25 April, 2024

Blog

සිංහල බෞද්ධ සමාජ තීරුව හා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක අරුණළු

කේ.ජී.පිලිප් ශාන්ත –

කේ.ජී.පිලිප් ශාන්ත

සම්මුතික ආණ්ඩුව අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සදහා උපරිම මහන්සියෙන් කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. ඒ ව්‍යවස්ථාවේ අඩංගුව සම්බන්ධයෙන් තවමත් පැහැදිලි චිත්‍රයක් නිරූපනය නොවන්නේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දළ කෙටුම්පතක් හෝ තවමත් සකස් කර නොමැති බැවිනි. දැනට පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුවේ වාර්තාවක් නිකුත් වී ඇති අතර එමගින් ද ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් ලබා ගත නොහැක. දැනට අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් යම් අදහසක් ලබා ගත හැක්කේ පසුගිය ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා සමාජ ගත කළ මැතිවරණ ප්‍රකාශනයෙන් හා පසුගිය මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සමාජ ගත කළ මැතිවරණ ප්‍රකාශනයෙනි.

ඒ මැතිවරණ ප්‍රකාශනයන් දෙකෙන්ම පැහැදිලිව කීවේ රට ඒකාධිකාරී වියරුවකට තල්ලු කළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවය. එසේම අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට විධායක බලය පවරන බවය. ඒකීය රටක් තුළ උපරිම බලය බෙදන බවය. සම්මුතික ආණ්ඩුව විසින් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්නේ නම් ඒ ව්‍යවස්ථාව පදනම් විය යුත්තේ මැතිවරණ ප්‍රකාශනයන්හි සදහන් වූ  පොරොන්දු ප්‍රකාශය මතය. ඒ අනුව රාජ්‍යයේ ව්‍යුහය ආකෘතිමය ලෙස වෙනස් කිරීම සිදුවිය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට විධායක බලය ලැබෙන, ඒකීය රාජ්‍ය ආකෘතිය තුළ බලය බෙදන ලෙස ය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කොටස් ආණ්ඩුවෙන් ඈත්වීම

මේ වනවිට සම්මුතික ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම, විශේෂයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීම සදහා කැපවී ක්‍රියා කරමින් සිටී. ආණ්ඩුවේ කුඩා පක්ෂවල කැපවීම ශක්තිමත් නැතත් ආණ්ඩුවෙන් බාහිර ජනතා විමුක්ති පෙරමුණේත් දෙමළ ජාතික සංධානයේත් කැපවීම අගය කළ යුතු මට්ටමක පවතී. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොර ගල් අහුලමින් සිටින අතර ඒ නිසා ජනාධිපතිවරයා ද දේශපාලනික වශයෙන් චෙක් මේට් වී සිටී. 2015 පෙරලියට දායක වූ දේශපාලනික බලවේගයන් අතුරින් ව්‍යවස්ථාමය වෙනසක් සදහා දුර්මුඛව සිටින්නේ ජනාධිපතිවරයා පමණි. ජනාධිපතිවරයා මේ අන්දමින් නිශ්ක්‍රීය වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දීමට සිදුවීම නිසා ය.

2015 ජනවාරි 08 වැනි දින ජනාධිපතිවරණයේ දී ප්‍රකාශයට පත් වූ මහජන අභිලාශය නියෝජනය කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොවේ. එදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙනී සිටියේ ආඥාදායක, ඒකාධිපති පාලන ක්‍රමයක් වෙනුවෙනි. 1978 ව්‍යවස්ථාවට ගෙන ආ නින්දනීයම සංශෝධනය වූ 18 වැනි සංශෝධනය මත පදනම් වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ප්‍රතික්ශේප කළේ ය. එවැනි පක්ෂයකට 1978 ව්‍යවස්ථාවේ මූලික රාමුවෙන් පිටස්තර ලෝකයක් නොවීය. එම පක්ෂයේ එක් පාර්ශ්වයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සිටිය ද ඔවුන් නියෝජනය කරන්නේ 2015 ජනවාරී 08 දින පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ අභිලාශයන්ම ය. එහෙව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉක්මන් වූ නිසා අද ඔහුට සිදුව ඇත්තේ පක්ෂ ආඥාදයකත්වය තුළ සිරවීමට ය.

මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහත් පිට පිට දෙවරක් ජනවරම් ලබා තිබිය දී පරාජයට පත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු පවසන්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමක් අවශ්‍ය නොවන බව ය. එහෙත් එසේ පවසන්නේ 2015 ජනවරමට සම්මාදම් නොවූ එදා ආඥාදයකත්වයක් වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් ය. සත්‍ය කතාව වන්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වෙනසක් සදහා මෙරට පවතින මහජන අභිලාශයයි. එය ප්‍රකාශ වූයේ අදක ඊයේක පටන් නොව 1994 වසරේ පටන් ය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීම හෝ මුළුමනින්ම වෙනස් කිරීම හෝ අතිශය වැදගත් වන්නේ  යහපත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වෙනුවෙන් පෙනී සිටින්නන්ට යසාමාන්‍යයෙන් සමාජයේ පීඩිත පන්තියට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක හෝ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නිර්මාණයක අගය නොතේරේ. එය සමස්ත සමාජයටම තීරණාත්මක වුවද ඒ වෙනුවෙන් සවිඥාණිකව පෙනී ඉන්නේ මධ්‍යම පන්තිය හා ධනපති පන්තියයි. 2015 දේශපාලනික වෙනස අවස්ථාවේ ද ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් වෙනුවෙන් සවිඥාණිකව පෙනී සිටියේ මැද පන්තිය හා ධනපති පන්තියයි.

ව්‍යවස්ථා වෙනසකට සිංහල බෞද්ධ සමාජයේ අනුමැතිය

සමාජයේ පවතින මේ තීරු දෙකෙන් මැද පන්තිය ආණ්ඩුව සමග පසුවන්නේ කේන්තියෙනි. ආණ්ඩුව දේශපාලන වෙනස්කම් පසෙක තබා ආර්ථික වෙනස්කම් කරන්නට යෑමත් ඒ ආර්ථික වෙනස්කම් නිසා මැද පන්තිය පීඩනයට පත්වීමත් ඊට හේතුවයි. ධනපති පන්තිය තුළ බහුල ලෙස නියෝජනයක් පවතින්නේ ද සම්ප්‍රදායික ධනපතියන්ට නොව ධනය ඇති සමාජ තීරුවට ය. ඒ ධනය ඇති සමාජ තීරුව බොහෝ විට ගනුදෙනු කරන්නේ හා සබදතා පවත්වන්නේ ආණ්ඩුව සමග නොවේ. ආණ්ඩුවට පවා ඔවුන් සමග සබදතා පවත්වාගෙන යෑමට ශක්තිමත් මිතුරු බලවේගයන් නොමැත. එනිසා තවමත් ධනවත් සමාජ තීරුව කල්යල් බලමින් ඉන්නේ මහින්ද රාජපක්ෂගේ දෑත ශක්තිමත් කරන්නට ය.

අති විශාල කළු ආර්ථිකයක් පවත්වාගෙන යමින් මේ ධනවත් සමාජ තීරුව ශක්තිමත් කළේ මහින්ද රාජපක්ෂයි.  ගහට පොත්තත් පොත්තට ගහත් ලෙස මේ ධනවත් සමාජ තීරුව ශක්තිමත්ව බැදී ඇත්තේ මහින්ද රාජපක්ෂ සමග ය. එනිසා ඔවුන් ආණ්ඩුව සමග සබදතා පවත්වන්නේ නොමැත. ආණ්ඩුව සමග යහපත් මිතුරුකම් පවත්වන්නේ සම්ප්‍රදායික ධනපති පන්තිය පමණි. ඊළගට සමාජයේ ශක්තිමත් ජන කොටස වන්නේ ආන්තික සමාජ තීරුවයි. ග්‍රාමීය සමාජයේ ආන්තික ජන කොටස ජීවත් වන්නේ ද බරපතල අපහසුවකිනි. ජීවන වියදම ඉහළ නැගීම අති සාර්ථක නිසා ඔවුන් ජීවත් වන්නේ දැඩි කම්පනයකිනි. එනිසා ඔවුන් ආණ්ඩුවේ කටයුතු දෙස බලා ඉන්නේ කෝපයෙනි.

2015 ජනවාරී 08 වෙනි දින වනවිට ලාංකික සමාජය දේශපාලනිකව ධ්‍රැවීකරණය වී තිබුණේ මීට වෙනස් අයුරකිනි. ඒ තුළ සිංහල බෞද්ධ සාතිශය බහුතරය මහින්ද රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතිය හා බද්ධව සිටියහ, ඊට හේතුව වූයේ ඔහු නිරත්තරයෙන් සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය වෙනුවෙන් පෙනී සිටි නිසා ය. ඊට වඩා අඩු කොටසක් මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි අතර දෙමළ හා මුස්ලිම් ජන කොටසේ සාතිශය බහුතරය පෙනී සිටියේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙනි. ඒ අනුව සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී හා නිදහස් අභිලාශයන් වෙනුවෙන් බහුතරය පෙනී සිටි අතර ඊට වඩා අඩු සුළුතරය පෙනී සිටියේ ආඥාදායකත්වය වෙනුවෙනි.

නමුත් දෑ අවුරුද්දකුත් මාස හයක ඇවෑමෙන් සමාජය අලුතින් ධ්‍රැවීකරණය වීමට පටන්ගෙන තිබේ. ඊට හේතුව වූයේ ගෙන එන්නට යෝජිත අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරණයන් නිසා උරණව සිටින සමාජ කොටස් මහින්ද රාජපක්ෂගේ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී කෑගැහිලි තුළ දෑස් නිලංකාර කරගනිමින් සිටී. එමෙන්ම දේශපාලන ප්‍රතිසංස්කරණ නොකිරීම නිසා ආණ්ඩුව සමග වෛරයකින් ද සිටී.

ආණ්ඩුවේ මිතුරු බලවේග ඉතා වේගයෙන් ආණ්ඩුව හැර යමින් සිටින අතර මහින්ද රාජපක්ෂගේ මිතුරු බලවේග යළි ඔහු වටා ගොනු වෙමින් සිටී. ආණ්ඩුව ක්ෂණිකව බිද වැටීමේ තර්ජනයක් තවමත් නැත. එසේම මහින්ද රාජපක්ෂ ක්ෂණිකව නැගී සිටීමක් ද කිසිසේත්ම සිදුවන්නේ නැත. එහෙත් මේ අලුත් දේශපාලන ධ්‍රැවීකරණයන් නිසා සමාජය වර්ගවාදය තුළ ගිලී යෑම ඉක්මන් වෙමින් තිබේ. ඒ ඇවිලෙන ගින්නට පිදුරු දමන්නේ පරාජය වී නන්නත්තාරව සිටින රාජපක්ෂවාදී දේශපාලනයයි.

සමාජ කතිකාවකින් තොර ප්‍රතිසංස්කරණයන්ගේ අවලංගුතාව

මේ තත්ත්වය තුළ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම ගැටළුවකි. එවැන්නක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්ත ද සමාජය තුළ එය ස්ථාපිත කිරීම ගැටළුවකි. සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී සමාජ තීරුව නිරත්තරයෙන් ආණ්ඩුව දෙස සැක මුසු බියකින් බලමින් සිටී.  ඒ වටපිටාව තුළ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සදහා සිංහලබෞද්ධ සමාජයේ සදාචාරමය වලංගුතාව සහතික කර ගැනීම අතිශය අනතුරුදායක ක්‍රියාවකි.

ජේ.ආර්. ජයවර්ධන රෙජීමය දෙමළ සන්නද්ධ අරගලය පොඩි පට්ටම් කිරීමට උත්සාහ දැරීමෙන් පසුව ජාත්‍යන්තරව හුදකලා වී සිටි මොහොතක ඉන්දියාව මැදිහත් විය. ඒ මැදිහත් වුනේ හොදින් හෝ නරකින් හෝ ශ්‍රී ලංකා රජයට පාඩමක් උගන්වන්නට ය. එම අවස්ථාවේ රෙජීමයේ සිංහල බෞද්ධ හැඩරුව කෙසේ තිබුනත් ඉන්දියාවේ බලපෑම මත යම් දේශපාලන විසදුමකට යන්නට රෙජීමයට සිදුවිය. පළාත් සභා ක්‍රමය ගෙන එමින් රාජ්‍යයේ ආකෘතිය වෙනස් කරන්නට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනට සිදුවිය. එහිදී එවැනි සංශෝධනයකට යන්නට ඔහුගේද සූදානමක් නොවූවත් ධ්‍රැවීකරණය වූ දේශපාලන පරිසරය තුළ ඔහු ඊට තල්ලු විය.

පළාත් සභා ක්‍රමය ලංකාවේ ස්ථාපිත වූයේ එවැනි ඉන්දීය බලපෑමක ප්‍රතිඵලයක් ලෙස වන අතර එය මුළුමනින්ම ලාංකික සමාජයේ දේශපාලන සංවාදයකින් තොරව ඇති විය. එනිසා ලාංකික සමාජයට ගෙවන්නට වූ වන්දිය අති මහත් ය. ඒ වෙනකොටත් සන්නද්ධ අරගලයකට සූදානම් වී සිටි ජනතා විමුක්ති පෙරමුණට අඩියක් පෙරට තබන්නට අවස්ථාවක් හොයමින් සිටි අතර 1987 දී අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමත් පළාත් සභා ක්‍රමයත් ඊට බුලත් දීමක් විය. එනිසා විශාල විනාශයක් රටට සිදුවිය. එහෙත් පළාත් සභා ක්‍රමය ස්ථාපිත වූ අතර මේ වනවිට පළාත් සභා ක්‍රමයට වසර 30ක් ගෙවෙමින් පවතී. නමුත් ප්‍රශ්නය වන්නේ පළාත් සභා ක්‍රමයත් බලය බෙදීමේ සංස්කෘතියත් ලාංකික සමාජයට තවමත් අධ්‍යාත්මිකව නුහුරු නුපුරුදු වීමයි.

මේ මොහොත තුළ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර ස්ථාපිත කිරීම මහත් උභතෝටිකයක්ව පවතී. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ සමාජයේ ප්‍රතිසංස්කරණවාදී ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොටස සම්මුතික ආණ්ඩුවෙන් ඈත් වෙමින් සිටීමයි. අනෙක් හේතුව වන්නේ රාජපක්ෂවාදී විසකුරු දේශපාලන බලවේගයන් විසින් ගම් නගර සිසාරා යන පරිදි ජාතිවාදය ඇවිස්සීමයි. සමාජ වටිනාකමකින් යුක්ත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන්ට මිනිසුන් කැමැති වෙනවාට වඩා වැඩි වේගයකින් එම මිනිසුන්ගේ අධ්‍යාත්මය තුළ පවතින ගූඪ ආසාවන් වටා පෙළ ගැසීම තාර්කිකය. ඒ අනුව රාජපක්ෂවාදී විසකුරු බලවේගයන් විසින් අවුස්සවන අශ්ලීල හා මිලේඡ ජාතිවාදය වටා මිනිස්සු එක් රොක් වෙති.

එක්සත් ජාතික පක්ෂය දුර්වල වේ.

මේ ජාතිවාදී ධ්‍රැවීකරණයවීම් නිෂ්ක්‍රීය කර සමාජයට දේශපාලන ශක්තියක් ලබාදීමට එක්සත් ජාතික පක්ෂයට මේ මොහොතේ ශක්‍යතාවක් නොමැත. ඔවුන් නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගේ න්‍යාය පත්‍රය උපක්‍රම විරහිතව ක්‍රියාත්මක කිරීමට යෑම නිසා සමාජයේ විශ්වාසය අහිමි කර ගනිමින් පවතී. දස වසරක් පුරා මහින්ද රාජපක්ෂ රෙජීමය ද කළේ නව ලිබරල්වාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම වුවත් සමාජය අදත් අවිඥාණිකව විශ්වාස කරන්නේ ඔහු ජාතිකවාදී නායකයකු බවය. ඒ අර්ථයෙන් රනිල් වික්‍රමසිංහ පරගැතියකු බවය. මේ බොළද විග්‍රහය සමාජයේ බුද්ධිමත් ක්ෂෙත්‍රයන් තුළ පවා පවතී. ඊට හේතුව අනාදිමත් කාලයක වමේ ව්‍යාපාරයේ විශ්වාසය වූ “යූඑන්පී නම් ප්‍රතිගාමී, ශ්‍රී ලංකා නම් ප්‍රගතිශීලී” අදහසයි. නමුත් මේ වනවිට එම පක්ෂ දෙක ගැටුමකින් තොරව නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණයන්ගේ දේශීය නියෝජිත ධූරය වාරයෙන් වාරයට ඉටු කරමින් පවතී.

කෙසේ හෝ වේවා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සිංහල බෞද්ධ සමාජයට විශ්වාසවන්තව ආමන්ත්‍රණය කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් නොපවතී. එක්සත් ජාතික පාක්ෂිකයන් පවා ජාතික ප්‍රශ්නයේ දී තම පක්ෂයේ ප්‍රවේශය දෙස බලන්නේ සැක මුසු ආකල්පයකිනි. ඔවුන් එහිදී අවිඥාණිකව රස විදින්නේ ඒ සම්බන්ධයෙන් වූ මහින්ද රාජපක්ෂගේ ප්‍රවේශයයි. මේ නිසා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හා බලය බෙදීමේ ක්‍රමයක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ උත්සාහය සුජාත අයුරින් දැකීමට සිංහල බෞද්ධ සමාජය පෙළඹෙන්නේ නැත.

එය අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරීමේ දී බරපතල ගැටළු තත්ත්වයන් නිර්මාණය කරයි. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් යනු රාජ්‍යයේ ව්‍යුහය මුළුමනින්ම ආකෘතිගතව වෙනස් කරන ප්‍රයත්නයකි. එහිදී සිංහල බෞද්ධ සමාජයේ අනුමැතිය නොලැබුනහොත් ව්‍යවස්ථාව සමාජයේ අධ්‍යාත්මය තුළ ස්ථාවර වන්නේ නැත. එය තමන්ට අවශ්‍ය තමන්ගේ දේශපාලන අභිලාශයන් ඉටු වන ප්‍රතිසංස්කරණ්යක් බව සිංහල බෞද්ධ සමාජය ද විශ්වාස කළ යුතුය. නැතිනම් එම ජනකොටස ව්‍යවස්ථා කර්මාන්තයේ දී බැහැර කිරීමට ගොදුරු වේ. එය සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වලට යහපත් ලෙස බල නොපායි.

ජාතික ප්‍රශ්නයට විසදුමක් ලෙස රාජ්‍යයේ ආකෘතිය වෙනස් කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීමේ දී එය සිංහල බෞද්ධ සමාජය තුළ කතිකාවක් හරහා ස්ථාපිත කිරීමේ ශක්‍යතාව තවමත් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට ය. වාසනාවට එම පක්ෂය මේ මොහොතේ දී ව්‍යවස්ථා කර්මාන්තය දෙස බලන්නේ යහපත් දැක්මකිනි. පරණ පුරුදු ආධානග්‍රාහකත්වය අත් හරිමින් විවෘත පුළුල් දැක්මකින් යුතුව අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සදහා වූ සමාජ ප්‍රතිසංකරණ දෝතින් වැළද ගැනීමට එම පක්ෂය සූදානම්ව සිටී. එය ලාංකික සමාජය ලැබූ ජයග්‍රහණයකි.

සමාජ වගකීම පැවරෙන්නේ ජනතා විමුක්ති පෙරමුණටයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අභිප්‍රාය වනු ඇත්තේ කොක්කෙන් හෝ කෙක්කෙන් හෝ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම විය හැකිය. එලෙස යමක් බලහත්කාරයෙන් ස්ථාපිත කිරීමත් එක් දේශපාලන මොහොතක ප්‍රගතිශිලී වන්නේ ය. නමුත් එය වඩා අනතුරුදායක ද වන්නේ ය. සාමාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහගේ දේශපාලන භාවිතය අනුව තේරුම් යන්නේ වඩා අනතුරුදායක වුවත් දේශපාලන සංවාදයකින් තොරව තමුන් කැමැති දේ ස්ථාපිත කිරීමයි. මේ දේශපාලන උපක්‍රමය නව ලිබරල්වාදයේ ද ලක්ෂණයකි. එහෙත් එවැනි දේශපාලන අනතුරක් දැරීමට ලෙයින් හා කදුළින් විශාල වන්දියක් ගෙවා හති අරිමින් සිටින ශ්‍රී ලාංකාවට කොහොමටවත් නොහැකිය. එනිසා මේ මොහොතේ කළ යුත්තේ සමාජ සංවාදයකින් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කර ගැනීම සදහා මහන්සිවීමය.

ඒ සදහා දේශපාලන වගකීම ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණටයි. 2015 දී සමාජ ප්‍රතිසංස්කරණයන් සදහා පෙරට ආ බලවේගයන් මේ මොහොතේ දී ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් කළ යුත්තේ සමාජයට ඒ ප්‍රතිලාභයන් දිනා ගැනීම සදහාය. එහිදී ජනතා විමුක්ති පෙරමුණ සමග සමාජය තුළ පෙරමුණක් ඇති කර ගත යුතුය. රාජපක්ෂ විසින් නිර්මාණය කර පවත්වාගෙන යන්නා වූ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයට මුහුණදීම එවැනි පෙරමුණක මූලික ඉලක්කය විය යුතුය.

රාජපක්ෂගේ විසකුරු දේශපාලනය සිංහල බෞද්ධ සමාජයට ආමන්ත්‍රණය කරන්නේ පටු පක්ෂ දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීම සදහා වූ වර්ගවාදී දැක්මකිනි. එහෙත් මෙහිදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් උපක්‍රමශීලී විය යුත්තේ සිංහල බෞද්ධ ජනතාව අගති විරහිතව වර්ගවාදයෙන් තොරව ජාතික අරමුණු සදහා ආමන්ත්‍රණය කර ඔවුන් සමග සංවාදයක් පවත්වාගෙන යෑමටයි. සිංහල බෞද්ධ ජන කොටසකගේ ගැටළුව වන්නේ තම අනෙකා වන දෙමළා හෝ මුස්ලිම් මිනිහා නොවන බව ඔවුන්ට පැහැදිලි කළ යුතුය. ඔවුන්ගේ විමුක්තිය ද උදාවන්නේ ජාතික ප්‍රශ්නයට විසදුම් සොයන මාර්ගයක බව ඔවුන්ට තේරුම් කර දිය යුතුය. ඒ සදහා වූ සංවාදයක් ඇති කර ගත යුතුය.

මේ සමාජ සංවාදය තුළින්  සිංහල බෞද්ධ සමාජය පුළුල් දැක්මකින් ව්‍යවස්ථා කර්මාන්තයට එක් කර ගත යුතුය. ඒ සදහා ළග එන්නා වූ පළාත් පාලන මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් කරගත යුතුය. ඒ වගකීම පැවරෙන්නේ 2015 සමාජ ප්‍රතිසංස්කරණ සදහා මූලික වූ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ තීරුවටයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.