30 September, 2020

Blog

නැති වූ ජංගම දුරකථනය සොයා ගන්න “කාලි අම්මා” සොයා ගියෙමි

තිලක් සේනාසිංහ

තිලක් සේනාසිංහ

2017 සැප්තැම්බර් තිස් වෙනිදා පැවැති වැසිබර අඳුරු කාලගුණික තත්ත්වය අතරින් මම කොළඹ කොටුවේ පළමුවන හරස් වීදිය ඔස්සේ ඕල්කට් මාවත දෙසට ඇවිද එමින් සිටියෙමි. ඒ අතරතුර දී මට රුවන්වැල්ලේ සිටින මගේ හිතවතකුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණ. නමුදු ඒ වන විට වටපිටාවේ පැවැති ඝෝෂාකාරී තත්ත්වය නිසා ඔහු පවසන කිසිවක් මට පැහැදිලිව ඇසුණේ නැත. එනිසා “මට මුකුත්ම ඇහෙන්නේ නැහැ පස්සේ ගන්නම්” කියා මම ජංගම දුරකථනය මගේ කමිස සාක්කුවේ ලා ගතිමි. ඒ සමඟින්ම මගේ කමිස සාක්කුවට වැටුණු බර හෑල්ලුවන අයුරක් මට හැඟිණ. එබැවින් එකෙනෙහිම මම කමිස සාක්කුවට අත තබා බැලීමි. ඒ නිමේෂය තුළ මගේ ජංගම දුරකථනය අතුරුදන්ව තිබිණ. එබැවින් මම ඒ මොහොතේ මගේ සිරුරේ ස්පර්ශ වන තරමට ළඟින් ගමන් කළ පුද්ගලයා අතින් අල්ලා ගතිමි. මළසිරුරක බදු අජීවී දෙනෙතකින් යුතු දුර්වර්ණ සිරුරක් සහිත ඔහු මත්ද්‍රව්‍ය ලෝලියකු බව මට බැලූ බැල්මට ම වැටහිණ. ඒ අනුව ඔහු පාරෙන් මඳක් ඉවතට කැඳවා ගෙන ගිය මම ඔහුගේ සාක්කු පරීක්ෂා කිරීමට සැරසුණෙමි. එහෙත් ඔහුගේ කමිස සාක්කුවේ කිසිවක් නොතිබුණි. නමුදු ඔහු ඒ මොහොතේ සැරසී සිටි “බාච්චු කොට කලිසම” තුළ සැඟවුණු සාක්කු කොතෙක් තිබිණි දැයි මම නොදත්තෙමි. නමුදු ඒ මොහොතේ පාර අයිනෙන් අප දෙසට පැමිණි ත්‍රිරෝද රථයක් නිසා මේ තැනැත්තා මගේ ග්‍රහණයෙන් ගිලිහුණි. ඊළඟ මොහොතේ බලන විට ඔහු “අතුරුදන්” වී සිටියේය.

මෙම පැහැර ගැනීම සිදුවී විනාඩි කිහිපයක් තුළ මම ඒ සම්බන්ධයෙන් පිටකොටුව පොලීසියේ අපරාධ අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළෙමි. විදුලි සංදේශන නියාමන කොමිසමට ඉදිරිපත් කිරීම පිණිස එම දුරකථනයේ එමි අංකය ද ඔවුනට ලබා දුනිමි. එහෙත් මෙය ලියන මොහොත දක්වාම ඉන් ප්‍රතිඵලයක් අත් වී නොමැත.

කෙසේ හෝ එම දුරකථනයට ලැබුණු අවසාන දුරකථන ඇමතුම මට අතිශයින් වැදගත් එකක් විය. ඒ එය මගේ ගවේෂණයක් සම්බන්ධ ඇමතුමක් බැවිනි. සීතාවක රාජසිංහයන් සම්බන්ධ රුවන්වැල්ල ප්‍රදේශයේ ජනශ්‍රැති අධ්‍යයනයක් සඳහා ඊට පසු දින එහි යාමට සිටි මට එම ඇමතුම දෙන ලද්දේ එහි වෙසෙන මගේ හිතවතෙකි. එබැවින් පසුව වෙනත් දුරකථනයකින් ඔහු ඇමතූ මම මට ඒ මොහොතේ සිදුවූ “අලකලංචිය” පිළිබඳව කීවෙමි.

කෙසේ හෝ ඊට පසු දින එනම් ඔක්තෝබර් 01 දා පෙරවරුවේ මා ඔවුන්ගේ නිවසට යනවිට මගේ එම දුරකථනය නැතිවීම සම්බන්ධයෙන් මගේ හිතවතා, ඔහුගේ බිරිඳ සහ දරු තිදෙනා මටත් වඩා කම්පා වෙමින් සිටිනු දැකිය හැකි විය. එය තරමක ඉහළ මිලකින් යුතු ස්මාර්ට් ජංගම දුරකථනයක් වීම ඔවුන්ගේ එම කම්පාවට හේතු වන්නට ඇත.

’‘හැබැයි ඕකට පුංචි වැඩක් නම් තියනවා කරන්න” ඒ පිළිබඳව කතා කරමින් සිටින අතරේ හිතවතාගේ බිරිඳ කීවාය.

’‘මෙහාට තරමක් දුර තැනක් තියනවා ‘කාලි අම්මාගේ’ වරමින් සාස්තර කියන. මාත් මීට අවුරුදු හතරකට විතර කලින් (තම වැඩිමල් දියණිය දක්වමින්) මෙයා ගැන පුංචි කාරණයක් අහගන්න එතැනට ගියා. පුදුමේ කියන්නේ බලාගෙන හිටියා වගේ කාරණේ හරියට කියැවුණානේ”.

හිතවතාගේ බිරිඳගේ එම කතාවෙන් මගේ සිත තුළ මහත් සතුටක් ජනිත විණි. ඒ එම සාස්තරය ඇසීමට මා තුළ ඇති අතිමහත් උනන්දුව නිසාය. මම මේ වන විට මෙබඳු සාත්තර පොළවල් සිය ගණනකට ගොස් ඇතත් ඒ ඒවා සම්බන්ධ ගවේෂණය කිරීම පිණිස බොරු කරුණක් සිත තුළ රඳවා ගනිමිනි. නමුදු විද්‍යාත්මක පදනමින් මෙවන් විමර්ශනයක් සිදුකිරීමේදී ව්‍යාජ දත්ත ඉදිරිපත් කිරීම ද විද්‍යා විරෝධීය. එවිට ’ඔබ බොරු කරුණක් ඉදිරිපත් කළ නිසා ඊට මෙම ගුප්ත ශාස්ත්‍රයෙන් ද බොරු පිළිතුරක් දී ඇතැ’යි යන තර්කය ඔවුනට ද ඉදිරිපත් කළ හැක. එමෙන්ම පාලිත පරීක්ෂණ ^controlled experiment) නම් විද්‍යාත්මක ක්‍රමය ද මෙවැනි කටයුත්තකදී ප්‍රයෝජනයට ගත යුතුය. ඒ අනුව මෙවර සත්‍ය කරුණක් මුල් කරගෙනම සාස්තරයක් ඇසීමට යාමේ අවස්ථාව ඒ ‘පොකැට්කාර මිත්‍රයා’ මට උදාකර දී තිබිණ.

මගේ හිතවතාගේ වැඩිමල් දියණිය එවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටියා ය. ඉතා නිහඬ, චාම්, අවිහිංසක ඇවැතුම් පැවැතුම් ඇති තරමක කුලෑටි යුවතියක වන ඇය එම සාස්තර ගෙදරට මා කැඳවාගෙන යාමේ ‘කොන්ත්‍රාත්තුව’ භාර ගැනීමට කැමැත්ත පළ කළාය. ඒ ඇගේ දෙමාපියන් ද තරමක් විස්මයට පත් කරමිනි.

ඒ අනුව මම 2017 ඔක්තෝබර් 01 සෙනසුරාදා පෙ.ව. 10.00ට පමණ එම දියණිය ද සමඟ ත්‍රිරෝද රථයක නැගී මගේ හිතවතාගේ නිවසේ සිට කිලෝමීටර් පහ හයක් දුරින් වෙල්යායක් සමීපයේ පිහිටි එම සාස්තර ගෙදරට ගියෙමි.

එය අඩක් වැඩ නිම කළ මධ්‍යම පාන්තික නිවසකි. එහි ගෙමිදුලේ බ්ලොක් ගලින් බඳින ලද කපරාරු නොකළ ටකරන් සෙවිළි කළ දේවාලයක් විය. එහි ඉදිරිපස කොටසේ බංකු දෙකක් තබා තිබුණේ සාස්තර ඇසීමට පැමිණෙන්නවුන් හට තම වාරය එන තෙක් රැඳී සිටීමට විය යුතුය. අප එහි යන විට සුදු සාය සහ හැට්ට හැඳගත් තද කාලවර්ණ කෙස් වැටිවලින් යුතු තලතුනා කාන්තාවෝ දෙදෙනෙක් එහි රැඳී සිටියහ. ඒ අතර වයස අවුරුදු දහසයක පමණ යුවතියක් කඩිසර ගමනින් යුතුව කිහිප වරක් දේවාලයට පිවිසෙනු සහ ඉන් පිටවනු අපට දැකිය හැකි විය.

ඉන් මඳ වේලාවකට පසු එම නිවසින් පිටතට පැමිණි තද රතු පැහැති ගවුමක් හැඳගත් කාන්තාවක් මිදුලේ ඒ මේ අත අවිඳිමින් ජංගම දුරකථනයක් මගින් කාටදෝ දොස් පවරනු දැකිය හැකි විය. ඒ යමකුගේ ප්‍රමාදයක් පිළිබඳව සඳහන් කරමිනි.

කෙසේ හෝ ඉන් මඳ වේලාවකට පසු ජංගම දුරකථනය ද රැගෙන දෙවොල තුළට පිවිසි සාස්තරකාරිය එතුළ සිට කසු කුසු ගාමින් යමක් කොඳුරනු අපට ඇසිණ. ඒ දුරකථනය මගින් විය යුතුය.

ඒ කෙසේ හෝ මෙහිදී හිතවතාගේ දියණිය සහ මා පියකු සහ දියණියක ලෙස අවට සිටින්නවුන්ට හැඟෙන සේ හැසිරීමට මම වගබලා ගතිමි. ඒ මෙම නිහඬ අවකාශය තුළ මෙම සාස්තරකාරිය හෝ සාස්තර ඇසීමට පැමිණි බව අඟවමින් මෙහි සිටින කතුන් දෙදෙනා අපගේ තොරතුරු දඩයම් කිරිමට සැරසී සිටිතැයි යන සැකය මුල් කරගනිමිනි.

කෙසේ හෝ ඉන්පසු අපට ඇසෙන සේ දෙවොල තුළ සිට පළමුව පන්සිල් සමාදන් වූ සාස්තරකාරිය ඉනික්බිතිව කාලි මෑණියන් පිළිබඳ ජන කවි පෙළක් හඬනඟා ගායනා කළාය. සිය සුරතේ වූ සළඹ හඬවමින් ඇය ආවේශ වූයේ ඉන්පසුවය.

“අද මෑණියන්ට වරම් ලැබෙන්න ටිකක් පරක්කු වුණා” අප හමුවට පැමිණි කඩිසර යුවතිය රහසින් එසේ කීයේ මට හා හිතවතාගේ දියණියට දෙවොල තුළට පැමිණෙන සේ හිසින් සන් කරමිනි. ඒ අපට පෙර එහි පැමිණි තද කළු කෙස් සහිත වියපත් කතුන් දෙදෙනා එහිම රඳවමිනි.

හිතවතාගේ දියණිය සහ මා එම දෙවොලේ අපිරිසිදු පුදසුන අබියසට යත්ම එම සාත්තරකාරිය “සොල්ලංග අම්මා වා-අප්පච්චි ගම්බාර වා-කන්දකුමාර වා-දැඩි මුණ්ඩ වා-සත්පත්තිනි වාංග” ආදී වශයෙන් ගැහෙමින් මොර දෙන්නට වූවාය. ඉන්පසු අපි ඊට පෙර එහි සිටි කඩිසර යුවතිය විසින් අප අතට පත් කළ දිය වෑහෙන බුලත් කොළ කිහිපය මත රුපියල් තුන්සිය දහයක් තබා ශාස්ත්‍ර ඇසීමට සූදානම් වීමු. ඒ ඇගේ ඉල්ලීම මත ඉන් එක් බුලත් කොළයක් ඇගේ සුරතෙහි තබමිනි.

මෙහිදී ආරූඪය නිසා ආවේගාත්මක ස්වරූපයක් පළ පළ සාස්තරකාරිය සිංහල වදන් දෙමළ ස්වරූපයෙන් උච්චාරණය කරන ලද්දේ කාලි අම්මා සිංහල නොවන බව අපට ඒත්තු ගන්වමිනි.

එහිදී සාස්තරකාරිය වරින්වර “සොල්ලංග අම්මා” යැයි කී අතර එය “කියන්න” යන අරුත සහිත “සොල්ලුංග” යන දෙමළ වදනේ විකෘතියක් යැයි මට සිතිණ.

මෙහිදී අප පැමිණ ඇත්තේ සිත් වේදනාවකින් බව පළමුව දේවාරූඪයෙන් පැවැසූ සාස්තරකාරිය එය සත්‍ය නම් සත්‍ය බවත් අසත්‍ය නම් ඒ බවත් පවසන ලෙස ආරූඪයෙන්ම අපට කියා සිටියාය. ඒ අප කවුරුත් හොඳින් දන්නා “මුට්ටිය දැමීමේ” න්‍යාය අනුව බව මට හොඳින්ම වැටහිණ.

පසුව අප පැමිණ සිටිනුයේ ප්‍රාණකාරයකු සම්බන්ධයෙන් බව කී සාස්තරකාරිය මා එසේ නොවන බව කී පසු එය භූමිය, ස්ථානය, නිවාස හෝ මුදල් සම්බන්ධ ප්‍රශ්නයක් විය හැකි බව ආරූඪයෙන්ම කියා සිටියාය.

එහෙත් අප පැමිණියේ එවැනි කරුණක් සඳහා ද නොවන බව මම කියා සිටියෙමි. එසේම ආරූඪයෙන් ශාස්ත්‍රය කියා ගෙන යන අතරේ දී ඇය “අද මට වැඩකරන තේරුම් කරන නර ගැතියා නෑ ගෙදර” යනුවෙන් ද කීවාය.

ඒ කෙසේ හෝ මා පැමිණ සිටිනුයේ ජංගම දුරකථනයක්, කෙසේ වෙතත් නැති වූ භාණ්ඩයක් පිළිබඳව විමසීමට යැයි කනාපල්ලන් ගැසීමේ න්‍යායට අනුව හෝ කීමට කාලි අම්මා ආරූඪ වූ සාස්තර කාරියට නොහැකි විය.

ඉන්පසුව ඇය කියා සිටියේ සොර සතුරු උවදුරු සහ නැති වූ දේවල් සම්බන්ධයෙන් එම ස්ථානයේ වැඩ නොකරන බවකි. සැබැවින්ම අප රටේ සාස්තර අසන්නවුන්ගෙන් වැඩිම පිරිස ප්‍රාණකාරයන්, නිවාස, භූමිය, ස්ථානය සහ මුදල් ප්‍රශ්න මත එහි යන බව කාලි අම්මා ආරූඪ වූ එම කපටි සාස්තරකාරිය දැන සිටින්නට ඇත. ඒ අනුව ඇගේ ඉල්ලීම පරිදි මා විසින් බුලත් කොළ කිහිපය මත තබන ලද රුපියල් තුන්සිය දහයේ මුදල ද රැගෙන හිතවතාගේ දියණිය ද සමඟ ආපසු හැරුණෙමි.

“ඔය ගෑනු කෙනාගේ මනුස්සයා දැන් ඉන්නේ වෙන ගෑණියෙක් එක්ක, වෙන ගෙදරක. ඒත් එකට ඉන්න කාලේ වගේම දැනුත් ඔය දේවාලේ ආවතේව වැඩට ඒ මනුස්සයා එනවා. ඒත් අපි දන්න විදිහට දැන් ඉන්න ගෑනි කැමති නැහැ ඒ මනුස්සයා ඔය ආවතේව වැඩවලටත් ආයිත් ඔය ගෙදරට එනවට” ආපසු එන ගමනේ දී අප අතරමගදී ලබාගත් ත්‍රිරෝද රථයේ රියැදුරු තැන එසේ කීය. අද මෑණියන්ට වරම් ලැබීමට ප්‍රමාද බව එහි සිටි කඩිසර යුවතිය කීයේත්, තම ආවතේවකරු අද නිවසේ නොමැති බව ආරූඪයට පත් සාස්තරකාරිය කීයේත් ඇය දේවාලය තුළට වී දුරකථනයෙන් කුටු කුටු ගාන්නට ඇත්තේත් එම පුද්ගලයා මුල්කොට යැයි පසුව මට වැටහිණ. කෙසේ හෝ කාලි වරමින් සාස්තරයක්’ ලෙස හෝ soothsaying–Kali Possession යනුවෙන් අන්තර්ජාලයේ යූටියුබ් වෙබ් අඩවියට පිවිස විමසා සිටියහොත් හෝ ඒ මොහොතේ කාලි අම්මා ආරූඪ වූ සාස්තරකාරියගේ ප්‍රකාශය සහිත හඬ පටයට කන්දීමට ඔබටත් පුළුවන.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.