26 April, 2024

Blog

දෙදෙනෙක් සහ ආතතියක් කළ හදියක්

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කවුරු කොහොම යහපාලන ආණ්ඩුවට බැන වැදුන ද ලබන මාසය වනවිට රාජපක්ෂවරු හිටියේ එක් අයකු හෝ දෙදෙනකු හෝ කල්දේරම් බතේ රස බැලීමට සිදුවන අවධානමක ය. ඒ නාමල් රාජපක්ෂ විය හැකි ය. ගෝටාභය රාජපක්ෂ විය හැකි ය. එහෙමත් නැත්නම් බැසිල් රාජපක්ෂ විය හැකි ය. ඒ තිදෙනාට එරෙහිව අධිකරණයේ ඇසෙමින් තිබුණ නඩු පැවතුනේ තීරණාත්මක මංසන්ධියක ය. 

ඒ අවධානමට සමාන්තරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද බරපතල දේශපාලන අවුලකට මැදිව සිටියේ ය. ඒ තව වසරකින් පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ඔහුට සිදුවන්නේ කුමක් ද යන්න හිතා ගැනීමට නොහැකිවීමයි. ඔහුව පොදු අපේක්ෂකයා වශයෙන් තෝරා ගන්නට නොහැකි බව එක්සත් ජාතික පක්ෂය කල් ඇතිවම පවසා තිබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩී බිදී ගොසින් ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්ථිරවම අපේක්ෂකයකු ඉදිරිපත් වන්නේ ය. ඒ සංදර්භය තුළ ජනාධිපතිවරණයට තරග කළහොත් මෛත්‍රීපාල සිරිසේනට අත්වන්නට තිබුණ ඉරණම හාස්‍යජනක ය. එනම් බලයේ සිටින ජනාධිපතිවරයකු සිය දෙවැනි ධූර කාලය සදහා වූ ජනාධිපතිවරණයේ දී තුන්වැනි ස්ථානයට පත්වන්නට නියමිතව තිබුණි. 

මේ කරුණු කාරණා අස්සේ මෛත්‍රීපාල සිරිසේනට ඉතිරි වූයේ තමා මරන්නට පසු පස පන්නනවා යැයි තමාම චෝදනා කළ හිටපු ජනාධිපතිවරයාම ය. ඒ දෙදෙනාටම දෙදෙනා අවශ්‍යව තිබූ මොහොතකි. තමන්ගේ පවුලේ සාමාජිකයන් නඩ හබ වලට අසු වී හිරේ විලංගුවේ වැටෙන්නට යන මොහොතක මොකා සමග හෝ එකට එකතුවී රාජ්‍ය බලය ලබා ගැනීම එකම විකල්පය වේ. එනිසා තම හිතෛෂීන්ටවත් පක්ෂවල  තනතුරු දරන්නන්ටවත් නොකියාම එකට එකතුවීමේ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණය දියත් කළහ. 

රාජපක්ෂවරුන්ට 2014 දී මෛත්‍රීපාල සම්බන්ධයෙන් ඇතිවූයේ වෛරයකි. ඒ වෛරය බලය ලබා ගැනීම සදහා අමතක කරන්නට නොහැක්කක් නොවේ. එහෙත් මෛත්‍රීපාලට රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් තිබුණේ මර බියකි. ඒ ඔහුව මරන්නට රාජපක්ෂවරුන් කුමන්ත්‍රණය කළ බව කියමිනි. ඊට අමතර ඔහුගේ නහයෙන් ඇඩීම් තුළ දහසකුත් එකක් නොසලකා හැරීම් අඩංගුව තිබුණි. එක අතකින් සිගරට් පෙට්ටියේ අනතුරු හැගවීම් වලට කළ බාධා ය. අනෙක් අතින් තම පුත්‍රයා සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමේ දී තදින් නීතිය ක්‍රියාත්මක කරවීමට රාජපක්ෂලා කළ බලපෑම් ය. ඇත්ත වශයෙන්ම අගමැතිකම නොදීම ඔහු නොකියා කියූ මූලිකම දුක් ගැනවිල්ල ය. ඒ සියල්ල අමතක කරන්නට මෛත්‍රීට හැකිවූයේ 2019 ජනාධිපතිවරණ අපේක්ෂකකම ලැබේ යැයි සිතා ය. 

වාර්තාවන පරිදි මෛත්‍රීත් මහින්දත් එකට එකතු වූයේ ගිවිසුම් ගතව ය. මහින්දගේ නඩු හබ ටික නතර කරන්නට මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය මෛත්‍රීට ලබා ගැනීම ද ඒ අලිඛිත ගිවිසුමේ සදහන් ය. ඒත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයේ  ව්‍යවස්ථාවට පටහැනිව දිවුරුම්දුන් දිනට පසු දා පදනම් ආයතනයේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇමතූ විමල් වීරවංශ කීවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය මෛත්‍රීට ලබාදීමේ එකගතාවක් නොමැති බව ය. 

මේ අතර පසුගිය දා ජනාධිපතිවරයා හමුවන්නට ගිය රාජිත සේනාරත්න හා ජෝන් අමරතුංග වැනි දේශපාලකයන් හමුවේ සාකච්ඡා කරමින් රනිල් වික්‍රමසිංහ නොමැතිව වෙනත් යූඑන්පීකාරයකු අග්‍රාමාත්‍ය ධූරයට පත් කර ආණ්ඩුව දිගටම ගෙනයෑමට ඇති කැමැත්ත ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණැයි මාධ්‍ය වාර්තා කර තිබුණි. එය සත්‍යක් නම් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයේ තබා ගන්නට පවා මෛත්‍රීපාල සිරිසේන තුළ  ඇත්තේ උපක්‍රමික කල් බැලීමේ අරමුණක් පමණි. 

කෙසෙල් කැනක් හොරෙන් කැපූ ගම් හොරෙකුට එය කඩයකට දී කීයක් හෝ සොයා ගන්නා තෙක් අනුගමනය කරන්නට වෙන්නෙ හොර වැඩම ය. ඒ අනුව ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් දියත් කළ ජනාධිපතිවරයාට ශිෂ්ඨ දේශපාලන ප්‍රයෝගයන් අනුගමනය කළ නොහැක. ඔහු තවදුරටත් කළ යුත්තේ හොර වැඩම ය. ඒ නිසා වරෙක ඔහු මහින්ද රාපක්ෂ හා එකගතාවකට පැමිණේ. තවත් වරෙක එක්සත් ජාතික පක්ෂය හා එකගතාවකට පැමිණීමට උත්සාහ ගනී. සමහරවිට මීට වෙනස් අමුතුම දෙයක් අනුගමනය කරන්නට ද ඔහු නොපැකිළිය හැකිය. ඊට හේතුව ජනාධිපතිවරයාට ඇත්තේ බලය පිළිබද ප්‍රශ්නයක් නිසා ය.

පාර්ලිමේන්තු වටරවුමේ දී පැවැති විශාල ජන රැලියේ දී ජනාධිපතිවරයාට සෙනග දැක එළොව මෙලොව නැති විය. ඔහු මිනිසුන්ගේ ලිංගිකත්වය පවා හාස්‍යයට ලක් කළේ ය. බටහිර රටක නම් මෙවැනි මිනිසුන් යවන්නේ හිරගෙවල් වල ය. එහෙත් වේදිකාවේ සිටි ජේෂ්ඨ දේශපාලකයන්ගේ සිට සියළු ජනතා කොටස් ඊට හුරේ පිට හුරේ තැබී ය. ජනාධිපතිවරයා පවසන පරිදි ඩී ඇස් සේනානායක හා ඩඩ්ලි සේනානායකවරුන් හොද වූවා නම් සග, වෙද, ගුරු, ගොවි, කම්කරු මූලික වූ 56 විප්ලවය පට්ට පල් බොරුවකි. ඊට හේතුව ශ්‍රීලනිප ආරම්භකයා වූ බණ්ඩාරනායක 56 ජනතා පෙරලිය කළේ ඩීඇස් හා ඩඩ්ලි ප්‍රවර්ධනය කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව ය. ජනාධිපතිවරයාගේ තර්ක ඔහුටම එරෙහිව නැගී සිටියේ ඛේදජනක ලෙස ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ සමග ආණ්ඩු කරන්නට ජනාධිපතිවරයාට අපහසු වූවානම් ඔහුට කරන්නට තිබුණේ යටිකූට්ටු වැඩ කරමින් අගමැතිකම භාර ගන්නැයි කරු ජයසූරියගෙන් හා සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටීම නොවේ. ඔහුට ජයග්‍රහණය කරන්නට අතදුන් එක්සත් ජාතික පක්ෂය සමග විවෘත සංවාදයකට යන්නට ජනාධිපතිවරයාට වගකීමක් තිබුණි. එහෙත් එවැනි ශිෂ්ට ක්‍රමයක් අනුගමනය නොකළ ඔහු කරූට හා සජිත්ට කතා කරමින් අගමැතිකම භාර දෙන්නට මහන්සි ගත්තේ ජනාධිපතිවරයාගේ අකෘතඥකම නිසා ය. එසේම ජනාධිපතිවරයා මුහුණ දුන්නේ යැයි කියන ප්‍රශ්න සමග ඔහු මහජන නියෝජිතයන් සිටින ව්‍යවස්ථාදායකයේ උපදේශයක් ගන්නට ද කල්පනා නොකළේ ය. ඒ ඔහුගේ නොමේරුම්කම නිසා වන්නට ඇත. 

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ අශ්ලීල ක්‍රියාවට මුලින්ම අභියෝග කරමින් එළියට බැස්සේ ඔහුගේ පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනූෂ නානායක්කාර ය.මනූෂගේ තීරණයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාව පිළිකුලෙන් යුතුව බැහැර කරන්නන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින බව ලෝකයාටම පැහැදිලි විය. තවත් මන්ත්‍රීවරු තිදෙනෙකු ජනාධිපතිවරයාගේ තීරණයට විරෝධය පාමින් හෙට අනින්දාම එළියට එන බව අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයාට බලයට පත්වූ දා සිටම තිබුනේ බල පෙරේතකමකි. ඔහු මුලින් කීවේ තමා පදවිය දරන්නේ එක්වරක් පමණක් බවකි. එහෙත් පසුව ඊළග ජනාධිපතිවරණයේ දී ද තමා තරග කරන බව ගෝලයන් ලවා කියවා ගත්තේ ය. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබා ගනිමින් ජාතික වගකීම පසෙක ලා පක්ෂ වගකීම් ඉටු කරන්නට ගියේ ය. මහජන ඡන්දයෙන් පරාජය වූවන් ජාතික ලැයිස්තුවෙන් පත් කර ගනිමින් තමාට හූමිටි තියන චක් ගෝලයන් පිරිසක් ද ඇති කර ගත්තේ ය. අනතුරුව සියල්ල පසෙක ලා ඊලග ජනාධිපතිවරණයට කල් යල් බැලී ය.

එහෙත් ජනාධිපතිවරයා ජනවරම ලබාගත් අන්දමින්ම ධූරයට පත්වූ පසුව මහා මැතිවරණය පවත්වා තමන් කැමැති ආණ්ඩුවක් පත් කර ගන්නට ඉඩ දී ඒ පත්වන ආණ්ඩුවත් සමග යහපාලන ප්‍රතිපත්ති ශක්තිමත් කළා නම් ශක්තිමත් නායකයකු බවට පත්වන්නට ඔහුට අවස්ථාව තිබුණි. එවිට ඔහු නිර්පාක්ෂික දේශපලාන නායකයෙකි. ඔහුට ඇත්තේ යහපාලනය ශක්තිමත් කිරීම ය. ඒ හැරෙන්නට කිසිම අරමුණක් ඔහුට නොමැත. එසේවූවා නම් මිය යන තුරුම නායකයකු ලෙස ගෞරවයට ලක් වන්නට ජනාධිපතිවරයාට ලොකු ඉඩක් තිබුණි.

දැන් ජනාධිපතිවරයා පමණක් නොව මුළු රටම සිටින්නේ සිරවීමක ය. මේ සිරවීමෙන් ගැලවීමේ මාර්ගය ඇත්තේ ජනාධිපතිවරයා තුළ මය එහෙත් ඔහු ඒ සිරවීම තුළ ගුළි වෙමින් සිරවීමෙන් ගැලවීම මග හරී. නොවැම්බර් 16 දා ට කල් තැබූ පාර්ලිමේන්තුව කැදවන්නැයි දස දෙසින් බලකෙරීම් කෙරේ. ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාරයක් ලෙස පාර්ලිමේන්තුව කැදවා ඇත්තේ නොවැම්බර් 14 වැනි දා ටය. ඔහු දැන හෝ නොදැන හාස්‍යයට ලක් කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයි. ඒ අනුව රටට අපකීර්තියක් ගෙන ඒම මෛත්‍රීගේ ප්‍රධාන ඉලක්කය බව පෙනේ. 

රටේ මුදල් ඒකකය සීඝ්‍රයෙන් අව ප්‍රමාණය වෙමින් තිබේ. කොටස් වෙළෙද පළෙන් විදේශ ආයෝජන ඉවත් වෙමින් තිබේ. ලංකාවේ සංචාරයේ නොයෙදෙන්නැයි අවවාද කෙරෙමින් පවතින අතර ඒ අනුව කාමර වෙන් කිරීම් අවලංගු කෙරෙමින් පවතී. ගෙවුම් ශේෂ හිගය බරපතල ප්‍රශ්න ඇති කරමින් පවතින අතර යන්තමින් අල්ලාගෙන ආ ආර්ථිකය කඩා වැටීමේ අනතුරක් පවතී. මේ සියල්ල සිදුවූයේ ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බල අරගලය නිසා ය. එහෙත් තම දේශපාලන ප්‍රතිවාදියාට අශ්ලීල අපහාස කරමින් ගැලරිය පිනවනවා මිස රටේ ආර්ථිකය කඩා වැටීමට ඔහු සංවේදී නොවේ. 

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ 113 සරළ බහුතරය තාමත් නොමැත. එනිසා ඔහු සරළ බහුතරය සකස් කර ගන්නට අසීරු උත්සාහයක යෙදෙමින් සිටී. ඒ කාලය තුළ රට බරපතල කඩා වැටීමකට ලක්වන බව ඔහුට නොතේරේ. රටකට සිටිය යුතු නායකයා දේශපාලකයකු නොව රාජතාන්ත්‍රිකයකු යැයි මෛත්‍රීපාල සිරිසේන කවදාවත් අසා පුරුදු බවක් දකින්නට නැත.

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    වටිනා විවරනයක් පිලිප්. ජනපතිවරාගේ බල තන්හාවට ඔහුගේ දුවගෙන් සහ සහොදරයන්ගෙන් සැහෙන පීඩනයක් එන්න ඇති කියල හිතෙනව.මුලින් තම ධුර කාලය අඩු කරගන්න හදපු මෙතුමා මෙතරම්ම මොංගල් කරන්න පවුල සහ අනෙකුත් යටිකුට්ටු දේශපාලුවන් හේතු වෙනව.රනිල් ගේ මහන්තත්ත ආකල්පයත් මෙයාව එතෙන්ට තල්ලු කරන්න ඇති.ඒත් මෙතුමා මෙච්චරම පීචං චරිතයක් කියල ජීවිතේට හිතුනෙ නෑ.

  • 2
    0

    ළිදෙන් වතුර බීලා..
    එයින් වතුර නාලා..
    ළිඳට ගල් ගසාලා..
    වතුර බොර කරයි මිනිසා..
    වතුර බොර කරයි මිනිසා
    ගඟට ආවඩයි..

    ගහේ වැල එතීලා යාවී හැදී..
    පසුව මිලින වීලා සාරේ අදී..
    කාලා බීලා නිදලා කාලේ ගෙවයි..
    කාපු තැනද වනසා මිනිසා දුවයි..

    ඉණිමන් තබාලා නැගීලා බලයි..
    එයට පහර දීලා කඩාලා දමයි..
    අතීතේ නසාලා දිනුවා සිතයි..
    තිබූ තැනද නැතිවී පරාදේ වැටේ..

  • 1
    0

    ජනාධිපති විය යුත්තේ මොලයක් හා හදවතක් ඇති මිනිසෙකි. මේ දෙකම නැතිනම් බුද්දිමත් තීරණ ගැනීමටවත් කාරුණිකව මනව ප්‍රජාවගේ ප්‍රශ්න විසදීමට වත් නොහැක .my 3 මොලයක් නැති හිස්ම හිස් කලගුන නොදන්නා මිනිසෙක් බව පෙනේ

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.