙකම අක්‍රීයව පවතී. එකක් නම් ජනතා විමුක්ති පෙරමුණ වන අතර එය අතරමැදි පන්තියේ ග්‍රහණයට ලක්ව තිබෙන්නක්. අනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වන අතර එය නායකත්වයක් නොමැතිව රාජපක්ෂවාදය පසුපසම ගමන් කරමින් තිබෙන්නක්.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවලින් යුතු වාමවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයකට සමාජය තුළ පවතින්නෙ ලොකු ඉඩකඩක්. ඊට ප්‍රධාන හේතුව ධනේශ්වරය තවමත් විශ්වාසය බිද ගැනීමට තරම් අර්බූදයකට ගොස් නැති බව මහජනයා තුළ පවතින අවබෝධයයි.  ග්‍රාමීය සමාජය යූඑන්පිය හා සමගි ජනබලවේගය ප්‍රතික්ශේප කරන්නේ ඊට ආවේනික ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගේ රෞද්‍රකම නිසයි. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුසංයෝගයකට සමාජය තුළ විශ්වාසයක් ගොඩනගා ගන්න ඉතා පහසුයි.

ඒ සදහා මූලිකම අවශ්‍යතාව වන්නේ දරිද්‍රතාවට එරෙහිව සමාජය ආමන්ත්‍රණය කරන ශක්තිමත් වැඩපිළිවෙලක්. එය සිංහල නොවන ජනකොටස අතරට ගෙන යෑමට ජාතික ප්‍රශ්නයට විසදුමක් ද නිර්මාණය කර ගැනීම අනිවාර්ය අවශ්‍යතාවක්. මෙවැනි ප්‍රතිපත්තිමය පදනමක සිට සමාජයට ආමන්ත්‍රණය කළහොත් රාජපක්ෂවාදී පාදඩ ආර්ථික මාෆියාව පරාජය කිරීම අපහසු නැහැ. ඒ සමගම රාජපක්ෂවාදී දේශපාලනය පරාජය කරන එකත් පහසු කාරණාවක්.

Print Friendly, PDF & Email

Latest comment

  • 9
    1

    නිකන් හොරෙක් නොව පට්ටපල් හොරෙක්,..එවුන් කොහොමද වත්කම ඇති කරගත්තෙ යන්නෙ, නිවැරදිව සොයා බැලුව හොත පාසැල් යන පොඩි දරුවන්ට පවා වැටහේවි මෙවුන්ගේ තක්කඩි ජීවිතය.. එනමුත් පරබල්ලන්ට එරෙහිව නීතිය ක්රියාත්මක වෙන කමේ හොරක් තිබෙනව බව සිරිසේනගේ නෝන්ජල් ආන්ඩුවේ කට යුතු වලින් ලොවටම හෙලි වුන… සිරිසේන ඒ කිසිදෙයක් හරි විදියට කරගෙන යන්න ඉඩ දුන්නෙ නැති තවත් පාහර බල්ලෙක්… මෙවුන් හරියට, අසුචී ගොඩවල් රකින සින්හල නායකයො.. එනමුත් බුඩ්දගම කියල හන්වඩු ගහගෙන, එවුන් ඒ අසුචි ගොඩවල්, කේක් විදියට සමාජ ගත කරනව.. ඒක එවුන්ගේ ට්රික් එක මේ නූගත් එවුන්ගෙන් පිරුන සමාජය තවදුරටත් නොමග අරිමින් බලයේ ඉන්නට. මේ තත්වය.. දෙවියන්ට වත් නොතේරෙන්නෙ මන්දැයි මම අහනව…#.
    .
    රටේ උගත් ව්රුත්තිකයන් ඉන්නව, එවුන්ට එකා වාගෙ එලියට ඇවිදින් මේව හෙලිකරල මේ රටේ අන්ද මන්ද වී සිටින ජනතාව බේර ගන්න බැරි ඇයි දැයි මට තෙරෙන්නෙ නැහැ. උපාදි දාරින් අවුරුද්දක් යනකොට 20 000 – 30000 එලියට එනව.. එවුන්ගේ උගතකම නිදහස් අදයාපනය ට පින්සිදු වුනත්, එයින් එලියට ආපසු, එවුන් කම්බුරන්නෙ, අපරාදහ් කරන එවුන්ටමයි කිව්වොත් නිවැරඩියි.. මගේ උපාධි පිටරටින් ලබා ගත් නිසාදෝ මට හිතෙන්නෙ… ලන්කවෙ ඉන්නෙ බහුතරයක් 90% වහල්ලු වාගෙ මිනිසුන් කියල..
    .,
    රාජපක්ශෙ වරු දනවත් උනේ රටේ මිනිසුන්ගෙන් හොර කාල කියනැක ඕනැම විශ්ලේශනයකදී වැටහෙනව..
    .
    මුලුපවුලෙමෙ එවුන් හොරකම රජකරල රටෙ මිනිසුන් අන්ද කරල බලය අරගත්තු තිරිස්න්නු.. මෙවුන්ට මේ ලෝකයේ ඉතාම ඉහල දන්ඩුවම ලැබිය යුතුයි… අද වෙනකොට මේ රටේඑ කට යුතු වෙන්නෙ, මේ හොර පවුලේ එවුන්ගේ අවශ්ය තාවය.. රට තුලට විශ වෙන්න පුලුවන්,…. බෙහෙහ්ත වර්ග ආනයයන කරන්ව… එවුන්ට ඕනවාට… මේවාට එරෙහි වෙන්න තරම් උගත් මිනිසුන් මේ රටේ ඉන්නව, ඒ වුනාට, අපරාද කරුවන්ගේ අපරාද ක්රමවේදයන්ට එරෙහිව මේ රටේ කිසිවෙකුට ඉහලට එන්න බැහැ…
    මේක සමහර සමාජ වෙබ් අඩවි වල දමනව එනමුත් මිනිසුන් දැනුවත් වෙන්නෙ නැහැ.. ඇයි ? මිනිසුන් උපතින්ම මීහරක් වාගෙ නිසාද ?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.