18 November, 2018

Blog

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පලවී ඇති චෝදනා

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

පසුගිය සඳුදා “චීනය ලංකාවෙන් වරායක් ලබා ගත් හැටි” යන මැයෙන් ලිපියක් ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පලවිය. අපගේ විරුද්ධවාදීන් පසුගිය දින ගණනාව පුරාම  මේ ලිපිය අලලා මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිලි ඉදිරිපත් කිරීම, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම හා ජනාධිපති විමර්ශන කොමිසම් ඉල්ලා සිටින ආකාරය අපි දුටුවෙමු. මෙකී නිව්යෝක් ටයිම්ස් ලිපියේ තිබුණු ප්‍රධාන චෝදනාව වූයේ 2015 ජනවාරි ජනාධිපතිවරණයේ වියදම් සඳහා චයිනා හාබර් සමාගම විසින් මට ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක මුදලක් ලබාදුන් බවයි. මේ චෝදනාව සැබවින්ම පදනම් වී තිබුණේ මීට අවුරුදු තුනකට පෙර 2015 ජුලි මාසයේදී රොයිටර් පුවත් සේවය විසින් පල කරන ලද ප්‍රවෘත්තියක් මතය. ඒ රොයිටර් වාර්තාව පල වන විට අලුතෙන් බලයට පැමිණ සිටි යහපාලන ආණ්ඩුව ලංකාව තුළ චීන ණය පහසුකම් යටතේ ක්‍රියාත්මක වෙමින් තිබූ සියලුම ව්‍යාපෘති  අත්හිටුවා, කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ නිරතව සිටි චයිනා හාබර් සමාගම ඇතුළු ලංකාවේ ක්‍රියාත්මක වූ සියලුම චීන සමාගම් වල ලියවිලි සහ ගනුදෙනු විමර්ශනයට ලක් කරමින් සිටියේය. අවුරුදු එක හමාරක පමණ විමර්ශනයකින් පසු කිසිදු වැරදි ගනුදෙනුවක් සොයාගත්තේ නැති තැන, වත්මන් ආණ්ඩුව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැවත වතාවත් චයිනා හාබර් සමාගමට ලබාදෙන ලදී.

චයිනා හාබර් සමාගම මාගේ 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා කිසිදු මුදලක් පරිත්‍යාග කලේ නැත. මගේ ‘සගයන්’ හා ‘මැතිවරණ ව්‍යාපාරයේ නියැලෙන්නන්ට’ එම මුදල් ලබා දී ඇති බවත්, ‘ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අය’ විසින් අදාල චෙක්පත් අරලිය ගහ මන්දිරයට ගෙනගොස් දුන් බවත් කීවද, නිව්යෝක් ටයිම්ස් පුවත්පත මේ මුදල් හරියටම ගත්තේ කවුද, දුන්නේ කවුද යන කාරණා සම්බන්ධයෙන් සිතා මතාම අපහැදිලි වදන් භාවිතා කොට ඇත. මෙය වගකීමක් නොගෙන මඩ ගැසීමේ ක්‍රමයක් හැටියට අපි දකිමු. කොළඹ වරාය ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව බලාපොරොත්තු තබාගෙන සිටින ප්‍රධානම ව්‍යාපෘතිය බව වත්මන් අගමැතිවරයාද පවසා තිබේ. චයිනා හාබර් සමාගම විසින් මගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් යොදවා තිබුණේ නම් ඔවුන්ට කිසි දිනක වරාය නගර ව්‍යාපෘතිය නැවත නොලැබෙන අතර හම්බන්තොට වරාය බදු ගැනීමට ලංසු ඉදිරිපත් කිරීමටද ඉඩ නොලැබෙනු ඇත. නිව්යෝක් ටයිම්ස් ලිපියේ ඇතැම් කරුනු ඔවුන් ලබාගත්තේ ‘ආණ්ඩුවේ විමර්ශනයකින්’ බව එහි සඳහන් වේ. මේ ආණ්ඩුව බලයට පත් වූ මොහොතේ සිට විපක්‍ෂයට මඩ ගැසීම හැරුණු විට වෙන කිසිවක් කර නැති බව සෑම ශ්‍රී ලාංකිකයෙකුම හොදින් දනී.  

නිව්යෝක්ස් ටයිම්ස් ලිපියේ චීනයට එල්ල කර ඇති තවත් බරපතල චෝදනාවක් වන්නේ මේ වරාය සාර්ථක නොවන බවට සියලුම ශක්‍යතා වාර්තාවල සඳහන්ව තිබියදීත්, ශ්‍රී ලංකාව ණය උගුලක හසුකර ගැනීම සඳහාම චීනය හම්බන්තොට වරාය ව්‍යාපෘතියට මුදල් යෙදවූ බවයි. මෙහි කිසඳු සත්‍යතාවයක් නැත. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ පළමු ආණ්ඩු කාලය තුළ හම්බන්තොට වරාය සඳහා ශක්‍යතා අධ්‍යනයක් කිරීමට ලෝකයේ ප්‍රධාන පෙලේ ඉංජිනේරු උපදේශන සමාගමක් වෙන ඩෙන්මාර්කයේ ‘රැම්බෝල්’ සමාගම යෙදවීමට සිටියද එය පටන් ගැනීමට පෙර එම ආණ්ඩුව පෙරලුණි. ඉන් පසුව බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කැනඩාවේ ‘එස්.එන්.සී ලාවලින්’ සමාගම යොදවා මේ වරාය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කල අතර, එහි වාර්තාව 2003 ජුනි මාසයේදී නිකුත් විය. ඉන්පසු 2004 දී දෙවනි චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව යටතේ මංගල සමරවීර ඇමතිවරයා මේ වරාය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට නැවත වතාවක් ඩෙන්මාර්කයේ ‘රැම්බෝල්’ සමාගම යොදවනු ලැබූ අතර ඔවුන්ගේ වාර්තාව 2007 දී සම්පූර්ණ කරන ලදී. ඒ අනුව වෙනස් ආණ්ඩු දෙකක් යටතේ කරන ලද ශක්‍යතා අධ්‍යයන දෙකක් විසින් හම්බන්තොට වරාය ඉදිකිරීම නිර්දේශ කොට තිබුණි.

හම්බන්තොට වරායේ අදියර I සහ II හා තෙල් ටැංකි සංකීර්ණය යන සියල්ල ඉදි කිරීම සඳහා ගත් මුලු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,322 ක් පමණ වේ. මෙහි මුල් ඇ.ඩො. මිලියන 307 කලින් සහනදායි පොලියට ලබාගෙන, ඉන්පසු වසරකට 6.3%ක නිශ්චිත පොලියක් හැටියට වෙනස් කල බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත චෝදනා කර ඇත. ඔවුන් මෙයින් අදහස් කලේ ඒ අකාරයට පොලිය වෙනස් කිරීම පසුපස කුමක් හෝ අක්‍රමිකතාවයක් තිබෙන බවයි. නමුත් එහිදී සැබවින්ම සිදුවූයේ එම මුල් ණය මුදල ‘ලයිබෝ’ දර්ශයකට අමතරව තවත් 0.75% ක් යන පදනම යටතේ ලබාගෙන තිබීමත්, ඒ කාලයේදී ජාත්‍යන්තර බැංකු අතර ගනුදෙනු සිදු වෙන පොලී අනුපාතය වන ලයිබෝ දර්ශකය සීඝ්‍රයෙන් ඉහල ගොස්, එම මුල් ණය මුදලේ සැබෑ පොලී අනුපාතය 6.5% දකාවා වැඩිවීම හේතුවෙන් තවදුරටත් එය වැඩි වීම වැලැක්වීමට 6.3%ක නිශ්චිත පොලියක් හැටියට නැවත කතිකාකර ගැනීමයි. නමුත් හම්බන්තොට වරාය සඳහා ඉතිරි ඇ.ඩො. මිලියන 1,000 ගෙන ඇත්තේ 2% සහනදායි පොලියටය. 

මීට වඩා අඩු පොලියකට වෙනත් රටකින් ණය ගැනීමට තිබුණ බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත කීවද, ව්‍යාපෘති ණය ගැනීමේදී සැලකිල්ලට ගනු ලබන එකම නිර්නායකය වන්නේ පොලී අනුපාතය නොවේ. මෙවැනි ද්විපාර්ශවික ගනුදෙනු වලදී ණය ලබාදෙන රට විසින් කොන්ත්‍රාත් කරුවාද නිර්දේශ කරන අතර කොන්ත්‍රාත්කරුවා ඉල්ලන මුදලද මෙහිදී සැලකිල්ලට ගතයුතු වේ. ඒ අනුව ලංකාවට වඩාත්මක වාසිදායක වූයේ චීනය සමඟ ඒ ගනුදෙනුව සිදු කිරීමයි. ‘රැම්බෝල්’ හා ‘එස්.එන්.සී ලාවලින්’ යන සමාගම් දෙකේම ශක්‍යතා අධ්‍යයන වල සඳහන් වූ ඇස්මේන්තු වලට වඩා අඩු මුදලකට හම්බන්තොට වරාය ඉදිකිරීමට අපට හැකි වූ බව මෙහිදී විශේෂයෙන්ම සැලකිය යුතුය. 

2012 දී කොළඹ වරායට නැව් 3,667 ක් පැමිණෙන විට හම්බන්තොට වරායට පැමිණියේ නැව් 32 ක් නිසා එම වරාය අසාර්තක ව්‍යාපෘතියක් යැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසා ඇත. නමුත් හම්බන්තොට වරායට පැමිණෙන නැව් ගණන 2014 වන විට 335 දක්වා වැඩිවී තිබුණ බව එම ලිපියේ සඳහන් කොට නැත. එමෙන්ම හම්බන්තොට වරාය 2014 දී රුපියල් මිලියන 900 ක හා 2015 දී රුපියල් මිලියන 1,200 ක ක්‍රියාන්විත ලාබයක් ලැබූ බවද පවසා නැත. වරායක් යනු ශතවර්ශ ගණනාවක් පවතින ආයෝජනයක් වන අතර 2011 දී විවෘත කරනු ලැබූ වරායකට 2012 වන විට ලාබ ඉපයිය නොහැකිය. නිව්යෝක් ටයිම්ස් පුවත්පත තවදුරටත් පවසා ඇත්තේ මේ වරාය ඉදි කිරීමට ගත් ණය ආපසු ගෙවීමට නොහැකි නිසා එය චීනයට 99 අවුරුදු බද්දකට ලබාදීමට වත්මන් ආණ්ඩුවට සිදු වූ බවයි. හම්බන්තොට වරාය ඉදිකිරීමට ගත් මුලු ණය හා 2036 වසර දක්වා ඒ සඳහා  ගෙවීමට තිබෙන පොලිය යන සියල්ල එකතු කළ විට, ගෙවිය යුතු සමස්ත මුදල ඇ.ඩො. මිලියන 1,761 ක් වේ. මින් ඇ.ඩො. මිලියන 500කට ආසන්න මුදලක්  2016 අවසන් වන විට ආපසු ගෙවා අවසන් වී තිබුණි. හම්බන්තොට වරාය සඳහා ගනු ලැබූ ණය ගෙවනු ලැබුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලබන ලාබයෙන් වෙන නිසා ඒ ණය ගෙවීම ගැන කිසිදු ගැටලුවක් නොවීය. 2014 විගණකාධිපති වාර්තාවට අනුව සියලුම ණය හා බදු ගෙවීමෙන් පසුවත් වරාය අධීකාරිය 2014 වසරේදී රුපියල් මිලියන 8,800 ක ලාභයක් ලබා තිබුණි. 

නිව්යෝක් ටයිම්ස් පුවත්පත නොදැන සිටියද, වරාය බදු දීමෙන් ලාබාගත් ඇ.ඩො. මිලියන 1,120 ක මුදල ආණ්ඩුව විසින් වරාය ඉදිකිරීමට ගත් ණය පියවීමට යෙදුවේ නැති බවත් එය ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවීම සඳහා මහා භාණ්ඩාගාරයට ලබාදෙනු ලැබූ බවත්, සියලුම ශ්‍රී ලාංකිකයන් දනී. හම්බන්තොට වරාය ඉඳිකිරීමට ගත් ණය තවමත් එළෙසම පවතී. හම්බන්තොට වරාය හා එය තුළ තිබෙන අක්කර 5,000ක කර්මාන්ත කලාපයත්, වරායෙන් පිට තවත් අක්කර 15,000 කුත් චීනයට ලැබුණේ ලංකාව සිරවී සිටි ‘චීන ණය උගුල’ නිසා යැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියා සිටියද එවැනි කිසිඳු චීන ණය උගුලක් නොතිබුණි. හම්බන්තොට වරාය ලාබ ලබන තැනට එන තුරු එහි ණය ගෙවීමට වරාය අධීකාරිය ඉතා ප්‍රවේසමෙන් සැලසුම් කර තිබුණි.  ශ්‍රී ලංකා වරාය අධිකාරියට අමතර ඇ.ඩො. මිලියන 100 ක ආදායමක් එන ආකාරයට කොළඹ නැගෙනහිර බහාලුම් පර්යන්තය දියුණු කිරීමද ඒ සැලසුමේ කොටසක් විය.

මගේ ආණ්ඩුව පරදින විට හම්බන්තොට වරායේ බහාලුම් පර්යන්තයට අවශ්‍ය දොඹකර යනාදිය සපයා අවුරුදු 40 ක කාලයකට එය ක්‍රියාත්මක කිරීමට චයිනා හාබර් සමාගම හා චයිනා මර්චන්ට් සමාගම සමඟ අප ගිවිසුමක් අත්සන් කොට තිබුණි. හම්බන්තොට වරායේ සෙසු පර්යන්ත හා අක්කර 5,000ක කර්මාන්ත කලාපය වරාය අධිකාරියේ පාලනය යටතේ සිදු කිරීමට නියමිත විය.  මුලු වරායම විදේශීය සමාගමකට අවුරුදු 99 කට බදු දීමට අපට කිසිදු සැලැසුමක් නොතිබුණි. එය සිදු වූයේ වත්මන් ආණ්ඩුව යටතේය. මෙහිදී වඩාත්ම ජුගුප්සාජනක කාරණය වන්නේ හම්බන්තොට වරාය චීනයට ලැබුණු බව කියමින් මැසිවිලි නගන බටහිර බලවතුන් විසින්ම බලයට ගෙන එනු ලැබූ ආණ්ඩුවක් විසින් චීනයට මේ වරාය ලබාදී තිබීමයි. මම ජනාධීපතිව සිටි සමයේදී හම්බන්තොට වරාය හෝ වරායෙන් පිට ඉඩම් චීනයෙන් කිසිදාක බද්දට ඉල්ලුවේ නැත. හම්බන්තොට වරාය බදු ගන්නා මෙන් චීනයට යෝජනා කලේද වත්මන් ආණ්ඩුවයි. 

ඉන්දියාවට ඉතා ආසන්න භූමියක් දැන් චීනයේ පාලනයට යටත්වී තිබෙන නිසා මේ වරාය කුමක් සඳහා භාවිතා කරාවිදැයි සිතමින් ඉන්දියාව කනස්සල්ලට පත්වී සිටින බව නිව්යෝක් ටයිම්ස් පුවත් පත සඳහන් කොට ඇත. මගේ ආණ්ඩුව දිගටම බලයේ සිටියේ නම් මෙවැනි තත්වයක් කිසිදාක උද්ගත වන්නේ නැත.  ඉන්දියාවේ හිටපු විදේශ කටයුතු ලේකම් හා ජාතික ආරක්‍ෂක උපදේශක ශිවෂංකර් මෙනන් මහතා ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් 2016 දී පලකරන ලද ඔහුගේ මතක සටහන් වල ඉතා පැහැදිලිව පවසා ඇත්තේ මගේ ආරක්‍ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්‍ෂට ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව ගැන ඉතා හොඳ ආවබෝධයක් තිබුණු බවත් ඔහුගේ එම දෘෂ්ඨිය ඉන්දියාවේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ උවමනාවන්  සමඟ සම්පූර්ණයෙන්ම ගැලපුණ බවත්ය. ගෝඨාභය ඉන්දියාවේ ආරක්‍ෂක උවමනාවන් ගැන සංවේදී වූ බවද,  මාගේ ආණ්ඩුව විසින් ලංකාව  චීනය සමඟ පවත්වාගෙන යන සම්බන්ධතාවය ගැන ඉන්දියාවට දෙනු ලැබූ සහතිකය 2014 මැයි මාසයේදී කොංග්‍රස් ආණ්ඩුව පරදින අවස්ථාව වනතෙක්ම ඉතා මැනවින් ආරක්‍ෂා කළ බවද මෙනන් මහතා සඳහන් කොට ඇත. චීනය වැඩියෙන්ම කැමැත්ත දක්වන්නේ මම මේ රට පාලනය කරනු දැකීමට බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසා ඇත. 2015 න් පසු සිදු වූ දේවල් නිසා ඉන්දියාවද මම මේ රට නැවතත් පාලනය කරනු දැකීමට වඩාත්ම කැමැත්තෙන් සිටින බවට සැකයක් නැතැයි මම සිතිමි. 

මහින්ද රාජපක්‍ෂ – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.