26 April, 2024

Blog

විජේදාස රාජපක්ෂ නම් ට්‍රොජන් අශ්වයා

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

යහපාලන රජයේ දෙවසර පිරෙන මෙම සතියේ දේශපාලන කරලිය රත්කල ප්‍රධානතම කාණ​නය නම් විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ ඇති වූ දැඩි විරෝධයයි. එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේත්, රටේ සිවිල් සමාජය තුළත් වර්ථමාන රජය සම්බන්ධයෙන් තිබූ විවේචනයක් වන්නේ පසුගිය රජයේ වංචා දූෂණ හා අක්‍රමිකතා මෙන්ම මිනීමැරුම් පිළිබදවද, ඒවායේ විමර්ශන පිළිබදවද දක්වන උදාසීනභාවයයි. න්‍යායාත්මකව ගත් කල මෙම ආණ්ඩුවට 2015 ජනවාරි 8 වනදාත්, 2015 අගෝස්තු 17 වනදාත් ලබාදුන් ජනවරමට සුජාතභාවයක් අත්වන්නේ එම ජනවරම වෙනුවෙන් රටට ඉදිරිපත් කරන ලද වැඩසටහනේ ප්‍රධාන අංගයක් වූ නීතියේ ආධිපත්‍ය යලි ස්ථාපිත කොට පසුගිය රෙජීමයේ බලය අයුතු ලෙස භාවිතාකළ රාජපක්ෂවරු ප්‍රමුඛ එම කල්ලියට එරෙහිව පැනනැගුනු දූෂණ චෝදනා, මිනීමැරුම් චෝදනා හා බලය අයුතු ලෙස භාවිතාකිරීම පිළිබද අපරාධයන් වෙනුවෙන් විධිමත් විමර්ශනයක් පවත්වා දඩුවම් ලබාදීමෙන් අනතුරුවයි. නමුත් වසර දෙකහමාරකට පසු ශ්‍රී ලාංකිකයන් බහුතරයකගේ මතය වන්නේ රනිල්, මෛත්‍රී ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් අසමත් බවක් දක්වා ඇති බවයි. මෙහි අපූරුම කාරණය වන්නේ ආණ්ඩුව අභ්‍යන්තරයේ කටයුතු සිදුකරන්නන්ට සිදුවන්නේ කුමක්දැයි අවබෝධයක් නොමැතිව විලම්භීතව එකිනෙකාට ඇගිල්ල දිකක්ර ගැනීමයි.

නමුත් රවී කරුණානායකට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කිරීමේදී දැක්වූ අතිශය කාර්යක්ෂමතාවය එනම් පිටු 8600 කින් යුතු වාර්ථාවක් දින දෙකකින් අධ්‍යයනයකොට කොමිසමට දැන්වීමට දැක්වූ කාර්යක්ෂමතාවය (සාමාන්‍ය නඩුවක පිටු 10 ක් අධ්‍යයනය කිරීමට අවුරුදු දෙකක් කල් ගන්නා නීතිපති දෙපාර්තමේනතුව) ශ්‍රී ලංකා පොලීසියේ මූල්‍ය අපරාධ කොට්ඨාශය, රහස් පොලීසිය හා අල්ලස් කොමිසම විසින් විමර්ශනය කොට නඩු පැවරීම සදහා ඉදිරිපත්කොට ඇති අපරාධ 87 ක් සම්බන්ධයෙන් දක්වන නිද්‍රාශීලී බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ අවධානයට ලක්වීම, විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන් වූ අර්බුධයේ ආරම්භයයි. එහිදී අජිත් පී. පෙරේරා විසින් හෙළිකරන ලද කරුණු පුදුම සහගතය. අධිකරණ අමාත්‍යවරයාගේ නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඇති පක්ෂග්‍රාහී මැදිහත්වීමත්, එය පසුගිය රජයේ අපරාධකරුවන්ගේ අපරාධ නඩු යටගසා දැමීමටත් එසේම දුර්වල ආකාරයෙන් චෝදනා ගොනු කිරීමට දක්වන බලපෑමෙනුත්, එසේම ඒ වෙනුවෙන් අභ්‍යන්තරයේ සිදුවන ඇමරිකානු ඩොලර් මිලියන ගණන් වල ගණුදෙණුත් හෙලිවීම විජයදාස රාජපක්ෂට විරුද්ධව පක්ෂ අභ්‍යන්තරයේ කැලලක් ඇතිවීමට ප්‍රධානතම හේතුවයි.

නීතිපති දෙපාර්තමේනතුව  රාජපක්ෂ රෙජීමය පැවති කාලයේ ඔවුන්ගේ රාජ්‍ය පාලනයේ තීරණාත්මක මර්දන උපකරණය විය. එම දෙපාර්තමේන්තුව එම යුගයේදී රටේ තිබූ බලවත් දේශපාලනකරණයට ලක්වූ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ හිතවතුන්ගෙන් හා අතවැසියන්ගෙන් පිරුණු දෙපාර්තමේන්තුවක් විය. එය අඩු වැඩි වශයෙන් අදත් එසේමය. එම නිසාම ගෝඨාභය රාජපක්ෂගේ අත්සන් පරීක්ෂා කොට ඔහුට එරෙහිව නඩු පැවරීම මේ වනවිටත් වසර දෙකකට වඩා කාලයක් ගතකොට තිබේ. එම දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය පුදුම සහගතය. ආණ්ඩුවේ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමට අදාල ප්‍රධානතම ආයතනයේ වෘතිකයින්ගේ ෆේස්බුක් ගිණුම්වල දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් නම් චෝදනා එල්ලවී ඇති මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් නිපදවූ පෝස්ටර්, බැනර් ප්‍රදර්ශනය කිරීමයි. එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කරනුයේ නීතිපති දෙපාර්තමේන්තුව ලෙසටත් වඩා මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ යාන්ත්‍රණයක් ලෙසය. සමහරක් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ‍ෆේස්බුක් ගිණුම්වල ඇති ප්‍රචාරක පෝස්ටර් අභීත එදිරිසිංහගේ, කැලුම් ජයසුමනගේ, විමල් වීරවංශගේ ෆේස්බුක් ගිණුම්වල ඇති ප්‍රචාරක පෝස්ටර් වැනිය. එබැවින් මෙවැනි දෙපාර්තමේන්තුවක කටයුතු කළමනාකරණය කරගැනීමට නොහැකි වීමම එක්සත් ජාතික පක්ෂය විසින් විජයදාස රාජපක්ෂගේ කුමන්ත්‍රණයක් ලෙස තේරුම් ගැනීමම අරුමයක් නොවේ.

විජයදාස රාජපක්ෂගේ ඉතිහාසයද එතරම් හොද කල්ක්‍රියාවකින් යුතු ඉතිහාසයක් නොවේ. ඔහු ඉන්නා තැන අවංකව ඉන්නා බැරි දේශපාලනඥයෙකි. යටි උගුල් හා කුමන්ත්‍රණ ඔහුගේ දේශපාලන ජීවිතය පුරාම දැකිය හැකියඅන්ත දූෂිත රාජපක්ෂ රෙජීමයෙන් ඔහු ඉවත් වූයේද ඒ රෙජීමයේ හොරු ඇල්ලීමට ගොස්ය. රාජපක්ෂ රෙජීමය යනු හොරු අල්ලන තැනක් නොව හොරුන් සමග ජීවත්වන, හොරුන් සමග කන බොන, හොරුන් ආරක්ෂා කරන, ඒ වෙනුවෙන් රාජපක්ෂ වරුන්ට ප්‍රශස්ති ගී කියන තැනකි. එම රෙජීමයට පිටුපෑමට අදහස් කළ විජයදාස රාජපක්ෂ එයින් ඉවත් වීමට මහත් ඝෝෂාවක් නගමින්, හොරු ඇල්ලීමට උත්සහ කරමින් එයින් ඉවත්විය. නමුත් සැබෑ ලෙසම බෙලිඅත්තේ විජයදාස රාජපක්ෂ හා මැදමුලනේ රාජපක්ෂලා අතර පැවති විරසකය වන්නේ රාජ්‍යතාන්ත්‍රික කාරණා නොව ගෝත්‍රික කාරණාය. ඒවා දේශපාලන ක්ෂේත්‍රයේ අමුවෙන් එළිපිට සාකච්ඡාවන කාරණාය.

මේ ආණ්ඩුව තුල හොරුන්ට, ඩීල්කාරයින්ට හා දූෂකයින්ට පැවැත්මක් නැත. එය දැන දැනත්, ඒ පිළිබදව අවබෝධයක් ඇතිවත්, විජේදාස රාජපක්ෂ හොරුන් සමග ඩීල් ගසමින්, හොරු ආරක්ෂා කරමින් එක්සත් ජාතික පක්ෂයත්, ආණ්ඩුවත් අපහසුතාවයට පත්කිරීමේ සූක්ෂම කුමන්ත්‍රණයක යෙදී සිටී. මෙය හොදින් අවබෝධ කරගැනීමට අවශ්‍යනම් ශිරාල් ලක්තිලක, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්තුමා, දෙරණ රූපවාහිනීයේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී  පලකළ අදහස්වලට අවදානය යොමුකරන්න.

එබැවින් එක්සත් ජාතික පක්ෂයට ට්‍රොජන් අශ්වයෙකු තම පක්ෂ අභ්‍යන්තරයේ තබාගැනීමට කිසිදු අභිලාෂයක් නොමැත.  

*ලේඛකයා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.