26 April, 2024

Blog

බණ්ඩාරනායකලා නැති ශ්‍රීලනිප නායකයා යූඑන්පියේ ඩී ඇස්ලා සෙවීම

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

2014 වසරේදී තමා පොදු අපේක්ෂකයා ලෙස එජාපය හා සන්ධාන ගත වන විට බලාපොරොත්තු වූ ඩී.එස් – ඩඩ්ලි සේනානායක මැතිතුමන්ලාගේ එජාපය එහි නැති බව තේරුනේ පසුව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,සේනානායකවරුන් සැමරීම සඳහා සංවිධානය කර තිබූ සමරු උත්සවයක් අමතමින් ප්‍රකාශ කර ඇත. මේ ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් සිදු කරන්නේ එක්සත් ජාතික පක්ෂයත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහත් සමග බරපතල ගැටුම් ඇතිකරගෙන තිබෙන වාතාවරණයක දී ය. එසේම විදේශ ප්‍රතිපත්තිය තුළ සමබරතාව කඩා දමමින් ජනාධිපතිවරයා විසින් ඉන්දියාව සමග ද බරපතල ගැටුමකට යමින් සිටිය දී ය.

ඔහු වරෙක එක්සත් ජාතික පක්ෂයට පදනම් විරහිතව පහර දේ. තවත් වරෙක අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාවට පහර දේ.  තවත් වරෙක රජයේ නිලධාරීන්ට පහර දේ. ඔහු තම ධූරයේ කාලය ගත කරන්නේ කිසියම්ම හෝ කෙනෙකුට සංයමකින් තොර භාෂා ස්වරූපයකින් පහර එල්ල කිරීමෙන් බව දකින්නට ලැබේ. මෙය රාජතාන්ත්‍රික ආචාරශීලී පිළිවෙත් අනුගමනය කරන රාජ්‍ය නායකයකුගේ ස්වරූපය නොවේ.

ජනාධිපතිවරයා විසින් මෙවැනි ගැටුම් සහගත ප්‍රකාශ කරන්නට තල්ලුවීම මුළුමනින්ම ඔහුගේ උපදේශකයන්ගේ වරද ය. නො එසේනම් උපදේශකයන් පවසන කරුණු ජනාධිපතිවරයා විසින් නොතකා හැරීම ය. රටක රාජ්‍ය නායකයා කිසිම වගකීමක් නොමැතිව කටට එන දේ ප්‍රකාශ කිරීම එරටේ ගෞරවය විනාශ කිරීමක් බව ජනාධිපතිවරයා තේරුම් ගත යුතුය.

එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද ආරම්භක පවුරු පදනම් වෙනස් වී බොහෝ කල් ය. එම වෙනසට බරපතල ලෙස බලපෑවේ 1978 ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණයන් ය. එනිසා රටේ ආර්ථිකයේ එතෙක් පැවැති කෘෂිකාර්මික හා කාර්මික අංශයන්ගේ ආංශික දායකත්වය අවම වී සේවා අංශයේ ආංශික දායකත්වය ඉහළ ගියේ ය. එසේම එන නිසා රටේ ආර්ථිකයේ කළු ආර්ථික දායකත්වය 50% ඉක්මවීය. මේ නිසා සමාජ සංස්ථාවේ බරපතල ආකෘතිමය වෙනසක් සිදුවිය.

රටක ආර්ථිකය පාදඩ ක්‍රියාකාරකම් වලින් පිරුණු විට ඒ රටේ සමාජය ක්‍රමය ආචාරශීලී හා සමාජ වටිනාකම් වලින් ඈත් වූ ලක්ෂණ වලින් පිරී යෑම පුදුමයට කරුණක් නොවේ. එනිසා අපරාධ හා නීති විරෝධී ක්‍රියා වලින් පිරුණු සමාජයක් නිර්මාණය වේ. එවිට සමාජ සාර්ධර්ම හා සමාජ වලිනාකම් වලින් යුතු සමාජ නායකයන්ගෙන් පූර්ණ වූ සමාජය අපරාධකරුවන් හා ආචාර ධාර්මික නොවන පිරිස්වල ග්‍රහණයට ලක්වේ. ඩී ඇස්ලා හා ඩඩ්ලිලා සිටි යූඑන්පිය අද නැතයි ජනාධිපතිවරයා කියන්නේ එබැවිනි. එහෙත් ප්‍රශ්නය වන්නේ බණ්ඩාරනායකලා ද අද රටේ නොවීම ය. සමාජය වෙනස් වී ඇත්තේ මුළු එකක් ලෙස නොව  එසේ වී ඇත්තේ ප්‍රතිවාදීයා පමණක් බව ජනාධිපතිවරයා දැකීම ඔහුගේ ළාමකකමයි. බණ්ඩාරනායක ප්‍රතිපත්ති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවීමත් සග, වෙද, ගුරු, ගොවි හා කම්කරු යන පංච මහා බලවේග අහෝසි වී තිබීමත් ජනාධිපතිවරයා නොදකී.

1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් මෙහයවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ බල හවුල රාජ්‍යයේ බලය ලබා ගන්නා තෙක් ශ්‍රීලනිපය දේශපාලන වේදිකාවේ මුල්ලකට වීසිවී තිබුණේ ලෝක දේශපාලනයට එම පක්ෂය සංවේදී නොවූ බැවින් විය හැකිය. විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් ලබාදෙන්නට 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක පොරොන්දුවෙන තෙක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගමන් කළේ රාජ්‍ය කේන්ද්‍ර කර ගත් සුභ සාධනවාදී ආර්ථික දේශපාලන ගමන් මගකය. බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ඇවිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවූයේ අවංකවම එ.ජා.ප.යේ අධිරාජ්‍යවාදී දේශපාලනයට එරෙහිව යැයි කිව නොහැක. එහෙත් ලෝක දේශපාලනයේ ධ්‍රැවීකරණය වී තිබූ හැඩතල අනුව බණ්ඩාරනායකගේ දේශපාලනයට යම් ඉඩක් විවරව තිබුණි. එහෙත් ඒ අවකාශය 1977 වනවිට අවසන්ව තිබූ අතර ඒ වෙනස 1994 දී ශ්‍රී.ල.නි.ප.ය විසින් තේරුම් ගන්නා තෙක් විපක්ෂයට වී සිටීමට සිදුවීම ඓතිහාසිකව වැදගත් ය.

1994 දී බණ්ඩාරනායක ප්‍රතිපත්ති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් කාලානුරූපව ප්‍රතිසංස්කරණය කළ බව ඇත්තකි. එහෙත් ඒ දේශපාලන ප්‍රතිසංස්කරණ ආපිට හරවමින් රාජ්‍යයේ හරය සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී අගුපිළකට කැදවාගෙන ගියේ මහින්ද රාජපක්ෂ විසිනි. 1978 දී එක්සත් ජාතික පක්ෂය විසින් ශක්තිමත් කළ ලූම්පන් ආර්ථිකයෙන් පොහොසතුන් වූ ධනවත් පන්තිය රාජපක්ෂ රෙජීමයේ හේවායන් වුණි. නව ලිබරල් ආර්ථික ක්‍රමයේ නැගෙනහිර ආසියානු මොඩලය ආර්ථිකයේ පදනම වුණි. සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය රෙජීමයේ දෘෂ්ඨිමය ආරක්ෂාව වුණි.

ඒ වටපිටාව තුළ බණ්ඩාරනායක විසින් ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගුපිළ මෙත්‍රීපාල සිරිසේනලාට දි මු ජයරත්නලාට බර්ටි දිසානායකලාට හිමි වුණි. අධිරාජ්‍යවාදී නව ලිබරල්වාදී එක්සත් ජාතික පක්ෂයෙන් ආ ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙලිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන. දුමින්ද සිල්වා, ගාමිණී ලොකුගේ රජ අසුනේ වාඩි කෙරිණි. ශ්‍රී.ල.නි.ප මැද මාවතේ ආ බළල් පැටවුන් වූ මහින්දානන්ද අලුත්ගමගේ, එස්. එම්. චන්ද්‍රසේන, නිමල් ලංසා, ලක්ෂ්මන් පෙරේරා, නිශාන්ත මුතුහෙට්ටිගම රාජපක්ෂගේ සුරතලුන් වුණි.

දේශපාලන රගමඩල මෙලෙසින් දිස්වූ අතර රාජ්‍ය මෙහය වූයේ ඇමෙරිකාවෙන් ආනයනය කළ බැසිල් රාජපක්ෂ හා ගෝටාභය රාජපක්ෂයි. බැසිල් රාජපක්ෂ සියළු ප්‍රතිවාදී පක්ෂ බේදභින්න කරමින් රෙජීමය ස්ථාවර කර ගැනීමට දේශපාලන අංචි ඇද්දේය. ගෝටාභය රාජපක්ෂ රටම ලේ විලක් කරමින් ඒකාධිපතිවාදය ශක්තිමත් කළේය.

අධිරාජ්‍යවාදී නව ලිබරල්වාදී එක්සත් ජාතික පක්ෂය 1978 දී රට පරිවර්තනයකට ලක් කළ අතර එහි වැඩි වාසිය ලබා ගත්තේ රාජපක්ෂ රෙජීමය යැයි කිවොත් එය අසත්‍යයක් නොවේ. ලුම්පන් ආර්ථිකයේ සමාජ තීරුව රෙජීමයේ ආර්ථික ශක්තිය වූ අතර සිංහලබෞද්ධ ජාතිකවාදී පිටපොත්තට මුවා වූ ගෝටාභයගේ ඒකාධිපති හැඩය රෙජීමයේ පාලන ස්වරූපය වුණි. දසවසරකට ආසන්න මහින්ද චින්තන යුගය අවසන් වූයේ මේ ඒකාධිපති ස්වරූපය පුපුරා යෑමෙනි.

ඒ පුපුරා යෑමත් සමග කළු ආර්ථිකයේ ශක්තිමත් ව්‍යාපාරිකයෝ අතර මං වුණි. කොමිස් ආදී වංචා දූෂණ වලින් ඇති දැඩි දේශපාලකයෝ දුප්පත් වුණි. එතෙක් නීතිය නොතකමින් ඒකාධිපති ගති ලක්ෂණ පෙන්වූ සමාජ විරෝධීන් බියෙන් සැලුණි. රෙජීමයට අර්ථයෙන් හා ධර්මයෙන් අනුශාසනා කරමින් පැවැත්ම තහවුරු කර ගත් ලිබරල් මහත්වරු නන්නත්තාර වුණි. ඊට පිළියමක් ලෙස මේ සියල්ලෝම විවිධ ක්‍රම අත්හදා බලමින් “අප්පච්චි සමග යළි නැගිටීමට මාන බැලූහ”. මැතිවරණ දෙකකින් පිට පිට පරාජය වෙද්දීත් බල පෙරේතකම අවසන් නොවුණි.

පක්ෂයක් අර්බූදයට යන්නේ බලය ලබා ගැනීමේ යහපත් ප්‍රතිපත්ති හා යාන්ත්‍රණයක් ද ගාමක බලයක් ද පක්ෂයක් වටා නොවූ විටය. ඒ අර්ථයෙන් 1977 සිට 1994 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බූදයට ගියේය. ඒ අර්බූදයෙන් පක්ෂය ගලවා ගනිමින් ප්‍රතිසංවිධානය දියත් කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායකයි. ඒ ප්‍රතිසංවිධානය පක්ෂයට පමණක් නොව සමාජයට ද ධනාත්මකව වැදගත් වුණි. එහෙත් එය ආපිට හරවමින් පක්ෂය යළි අර්බූදයකට තල්ලු කළේ මහින්ද රාජපක්ෂයි. පක්ෂය බලය දැරූවද එහි මුළුමහත් ක්‍රියාකාරීත්වය රදා පැවතියේ ආඥාදායකත්වය මතය. එසේම නව ලිබරක්වාදයේ නැගෙනහිර ආසියානු මොඩලය ආර්ථික ස්වරූපය වුණි. නීතියක් ක්‍රියාත්මක නොවූ අතර මූල්‍ය වංචා හා දූෂණ රජ කෙරිණි. එම ප්‍රජාතන්ත්‍ර විරෝධී යහපාලන විරෝධී පාලනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බූදයට යැව්වේ නැද්ද?

මේ සියළු විපර්යාසයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිදු වෙද්දී ඒවා කියවා ගැනීමට එම පක්ෂයේ මහ ලේකම් වූ මෛත්‍රීපාල සිරිසේනට නොහැකි විය. දැන් දැන් ඔහු විසින් කියවන නෝක්කාඩු වලින් පැහැදිලි වන්නේ 2015 සමාජ විප්ලවය කරන්නට ඔහු නියමුවා වූයේ කිසිම සමාජ දේශපාලන අවබෝධයකින් නොවන බව ය. ඔහුට රාජපක්ෂවරුන් සමග තිබෙන්නට ඇත්තේ පෞද්ගලික ආරෝවක් විය හැකිය.  රාජපක්ෂවරුන් උපක්‍රමශීලී වී මෛත්‍රීපාල සිරිසේන තම රෙජීමයේ අග්‍රාමාත්‍යවරයා කර ගත්තා නම් මේ අමාරුවක නොවැටී කුඹුරක් බතක් කරගෙන පාඩුවේ පොලොන්නරුවට වී ඉන්නට තිබුණි.  නමුත් ඔහු කර ගසා ඇත්තේ ඔහුට අවබෝධ කර ගන්නට නොහැකි සමාජ වෙනසක් වෙනුවෙනි.

ජනාධිපතිවරයාට  එක්සත් ජාතික පක්ෂයේ හිත හොද තබා ගැනීම කොහොමත් තේරෙන්නේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශක්තිමත් නායකත්වයක් දෙන්නට හැකියාවක් ද නැත. එනිසා ඔහුට රාජ්‍ය නායකයකු ලෙස දෙපයින් නැගී සිටීමට ස්ථානයක් නොපවතී. මේ බරපතල ප්‍රශනය විසින් ඔහුව තල්ලු කරන්නේ අනන්‍යතා අර්බූදයකට ය. ඒ අර්බූදයෙන් ගොඩ ඒමට ජනාධිපතිවරයා කරන්නේ හතර අතට පුස් වෙඩි තැබීමය. එහෙත් එමගින් හානි වන්නේ ඔහුටම ය. සමාජය හාස්‍යයෙන් යුතුව ජනාධිපතිවරයා දෙස බැලීම ඔහුට තේරුම් ගත නොහැකිව ඇත.

ජනාධිපතිවරයාගේ දේශපාලන චරිතය පෞර්ෂවත් වන්නේත් ශක්තිමත් වන්නේත් නොගැලපෙන දේශපාලන සංස්කෘතියක කටයුතු කරන රාජපක්ෂ හා බල අරගලයකට යෑමෙන් නොවේ. ඔහු මේ මොහොතේ කළ යුත්තේ රාජපක්ෂට හෝ වෙනත් ඕනෑම අයකුට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාර දී එම වගකීම අත් හැරීමයි. අනතුරුව ජනවාරි 08 වන දා ජනතා ජයග්‍රහණයට පාදක වූ මහජන සම්මුතිය ක්‍රියාත්මක කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ හා අනෙකුත් ප්‍රගතිශීලී බලවේග සමග ඇති දේශපාලන එකගතාව ශක්තිමත් කර ගැනීමයි. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත් හැරීම කිසියම් හෝ දෝෂදර්ශනයකට මූලික නොවේ. ඔහු පක්ෂය අත් හරින්නේ පක්ෂයට නායකත්වය දීමට වඩා රටට නායකත්වය දීම වඩා වැදගත් වන බැවිනි. 

තමන්ට අවනත නොවන ජරාජීර්ණ වූ ආකල්ප වලින් යුත් පක්ෂය අත් හැර තමන්ට අවනත වන රටට නායකත්වය දීම වඩා ප්‍රශස්ත වන්නේ ය. එවිට රාජපක්ෂට හෝ වෙනයම් අයකුට හෝ අවශ්‍ය පරිදි පක්ෂය මෙහේය විය හැකි අතර ඇති කරගත් දේශපාලන සම්මුතිය මත කටයුතු කරමින් ඉදිරි වසර කිහිපය තුළ රටට නායකත්වය දී ගෞරවනීය මෙහෙවරක් ජනාධිපතිවරයාට සිදු කළ හැකිය. එවිට පක්ෂයෙන් එල්ල වන නරක නාමය අවලංගු වන අතර දේශපාලන සම්මුතිය අනුව කටයුතු කිරීම නිසා සමස්ත රටෙන්ම ගෞරවයක් ලැබේ. පළමු ධූර කාලයෙන් පසු විශ්‍රාම යන්නට සිටින, පළමු ධූර කාලයේ කාල සීමාව පවා වසරකින් කෙටි කර ගත් එසේම සැලකිය යුතු පරිදි විධායක බලය අත් හැරි ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට තැත් කිරීම අර්ථ විරහිත වන්නේ එබැවිනි.

මේ මොහොත වනවිට ජනාධිපතිපතිවරයාට මෙන්ම අග්‍රාමාත්‍යවරයාට ද තමන් සමාජය සමග එළඹි දේශපාලන සම්මුතිය අමතක වෙමින් තිබේ. ඒ නිසා ඒ දෙදෙනාම ශක්තිමත් කරන්නේ තම තමන්ගේ පක්ෂ කාඩරයන් ය. ආමන්ත්‍රණය කරන්නේ තම තමන්ගේ පක්ෂ කාඩරයන්ට ය, එහෙත් ඒ හා සමාන්තරව මේ දෙදෙනාම සමාජයේ විසුළුවට ලක්වන්නේ ජනාධිපතිවරණයේ දී මේ දෙදෙනාම සමාජය සමග එළඹි සම්මුතිය අමතක කරන බැවිනි.

ප්‍රධාන පක්ෂ දෙකෙන් සමන්විත ජාතික ආණ්ඩුවක දේශපාලන සංස්කෘතිය අපේ රටට නුහුරු අත්දැකීමකි. මේ වනවිටත් පවතින හවුල් ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් බවට පරිවර්ථනය වී නැත්තේ එබැවිනි. ජාතික ආණ්ඩුවක් ඇති කර ගන්නේ දෙපාර්ශ්වයක් හෝ ඊට වැඩි ගණනක් හෝ එකග වන පොදු කරුණු මත පිහිටුවමිනි. එවිට එකග නොවන කරුණු ඉස්මත්තට ගන්නේ නැත. එහෙත් මේ හවුල් ආණ්ඩුවේ දෙපාර්ශ්වයම ඉස්මත්තට ගන්නේ එකග නොවන කරුණුමය. විවේචනය කරන්නේම අනෙකාය. එබැවින් මේ හවුල් ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් බවට පරිවර්තනය වීම උගහට ය.

පක්ෂ දේශපාලනය ශක්තිමත් කිරීමේ සම්ප්‍රදායි ආකල්ප වලින් මේ මොහොත තුළ වෙනස් විය යුතු අතර ප්‍රධාන පක්ෂ දෙකේ එකගතාවකින් යුතු ජාතික ආණ්ඩුවක් ඇති කර ගැනීම සදහා දේශපාලන සම්මුතිය ශක්තිමත් කර ගත යුතුය. ඒ ජාතික ආණ්ඩු කාලය තුළ රටේ ප්‍රධාන ප්‍රශ්න සදහා විසදුම් සම්බන්ධයෙන් එකගතාවකට ආ යුතු අතර එකගවිය හැකි කරුණු මත පමණක් පිහිටමින් සම්මුතියකින් කටයුතු කළ යුතුය.අපේ සමාජයට ජාතික ආණ්ඩු අලුත් අත්දැකීමක් නිසා ඒ නුහුරු සංස්කෘතියට ඇති බාධා ඉවත් කර ගැනීම නායකයන්ගේ මැදිහත්වීම මත විය යුතුය.

ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට අභ්‍යන්තර විවේචකයකු ලෙස ජනාධිපතිවරයා මැදිහත්වීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් එය කළ යුත්තේ වගකීම් විරහිතව කටට එන විවේචන සිදු කිරීමෙන් නොවේ. උදාහරණයකට එක්සත් ජාතික පක්ෂයේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය තුලනය කර ගැනීමට ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අවශ්‍ය ය. එහෙත් එය ඔහු විසින් කළ යුත්තේ හුදකලාව නොවේ. ඒ සදහා ඔහු බුද්ධි මණ්ඩලයක් ඇති කර ගත යුතුය. ආර්ථික විෂයේ බුද්ධිමතුන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩයක් හරහා ජනාධිපතිවරයා ක්‍රියාකාරී වන්නේ නම් ආණ්ඩුවේ ආර්ථික ප්‍රවේශයන් යහපත් ලෙස ප්‍රතිසංස්කරණය කර ගැනීමට ජනාධිපතිවරයාට හැකි වන්නේ ය.

තමන්ටම ආවේනික දේශපාලන පෞර්ෂයකින් රටට නායකත්වය දී විශ්‍රාම යෑමට ජනාධිපතිවරයා අදහස් කරන්නේ නම් ඔහු විසින් නායකත්වය දිය යුත්තේ මෙවැනි ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්න විසදා ගැනීමට ය. බලය අත්හරින්නට කතා කළ එසේම හැකි තරම් බලය අත් හැරි අයකු වඩා සමීප විය යුත්තේ රටේ අභිලාශයන්ට ය. එසේ වන්නේ නම් ජනාධිපතිවරයා බලයට ගෙනා බලවේග හමුවේ හාස්‍යයට ලක් නොවී ගෞරවනීය පෞර්ෂයක් ඔහුට තහවුරු කර ගත හැක. 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.