25 April, 2024

Blog

මහජන නියෝජිතයන්ගේ භාවිතය හා හෘදය සාක්ෂි කොමිසම

කේ.ජී. පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

බලයට පත්වූ විට අහවල් වැඩේ කරන්නේ යැයි මැතිවරණ පොරොන්දු දෙන දේශපාලන ඉතිහාසය කාහට වුවත් අමතක නොවන්නකි. එහෙත් බලයට ආ විට ඒ පොරොන්දු වලින් ඉටු වන්නේ අල්පයකි. ඉතිහාසය මතක ඇති අයකුට මෙවැනි කඩවුන පොරොන්දු ඕනෑ තරම් කියන්නට හැකියාවක් තිබේ. අප දන්නා ඉතිහාසය තුළ එවැනි බරපතල කඩවුන පොරොන්දුවක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. 1994 දී මුල් වරට ඒ පොරොන්දුව දී කඩ කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායකයි. එදා මෙදා තුර වසර 25ක් ගෙවී ගොස් ඇතත් කිසිවෙක් ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්නට සමත් නොවීය.

මැතිවරණ දේශපාලනය තුළ බොහෝ පොරොන්දු ඉෂ්ඨ කරන්නට බලයට පත්වන ආණ්ඩු අසමත් වුවද ඒ ආණ්ඩු කරන දේශපාලකයන්ට නම් ඒ සම්බන්ධයෙන් අබ ඇටයක තරමේ හෝ  ලැජ්ජාවක් නම් ඇති වන බවක් නම් පෙනෙන්නට නැත. එනිසා ඔවුහු ඊලග මැතිවරණයේ දී ද එලෙසම පොරොන්දු දී ඒවා කඩ කරති.  වසර 2015 ඓතිහාසික ජනාධිපතිවරණයේ දී ද මැතිවරණ පොරොන්දු කිහිපයක්ම ලබා දුනි. එහෙත් ඒවායෙන් ඉෂ්ඨ කර ඇත්තේ අල්පයකි. බොහෝ මැතිවරණ පොරොන්දු සම්බන්ධයෙන් ව්‍යුහාත්මක අවබෝධයක් හෝ සමහර නායකයන්ට ඇති බවක් නොපෙනේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයේ වගවීම හා යහපාලනය සම්බන්ධයෙන් 2015 දී ලබාදුන් මැතිවරණ පොරොන්දුව මේරටේ නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය, ජාතීන් අතර සමගිය, රාජ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කිරීමේ ලා අතිශයෙන් වැදගත් විය. ඒ කෙරෙහි බලාපොරොත්තු තබමින් ශ්‍රී ලංකාවට එරෙහිව පියවරක් නොගෙන ඉන්නට තරම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම කාරුණික විය. ඒ සම්බන්ධයෙන් වූ මාර්ග සිතියම පරීක්ෂා කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ විය යුතු ප්‍රතිසංස්කරණයන්ට අදාළ එකගතාවකට එන්නට තරම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම රාජ තාන්ත්‍රික විය.

මෙවර පැවැති මානව හිමිකම් කොමිෂමේ සැසිවාරයේ දී තවත් වසර දෙකක් කල් දෙන්නට ඔවුහු සූදානම් වුවද ශ්‍රී ලංකාවේ විය යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ස්ථිර සාර අවබෝධයක ආණ්ඩුවේ නායකයන් ඉන්නා බවක් පෙනෙන්නට නොමැත. යුද්දය අවසන් වී ඇති නිසා වින්දිතයන්ට උපරිමයෙන් සහන සලසමින් අපරාධකරුවන්ට උපරිමයෙන් දඩුවම් දෙන විධිමත් එකගතාවකට  අභ්‍යන්තරිකව ළගාවීමට තවමත් හැකිවී නොමැත. එකිනෙකාට චෝදනා කරමින් සිටිනවා මිස එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාවට පවසන කරුණු කාරණා සම්බන්ධයෙන් අවධානයක් හෝ යොමු කරන්නට ශ්‍රී ලංකාවේ දේශපාලකයෝ සමත්ව නැත.

ඊට බලපා ඇති ප්‍රධාන හේතුව වන්නේ හෘදය සාක්ෂියක් සහිත දේශපාලකයන් බලය දරන ස්ථානවල නොවීම විය හැකිය. ඔවුන් දේශපාලනයට ප්‍රවේශ වන්නේම ආර්ථික අරමුණකින් නිසා හෘදය සාක්ෂියක් ඇති පරිදි ක්‍රියා කරන්නට ඔවුන්ට අවශ්‍යතාවක් පැන නොනගී. එනිසා හෘදය සාක්ෂිය පසෙකින් තබා තමන්ට වාසි සහගත ලෙස කටයුතු කරන්නට ඔවුහු පෙළඹෙති. මේ යුගය තුළ දේශපාලනය යන්න වෙළෙද පළ තුළ අළෙවි වන තවත් එක් ප්‍රපංචයක් පමණි. එනිසා වෙළෙද පළේ ලාභය උපරිමය සදහා දේශපාලකයෝ ද කටයුතු කරති. දේශපාලන පරමාදර්ශය ඔවුන්ට වහ කදුරු මෙන් ය.

දශක කිහිපයක් තිස්සේ නිරීක්ෂණය වන පොදු ප්‍රවනතාව වන්නේ මැතිවරණයට තරග කර ජයග්‍රහණය කරන දේශපාලකයන් ජනතාවට ආදරය නොකිරීමයි. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වන්නේ ප්‍රාග්ධන ඒකරාශී කිරීමයි. ආණ්ඩු බලය ලැබෙන විවිධ දේශපාලන පක්ෂවල දේශපාලකයන් එකිනෙකා හා අත්වැල් බැද ගනිමින් මහන්සි වන්නේ තම තමන්ගේ පොදු අරමුණ වෙනුවෙන් ක්‍රියා කිරීමටයි. මේ නිසා මැතිවරණයේ දී පොරොන්දු දී ලබා ගත් ජනවරම ක්‍රියාත්මක කරන්නට ඔවුහු පැකිලෙති.

උදාහරණයක් වශයෙන් 2015 ජනාධිපතිවරණය සලකා බැලුවහොත්  ජනාධිපතිවරයාට ජනවරම ලැබුනේ එක්සත් ජාතික පක්ෂය හා ආණ්ඩු කරන්නට ය. ඉන් බාහිරව වෙනත් පක්ෂයක් සමග ආණ්ඩු කරන්නට ඔහුට අවශ්‍ය වුවත් එසේ කරන්නට ජනවරමක් ලැබී නැත.  මැතිවරණයෙන් පසුව උදාවන තත්ත්වයන් යටතේ වෙනත් දේශපාලන පක්ෂයක් සමග ආණ්ඩු කරන්නට ජනාධිපතිවරයාට අවශ්‍ය නම් තම හිතූ මනාපේ කටයුතු කරන්නට කිසිම හැකියාවක් නොපවතී. එවිට ජනාධිපතිවරයා සංවරණ හා සංතුලන ක්‍රමයක් අනුගමනය කරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයට වඩා එකග ය.

නමුත් පසුගිය වසරේ ඔක්තෝබර් 26 දා ජනාධිපතිවරයා විසින් සිදු කළේ තමන්ට ලැබී තිබූ ජනවරමෙන් පරිබාහිරව තමන්ගේ කැමැත්තට අනුව අග්‍රාමාත්‍ය ධූරයට මහින්ද රාජපක්ෂව පත් කිරීමයි. එය නීති විරෝධී වූවා පමණක් නොව ලැබූ ජනවරමට ද එකග නොවන්නකි. නමුත් ජනවරමට බාහිරව මහින්ද රාජපක්ෂව අග්‍රාමාත්‍ය ධූරයට පත් කරන්නට ජනාධිපතිවරයාට අවශ්‍ය වූවා නම් එය සිදු කරන්නට වඩා ආචාරශීලී ක්‍රමයක් නිර්මාණය කර ගන්නට තිබුණි. එනම් අවම වශයෙන් පාර්ලිමේන්තුව හමුවට ගොස් ආණ්ඩු කරණයේ දී තමා මුහුණ දී ඇති දුෂ්කරතාව පැවසීමයි. එහෙත් ඔහු ඒ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් තඹ සල්ලියකට මායිම් නොකර  අග්‍රාමාත්‍ය ධූරයට මහින්ද රාජපක්ෂව අත්තනෝමතිකව පත් කළේ ය.

ආණ්ඩුකරණයේ යහපත් පැවැත්ම, ප්‍රජාතන්ත්‍රවාදී යහගුණ පවත්වා ගැනීම, අල්ලස/ දූෂණය/ වංචාව පිටු දැකීම ආදිය සම්බන්ධයෙන් ලාංකික දේශපාලනය තුළ පවතින සංස්කෘතිය නින්දා සහගත ය. එහෙත් එම නින්දා සහගත සංස්කෘතිය ආඩම්බරයෙන් වැළද ගැනීමට බොහෝ දේශපාලකයෝ බිය නොවෙති. මැතිවරණයක දී මොනවා ප්‍රකාශ කළ ද රාජ්‍ය බලය ලබාගත් පසුව ඔවුන් හැසිරෙන්නේ වගවීමකින් තොරව ය. මේ තත්ත්වයට හේතුව වන්නේ තමන් නියෝජනය කරන මහජන නියෝජිතයන් සදාචාරවාදී පරීක්ෂණයකට භාජනය කරන්නට මහජනතාව උනන්දු නොවීම යි.

මේ නිසා පොරොන්දු කඩ කරන මහජන නියෝජිතයෝ පිරිසක් හැම අවස්ථාවකම බලයට පත් වෙති. ඔවුන් කිසියම්ම හෝ පරීක්ෂාවකට ලක් කර පොරොන්දු කඩ කරන්නන් ලෙස හදුනා නොගනී. එබැවින් ඒ සදහා හෘදය සාක්ෂියේ පරීක්ෂණයකට ඔවුන් ලක් කළ යුතු ය. ඒ සදහා හෘදය සාක්ෂියේ කොමිසමකට ඔවුන්ව යොමු කිරීම අතිශයෙන් වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයේ නවමු අත්දැකීමක් ලෙස 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කළ කොමිෂන් සභා ක්‍රමය සැලකිය හැකිය. කොමිෂන් සභා වලට ලැබී ඇති නිදහස තුළත් ඒවාට පත් වී සිටින ස්වාධීන හා ගරු කටයුතු සමහර චරිත නිසාත් සමහර කොමිෂන් සභා පරමාදර්ශී ලෙස කටයුතු කරයි. ඊට හොදම උදාහරණය වන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවයි. එම කොමිෂම රාජ්‍ය පාලනයේ සමහර නින්දා සහගත කටයුතු වලට එරෙහිව නොබියව තම විරෝධය පෑම අගය කළ යුතුය. එසේම පසුගිය නොවැම්බරයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නෛතික වශයෙන් වැරදි ක්‍රියාවක් ලෙස හදුන්වමින් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු අධිකරණයට ද ගියේ ය. මේවා සාමාජීයව ගත් විට සතුටුවිය හැකි කරුණු ය.

සමහර කොමිෂන් සභාත් ඒ කොමිෂන් සභාවල සමහර සමාජිකයනුත් ගෞරවනීය ලෙස කටයුතු කරන්නේ තවමත් සමාජීය වටිනාකමක් හා පෞර්ෂයක් ඇති මිනිසුන් මේ රටේ සිටින නිසා ය. එවැනි මිනිසුන් මූලිකත්වය ගෙන හෘදය සාක්ෂියේ කොමිෂමක් පත් කර ගන්නේ නම් ඒ කොමිෂම හරහා මහජන නියෝජිතයන්ගේ හෘදය සාක්ෂිය පරීක්ෂාවට ලක් කළ හැකිය. ඒ හෘදය සාක්ෂියේ පරීක්ෂණයෙන් අසමත් වන්නන්ට මැතිවරණයට ඉදිරිපත්වීම සදහා සදාචාරමය හැකියාවක් නොපවතී.

යමෙක් මැතිවරණය සදහා ඉදිරිපත් වන්නට පෙර හෘදය සාක්ෂියේ කොමිෂමට යොමු කරන්නේ නීතියෙන් නොවන්නට පුළුවන. සමහරවිට එය ස්ව කැමැත්තෙනි. සමහරවිට ක්‍රමය විසින්ම යමෑක් ඊට යොමු කරනවා විය හැකිය. කුමන ආකාරයකට හෝ හෘදය සාක්ෂියේ කොමිෂමෙන් සමත් නොවී මැතිවරණයට ඉදිරිපත් වන්නට කිසිවකුට නොහැකිය. එවැනි පරමාදර්ශී සදාචාරවාදී පරීක්ෂාවක් විසින් මහජන නියෝජිතයන්ව ආචාරශීලී දේශපාලන භාවිතාවකට තල්ලු කරනු ඇත.

මැතිවරණයක දී ලබා ගන්නා මහජන වරමෙන් පරිබාහිරව යම් යම් අභිලාශයන් සම්පූර්ණ කරන්නට යෑම බරපතල වරදකි. එසේම ජනවරමක් ලබා ගනිමින් ඉෂ්ඨ කරන්නට පොරොන්දු වූ කරුණු වලින් මගහැර යෑම ද බරපතල වරදකි. අල්ලසට, වංචාවට හා දූෂණයට යොමුවීම ද දේශපාලනික වරදකි. යමෙක් මහජන නියෝජිතයකු වන්නට ප්‍රථම මේ අගතීන්ගෙන් දුරස් විය යුතුය. ඒ සදහා හෘදය සාක්ෂියේ කොමිෂමෙන් නිර්දේශ ලබා ගත යුතුය.

හෘදය සාක්ෂියේ කොමිෂම වග කියන්නේ මහ ජනතාවට ය. එම කොමිෂම ස්ථාපනය කරන්නට පදනම් පවුරු සකස් කරන්නේ සමාජ දේශපාලන ව්‍යාපාරයන් ය. ඒ අනුව රාජ්‍ය බලය සදහා මහජන වරම ඉල්ලන සියළු මැතිවරණ අපේක්ෂකයන් හෘදය සාක්ෂියේ කොමිසමේ දී බරපතල පරීක්ෂාවකට ලක් කෙරේ. එම පරීක්ෂාවේ දී සමාජ වටිනාකම් විනාශ කරන්නට යමෙක් කටයුතු කර ඇත්නම් එය කොමිසමේ දී හෙළිදර වේ.

එසේම පවතින ක්‍රමයේ වරද නිසා යමෙක් අගතියට පත්වී ඇත්නම් සමාජය ඉදිරියේ දී කරන්නා වූ පාපෝච්චාරණයකින් ඔහුට  නිවැරැදිකරු විය හැකිය. ඒ සදහාත් මූලිකත්වය ගන්නේ හෘදය සාක්ෂියේ කොමිසමයි. පාපොච්චාරණය කරන්නා වරද පිළිගැනීමෙන් පසුව කොමිසමේ ඇගයීම යටතේ නැවත මැතිවරණයකට තරග කළ හැකිය.

සමස්තයම එකිනෙකට වෙළී දුගද හමන පල් වලක් වී ඇති ශ්‍රී ලාංකික සමාජය එතැනින් ගලවාගත හැක්කේ හෘදය සාක්ෂියේ කොමිසමකට පමණි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.