24 April, 2024

Blog

මෛත්‍රී ගොඩ ආ යුත්තේ ළිං කටින්මය

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  වසර 2015 දී තමුන් ලැබූ ජනවරම පසුගිය 26 වැනි දා සිකුරාදා හැන්දෑවෙ අශ්ලීල ලෙස මංකොල්ල කෑවේ ය. යුක්ති ධර්මයේ මූලික පදනමටත් නිගා දෙමින් නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයකු නිලයේ සිටිය දී වෙනත් අයකුගෙන් දිවුරුම් ලබා ගත්තේ ව්‍යවස්ථානුකූල කුමන්ත්‍රණයක් කරමිනි.  ඒ කුමන්ත්‍රණයේ පදනම වූයේ ජාතික ආණ්ඩුවේ එක් පාර්ශ්වීය පක්ෂයක් ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග ජාතික ආණ්ඩුව ද අමාත්‍ය මණ්ඩය ද විසිර යන අතර ඒ අනුව පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ධූරයට මහින්ද රාජපක්ෂ පත් කළ බව පැවසීම ය.

එහෙත් ඉබේ පුරප්පාඩු වූවා යැයි කියන අග්‍රාමාත්‍ය තනතුරින් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට  ජනාධිපතිවරයා පසුව ලිපියක් යැවීම ඔහුගේ තර්ක ඔහු විසින්ම බොරු කිරීමකි. අනෙක් අතින් පාර්ශ්වීය පක්ෂයක් ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමග ආණ්ඩුව විසිරෙන බවක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කොතනකවත් සදහන් නොවීම ද විශේෂ කරුණකි. ඒ අනුව ජනාධිපතිවරයා සද්භාවයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති අතර එය බරපතල වරදකි. එම් නිසා ඔහුව දෝෂාභියෝගී චෝදනාවකට ද යටත් කළ හැකිය. 

ජාතික ආණ්ඩුවක පාර්ශ්වීය පක්ෂ එකට එක්වූයේ ගිවිසුමක් අත්සන් කරමිනි. එය නීත්‍යානුකූල බැදීමකි. එම ගිවිසුමෙන් එක් පාර්ශ්වයකට ඉවත්වීමට අවශ්‍ය වූවා නම් කළ යුත්තේ පළමුව නීත්‍යානුකූල ගිවිසුමෙන් ඉවත්වීම ය. දෙවැනිව ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම ය. ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට ලිපි භාරදීමට තිබූ හදිසිය දෙපාර්ශ්වය විසින් අත්සන කළ ගිවිසුමෙන් ඉවත්වීමට නොතිබුණි. එය අවම සදාචාරය හෝ නොතකා හැරීමකි. 

ලංකාවේ අශ්ලීල, අසංස්කෘතික නීතිවේදීහු මේ දිනවල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උරච්චි ගලක් කරගෙන තිබේ. ඒ අනුව තමන්ගේ පක්ෂපාතීත්වයට, වහල්කමට හා නිවටකමට ගැලපෙන ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උරච්චි කරති. අනතුරුව ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යවස්ථාවට එකග බව පවසති. මහජන ඡන්දයෙන් තේරී පත්වූවකු තම පදවියේ බලය පාවිච්චි කළ යුත්තේ තමන් ලැබූ ජනවරමට අනුව ඒ ජනවරම තුළ පිහිටමිනි. 2015 දී මෛත්‍රීපාල සිරිසේනට ජනවරමක් ලැබුනේ රනිල් වික්‍රමසිංහ අගමැතිවන ආණ්ඩුවක යහපාලන න්‍යාය පත්‍රය ඉටු කිරීමට ය.ඒ ඔහු ලැබූ ජනවරමේ සීමාවයි. එය ඉක්මවා ගොස් මහින්ද රාජපක්ෂ අගමැති ධූරයේ පිහිටුවා මැතිවරණයෙන් පරාජය වූවන්ට අමාත්‍ය තනතුරු පුද කර ආණ්ඩු හදන්නට මෛත්‍රීපාල සිරිසේනට ජනවරමක් නැත. ඒ අනුව ඔහු තමන්ට ලැබෙන බලයේ මූලාශ්‍රය ඉක්මවා ගොස් ඇත. එයම යුක්තිය උල්ලංඝනය කිරීමක් බව මේ නීවේදීන්ට නොපෙනීම අවාසනාවකි.

ආණ්ඩු ක්‍රමව්‍යවස්ථා නීතිය ද පනත් වල සදහන් නීතිය ද අවශ්‍ය පරිදි නිර්වචනය කළ හැකිය. ඒ නිර්වචනයන් තමන් සිටින සංදර්භයට අදාළව යථාර්තය වේ. එහෙත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හෝ පනතක නීතියක් හෝ නිර් වචනය කළ යුත්තේ ඒ ඒ පාලකයා ලබා ඇති ජනවරමේ සංදර්භය තුළ ය. ඒ අනුව සලකා බැලූ විට මෛත්‍රීපාල සිරිසේන කර ඇත්තේ බරපතල ව්‍යවස්ථා උල්ලංඝනයකි. ඊටත් වඩා බරපතල ආචාර ධාර්මික හා සදාචාරවාදී සමාජ වටිනාකම් උල්ලංඝනයකි. යම් කිසිවකු 2015 ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවා තේරුම්ගෙන චන්දය දුන්නා නම් අද වන විට ජනාධිපතිවරයා විසින් කර ඇත්තේ ඒ ලබාදුන් ඡන්දයේ ජනවරම අපයෝජනය කිරීමකි.  ඊට හේතුව වන්නේ 2015 දී ඔහුට ඡන්දය දුන් කිසිවකු මහින්ද රාජපක්ෂගේ අගමැති තනතුරේ නායකත්වයෙන් ආණ්ඩුවක් නිර්මාණය වේ යැයි සිහිනෙන්වත් නොසිතූ  බැවිනි.

මහජනතාවගෙන් යම්කිසි ප්‍රතිපත්ති රාමුවක් තුළ ඡන්දය ලබා ගන්නෙකුට තමා ජයග්‍රහණය කළ පසුව තමන්ට අවශ්‍ය පරිදි අත්තනෝමතිකව ක්‍රියා කළ හැකි යැයි කල්පනා කරන්නේ නම් එය බරපතල වැරදි ආකල්පයකි. මහජනතාව බලය දෙන්නේ යම්කිසි අරමුණකින් නම් බලය ලබන්නා ඒ අරමුණේ වපසරිය තුළ කටයුතු කිරීම අනිවාර්ය වේ. නමුත් ජනාධිපතිවරයා 2015 තමන් ලැබූ ජන වරමට පයින් ගසමින් මහින්ද රාජපක්ෂව අග්‍රාමාත්‍ය තනතුරට පත් කරන විට ඒ වරද පැමිණිලි කරන්නට ආයතනයක් නොමැත. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ බරපතල දුර්වලතාවකි. එනිසා අසාධාරණයට හා මූලික් අයිතීන් උදුරා ගැනීමට ලක්වන්නේ ඡන්දදායකයා ය.

සමහර අවස්ථාවල මහජනතාවගෙන් ජනවරමක් ලබන පාලකයාට ලැබූ ජනවරමට පරස්පරව යන්නට විය හැකි අවස්ථා උදාවිය හැකිය. වර්තමානයේ දී වුවද ජනාධිපතිවරයාට තවදුරටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග කටයුතු කරන්නට අපහසු තත්ත්වයක් උදා වී තිබුණා විය හැකිය. එහෙත් එවැනි අවස්ථාවක දී ඔහුගේ අත්තනෝමතික අභිමතයට අනුව කටයුතු කරන්නට ඉඩදීම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට සපුරා පටහැනි ය. එනිසා කළ යුත්තේ ඒ සදහා සංවරණ හා සංතුලන ක්‍රමයක් () හදුන්වාදීම ය. එවිට ජනාධිපතිවරයාගේ ක්‍රියාව තවත් ආයතනයක් මගින් නියාමනයට ලක් වේ. එම ආයතනය බොහෝවිට ව්‍යවස්ථාදායකය විය හැකි ය. එවිට ජනාධිපතිවරයාගේ අදහස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර පාර්ලිමේන්තුවේ නියාමනය මත එය ඉටු කිරීම හෝ නොකිරීම හෝ සිදුකළ හැකිය. අවාසනාවට එවැනි ප්‍රතිපාදනයක් ආණ්ඩු ක්‍රමව්‍යවස්ථාවේ නොමැත. 

නමුත් ජනාධිපතිවරයා 2015 යහපාලන ප්‍රතිපත්ති වලින් සංස්කෘතිකව බැදී තිබුණා නම් ව්‍යවස්ථාමය ප්‍රතිපාදන නොමැතිව වුවද උපදෙස් පතා පාර්ලිමේන්තුවට යන්නට හැකියාව තිබුණි.  ඒ අනුව ජනාධිපතිවරයාගේ පක්ෂයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විශ්වාස භංග යෝජනාවක් ගෙනවිත් උක්ත කරුණු සාකච්ඡා කරන්නට අවස්ථාව තිබුණි. ඊට ලැබෙන පාර්ලිමේන්තුවේ ප්‍රතිචාරය මත නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත් කරන්නට හෝ නො එසේනම් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම සිදු කළ යුතුව තිබුණි. එසේවූවා නම් ජනාධිපතිවරයාට ඇති සමාජ ගෞරවය ශක්තිමත්ව තහවුරු වන්නටත් ක්‍රියාදාමයට විශාල සුජාතභාවයක් ලැබෙන්නටත් ඉඩ තිබුණි.  

නමුත් එවැනි ප්‍රාජතන්ත්‍රවාදී ක්‍රමයක් අනුගමනය කරන්නට ජනාධිපතිවරයාට නොහැකිවූයේ මෙය බල දේශපාලන ක්‍රීඩාවක් වූ බැවිනි. ජනාධිපතිවරයාට මූලිකවම අවශ්‍ය වූයේ 2015 ජනවරමට අනුව යහපාලන ප්‍රතිපත්ති ඉෂ්ඨ කිරීමට නොවේ. ඔහුට බලයට ආ පසු අවශ්‍ය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමයි. අවසානය වනවිට ඔහුගේ හිස ගිනි ගන්නා ප්‍රශ්නය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී තමන්ට අත්වන ඉරණමයි. ඒ නිසා ඔහුගේ අඥාණ උපදේශක බමුණන් සමග ගන්නට තිබූ නරකම තීන්දුව ගත්හ.  එය හොදින්ම පැහැදිලි කළේ වාසුදේව නානායක්කාර ය. ජනාධිපතිවරයාගේ අවලස්සන ක්‍රියාවෙන් පසුව පදනම් ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇමතු ඔහු කීවේ “මෙය ව්‍යවස්ථාවක් එක්ක කියවන්න යන්න එපා. මේක දේශපාලන ගේමක්. අපි ගේමක් දුන්නා. යූඑන්පී එකටත් කියන්න ප්‍රති ගේමක් දෙන්න කියල” යන්නයි. වාසුදේව කියන පරිදි මෙහි ඇත්තටම කතාව එයයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට දුන්නේ ගේමකි.

එහෙත් ඒ ගේමෙන් බරපතල පහර වැදුනේ ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්මයන්ට ය. ඔහු අමු අමුවේ උල්ලංඝනය කළේ අගය කළ යුතු සංස්කෘතික වටිනාකම් ය. 1978 වෙළෙද පළ ආර්ථික ප්‍රතිසංස්කරණයන් සමග සමාජය ද ක්‍රමයෙන් පාදඩ වූ අතර ඒ පාදඩ දේශපාලන සමාජයට මෙවැනි හැසිරීම් නිසා බලවත් උත්තේජනයක් ලැබුනත් සංස්කෘතික වටිනාකම් විනාශවීම දිගු කාලීන ව්‍යසනයකි. ලෝකයේ නන්දෙසින් අපවාද ගලා එන්නේ එබැවිනි. ලෝකයේ කිසිම රාජ්‍ය නායකයකු මහින්ද රාජපක්ෂගේ පත්වීම පිළිනොගන්නේ එබැවිනි. විශාල ආර්ථික සම්බාධකයන්ට මුහුණ දෙන්නට රටට සිදුවන්නේ එබැවිනි.

මේ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයෙන් ආතතියට පත්වූයේ එක්සත්ජාතික පක්ෂය පමණක් නොවේ. මේ වනවිට ජනාධිපතිවරයා ද රාජපක්ෂ කණ්ඩායම ද විශාල ආතතියකට පත්ව සිටී. ඊට හේතුව තමන් විසින් අටවන ලද උගුලේ තමන්ම හිරවීම ය. පෙනෙන්නට තිබෙන චිත්‍රයට අනුව කිසිවකුට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැත. බහුතරය ලබා ගැනීම සදහා ද ජනාධිපතිවරයා කරමින් ඉන්නේ ආචාරධාර්මික නොවන පරිදි මන්ත්‍රීවරුන් බා ගැනීම ය. කෙසෙල් කැනක් හොරට කැපුව එකා එතැන සිට සියල්ල කරන්නේ හොරට ය. ජනාධිපතිවරයාටත් සිදුව ඇත්තේ එය බව ලැජ්ජාවෙන් වුවද පැවසිය යුතු ය. 

මේ අතර මහින්ද රාජපක්ෂ සමග දුරගමන් යෑම ශරීර සෞඛ්‍යයට නුසුදුසු බව ජනාධිපතිවරයාත් නොදන්නවා නොවේ. මේ වනවිටත් ජනාධිපතිවරයාට මදි පුංචිකම් සිදුවෙමින් තිබේ. යම්හෙයකින් මහින්ද රාජපක්ෂගේ තනතුරට සුජාතභාවයක් ලැබුනහොත් ජනාධිපතිවරයා ක්ෂුද්‍ර ජීවියකු බවට පත්වන බව රහසක් නොවේ. ඒ නිසා ජනාධිපතිවරයා ප්ලෑන් බී ද සලකා බලමින් සිටින බව වාර්තා වේ. ඇත්ත්ටම ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග තිබෙන්නට ඇත්තේ සංස්කෘතික නොගැලපීමක්ය යන්න ජනාධිපතිවරයා පැවසූ ලෙසින්ම සත්‍ය විය හැකිය. එහෙත් ඒ නොගැලපීම සමනය කර ගන්නට ඔහු භාවිතා කළේ ආචාරධාර්මික නොවන ප්‍රවේශාත්මක උපක්‍රමයකි.  ඒ නිසා මේ වනවිට ඔහු 2015 සමාජ බලවේගයන්ගේ වෛරයට ලක්ව තිබේ. කොහොමටත් ජනාධිපතිවරයා රාජපක්ෂ බලවේගයේ හතුරෙකි. එනිසා අවම වශයෙන් එක් කෝටියක ජනතාවගේ නොරිස්සුමට ජනාධිපතිවරයා මේ වනවිට ලක්ව තිබේ.

දැන් අතරමැදි විසදුම් නොමැත. මහින්ද රාජපක්ෂ වෙනුවට රනිල් වික්‍රමසිංහ නොමැති එක්සත් ජාතික පක්ෂ අග්‍රාමාත්‍යවරයකු සමග ආණ්ඩු කරන්නට ජනාධිපතිවරයාට සුජාතභාවයක් නොමැත. එනිසා කළ යුත්තේ වහාම පාර්ලිමේන්තුව කැදවීමයි. පාර්ලිමේන්තුව කැදවා මේ අව නඩුව විසදා ගන්නට පාර්ලිමේන්තුවට ඉඩදීම හැර ජනාධිපතිවරයාට වෙනත් විකල්පයක් නැත. එහෙත් එය ජනාධිපතිවරයාට තවත් අර්බූද රාශියක ප්‍රවේශයක් වන බව නොකියාම බැරිය. නමුත් ළිදේ වැටුන එකා ගොඩ ආ යුත්තේ ළිං කටින්ම බව අපේ ජනසමාජයේ කතාවක් පවතී.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Thrre were articles regarding the constitution and democracy.poelle read a d a few understands or some need not to understand.but the most important thing at this juncture is to make poeple understand the consequence they and the future generatikn of our country would face,if we are to stick to party politics.
    And need to explsind how the said consequence can hit their own purse.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.