13 February, 2025

Blog

හෙට එච්චර කළුවර නෑ

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

විධායක ජනාධිපති ධූරය සදහා පුද්ගලයකු තෝරා පත් කර ගැනීමට පැවැත්විය යුතු අට වැනි ජනාධිපතිවරණය තවත් හරියටම අවුරුදු එකහමාරකින් පැවැත්විය යුතුව තිබේ. ඒ සදහා පක්ෂ විපක්ෂ දේශපාලන කණ්ඩායම් තමන්ගේ අපේක්ෂකයන් ගැන ඉගි බිගි පාද්දී ඒ සම්බන්ධයෙන් විදේශ රටවල අභිලාශයන් ද පෙන්නුම් කරන අන්දම දකින්නට ලැබේ. 

පසුගිය 26 දා අගහරුවාදා නිකුත් වූ “නිව්යෝක් ටයිම්ස්” පුවත් පත ගවේෂණාත්මක වාර්තාවක් පළ කරමින් පැවසුවේ මහජන චීන සමූහාණ්ඩුව වීසින් හම්බන්තොට වරාය ඉදි කිරීම සදහා ණය මුදල් ලබාදීමේ දී   මැතිවරණ ව්‍යාපාරය සදහා අවශ්‍ය සුවිශාල මුදලක් ද මහජන චීනය විසින් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දී ඇති බවයි. නිව්යෝක් ටයිම්ස් පුවත්පත විසින් රාජපක්ෂ පවුලට එල්ල කරන ලද ප්‍රහාරය නිසා ඔවුන් කිස්කෑමට ලක්ව ඇති නිසාදෝ මේ වනතුරුත් ඒ සම්බන්ධයෙන් තම මතය ප්‍රකාශ කිරීමට රාජපක්ෂවරු එඩිතර වී නොමැත. 

මීට සති දෙකකට පමණ කලින් ද රාජපක්ෂ පවුලේ දේශපාලනයට විශාල බාධාවක් ඇමෙරිකන් එක්සත් ජනපදයෙන් එල්ල විය. ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ හිටපු එක්සත් ජනපද තානාපතිවරයා තම නිල කාලය අවසන් කරමින් සිය රට බලා යෑමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට ගියේ ය. එහිදී ඔහු ඇමතූ තනාපතිවරයා පවසා ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපතිවරයා බවට පත්වීම එක්සත් ජනපදයේ හෝ බටහිර රටවල අභිලාශය නොවන බවයි. 

 එක්සත් ජනපදයේ භූ දේශපාලන අවශ්‍යතා

මේ බව අනාවරණය කළේ හිටපු ජනාධිපතිවරයාගේ සමීප මිත්‍රයකු විසින් යාපනයේ පවත්වාගෙන යන දෙමළ පුවත් පතක් මගිනි. එක්සත් ජනපද තානාපතිවරයා එසේ නොපැවසූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පසුව නිකුත් කරන ලද නිවේදනයකින් ප්‍රකාශ කළේ ය. එහෙත් ඊට බර තබා විරෝධය පැමක් ඔහු විසින් නොකරන ලදි. ඇමෙරිකන් එක්සත් ජනපදය විසින් ද තම තානාපතිවරයා එලෙස ප්‍රකාශ නොකරන ලදැයි  කීවේ නැත.

ආන්තීකරණයට ලක්වූ රටවල දේශපාලන තීන්දු තීරණ ගැනීමේ ලා ප්‍රබල වන්නේ කේන්ද්‍රයේ රටවල අභිලාශයන් ය. ලෝකය දෙපසකට බෙදී සටන් කළ  ශීතල යුද්දය පැවැති අවධියේ ද ආර්ථික බ්ලොක්  ලෙස ආකෘති ගත වෙමින් සිටින අවධියේ ද ලෝක දේශපාලනය තීරණය වන්නේ එසේ ය. එම යථාර්තයට පිටු පාන්නට ශ්‍රී ලංකාවට ද නොහැකි ය. 2004, 2005, 2010 හා 2015 වර්ෂයන්වල ශ්‍රී ලංකාවේ පැවැති තීරණාත්මක මැතිවරණ අවස්ථාවන්හි දී ලෝක භූ දේශපාලන අවශ්‍යතා, ජාතික දේශපාලනයේ අභිලාශයන්ට සමාන්තර ගතව පිහිටන ලදි. ශ්‍රී ලංකා දේශපාලනයේ විය යුතු පරිවර්තන මොනවාදැයි ජාත්‍යන්තරව හදුනාගෙන තිබුණි. ඒ හදුනා ගැනීම් ජාතික දේශපාලනය තුළ ද අනුමත විය. එය 2019 වර්ෂයට අදාළ නොවන්නේ යැයි කිසිවකුට පැවසිය නොහැක.

2019 ජනාධිපතිවරණය ඉලක්ක කොට රාජපක්ෂවරුන්ගේ අපේක්ෂකයා කව්දැයි තාම නිශ්චිතව ප්‍රකාශ කර නොමැත. එහෙත් එම දේශපාලන බලවේගයේ වාම හා ප්‍රජාතාන්ත්‍රික කොටස් වල විරෝධය මධ්‍යයේ අපේක්ෂකත්වයට හිටපු ආරක්ෂක ලේකම්වරයා තෝරා ගන්නට සමහරු උත්සාහ දරති. එම උත්සාහය තුළ ගෝඨාභය රාජපක්ෂගේ ද කැමැත්ත පවතී. ගෝඨාභය රාජපක්ෂ වටා බල මුළු ගැන්වී ඇත්තේ මුළුමනින්ම යුදවාදී විශ්‍රාම ගත් මිලිටරි නායකයන් ය. වර්ගවාදී දේශපාලන නායකයන් ය. ඒ බලමුළු ගැන්වීමට විධායක ජනාධිපති බලය ලැබෙනවාට අකැමැතිව ඇත්තේ වාසුදේව නානායක්කාර වැන්නන් පමණක් නොවේ. ඒ අතර දයාන් ජයතිලක ද සිටී. කුමාර් වෙල්ගම වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පතාක යෝධයන් ද සිටී. ඇමෙරිකන් එක්සත් ජනපදය හා බටහිර ඈලිය ද ඒ ගොඩට එකතු වෙන ලකුණු දැනටමත් පෙන්නුම් කර තිබේ. ජාත්‍යන්තර දේශපාලන අවකාශය මෙන්ම ජාතික දේශපාලන අවකාශය ද ධ්‍රැවීකරණය වෙමින් පවතින්නේ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ය.

සිංහලබෞද්ධ මහජන අභිලාශය හා ගෝඨා

සිංහලබෞද්ධ ජනතාවගෙන් 60%ක් පමණ නියෝජනය කරන්නේ රාජපක්ෂ දේශපාලනය විසින් ය. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ශක්තිමත් නියෝජනයක් සිංහලබෞද්ධ ප්‍රදේශයන්හි දී ශ්‍රී ලංකා පොදු ජන පක්ෂයට ලැබුනේ එබැවිනි. සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී ජන කොටස් වල වැඩි කැමැත්ත ඇත්තේ ගෝඨාභය රාජපක්ෂට ය. ජනාධිපතිවරණයක දී තම අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂට වඩා ගෝඨාභය රාජපක්ෂව තදින් වැළද ගැනීමට සිංහලබෞද්ධ ස්වෝත්තමවාදීහු කැමැති ය.

එහෙත් ගැටළුව පැන නගින්නේ දෙමළ හා මුස්ලිම් ජන කොටස් වල කැමැත්ත විමසීමේ දී ය. දස වසරකට ආසන්න රාජපක්ෂ පාලනය තුළ  උපයා ගත් වටිනාකම් අනුව රාජපක්ෂවරු සිංහලබෞද්ධ නොවන ජන කොටස් අතර බෙහෙවින් ප්‍රතික්ශේපිත ය. ඉෆ්තාර් උත්සව වලට සහභාගීවෙමින් මුස්ලිම් ප්‍රජාව දිනා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ සමත්වේ යැයි කිව හැකි වුවත් දෙමළ ප්‍රජාව දිනා ගැනීම නම් මේ සම්ම ජාතියේ ගෝඨාභය රාජපක්ෂට කළ නොහැක.

සිංහලබෞද්ධ නොවන ජන කොටස් ගෝඨාභය රාජපක්ෂ කරා පමණක් නොව මේ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන පඹයකු කරා වුවද තල්ලු කරන බලවේගය වන්නේ වත්මන් සම්මුතික ආණ්ඩුවයි. ආණ්ඩුවට ඇති මහජන අප්‍රසාදය හොදින්ම ප්‍රදර්ශනය වූයේ පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ය. එහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කළේ  ආණ්ඩුවේ මහජන අප්‍රසාදය නිසා මිස රාජපක්ෂවරුන්ගේ දක්ෂතාව නිසා නොවේ. 2015 දී ශක්තිමත් වූ මහජන අභිලාශ මත සම්මුතික ආණ්ඩුව කටයුතු කළා නම් රාජපක්ෂවරුන්ට නැවත දේශපාලන ගැම්මක් ඇති වන්නේ නැත. එහෙත් වඩා තීරණාත්මක වන්නේ ජාතික රාජ්‍ය සීමාව තුළ දේශපාලන සාධක නොවේ. සමහරවිට ඒවා නිර්මාණය කරන්නේ ද බලවත් රටවල භූ දේශපාලන අවශ්‍යතාවන් විසිනි. 

කලක් ඇමෙරිකන් එක්සත් ජනපදය හා බටහිර ඈලියත්, ඉන්දියාවත්, මහජන චීනයත් රාජපක්ෂවරුන් ආරක්ෂා කළහ. එසේ වූයේ ඔවුන්ගේ එකිනෙකට වෙනස් භූ දේශපාලන අභිලාශයන් සමමිතික වූ බැවිනි. ප්‍රාග්ධනයේ නිදහස් සංසරණයට බාධාවක් වූ කොටි සංවිධානය මුළුනුපුටා දැමීම සදහා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ඈලියට රාජපක්ෂව්‍රෞ අවශ්‍ය විය. ඒ නයින්  ඉන්දියාව ද එක්සත් ජනපදයට සහාය විය. මහජන චීනයට වෙනමම න්‍යාය පත්‍රයක් තිබූ අතර එය සාර්ථක කර ගැනීම සදහා ඔවුන්ට ද රාජපක්ෂවරුන් අවශ්‍ය විය. නමුත් මේ වනවිට තම න්‍යාය පත්‍රය සාර්ථක කර ගැනීමට තිබෙන්නේ මහජන චීනයට පමණි.

දකුණු ඉන්දීය කලාපය තුළ මහජන චීනයේ දේශපාලන හැසිරීම් ඉන්දියාවට පමණක් නොව එක්සත් ජනපදයට ද ඉවසන්නට නොහැක. එක් අතකින් මාලදිවයින් රාජ්‍යයේ කටයුතු වලට මැදිහත්වන මහජන චීනය අනෙක් අතින් ශ්‍රී ලංකාවේ කටයුතු වලට ද මැදිහත් වේ. මෙය ඝෘජුවම තමන්ගේ ජාතික ආරක්ෂාවට බරපතල තත්ත්වයක් බව ඉන්දියාව දනී. ශ්‍රී ලංකාවේ හා මාල දිවයිනේ මහජන චීන අත් පෙවීම් ගැන ඉන්දියාව සිටින්නේ නොසතුටිනි. එක්සත් ජනපදයටත් මහජන චීනයේ තටු කැපිය යුතුව ඇත. ඒ තත්ත්වය තුළ මහජන චීන අභිලාශයන්ට ඉඩ දෙන දේශපලන බලයක් ශ්‍රී ලංකා රාජ්‍ය හසුරවන්නට යැම ගැන ඉන්දියාවත්, එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ඈලියත් කැමැති වන්නට කොහෙත්ම ඉඩක් නොපවතී.

ගෝඨාකළ යුත්තේ කුමක් ?

සිංහලබෞද්ධ දකුණ ඉල්ලා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ නිසා ඔහු බලයට පත් වන්නට ඉඩ හැර එහි ප්‍රති විපාක සිංහලබෞද්ධ දකුණට ප්‍රායෝගිකව තේරුම් ගන්නට ඉඩ හැරිය යුතු බව උපක්‍රමකික අදහසකි.  කලින් කීවාක් මෙන් ගෝඨාභය රාජපක්ෂගේ රාජ්‍ය මෙහේයවීමේ දේශපාලන දෘෂ්ටිය සකස් වී ඇත්තේත් සකස් වන්නේත්  ඒකාධිපති හා වර්ගවාදී මූලයන් මත බව දැනට පවතින මූලාශ්‍ර අනුව සහතික වේ.  ඔහුගේ ඉදිරි දේශපාලනය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී දස වසරක රාජපක්ෂ පාලනය අමතක කළ නොහැක. එහෙත් උදා වන්නා වූ දේශපාලන අවකාශය මත පැරණි අභිරුචීන් වෙනස් වන්නට පවතින්නේ ද ලොකු ඉඩ කඩකි. 

වියත් මග සමුළුව පවත්වමින් කරන ලද ෂැංගිලා ප්‍රාකශය අනුව ඔහු මුළුමනින්ම පදනම් වන්නේ ගෝලීය ප්‍රාග්ධන අවශ්‍යතා මත ය. එය කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ක්‍රමයට පරස්පරව යෑමක් නොවේ. එහෙත් ඔහුගේ දේශපාලන දෘෂ්ටිය ලිබරල් ප්‍රජාතාන්ත්‍රික වේ යැයි කිසිම සහතිකයක් නොමැත. උත්ප්‍රේණය වන්නා වූ දේශපාලන තත්ත්වයන් සමග ලිබරල් ප්‍රජාත්න්ත්‍රවාදී දැක්මකට ගෝඨාභය රාජපක්ෂ එකග වුවත් ඔහු සමග සිටින දේශපාලන බලවේගයන්ගෙන් ලැබෙන වරම එවැන්නක් නියෝජනය කිරීමට ඔහුට ඉඩක් ලබා නොදේ.

ඒ තත්ත්වය තුළ ආර්ථික උත්ප්‍රේණයක් ලබා දී දකුණේ ඇස් ගිනිකන වැට්ටවීමට ගෝඨාභයට හැකි වුවද  සිංහලබෞද්ධ නොවන ජන කොටස් ශ්‍රී ලංකා රාජ්‍යය තුළ ඒකමිතිකව තබා ගැනීමට ඔහුට අපහසු වේ. ඒ තත්ත්වය උතුරේ දෙමළ දේශපාලනයට අලුත් වටයකින් සිතන්නට අවකාශයක් නිර්මාණය කරන අතර ඒ තුළ දෙමළ උතුර ගෝඨාභයගේ දේශපාලනය සමග ගනුදෙනු බේරා ගැනීමට යෑම අනිවාර්යය. ඒ උදාවන අලුත් දේශපාලන අවකාශය තුළ ගෝඨාභය රාජපක්ෂට දේශපාලන විකල්පයක් නොමැති බව සිංහලබෞද්ධ දකුණ විසින් තේරුම් ගනීවිය යන්න ඒ උපක්‍රමික බලාපොරුත්තුවයි.

මේ උපක්‍රමික දේශපාලන බලාපොරොත්තු ඉෂ්ඨ වන විට උතුරේ දෙමළ ජනතාව තුළ පමණක් නොව දකුණේ සිංහලබෞද්ධ ජනතාව තුළ ද පදමට මිනිස් රුධිරය හා මාංශ අළෙවි වන බව රහසක් නොවේ.  ඒ රුධිරය හා මාංශ අළෙවි වීමම ගෝඨාභයගේ දේශපාලනයේ පසුබෑමක් බව ඇත්තකි. එහෙත් මේ මහා දේශපාලන සත්‍යය සමාජයට ඔප්පු කරන්නට නම් අති විශාල වන්දියක් ගෙවිය යුතුය. එවැනි විනාශකාරී අත්හදා බැලීමක් කරන්නට රට තල්ලු කිරීම පතුලක් නොපෙනෙන අගාධයක් කරා සමස්ත සමාජයම තල්ලු කිරීමකි.

ගෝඨාභය රාජපක්ෂට සිංහලබෞද්ධ දකුණ තුළ ලොකු ශක්තියක් ඇතැයි කීවත් එම ශක්තිය ගොඩනැගෙන්නේ සමස්ත ආණ්ඩු විරෝධය මතින්ම නොවේ. ආණ්ඩු විරෝධී වුවත් ගෝඨාභයගේ ඒකාධිපති අශ්ලීල පාලන ක්‍රමයට එරෙහි ජන කොටසක් ස්ථිරවම සිටී. සමාජයේ පන්තිමය බෙදීම තුළ පාදඩ ස්ථරය ගෝඨාභයට එකග වුවත් ශිෂ්ඨ සම්පන්න ජන කොටස ගෝඨාභයගේ දේශපාලනයට එකග වන්නේ නැත. වාසුදේව නානායක්කාරගෙන්, ආචාර්ය දයාන් ජයතිලකගෙන් මෙන්ම කුමාර් වෙල්ගමගෙන් ද ප්‍රකාශ වන්නේ ඒ සමාජ කොටසේ අභිලාශයයි. 

කළහකාරී හා අන් ජන කොටස් පීඩනයට පත් කිරීම අශ්ලීල බව දේශපාලන පදනමක් සහිත අදහසකි. ඒ සදහා ජන පදනමක් මෙන්ම ජන මූලයක් ද පවතී. 1994 දී  හා 2015 දී ශක්තිමත් වූයේ එම ජන පදනමයි. වෙනත් වෙනත් දේශපලාන කාරණා මත එම ජන කොටස 1999 දී, 2004 දී, 2005 දී සී සීකඩව ගිය ද වෙනත් සමජ දේශපාලන බේදීම් තුළ ඛණ්ඩනීය වුවද එවැනි ප්‍රජාතන්ත්‍රවාදී හා වාමවාදී අදහස් වලට ගරු කරන ජන කොටසක් සමාජය තුළ පවතී.  මහින්ද රාජපක්ෂ තම පාලනය තුළ උපරිමයක සිටි 2014 වර්ෂයේ දී පවා එම සමාජ තීරුව ශක්තිමත්ව හා ජයග්‍රාහීව බලමුළු ගන්වා ගැනීමට හැකිවූවා නම් මෙවැනි අවස්ථාවක එම ජන කොටස ආමන්ත්‍රණය කර ජව සම්පන්න කිරීම එතරම් අපහසු ක්‍රියාවක් නොවේ.

බොහෝ අය රාජපක්ෂ දේශපාලනයට විකල්පයන් සොයන්නේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී අදහස් පද්ධතිය තුළම ය. එහෙත් සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී අදහස් පද්ධතිය වටා ඒකරාශී වන ජන කොටසට රාජපක්ෂලාගෙන් තොර විකල්පයක් අවශ්‍ය නොවේ. ඊට හේතුව සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයට හොදම නායකත්වය රාජපක්ෂලා ලබාදෙන බැවිනි. එබැවින් රාජපක්ෂ දේශපාලනයට විකල්පයක් සෙවිය යුත්තේ මුළුමනින්ම සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී අදහස් පද්ධතියට හා ඊට එකග සමාජ කොටස් වලට බාහිරව ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ ආපේක්ෂකයකු වන්නේ නම් ඔහුගේ ප්‍රතිවාදියා ජය ලබන්නේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයට මුළුමනින්ම බාහිර සමාජ විඥාණයක් තුළ ය. 

විකල්පය කුමක් ?

ඒ සමාජ විඥාණය ශක්තිමත්ව වැඩෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී හා වාම හැඩරුවක් සහිතව ය. පෙර කී පරිදිම 1994 දී, 2015 දී රාජ්‍යයේ දේශපාලනය සම්බන්ධයෙන් ශක්තිමත් තීරණ ගත්තේ එම ජන කොටසයි.  එම සමාජ තීරුව ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් නිදහස හා අනෙකාගේ පැවැත්ම පිළිගන්නා උත්තරීතර අදහස් වලින් පෝෂිත ය. එම ජන කොටස දෘෂ්ටිවාදීව පෝෂණය කර ශක්තිමත් කිරීම ඉතා පහසුවෙන් කළ හැකිය. එමෙන්ම අළෙවිකරණ මෙහෙයුමකින් පසුව ඒ ජන කොටසට දේශපාලන අභිලාශයන් සම්බන්ධයෙන් සවිඥාණික අදහසක් ලබාදිය හැකිය.

සිංහලබෞද්ධ සමාජය තීරුව තුළ ප්‍රජාතන්ත්‍රවාදීව සිතන පතන ජන කොටසක් සිටීම දෙමළ හා මුස්ලිම් ජන කොටස ආලෝලනයට පත් කරන කාරණාවකි.  සිංහලබෞද්ධ නොවන ප්‍රදේශ වලින් 75% ඉක්මවන ඡන්ද පදනමක් 2015 ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයාට ලැබෙන විට සිංහලබෞද්ධ ප්‍රදේශ වලින් 40%ක පමණ ඡන්ද පදනමක් නොලැබෙන්නට පොදු අපේක්ෂකයා ජයග්‍රහණය නොකරන්නට ඉඩ තිබුණි. එහෙත් ඒසා විසාල රාජ්‍ය බලයක් හමුවේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළේ සියළු ජන කොටස් වල ප්‍රජාතන්ත්‍රවාදී මූලයන් ශක්තිමත්වීමෙනි.

2019 වනවිට දේශපාලන අවකාශය වෙනස් අන්දමකින් ධ්‍රැවීකරණය වී ඇත. සම්මුතික ආණ්ඩුවේ අඥාණ තීන්දු තීරණ නිසා සිංහල සමාජයේ ප්‍රජාතන්ත්‍රික ජන කොටස පමණ්ක නොව මුස්ලිම් හා දෙමළ ජන කොටස ද වික්ෂිප්තව සිටී. පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රථිඵල වලින් පෙන්නුම් කළේ එම කළකිරීමයි. එම සමාජ තීරුව ආර්ථික කරුණු මතම ගෝඨාභයගේ දේශපාලනය වටා එක් රොක් වන්නේ නැත. එහෙත් එම ජන කොටස රැවටිය නොහැක.එය තේරුම් ගන්නේ නම් 2019 ජනාධිපතිවරණයේ දී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අභිලාශයන්ට ජයග්‍රහණයක් ලබා ගැනීම දුෂ්කර කරුණක් නොවන බව පැහැදිලි ය. 

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.