26 April, 2024

Blog

සිරසක් නැති සිරසේ “මහාරාජාවරු”

කේ.ජී.පිලිප් ශාන්ත –

කේ.ජී.පිලිප් ශාන්ත

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය දා මහජන හමුවක දී පළ කළ අදහස් මහාරාජා සමූහ ව්‍යාපාරයට අයත් සිරස මාධ්‍ය ජාලය කුලප්පු කිරීමට සමත්ව තිබුණි. හිටපු අමාත්‍යවරයා පවසා තිබුනේ මහාරාජා සමූහ ව්‍යාපාරය විසින් ගුවන් තරංග සංඛ්‍යාත මිල දී ගැනීමක් පිළිබදව ය. මේ සම්බන්ධයෙන් වෛරී ආකාරයෙන් ප්‍රතිචාර දැක්වූ සිරස මාධ්‍ය ජාලය එදින රූපවාහිනි ප්‍රවෘත්ති ප්‍රකාශය අතර තුර දී විශේෂයෙන් කඩා පීනූ නිවේදකයකු ලවා බැසිල් රාජපක්ෂට මිලේඡ ප්‍රහාරයක් එල්ල කළේ ය.

එම ප්‍රතිචාරය කිසිසේත්ම ජනමාධ්‍යයකට තරම් නොවූ තම පෞද්ගලික වෛරය පිරි මසා ගැනීමට දැරූ තැතක් බව බැලූ බැල්මට වුවද තේරුම් ගත හැකිය. එහිදී අදාළ නිවේදකයා වෛරයෙන් හා කෝපයෙන් යුතුව චෝදනා මාලාවක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එල්ල කළේය. දිගින් දිගටම චෝදනා එල්ල කරමින් “කටින් බය වද්දා ගැනීමේ” අසීරු උත්සාහයක යෙදුන නිවේදකයා  “අඩෝ මොක ද කියන්නෙ උබ එහෙමනම් අපිත් එහෙමයි ඩෝ” කියන ග්‍රාම්‍ය මානසිකත්වයකින් කටයුතු කළේය.

එවැනි ප්‍රතිචාරයක් ගමේ නූගතෙකුට සුදුසු වුවද ජනමාධ්‍යයකට සුදුසු නොවේ. කිසියම් පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් එවැනි ළාමක චෝදනා නිදැල්ලේ එල්ල කිරීමට ජනමාධ්‍ය ආයතනයකට කිසිසේත්ම නොහැකිය. ජනමාධ්‍යයක් කළ යුත්තේ යම් දේශපාලනඥයකුට එවැනි චෝදනා එල්ලව ඇත්නම් සීරුමාරුවෙන් හා සාවධානයෙන් යුතුව ඒවා සලකා බලා යම් ගැඹුරකින් යුතුව එම චෝදනා විධිමත්ව ඉදිරිපත් කිරීමයි. එහෙත් එදින සිරස මාධ්‍ය ජාලය උත්සාහ කළේ වලං කඩේට පැන්න ගොනාගේ චරිතය රග පෑමට ය.

සිරස මාධ්‍ය ජාලයේ මාධ්‍ය භාවිතාව ඉතිහාසයේ පටන්ම මේ ආකාරයේ ස්වරූපයක් ගත් බව සියල්ලන්ටම මතක තිබිය යුතුය. ඔවුන් ඒ ආකාරයෙන් පහර දුන් අය අතර විමල් වීරවංශ, රනිල් වික්‍රමසිංහ, මර්වින් සිල්වා, ආචාර්ය රංග කළංසූරිය වැනි පුද්ගලයෝ වූහ. ඒ පුද්ගලයන් සම්බන්ධව මහා රාජා සමූහ ව්‍යාපාරයට ඇති පෞද්ගලික ආරවුල් ඔවුන් විසදා ගත්තේ එළව එළවා පහරදෙමිනි. සමාජ දේශපාලනික ප්‍රශ්න සම්බන්ධයෙන් තම පෞද්ගලික සීමාවන් මාධ්‍ය යොදා විසදා ගැනීමට යෑමේ තුච්ඡම අවස්ථාව වූයේ පසුගිය දා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පහරදීමේ නින්දිත ක්‍රියාවයි.

සිරස මාධ්‍ය ජාලයට නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් ඇති බව සත්‍යයකි. ඔවුහු ලෝක ජනමාධ්‍ය ජාලයන්හි අත්දැකීම් එක්කර ගනිමින් තම ඉදිරිපත් කිරීමේ හැකියාවන් ශක්තිමත් කර ගනිති. එහෙත් ඒ නිර්මාණශීලී ගුණය යොදා ගන්නේ යහපත් අරමුණකින් නොවේ. ඒ සියල්ල තුළින් ඔවුන් බලාපොරුත්තු වන්නේ ජඩ හා නින්දිත මාධ්‍ය භාවිතාවක් ලස්සන කර ගැනීමට ය. අතිතයේ දී විවිධ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් තම අවශ්‍යතාව සදහා ඔවුහු මේ අන්දමින්ම කටයුතු කළහ. එවිට තමන් ප්‍රිය නොකරන පුද්ගලයාට සිරස මාධ්‍ය ජාලය විසින් පහර දෙන නිසා සමාජය එය ඉවසූහ. එහෙත් ඔවුන්ගේ කැත මාධ්‍ය භාවිතාව ඒ නිසා වලංගු වන්නක් නොවන බව සමාජය තේරුම් ගත යුතුය.

මහාරාජා සමූහ ව්‍යාපාරය මෙරට විශාලම ව්‍යාපාරික ආයතනයකි. ඔවුන් සිරස මාධ්‍ය ජාලය පවත්වාගෙන යන්නේ ද තවත් එක් ව්‍යාපාරයක් ලෙසිනි. සාමාන්‍යයෙන් මාධ්‍ය පවත්වාගෙන යමින් ඒවායේ අයිතිකරුවන් බලාපොරුත්තු වන්නේ ව්‍යාපාරික ලාභයකි. එහෙත් මහාරාජා සමූහ ව්‍යාපාරය ඊට වඩා දේශපාලනික අවශ්‍යාතාවක් ඉෂ්ඨ කර ගැනීමට උත්සාහ ගනී. ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහට පහර දෙන්නේ ඒ අරමුණෙනි. එක්සත් ජාතික පක්ෂය තුළ තම රූකඩ නායකත්වයක් අටවා තබා තම ව්‍යාපාරික අරමුණුත් තම දේශපාලන අරමුණුත් ඉෂ්ඨ කර ගැනීම මහාරාජා සමූහ  ව්‍යාපාරයේ ඉලක්කයයි. ඒ සදහා කාලයක පටන්ම රනිල් වික්‍රමසිංහට එළව එළවා පහරදෙන අන්දම මෙරට සමාජයට අලුත් අත්දැකීමක් නොවේ.

ඔවුන් ඒ සදහා රනිල් වික්‍රමසිංහ විරෝධී දේශපාලන ව්‍යාපාරයක් ද සංවිධානය කරගෙන තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය හා විවිධ ප්‍රශ්න ඇති ප්‍රාදේශීය නායකයන් සංවිධානය කර ගනිමින් ඔවුන්ට සිරස මාධ්‍ය ජාලය තුළ අවස්ථාවක් ලබා දේ. එසේම සිරස මාධ්‍ය ජාලය විසින් ඔසොවා තබන විවිධ දේශපාලන පක්ෂ වලට අයත් දේශපාලකයෝ කිහිපදෙනෙක් ද සිටිති. ඒ අතර රවි කරුණනායක, මිලින්ද මොරගොඩ, ජයන්ත ද සිල්වා, බුද්ධික පතිරණ, සජිත් ප්‍රේමදාස වැනි දේශපාලකයෝ සිටිති.

එසේම සිරස මාධ්‍ය ජාලය විසින් බිහි කළ නිවේදකයන් කිහිපදෙනකුම විවිධ පක්ෂ වලින් දේශපාලනයට යොමු කිරීම ද ඔවුන්ගේ ව්‍යාපෘතියේම කොටසක් විය. ඒ අනුව බුද්ධික පතිරණ, මනූෂ නානායක්කර, ශ්‍රී රංගා, සුසිල් කිදෙල්පිටිය, එස්. එම් මරික්කාර් වැනි දේශපාලකයන් හරහා විවිධ පක්ෂ මෙහෙයවීමට මහාරාජා ව්‍යාපාරය මහන්සි විය. එහිදී ශ්‍රී රංගා වරෙක දේශපාලකයකු ලෙස ද වරෙක මාධ්‍යවේදියකු ලෙස ද කටයුතු කළ ආකාරය අපුල දනවන්නකි. ඉතිහාසයේ අසරණම තත්ත්වයට ඇද වැටුනේ සුසිල් කිදෙල්පිටිය ය.

ඉතිහාසයේ එක් යුගයක ජනමාධ්‍ය නම් ආයතන පද්ධතියක් සමාජය තුළ තිබුණි. එම ජනමාධ්‍ය සමාජ සංවර්ධනයේ දී විශිෂ්ඨ කාරයභාරයක් ඉටු කරන ලදි. එහිදී ඔවුන් තම දේශපාලනික ගනුදෙනුව පවත්වාගෙන ගියේ සමාජය සමගය. එනම් ජනතාව සමගය. ඒ ජනමාධ්‍යයන්ට විවිධ දේශපාලන ඉලක්කයන් තිබෙන්නට ඇත. ඒ ජනමාධ්‍යයන්ගේ අයිතිකරුවන්ට විවිධ ව්‍යාපාරික අරමුණු තිබෙන්නට ඇත. එහෙත් ඒ විවිධ අරමුණු අතර ජනමාධ්‍යට ද අතිශය වැදගත් භූමිකාවක් පැවැතුණි. ඔවුහු ඒ සදහා සමාජය සමග ගනුදෙනුවක් පවත්වාගෙන එය නොකඩවා නඩත්තු කළහ.

එහෙත් කාලය ගෙවී යෑමත් සමග සමාජ සංවර්ධනයේ දී මහ ජනතාව නම් ප්‍රපංචය ඉවතට වීසි වී එතැනට පාරිභෝගිකයා ස්ථාන ගත විය. සමාජය තුළ තවදුරටත් සිටින්නේ මහ ජනතාව නොව පාරිභෝගිකයන් ය. ඊට සමාන්තරව ජනමාධ්‍ය අයිතිකරුවන් වන ව්‍යාපාරිකයන්ගේ ඉලක්කයන් ද වෙනස් විය. ඒ අනුව මාධ්‍ය තම ගනුදෙනුව සදහා ජනතාව ඉවත් කර ප්‍රාග්ධනය සමග විශ්වාසය ගොඩනගා ගත්තේ ය. එනිසා තවදුරටත් ජනමාධ්‍ය නම් ප්‍රපංචයක් සමාජය තුළ නොමැත. දැන් පවතින්නේ නිරත්තරයෙන් ප්‍රාග්ධනය සොයා යන මාධ්‍යයන් ය. මහාරාජා සමූහ ව්‍යාපාරය විසින් ආරම්භ කළ සිරස මාධ්‍ය ජාලය ද එලෙස ප්‍රාග්ධනය සමග ගනුදෙනු කරන මාධ්‍ය ජාලයකි. ඔවුන්ට සමාජය සමග ගනුදෙනුවක් නොපවතින අතර ප්‍රාග්ධනය සමග ගනුදෙනුවක් පවතී.

ප්‍රාග්ධනය සමග තම ගනුදෙනුව කරගෙන යෑමේ දී දේශපාලන ඉලක්කයන් ද පවත්වාගෙන යෑම මහාරාජා සමූහ ව්‍යාපාරයේ ප්‍රතිපත්තියයි. ඒ අනුව ශූක්ෂම න්‍යාය පත්‍රයකට තම දේශපාලනික හා ව්‍යාපාරික අරමුණු සාරාංශ කර ගමින් මහාරාජාවරු විශාල ගමනක් ආරම්භ කර ඇත. ඒ තුළ මහජනතාවට යම් යම් සහනදායි දෑ ලැබෙන ව්‍යාපෘතීන් නැතිවාම නොවේ. එහෙත් ඒවා පවත්වාගෙන යන්නේ තම ව්‍යාපාරික හා දේශපාලන අරමුණු වහං කර ගැනීම සදහ පමණි.  එනිසා සමස්තයක් ලෙස බැලූවිට සමාජයට කරන්නේ බරපතල ව්‍යසනයකි. සිරස ගම්මැද්ද, නියගයට හා ගංවතුරට සහන සේවා, We report, you decide, යනාදිය මහාරාජාගේ දේශපාලන ගමනේ අලංකාරිකයන් පමණි.

මහින්ද රාජපක්ෂ රෙජීමය තුළ සිදුවූ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වල දී සිරස මාධ්‍ය ජාලය විකල්ප මාධ්‍යයක් ලෙස හැසුරුන ද ඔවුන්ට එම රෙජීමය සමග ද ගනුදෙනුවක් තිබුණි. එක් අතකින් මඩේ ඔබමින් අනෙක් අතින් සෝදමින් ඔවුන් උත්සාහ ගත්තේ තමන්ටම ආවේනික දේශපාලන ගමනක් සම්පූර්ණ කරගැනීමට ය. එහිදී එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වූ ගෝටාභය රාජපක්ෂ සමග ද ගැටුම් තිබුනත් පසුව ශූක්ෂම ලෙස අතරමැදි සාමදානයකට එළඹුනේ ය. එහි කූට ප්‍රාප්තිය වූයේ සිරස වෙසක් කලාපයට ගෝටාභය රාජපක්ෂට ආරාධනා කිරීමයි. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සිරස මාධ්‍ය ජාලය විසින් එල්ල කරන චෝදනා බොහොමයක් හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂටත් අදාළ ය. එහෙත් සිරස මාධ්‍ය ජාලය ගෝටාභය රාජපක්ෂ සමග ගනුදෙනු කිරීමේ දී ඒ චෝදනා අමතක කරයි. එසේම ඊට අමතරව ගෝටාභය රාජපක්ෂට එල්ලව ඇති චෝදනා ද ඔවුහු අමතක කරති. නමුත් බැසිල් රාජපක්ෂ විසින් තමන්ට චෝදනා එල්ල කරන විට පෙරලා චෝදනාවන් රැසක්ම එල්ල කරමින් තුච්ඡ ලෙස පහර දෙති.

සිරස මාධ්‍ය ජාලය සියල්ල කරන්නේ අළෙවිකරණ න්‍යායන්ට අනුව ය. එය කොතෙක් දුර ගොස් ඇතැයිදැයි කිවහොත් සිරසේ කුප්‍රකට දේශපාලන වැඩසටහන වන “සටන” දේශපාලන වැඩසටහන පවා මෙහේයවන්නේ මුළුමනින්ම අළෙවිකරණය මත පිහිටමින් ය. “සටන” දේශපාලන වැඩසටහන ආරම්භයේ දී සම්පත්දායකයන් හා ඔවුන්ගේ සහචරයන් රූපවාහිනී මැදිරියට කැදවාගෙන ඒම හා එහිදී ඔවුන් අනුගමනය කරන උපාය උපක්‍රම මුළුමනින්ම ගැලරියට ආමන්ත්‍රණය කරන්නා වූ ලුම්පන් ලක්ෂණ වලින් පිරී ඇත. විටෙක ඒවා දෙස බලා සිටීමේ දී ජුගුප්සාජනක වන අතර විටෙක ලංකාවේ මාධ්‍ය කෙතරම් ළාමකදැයි අවබෝධ වේ.

එසේම එම වැඩසටහනේ දී අනුගමනය කරන්නා වූ මාධ්‍ය භාවිතය ද ශිෂ්ඨ සම්පන්න නොවේ. ඔවුන් සම්පත්දායකයා ප්‍රශ්න කිරීමේ දී ඔහුට ඇති පිළිතුරුදීමේ අයිතියට ගරු නොකරන අතර අපහසුවෙන් හෝ එක පිළිතුරක් දුනහොත් දිගින් දිගටම ප්‍රශ්න කර සම්පත්දායකයාව හෙම්බත් කරයි. එය මාධ්‍යයකට තබා ශිෂ්ඨ සම්පන්න ද්විපාර්ශ්වික කතාබහකටවත් නොගැලපෙන හැසිරීමකි. එකවිට ප්‍රශ්න අසන්නන් කිහිපදෙනෙකුගේ දැඩි අඩත්තේට්ටමකට ලක් වී සටනෙන් ඇත්තටම ගැලවෙන්නේ එහෙමත් කෙනෙකි.

පසුගිය දා එවැනි ප්‍රහාරයකට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ගොදුරු වූ අතර ඔහු අපහසුවෙන් ගැලවුනේ එම ප්‍රශ්න අසන්නන්ට පෙරලා පහරදීමෙනි. එවැනිම ප්‍රහාරයකට පසුගිය මහා මැතිවරණ සමයේ දී ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක ද ගොදුරු විය, ඔහු ද පෙරලා ප්‍රශ්න කළේ මාධ්‍ය භාවිතාවකට වඩා තමන් ප්‍රිය නොකරන්නන් “කිච” කිරීමේ අරමුණක් සටන වැඩසටහනට ඇත්ද යන්නයි.

සිරස මාධ්‍ය ජාලය තුළ මොනවා වුවත් ප්‍රේක්ෂකයෝ සිරස රූපවාහිනිය නැරඹීම නතර කරන්නේ නැත. දේශපාලන පක්ෂ ඇතුළු සෙසු සම්පත්දායකයෝ එහි වැඩසටහන් වලට සහභාගී නොවී සිටින්නේ ද නැත. ඊට හේතුව වන්නේ සිරස මාධ්‍ය ජාලය දේශපාලනික නිසා වන්නට ඇත. සාමාන්‍යයෙන් දේශපාලකයන් මාධ්‍ය තරහා කර ගන්නට අකැමැති ය. ඊට හේතුව මාධ්‍ය අමනාප වුවහොත් තමන්ගේ දේශපාලන ප්‍රතිරූපයට හානියක් වන්නට ඉඩ තියෙන නිසා යැයි ඔවුන් සිතන බැවිනි. දේශපාලන අවකාශය තුළ මහජනතාවට තිබූ බලය මාධ්‍යයට රූපාන්තරණය වූ නිසා එවැනි බලයක් මාධ්‍ය සතුව ඇතැයි දේශපාලකයෝ සිතති. එහෙත් එය සත්‍යයක්ම නොවන බව සිරසේ මාධ්‍ය ජාලයෙන් බැට කන විමල් වීරවංශ හා රනිල් වික්‍රමසිංහ තම ජනප්‍රියතාව අහිමි නොකර ගැනීමෙන් පැහැදිලි වේ.

කෙසේවෙතත් සිරස මාධ්‍ය ජාලයේ අශ්ලීල මාධ්‍ය භාවිතාවට එරෙහිව පුළුල් සාකච්ඡාවක් සමාජය තුළ ඇතිවිය යුතුය. ඒ සදහා සිරස මාධ්‍ය ජාලයේ “සටන” වැනි දේශපලාන වැඩසටහන් වලට සහභාගී වන්නන් අතරවත් අවම වශයෙන් සාකච්ඡාවක් ඇතිවිය යුතුය. ඒ සංවාදය ඇතිවිය යුත්තේ සිරස මාධ්‍ය ජාලය වර්ජනය කිරීමට නොවේ. වර්ජනය දැන් යල්පැන ගිය උපක්‍රමයකි. සමාජය මහන්සි විය යුත්තේ සිරසෙන් ලැබෙන ගුවන් කාලය භාවිතා කරමින්ම සිරස මාධ්‍ය ජාලයේ අශිෂ්ඨ මාධ්‍ය භාවිතාවට අභියෝග කිරීමට ය.

බැසිල් රාජපක්ෂ යනු අධිකරණ ක්‍රියාවලියකින් පසුව අනිවාර්ය දඩුවම් කළ යුතු පුද්ගලයකු බවට සැකයක් නැත. ඒ සම්බන්ධයෙන් වාද විවාද ද අවශ්‍ය නැත. එහෙත් ඔහු මහාරාජාවරුන් විවේචනය කිරීමේ දී බැසිල් රාජපක්ෂගේ එක් චෝදනාවක් ඒ නිසා අවලංගු නොවේ. එනම් මහජන දේපළක් වන විද්‍යුත් තරංග සංඛ්‍යාතයන් පොකුරක් පසුගිය කාලයේ දී සිරස මාධ්‍ය ජාලය සතු වූයේ කෙසේ ද යන්නයි. සිරස මාධ්‍ය ජාලය බැසිල් රාජපක්ෂට එරෙහිව බොහෝ දේ කතා කළේ ය. එහෙත් තමන්ට එල්ල වූ විද්‍යුත් තරංග සංඛ්‍යාත චෝදනාව ගැන කිසිවක් කතා නොකළේය.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    Someone closely working for Ranil is responsible for all these attacks directed at Ranil. This person since 1978 while working for late Premadasa was working with Maharaja, Maharaja used to support the LTTE with large quantities of money as well as other vital information extracted from Premadasa. Today Ranil trusting this man is allowing him to destroy Ranil for various reasons, it is high time Ranil as he constructed a 12ft RCC wall around Temple Trees should construct a wall around him to save himself and the country.

    • 0
      0

      සිරස ඔප්පු කල ලාන්කාවෙ පවතින පුද්ගලික රූපවාහිනි මාධ්‍ය මාෆියාවක් ගෙන යන බව. සිරස සටන වැඩසටහන හොන්ඩ නමුත් එයත් වරින් වරින් පාක්ශිකයි.
      මේතරම් කාලයක් සිරස පුරසාරම් දෙඩුවත් බැරිවුනා රාජපක්ශවරු ගැන ඇත්ත හෙලි කරන්නට. ඕන තත්වය.
      මා හිතන්නෙ, ලන්කාවෙ ජනමාධ්‍ය අර ඉතාලියේ ඇති පපරස්සෝ කියන එවුන්ට එහා යන විදියට කටයුතු කරල මිනිසුන්ගේ සිත කලබල හෝ.. වෙන පැති වල ගෙනයන ආකාරයක් මට පේන්නෙ.

  • 0
    0

    සිරස අමන මාධ්‍යය ආයතනය හිතාගෙන ඉන්න අධිතක්සේරුව තරම මෙයින් පෙනවා තමන්ගේ දුෂන වංචා සොයන අයට නිර්දය ලෙස පහර ගැසිමට මොවුන්ගේ අමන මාධ්‍ය නිදහස යොදාගන්නවා මිට පෙර ගොදුර වුයේ රනිල් නමුත් එය සාර්තක වුයේ නැත ලජ්ජා නැති නායකයා ඔවුන්ගේ පාඨය එයයි.

  • 0
    0

    සිරස අමන මාධ්‍යය ආයතනය හිතාගෙන ඉන්න අධිතක්සේරුව තරම මෙයින් පෙනවා තමන්ගේ දුෂන වංචා සොයන අයට නිර්දය ලෙස පහර ගැසිමට මොවුන්ගේ අමන මාධ්‍ය නිදහස යොදාගන්නවා මිට පෙර ගොදුර වුයේ රනිල් නමුත් එය සාර්තක වුයේ නැත ලජ්ජා නැති නායකයා ඔවුන්ගේ පාඨය එයයි.,,,,,

  • 0
    0

    Bacil Sirasata dos kiyanakota Baye kata wahagena inna -da kiyanne .Thawama lankawe onta kade yana ekane karanne !Sirasa Boru hadala kiwvanam Eka weradi. Kiyapuwa Mulu lankawama dannawane.Ma nam Eda Ayatatht kemathi ne Den ayatath kemathi NE. # OKKOMA HORU:#

  • 0
    0

    I heard that comment on basil on the net. Sounded personal. All are rogues not only basil. I heard that maharajahs are trying to sell us a ship we don’t need?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.