23 April, 2024

Blog

ආයෙත් ඒවිද ඒ (යතුරු හිලෙන් බලා සිටින) සමනළයා?

ගෘෂා ඇන්ඩ්රූස්

“හිරමණය එරෝප්පෙට ගෙනිච්චත් ඒකෙන් කළ හැක්කේ පොල් ගාන්ට පමණක්” බව අපේ අත්තම්මලා පැරැණ්නන් උපුටා දක්වමින් අපට කියා ඇත. හීන දීන මිනිසුන්ට ලැජ්ජා නැති බවද, ලැජ්ජා නැති කම මහමුදලි කමට වඩා ලොකු බවද ඔවුහු කියා දුන්හ. ලැජ්ජා නැතිකම ජනාධිපතිකමටත් වඩා ලොකු බව පෙන්වමින් ශ්‍රී ලංකා දේශපාලනයේ නින්දිතම  ප්‍රජාතන්ත්‍රවාදයේ පාවා දීම සිදු කළ මෛත්‍රිපාල සිරිසේන සිය අධ්‍යාත්මය ද කෙතරම් නින්දිත සහ දරිද්‍ර එකක් දැයි පෙන්වමින් අද දින බත්තරමුල්ලේ පවතී මහින්ද- මෛත්‍රී ජනරැලියේදී සමරිසි පුරවැසියන්ට අපහාස කිරීමට භාවිතා කරන වචනයක් වන “සමනලයා” යනුවෙන් අපගේ ජනරජයේ අගමැතිවරයාව සහ ඔහුගේ අනුගාමික දේශපාලකයන් හඳුන්වා දුන්නේය. 

මෙම නිහීන, සිය ධුරයට ගර්භා කරන, අසික්ෂිත ප්‍රකාශය අපගේ ජනරජයේ ජනාධිපතිවරයා විසින් කරනු ලබන අවස්ථාවේ එම වීඩියෝවේ පෙනෙන්නට සිටි සියළු දේශපාලකයන් – එනම්- මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, සුසිල් ප්‍රේම්ජයන්ත් සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන සියල්ලෝම කොක් හඬ නගමින්, අත්පොලසන් දෙමින් සිනාසෙනු දක්නට ලැබුණි. මෙම තුච්ඡ ක්‍රියාවට සිතූ පැතූ ලෙසම රැස්වී සිටි ජනතාවද අත් ඔසවමින්, ඔල්වරසන් දෙමින් සහය දක්වනු දක්නට ලැබුණි. මෙසේ මනුෂ්‍යයකුගේ ලිංගිකත්වය පිළිබඳව අනුමාන කර ඊට ගැරහීම, තවෙකකුගේ දුර්වලතාවයක් හෝ වැරද්දක් ඔහුගේ ලිංගිකත්වය නිසා ඇති වූවක් බව සිරිසේන විසින් ප්‍රකාශ කිරීම අපගේ ජාතියේ නායකයා කෙතරම් නූගත්, අමන, පටු අදහස් දරන මෝඩයෙක් දැයි පසක් කරයි. 

මේකයිසංස්කෘතින් දෙකක වෙනස”!

අන් මිනිසුන්ගේ ජාතිය, ආගම, කුලය, ලිංගික නැමියාව, ජීවත් වන ප්‍රදේශය ආදී වශයෙන් පහත් කොට සැලකීම මිනිසකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණයකි. ඊටත් වඩා එය දීන, ග්‍රාම්‍ය, කෲර සහ අසංස්කෘතික නිවටයකුට පමණක්  කළ හැකි ක්‍රියාවකි. රනිල් හා සිරිසේන අතර ඇති බවට සිරිසේන විසින්ම කියන සංස්කෘතික ගැටුමද මෙයයි. තමාගේ නිදන කාමරයේ සිදු වන දෙය නිදන කාමරයේ තබා ගැනීමට ශික්ෂණයක් තිබීම සංස්කෘතිකය. අන් අයගේ නිදන කාමර වලට එබිකම් කරමින් යතුරු හිලෙන් මෛතුන්‍යයන් නරඹ්මින් හෝ එවැනි ෆැන්ටසි ගැන සිහින දැකීම අසංස්කෘතිකය. බලාගෙන යද්දී අපට ඉන්නේ ජනාධිපති කෙනෙක් නොව “peeping Tom” කෙනෙකි. 

දේදුනු සංවාද නමැති ෆේස්බුක් පිටුවෙහි මෙම අසංස්කෘතික භාවය හා බැඳුනු සමාජ ඛේදවාචකය ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ පහත ආකාරයෙනි. (උපුටාගැනීම):

“සදාචාරවාදී යැයි කියා ගන්නා අපේ වැනි සමාජවල පොදුවේ ලිංගික අසහනයක් තිබේ. ඇත්තටම එහි ඇති සදාචාරයක් නැත. අපි එය අත්විඳිමින් සිටිමු. පියා විසින් දියණිය අපයෝජනයට ලක් කරද්දී, ආගමික නායකයන් විසින් ළමුන් අපහරණය කරති. ළමුන් පාසැල්වලට ඇතුළු කිරීම සඳහා ගුරුවරු මව්වරුන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලති. රටට නීති සාදන දේශපාලනඥයෝ ඊට වඩා අසහනයකින් පෙළෙති. ඔවුන් ඡන්ද ලැයිස්තුවට කාන්තාවන් ඇතුළු කර ගන්නේ ද ලිංගික අල්ලස් ලබා ගෙනය. ඒ අතර නීතිය ක්‍රියාත්මක කරන හමුදාවට, පොලීසියට විරුද්ධව ලිංගික අපචාර චෝදනා එල්ල වෙයි. නීතිය පසිඳලන උසාවිය ද ලිංගික හිංසනයෙන් පිරි එකකි. මේ අතර සාම්ප්‍රදායික පවුල් ව්‍යුහයේ සුවිසල් කඩා වැටීමක් අපි අත් දකිමු. මේ කිසිවක් බැලූ බැල්මට විසඳිය නොහැක. මුවා හේනේ ගොයම් කා පලා ගිය කල, ගෙදර තියෙන මුවහමට තලනවා සේ මේ සියල්ලට වැරදිකාරයන් සේ අල්ලා ගැනෙන ප්‍රධාන සතුරෙකු වන්නේ ‘සමලිංගිකයා’ය” (උපුටාගැනීම නිමි)

සිරිසේන තමාගේ ලිංගික නැමියාවතෝරාගත්තේ” කවදාද? 

අවඥාවෙන්, මහත් ජයග්‍රාහී සහ කෘර ලෙස සිනාසෙමින් සිරිසේන කතා කරන ආකාරයෙන් හැගී යන්නේ ඔහු සමලිංගිකත්වය යනු පහත් කොට සැලකිය යුතු දුර්වලතාවයක් ලෙස සලකන බවය; එය  අවඥා සහගත තෝරා ගැනීමක් බවය. ලිංගික නැමියාව අප විසින් සවිඥානිකව තෝරා ගනු ලබන්නක් යයි මේ නුගත් ජනාධිපති සිතයිද? ඔහු සිතන්නේ නව යොවුන් වියට එළඹෙන මනුෂ්‍යයින් රෝස පාට කමිසයද? නිල් පාට කමිසයද කියා ඇඳුමක් තෝරන්නාක් මෙන් ලිංගිකත්වය තෝරා ගන්නවා කියාද? එසේ නම් සිරිසේන විෂම ලිංගිකයෙක් වීමට තෝරා ගත්තේ කවදාද?  

තවද, සිරිසේන කියු පරිදි ඔහු කරු ජයසූරියට අගමැතිකම භාර ගැනීමට ආරාධනා කළේය. කරු ජයසුරිය විෂම ලිංගිකයෙක්දැයි සිරිසේන සහසුද්ධයෙන් දන්නවාද? එතකොට ඊළඟට ඔහු ආරාධනා කළ සජිත්? සජිත් විෂම ලිංගිකයෙක්ද? සිරිසේන කරුගේ සජිත්ගේ කාමරයේ යතුරු හිලෙන් බලා සිටද ඒ දෙදෙනාට ආරාධනා කළේ අගමැති වන්නට? දිනේෂ් ගුණවර්ධන ඒ සභාවේ කොක් හඬලන්නේ මන්ද? ඔහුගේ සියලු සහෝදරයන්-නෑසියන් විෂම ලිංගිකයන්ද? එම සභාවේ සිටි පොහොට්ටුවේ මහා ලේකම් ජී එල් විෂම ලිංගිකයෙක් කියා සිරිසේන සහතික කරගෙන ඇත්ද?

එමතුදු නොවේ, තමාගේ දරුවකු හෝ මිනිබිරියක කෙදිනක හෝ තමා සමරිසි ලිංගික නැමියාවක් ඇති අයෙකු බව නොකියනු ඇතැයි සිරිසේනට සහතිකයක් තිබේද? එවැනි සහතිකයක් අප කාහට හෝ තිබේද? අප ආදරය කරන්නෙක් එසේ වුවහොත් අපි වේදිකාවක නැගී ඔවුන්ට ඔලොක්කුවට සිනාසෙනවාද? ගරහනවාද? තවද, සිය ධූරයේ බලය පාවිච්චි කර යටත් රජයේ සේවිකාවන් සමග කාර්යාලය තුළ සහවාසයේ යෙදීම, රාජ්‍ය දේපොළ භාවිතයෙන් එම කාන්තාවන්ට අයුතු ලෙස මුදල් ඉපයීමට මග සැලසීම, විදේශ සවාරි ලබාදීම, ඒවා පිලිබඳ සාක්ෂි දේශපාලන පසමිතුරන් අතට ගිය විට ඒවා වැසීමට ජනමතය පාවා දෙමින් ඩීල් දැමීම ජනාධිපතිගේ ලිංගිකත්වයේ කොටසක්ද? නැතිද? 

සිරිසේන, දෛවය ඔබ සිතනවාට වඩා අනපේක්ෂිතය; නාටකීයය; එහි කාව්‍යමය යුක්තියක් ඇත. මිනිසුන්ට අවඥා කිරීමට පෙර දහස් වර සිතන්න!

ආයෙත් ඒවිද සමනළයා?

දේශපාලන දළඹුවෙක්ව, කඳුළු සලමින්, රාජපක්ෂවරයකුගේ අනාගත අභිෂේකය හමුවේ සිය දේශපාලන ජීවිතයේ අවසානයට ලඟා වී සිටි මෛත්‍රිපාල සිරිසේනව රන්වන් පාට සමනලයකු කොට ඔහුගේ රූපාන්තරණය සම්පුර්ණ කරනු ලැබුනේ එජාප, ශ්‍රීලනිප ඇතුළු තවත් සමාජ බලවේග රැසක අනුහසිනි. 2019 ආපසු සමනළයෙක් ව පියාඹීමට සිහින මවන සිරිසේන මදුරුවකු වෙන් මහින්ද රාජපක්ෂ අත්ලෙන් ඛේදනීය ලෙස චප්පා වීමට වැඩි කලක් ගත නොවනු ඇත. ඔහු අද වේදිකාව මත පෙන්වූයේ යහපාලන සහජීවනය බිදී යාමට ඔහු කෙතෙරම් දායකත්වයක් සපයන්නට ඇතිද යන්නයි. මර්වින් සිල්වා, ඔසී අබේගුණසේකර, රාජිත සේනාරත්න, චතුර සේනාරත්න, පවිත්‍රා වන්නිආරච්චි පන්නයේ කුණු වුනු දිව සහිත, කුණුහරුප වලින් සැදුනු, කුණු වුණු දේශපාලනයේ නියෝජිතයා තමා බව පමණක් ඔහු අද පසක් කළේය. මෙවැනි තුන්වැනි පන්තියේ, මුග්ධ කතාවකින් චිත්තවේග කළමනාකරණයේ කෙළ පැමිනි රනිල්ව සොලවන්නට සිරිසේනට බැරිය. සමහර විට රනිල්ට මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒමට ඔහු හැමදා කරන පරිදි නිකම් ම බලා සිටීමද සෑහෙන්නට ඉඩ තිබේ. මෙම අසාර්ථක, අලජ්ජී, නූගත් ජනාධිපතිට සිය ආත්ම විනාශනය ඉතා පහසුවෙන් ලඟා කර ගත හැක. 

මෛත්‍රිපාල සිරිසේන නමැති ඒ සමනළයාට තමාගේ ජීවන චක්‍රය දිගු කර ගැනීමට යතුරු හිල් කීයකින් බලා සිටියද නොසෑහෙනු ඇත.  

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    ළිදෙන් වතුර බීලා..
    එයින් වතුර නාලා..
    ළිඳට ගල් ගසාලා..
    වතුර බොර කරයි මිනිසා..
    වතුර බොර කරයි මිනිසා
    ගඟට ආවඩයි..

    ගහේ වැල එතීලා යාවී හැදී..
    පසුව මිලින වීලා සාරේ අදී..
    කාලා බීලා නිදලා කාලේ ගෙවයි..
    කාපු තැනද වනසා මිනිසා දුවයි..
    .
    ඉණිමන් තබාලා නැගීලා බලයි..
    එයට පහර දීලා කඩාලා දමයි..
    අතීතේ නසාලා දිනුවා සිතයි..
    තිබූ තැනද නැතිවී පරාදේ වැටේ..

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.