20 April, 2024

Blog

ඒ හඩ ඇසෙන්නේ මාළිගාවත්ත ලී මෝලෙනි

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

ඒ වෙසක් දා උදෑසන මා අවදි වූයේ ගස් බැද තිබූ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් මහත් හඩින් ගම්මුන්ට බැන වදින ශබ්දයෙනි. සීල සමාධියට පන්සලට ආ ගම්මු නිහඩව භික්ෂුවගේ ආක්‍රෝස පරිභවය අසා උන්හ. භික්ෂුව කෝප වී තිබුනේ තම පන්සල මගහැර ගම්මුන් සීල සමාධිය සදහා වෙනත් පන්සල් වලට යෑම සම්බන්ධයෙනි. භික්ෂුව මහත් හඩින් බැන වදිමින් පැවසූවේ ගම්මුන් විශ්ව විද්‍යාල පන්සලටත්, ගැටඹේ පන්සලටත්, දළදා මාලිගාවටත් සීල සමාධිය සදහා යන බවය. ඒ භික්ෂුව වැඩිදුරටත් තර්ජනාත්මකව ශබ්ද විකාශයෙන් කීවේ සීල සමාධිය සදහා එසේ වෙනත් පන්සල් වලට යන්නේ නම් තම තමන්ගේ මතක වස්ත්‍ර පූජාවට ද එම පන්සල් වලින්ම භික්ෂූන් ගෙන්වා ගන්නා ලෙස ය.

මතක වස්ත්‍රයටත් මම නෑ

මේ කෑදර අදහස් නිර්ලජ්ජිතව මහත් හඩින් ගුගුරමින් කීයේ පේරාදෙණිය ගලහ මහා මාර්ගයේ පිහිටි වාරියගල නම් ගමේ පන්සලේ ප්‍රධාන භික්ෂුව ය. උගත්කමක් නැති දහම ගැන අධ්‍යයනයක් නොමැති මේ භික්ෂුව කොත්මලේ සිට වාරියගලට පැමිණ රජයේ ඉඩමක් බලෙන් අල්ලාගෙන පන්සලක් සාදවා ගෙන දුශ්ශීලයෙන් ජීවත්වන්නෙකි. දුප්පත් කුඩා පිරිමි දරුවන්ගේ දෙමව්පියන්ට මිල මුදල් දී පන්සලට රැගෙනවිත් මහණ කර ඔවුන්ට අනේක විධ වද දෙන්නෙකි. එම කුඩා දරුවන් අපයෝජනයට යොදාගෙන ආශාවන් සන්සිදුවා ගන්නෙකි. ඒ භික්ෂුව අවට ගම්වාසීන් පන්සලට ඇද බැද තබා ගන්නේ තර්ජනයෙනි. මතක වස්ත්‍ර පූජාවට නො එන්නෙමියි කී කළ අසරණ ගැමියෝ භික්ෂුවට අවශ්‍ය පරිදි හැසිරේ.

වාරියගල පන්සලේ නූතන භික්ෂුව එසේ හැසිරුනත් බෞද්ධ සමාජයේ භික්ෂුව ඉතිහාසයේ දී සුරුවමක් ලෙස ගෞරවයට බදුන් වූයේ උන් වහන්සේලා සමාජයට අපමණ සේවයක් කළ බැවිනි. උදාහරණයකට හේන්පිටගෙදර ඥාණසීහ හිමියෝ එවැනි බුද්ධිමත් භික්ෂූන් වහන්සේ නමකි. උන් වහන්සේ රත්නපුරයට වැඩම කරමින් එහි ගෙන්ගෙට යමින් කුලවාදයට එරෙහිව අභීතව සටන් කළ උන්නතිවාදී භික්ෂුවකි. පසුකාලීනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනයට සම්බන්ධ වුවද රත්නපුරයේ සමාජ ආකල්ප හා සමාජ සම්මුතීන්ට එරෙහිව නොබියව සටන් කළ යතිවරයෙකි.

අතීතයේ දී සමාජයට ධනාත්මකව කැපවීම් කළ භික්ෂූන් වහසේලා අතර හේන්පිටගෙදර ඥාණසීහ භික්ෂූන් වහන්සේ පමණක් නොව මහාචාර්ය වල්පොල රාහුල හිමියන් ද සිටී. එසේම උඩකැන්දවෙල සිරි සරණංකර, පොල්වත්තේ බුද්ධදස්සී වැනි හිමිවරු ද විවිධාකාරයෙන් සමාජය යම් දායකත්වයක් දැරූ යතිවරු ය. උන් වහන්සේලාගෙ මතවාද එකිනෙකට වෙනස් විය හැකි වුවද බුදුන්ගේ ඉගැන්වීම් වලට පරස්පරව කටයුතු නොකළහ. එසේම සමාජ වටිනාකම් වලට අබමල් රේණුවක හානියක් නොකළහ.

වාර්ගික හැගීම් කුළුගන්වන දේශපාලන භාවිතාව

එහෙත් අද ජීවත්වන සංඝ පරපුරේ සුරුවම බවට පත්ව ඇත්තේ වාරියගල පන්සලේ ජීවත්න වන භික්ෂුව වැනි චරිතයන් ය. හේ යහමින් ගිහි ජීවිතය ගත කරයි. යහමින් ගිහි ජීවිත අවුල් කරයි. එසේම රටේ රටේ සාමග්‍රීය ද අවුල් කරයි. මේ දිනවල යළි කතා බහට ලක්ව ඇති ගලගොඩ අත්තේ ඥාණසාර භික්ෂුව කරන්නේ ද එයයි. එම භික්ෂුව ජාතීන් අතර සහජීවනය බිදවමින් වාර්ගික හැගීම් කුළුගන්වන දේශපාලන භාවිතාවක යෙදී සිටී. එසේම බෞද්ධ  ඉගැන්වීම් වලට මුළුමනින්ම පරස්පර හැසිරීමක කටයුතු කරයි. ඒ නිසා උසාවි වරෙන්තු කිහිපයක්ම පවතින අතර සිවිල් නීතිය කඩ කිරීම මත චෝදනා කිහිපයක්ම එල්ලව තිබේ.

මෙම භික්ෂුවට එරෙහිව සිවිල් නීතිය ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් උරණව සිටින සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව පසුගිය දා මහත් බැරෑරුම් බවකින් යුතු ප්‍රකාශයක් නිකුත් කළේ ය. ඒ අනුව ඥාණසාර භික්ෂුවගේ හැසිරීම අනුමත නොකළත් මතවාදය අනුදැන සිටීමට එම කාරක සංඝ සභාව ඉදිරිපත්ව සිටී. එසේම භික්ෂුවකගේ විනය ගරුත්වයට අනුව හැසිරීම නොකළ නිසාදෝ ගිහි සමාජයේ පුද්ගලයන් ඥාණසාර ලෙස නමින් ඇමතීම සම්බන්ධයෙන් උරණව සිටින කාරක සංඝ සභාව එය නොකළ යුත්තක් ලෙස ගිහි සමාජයට අනතුරු හගවයි. එහෙත් ඥාණසාර භික්ෂුව වරක් වටරැක විජිත භික්ෂුවගේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට බලෙන් කඩා වැද එම භික්ෂුවට ” උබ, තා, තෝ, පරයා ආදී වශයෙන්” ආමන්ත්‍රණය කිරීම ගැන කිසිත් නොකියයි. එමගින් කාරක සංඝ සභාව වක්‍රව පවසන්නේ ඥාණසාර භික්ෂුවට නමින් කතා නොකර “උබ, තා, තෝ, පරයා ආදී වශයෙන්” ආමන්ත්‍රණය කිරීම යෝග්‍ය යැයි ද යන්න ගම්‍ය වේ.

ඥාණසාර භික්ෂුව සම්බන්ධයෙන් සමාජය දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් යම් නොකැමැත්තක් ඇත්තේ නම් ඊට විරෝධය දැක්විය යුත්තේ එම භික්ෂුව අයත් කෝට්ටේ ශ්‍රී සාමාග්‍රී මහා සංඝ සභාවයි. එහෙත් මේ වනතුරුත් ඒ සම්බන්ධව මෙම සංඝ සභාව යම් ප්‍රතිචාරයක් දක්වා නොමැත. කුල පීඩනයට ලක්ව සිටින භික්ෂුවක් වෙනුවෙන් කුල පීඩනයට ඔබ්බෙන් පවතින කරුණක් සම්බන්ධයෙන් කුල පීඩක සංඝ සභාවක් උනන්දුවීම උත්ප්‍රාසය මතු කරයි.

උබ, තා, තෝ, පරයා

අස්ගිරිය පාර්ශ්වයේ කාරක සංඝ සභාව මතු පිටින් කුමක් පැවසුව ද මේ මොහොතේ එම සංඝ සභාව පෙනී ඉන්නේ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය වෙනුවෙන් බව නොරහසකි. රාජ්‍යයේ නිල මතය ලෙස සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය පිළිගන්නට පටන් ගත්තේ රාජපක්ෂ යුගයෙනි. 2015 ජනවාරී 08 වන දා එම යුගය බිද වැටුන පසුව සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය අසරණ වුණි. එහෙත් අළු ගසා දමා යළි නැගී සිටීමට වාරු ගන්නේ එම සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය බව ළපැටියකුට වුවද තේරුම් ගැනීම අපහසු නොවේ.

රාජපක්ෂ රෙජීමය කඩා වැටීමට මූලික හේතුවක් වූයේ තනි සිංහල-බෞද්ධ ජන පදනමකින් රාජ්‍ය කරවීමට උත්සාහ ගත් නිසා ය. රාජ්‍ය බලය පවා තනි සිංහල-බෞද්ධ ජනවරමකින් ලබා ගත් නිසා එම බලය පවත්වාගෙන යෑම පහසු දෙයක් බව රාජපක්ෂ රෙජීමය තක්සේරු කරන්නට ඇත. එහෙත් සිංහල නොවන ජන කොටස් වල දේශපාලනික ප්‍රශ්න විසින් රාජ්‍යයේ බලය දැරූ  ආණ්ඩුවේ දේශපාලන ගතිකය නිෂ්ක්‍රීය කළේ ය. අවසන මහින්ද රාජපක්ෂට ගෙදර යන්නට වූවා පමණක් නොව විශේෂිත උත්සව සම්බන්ධයෙන් කැලැන්ඩරයට ඇගිල්ල තබා බලමින් දෙමළ හා මුස්ලිම් ජන කොටස් වල සංස්කෘතික උත්සව කරා එකක් නෑර යන්නට මහින්ද රාජපක්ෂට බල කෙරීය. යළි රාජ්‍ය බලය ගන්නට නම් සිංහල නොවන ජන කොටස් වල සහාය තමන්ට අවශ්‍ය බව රාජපක්ෂ තේරුම් ගෙන සිටී.

එහෙත් රාජ්‍ය බලය ලබාගෙන යම් නිශ්චිත කාලයක් දක්වා බලය රැක ගැනීමට සිංහල සමාජයේ දායකත්වය ප්‍රමාණවත් විය හැකිය. එනිසාම දෝ රාජපක්ෂවරුන් ද බලයට ඇවිත් ටික කලක් යනතුරු සිංහල බහුතරයේ බලයෙන් ඔවුහු සක්‍රිය වී සිටියහ. එහෙත් යම් නිශ්චිත කාලයකට පසුව ඒ දායකත්වය ප්‍රමාණවත් නොවේ. ඒ නිසා රාජ්‍යයේ අධිකාරිය ශක්තිමත්ව පාලිතයන් තුළ පවත්වාගෙන යෑමට අපහසු වේ. එහෙත් එය තේරුම් ගැනීමට වත්මන් ආණ්ඩුවේ සමහර ඇමතිවරු අපොහොසත් ය. ඔවුහු දඩබ්බරයන් සුරතල් කරමින් සිටී. ආණ්ඩුවේ ජනවරමට එකගව කටයුතු කරන බෞද්ධ ස්වාමීන් වහන්සේලා මුණ ගැසීමට නොයන ඔවුහු අශ්ලීල බෞද්ධ හිමිවරු මුණ ගැසීමට නිතර එති යති.

සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය ඉරී තැලූ මතවාදයක්

රාජපක්ෂ යුගයේ දී රාජ්‍ය බලයත් සමග ඒකාග්‍රව තිබූ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී සමාජ ස්ථරය මේවන විට බෙදී වෙන් වී ගොස් ඇත. එහි ඇකඩමික තීරුව යළි අධ්‍යයනය කරමින් සිටී. මැද පාන්තික රසවිදින්නෝ ආතක් පාතක් නැතිව ගෝටාභය රාජපක්ෂ දියසෙන් කුමරු වනතුරු බලා හිදිති. ඥාණසාර භික්ෂුව කල් යල් බලන්නේ මේ මතවාදයේ පාදඩ සමාජ ස්ථරය අල්ලා ගැනීමට ය. අවාසනාවකට අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව එළියට බැස සටන් කිරීමට සූදානම් වී ඇත්තේ ද  පාදඩ සමාජ බලවේගයන් සමග අත්වැල් බැද ගනිමිනි.

ප්‍රාග්ධනය ගෝලීයව සංසරණය වෙමින් ආර්ථික සබදතා ශක්තිමත් වන යුගයක ජාතිකවාදී බෙදීම් දේශපාලනිකව ප්‍රතික්ශේප වේ. ඒ තුළ ජාතික රාජ්‍යය ශක්තිමත් වන්නේ නැත. දේශපාලනික අස්ථාවරභාවය ප්‍රාග්ධන ගෝලීයකරණයට බාධාවක් බැවින් සමාජය තුළ නන්විධ වූ බෙදීම් අවලංගු විය යුතුය. නො එසේනම් එය ජාතික රාජ්‍යයේ අඛණ්ඩතාවට අභියෝගයකි. එවැනි සමාජ ප්‍රවනතාවකට අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව දිරිදීම අතාර්කික ය.

එක් කලෙක උතුරේ දෙමළ සමාජය විසින් දකුණේ සිංහල සමාජයට එල්ල කළ දේශපාලන අභියෝගය කියවා ගත්තේ ත්‍රස්තවාදයක් ලෙස ය. එහෙත් කලෙකට පසුව ශ්‍රී ලංකා රාජ්‍යයේ දේශපාලන සුජාතභාවයට එල්ල වූ අභියෝගය ජාතික ප්‍රශ්නයක් ලෙස කියවා ගැනීමට සිංහල සමාජය මෝරා තිබුණි. 1994 වනවිට ලංකාවේ ප්‍රධාන ධනපති පක්ෂ දෙකම රාජ්‍ය ප්‍රතිසංකරණය කර ගනිමින් සියළු ජාතිකත්වයන් රාජ්‍ය පාලනයට සම්බන්ධ කර ගැනීම අනිවාර්ය කරුණක් ලෙස දුටහ. එහෙත් ඒ සදහා සමාජය ගෙවූ වන්දිය අති මහත් ය. කෙසේ හෝ ප්‍රධාන ධනපති පක්ෂ දෙකම රාජ්‍ය ප්‍රතිසංස්කරණය කර එහි පාලනයට සිංහල නොවන සියළු ජාතිකත්වයන් සම්බන්ධ කර ගැනීම කළ යුතු බවට වූ නිගමනය ඓතිහසික වශයෙන් වැදගත් අවස්ථාවක් විය.

එහෙත් උතුරේ දෙමළ ජනතාවගෙන් එල්ල වූ දේශපාලන පණිවුඩය හරියට තේරුම් ගැනීමට දකුණේ වාමාංශික පක්ෂ බහුතරයක් තවමත් ශක්තිමත් නැත. ඔවුහු එය දකින්නේ ත්‍රස්තවාදයක් ලෙස ය. විශේෂයෙන් මැද පාන්තික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණට එය ත්‍රස්තවාදයක් පමණි. ඒ නිසා ධනපති පක්ෂ සමග එක පතේ කමින් ත්‍රස්තවාදය අහෝසි කිරීමට සටනට පවා ඔවුහු ගියහ. මෙය වාමාංශිකයේ න්‍යායාත්මක අවුලක් වුවත් ජනතා විමුක්ති පෙරමුණේ පදනම වන මැද පාන්තික චින්තනයේ ආවේනිකයකි.

පාලක එජාපය නිරාගමිකවීම

මේ තත්ත්වය ආණ්ඩුවේ ප්‍රධානම කොටස්කරුවා වන එක්සත් ජාතික පක්ෂය නිරාගමික බව ප්‍රකාශ කිරීම අතිශයෙන්ම වැදගත් ය. රාජ්‍ය පාලනයට සම්බන්ධ වන ප්‍රධාන ධනපති පක්ෂය පදනමක් ලෙස ආගමික මති මතාන්තර කෙරෙහි එල්බගෙන නොසිටීම ප්‍රකාශයට පත් කිරීම ඓතිහාසික අර්ථයෙන් අතිශය වැදගත් ය. සමාජ සංවර්ධනයේ ලා ආගමික මතිමතාන්තර රාජ්‍ය පාලනයට සම්බන්ධ කර නොගත යුතු අතර ඒවා පෞද්ගලික විශ්වාසයන් පමණක් විය යුතුය. සමාජයේ සිවිල් චරිත හා සම්ප්‍රදායි මතිමතාන්තර ඉස්මත්තට ගනිමින් දේශපාලන බලය ගැනීම ඉන් වැළකේ. වාමාංශික පක්ෂයන්ට ආවේනික මේ භාවිතය ධනපති එක්සත් ජාතික පක්ෂයක් විසින් ද පිළිගැනීම ප්‍රශස්ත ය.

නමුත් ගැටළුව පැන නගින්නේ රාජ්‍ය පාලනයේ දී ආගමික සංවිධාන හා ආගමික සුරුවම් සමග කටයුතු කිරීමට ගොස් ආණ්ඩුව අත පුච්චා ගැනීම ගැනීම නිසා ය. සමාජය තුළ විශාල මතවාදී ආධිපත්‍යයක් පවතින ආගමික සංවිධානයන් තම අරමුණු ජයග්‍රහණය කර ගැනීම සදහා උපක්‍රමශීලී වේ. එනිසා තම කුරිරු ඉලක්කයන් සදහා අන්තවාදය හා ආගමික හිංසාව යොදා ගනී. ඒවා සාධාරණීකරණය කරන්නේ ආගමට මුවා වෙමිනි. සමාජය තුළ පවතින ආගමික මතවාදයන්ගේ ශක්තිය නිසා ඊට ආවරණයක් ලැබේ. නමුත් ඒ සියල්ල ආගමික සංවිධානයන් විසින් කරන්නේ ඒ ඒ ආගමේ කතෘවරුන්ගේ මතවාදයන්ට හා දර්ශනයන්ට එරෙහිව යමිනි. ආණ්ඩුව ආගමික සංවිධානයන්ගේ සිවිල් බලයට කෑදරව එම මතවාදයන්ට එරෙහිව කටයුතු නොකර ඒවා හා මිත්‍රත්ව සබදතා නිර්මාණය කර ගැනීම අතිශය දරුණු ප්‍රතිඵල ඇති කරයි.

අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී ධජය අතට ගැනීම සම්බන්ධයෙන් කිසිම පාර්ශ්වයක් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත. එය පැහැදිලි ලෙසම සමාජයේ අධිපති මතවාදයට හා අධිපති ආගමික ආයතනයන්ට එරෙහිව යෑමට ඇති බිය හා ශක්තියක් නොමැති බව පෙන්නුම් කරන්නකි. ආගමික ආයතන සමග ගැටුම් ඇතිකර ගැනීම සම්ප්‍රදායි අර්ථයෙන් වියවුලකට මගකි. විශේෂයෙන් ගතානුගතික ආකල්ප මත රැදෙන පසුගාමී දේශපාලකයන් සමාජය සමග ගැටුම් ඇති කර ගැනීම ප්‍රතික්ශේප කරයි. ඊට හේතුව ජනප්‍රිය තරුවක් වී ඡන්ද ලබා ගැනීමට නොහැකිවේ යැයි දක්වන බියයි. අමාත්‍ය එස්බී දිසානායක කාරක සංඝ සභාවෙන් වහා සමාව ගත්තේ එබැවිනි. එහෙත් ඉදිරිගාමී දේශපාලන ව්‍යාපාරයකට සමාජයේ පවතින මෙවැනි පසුගාමී මතයන් සමග හැංගිමුත්තන් සෙල්ලමේ යෙදීමට අයිතියක් නොමැත.

අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාවේ දේශපාලන ප්‍රකාශය පරස්පරයන් හා බෞද්ධ දාර්ශනික ඉගැන්වීම් වලට අනනුකූල බව නොරහසකි. එහෙත් ඒ අනනුකූලතාවන් ඉක්මවා සමාජය තේරුම් ගත යුත්තේ එය සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයේ වෙඩි මුරයක් ලෙස ය. මේ මොහොත තුළ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය දුර්වලව පවතී. එහෙත් අළු යට ගිනි පුපුරු මෙන් එය වහා ඇවිළී පුපුරා යෑමට පවතින විභවය විශාලය.සමාජයේ දේශපාලන හිඩැසක් පවතින අතර ඒ හිඩැස පිරවීමේ ඉල්ලුම සමග මෙවැනි ප්‍රවනතා පිමි වලින් නැගී සිටීම සමාන්‍ය ලක්ෂණයකි. 2020 ජනාධිපතිවරණයට ගෝටාභය රාජපක්ෂගේ සූදානම් වීම සලකා බැලිය යුත්තේ මේ සියල්ල සමග ය.

Shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Malli mage adahasanam me kiyana mathaka wasthra puujawa prathiksepa Karana samaaja mathayak goda naganna one.mamanam pudgalikawa eka karanawa.Gedara ayata kiyala thiyenne mage maranayata eka anawasya bawa .daruwo eka ekage geththo Karanna beri nisa.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.