25 April, 2024

Blog

බුද්ධිමය සමාජයට වසුරු ගද නොදැනේ ද?

කේ.ජී.පිලිප් ශාන්ත –

කේ.ජී.පිලිප් ශාන්ත

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්ව සිටි ආරියරත්න ඇතුගලට පසුගිය දා විවෘත අධිකරණයේ දී සිංහල ක්‍රමයට ආචාර කර සංස්ථා සේවකයන් කිහිපදෙනකුගෙන් සමාව ගන්නට සිදුවුණි. එසේ සමාව ගෙන සමථයකට පත්වීමට ඔහුට සිදුවූයේ මහාචාර්යවරයා ඇතුළු පිරිසක් තමන්ට පහර දුන් බවට කුරුදුවත්ත පොලීසියට කළ පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරූ නඩුවක දී ය.

2010 දී පැවැති ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඇතුළු රාජ්‍ය මාධ්‍ය විසින් පිළිපැදිය යුතු යැයි මැතිවරණ කොමසාරිස්වරයා විසින් උපමානයන් කිහිපයක් හදුන්වා දී තිබුණි. මේ උපමානයන් අනුගමනය නොකළ නිසා ඒවා පිළිපදින්නැයි දැනුම් දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද නියෝගයක් නිකුත් කර තිබුණි. එහෙත් මහාචාර්ය ආරියරත්න ඇතුගල මැතිවරණ කොමසාරිස්ගේ උපමානයන් පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයන් ද උල්ලංඝනය කරමින් කටයුතු කළේ ය.

එවිට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයන් කිහිපදෙනෙක් මැතිවරණ කොමසාරිස්ගේ උපමාන පිළිපදින ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග වලට එකග වන ලෙස ද සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්නට ඔහු හා සාකච්ඡාවකට ගියහ. එහිදී සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් වූ මහාචාර්ය ආරියරත්න ඇතුගල ද ඇතුළු තිදෙනෙක් වෘත්තීය සමිති නියෝජිතයන්ට බැන වැදී පහර දුන් බව ඔවුන් විසින් කුරුදුවත්ත පොලීසියට කළ පැමිණිල්ලේ සදහන් වේ. පොලීසිය වීසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරූ අතර එහිදී ඇතිවූ එකගතාවක දී මේ අන්දමින් මහාචාර්ය ඇතුගල ඇතුළු තිදෙනා වින්දිතයන්ගෙන් සමාව ගෙන ඇත.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල ඇතුළු තිදෙනා එලෙස ආචාර කර සමාව ගත්තේ පැමිණිලිකරුවන්ට බැන වැදී පහරදීමේ වරදටය. එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන් තිදෙනා මුදා හැරිය ද ඔවුන් විසින් කළ බරපතල වරදට කිසිම නීතිමය පියවරක් මෙතෙක් ගෙන නැත. විශේෂයෙන් ජන සන්නිවේදනය පිළිබද මහාචාර්යවරයකු වන ආරියරත්න ඇතුගල විසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ධූර දරද්දී සමාජයට ලබා දී ඇති පූර්වාදර්ශය අශ්ලීල වුවත් ඒ සම්බන්ධයෙන් දඩුවමක් නොලැබීම සැළකිය යුතු කරුණකි. එසේම අවම වශයෙන් එම සිද්ධිය බරපතල ලෙස සමාජය තුළ සාකච්ඡාවට හෝ බදුන් නොවුණි.

මැතිවරණ කොමසාරිගෙ උපමාන හා මහාචාර්ය ඇතුගල

2010 ජනාධිපතිවරණය පවත්වන අවස්ථාව වන විට 17 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල පැවැත්වුණි. ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 104 (ආ) (5) ව්‍යවස්ථාව අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සහතික කිරීම සදහා අවශ්‍ය යැයි තීරණය කරන ගුවන් විදුලි හා රූපවාහිනී ආයතනයන් වලට අනුගමනය කළ යුතු උපමානයන් තීරණය කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයා සතුව තිබුණි. ඒ අනුව මැතිවරණ් කොමසාරිස්වරයා එවැනි උපමානයන් සකස් කොට ඒවා අනුගමනය කරන්නැයි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට දැනුම් දුනි.

ආරියරත්න ඇතුගල

එහෙත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් තනතුරු දැරූ මහාචාර්ය ආරියරත්න ඇතුගල මැතිවරණ කොමසාරිස්ගේ එම උපමානයන් තඹ සතයකට මායිම් නොකළේ ය. ඔහු දිගින් දිගටම විරුද්ධ පක්ෂ අපේක්ෂකයන්ගේ මැතිවරණ ව්‍යාපාරයට දේශපාලනිකව හානි විය හැකි වැඩසටහන් විකාශය කළේය. එසේම එවකට ජනාධිපති හා ආණ්ඩු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂට වාසි සහගත වන ලෙස, විකාශය කළ වැඩසටහන් කළමනාකරණය කළේ ය. නීතිමය රාමුව තුළ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්ගේ බල සීමාව අතික්‍රමනය කරමින් වැඩසටහන් විකාශය කිරීම අප්‍රසන්න විය. තමා විසින් පැනවූ උපමානයන්ට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (5) (ආ) ව්‍යවස්ථාව අනුව මහාචාර්ය ඇතුගල ගරු නොකළ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (5) (ඈ) ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට නිසි බලධරයකු පත් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගන්නා ලදි. එහෙත් එම නිසි බලධරයාට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති ප්‍රතිපාදන යටතේ ක්‍රියා කිරීමට අවස්ථාවක් නොලැබුණි. නිසි බලධාරියා ලෙස පත්වූ රාජ්‍ය සේවයේ ජේෂ්ඨ නිලධාරියකු වූ ජයම්පතී හෙට්ටිආරච්චි මේ නිසා බරපතල අපහසුතාවකට පත් වුණි.

එහෙත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව දිගින් දිගටම නීතිය උල්ලංඝනය කරමින් ආණ්ඩු පක්ෂගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂට පක්ෂපාතීව වැඩසටහන් විකාශය කිරීම පිළිකුළ දනවන සුළු කරුණක් විය. වෘත්තීයමය මාධ්‍ය ආයතනයක සදාචාරමය ප්‍රතිමානයන්ට නිග්‍රහාත්මක ලෙස කටයුතු කළ එම මැතිවරණ කාලය තුළ යක්ෂාවේශය, ඇදගෙන නෑම, කිඹුල් කදුළු, ප්‍රවෘත්ති පසුබිම, විනිවිද, ඉතිහාසයෙන් පිටුවක්, අලුත් ශ්‍රී ලංකාවක් හා සංවාද දේශපාලන මණ්ඩපය වැනි වැඩසටහන් විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයාට අගතියක් වන ලෙස භාවිතා කරන ලදි.

ඇඩොල්ෆ් හිට්ලර් හා ජෙනරාල් ඉඩී අමීන් යනු ඒකාධිපතියන් දෙදෙනෙකි. ඔවුන්ගේ කටයුතු ඇතුලත් චිත්‍රපට දෙකක් නැවත නැවත සිංහල උප ශීර්ෂයන් සහිතව විකාශය කරන ලද්දේ විපක්ෂයේ අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා ජයග්‍රහණය කළහොත් ඔහු එවැනි ඒකාධිපතියන් ලෙස හැසිරිය හැකි බවට ජන මනස තුළ කුකුසක් හා දෙගෙඩියාවක් ඇති කිරීම සදහා ය.

ගාස්තු නොගෙවූ මැතිවරණ දැන්වීම් විකාශය කරමින් මහින්ද රාජපක්ෂට සහාය දුන්න ද සියළු ගාස්තු ගෙවා තම මැතිවරණ දැන්වීම් ප්‍රචාරය කර ගැනීමට හෝ පොදු අපේක්ෂකයාට නොහැකි විය. අවසානයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හැසිරීම කනගාටුදායක වූ බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ ඉල්ලීමක් මත මැතිවරණ කොමසාරිස්වරයාගේ උපමානයන් පිළිපදින ලෙස නියෝගයක් ද නිකුත් කෙරිණි. එම නියෝගය හෝ පිළිපැදීමට රූපවාහිනි සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්වරයා අපොහොසත් වුණි.

මැතිවරණයක් පැවැත්වීමේ ක්‍රියාවලිය තුළ රාජ්‍ය නිලධාරීන් බැදී සිටින්නේ සාධාරණ හා නිවැරැදි මැතිවරණයක් පැවැත්වීම සදහා තම දායකත්වය ලබාදීමටය. රජයේ මාධ්‍ය ආයතනයක ප්‍රධානියා වශයෙන් මහාචාර්ය ආරියරත්න ඇතුගල ඒ සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බැදී තිබුණි. එසේම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් ද ඒ සදහා ඔහුට සිහි කැදවා තිබුණි. ඒ වගකීම ඔහු විසින් නොතකා හරිමින් කටයුතු කිරීම බරපතල වරදකි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයන් ද නොතකයි

මැතිවරණ සමයේ බලපැවැත්වෙන නීතිය රකිමින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මෙන්ම ආචාර ධාර්මිකව ද මහාචාර්ය ඇතුගල බැදී සිටින්නේ ඔහු සන්නිවේදනය පිළිබද මහාචාර්යවරයකු වන බැවිනි. විශ්ව විද්‍යාලයක සන්නිවේදන දෙපාර්තමේන්තුවක සන්නිවේදනය පිළිබද න්‍යායාත්මක දැනුම නිෂ්පාදනය කළ යුතු අයකු දේශපාලන පත්වීමක් ලැබූ පසුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාමය මූලික නීතිය පමණක් නොව ආචාර ධර්මයන් ද කඩ කිරීම පිළිබදව ඔහුගේ වගවීම කුමක්දැයි පැහැදිලි නැත.

ජනාධිපතිවරණය සමයේ දී මැතිවරණ කොමසාරිස්ගේ උපමානයන් පිළි නොපැදීම හා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග නොතකා හැරීමෙන් තමන්ට අගතියක් වී යැයි සදහන් කරමින් ජනාධිවරණ අපේක්ෂක සරත් ෆොන්සේකා පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළත් ඊට සිදුවූ දේ පැහැදිලි නැත. තම උපමානයන් පමණක් නොව තමන් විසින් පත් කළ නිසි බලධරයාට ව්‍යවස්ථාමය රාජකාරීන් ඉටු කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා අනුගමනය කළ ක්‍රියා පිළිවෙත ද පැහැදිලි නොමැත. අවසානයේ සිදුවූයේ රටේ මූලික නීතිය ද උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව කැළෑ නීතියෙන් පාලනය කිරීමට මහාචාර්ය ආරියරත්න ඇතුගලට  බාධාවක් නොවීමයි.

ඔහු විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයකු වුවද නීතියට හා ආචාර ධර්මයන්ට ගරු නොකිරීම අශ්ලීල සංස්කෘතික ලක්ෂණයකි. සිවිල් පුරවැසියන් නීතියට හා ආචාර ධර්මයන්ට ගරු කරන්නේ හුදු නෛතික බැදීම නිසාම නොවේ. ඔහුගේ සංස්කෘතික ගති ලක්ෂණ ද ඊට බලපායි. තමන් නීතිය උල්ලංඝනය කිරීම පිළිබදව විමසන්නට පැමිණි තමන්ගේ නිලධාරීන්ට පහර දෙන්නට තරම් අප්‍රසන්න සංස්කෘතික ගති ලක්ෂණ ඇත්තකු රටේ මූලික නීතියට හා ආචාර ධාර්මික කරුණු වලට ගරු නොකිරීම තාර්කිකය. නමුත් එමගින් පැන නගින නීතිමය පරස්පරතා මෙන්ම ආචාර ධාර්මික පරස්පරතා ද බොහෝ ය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විශ්ව විද්‍යාල සේවයෙන් නිවාඩු ගෙන රජයේ තනතුරු දරන්නට පැමිණීම දැන් දැන් සුලභව සිදුවේ. විෂය මූලික හා වෘත්තීයමය වැදගත්කම නිසා ඔවුන්ගේ දැනුම රාජ්‍ය සේවයට ලබා ගැනීම එහි පරමාර්ථය විය හැකිය. එහෙත් එසේ පැමිණෙන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් තම ඇකඩමික තත්ත්වයේ ගෞරවයත් වෘත්තීයමය ස්වභාවයේ ගෞරවයත් ආරක්ෂා කර ගනිමින් රාජ්‍ය සේවයට යම් ඵලදායි දායකත්වයක් දැරීම අවශ්‍යයෙන්ම කළ යුතුය. එම පත් කිරීම් අමාත්‍ය මණ්ඩලය විසින් සිදු කරන පත් කිරීම් නිසා අමාත්‍ය මණ්ඩලයේ ගෞරවය ද ආරක්ෂා විය යුතුය. එහෙත් එසේ විශේෂිත පදනමකින් රාජ්‍ය සේවයට එන විශ්ව විද්‍යාල ඇදුරන් නූගත් දේශපාලනික හෙන්චංයන් ලෙස හැසිරීම කණගාටුවට කරුණකි.

එම කාරණාවන්ට අනුව මහාචාර්ය ආරියරත්න ඇතුගලට ඇත්තේ ගෞරවනීය චර්යා ධාර්මික හැසිරීමක් නොවේ. ඔහු පරිපාලනය පිළිබදව අ යනු ආ යන්නවත් සුදුසුකම් ලද්දකු නොවේ. එනිසා ඔහු යටතේ සේවය කරන්නන්ගේ පෞද්ගලික ලිපි ගොනු බොහෝ විට පිරී යන්නේ පුද්ගලික පළිගැනීම් වලිනි. ඔහු ආයතන ගත විනය පිළිබද කිසිම අවබෝධයක් ඇත්තකු නොවේ. එනිසා ඔහුගේ අතිශය පෞද්ගලික අවශ්‍යතා ඉෂ්ඨ කර ගැනීම සදහා නිතර ආයතනික විනය හාස්‍යයට හා අවමානයට ලක් කරයි.

තමන් යටතේ සේවය කරන නිලධාරීන්ව බිය වැද්දීම සදහා ඔහු නිතර ප්‍රකාශ කළ වදනක් වන්නේ “මම ජනාධිපතිගෙ මිනිහෙක්” යන්නයි. ඇත්තටම විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයකු දේශපාලකයකුගේ ඇගේ එල්ලී පෞර්ෂය ගොඩ නගා ගැනීමට උත්සාහ කිරීමත් තමුන්ටය කියා පෞර්ෂයක් නොමැතිවීමත් ගැන ඔහු ලැජ්ජා විය යුතුය. එහෙත්  ඒ සියල්ල ඔහුට ආඩම්බරයට හේතුවක් වීම කනගාටුදායක ය.

බුද්ධිමය සමාජය නිහඩයි

රාජ්‍ය ආයතනයක ප්‍රධානීන් පත් කරන්නේ අමාත්‍ය මණ්ඩලයයි. මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ පත්වීම් බලධාරියා වන අමාත්‍ය මණ්ඩලය ඔහුගේ නොමනා හැසිරීම් ගැන කිසිම විටෙක සොයා බැලීමක් සිදු කර නොමැත. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථවේ සේවයෙන් පසුව මහාචාර්ය ආරියරත්න ඇතුගල රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලදි. එහෙත් රාජ්‍ය ආයතන දෙකක උසස් තනතුරු දරා ආණ්ඩු මාරුවෙන් පසුව ගෙදර යනතුරුත් ඔහුගේ සේවා කල්ක්‍රියාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් සොයා නොබැලීම අමාත්‍ය මණ්ඩලය පවා හාස්‍යයට ලක්වන කරුණකි. විශේෂයෙන් ජනාධිපතිවරණ සමයේ දී මැතිවරණ කොමසාරිස්ගේ උපමානයන්ට ගරු නොකිරීම, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පත් කළ නිසි බලධාරියාට සේවය ඉෂ්ඨ කිරීමට අවස්ථාව ලබා නොදීම හා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයන්ට අවනත නොවීම යන කරුණු හෝ බරපතල ලෙස සලකා බැලීමට අමාත්‍ය මණ්ඩලය උනන්දු නොවීය.

2015 ජනාධිපතිවරණයෙන් පසුව මහාචාර්ය ආරියරත්න ඇතුගල රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත්වී නැවත කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන දෙපාර්තමේන්තුවේ ආචාර්ය මණ්ඩලයට එක් විය. එහෙත් තම විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු රාජ්‍ය සේවයට ගොස් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකගව හා ආචාර ධාර්මිකව නොහැසිරීම සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලක සභාව කිසිම අවධානයක් යොමු නොකරන ලදි. විශේෂයෙන් මහාචාර්ය ඇතුගල සන්නිවේදනය පිළිබද විශ්ව විද්‍යාල ඇදුරෙකි. ඔහු රාජ්‍ය සේවයට ගොස් සන්නිවේදනයේ ආචාර ධාර්මික වටිනාකම් කඩ කිරීම පිළිබද විශේෂ සොයා බැලීමකට විශ්ව විද්‍යාල පාලක සභාව යා යුතුව තිබුණි. එහෙත් ඒ කිසිදෙයක් බැරෑරුම්ව සලකා බැලීමට කැළණිය විශ්ව විද්‍යාල පාලක සභාව උනන්දු නොවුණි.

රාජ්‍ය සේවය තුළ සිටිය දී ඔහුගේ නොපනත්කම් සම්බන්ධයෙන් කිසිම විනයානුකූල ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව ඇත්තකි. එය ඔහුගේ දේශපාලන සබදකම් වල ප්‍රතිඵලයක් විය හැකිය. එහෙත් පුදුමයට කරුණ වන්නේ ඔහුගේ නොමනා හැසිරීම ගැන විශ්ව විද්‍යාල ප්‍රජාව ද නිහඩව සිටීමයි.

සන්නිවේදන විෂය පිළිබදව ආචාර ධාර්මික වටිනාකම් කඩ කිරීමකට ලක් කළ මහාචාර්ය ආරියරත්න ඇතුගල නැවතත් කැළණිය විශ්ව විද්‍යාලයේ දී සන්නිවේදනය විෂයක් ලෙස උගන්වමින් සිටී. එහෙත් ඔහුගේ ඒ අපුල දනවන භාවිතය බුද්ධිමය හා වෘත්තීමය සමාජය විසින් ප්‍රශ්න නොකිරීමෙන් පෙන්නුම් කරන්නේ බරපතල ඛේදවාචකයකි.

*මහාචාර්ය ආරියරත්න ඇතුගල රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ව සිටිය දී මෙම ලියුම්කරු එම දෙපාර්තමේන්තුවේ සේවය කළ අයෙකි. ලේඛකයාගේ ඊමේල් ලිපිනය​: Shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.