25 April, 2024

Blog

ප්ලාස්ටික් සහල් කතාවේ බෙරි වූ දේශපාලනය

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

ලක් සතොස විසින් පාකිස්තානයෙන් ආනයනික බාස්මතී සහල් පාවිච්චියට නුසුදුසු ප්ලාස්ටික් සහල් වර්ගයක් යැයි කියමින් සමාජ ඡාල වෙබ් අඩවි දෙවනක් වන විරෝධයක් පසුගිය දා ආරම්භ වුණි. පසුව වෙනත් සම්ප්‍රදායික ජනමාධ්‍යයන් කරා ද ආ මේ ආලෝලනය සමාජය තුළ මහත් වූ සැකයක් හා විචිකිච්ඡාවක් ජනිති කරන ලදි.

මේ සමබන්ධයෙන් ජන මාධ්‍ය ඇමතූ ලංකා සතොස ආයතනයේ සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන් ප්‍රකාශ කළේ එසේ ආනයනය කරන ලද සහම් තොගයේ සාම්පල් බොරැල්ල ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයට භාර දී ඇති බවයි. එම පර්යේෂණයේ ප්‍රතිඵල අනුව ලක් සතොස අපකීර්තියට පත් කිරීමට තැත් කළ මාධ්‍ය ආයතනයන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවයි.

මෙම වසරේ මැයි මස 15 දින ආනයනය කර ඇති මෙම සහල් තොගය ද සුපුරුදු පරිදි අවශ්‍ය තත්ත්ව පරීක්ෂණ සිදු කර පාරිභෝජනය සදහා බෙදා හරින ලද බව කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යංශය පවසා තිබේ. එසේම මෙම චෝදනාව එල්ල වූ පසුව ආහාර තාක්ෂණවේදියකු ලවා මෙම සහල් තොගයෙන් ලබා ගත් සාම්පල් පිසීම සදහා යොදා ගත් අතර එවිට ඒවා මිනිස් ආහාරයට නුසුදුසු බව හෙළි නොවූවේ යැයි එම අමාත්‍යංශය පවසයි. එසේම ඒවාහි අංශු මාත්‍රයකින් හෝ ප්ලාස්ටික් අඩංගු නොවූ බව ද වැඩිදුරටත් පවසයි.

“ඔන්න කොටියා, මෙන්න කොටියා”

එහෙත් එම සහල් පිසින විට “බෙරි ගතිය” මදකින් වැඩි බවත් එම තත්ත්වය යොදා ගනිමින් ලක් සතොසේ කීර්ති නාමයට හානි කිරීමට මෙම අසත්‍ය ප්‍රචාර ගෙනයන බවත් කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යංශය පවසයි. ආනයනය කර ඇත්තේ ප්ලාස්ටික් සහල් යැයි එල්ල වන චෝදනාව වාණිජ්‍ය හා කර්මාන්ත අමාත්‍යංශය සිතන තරම් සරළ හා වාණිජ්‍ය පරමාර්ථයෙන් එල්ලවූවක් නොවන අතර ඒ පිටුපස දරුණු දේශපාලන සංස්කෘතියක් පවතින බව බැලූ බැල්මට පෙනේ. ප්ලාස්ටික් සහල් චෝදනාව යන අතරම මුස්ලින් ආපන ශාලා වලින් ආහාරයට නුසුදුසු දෑ අඩංගු ආහාර සිංහලයන්ට ලබාදෙන බව ද පසුගිය දා චෝදනා එල්ල වුණි. නාරම්මල මුස්ලිම් හෝටලයක් එවැනි සමාජ විරෝධී කටයුත්තක නිරත වූ බව සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වූ අතර නාරම්මල පොලීසිය වහා ප්‍රකාශ කළේ එවැන්නක් සිදු නොවන බව ය.

“ඔන්න කොටියා, මෙන්න කොටියා” යැයි භීතියක් පතුරවමින් සිංහලයා විනාශ කරන්නට අනෙකුත් ජාතීන් කටයුතු කරන බව ආරංචි පැතිර යන්නේ අදක ඊයේක නොවේ. එවැනි භීතිය පවා පා කරන දේශපාලනයට දැනට වසර සියයක පමණ ඉතිහාසයක් ඇත. මේ ඉතිහාසය පුරා සමාජය ආකර්ශනීයව එදෙසට ඇදී ගියේ බිල්ලා මවා පෑම ජන සමාජය තුළ ගැස්මක් ඇති කරන නිසා ය. අනෙකා සම්බන්ධයෙන් යමෙකු තුළ සැකයක් රෝපණය කිරීම සරළ කටයුත්තකි. බිල්ලා මවා පෑම තුළ බොහෝදෙනෙකු තුළ විච්කිච්ඡාවක් නිර්මාණය වීම තාර්කික ය. විශේෂයෙන් ජාතිකත්වයන් තුළ අනෝන්‍ය අවබෝධය අවම ගැටුම්කාරී සමාජයක එවැනි විචිකිච්ඡාවන් සදහා විශාල හිඩැසක් පවතී.

මේ නිසා නිතරම අනෙකා සැක කිරීම ඕනෑම ජාතිකත්වයක මිනිසුන් තුළ ජනිත කරන හැගීමකි. දෙමළ හා මුස්ලින් ජාතිකත්වයන් සම්බන්ධයෙන් සිංහල ජාතිකත්වයේ මිනිසුන් තුළ එවැනි විචිකිච්ඡා ඇතිවීමට සමාන්තරව එක් එක් ජාතිකත්වයන් සියල්ල සම්බන්ධයෙන් ඒ ඒ ජනකොටස් අතර විචිකිච්ඡා පහළ වේ. එය අන්තවාදී දේශපාලනය සදහා මවන වඩාත් පෝෂණීය පරිසරයකි.

ආන්තික කහ සිවුර හා ජඩ දේශපාලනය

කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කර පිටිය නිරවුල් කර ගත් පසුව දකුණේ දේශපාලන අවකාශය මුළුමනින්ම පිරී ගියේ අනෙකා සම්බන්ධයෙන් සැකය හා බිය වර්ධනය කරවන්නා වූ දේශපාලනයකිනි. රාජපක්ෂ යුගය තුළ ඊට වැදගත් රාජ්‍ය පිළිගැනීමක් ලැබුනු අතර ඒ නිසා ජන සමාජය තුළ ද ශක්තිමත් අඩිතාලමක් දමා ගැනීමට ඊට හැකිවුණි. පදනම් විරහිතව සැකය හා බිය වපුරමින් ආන්තික දේශපාල අවශ්‍යතා සදහා සමාජ කොටස් ශක්තිමත්ව ඉදිරියට ආවේ එම කාලය තුළ ය.

ආගම් විරෝධය මුවහත් කරමින් ආගමික ස්ථාන වලට පහර දෙමින් කහ සිවුර ඇදගත් දාමරිකයන් විසින් ගෙන ගිය දේශපාලනය පිළිකුල්සහගත ය. ඊට රාජ්‍ය පිළිගැනීමක් ලබාදුන් නිසා රාජපක්ෂ පාලනයට කණ කොකා හැඩූ අතර සිංහල නොවන ජන කොටස් අති විශාල බහුතරය ආණ්ඩු විරෝධීව එක පෙළට සිට ගත්හ. 2015 ජනවාරී ජනාධිපතිවරණයේ දී පරාජයට පත්වූ තවත් ආන්තික දේශපාලන කරුණක් වූයේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී කහ සිවුරු දේශපාලනයයි. ඒ නිසා ආන්තික සමාජ විරෝධී සිවුරුධාරීහු සෑහෙන කලක් නිහඩව සිටියහ.

එහෙත් නැවතත් හිස ඔසොවමින් ජඩ සිවුරුධාරීහු උත්සාහ ගන්නේ වර්ගවාදය පැතිරවීමටයි. ඒ සදහා නොයෙකුත් උපාය උපක්‍රම යොදා ගනිමින් සිටින අතර විවිධ විෂ රසායනික දෑ ඇදුම් වල රහසින් තැබීම, ආහාරයන්ට විෂ රසායන එක් කිරීම හා වෙනත් උපායන් තුළින් නැවතත් උත්සාහ ගන්නේ වර්ගික අසමගිය තුළින් සමාජය ගැටුම්කාරී තත්ත්වයකට ඇදගෙන යෑමට ය.

මීට මූලික වශයෙන්ම වගකිව යුත්තේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී කහ සිවුරුධාරීන් හා ඔවුන්ගේ අනුගාමිකයන් ය. මේ අන්තවාදීන් උත්සාහ ගන්නේ මුස්ලිම් ජන කොටස් හා සිංහල ජන කොටස් අතර විශාල ආගමික ගැටුමක් නිර්මාණය කරන්නට ය. ඒ හරහා සමාජයම පතුලක් නොපෙනෙන අගාධයකට ඇද දමන්නට ය.

දෙමළා සම්බන්ධයෙන් සැකය හා බිය වපුරා දෙමළ සමාජයට යකඩෙන් හා රුධිරයෙන් පාඩම් උගන්වන්නට සහාය ලබා ගත්තේ මුස්ලිම් රටවලිනි. අද ඒ සහායත් අමතක කරමින් ඒ මිත්‍රශීලී මුස්ලිම් රටවල් හා ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික අර්බූදයකට යවන්නට තැත් කරන්නේ තවත් වාර්ගික පිම්මක් පැනීමට ය.

අලුත්ගම පරණ වන වාර්ගික යුද්දය

කහ සිවුරුධාරීන් හිතන්නේ යථාර්තය අවබෝධ වන්නේ ඔවුන්ට පමණක් බවය. එහෙත් 1915 දී පවා මුස්ලිම් විරෝධයක් තුළින් ගැටුමකට ගියේ සිංහල ව්‍යාපාරික අරමුණු වලිනි. මුස්ලිම් ජන කොටස් සමග සිංහලබෞද්ධයාට වෙළෙද පළ තුළ ගැටුමක් පවතී. ඒ ගැටුම ආරම්භ වන්නේම වෙළෙද පළේ ලාභය අරමුණු කර ගෙනය. වෙළෙද පළ තරගකාරීත්වය ශූන්‍ය කරමින් ලාභය උපරිම කර ගැනීම කල් ඉකුත්වූ උපක්‍රමයක් බව ළිං මැඩි වෙළෙන්දන් නොදනී. ඩිජිටල් යුගය තුළ ලාභය උපරිම කර ගන්නේ ගුණාත්මකතාව හා පාරිභෝගික සේවාව තුළිනි. එහෙත් ළිං මැඩි වෙළෙදන් සමාජයේ වෙළෙද පළ වෙනස්කම් හදුනා ගැනීමට තරම් බුද්ධිමත් නොමැත. ඒ නොමේරුම්කමේ අවකාශය පිරවීමට ඉදිරියට එන්නේ කහ සිවුරුධාරී කොන්ත්‍රාත්කරුවන් ය.

යළිත් ඇවිලිය හැකි වාර්ගික ගැටුමකින් ඉතිරි වන්නේ විනාශය පමණි. දෙමළ හා මුස්ලිම් ජන කොටස් පමණක් නොව සිංහල ජන කොටස ද එවැනි අර්බූදයක දී විනාශයට තල්ලුවීම වැළැක්විය නොහැක. එවැනි විනාශයක් කල් ඇතිව දකින්නට කහ සිවුරුධරීන්ට බුද්ධිය නොමැත. ඔවුන් දන්නේ කහකඩය කැහැපට ගහන් ගිනි ඇවිලවීමට පමණි.

විනාශය කරා යන ගමනට තාක්ෂණික සහාය

සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය මත නැගී සිටින වාර්ගික උන්මාදයට පැතීරී යෑමට නව තාක්ෂණය ද සහාය වේ. වෙනදා කැලෑ පත්තර ගැසූවන්ට ද නව තාක්ෂණය තුළ සමාජ ඉල්ලුමක් පවතී. එදා හොර රහසේ කැළෑ පත්තර ගසා සමාජයට වින කැටිය සමාජ විරෝධීන් අද ඒ රාජකාරීය ඉටු කරන්නේ අන්තර් ජාලයේ සහායෙනි. සමාජ ජාල පුරා අන්තවාදය වපුරමින් ආන්තිකයන්ගේ හා තරුණයන්ගේ රුධිරය ප්‍රකෝප කර ඇවිස්සීම සිදුවේ. කහකඩ නාමධාරීන්ට පැවැත්ම ස්ථාවර වී ඇත්තේ මේ සමාජ ජාල සහාය ද ඔවුන්ට ලැබෙන බැවිනි.

ඇති නැති පරතරය පුළුල් කරන්නා වූ ද ආන්තික ජන කොටස වර්ධනය කරන්නා වූ ද සමාජ ආර්ථික ක්‍රමයක් තුළ අසහනය පුළුල්වීම තාර්කික ය. ලෝකය පුරා හමා යන්නේ ඒ සමාජ අර්බූදයේ ප්‍රතිඵලයන් ය. ඒ අර්බූදයන් නිසා ආතතියට ලක්වන සමාජය තුල්‍යතාවට පත් කර ගන්නේ වාර්ගික නොගැලපීම් ඉස්මත්තට ගනිමිනි. ලෝකය පුරා පුළුල්ව පැතිර යන වාර්ගික රැල්ල එක්සත් ජනපදය කරා ඇදී ආවේ දේශපාලන මැරයකු ජනාධිපති ධූරයට පත් කරවමිනි. මීට කලින් ඕස්ට්‍රේලියාවේ, ඉන්දියාවේ හා තවත් රටවල් කිහිපයක ජාතිකත්ව පදනමින් දේශපාලන රැළි ඉස්මත්තට ආවේ ය. එහෙත් එක්සත් ජනපදයේ තරම් එය ප්‍රචණ්ඩ වූයේ නැත. අද එක්සත් ජනපදයට ලැබී ඇත්තේ අත්තනෝමතික පාලකයෙකි. එම පාලනය කිසිම සමාජ වටිනාකමකට හා විනයකට යටත් වන්නක් නොවේ.

ශ්‍රී ලංකාව ද දශකයකට ආසන්න කාලයක් පුරා ස්වෝත්තමවාදී තෝරා ගැනීම් සිදු කළේය. එනිසා ලාංකික සංස්කෘතික හර පද්ධතියට ද සමාජ වටිනාකම් වලට ද බරපතල හානියක් කර ගත්තේ ය. බෞද්ධ දර්ශනයෙන් සීමාන්තිකවාදය පරාජය කළ සමාජයක් උත්තුංග ජන නායකයන් නිසා අශ්ලීල හැසිරීම් වලට තිත තැබූ සමාජයක් පසු කාලීනව කහකඩ අශ්ලීලයන්ගේ අවශ්‍යතාව මත තීන්දු තීරණ ගන්නා වූ හා තෝරා ගැනීම් සිදුකරන්නා වූ මට්ටමට පහළ වැටුණි. මුනිදාස කුමාරතුංග, ආචාර්ය ඊ ඩබ්ලිව් අධිකාරම්, මහාචාර්ය ගුණපාල මලලසේකර වැන්නන් නායකත්වය දැරූ සමාජය විනාශයට පත් විය.

සමාජය ගමන් කරන්නේ පසුපස ගියරයේ ද?

2015 ජනාධිපතිවරණයෙන් රටට අවශ්‍ය වූයේ ජාතිකත්වයන් අතර සමගිය හා අනෝන්‍ය අවබෝධය වර්ධනය කරන්න වූ පාලනයකි. එහෙත් තවමත් සිදුවෙන්නේ ස්වෝත්තමවාදී ආන්තිකයන් සුරතල් කරන සංස්කෘතියකි. වර්ගවාදය අවුස්සමින් සිංහල දෙමළ සහයෝගයට මඩකලපුවේ දී ගිනි පිඹින විට දුවගෙන ගොස් ඔහු හා අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට කැබිනට් ඇමතිවරයෙක් සිටී. නැවත මුස්ලිම්වරුන්ට එරෙහිව කොළඹ සිට අන්තවාදය වපුරන විට දුවගෙන ගොස් ඔහු හා අල්ලප සල්ලපයේ යෙදෙන්නට කැබිනට් ඇමතිවරකු සිටී. ඒ තක්කඩි සමාජ විරෝධීන්ට එරෙහිව වන්නට ලැජ්ජාවක් නැති ඇමතිවරු ජාතීන් අතර අනෝන්‍ය අවබෝධය හා සාමාග්‍රීය වර්ධනය කරන්නා වූ බෞද්ධ පුත්‍රයන් දුටු විට කසාය බිව් ගොළුවන් සේ සිටී. කැබිනට් ඇමතිවරුන්ගේ මේ ලැජ්ජාශීලී හැසිරීම් ආමන්ත්‍රණය කරන්නේ ජාතීන් අතර අනෝන්‍ය අවබෝධය හා සාමාග්‍රීය වර්ධනය සදහා වූ දේශපාලනයකට නොවේ. එවැනි යුගයක කහකඩධාරීන් සමාජය ගිනි තැබීම අහඹුවක් ද?

තව ටික දිනකින් ප්ලාස්ටික් සහල් කතාව යට යනු ඇත. ඉන්පසුව වෙනත් ආකර්ශනීය කතාවකින් සිංහල තරුණ රුධිරය උණුසුම් කරනු ඇත. ඒ සමගම ජාතීන් අතර විරසකය හා ගැටුම වර්ධනය කරනු ඇත. සමාජයේ මෙම අවගමන වළක්වා උට්ඨාන වීරයෙන් යුතුව පෙරට යෑමට නම් ශක්තිමත් සමාජ නායකත්වයකින් වාර්ගික ගැටුම් නිශ්ක්‍රීය කළ යුතුය.

Shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    Benazir Butto stats ‘every dictator uses religion as a prop to keep himself in power. ‘ it is a somewhat unclear suspicion that whether the new government paves the way for Buddhist separatism which has covered by so called ‘KAHA SIVURA’ to give sphere act their own wishes and without taking any fruitful measure. you can understand this is mean that Gnanasara street drama.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.