2 May, 2024

Blog

රාමලාන් සද බලන ගෝටාගේ දේශපාලනය

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

ගෙවී යමින් පවතින්නේ ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උපවාස සමයයි. මේ මාසය පුරා ඉස්ලාම් භක්තිකයන් උපවාසයේ යෙදෙන අතර ඉර බැස යද්දී උපවාසය අවසන් කරන්නේ ඉෆ්තාර් ආහාර අනුහවයෙනි. ඉස්ලාම් භක්තිකයන්ගේ ඉෆ්තාර් උත්සවයන්ට රාජපක්ෂ සහෝදරුන් පැන පැන සහභාගීවන අන්දම මේ දිනවල මාධ්‍ය මගින් දකින්නට ලැබේ. ආගමික භක්තියෙන් උපවාසයක නිරත වී ඉෆ්තාර් වලට සහභාගී වන්නන් සමග දේශපාලන බඩගිනිකාරයන් ද එකට එකතුවීම කෙතරම් නම් උත්ප්‍රාසයක් ජනනය කරයි ද?  

පසුගිය තෙවසරේ දී හෝ තමන්ට බලය තිබූ දසවසරේ දී හෝ ගෝටාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ  ඉස්ලාම් භක්තිකයන්ගේ ඉෆ්තාර් හෝ වෙනත් උත්සවයකට සහභාගීවනවා දකින්නට නොලැබුණි. නමුත් මේ වසරේ දී සහෝදරයෝ දෙදෙනාම හරි හරියට ඊට සහභාගී වෙති. රාජපක්ෂවරුන්ගේ ඉතිහාසය දන්නා සමාජය මේ අලුත් නාටක දැක හාස්‍යයට පත්වෙති. එසේම ඒ සමාජය දෙසොහොයුරන්ගේ අලුත් දේශපාලන හැසිරීම් ප්‍රශ්න කරති.

ගෝටාබය රාජපක්ෂ බේරුවලට ගොස් මුස්ලිම්වරුන්ගේ ඉෆ්තාර් උත්සවයකට සහභාගී වීම කෝණ කිහිපයකින් විග්‍රහ කළ හැකිය. ඒ අනුව මුස්ලිම්වරුන්ගේ ලැජ්ජා නැතිකම, ගෝටාගේ කපටිකම හා ගෝටා සිංහලයන්ව පාවාදීමට උත්සාහ කිරීම වැනි ප්‍රවේශයන් තිබේ 

ගෝටාභය රාජපක්ෂ මුස්ලිම්වන්ගේ ආගමික උත්සවයකට සහභාගී වෙමින් ඔවුන් හා පෑහීමකට යෑම සාමාන්‍ය දේශපාලන ක්‍රියාවකි. ඒ අනුව ගෝටා මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් තම සිතුම් පැතුම් වෙනස් කරගෙන ඇතිය යන්න අසත්‍ය කි. එසේම මුස්ලිම්වරුන් අතීතය අමතක කර ගෝටා සමග අලුත් සබදතා ගොඩනගා ගෙන ඇති බව ද අසත්‍ය කි. එමෙන්ම ගෝටාගේ ප්‍රවේශය නිසා සිංහලබෞද්ධ අභිලාශයන් පාවාදීමක් සිදුවේය යන්න ද අසත්‍ය කි. ඒ සම්බන්ධයෙන් වූ සියළු පෙරකීම් අසත්‍ය යැයි පැවසිය හැකිය.

ගෝටා සබදතාව ගොඩනගා ගන්නේ මුලිම් ව්‍යාපාරිකයන් සමග ය. කොහොමත් මුස්ලිම් ජන කොටස ව්‍යාපාරික අරමුණු වලට ප්‍රමුඛතාව ලබා දේ. එසේම ගෝටා මුස්ලිම්වරුන් හා සබදතාව ඇති කර ගැනීමේ අරමුණ වන්නේ සාමාන්‍ය මිනිස් ඇසුරක් මත පදනම් වූ දේශපාලන සබදතාවක් ගොඩ නගා ගැනීමයි. එහි හරය වන්නේ සිංහල බෞද්ධ බහුතරයේ අධිපතිභාවය පිළිගනිමින් දෙවැනි පෙළ ජන කොටසක් ලෙස මුස්ලිම්වරුන්ට ජීවත් විය හැකි බව පිළිගැනීමයි. ඒ සංකල්පය දේශපාලන විද්‍යාවේ හදුන්වන්නේ ජන කොටස් වල සංස්කෘතික ස්වීයකරණය (Cultural Assimilation)  ලෙසයි. ගෝටාගේ ඒ ප්‍රවේශයට අභියෝග කිරීමට අද ඔහු හා සබදතා ගොඩනංවන මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය නොවේ. එසේම මුස්ලිම් ජන කොටසේ භාවිතාව අනුව ඔවුන්ට ද සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීන්ගේ සංස්කෘතික ස්වීයකරණ ප්‍රවේශය හොදටම සෑහෙන්නේ ය.

මේ නිසා ගෝටා නායකත්වය දෙන සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී ජන කොටසට ඔහු මුස්ලිම්වරුන් හා ගොඩනගා ගැනීමට මහන්සි වෙන අලුත් සබදතාව නිසා කිසිම හානියක් සිදු නොවේ. ඔවුන් බලාපොරුත්තු වන්නේ ද සිංහල නොවන සෙසු ජන කොටස් තමන්ට යටත්ව එකත් පසෙක වාඩි වී සිටිය යුතු බව ය. එය මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවට ඒ හැටි අරුමයක් නොවේ. එලෙස මුස්ලිම්වරුන් ශ්‍රී ලංකාවේ ජීවත්වීම සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී ජන කොටසේ ද බලාපොරුත්තුවයි.  ජාතීන් අතර සහයෝගිතාවේ ( National Integrity) ඔවුන්ගේ පදනම සංස්කෘතික ස්වීයකරණයයි.

මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවේ නිවට ආකල්ප ගොඩනැගී ඇත්තේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී අභිලාශයන්ට අභියෝගයක් නොවන ලෙස  ජීවත්වීම සදහා ය. අවාසනාවකට මුස්ලිම් ප්‍රජාව තුළ දේශපාලන අධිපති බලයක් මේ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවට හිමිව තිබේ. ඒ නිසා ගෝටා – මුස්ලිම් සබදතාව කිසිවෙකුට හානියක් නොවී ශක්තිමත් විය හැකිය. එහෙත් මුස්ලිම් රැඩිකල් ජන කොටසට ගෝටාගේ ප්‍රවේශය කෝප ගැන්විය හැකි තත්ත්වයකි. එනිසා ගෝටාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ගනුදෙනු බේරා ගැනීමට මුස්ලිම් ජන කොටසටම ඉඩ දී බලා සිටීම මේ මොහොතේ ප්‍රගතිශීලී සිංහල, දෙමළ ජන කොටසේ වගකීමයි. එහෙත් අවශ්‍යයෙන්ම පැවසිය යුතු කාරණාවක් ද ඇත. එනම් ගෝටාභයලාගේ දගර නැටුම් හමුවේ දෙමළ ජනතාව නම් නිවට නියාළු ප්‍රතිචාර නොදක්වන බව ය.

කොටි සංවිධානය ශ්‍රී ලංකා රජය සමග යුද්දයක පැටලී සිටි අවස්ථාවේ දී මුස්ලිම් ව්‍යාපාරික බහුතරය ක්‍රියාකාරී සහයෝගය දක්වන ලද්දේ රජයටයි. එකම භාෂාව කතා කිරීමේ සංස්කෘතික බැදියාව පවා අමතක කරමින් ඔවුහු රජය සමග සමීප සබදතා ගොඩනගා ගෙන සිටියහ. කොටි සංවිධානය මුස්ලිම් ජනයා පැය 24ක් තුළ යාපනයෙන් පන්නා දැමීමේ ක්‍රියාව මීට හේතුව බව බොහෝ දෙනෙක් පවසති. එහෙත් මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවට දිළිදු මුස්ලිම් ජනයා කොටි සංවිධානය විසින් යාපනයෙන් පන්නා දැමීම සංවේදී කරුණක් නොවේ. රජය සමග සබදතා ඇති කර ගැනීමට මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවට මුළුමනින්ම බලපෑවේ ව්‍යාපාරික අරමුණුයි. 

මුස්ලිම් ව්‍යාපාරිකයන් මූලික වෙමින් මුස්ලිම් ප්‍රජාවට දේශපාලන නායකත්වය දුන් ජන නායකයෝ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහිම සිටියහ. ඔවුහු සිංහල ජනතාව අතර ද මහත් ජන ප්‍රසාදයක් දිනාගෙන සිටියහ. එහෙත් එම්.එච්.එම්. අෂ්රෆ්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ආරම්භ වූ පසුව ශක්තිමත් මුස්ලිම් නායකයන් ප්‍රධාන පක්ෂ දෙකෙන් බිහිවීම නතර විය. ඔවුන් සියල්ල නිර්මාණය වූයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයෙනි.

එම්.එච්. එම්. අෂ් රෆ් විශිෂ්ඨ පෞර්ෂයක් තිබූ දේශපාලන නායකයෙකි. මුස්ලිම් ප්‍රජාවට ඝෘජු නායකත්වයක් ලබාදීමේ හැකියාවක් ඔහුට තිබුණි. ඔහු නිසා මුස්ලිම් ප්‍රජාව ඒකමිතික දේශපාලන බලයක යෙදුණි. නමුත් ඔහුගේ හදිසි වියෝවෙන් පසුව එම පක්ෂය පමණක් නොව මුස්ලිම් දේශපාලනය ද සී සීකඩව ගියේ ය.අනතුරුව ඒ සියළු මුස්ලිම් නායකයන්ට ලංසුවක් නියම කිරීමට රාජපක්ෂ පාලනය සමත් විය. දෙමළ දේශපාලන පක්ෂ හෝ දෙමළ දේශපාලන නායකයන් හෝ රාජපක්ෂ ඉදිරියේ දපනය නොවීය. එහෙත් බොහෝ මුස්ලිම් නායකයන් එකා පිට එකා වැටෙමින් රාජපක්ෂ ඉදිරියේ දපනය වූයේ පිළිකුල් සහගතව ය. 

මේ මුස්ලිම් දේශපාලන නායකයන්ට අවශ්‍ය වූයේ තම ජන කොටසේ දේශපාලන අයිතීන් තහවුරු කර ගැනීමට නොවේ. ඔවුන් හදවතින්ම මහන්සි වූයේ මුස්ලිම් ප්‍රදේශයන්හි භෞතික දියුණුව සහතික කර ගැනීමට පමණි. ඊට සමාන්තරව තමන්ගේ ව්‍යාපාරයන්ට රජයේ සහාය ලබා ගැනීම මුස්ලිම් දේශපාලකයන්ගේ මෙන්ම ව්‍යාපාරිකයන්ගේ ද ඉලක්කය විය. මුස්ලිම් ප්‍රජාවේ මේ අභිලාශයන් සිංහලබෞද්ධ නායකයන්ට ඉබ්බා දියෙහි දැමීමට සමාන විය.

ප්‍රධාන පක්ෂ දෙකෙහි දේශපාලන අස්ථාවරත්වය බොහෝවිට සමනය කළේ මුස්ලිම් දේශපාලකයන් විසිනි. 2004 බලයට ආ එක්සත් ජනතා නිදහස් සංධාන ආණ්ඩුව සමග මුස්ලිම් දේශපාලකයන් එකතුවීම ගැඹුරින් අධ්‍යයනය කරන්නෙකුට ඔවුන්ගේ පාදඩ හැසිරීම මනාව තේරුම් ගත හැකිය.  මේ එක දේශපාලකයකු හෝ ආණ්ඩුවට එකතු වූයේ මුස්ලිම් ප්‍රජාවේ දේශපාලන අයිතීන් සම්බන්ධයෙන් වූ එකගතාවක් මත නොවේ.

පසුව රාජපක්ෂ පාලන කාලය තුළ මුස්ලිම් ජනයාට ඉතිහාසයේ අමිහිරිතම අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදු විය. ඉස්ලාම් පල්ලි දෛනිකව ගිනි තැබූ අතර අලුත්ගම දී විශාල විනාශයක් සිදු විය. මේ සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුව කිසිම පියවරක් නොගත්තේ ය. එහෙත් ආණ්ඩුවේ සිටි එකම මුස්ලිම් දේශපාලකයකු හෝ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට දොස් පැවරුවේ හෝ ඊට විරෝධය පා ඉල්ලා අස්වූයේ හෝ නැත. ඔවුහු රාජපක්ෂ පාලනයේ අන්තිම කාලය වෙනතුරුත් ආණ්ඩුවේ තනතුරු දැරූ අතර පොදු අපේක්ෂකයකු කළ එළි බැස ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා පවතින තාක් ඒ තනතුරු අත් හැර නොදැමූහ. මුස්ලිම් දේශපාලකයන්ගේ ආත්මාර්ථකාමී කමත් ව්‍යාපාරික අරමුණුත් එතරම් ජුගුප්සාජනක ය. 

මේ සියළු දේශපාලන පරස්පරතා හමුවේ පවා රාජපක්ෂවරුන් මුස්ලිම් ප්‍රජාව කරා යොමු වන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ තරම ඔවුන් හොදින් දන්නා බැවිනි. තාජුඩීන්ට කළ දේ අලුත්ගම මුස්ලිම් වැසියන්ට කළ දේ මුස්ලිම්වරුන් පෙරලා තමන්ගෙන් නොවිමසන බව රාජපක්ෂ අයියා මලෝ හොදින් දනිති.  එහෙත් ඒ පරස්පරතාව මුස්ලිම් ව්‍යාපාරිකයන් තුළින් මතු වන්නේ නැතත් බහුතර මුස්ලිම් ප්‍රජාව තුළින් මතුවිය හැකි ප්‍රවනතා පවතී. එහෙත් ඒ ප්‍රවනතා ශක්තිමත් කිරීමේ දේශපාලනයක් රටේ නොතිබීම අවාසනාවකි.  

මුස්ලිම්වරුන් සමග ගනුදෙනු කරන්නට ගොස් ආණ්ඩුව හත් පොළේ ගාගෙන සිටී. ගාල්ලේ දී ද, අම්පාරේ දී ද තෙල්දෙණියේ දී ද ඒ නොමේරුම්කම ආණ්ඩුව විසින් මනාව ලෝකයාටම පෙන්වන ලදි. අවම වශයෙන් ජාතිවාදීන් සමග තමන් පයුරු පාසානයක් නොමැති බව පෙන්වීමට හෝ ආණ්ඩුව අසමත් විය. මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රබලතම භික්ෂුව වූ ඥාණසාර ආණ්ඩුවේ ශක්තිමත් දේශපාලකයන් හා එකගෙහි කෑවේ අපුල දනවමිනි.

මේ තත්ත්වය තුළ මුස්ලිම් ව්‍යාපාරිකයන් ගෝටාභයලා සමග අත්වැල් බැද ගැනීම මුස්ලිම් ප්‍රජාව අතර ද යම්තාක් දුරකට සාධාරණීකරණය වේ. එහෙත් රාජපක්ෂ දේශපාලනයේ න්‍යෂ්ටිය වන්නේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයයි. එය මුස්ලිම් ව්‍යාපාරිකයන් අතර ගැටළු ඇති නොකළත් මුස්ලිම් ජන කොටස් අතර ගැටළු මතු කරලිය හැකිය. එයට උත්ප්‍රේරකයක් වන්නේ රාජපක්ෂ දේශපාලනයට ආවේනික සිංහල නොවන ජන කොටස් කෙරෙහි ඇති අප්‍රසන්නතාවයි. මේ අප්‍රසන්නතාවට මුස්ලිම් ජනකොටස වෙතින් එල්ල වන ප්‍රතිචාරයේ ස්වරූපය මත ගෝටාභයගේ අලුත් දේශපාලන ප්‍රවේශයට සමාජ වලංගුතාවක් උදාවිය හැකිය. 

දකුණේ සිංහල සමාජය මේතාක් සෙසු ජාතිකත්වයන්ගේ ජන කොටස් සමග එකමුතුවීම දැක්කේ සිංහලබෞද්ධ සංස්කෘතිය මූලික වූ පදනමකිනි. ඒ නිසා ඊට රුධිරයෙන් හා යකඩෙන් ගෙවූ වන්දිය අසීමිත ය. එහෙත් තවමත් සිංහල සමාජය දේශපාලනය තේරුම් ගන්නේ එම විනාශකාරී රාමුව තුළින්ම ය. ඊට වෙනස්ව දකින්නට තරම් සිංහල සමාජය මෝරා නොයෑමට වගකිවයුත්තේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය ශ්‍රී ලාංකා රාජ්‍යයේ දේශපලන දෘෂ්ටිය බවට පත් කළ රාජපක්ෂවරුන්ම ය.

රාජපක්ෂවරුන්ටත් ඒ මතවාදයේ පියවරුන්ටත් ලාංකික දේශපාලනය තුළ කිරි කොරහ නැටිය හැක්කේ 56 දරුවන්ගේ පරම්පරාව තුළ ය. වැඩිම වුවහොත් 71 දරුවන්ගේ පරම්පරාවේ කොටසක් ඊට අනුබල දෙනවා ඇත. නමුත් 78 දරුවන් මේ ගෝත්‍රවාදී දේශපාලන සංකල්පයන්ට එකග නොවන බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. එමෙන්ම මෝරා එමින් පවතින 89 දරුවන් ද ජීවත්වන්නේ අන්තර් ජාල යුගයේ ය. එවැනි පරිසරයක දේශපාලන තකක්ඩිකම් වලට අවකාශය තුළ පවතින ඉඩ අවම ය.

රාජපක්ෂ දෙසොයුරන්ගේ රාමලාන් සම්ප්‍රාප්තිය දෙස සිංහල හා දෙමළ ප්‍රගතිශීලී ජන කොටස් බැලිය යුත්තේ උකටලීව නොවේ. ඒ ගනුදෙනුවේ ලාභය මුස්ලිම් ජන කොටස විසින්ම තේරුම් බේරුම් කර ගන්නවා නිසැක ය.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    I heard GOTA di dnot expect this photo to be published. HE is with a well known con-ARTIST WHO survivies because of parliamentary privilages.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.