23 September, 2020

Blog

මහජන අභිලාශ හා ජනාධිපතිවරයාගේ කෝපය

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද කටයුතු කරමින් ඉන්නේ ගෝලීය දේශපාලන අවකාශයක නොවේ. ඔවුහු දෙපාර්ශයම තවමත් ජාතිකවාදී අර්ථයෙන් දේශපාලනය කරති. ඛණිජ තෙල් අර්බූදයක දී පවා විසදුමක් සොයා ගැනීමට නොහැකිව ආණ්ඩුව අදුරේ අත පත ගාති. එවිට විපක්ෂය පා පැදි වලින් පාර්ලිමේන්තුවට එති. වසර හැත්තෑවක ස්වදේශීය පාලනය යටතේ සිදුවූයේ එකම දේ නැවත නැවතත් සිදුවීම ය. කුමන පාර්ශ්වය බලයේ හිටියත් මතුවන අර්බූදයන් එකම වන අතර ඊට ආණ්ඩුව ද විපක්ෂය ද සමාන ප්‍රතිචාර දැක්වීම කනගාටුදායක ය.

රටේ දේශපාලන අවකාශය උණුසුම් කරන්නේ ආණ්ඩු විරෝධී අරගලයන් මගින් නොවේ. විපක්ෂයට ආණ්ඩු විරෝධී ශක්තිමත් අරගලයක් කරන්නට තරම් තවමත් ශක්‍යතාවක් නොමැත. විපක්ෂය කරන්නේ එදාවේල සොයා ගැනීමට යම් යම් ආකර්ශනීය එහෙත් සම්ප්‍රදායික උපක්‍රමයන් පසුපස හාස්‍යජනක ලෙස දිවීම ය. තමන්ට වැරදුනේ කෙසේද වැරදුන තැන් වලට තමන්ගේ විසදුම කුමක්ද යන්න තාර්කිකව විග්‍රහ කරමින් අලුත් දේශපාලනයක් වෙනුවෙන් තවමත් විපක්ෂය ව්‍යුහාත්මකව වෙනස් වී නොමැත.

විපක්ෂ දේශපාලනය තම ආණ්ඩුවෙන් යැපුණ ජාතික දේහයේ ඕජස් උරා බිව් ඉහද පණුවන්ට පමණක් සීමා වී තිබේ. ඔවුන්ගේ සටන් පාඨ බොහෝ විට ගොනු වන්නේ ආණ්ඩු බලය තිබිය දී තමනුත් කළ දැන් මේ ආණ්ඩුවෙන් කරන අට අනූවක් වූ වැරැදි කේන්ද්‍ර කර ගනිමිනි. ඒ සම්බන්ධයෙන් කතා කිරීමට ඔවුන්ට ලැජ්ජා නොවූව ද සමාජයට ලැජ්ජාව ඇති නිසා ඔවුන්ගේ හඩට ශක්තිමත් ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැත.  අවම වශයෙන් තමන් බලයට පත්වූ පසුව මේ ආණ්ඩුව කරන්නා වූ හොරකම් වංචාවන්ට එරෙහිව කටයුතු කිරීමට අලුත් යාන්ත්‍රණයක් හෝ නිර්මාණය කර නොගෙන හොරකම් ගැන කතා කිරීම හාස්‍යයට හේතුවකි.

ආණ්ඩුව පවා කෙතරම් බෙලහීනතාවට පත්වී ද කිවහොත් සුළු සිද්ධියකින් පවා රාජ්‍යයේ යාන්ත්‍රණය බිද වැටේ. ගංවතුරක්, නාය යෑමක් වැනි විශාල උවදුරක දී පමණක් නොව ඛනිජ තෙල් නැවක ප්‍රමාදයක දී පවා රටම අකර්මන්‍ය වේ. එලෙස රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍යවීමක දී දේශපාලන අධිකාරිය පවා භයෙන් තැතිගෙන නිද්‍රාවට පත්වීම ලැජ්ජා සහගත ය. එහෙත් මිලියන හයකට අධික මහජන වරමකින් බලයට පත් වූ ජනාධිපතිවරයාත් ඊට ආසන්න වරමකින් බලයට පත්වූ අගමැතිවරයාත් සම්මුතිකව තැතිගෙන සිටීම එවැනි සෑම අර්බූදයක දීම සිදුවේ.

ආණ්ඩුවට ලැබුන ජනවරම අනුව රාජ්‍යයේ යාන්ත්‍රණය ශක්තිමත් කර ගැනීම දේශපාලන නායකයන් දෙදෙනා අපොහොසත්වීම ඊට බලපාන සාධකයයි. එය ආණ්ඩුවේ දුර්වලභාවයක් පමණක් නොව දීර්ඝ කාලයක් රාජ්‍ය දුර්වලවීම නිසා එය අසමත්වීමේ නෛසර්ගික සාධකය මත ද සිදුවේ. කොයි ආකාරයෙන් වුවද අර්බූදයක දී රාජ්‍ය යාන්ත්‍රණය දුර්වලවීම බරපතල දේශපාලන අර්බූදයන්ට හේතු විය හැකිය. එහෙත් නායකයන් දෙදෙනාට රාජ්‍යයේ කඩාවැටීම නතර කිරීමට නොහැකිවීම බරපතල කරුණකි.

රාජ්‍යයේ කළමනාකරණය මෙහේයවන දකුණේ දේශපාලන අවකාශය තුළ පවතින්නේ දේශපාලන ව්‍යාපාරයන් දෙකක් පමණි. ඒ ආණ්ඩුවේ එක් පාර්ශ්වයකට නායකත්වය දෙන එක්සත් ජාතික පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂයට නායකත්වය දෙන ශ්‍රීලනිපයේ මහින්ද පාර්ශවයත් ය. ආණ්ඩුවේ අනෙක් පාර්ශ්වය වන ශ්‍රීලනිපයේ මෛත්‍රී පාර්ශ්වයට ඇත්තටම ජන බලයක් නොමැත. ඔවුන් පෙන්නුම් කරන්නේ රාජ්‍ය බලයත් සමග ඔවුන්ට ලැබෙන විකෘති බලයකි. අධිපති දේශපාලනයට එරෙහිව ශක්තිමත් රැඩිකම් විමුක්ති ව්‍යාපාරයකට ලොකු ඉඩකඩක් ඇතත් ඒ සදහා වූ සමාජ ව්‍යාපාරයක් නොමැත. ඊට ගෝලීය විමුක්ති ව්‍යාපාරයේ කඩාවැටීම බරපතල ලෙස බලපා තිබේ. ඒ හැරෙන්නට ශක්තිමත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයකට ද පවතින්නේ ලොකු ඉඩකඩකි. එහෙත් ඒ අවශ්‍යතාව සදහා ජනතා විමුක්ති පෙරමුණත් සෙසු වමේ කණ්ඩායමුත් තවමත් හරිහැටි සූදානම් වී නොමැත.

මේ තත්ත්වය තුළ දකුණේ දේශපාලන අවකාශයේ පදනමක් ඇති දේශපාලන ධාරා දෙක තවමත් පෞර්ෂවත් ලෙස ශක්තිමත් වී නොමැත. එහෙත් මේ දේශපාලන ධාරා දෙකෙහිම පවතින ආවේනික දුර්වලතාවන් නිසා ඒවා එකිනෙකට අභියෝගයන් නොවන්නේ ය. ඒවා පවතින්නේ ආරක්ෂාකාරී තැනක මිස ප්‍රහාරාත්මක තැනක නොවේ. ආණ්ඩුවේ දුර්වලතාවන්ට එරෙහිව ශක්තිමත්ව ප්‍රතිචාරයන් දැක්වීමට විපක්ෂයට ද විපක්ෂයේ ජාතිවාදය ඇවිස්සීමට එරෙහිව ආණ්ඩුවට ද ශක්තිමත්ව ප්‍රතිචාරය දැක්වීමට නොහැකි මට්ටමක පවතී.

එහෙත් ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් දෙක අතර නම් අර්බූදයන් මෝදු වෙමින් පවතී. පසුගිය දා මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්නේ දෙවැනි ගුණ සැමරුමේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බරපතල ලෙස චෝදනා කළේ ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයටය. ඔහු කීවේ මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කොමිසමක් පත් කළ නිසා තමන්ට ආණ්ඩුවෙන්ම ප්‍රහාර එල්ල වන බව ය. වෙබ් අඩවි වලින් හා සමාජ ජාල අඩවි වලින් තමන් බරපතල ලෙස විවේචනයට ලක් වන බව ජනාධිපතිවරයා කීවේ ඔහුගේ තනතුරටත් අගෞරවයක් ඇති වන පරිදි ය. රටක ජනාධිපතිවරයකු තමන්ට එල්ල වන චෝදනා හමුවේ කෝපවීම හා වෛරී ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීම නුසුදුසු ය. එය ඔහුගේ නොමේරුම්කමට සාක්ෂියකි. ආණ්ඩුව තුළ පවතින අර්බූදයන් ඔහු විසදා ගත යුතුව ඇත්තේ ප්‍රසිද්ධ මහජන හමුවීම් වල දී නොව අභ්‍යන්තර සාකච්ඡා වල දී ය.

ජනාධිපතිවරයා තම  උපදේශකයන්ගේ අවවාද හමුවේ එවැනි ප්‍රකාශයක් කළා නම් එය උපදේශකයන් ඉවත් කිරීමට තරම් බරපතල කරුණකි. ජාතිකත්වයන් දෙකක අතර බරපතල ගැටුමකට පසුව සහජීවනය උදෙසා කැපවෙන රාජ්‍ය නායකයාට මාධ්‍ය විවේචනයක් ඉවසා සිටීමට නොහැකි නම් ඔහු පරමාදර්ශී වන්නේ ජනවාරී අට වැනිදා මහජන බලවේගයට නොවේ. ඒ නිසා ජනාධිපතිවරයාට සිදුවූ බරපතල වරද සම්බන්ධයෙන් ඔහු කම්පා විය යුතුය.

ඒ ප්‍රකාශය ඔහු කරන විටත් ලංකාඊ නිවුස් වෙබ් අඩවියට ශ්‍රී ලංකාවෙන් ප්‍රවේශ විය නොහැකි ලෙස බාධා පමුණුවා තිබීම ලැජ්ජා සහගත ය. ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයට ය. මාධ්‍යයට බාධා කිරීමට තරම් බලයක් ජනාධිපතිවරයාට හෝ ඔහුගේ සහචරයන්ට හෝ තිබිය නොහැකිය. එවැනි සමාජ ක්‍රමයක් පරාජය කිරීමේ ගෞරවය හිමිවන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ය.එහෙව් නායකයකුම මෙවැනි ලැජ්ජා සහගත වැඩ වලට අනුබලදීම ජනවාරී අටවැනිදා මහජන බලයට ඔහුම එල්ල කළ තදබල අපහාසයකි.

මහබැංකු මංකොල්ලය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා කොමිසමක් පත් කිරීම අගය කළ යුත්තකි. යම් හෙයකින් ජනාධිපත්වරයා පවසන පරිදි එම හේතුව නිසා ආණ්ඩුවේ පර්ශ්වයන්ම ඔහුට තදින් පහර දෙන්නේ නම් එය බරපතල දේශපාලන වරදකි. එවැනි කටයුතු පාලනය කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගත යුතුය.  ජනාධිපතිවරයා පවසන පරිදි ඔහු අවංකව කටයුතු කරන්නේ නම් ඒ බවට සාක්ෂියක් සපයමින් ඔහුට එරෙහිව එල්ලව ඇති විවිධ චෝදනා සම්බන්ධයෙන් ද වහාම පියවර ගැනීමට ඔහු සමත් විය යුතුය. විශේෂයෙන් ජනාධිපතිවරයාගේ පුත්‍රයාට එරෙහිව එල්ල වූ චෝදනාවන් සම්බන්ධයෙන් පරීක්ෂන පවත්වා තම පුත්‍රයා වරදක් කර ඇත්නම් දඩුවම්දීමට ඔහු සමත් විය යුතුය.

නිර්මාණය වන ගැටුම් හමුවේදී ජනාධිපතිවරයා මීට වඩා විවෘත හා මේරුම් සහගත නායකත්ව පෞර්ෂයකට සීරුමාරු විය යුතුය. අග්‍රාමාත්‍යවරයා වගකීමෙන් හා සිහි නුවණින් කටයුතු කරමින් තම පාර්ශ්වයේ දඩ බල්ලන් බැද දැමිය යුතුය. දෙපාර්ශ්වයම අත සෝදා ගැනීමට තල්ලු නොවී තම පස මිතුරු අනෙකා ලෙස දේශපාලන මිතුරා තෝරා නොගත යුතුය. ශ්‍රී ලංකාවට සම්මුතික දේශපාලන සංස්කෘතිය ආධුනික වුවත් එය හදුන්වා දුන්නේ මේ නායකයන්ම ය. එසේනම් එය පවත්වාගෙන යෑම ද ඔහුන්ගේ වගකීම ය. දශක කිහිපයක් බෙදී සිටිය දේශපාලන ධාරා දෙකක් එකම පන්තිය නියෝජනය කළ ද සම්මුතිකව එකට එක්වීම සිනිදු සුදු මුදු තලාවක සිදුවිය යුතුයැයි කිසිවෙකුට කිව නොහැක. කල්ලිවාදය හමුවේ පන්ති හැගීම දුර්වල විය හැකිය. එහෙත් ආණ්ඩුවේ දේශපාලන දෙපාර්ශ්වය ඇන කොටා ගැනීමකට ගිය හොත් දකුණේ දේශපාලන අවකාශය සම්පූර්ණයෙන්ම අවලංගුවීම ද නොවැළැක්විය හැකිය.එය බරපතල තත්තවයක් නිර්මාණය කරන අතර රාජ්‍යයේ කොටස්කරුවකුවීමට පුල පුලා බලා සිටින දෙමළ ජනතාව ද අර්බූදයකට තල්ලු කරන්නේ ය.

සිංහල හා දෙමළ ජන කොටස් දෙක අතර බරපතල ගැටුමකට යොමු වූයේ දෙමළ ජනතාව රාජ්‍යයේ පාර්ශවකරුවකු නොවූ නිසාය. ශ්‍රී ලංකා රාජ්‍යයෙන් දෙමළ ජනතාව බැහැර කිරීමකට ලක්ව තිබූ අතර ඒකීය රාජ්‍ය ආකෘතිය තුළ පාර්ලිමේන්තු ආසන කිහිපයක් ඔවුන්ට ලබාදීම ඒ බැහැර කිරීම අහෝසි කිරීමට තරම් බරපතල විසදුමක් නොවීය. ඉතා දුර්වල හුයකින් වුවත් ඔවුන් ශ්‍රී ලංකා රාජ්‍යයේ කොටස්කරුවකු ලෙස මුල් වරට බැද තැබුවේ 13වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙනි. එය ද හරිහමන් ලෙස ක්‍රියාත්මක වූයේ 2013 දී උතුරු පළාත් සභා පාලනය, මැතිවරණයක් පැවැත්වීමෙන් පසුව ස්ථාපනය කිරීමෙනි.

දකුණේ බොහෝ පාර්ශ්වයන් අතර පොදු එකගතාවකට එමින් ද උතුරේ බොහෝ පාර්ශ්වයන් අතිශය කැප කිරීම් කිරීමෙන් ද අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට සූදානම් වන්නේ දෙමළ ජනතාව ශක්තිමත් ලෙස ශ්‍රී ලංකා රාජ්‍යයේ කොටස්කරුවකු බවට පත් කිරීමට ය. ඒ සදහා සතුටුදායක ලෙස යම් ගමනක් ගොස් ඇති මොහොතක ආණ්ඩුවේ දේශපාලන පාර්ශ්වයන් ගැටුමකට යෑම අතිශය පසුගාමී ය. එවැනි ගැටුමක් අනිවාර්යෙන්ම රාජ්‍යයේ කැඩී බිද වැටීමකට හේතුවන බව නම් ස්ථිරය. ඒ අර්ථයෙන් දෙමළ ජනතාව රාජ්‍යයට සම්බන්ධ කිරීමට ගන්නා අවසන් උත්සාහය මෙය විය හැකිය. එය පරාජය වුවහොත් වෙනම රාජ්‍යයක් ස්ථාපිතවීමේ බරපතල දේශපාලන තත්ත්වයක් ජාතිකව මෙන්ම ජාත්‍යන්තරව ද නිර්මාණය වෙමින් තිබේ.

සම්මුතික ආණ්ඩුව ජාතික දේශපාලනයේ අවශ්‍යතාවක් වූයේ පසුගිය මහා මැතිවරණයේ දී කිසිම දේශපාලන පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතර බලය නොලැබීම නිසා ය. එහෙත් ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවේ ස්ථාපිත විය යුතුව තිබුනේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකෙහි සම්මුතික ආණ්ඩුවකි.  සම්මුතික ආණ්ඩුව පිහිටුවා වසර දෙකක අවසන්ව ඇතත් එම ආණ්ඩුවේ උපක්‍රමික වැදගත්කම තේරුම්ගෙන ඇත්තේ ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් පමණි. එම නායකයන් දෙපළගෙන් බාහිරව වෙනත් කිසිම නායකයකු සම්මුතික ආණ්ඩුවේ උපක්‍රමික වටිනාකම තේරුම් ගෙන නැත. 

මේ දේශපාලන මොහොත තුළ ආණ්ඩුවේ පාර්ශ්වයන් දෙක එකිනෙකාට චෝදනා කරමින් ගැටුමකට යෑම කිසිම පාර්ශ්වයක වටිනාකම ශක්තිමත් කිරීමට හේතුවක් නොවේ.  ශ්‍රීලනිපයේ මෛත්‍රී පාර්ශවය මේ මොහොතේ කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂය හා කොන්දේසි විරහිත එකගතාවකට යෑමය. එහිදී සම්ප්‍රදායික ලෙස යූඑන්පී විරෝධී හැගීම සිත් සතන් වලින් පහ කර දැමීමට මෛත්‍රී පාර්ශ්වයේ නායකයන්ට හැකිවිය යුතුය. තම නායකයා වන මෛත්‍රීපාල සිරිසේන ඒ කැපවීම ඉහළින්ම කර ඇති නිස ඔහුව නායකයා ලෙස පිළිගන්නා සෙසු පිරිස් වලට ඒ මග යෑම අවශ්‍ය නම් දුෂ්කර නොවේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද කැප කිරීමක් කරමින් මෛත්‍රී පාර්ශ්වය ශක්තිමත් කිරීමට පියවර ගටහ් යුතුය. ඒ සදහා ළග එන පළාත් පාලන මැතිවරණයේ දී තරග නොකර මෛත්‍රී පාර්ශවයට ඉඩදීම හෝ මෛත්‍රී පාර්ශ්වයේ බුලත් කොලය සලකුණෙන් තරග කිරීම හෝ අනිවාර්යෙන් කළ යුතුය. පටු කල්ලිවාදයට වඩා පන්ති හැගීමත් ජාතික දේශපාලන න්‍යාය පත්‍රයේ හැගීමත් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ප්‍රගුණ කළ යුතුය.

යම් හෙයකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එක්සත් ජාතික පක්ෂය හා සම්මුතියකට යෑමට නොහැකි නම් ඔහු ශ්‍රීලනිපයේ නායකත්වය අතහැර එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හෝ ඔහුගේ කැමැත්තට හෝ භාරදිය යුතුය. නො එසේනම් පවතින දේශපාලන අර්බූදය මැද වෙන වෙනම තරග කිරීමට යෑමෙන් ඔහුව දේශපාලනික ලෙස අවලංගුවීම වැළැක්විය නොහැක. යම් හෙයකින් එසේ අවලංගුවීමකට ඔහු ලක්වුවහොත් සුජාතභාවයකින් යුතුව ජනාධිපති ධූරයේ රාජකාරී ඉටු කිරීමට ද අපහසු වන්නේ ය. එනිසා ශ්‍රීලනිප නායකත්වය මහින්ද රාජපක්ෂට හෝ ඔහුගේ කැමැත්තට හෝ පවරා ජනාධිපති ධූරයේ රාජකාරී ජනවාරී අටවැනිදා මහජන අභිලාශයන් ශක්තිමත් වන ලෙස කරගෙන යන්නේ නම් ජනාධිපතිවරයා දේශපාලනික ලෙස අවලංගුවීම වලකින්නේ ය.

හිටපු ජනාධිපතිවරයා සමග සම්මුතියකට යෑම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දේශපාලනික වශයෙන් අපහසු විය හැකිය. එසේම එය සම්මුතික ආණ්ඩුවක් පිහිටුවීමේ ජාත්‍යන්තර ප්‍රජාවේ අභිලාශය ද ඉක්මවා යෑමකි. සම්මුතික ආණ්ඩුවක් සදහා ජාතික දේශපාලනයේ කැමැත්තක් නැතත් ඒ ආණ්ඩුව නිසා සමාජය ලබන වරප්‍රසාදයන් අපමණ ය. එනිසා රාජ්‍යය පක්ෂ දේශපාලනිකව ශක්තිමත් නොවී ප්‍රජාතාන්ත්‍රිකව ශක්තිමත්වීමක් සිදුවේ. කාට එපා වුවද සම්මුතික ආණ්ඩුවක් රටේ ප්‍රජාතන්ත්‍රවාදී හා නිදහස අගයන සමාජ තීරුවට වැදගත් වන්නේ එබැවිනි.

එනිසා සම්මුතික ආණ්ඩුව ශක්තිමත් කර ගැනීමට ජනාධිපතිවරයා පෙළඹේ නම් එය ඔහුගේත් ජනවාරී අටවැනිදා දේශපාලන අභිලාශයන්ගේත් ජයග්‍රහණයට හේතු වන්නේ ය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.