23 April, 2024

Blog

රට දෙස නව බැල්මක්: කාලය වේගයෙන් ගෙවී යයි – අප්‍රමාදව කටයුතු කළ යුතුව ඇත

රුසිරිපාල තෙන්නකෝන් –

රුසිරිපාල තෙන්නකෝන්

කෞටිල්‍ය භාතරයේ අග්‍රගන්‍ය රාජ්‍ය පාලන උපදේශකයෙකි. බටහිර ලෝකයේ කෞටිල්‍ය වූයේ මකියාවේල් නමැති ඉතාලි ජාතිකයෙකි. දෙදෙනාගේම රාජ්‍යතාන්ත්‍රික​ උපදේශ ඇතුලත් ග්‍රන්ථ ප්‍රකාශයට පත් වී ඇත. ඉන්දීය මෞර්ය අධිරාජයේ පළමු පාලකයා වූ චන්ද්‍රගුප්ත අධිරාජයාගේ අගමැති, අර්ථ ශාස්ත්‍ර​ඥ හා ප්‍රධාන උපදේශක වූයේ චානක්‍ය නමින්ද ප්‍රසිද්ධ වූ කෞටිල්‍ය වේ. තක්ෂිලා විශ්ව විද්‍යාලයේ අර්ථ ශාස්ත්‍රය පිළිබඳ මහැදුරු වශයෙන් සිටි කෞටිල්‍ය පසු කලෙකදී අධිරාජයට සම්බන්ධ විය. ක්ෂත්‍රීය පාලනයට යටත් නොවී පැවති මගධ දේශය යටත් කරගෙන මෞර්ය පාලනය ඉන්දියාව පුරාම ඇති කිරීමට චන්ද්‍රගුප්ත අධිරාජයාට උපදෙස් හා උප ක්‍රම ලබා දුන්නේ කෞටිල්‍ය විසිනි. ඔහු ඉතා ඥනවත් වුවද කෲර ගති පැවතුම් ඇති පුද්ගලයෙකු විය. රජතුමාට ඔහුගෙන් ලැබුණ රාජ්‍ය පාලන උපදෙස්, ආර්ථික, සමාජීය මෙන්ම ආක‍්‍රමණකාරී යුධෝපායන් උදෙසා ද විය. ඔහුගේ චර්යා ධර්ම හා උපදෙස් ඇතුලත් වූ වඩාත්ම ප්‍රසිද්ධියට​ පත් ප‍්‍රකාශනය වූයේ ‘‘චානක්‍යගේ අර්ථ ශාස්ත්‍රය” නම් වූ ග්‍රන්ථයයි.

නිකොලෝ බර්නාඩෝ මැකියාවේලි ද 15 වැනි සියවසේ ඉතාලියේ සිටි අග්‍රගන්‍ය රාජ්‍යතාන්ත්‍රිකයෙක්, දේශපාලඥයෙක්, ඉතිහාසඥයෙක්, දර්ශනවාදියෙක්, මානව හිතවාදියෙක් සහ ලේඛකයෙක් හැටියට පිළිගැනීමක් ලැබූ කෙනෙකි. නූතන දේශපාලන විද්‍යාවේ පියා හැටියට ද ඔහු විරුදාවලිය ලැබුවෙකි. නොයෙකුත් විෂයයන් සම්බන්ධයෙන් මැකියාවේලි විසින් ලියා ප‍්‍රසිද්ධ කළ ග්‍රන්ථයන් අතර ‘‘ද ප්‍රින්ස්’’ (කුමාරයා) නම් වූ ප්‍රකාශනය දේශපාලන ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රියභාවයට පත්ව ඇති ප්‍රකාශනයකි.

ඔහුගේ උපදෙස් හා මාර්ගෝපදේශයන් ඉතාලියේ ප්ලෝරන්ස් ජනරජයේ ලේකම් හැටියට කටයුතු කරන ලද සමයේ ක්‍රියාවට​ නැංවූ අත්දැකීම් ඔහු විසින් පසු කාලයකදී මෙම ‘‘කුමාරයා’’ කෘතියට ඇතුලත් කර ඇත.

ඔහුගේ ඇතැම් ප්‍රකාශන දේශපාලන ලෝකයේ පිළිගත් උපුටා ගැනීම් හැටියටද ප්‍රසිද්ධ වී ඇත. ‘‘අන්ත දෙකම සාක්ෂාත් කර ගැනීමට නොහැකි නම් මිනිසුන් ඔබට බියවීම, ඔවුන්ගේ ආදරයට පාත්‍ර​ වීමට වඩා වැදගත්ය’’. ‘‘පරමාර්ථය උතුම් වන විට අපහසුතාවයන් එතරම් විශාල නොවන්නේ ය’’

මැකියාවේල්ගේ ඉතාමත් ජනප්‍රිය​ තවත් ගෙනහැර දැක්වීමක් වූයේ රාජ්‍ය පාලකයා සහ සාමාන්‍ය රටවැසියා එකිනෙකා දකින ආකාරය පිළිබඳව කර ඇති විග්‍රහයයි. උස කඳු මුදුනක සිට බලන කෙනෙක් හැටියට ඔහු පාලකයා හඳුන්වමින් එවැනි කෙනෙකුට හතර වටේම ඉතා පැහැදිලිවම පෙනෙන බවත් රටවැසියාට කඳු පාමුල සිට පෙනෙන්නේ කන්දේ තමා ඉදිරියෙන්ම ඇති කොටස පමණක් බවත් ඔහු පෙන්වා දී ඇත. එබඳු හැඳින්වීමක් බොහෝ අර්ථවත් වන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. කඳු මුදුනක සිටින කෙනෙකුට හොඳ අවබෝධයකින් කටයුතු කරමින් තමන්ගේ පාලනය සඳහා එම තත්ත්වය වාසිදායක ලෙසින් හසුරුවා ගැනීම පිණිස එම දැක්ම අතිශයින් වැදගත් වේ.

අද රාජ්‍ය පාලකයන්ට චානක්‍යලා හෝ මැකියාවේල්ලා නැත. එහෙත් බොහෝ රාජ්‍ය පාලකයෝ හොඳ දැක්මක් ඇත්තවුන්, බහුශ‍්‍රතයින් තමන්ට සමීපකර ගනියි. ඇතැමුන් තමන්ගේ විකාර රූපී හා ප්‍රවේණි ගති පැවතුම්වලට​ සරිලන අය සමීපකර ගනිති. බොහෝ විට එසේ වන්නේ විකෘති ස්වභාවයන්ගේ බලපෑම්වලට සිය පැවතුම් රටා භාජනය කරගත් අය හටය. අවසානයේදී රටවැසියාට යහපතක් සැලසීම හෝ ප්‍රපාතයට​ වැටීම යන දෙකටම මෙම කාරණය සෘජුවම බලපෑමක් ඇතිකරන බව සත්‍යයකි.

අප රටේ විවිධ කාලවලදී තනතුරු තානාන්තර වලට පත්කල පුද්ගලයින් පිළිබඳව ආවර්ජනයක් කර බලන විට අපූරු සාධක හා උදාහරණ රාශියක්ම දැක ගැනීමට හැකිවන්නේය. ඉතා දුර කාලවලදී බොහෝ ආයතන ප්‍රධානීන් වශයෙන් තෝරා පත්කර ගනු ලැබුවේ සමාජයේ යහපත් පැවැත්මක් හා අදාල ක්ෂේත‍්‍රයට ඒ තැනැත්තාගෙන් ලබාගත හැකි දායකත්වයට මුල් තැනක් දෙමින් ය. දිවංගත ටී.බී. ඉලංගරත්න මැතිතුමා, සිරිමාවෝ බණ්ඩාරනායක රාජ්‍ය සමයේදී පිහිටුවන ලද මහජන බැංකුවේ ප්‍රථම​ සභාපතිවරයා වශයෙන් පත් කරගන්නා ලද්දේ ‘‘සඳ ලංකා සඳ’’ යන විරුදාවලියෙන් පුද ලැබූ ශ්‍රේෂ්ඨ ගණයේ සමූපකාරිකයෙක් වූ වින්සන්ට් සුබසිංහ මැතිතුමන්ය. බැංකුවේ මුඛ්‍ය ප්‍රධාන පරමාර්ථය වූ ග්‍රාමීය​ ජනතාවගේ ආර්ථිකය නැංවීම සහ සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ කාර්යයන් සඳහා සුබසිංහ ශ්‍රීමතාණන් අතිශයින්ම සුදුසු පුද්ගලයෙක් විය. එතුමා වෙතින් ඉස්මතු වූ ගැමි සුවඳ මුසු මානව ගුණාංගයන් සහ කෘතහස්ත සමූපකාරික අත්දැකීම් මහජන බැංකුවේ පොදු පරමාර්ථයට ඉතාමත් යෝග්‍ය විය. එබඳු උදාර පුද්ගලයින් බලවත් කැපවීමකින් සකස් කරදුන් ශක්තිමත් අඩිතාලම මත අඩසියවසක් ඉක්මවමින් දිගු ගමනක යෙදීමට එබඳු ආයතනවලට හැකි වී ඇත.

අද එබඳු උදාහරණයක් හැටියට පෙන්නුම් කිරීමට තරම්වත් තනතුරුධාරියෙක් සිටීද යන්න සැක සහිතය. සිටින්නේම එක්කෝ රාජ්‍ය පාලකයෙකුගේ ඥාති සබඳකම්, දේශපාලන බලවතකුගේ ජඩ ක්‍රියාකාරකම් වලට දායක වෙමින් අනුග්‍රහය​ දැක්වුවන්, කුල්ටූර් ව්‍යාජ සමාජ පදනමේ සාද සාමාජිකයින් වීමෙන් සමීප වුවන්, පාලකයන්ගේ විකෘති පැවතුම් සහෘදයන් වන අස්වාභාවික චරිතාපදාන, වැනි පිරිසකි. මෙය රටේම අභාග්‍යයකි. අතීතයට එබී බැලීමේදී යුග යුග පුරාම මෙබඳු ප්‍ර​වණතාවයක් වර්ධනය වීමක් දක්නට ලැබෙන අතර, ඊනියා යහපාලනය යටතේ අද තත්ත්වයද අතිශයින්ම ශෝචනීය වී ඇත.

පත්වීමෙන් තමා දරණ තනතුර ක්‍ර​මයෙන් උපයෝගී කරගනිමින් තමන්ට පවරා ඇති රාජ්‍ය ආයතනය දියුණුව කරාත්, මහජන ශුභ සිද්ධිය කරාත් ගෙනයමින් සිටින එක අයෙක්වත් මෙම තනතුරුධාරීන් අතර සිටී ද යන්න බලවත් සැකයකි. තවම එබන්ඳක් සමාජයට නොපෙනෙන බැවිනි, ආයතනයකට පත්වීමක් ලබන ඔළුවක් හා හදවතක් සහිත ඕනෑම කෙනෙකුට එම ආයතනයේ අඩුපාඩු දුර්වලතා මඟ හරවා ගනිමින් සුහද සේවක සබඳතාවක් ගොඩනංවා ගනිමින් රටට ජාතියට සේවයක් කළ හැක. අදාල ඇමතිවරුන්ගෙන් වෙනත් දේශපාලන නරුමවාදීන්ගෙන් එල්ලවන කිසියම් බාධාවක් හෝ බලපෑමක් වෙතොත් ඒ ගැන පැමිණිලි කිරීමටත්, එබඳු අයථා මැදිහත්වීම් නවත්වා ගැනීමටත් යහපාලන ප්‍රතිපත්ති තවමත් පාවා නොදුන් රාජ්‍ය පාලකයෙක් රටේ සිටින බැවින් කිසිවෙකුටත් පෙරකී කරුණු හා අපහසුතාවයන් පිළිබඳව මැසිවිලි නැඟිය නොහැකිය.

අද මහත් අවාසනාවට අපට පෙනෙන්නට ඇත්තේ එක්කෝ වලන් කඩයට වැදුනු හරක් මෙන් අභව්‍ය ලෙසින් හැසිරෙන අය හෝ දන්සැලට වැදුනු හිඟන්නන් මෙන් ඉස්මුරුත්තාව හැදෙන තෙක් මෙලෝ සිහියකින් තොරව කාගෙන කාගෙන යන සූරා කන්නන් වැනි පිරිස්ය. ඇමතිවරු, මන්ත්‍රීවරු හා දේශපාලඥයින්ය. ඔවුනට අවශ්‍ය වන්නේ සුවච කීකරු අනුගාමිකයින්ද එසේ නැත්නම් තමන්ගේ විෂය පිළිබඳ හසල දැනුමක් හා අත්දැකීම් ඇති දක්ෂ ක්‍රියාකාරයින් පිරිසක්ද යන්න තෝරා බේරාගත යුතුව ඇත. බ්‍රිතාන්‍යයේ සුප්‍ර​කට කවට රූපවාහිනී වැඩසටහන් මාලාවක් වූ , Yes Minister, නම් වූ නාට්‍ය පෙළ අපේ දේශපාලුවන්ට එකට එකතුකර පෙන්වීම හොඳ යයි අපට සිතේ. ඇමතිවරයෙකු කොතරම් දුරකට රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මෙහෙයවනු ලැබිය යුතුද යන්නත්, ඔවුන්ගේ දැනුමේ ඌණතාවයන් (නිසැකයෙන්ම පවතින) පුර්ණය කිරීම සඳහාත් උසස් රාජ්‍ය නිලධාරීන් විසින් කටයුතු කරන ආකාරය එම නට්‍ය පෙළින් හාස්‍යජනක ලෙසින් විදහා දැක්වේ. කිසිම අධ්‍යක්ෂණයකින් තොරව ප්‍රබල හාස්‍යජනක ජවනිකා මවමින් රංගනයේ යෙදෙන අප රටේ දේශපාලකයින්ට හා ඇමතිවරුන්ට මෙය ඉතා හොඳ පාඩමක් වනු නොඅනුමානය. සමහර දෙනෙකුට යමක් උගන්වා පැහැදිලි කර දීමට තරම්වත් පසුබිමක් නැති නිසා හාස්‍යෝත්පාදක ටෙලිනාට්‍යයක් මගින්වත් ඔවුන්ගේ සැබෑ ස්වරූපයත්, එය මඟහරවා ගත හැක්කේ කෙසේද යන වගත් එමගින් සාක්ෂාත් කර ගැනීමට හැකි වේ යැයි විශ්වාස කරමු.

ලොව පුරා ශ්‍රී ලංකා තානාපති කාර්යාල ඇත. ඒවා නඩත්තු කිරීමටද විශාල පිරිවැයක් රජය දරයි. මේ එකකවත් සිටින නිලධාරියෙක් රට වෙනුවෙන් රටට යමක් තමා නියෝජනය කරන රටෙන් ලබා දීමට උත්සුක වී තිබේ දැයි සැක සහිතය. ඔවුන් නිකම්ම නිකම්රාජ්‍යතාන්ත්‍රිකයන් වශයෙන් කල් ගෙවමින් සිටීමේ න්‍යාය සහ පිළිවෙත අදට වලංගු නැත. රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් හරහා වාණිජමය වශයෙන් අප රට තුලට ගෙන්වා ගත හැකි ව්‍යාපෘති ව්‍යාපාර නව ආදායම් මාර්ග යනාදිය පිළිබඳව ඔවුන් සැලකිලිත් විය යුතුව ඇත. තානාපති සේවය විශ්‍රාම සුවය ගත කිරීම සඳහා විශේෂ පුද්ගලයන්ට ලබාදෙන වරදානයක් නොවිය යුතුය. අපගේ දේශීය සම්පත්, සංස්කෘතික පසුබිම, අපට ආවේණික වූ ඓතිහාසික පෞඩත්වය ලොවට ගෙන යාමේ නියමුවන් ලෙස ඔවුන් කටයුතු කළ යුතුය. තමා සිටින රටෙන් ව්‍යාපාරික හෝ රාජ්‍ය සබඳතා මගින් අප රටට එක ව්‍යාපෘතියක් බැගින් හඳුන්වා දීමට ඔවුන්ව පෙළඹවිය යුතුය. එබඳු කාර්යයන්හි නියැලිය හැකි පුද්ගලයින් තෝරා තානාපති සේවය ශක්තිමත් කළ යුතුය.

ටික කලකට පෙර රාජ්‍ය ආයතවල ඉහල තනතුරුවලට පත් කිරීමේදී උසස් තනතුරු පිළිබඳ නිගමනය කෙරෙන පාර්ලිමේන්තු කොමිටියක් ඉදිරියට පැමිණවීමේ රීතියක් පැවති නමුත් අද සිටින බොහෝ දෙනෙකුගේ අතීත කැරැුට්ටුව එබඳු මණ්ඩලයක් ඉදිරියට පැමිණවීමට තරම් සුදුසු තත්ත්වයක නොපවතින බව ඉතා පැහැදිලිය. ඔවුන්ට ලැබී ඇත්තේ රෑ එළිවන විට නිකුත් කෙරෙන ලිපි මගින් ලබාදෙන තනතුරුය. පසුබිම් වී ඇත්තේද පත් කරන්නා සහ පත්කරනු ලබන්නා අතර පැවති සමීපත්වය පමණකි. ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් දැන් දැන් එකිනෙක හෙළිදරව් වෙමින් පවතින ඇතැම් දුර්දාන්ත ක්‍රියාකාරකම් වලින් මෙය පැහැදිලි වන්නේය. සමහරු ජාත්‍යන්තර හොරුන්ය. සමහරු කලක සිට අවිධිමත් ක්‍රියාකාරකම්වල යෙදී සිටියවුන්ය. තවත් සමහරු දූෂිත ක්‍රියාවලට කෙලින්ම සම්බන්ධ වී චෝදනාවලට භාජනයවූවන්ය. ටික දෙනෙක් මෙලෝ හසරක් නැති නාටිකාංගනාවන් සේ හැසිරෙන අයය. මොවුන් මුල් පුටුවල තබාගෙන යහපත් රාජ්‍ය පාලනයක් ගෙනයා හැකිද? අද මේ රටේ සෑම රාජ්‍ය ආයතනයක්ම කිසිම වැඩක් කරගත නොහැකි තත්ත්වයකට පත් වෙමින් තිබේ. ඉහල තිබෙන අකාර්යක්ෂම බව පහලටද ගලා ගොස් තිබීමද එයට එක හේතුවකි.

රාජ්‍ය ආයතන නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම රටේම ඉදිරි ගමන අඩපණ වීමකි. හොඳ මානව වාදී අවංක දක්ෂ ආයතන ප්‍රධානියෙකුට චක්‍රලේඛ හරස්විය නොහැක. බාධාවක්ද නොවිය යුතුය. එවැනි බාධක පවතින බව පෙන්වා දෙන්නෝ එක්කෝ අකාර්යක්ෂම පුද්ගලයන්ය. එසේත් නැත්නම් දූෂිත ක්‍රයාවල යෙදෙන අයය. එමනිසා මේවා ගැන සොයා බැලීමටත් ඒවා මඟහැරීමටත් දක්ෂ හැකියාවක් ඇති රාජ්‍යතාන්ත්‍රික උපදේශකයන් සිටිය යුතුය.

අද සංවර්ධනය සඳහා රජයෙන් ඉඩමක් ලාබ ගැනීම, රටේ අත්‍යවශ්‍ය ලෙසින් හඳුනාගත් ව්‍යාපෘතිවලට ඇතුල් වීම, පගාවකින් හෝ වෙනත් අනුග්‍රාහාත්මක බලපෑමකින් තොරව සිදුවන්නේම නැත. ඇතැම් ව්‍යාපෘති දේශපාලකයින්ගේ නොදැනුවත්කම දඩමීමා කරගත් වංචාකාරී නිලධාරීන්ගේ ග්‍රහණයට නතුවී ඇත. ජල විදුලිය, විකල්ප විදුලිබල නිෂ්පාදනය, සූර්ය තාප බල නිපැයුම වැනි ක්ෂේත‍්‍ර මුළුමනින්ම මෙබඳු මාෆියා සංවිධාන වලින් හා බලධාරීන් විසින් යටපත් කරගෙන ඇත. මහා පරිමාණ රාජ්‍ය ව්‍යාපෘති, ප්‍රතිසම්පාදන ක්‍රියාවලිය, දූෂණයට යටවී අවසන්ය. එළිපිටම නිර්ලජ්ජිත ලෙසින් හා ඒක​පාක්ෂික ලෙසින් එම තත්ත්වයන් නිර්දය ලෙසින් සිදුවෙන්නට හැර තිබේ. රාජ්‍ය බැංකු, ආදායම් හා සේවා සැලසෙන රාජ්‍ය ආයතන විවිධ උප්පරවැට්ටි හා උපක්‍රම මගින් ගසා කෑමට යටත් කරගෙන ඇත. එක්කෝ එබඳු තැන්වල සේවක සංවිධාන හා වෘත්තීය සමිති කටු කැබලිති වලින් පෝෂණය කිරීමෙන් හෝ අනිසි බලයෙන් පාගාගෙන සිටීමෙන් හීලෑ කරගෙන ඇත. දූෂණය නිරුපද්‍රිතව කරගෙන යාම සඳහා ඇමතිවරුන්ටද විවිධ අල්ලස් හා වාසි සලස්වා දෙමින් සිටිති. බඳවා ගැනීම් ඇමතිවරුන් ගිල ගැනමේ ඉතා හොඳ පස්සා දොරක් වී ඇත. පසුගිය දිනවල විවිධ ආයතනවලට කරන ලද බඳවා ගැනීම් ගැන බලන විට ඒවා ‘‘බුදුසරණ වේවා’’ යනුවෙන් ලොකුවට පුවරුවක් සහිත හොර ගවමස් ප‍්‍රවාහණය කිරීමට සමාන වී ඇත. ඇමතියාට පත්වීම් වැදගත්ය. එමගින් සිය ගැත්තන් හරහා ගාණක් උපයා ගැනීමටය. අනෙක උදාකරගත නොහැකි වූ සිහින මාලිගා වැනි සංවර්ධන ව්‍යාපාර පිළිබඳව අපේක්ෂා භංගත්වයට පත්ව සිටින (වොක්ස් වැගන් වැනි) කීප දෙනෙකු හෝ රාජ්‍ය ආයතනයකට තල්ලුකර දැමීම සඳහාය. මේ සියලුම කරුණු කාරණාවලට උදාහරණ හා සාක්ෂි මහජනතාව සතුව ඇත. ජනයා පුල පුලා බලා සිටින්නේ දීපු පගාවලට පළිගැනීමටය. ඔවුන් පගාව දී යටි සිතින් පගාව ගත්තවුන්ට සාප කරනු බව මේවායේ නිරතව සිටින්නන්ටද, ඔවුන්ට ගැතිකම් කරන වුන්ටද නොපෙනේ.

එනිසා ගිරි මුදුනේ සිට සිසාරා බලමින්ද, සුදුසු උපදෙස් ලබාගනිමින්ද නිසි රාජ්‍යතාන්ත්‍රික කටයුතු මෙහෙයවමින්ද මෙම පිරිහෙමින් පවතින දූෂිත තත්වයෙන් රට මුදා ගැනීමට කල්පනා කිරීම කාලෝචිතය.

‘‘කාලය වේගයෙන් ගෙවී යයි –  අප්‍රමාදව කටයුතු කළ යුතුව ඇත’’

– අප්පමාදෙන – සම්පාදේථ –

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.