28 March, 2024

Blog

දැන් මහින්ද දේශප්‍රිය ගෙදර යන්නේ ද?

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

පවත්නා නීති රීති තුළ මේ මොහොතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බවට වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පසුගිය සතියේ දී ප්‍රකාශයට පත්විය. එම තීරණය අනුව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ඉල්ලා අස්විය යුතු වුවද මේ මොහොත වන තුරු ඔහු ඉල්ලා අස්වී නොමැත.

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට නීතිමය වටපිටාවක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දුන්විට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි නීතියක් නොමැත. එහෙත් මේ මොහොතේ පළාත් සභා මැතිවරණය නොපවත්වන්නේ නම් තමා ඉල්ලා අස්වන බව මුලින්ම වහසි බස් කීවේ මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියයි. එහෙත් දැන් ඒ සදහා ඔහුට නීතිමය වශයෙන්ම පිළිතුරක් ලැබී ඇතත් සභාපතිවරයා නිහඩ ය. එසේම සිදුවූ කිසි දෙයක් ඔහු නොදන්නා සේ ජනාධිපතිවරණයට සූදානම් වන බවක් ද දක්නට ලැබේ.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියකු වන මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධූරයට පත්වූයේ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවීමෙන් අනතුරුව ය.  එතෙක් ඔහු මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුර වන  මැතිවරණ කොමසාරිස් ධූරය දැරුවේ ය. ඒ අතින් ඔහු එම විෂය සම්බන්ධයෙන් ප්‍රවීන අත්දැකීම් ඇත්තෙකි. 

මහින්ද දේශප්‍රිය අතිශයෙන්ම ජනතා ආකර්ශනයට පත්වූයේ 2015 ජනාධිපතිවරණයේ දී “කකුළට නොව හිසට වෙඩි තබන්නැයි” ඔහු කළ ප්‍රකාශයෙනි. ඇත්ත වශයෙන්ම එම ප්‍රකාශය නිසා 2015 ජනාධිපතිවරණය නීත්‍යානුකූලව පවත්වන්නට විශාල පිටිවහලක් ලැබුණි. එම ප්‍රකාශය නීතියට අනනුකූල වුවද එම කාලයේ පැවැති වාතාවරණය නිසා එය ඉමහත් ජනප්‍රසාදයට පත්වූ ප්‍රකාශයක් විය. 

ඒ සමගම මහින්ද දේශප්‍රිය ජනතාවගේ නිලධාරියකු විය. රාජ්‍ය නිලධාරියකුගේ භූමිකාවෙන් වෙනස්ව වෙනස් ඇදුමක් පවා අදිමින් නිතරම ඔහු මහජනතාව සමග ඇලෙමින් ගැටෙමින් රාජකාරී කළේ ය. ඔහු කොළඹ අගනාගරිකයේ කොල්ලන් හා කෙල්ලන් සමග පවා ලෙන්ගතු ආශ්‍රයකට යොමු වූයේ ෆේස්බුක් සමාජ ජාලයේ ආකර්ශනීය සාමාජිකයකු වූ නිසා ය. ඒ සමගම පොත් ප්‍රදර්ශන, පොත් එළිදැක්වීම්, නාට්‍ය, චිත්‍රපට ආදී මිනිසුන් ගැටෙන තැන් වල ද ඔහු නිතර දක්නට ලැබුණි. 

මේ ආකර්ශනීය ප්‍රතිරූපයට ඔහු බලවත් හානියක් කර ගත්තේ 2018 ඔක්තෝබර් 26 වැනිදා  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ජනාධිපතිවරයා ක්‍රියා කරන්නට පටන් ගැනීමත් සමග ය. නොවැම්බර් 09 වැනි දින ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් අලුත් මහ මැතිවරණයක් පැවැත්වීමට දින කැදවීමත් පසු පස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ද වූ බව සමහර මාධ්‍ය වාර්තා කර තිබුණි. එහිදී ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගෙන් කරුණු පැහැදිලි කිරීමක් කරගෙන තිබුණ බව ද ප්‍රසිද්ධියට පත්විය. 

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කර ගැනීම් කිරීම නුසුදුසු හෝ නොවිය යුතු හෝ ක්‍රියාවක් නොවුවද මහින්ද දේප්‍රියගේ මල්ලෙන් බළලා එළියට පැන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීමත් සමග ය. ඔහු තවත් කොමිෂන් සභා සමාජිකයකු හා එක්වී තීරණයක් ගෙන තිබුණේ මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය බලතල මැතිවරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ට පැවැරීමට ය. 

එහෙත් එවැනි තීරණයක් ගන්නට පෙර වගකීමක් ඇති කොමසාරිස් ලෙස ඔවුන්ට දෙතුන් වතාවක් සිතා බලන්නට වගකීමක් තිබුණි. ඊට හේතුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විරෝධී බවට රටේ මහත් ආලෝලනයක් ඇතිවී තිබූ බැවිනි. එහෙත් ඒ විරෝධය තුට්ටුවකට මායිම් නොකළ සභාපතිවරයා පොතේ හැටියට තීන්දුව ගනිමින් මහා මැතිවරණයකට සූදානම් විය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය බලවත් අපහසුතාවකට පත්වූයේ එම කොමිෂන් සභාවේම සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් ජනාධිපතිවරයාගේ ක්‍රියාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමත් සමග ය. මහාචාර්ය හූල් රටේ සෙසු පුරවැසියන් කිහිපදෙනෙකු හා එක්වෙමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි. 

බුද්ධිමතෙකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් කළේ අතිශය ඇගයීමකට ලක් කළ යුතු ක්‍රියාවකි. එහෙත් ඊට සම්මාදම් වන්නට මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් අතිමහත් අත්දැකීමක් සහිත රාජ්‍ය නිලධාරියකු වන මහින්ද දේශප්‍රියට නොහැකි විය. ඔබ එසේ හැසුරුණේ මන්දැයි මේ ලියුම්කරු විසින් ෆේස්බුක් මාධ්‍ය මගින් විමසීමේ දී සභාපති දේශප්‍රිය විසින් පිළිතුරු දුන්නේ “සටහන් කර ගතිමි” යන අදහස දෙන (Noted) යන වචනයෙනි. ඉන් එහා කිසිවක් ප්‍රකාශ නොකිරීමට ඔහු පරිස්සම් විය.

රාජ්‍ය බලය සම්බන්ධයෙන් අපැහැදිලි නොවන අවස්ථාවක දී ඝෘජු තීරණ ගත්ත ද රාජ්‍ය බලය සම්බන්ධයෙන් ව්‍යාකූල අවස්ථාවන්දි දී මහින්ද දේශප්‍රිය නම් රාජ්‍ය නිලධාරියා/ කොමිසම් සභාපතිවරයා සටකපට බවට තැන තැන කසුකුසු ඇතිවිය. 2015 දී මෙන්ම 2018 දීත් රාජ්‍ය බලය හුවමාරුවන බව අත්දැකීමෙන් දත් ඔහු සමාන අන්දමින් හැසුණේ ය. ඒ අන්දමින් 2015 දී ඔහු වීරයකු වුවත් 2018 දී මහජන අප්‍රසාදයට ලක්විය. ඊට හේතුව ඔහුගේ අනුමානයන් අනුව 2015 දී රාජ්‍ය බලය මාරු වුවද 2018 දී එලෙස සිදුනොවීමයි. 2018 දී ඔහුගේ අනුමානයන් වරදින්නට පදනම වූයේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විරෝධී යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම නිසා ය.

ඔහු මැතිවරණ කොමසාරිස් ධූරයට පත්වූ අලුත රාජපක්ෂ පාලන කාලයේ දී මැතිවරණයක් පවත්වන්නට නියමිතව තිබුණි. ඒ අතර ඔහු පිළිගැනීම සදහා තම පාසැල වූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ පැවැති උත්සවයක දී මහත් වගාඩම්බරයෙන් පැවසුවේ තමා පත් කරන්නට ජනාධිපතිවරයාට හැකි වුවත් ඉවත් කරන්නට නම් ජනාධිපතිවරයාට හෝ නොහැකි බව ය. එමගින් ඔහු වක්‍රව කීවේ කාටවත් බය නැතිව රාජකාරී කරන බව ය.

එහෙත් එම මැතිවරණයේ දී ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් නීතිය කඩ කරන බව මාධ්‍ය මගින් චෝදනාවක් එල්ල විය. මෙතරම් බය නැති මහින්ද දේශප්‍රියට එදා කරන්නට හැකිවූයේ මැතිවරණ නීති උල්ලංඝනය නොකරන බවට අවවාදාත්මක ලිපියක් යවන්නට පමණි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා රිසි සේ තම ස්වාමියාට පක්ෂපාතව නීතිය අතට ගත්තේ ය. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය නිහඩ විය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ රාජකාරී හැසිරීම පරමාදර්ශී නොවේ. ඔහු හැසිරෙන්නේ උපයෝගීතාව අනුව බව සක්සුදක් සේ පැහැදිලි ය. 2018 නොවැම්බර් මාසයේ දී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවූ විට ඊට එරෙහිව මූලික අයිතිය තහවුරු කරන්නැයි ඉල්ලමින් මැතිවරණ කොමිෂමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් ශ්‍රේෂ්ඨාධිකරණයට යන අතර කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහා මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කළේ එබැවිනි. සභාපති මහින්ද දේශප්‍රියට තරු පෙනුනේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමග ය.

පරමාදර්ශී නොවන පුද්ගලයකුට පෞර්ෂවත් චරිතයක් හිමි නොවන්නේ ය. එබැවින් පළාත් සභා මැතිවරණය නොපවත්වන්නේ නම් ඉල්ලා අස්වෙමියි  කී මහින්ද දේශප්‍රියට ද තම වචනයට ගරු කළ නොහැකිය. එනිසා ඔහු කරන්නේ කොක්කෙන් හෝ කෙක්කෙන් හෝ තනතුරේ රැදී ඉන්නට ය. දැන් ඔහුගේම පොරොන්දු ඔහුට අමතක වී ඇත. 

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉල්ලා අස්විය යුතුය. එහෙත් ඒ සදහා ඔහුට සමාජ වගකිමක් ද පවතී. වයස අවුරුදු හැට ඉක්මවීම කොමිෂමක තනතුරු දැරීමට බාධාවක් නොවූවත් වයෝවෘද පුදගලයන් තනතුරු වලින් ඉල්ලා අස්වීම තරුණ පරම්පරාවට කරන සේවයකි. එනිසා ඒ සම්බන්ධයෙන් සිහි කැදවමින් ෆේස්බුක් පණිවුඩයක් පළ කළ විට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ මෙවැන්නකි.

“මා දරණ තනතුරට එනම් මැතිවරණ පරිපාලකයන් සඳහා කොමිසමේ වෙන් කරන ලද අයගෙන්  පත්කළ හැක්කේ විශ්‍රාමික නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් තනතුරක් දැරූ අයකු පමණි . එවැනි තරුණම තැනැත්තා මට වඩා වයසින් බාල වන්න් අවුරුදු තුනක් හා මාස නමයක් පමණි . එනම් ඔහුටද දැන් වයස අවුරුදු හැටයි මාස හයකි. මගේ පත්වීමේ වලංගු කාලය අවුරුදු පහකි . එම කාලය නිමවීමට තව මාස 14ක් තිබේ.”

මැතිවරණ දෙපාර්තමේන්තුවේ රාජකාරී අත්දැකීම් ඇති නිලධාරීන්ගෙන් කොමිෂන් සභාවට පත් කළ හැකි නිලධාරීන් සම්බන්ධයෙන් වූ මහින්ද දේශප්‍රියගේ සදහන නිවැරැදි ය. එහෙත් ඒ නිලධාරියා කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ යැයි සදහනක් 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නොමැත. සභාපතිවරයා විය යුත්තේ කොමිෂන් සභාවේ කොමසාරිස්ස්වරුන් තිදෙනාගෙන් අයෙකි. ඒ අනුව වත්මන් සභාපතිවරයා තම වහසිබස් අනුව ඉල්ලා අස්වන්නේ නම් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට වෙනත් තරුණ සභාපතිවරයකු පත් කර ගන්නට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට හා ජනාධිපතිවරයාට හැකිය.

පළාත් සභා මැතිවරණය නොපවත්වන්නේ නම් ගෙදර යන්නෙමියි වහසිබස් කී ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය දැන් නම් සැරසෙන්නේ අතු ඉති අල්ලාගෙන කෙසේ හෝ තනතුරේ රැදී සිටීමට බව ඉතා පැහැදිලි ය. 

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    1

    මිනිසුන් තමන්ගේ සීමාව දැන ගත යුතුය . තමන්ට අන් අය ගරු කරනවිට ඇද ගැනීම ⁣නොකල යුතුය . කිුයාව දරුවන්ගෙ සිත් ඇද ගන්නා සුලු විය යුතුය .තමන්ගෙ ක්ෂෙත්‍රයට පරමා දර්ශී විය යුතුය .නැති නම් ඔහු කිචවේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.