7 December, 2023

Blog

පාතාලයේ දේශපාලන අංශය හා මහා මැතිවරණය

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

අගෝස්තු මාසයේ පස්වැනිදාට පැවැත්වීමට නියමිත මහා මැතිවරණය සමීප වෙමින් තිබේ. ඒ සමග දිවයින පුරාම  මැතිවරණ උණුසුම ඉහළ යමින් තිබෙන බවක් දක්නට ලැබේ. පසුගිය සෙනසුරාදා ඈත පොලොන්නරුවේ මැදිරිගිරිය, දිවුලන්කඩවල, යාය 12 වැනි ප්‍රදේශවල ඇවිදමින් නිරීක්ෂණය කළේ ගොවි ජනතාව මැතිවරණයට දක්වන සූදානමයි. මුළුමනින්ම ආණ්ඩු හිතෛෂී දේශපාලන වටපිටාවකින් යුක්ත එම ප්‍රදේශයේ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීත්වයක් නැති තරම් ය. අපට මුලින්ම හමුවූයේ ජනතා විමුක්ති පෙරමුණේ පැරණි ක්‍රියාකාරිකයෙක් ය. 

1971 කැරැල්ලේ ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරිකයකු වූ ඔහු කෑගල්ලේ මැණික්කඩවර ප්‍රදේශයේ සිට මැදිගිරිගියේ යාය 12ට පදිංචියට ගොස් ඇත්තේ 1977 දී ය. පවුලක් පන්සලක් වී දරුමල්ලන් හදාගෙන එහි ජීවත්වන ඔහු කා අතරත් හිතහොද දිනා ගත්තෙකි. දැන් වයෝවෘද්ධය. කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයේ යෙදුන ඔහු දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ක්‍රියාකාරීව සහාය දෙන්නේ රාජපක්ෂ දේශපාලනයට ඇති කැමැත්තෙනි. කතාව ආරම්භයේ දී ම ඔහු මගෙන් විමසුවේ ආණ්ඩුවට 2/3ක් ලැබේවිද යන්න ය.

ඔහුගේ ඒ ප්‍රශ්නය මගින් පැහැදිලි කරන්නේ ආණ්ඩුවේ දේශපාලන මතවාදය ගම්දනව් කරා ගොස් ඇති අන්දම ය. ග්‍රාමීය දේශපාලනය හා බැදී ඇති යථාර්තය වන්නේ ඇති නැති පරතරය වැඩිවීම හා ධනය ඇති අලුත් පන්තියක් බිහිවීම ය. එහෙත් ග්‍රාමීය දේශපාලන ක්‍රියාකාරීන් ප්‍රශ්න කරන්නේ ආණ්ඩුවට 2/3ක බහුතරයක් ලබා ගත හැකි ද යන්න ය. එසේ වී ඇත්තේ නිරීක්ෂණයන් දෙකක් නිසා විය හැකිය. එකක් ආණ්ඩුවේ දේශපාලන මතය පොඩි පට්ටම් කර දමන්නට විපක්ෂය අසමත්වීම නිසා ය. අනෙක ඒ මතය සමාජයේ අතුපතර කරා ගෙන යන්නට ව්‍යාපාරික මාධ්‍යය සමත් වී ඇති නිසාත් ය.

ප්‍රාදේශීය සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි. එහි ප්‍රාදේශීය සංවර්ධන කමිටුවක් ස්ථාපිත කර ඇති අතර සාමාන්‍යයෙන් එහි සභාපති ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරන්නේ ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයෙකි. ලේකම් වන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා ය. ප්‍රදේශයේ සියළු පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් ද අදාළ රාජ්‍ය නිලධාරීන් ද සහභාගී වන්නා වූ රැස්වීමක දී සියළු සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනී. 

විධි ක්‍රමය එසේ වුවද ප්‍රායෝගිකත්වය ඊට බොහෝ වෙනස් ය. එම රැස්වීමට විපක්ෂ මහජන නියෝජිතයන් මෙන්ම සභාපති ධූරයට පත්වන ආණ්ඩු පක්ෂ මහජන නියෝජිතයා හා ගැලපීමක් නැති ආණ්ඩු පක්ෂයේම මහජන නියෝජිතවරු ද සහභාගී නොවෙති. ඒ අනුව එම රැස්වීම සභාපති ධූරය දරන ආණ්ඩු පක්ෂ මහජන නියෝජිතයාගේ තනි කැමැත්තට තීන්දු තීරණ ගන්නා ස්ථානයකි. කෙසේ හෝ වේවා “සංවර්ධනය” යැයි අර්ථ දක්වන මහා මාර්ග, ගොඩනැගිලි, පාළම් බෝක්කු වැනි පොදු දේපළ අලුතෙන් ගොඩ නැගීම අලුත්වැඩියාව ආදී කටයුතු සම්බන්ධයෙන් එහිදී තීන්දු තීරණ ගනී.

මෙවැනි “සංවර්ධන” කටයුතු සදහා වූ වැඩ කොන්ත්‍රාත්තු බොහෝවිට පැවරෙන්නේ ආණ්ඩු පක්ෂ මහජන නියෝජිතයාගේ හිතවතුන්ට ය. ඒ සදහා ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය වටා කොන්ත්‍රාත්කරුවෝ රාශියක් පෙළ ගැසී සිටිති. ඔවුහු රජයේ වැඩ කොන්ත්‍රාත් සියල්ලෙහි සේවා සැපයුම්කරු ය. එම කොන්ත්‍රාත්තු මහජන නියෝජිතයාට අවශ්‍ය පරිදි තීරණය කිරීම සදහා නම්‍යශීලී ප්‍රසම්පාදන නීති ද පවතී. ඒ නිසා ආණ්ඩු පක්ෂ මහජන නියෝජිතයාට රාජ්‍ය නිලධාරීන් සමග ගැටුමකට යන්නට ද අවශ්‍ය නොවේ.  අවශ්‍ය වන්නේ තමන්ගේ කොට්ඨාශයේ කොන්ත්‍රාත්තු අහවල් අහවල් කොන්ත්‍රාත්කරුවන්ට ලැබිය යුතු බවට ප්‍රාදේශීය ලේකම්වරයාට ඉගි කිරීම පමණි.

ඒ අනුව ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ මහජන නියෝජිතයාට අවශ්‍ය පරිදි රජයේ සියළු කොන්ත්‍රාත් පිරිනැමෙන අතර එමගින් ලැබෙන ලාභයෙන් කොටසක් මහජන නියෝජිතයාට ලැබේ. එසේම ප්‍රදේශයේ මත්පැන් අළෙවි හල් හා පෞද්ගලික බස් ධාවනය වැනි බලපත්‍රලාභී මුදල් උපයන්නන්ගෙන් ලබා ගන්නා කප්පම් මුදල් ද මහජන නියෝජිතයාට ලැබේ. පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල කියූ පසුව කුළියාපිටිය නගරයේ මහත් උද්දාමයෙන් පෙළපාලි ගිය පොහොට්ටුවේ ආධාරකරුවන් ඉන් අනතුරුව පළමුවෙන්ම කළේ කුළියාපිටිය නගරයෙන් ආරම්භ වන පෞද්ගලික බස් ධාවන මාර්ග එකිනෙකා හා වෙන් කර ගැනීම බව ඊට සහභාගී වූ අයෙක්ම පැවසීය. ගම්පහ එක් දේශපාලකයෙක් අමතර පන්ති වලින් පමණක් නොව මාර්ගයේ දෙපස රඹුටන් විකුණන සුළු මුදලාලිලාගෙන් ද කප්පම් ගත් බව නොරහසකි. 

මේ ආදී වශයෙන් වූ මහජන මුදල් ගසා කෑම්, කප්පම් ගැනීම් සදහා ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ මහජන නියෝජිතයා වටා ඔහුගේ සහචරයෝ සිටිති. ආණ්ඩුව බලයේ සිටින තාක් ඔවුන් යැපෙන්නේ ද මහජන නියෝජිතයා දේශපාලනය කරන්නේ ද එම නීති විරෝධී මුදල් වලිනි. මැයි දිනයට, පක්ෂ සම්මේලන වලට, විශේෂ රැළි වලට ආදී වූ පක්ෂ දේශපාලන වැඩ වලට මිනිසුන් රැගෙන යන්නේ ඔවුන්ට කන්නට බොන්නට වියදම් කරන්නේ ඒ නීති විරෝධී මුදල් වලිනි. එසේම බල ප්‍රදේශයේ පක්ෂ දේශපාලන සියළු වැඩ කරන්නේ එම මුදල් වලිනි. 

මෙසේ එකතු කර ගන්නා මහජන මුදල් හා කප්පම් මුදල් පක්ෂ දේශපාලන කටයුතු සදහාම පමණක් වියදම් කරන්නේ යැයි කිවහොත් එය අනුකම්පා කළ යුතු තක්කඩිකමකි. එහෙත් එම නීති විරෝධී මුදල් වලින් ප්‍රාදේශීකව ධනවත් පන්තියක් නිර්මාණය කරයි. ඒ පන්තියේ සාමාජිකයන් වන්නේ පළාත් පාලන ආයතනයේ සිට ජනාධිපති ධූරය දක්වා දේශපාලනයට තේරී පත්වන සමාජ කොටසයි. ඔවුන් නම් වශයෙන් හදුනා ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ තම තමන්ගේ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයේ සභාපතිවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමතිවරුන්ගේ එදා හා අද ආර්ථික තත්ත්වය සසදා බැලීමයි. ඒ අනුව ප්‍රාදේශීය සභා සභාපති ධූර දෙකකින් පසුව ඉඩම්හිමි වැවිලිකරුවකු හා කොන්ත්‍රාත් සමාගමක හිමිකරුවකු වූ දේශපාලකයකු කුළියාපිටියේ සිටී. 

මේ අන්දමින් ධනය රැස් කිරීමට මහජන නියෝජිතයන්ට ඉඩ අවස්ථාව සකස් කර දී තිබෙන නිසා ධනය හිමි පන්තියක් නිර්මාණයවීම සිදුවන්නේ ප්‍රාදේශිකව පමණක් නොවේ. එය ජාතික මට්ටම දක්වා ක්‍රමානුකූලව සිදුවේ. සෑම දේශපාලන පක්ෂයක්ම බලයට පත්වූ පසුව ඒ ඒ පක්ෂයට ලැදි ව්‍යාපාරිකයන් කොටසක් ශක්තිමත් වේ.  නවලෝක මුදලාලි මෙන්ම දිලිත් ජයවීර ද එවැනි ව්‍යාපාරිකයන් දෙදෙනෙකි. ප්‍රශ්නය වන්නේ මහජන මුදල් කොල්ලකන මේ මාෆියා දේශපාලනය සම්බන්ධයෙන් සමාජය බරපතල ලෙස තේරුම් නොගැනීමයි. ඈත මැදිගිරියේ යාය 12 හේ පදිංචි පැරණි දේශපාලන ක්‍රියාකාරිකයකු ද වන ගොවියා ආණ්ඩු පක්ෂයට 2/3 ස්ථාවර බලයක් අරන් දෙන්නට මහන්සි වෙන්නේ මේ සමාජ අසාධාරණය නොතකමින් ය.

ප්‍රාදේශිකව හා ජාතිකව ධනය ඇති සමාජ තීරුවක් නිර්මාණය කරමින් පවත්නා දේශපාලනය අනෝන්‍යයව යැපෙද්දී සමාජය ආර්ථික වශයෙන් දුක්ඛිත මට්ටමකට ඇද වැටීම ගැන කිසිවෙක් උනන්දු නොවේ. මැද පන්තිය මුළුමනින්ම දුවන්නේ ණය කන්දරාවක් මත ය. ඒ ණය වාණිජ්‍ය බැංකු ණයක්, වෙනත් මූල්‍යායතන ණයක් හෝ ලීසිං පහසුකමක් විය හැකිය. නො එසේ නම් ක්ෂුද්‍ර මූල්‍ය ණයක් විය හැකිය. මේ කිසිම ණයක් හෝ මූල්‍ය පහසුකමක් මැද පන්තිය ආර්ථිකව ශක්තිමත් කරන්නට නිර්මාණය වූ ඒවා නොවේ. ඒවා මුළුමනින්ම හෝ අර්ධ වශයෙන් හෝ කරන්නේ මැද පන්තිය ආර්ථික බුබුලක හිර කර අවසානයේ ව්‍යසනයකට ඇද දැමීමට ය. ත්‍රී රෝද රථ හිමිකරුවන්ගේ වෘත්තීය සමිති නායකයකු වූ සුනිල් ජයවර්ධන මේ ආර්ථික මාෆියාවෙන් මැරුම් කෑමේ කතාව පිටුපස තියෙන සත්‍යය එයයි.

මැද පන්තිය ද හව් හරණක් නැති ආර්ථික බුබුලක හිර වෙද්දී අඩු ආදායම් ලබන නිර්ධන පන්තියට හැමදාම යැපෙන්නට සිදුවන්නේ සහනාධාර මත ය. ඒවා ජනසවිය වැනි මූල්‍යාධාරයක් විය හැකිය. එහෙත් ඔවුන් ආර්ථිකව ශක්තිමත් කරන ප්‍රායෝගික  ව්‍යවසාය සංවර්ධනයකට කිසිදා එකතු කරන්නේ නැත. ඔවුන් අතට ලැබෙන තුට්ටුව ක්ෂුද්‍ර මූල්‍ය ණය දඩු අඩුවට අසුවන්නේ ද මේ පවතින වෙළෙද පළෙහි තිරසාර නොවන අසාධාරණකම නිසා ය. 

මේ සියළු විනාශයන්ට සමාජය ගොදුරු වන්නේ ජනතා නියෝජිතයන් ලෙස මහජන චන්දයෙන් තෝරා පත්කර ගන්නා මන්ත්‍රීවරයා මහජන මුදල් මංකොල්ලකන, ව්‍යාපාරයන්ගෙන් කප්පම් ගන්නා පාතාල දේශපාලනයක නිරතවෙන අතරතුර ය. ඔවුන්ට මහජනයා ගැන සානුකම්පාවක් හෝ සහවේදනාවක් හෝ ඇති නොවේ. ඔවුන්ගේ එකම ඉලක්කය දේශපාලනයෙන් මුදල් ඉපයීමයි. මේ නිසා මහජන මුදල් විශාල ප්‍රමාණයක් රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයෙන් ඉවතට ගොස් කළු සල්ලි ලෙස ගොඩ ගැසේ. මේ අන්දමින් නිර්මාණය වන ඇති නැති පරතරය මගින් රටේ දරිද්‍රතාවට වඩා සමාජයට කරන අගතිය අතිමහත් ය. එසේම සමාජ සංවර්ධනයට යෙදවිය යුතු මහජන මුදල් කන්දරාවක් දේශපාලකයන්ගේ හා ඔවුන්ගේ අන්තේවාසිකයන්ගේ ව්‍යාපාරික භුක්තියට සවිවීම විනාශකාරී ය. 

සමහරු පාතාලයේ ක්‍රියාකාරකම් ගැන පසුවන්නේ මහත් වූ වේදනාවෙනි. සන්නද්ධ පාතාලය මර්දනය කළ යුත්තේ අනුකම්පා විරහිතව ඔවුන් මරා දැමීමෙන් යැයි ප්‍රසිද්ධියේ කියති. එහෙත් ඔවුන් කල්පනාවට නොගන්නේ පාතාලය යනු නිතර මිනී මරා ගන්නා සන්නද්ධ අංශය පමණක් නොවන බව ය. 1978 දී නිර්මාණය කළ වෙළෙද පළ ආර්ථිකයත් සමග දේශපාලන පාතාලයක් ද, මාධ්‍ය පාතාලයක් ද ආගමික පාතාලයක් ද ආදී වශයෙන් පාතාල සමාජ ආයතන කිහිපයක් බිහිවී ඇත. එදිනෙදා මිනී මරා ගන්නා සන්නද්ධ අංශය එක් ආයතනයක් පමණි. ඒ හා එකට වෙලී පවතින දේශපාලන, මාධ්‍ය හා ආගමික අංශයන් ද විශාල ගණනාවක් පවතී. පාතාලයේ සන්නද්ධ අංශයට ගුරුහරුකම් දෙන දේශපාලන පාතාලය සම්බන්ධයෙන් සමාජයට සංවේදීතාවක් නොවීම පුදුමයට කරුණකි. එහෙත් මේ සියළු අංශයන්ගෙන් සමන්විත මුළු ආණ්ඩුවම පාතාලයේ ප්‍රධාන මර්මස්ථානයයි.

මේ තත්ත්වය වෙනස් කර පවතින මහජන සම්පත් නිසි ලෙස හා සාධාරණව බෙදා හදා ගන්නා ක්‍රමයක් නිර්මාණය කර ගන්නේ නම් මීට වඩා යහපත් සමාජයක් ගොඩනැගිය හැකි බව නොඅනුමාන ය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.