25 August, 2019

Blog

ආණ්ඩුව නම්බු පිටින් ගෙදර යා යුතුය

කේ.ජී. පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

වත්මන් ආණ්ඩුවේ දුර්වල දේශපාලන පෞර්ෂය නිසා තුන්සියයකට අධික දෙස් විදෙස් අහිංසක ජනතාවක් මරුමුවට පත්වූ කනගාටුදායක මොහොතක අරමුණක් නැතිව බලා සිටීමට ශ්‍රී ලාංකිකයන්ට සිදුව ඇත. විනාශය සිදුවන මොහොත වනවිටත් රටේ ජනාධිපතිවරයා විදෙස් ගතව සිටි අතර වැඩ බලන පදනමින් කිසිවකු පත් කර නොතිබීම විශේෂ කරුණකි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරාම ජනාධිපතිවරයා විදෙස් ගතවන විට වැඩබලන ජනාධිපතිවරයකු පත් කරන්නේ නැත. එසේම ආරක්ෂක අමාත්‍ය ධූරය කෙතරම් බලවත් වුවත් මෙවර වැඩ බලන අමාත්‍යවරයකු අදාළ විෂයට පත් කර නොමැත. 

අති විශාල විධායක බලයක් ඇතැයි කියන ජනාධිපති ධූරයේ වැඩ බැලීමට පුද්ගලයකු නොමැති නිසාත් ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩ බැලීමට ද කිසිවකු නොමැති නිසාත් රට අරාජික වී ඇතැයි කිවහොත් වඩා නිවැරැදි ය. ඉරිදා උදේ බෝම්බ පුරා ගිය පසුව සදුදා යුද හමුදාපතිවරයා පවසන්නේ ආරක්ෂක කටයුතු විධිමත්ව සිදු කිරීමට තමන්ට බලය පවරා නැති බවයි. ජනාධිපතිවරයා හදිසි නීතිය පනවන්නේ සදුදා මධ්‍යම රාත්‍රියේ ය. බෝම්බ පුපුරා ගිය ඉරිදා දින ජන ජීවිතය සුරක්ෂිත කිරීමට පනවන්නේ පොලිස් ඇදිරි නීතියයි. ඊට හේතුව සාමාන්‍ය ඇදිරි නීතිය පනවන්නට මහජන ආරක්ෂක පනත අනුව අවශ්‍ය පියවර ගත යුතු ජනාධිපතිවරයකු හෝ වැඩ බලන ජනාධිපතිවරයකු හෝ රටේ නොවීමයි. 

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ පසුගිය මාස හයක කාලයක් පුරාවට තමා හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හෝ ජාතික ආරක්ෂක මණ්ඩලයට කැදවූයේ නැති බවයි. එය ඇත්තක් නම් ජනාධිපත්විඅරයා විසින් කර ඇත්තේ බලවත් වරදකි. එසේම තමන්ගේ දේශපාලන හීනමානයන් රටේ ජාතික ආරක්ෂාව පිටින් යැවීමකි. ජනාධිපතිවරයා ජාතික ආරක්ෂක මණ්ඩලයට කැදවිය යුත්තේ තමන් ප්‍රිය නොකරන රනිල් වික්‍රමසිංහ නොවේ. ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහයි. එක්සත් ජාතික පක්ෂයේ නායකයාත් ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාත් පටලවා ගැනීම ජනාධිපතිවරයාගේ බලවත් වරදකි. ඊට මේ රටේ ජනතාව කිසිසේත්ම සමාව දිය යුතු නැත.

අග්‍රාමාත්‍යවරයා හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරය හෝ ජාතික ආරක්ෂක මණ්ඩලයට කැදවූයේ නැත්නම් ඒ බව ආණ්ඩුව විසින් කිව යුත්තේ මේ අවස්ථාවේ දී නොවේ. අග්‍රාමාත්‍යවරයාට වගකීමක් තිබුණා නම් ඔහු තමාට සිදුවන අපහසුතාව හා ජනාධිපතිවරයා විසින් කරන බලවත් වැරැද්ද හෝ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට, පාර්ලිමේන්තුවට හෝ මහජනතාවට දැනුම් දිය යුතුව තිබුණේ ජාතික ආරක්ෂක මණ්ඩලයට නොකැදවන පළමු අවස්ථාවේ දී ම ය. නමුත් සියළු දේ රහසක්ව තබා ගනිමින් සිටි අග්‍රාමාත්‍යවරයා රටේ ජාතික ආරක්ෂාව අන්තිම පහත් තත්ත්වයට පත්වූ පසුව වගකීම අනෙකාට පැවරීම විළිලැජ්ජා නැතිකමකි. අග්‍රාමාත්‍ය ධූරයේ වගකීම් නොසලකා හැරීමකි.

රටේ සිදුවූ ව්‍යසනය ගැන රාජ්‍යයේ ආරක්ෂක බුද්ධි අංශ විසින් අදාළ බලධාරීන්ට දැනුම් දී තිබුණේ පසුගිය 11 වැනිදා ය. ඒ බව රජයේ අමාත්‍යවරුන් වන මනෝ ගනෙෂන්, හරේන් ප්‍රනාන්දු වැන්නන් විසින් සහතික කර ඇත. අමාත්‍ය හරේන් ප්‍රනාන්දු එදා පාස්කු ඉරිදා දේව මෙහේයන්ට සහභාගී නොවූයේ තම පියාගේ උපදෙස් අනුව බව ඔහු කීය. එහෙත් ආරක්ෂා විය යුත්තේ තමන් පමණක් නොව රටේ සමස්ත ජනතාවම බව මේ ළාමක ඇමතිවරයාට නොතේරීම රටේ අවාසනාවකි. තම ආරක්ෂක පොලිස් ඛණ්ඩයන්ට බුද්ධි අංශ වලින් ලබා දී තිබූ උපදේශය මුළු රටේම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් අවවාදයක් බව තේරුම් ගන්නට තරම් අමාත්‍ය මණ්ඩලයේ වගකිවයුතු ඇමතිවරුන්ට මොළයක් නොතිබීම ද රටේ අවාසනාවකි.

බොර දියේ මාළු බාන්නට පැකිලෙන්නේ නැති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂත්, රාජපක්ෂට කඩේ යන මාධ්‍යය ආයතනත් පුන පුනා පවසන්නේ රටේ බුද්ධි අංශ බාගෙට බාගයක් හිර ගත කොට නොතිබුණා නම් මේ අවාසනාවන්ත සිදුවීම වලක්වා ගන්නට තිබූ බව ය. එහෙත් විපක්ෂ නායකවරයාත් ඔහුට ගොම් පස් අල්ලන මාධ්‍යයත් තක්කඩිකමට අමතක කරන කාරණාව වන්නේ බුද්ධි අංශ තම රාජකාරීය යහමින් ඉෂ්ඨ කර තිබූ බව ය.  මහින්ද රාජපක්ෂ උත්සාහ ගන්නේ තම පාලන කාලයේ දී තිරිසන් අන්දමින් මිනීමැරීම නිසා රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින තම හෙන්චයි බුද්ධි අංශ නිලධාරීන් රැක ගැනීමට ය. 

එහෙත් එහි පවතින ඇත්ත මහ ජනතාවට පැහැදිලිව කියන්නට තරම් ආණ්ඩුව දේශපාලන පෞර්ෂයක් නැත්තේ එසේ කිවහොත් තමන් නිරුවත් වන බැවිනි. මේ අපරාධය සිදුවූයේ මහින්ද රාජපක්ෂ කියන පරිදි බුද්ධි අංශ නිලධාරීන් සිරගත කොට ඇති නිසා නොවේ. එහෙත් දැනටත් සේවයේ නියුතු දක්ෂ බුද්ධි අංශ නිලධාරීන් තම වගකීම මනා ලෙස ඉටු කර තිබුණි. එහෙත් ඒ අනුව අවශ්‍ය පියවර නොගෙන ඇත්තේ ආණ්ඩුවයි. ආණ්ඩුවේ දේශපාලන නිවටකම නිසා බුද්ධි අංශ උපදෙස් නොතකා හැර ඇත. මේ ඇත්ත ඇති සැටියෙන් කියන්නට මහින්ද රාජපක්ෂට නොහැකිය. රනිල් වික්‍රමසිංහට ද නොහැකිය. මෛත්‍රීපාල සිරිසේනට ද නොහැකිය.

විය හැකි අපරාධය සම්බන්ධ බුද්ධි අංශ දැනුවත් කිරීම් බරපතල ලෙස සලකන්නට රටේ සේනාධි නායකයා වන ජනාධිපතිවරයාට අවශ්‍ය නොවීය. ඔහු ඒ සියල්ල පසෙක දමා අවුරුදු සමයේ තිරුපති වන්දාවේ ගියේ ය. අනතුරුව පෞද්ගලික චාරිකාවක් සදහා සිංගප්පුරු ගියේ ය. මේ සියළු සංචාරයන්වල ජනාධිපතිවරයා නිරත වූයේ රටේ ජාතික ආරක්ෂාව තුට්ටුව්කට හෝ නොසලකමිනි. රටේ ආරක්ෂක හමුදාව සිටින්නේ මත්ද්‍රව්‍ය පාලනය සදහා නොවේ. එහෙත් ජනාධිපතිවරයාගේ ලොකුම ඉලක්කය වූයේ මත්ද්‍රව්‍ය මර්දනයේ වීරයාවීමයි. ඊට හේතුව ලග එන ජනාධිපතිවරණයේ දී ඡන්ද ටිකක් එකතු කර ගැනීමයි. එහෙත් ආරක්ෂක හමුදාව කළ යුත්තේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කැපවීම බව මේ ජනාධිපතිවරයාට නොතේරේ.

ජාතික ආරක්ෂාවේ වැදගත්කම ජනාධිපතිවරයා දන්නේ නම් අවශ්‍ය බලතල යුද හමුදාවට දෙන්නැයි කියා මාධ්‍ය හමුවට යන්නට රටේ යුද හමුදාපතිට සිදුවන්නේ නැත. මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කරන්නට ජනාධිපතිවරයා රට පැමිණෙන තුරු අවධානම් කාලයක් පසු කරන්නට සිදුවන්නේ නැත. අවම වශයෙන් ජනාධිපතිවරයා රටේ නොමැති කාලය තුළ උපදෙස් දෙන්නට ඉහළ හමුදා නිලධාරීන්ට අරලිය ගහ මන්දිරයට එන්නැයි කියූ කළ එය ප්‍රතික්ශේප කරන්නේ නැත. නමුත් මේ ජනාධිපතිගේ හා අගමැතිගේ තුට්ටු දේකේ දේශපාලන බල අරගලය නිසා රාජ්‍යයේ ආරක්ෂක යාන්ත්‍රණය එක තැනක හිර විය. එනිසා තුන්සියයකට අධික අහිංසක ජනතාවක් අමු අමුවේ මරා දමන්නට ත්‍රස්තවාදීනට හැකි විය.

දැන් ජනාධිපතිවරයා සිටින්නේ ඇටි කෙසෙල් ගිලපු උගුඩුවකුගේ මානසිකත්වයක ය. අගමැතිවරයා දෙකොළ විලක්කුවක් දල්වාගෙන අනෙකාට ප්‍රබුද්ධ ලෙස ඇගිල්ල දිගු කරමින් සිටී. ජාතික ආරක්ෂාව තුට්ටුවකට මායිම් නොකර තැන තැන බෝම්බ පිපිරේ. තවමත් රටේ ජන ජිවිතය මරණ බියෙන් ගැහි ගැහී සිටී. කොයි මොහොතක හෝ බෝම්බයක් පිපිරී තම ජීවිතය අහිමිවේ යැයි ඔවුන්ට ඇත්තේ බියකි. අවම වශයෙන් දෙදිනක නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර මුළු කොළඹම පීරා ආරක්ෂාව තහවුරු කර දෙන්නැයි ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටින්නට හා ඔවුන්ට පූර්ණ බලය දෙන්නට මේ ආණ්ඩුවට ශක්තියක් නොමැත.

මහින්ද රාජපක්ෂත් ඔහුගේ සට්ටැබිලි මාධ්‍යයත් කරන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තම පාලනයේ අපරාධ සහායක රාජ්‍ය නිලධාරීන් රැක ගන්නට ය. ඒ අනුව මිනී මැරුම් චෝදනා ලත් බුද්ධි අංශ නිලධාරීන්  බේරා ගැනීම ඔවුන්ගේ එකම අරමුණ ය. නමුත් බුද්ධි අංශයේ හෝ ආරක්ෂක හමුදාවේ හෝ බහුතරය රාජපක්ෂ වෙනුවෙන් මිනීමැරූවන් නොවේ. නීතියට අනුව රාජකාරී කරන බුද්ධි නිලධාරීහු තවමත් සේවයේ යෙදී සිටිති. නමුත් රටේ අවාසනාව වන්නේ ඒ නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමට වත්මන් ආණ්ඩුවට පෞර්ෂයක් නොවීමයි. ඊට ඇගිල්ල දිගු කරන මහින්ද රාජපක්ෂ කප්පම් සදහා මනුෂ්‍ය ඝාතනයේ යෙදුන අපරාධකරුවන් බේරා ගැනීමට උත්සාහ දැරීම තිරචීන ය. 

මේ ආණ්ඩුවට රට පාලනය කරන්නට තව දුරටත් සුජාත අයිතියක් නොමැත. රටේ ව්‍යවස්ථාව හා ජන වරමට අනුව රාජ්‍ය පාලනය කරන්නට වගකීමක් හා ශක්තියක් නැති බව ආණ්ඩුව ඔප්පු කර හමාර ය. ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් එකිනෙකාට වෛර කරමින් ද්වේශයෙන් සිටීම රටේ මහජනතාවගේ ප්‍රශ්නයක් නොවේ. රටට අවශ්‍ය වන්නේ ප්‍රජාතාන්ත්‍රිකව හා රාජතාන්ත්‍රිකව රට පාලනය කරන නායකයන් ය. එහෙත් මළ ගෙදරවල නිදි වරා, කොටහළු ගෙවලට තෑගී දී මහජන චන්ද එකතු කරගෙන බලයට ආ නායකයන්ට රාජතාන්ත්‍රිකයන් වන්නට නොහැකිය. ඔවුනට කළ හැකි එකම දේ ප්‍රතිවාදියාට චෝදනා එල්ල කරමින් සිටීම පමණි. ඔවුන් දක්ෂතා දක්වන්නේ ද හොරකම් කරන්නට පමණි.

මේ වගකීම් විරහිත ආණ්ඩුව දැන් ගෙදර යා යුතුය. බෝලය මෛත්‍රීපාල සිරිසේනට හෝ රනිල් වික්‍රමසිංහට හෝ යොමු කරන තක්කඩියන් හදුනා ගත යුතුය. මේ දෙදෙනාම වහාම කළ යුත්තේ භාරකාර ආණ්ඩුවකට රටේ පාලනය පවරා ගෙදර යෑමය. නො එසේනම් රටේ මහජනතාව ඒ කාර්ය කරන්නට පෙරට ආ යුතුය.

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    It is the BEST TIME to IMPEACH this crazy guy. He failed to act upon constitutional provisions this time by exposing country to danger.. Last time he breached the constitution deliberately by wrongful doings.
    First and foremost thing to do by the people right now is, to force both parties in parliament to impeach this puppet forthwith. Make an acting president until forthcoming election.

  • 2
    1

    නම්බු පිටින්? මේ ආණ්ඩුවට වත් එය ගෙන එන්නටත්, එහි සියලු නොපනත්කම් සාධාරණය කිරීමටත් කටයුතු කල මේ ලේඛකයාටත් නම්බුවක් කියා දෙයක් ඇති බව අපට නම් නොපෙනේ. කෙසේ වෙතත්, ගෙදර යන්ට කල යෝජනාව අගයමි.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.