
ළග ළග එන ජනාධිපතිවරණය සදහා තරග කරන්නට බොහෝ දේශපාලන පක්ෂ උනන්දුවෙන් සිටියත් කිසිම පක්ෂයක් තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කව්දැයි මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. ඒ නිහඩතාව තුළ ඒ ඒ පක්ෂයන් දේශපාලනිකව ඇද වැටී ඇති අගාධයේ ගැඹුර කියාපාන බව රහසක් නොවේ. ප්‍රධාන පක්ෂ තුන වන එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සිටින්නේ බරපතල අභ්‍යන්තර අර්බූදයක ය.
ඒ අර්බූදය බොහෝදෙනා හදුනා ගන්නේ නායකත්ව හෝ මානව සම්පතෙහි හෝ අර්බූදයක් ලෙස ය. එහෙත් ඇත්ත කතාව වන්නේ සමාජයේ පවතින දේශපාලන අර්බූදයේම උප කුලකයක් ලෙස රටේ දේශපාලන පක්ෂයන් ද අර්බූදයකට ගොස් ඇති බව ය. එක් අතකින් අභ්‍යන්තර යුද්ද තුනකට මැදිවූ ශ්‍රී ලාංකික සමාජයට බරපතල මානව බුද්ධිමය සම්පතෙහි හිගයක් පවතී. අනෙක් අතින් ගෝලීය දේශපාලන පරිවර්තනයන් තුළ ජාතික දේශපාලනයේ හැඩහුරුව වෙනස්වීමකට ලක්ව පවතී. මේ නිසා කලක් තිස්සේ ව්‍යාකූල වෙමින් පවතින සමාජ දේශපාලන අර්බූදයන්ට විසදුම් සොයා ගැනීමට අපහසුවෙන් මුළු සමාජයම විදවමින් තිබේ.
ජනාධිපතිවරණයේ දී සුවිශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට ශක්තිමත් විශ්වාසයකින් තරග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිටින එකම හා සුවිශාල පෞර්ෂයකින් යුතු නායකයා මහින්ද රාජපක්ෂ පමණ ය. ඔහු තරග කළහොත් අතීතයේ ඔහුගේ පාලනය තුළ අහිමිව ගිය සිංහල බෞද්ධ නොවන ඡන්ද වලින් වැඩිම ප්‍රමාණය ආපසු කැදවා ගැනීමේ ශක්‍යතාවක් පවතී. ඒ වාසි දෙකම එම පක්ෂයෙන් කවර අපේක්ෂකයා තරග කළ ද නොලැබේ.
සිංහල බෞද්ධ සමාජයේ රැඩිකල් දේශපාලන වීරයා වී ඇති ගෝටාභය රාජපක්ෂ තරග කරන්නේම පරාජය අත දරාගෙන ය. ඊට හේතුව ඔහුව වීරත්වයට ඔසොවා තබන බලවේගයම පෙරලා ඔහුගේ පරාජය සදහා සතුරන් නිර්මාණය කරන නිසා ය. ගෝටාභය රාජපක්ෂ ඉහළින් ඔසොවා තබන සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය විසින් දෙමළ හා මුස්ලිම් ජාතිකවාදයන් බරපතල ලෙස ශක්තිමත් කරන්නේ ය. බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් සලකා බලන විට යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තල්ලු කරන්නේ අභ්‍යන්තර බෙදීමකට ය.
එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් ද ඇත්තේ මෙවැනි දේශපාලන චිත්‍රයකි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වුවහොත් ඔහුට යළි අත්වන්නේ අන්ත පරාජයක් බව රහසක් නොවේ. ඒ නිසා එම පක්ෂය වෙනත් අපේක්ෂකයන්ගේ මුට්ටි එළියට දමමින් සිටී. ඒ අතුරින් ප්‍රධානම චරිතය වන්නේ අමාත්‍ය සජිත් ප්‍රේමදාසයි. සජිත් ප්‍රේමදාසට තම පියාගේ දේශපාලන බූදලය ගෙඩිය පිටින්ම ලැබී තිබේ. ඔහුට ඇත්තේ එය මනා ලෙස කළමනාකරණය නොකර ගැනීමේ අදක්ෂතාවයි. ඔහුට බිම් මට්ටමේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අසීමිත ආදර ගෞරවයක් පවතී. එසේම රනිල් වික්‍රමසිංහ නිසා පක්ෂය හැරදා මහින්ද රාජපක්ෂ වටා රොක්වූ සාතිශය බහුතරය ද සජිත් ප්‍රේමදාස වටා එකතුවීම නිශ්චිත ය.
සජිත් ප්‍රේමදාසට දෙමළ හා මුස්ලිම් ජනතාවගේ සහාය ලබා ගැනීමට එම ජන කොටස් වල දේශපාලන නායකයන්ගේ සහාය අනිවාර්යෙන්ම අවශ්‍ය වේ. එසේ නොවන්නට ඔහු විසින් එම ජනතාව දිනා ගැනීම සදහා වූ දේශපාලන පෞර්ෂයක් ගොඩනගාගෙන නොමැත. එසේම සිංහල සමාජය තුළ වුවද ඉහළ මැද පන්තිය හා ධනය ඇති පන්තිය තුළ සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් යහපත් සිතුවිලි ඇති බවක් නොපෙනේ. මැද පන්තිය පවා ඔහුට ඡන්දය දෙන්නේ නම් දෙන්නේ ඔහුගේ දේශපාලනයේ ගරු කටයුතු පෞර්ෂයක් නිසා නම් නොවේ. එහෙත් දිළිදු ජනතාව නම් උදේ පාන්දර හිස්බඩම ගොස් ඔහුට ඡන්දය ලබාදෙන බව ස්ථිර ය.
එක්සත් ජාතික පක්ෂය තුළින් ඊලගට එළියට දමමින් සිටින මුට්ටිය වන්නේ කතානායක කරු ජයසූරියයි. කරු පසුගිය වසර තුන තුළ පාර්ලිමේන්තුවේ දී ශක්තිමත් චරිතයක් ලෙස ඉස්මතු නොවුණි. ඔහුට මන්ත්‍රීවරුන් පාලනය කර ගැනීමට හෝ ශක්තියක් නොවීය. සමහරවිට ඔහු එසේ අසමත් වෙන්නට ඇත්තේ අවංකවම ඔහුට ඉටු කරන්නට නොහැකි කාර්යයක් පවරා තිබූ නිසා ද විය හැකි ය. එහෙත් කරු ජයසූරිය අසීමිත පෞර්ෂයකින් නැගී සිටියේ පසුගිය ඔක්තෝබර් මාසයේ සිදුවූ ව්‍යවස්ථාමය මංකොල්ලයත් සමග ය. එදා කරු ජයසූරිය කතානායක අසුනේ නොසිටින්නට මේ රටේ ඉතිහාසය කළු අකුරින් ලියවෙන බව සක්සුදක් සේ පැහැදිලි කරුණකි.
කරු විසින් විධායකයේ කුරිරු වියරුව පරාජය කිරීමටත් ව්‍යවස්ථාදායකයට පවතින පරම මහජන බලය ශක්තිමත් කිරීමටත් කළ මෙහේය සදානුස්මරණීය වනවා ඇත. ඔහු ඒ භාරදූර කාර්යය කළේ උපක්‍රමශීලීව හා මැදහත් ලෙස ය. ඒ කාර්යභාරය පුරා දිස්වූයේ ඔහුගේ විශිෂ්ඨ පරිනත බව හා රාජතාන්ත්‍රිකභාවයයි. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම හා ශක්තිමත් කිරීම යන දෙවිෂයේ දී කරු ජයසූරිය මැද පන්තිය හා ධනපති පන්තිය තුළ ආකර්ශනීයත්වයට හා ගෞර්වයට බදුන් විය.
ලංකාවේ සිංහලබෞද්ධ නොවන ජන කොටස් අතර කරු ජයසූරියට විශේෂ ගෞරවයක් හා පිළිගැනීමක් නොවන්නට පුළුවන. එහෙත් වෙන කවරම හෝ සිංහල බෞද්ධ නායකයකුට වඩා ඔවුන් අතර කරු සම්බන්ධයෙන් පවතින බැහැර කිරීම අවම ය. එහෙත් සිංහල බෞද්ධ සමාජයේ බරපතල පිළිගැනීමක් කරු සම්බන්ධයෙන් පවතී. එසේම සිංහල බෞද්ධ සමාජයේ අධිපති මතය සකස් කරන භික්ෂු සමාජය නිහඩ කිරීමේ හැකියාවක් ද කරු ජයසූරියට පවතී. මේ සියල්ලට හේතුව ඔහු දේශපාලකයකු ලෙස වර්ධනය කරගෙන තිබෙන අසීමිත පෞර්ෂයයි.
එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ අනුමැතිය ඇතිව ජනාධිපතිවරණය සදහා අමාත්‍ය සජිත් ප්‍රේමදාස හෝ කථානායක කරු ජයසූරිය හෝ තම අපේක්ෂකයා ලෙස තෝරා ගන්නේ නම් ඒ තෝරා ගැනීම් සාර්ථක ය. රනිල් වික්‍රමසිංහගේ දුගද හමන දේශපාලනය බැහැර කරමින් සමස්ත එක්සත් ජාතික පෙරමුණේම ශක්තිය යොදා තරග කළහොත් අලුත් අපේක්ෂකයන් ලෙස ඔවුන්ට ජයග්‍රහණය කළ හැකි ය. එහෙත් ඒ ජයග්‍රහණයන් සමාජ දේශපාලන තත්ත්වයට කරන බලපෑම නම් අතිශයෙන්ම එකිනෙකට වෙනස් ය.
රනිල් වික්‍රමසිංහ නැවතත් ජනාධිපතිවරණය සදහා තරග කිරීම අර්ථ විරහිත වන්නේ ඔහු අනිවාර්යෙන්ම පරාජය වන නිසා නොවේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනයත් සමග ඉදිරි ජනාධිපතිවරණයෙන් තේරී පත්වන්නේ නාමික ජනාධිපතිවරයෙකි. සියළු ව්‍යවස්ථාපිත කාර්යයන් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත කරන ජනාධිපති ධූරයකට තරග කර පත්වන්නට තරම් රනිල් වික්‍රමසිංහ නූගතෙකු නොවේ. ජනාධිපතිවරණයට තරග කර තමන්ට හිමි අසීමිත පෞර්ෂය අළෙවි කර ලබන ජයග්‍රහණය තුළින් මහා මැතිවරණයකට යෑමේ උපක්‍රමය මහින්ද රාජපක්ෂට වැදගත් විය හැකි ය. එහෙත් ඒ උපක්‍රමය රනිල් වික්‍රමසිංහ යොදා කරන්නට තරම් එක්සත් ජාතික පක්ෂයට අදාළ නැත.
මේ නිසා රනිල් වික්‍රමසිංහ මහන්සි වෙනවා ඇත්තේ සජිත් ප්‍රේමදාස හෝ කරු ජයසූරිය හෝ ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට තෝරාගෙන මහන්සි වී ඔහුව ජයග්‍රහණය කරා තල්ලු කරන්නට විය යුතුය. එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ අනුමැතිය මත හා රනිල් වික්‍රමසිංහගේ පූර්ණ ආශීර්වාදය මත මේ දෙදෙනාගෙන් කවුරු තරග කළ ද ජයග්‍රහණය කළ හැකි ය. එහි තේරුම වන්නේ ඒ අපේක්ෂකයන් දෙදෙනාගේම පවතින දුර්වලතා හීන කර පෞර්ෂය වර්ධනය කරන්නට එම පක්ෂයටත් රනිල් වික්‍රමසිංහටත් හැකි බව ය. එවිට ඒ ජයග්‍රහණයත් සමග පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යෑමෙන් එක්සත් ජාතික පෙරමුණට ආණ්ඩු බලය ලබා ගත හැකිය. ඒ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ ය. ඒ අග්‍රාමාත්‍ය ධූරය බලය සහිත තනතුරකි. ජනාධිපතිවරයා පවා ව්‍යවස්ථාපිත කාර්යයන් කළ යුත්තේ ඒ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ලැබුනහොත් පමණ ය.
එහෙත් ජනාධිපතිවරණ ජයග්‍රහණය ලබන සජිත් ප්‍රේමදාස හෝ කරු ජයසූරිය හෝ එක්සත් ජාතික පක්ෂයේ පන්ති දේශපාලන අභිලාශයන්ට දැක්විය හැකි දායකත්වය මත ඒ දෙදෙනාගෙන් එක් අයකු තෝරා ගැනීමට පෙළඹේ. ඒ දෙදෙනා වෙන වෙනම කිරා මැන බලා ඒ දේශපාලන තක්සේරුව ගන්නේ රනිල් වික්‍රමසිංහ ඇතුළු පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයයි. ඒ තීරණය මුළුමනින්ම රදා පවතින්නේ එම පක්ෂයේ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමට බලපාන අතිශයෙන්ම වැදගත් කරුණු කාරණා මත ය.
ධනපති පක්ෂයකට අනුප්‍රාප්තික නායකයා තෝරා ගන්නේ අහඹු ලෙස නොවේ. පක්ෂයේ දේශපාලන අභිලාශයන් ජයග්‍රහණය කරා ගෙන යෑම මෙන්ම ප්‍රභූ පන්තියට හානියක් නොවීම ද එහිදී තීරණාත්මක වේ. මේ දිනවල එක්සත් ජාතික පක්ෂය මහන්සි වෙමින් දිවා රෑ නොමැතිව වැඩ කරන්නේ රනිල් වික්‍රමසිංහගෙන් පසුව තමන්ට සුදුසු ඊලග නායකයා සජිත් ප්‍රේමදාස ද කරු ජයසූරිය ද යන්න තෝරා බේරා ගැනීමට විය යුතුය.