Colombo Telegraph

රනිල් වික්‍රමසිංහ: සාර්ථක උගතෙක් – අසාර්ථක නායකයෙක්

කේ.ජී.පිලිප් ශාන්ත –

කේ.ජී.පිලිප් ශාන්ත

මීට වසර අටකට පමණ පෙර 2010 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ලැබූ ජයග්‍රහණය බ්ලොග්කරුවකු වූ ටැබූ සබ්ජෙක්ට් විසින් විග්‍රහ කර තිබුණේ සෝපාසයෙන් උපරිම වූ සංසන්දනය කිරීමකිනි. ටැබූ මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය සමාන කර තිබුණේ ස්ලම්ඩෝග් මිලියනයර් චීත්‍රපටයේ කුඩා පිරිමි ළමයා මහත් උත්සාහයක් දරා තම ප්‍රියතම නළුවා වූ අමිතාබ් බච්චන්ගේ සමරු අත්සනක් ගත් අවස්ථාවටය. ඒ කුඩා ළමයා වැසිකිළියට ගොස් සිටී අවස්ථාවක ඔහුගේ ප්‍රියතම නළුවා වූ අමිතාබ් බච්චන් හෙළිකොප්ටරයකින් එම ප්‍රදේශයට පැමිණේ. එහෙත් අමිතාබ් බච්චන් දැක බලා ගැනීමට යෑමට කොළුවාට නොහැකි වන්නේ ඔහුගේ මුරණ්ඩු සහෝදරයා නිසා ඔහු වැසිකිළි අඩස්සියට පත්ව සිටී බැවිනි. එහෙත් අමිතාබ් හමුවීමේ ඉවසුම් නොදෙන ආශාවකින් යුතුව වැසිකිළියෙන් පිටවීමට බලන කොළුවාට ඇස ගැටෙන්නේ එකම එක මාර්ගයක් පමණි. 

කොළුවා තම බඩතුරෙන් එළියට ගත් අමිතාබ්ගේ පින්තූරයක් එක් අතකින් ඉහළට ඔසොවාගෙන අනෙක් අතින් නහය වසාගෙන වැසිකිළි වල තුළට පනී. පොදු විවෘත වල වැසිකිළියක් වන එහි අනෙක් පසින් කොළුවා එළියට එන්නේ මුළු ශරීරය පුරා මිනිස් අශූචී තවරා ගනිමිනි. තම අරමුණ කරා ඉදිරියටම යන කොළුවා සහෝදර කොළු රූන පසෙකට කරමින් අමිතාබ් බච්චන් හමුවට ගොස් බඩතුරෙන් ගත් පින්තූරය මත සමරු අත්සනක් ලබාගැනීමට සමත් වේ. කරවටක් වැසිකිළි වලකට පැන මුළු ශරීරය පුරාම මිනිස් අසූචී තවරා ගනිමින් වුවද තම ඉලක්කය කරා ගිය කොළුවා ජයග්‍රහණය ලබා ගනී. මේ කොළුවා ලැබූ ජයග්‍රහණයට මහින්ද රාජපක්ෂගේ විජයග්‍රහණය සමාන කිරීමෙන් ටැබූ මතු කරන උපහාසය කෙතරම් නම් රසවත් ද?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් ඔහු ජයග්‍රහණය කිරීම ද ඊටම සමාන ජයග්‍රහණයකි. ඔහු විශ්වාස භංගයෙන් ජය ගැනීම සදහා සියළු පස මිතුරන්ගේ ද සහාය ලබා ගත්තේ ය.සියළු අවස්ථාවාදීන්ගේ ද සහාය ලබා ගත්තේ ය. තමන් ලවා විවිධ ප්‍රයෝජන ගැනීමට බලාපොරුත්තුවෙන් සිටින්නන්ගේ ද සහාය ලගා ගත්තේ ය. ඒ සියල්ල කළේ පක්ෂය ප්‍රතිසංවිධානය කරන බවටත් බලතල සහිත තනතුරු දෙන බවටත් පොරොන්දු වෙමිනි.

රනිල් වික්‍රමසිංහ විෂයන් කිහිපයකම ප්‍රමාණික උගතෙකි. ඔහු එම විෂයයන් සම්බන්ධයෙන් අදහස් පළ කරන විට ඊට අලගු තබන්නට හැකි අයකු නොමැති තරම් ය. එහෙත් ඔහු දේශපාලකයකු වශයෙන් අසාර්ථක ය.  එසේ අසාර්ථක වී ඇත්තේ ජනවිඥාණයට අමතන්නට ඔහුට නොහැකි නිසා යැයි බොහෝදෙනෙක් කියති. එහෙත් ඇත්ත ප්‍රශ්නය වන්නේ ජනවිඥාණය තේරුම් ගැනීමට ඔහුට නොහැකිවීමය. 

සිංහල සමාජයේ ජනවිඥාණය මනා ලෙස තේරුම් ගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය ය. එනිසා ග්‍රාමීය හා නාගරික මැද පන්තියේ, ග්‍රාමීය නිර්ධන පන්තියේ, නාගරික ලුම්පන් සමාජ කොටස් වල අවිඥාණිකව ආශාව වූයේ මහින්ද රාජපක්ෂය.  ඔහු ජනතාව සිතන ස්වරූපය වෙනස් කරමින් එම චින්තනය ඊට වඩා විදග්ධ, ශික්ෂිත හා ප්‍රබුද්ධ තලයකට ඔසෙවා තබන්නට ඔහු උත්සාහ නොකළේ ය. ඔහු මහන්සි වූයේ ජනවිඥාණය එලෙසම පවත්වා ගෙන යමින් ඊට පැවැත්ම සදහා අවශ්‍ය පොහොර සපයමින් තමන්ගේ බලය රැක ගැනීමට ය. 

එහෙත් රනිල් වික්‍රමසිංහ එවැනි තුප්පහි වැඩ නොකිරීම ප්‍රශස්ත ය. ඔහු ජන සමාජය ව්‍යසනයට පත් කරමින් තමන්ගේ බලය රැක ගැනීමට මහන්සි නොගත්තේ ය. නමුත් ඔහු ජනසමාජය කෝපයට පත් කළේ ය. වියරුවට පත් කළේ ය. එසේ කරමින් තමාම හාස්‍යයට පත්විය. තමාම අපහාසයට පත්විය.

හම්බන්තොට වරාය තවදුරටත් ශ්‍රී ලංකාවට නඩත්තු කළ නොහැක. එය විකුණා දැමීම හෝ උපක්‍රමික අරමුණෙන් බද්දට දීම හෝ අනිවාර්යෙන් කළ යුත්තකි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම වරාය මහජන චීනයටම පවරා දුන්නේ ය. පවරා දුන්නා පමණක් නොව ඊට හිලව් වශයෙන් ලැබුණ මුදල සංකේතාත්මක චෙක් පතකින් ලබා ගනිමින් රටම කෝපයට පත් කළේ ය.  ක්‍රිකට් තරගයක දී ජයග්‍රාහකයාට හෝ හොදම ක්‍රීඩකයාට හෝ ලැබෙන මුදල් ත්‍යාගය ලබා ගන්නා අයුරින් ඔහු එම ප්‍රදර්ශනාත්මක චෙක් පත ලබා ගත්තේ උජාරුවෙනි. 

හම්බන්තොට වරාය අසාර්ථක බව ඇත්තකි. එය නඩත්තු කරන්නට නොහැකි බව ද ඇත්තකි. එය කාට හෝ බදු දිය යුතු බවද ඇත්තකි. එහෙත් ජාතිකවාදී අවකාශයක රටේ දේපළ සම්පත් විකිණීම මහජන භාව කෝපයට පත් කරන්නකි. ගාළු මුවදොර පැරණි යුද හමුදා මූලස්ථාන භූමිය හෝ කොළඹ වරාය නගර භූමිය හෝ රාජපක්ෂ විසින් විදේශිකයන්ට ලබාදුන්නේ. හොර රහසෙනි. එහෙත් ඒවා විකුණන විට හෝ බදු දෙන විට හෝ විශාල ඝෝෂාවක් කරමින් උජාරුවෙන් කටයුතු කළේ නැත. ඒ තබා 2005 දී බලයට පැමිණ සුළු කලෙකින් ඇමෙරිකන් එක්සත් ජනපදය සමග ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් අත්සන කරන විට එය කිසිවකු දැන සිටියේ නැත. මහින්ද රාජපක්ෂ ජනවිඥාණයට අනුව හැසුරුණු අතර රනිල් වික්‍රමසිංහ ජනවිඥාණය තේරුම් නොගනිමින් හැසුරුණි. 

එක්සත් ජාතික පක්ෂයේ නායක එකල විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම එච්.එස්.බී.සී බැංකුව ද තදින් විවේචනය කරන ලදි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුගමනය කරන ආර්ථික වැඩපිළිවෙල තදින් විවේචනය කළ රනිල් වික්‍රමසිංහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකින් රට සංවර්ධනය කිරීම සදහා නායකත්වය ලබාදෙන්නට සැලසුම් සකස් කළේ ය.

මේ නිසා ඔහු විපක්ෂයේ සිටිය දී බොහෝ විචාරකයන් කීවේ එක්සත් ජාතික පක්ෂයට සිටින එකම නූතනවාදී නායකයා රනිල් වික්‍රමසිංහ බවයි. එබැවින් ඔහුව නායකත්වයෙන් පළවා නොහැර රැක ගත යුතු බව ද බොහෝදෙනෙකුගේ අදහස විය.සම්ප්‍රදායී අර්ථයෙන් සමාජය සංවිධානය කර රාජ්‍ය බලය ලබා ගත යුතුය යන්න රනිල් වික්‍රමසිංහ විශ්වාස නොකළේ ය. එනිසා පක්ෂ සංවිධානය කිරීමත් බලමුළු ශක්තිමත් කිරීමත් ඔහුගේ න්‍යාය පත්‍රය තුළ අඩංගු නොවීය. ඔහු නිතරම උත්සාහ කළේ නූල් සූත්තර මගින් බලය ලබා ගැනීමට ය.

රනිල් වික්‍රමසිංහගේ දේශපාලන උපක්‍රමයන් ගැන අධ්‍යයනය කරන්නෙකුට ඔහුගේ දෙවැනි අගමැති ධූර කාලය හොදටම ප්‍රමාණවත් ය. එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග අමාත්‍යංශයන් තුනක් පවරා ගෙන ආණ්ඩුව බිද වැට්ටවීමට කටයුතු කරද්දී ද රනිල් වික්‍රමසිංහ ඈ සමග ගැටුමකට නොගියේ ය. අය වැය කාරක සභා අවස්ථාවේ දී පවරා ගත් අමාත්‍යංශ තුනෙහි අය වැය ද සම්මත කර දුන්නේ ය. දේශපාලන පරස්පරතා නිසා ක්‍රමය අර්බූදයට යවන්නට රනිල් වික්‍රමසිංහ කිසිදා කටයුතු කර නොමැත. නමුත් ඔහු නිතරම උත්සාහ ගත්තේ ක්‍රමය ආරක්ෂා කරමින් ප්‍රතිවාදියා අඩපණ වූ කළ බලය ලබා ගැනීමට ය.එනිසා ශූක්ෂම ලෙස නිරීක්ෂණය කරමින් ප්‍රතිවාදියා අර්බූදයට යවමින් නූල් සූත්තර ඇදීමට රනිල් වික්‍රමසිංහ රුසියෙකි. එහෙත් ලාංකික දේශපාලන සංස්කෘතිය තුළ එවැනි උපක්‍රමයන්ට වටිනාකමක් නොමැති නිසා ඔහු පක්ෂය තුළ ශක්තිමත් නායකයකු නොවීය.

මහින්ද රාජපක්ෂ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදය දෘෂ්ඨිමය බලය කර ගනිමින් එය නියෝජනය කරන පහළ මධ්‍යම පන්තිය/ සුළු ධනේශ්වර සමාජ තීරුව/ලුම්පන් සංක්‍රාන්තික සමාජ තීරුවට විනෝදය ලබාදෙද්දී රනිල් වික්‍රමසිංහ නියෝජනය කළේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් ය. එනිසා ඔහුට ශක්තිය දුන්නේ කොළඹ හා අග නාගරික කේන්ද්‍රීය ප්‍රභූන් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජ කොටස් ය. ග්‍රාමීය පහළ මධ්‍යම පන්තියේ/ සුළු ධනේශ්වර සමාජ තීරුවේ/ ලුම්පන් සංක්‍රාන්ති සමාජ තීරුවේ අවිඥාණික ආශාව වූයේ මහින්ද රාජපක්ෂ ය. ඔවුන්ට රනිල් වික්‍රමසිංහ චරිතය රට පාවාදෙන දොන් ජුවන් ධර්මපාල කෙනෙකු විය. ඒ තත්ත්වය තුළ සිංහලබෞද්ධ ස්වෝත්තමවාදයට එරෙහිව දකුණේ දේශපාලනය කිරීම බරපතල ගැටළුවක් විය.

රනිල් වික්‍රමසිංහගේ දේශපාලනයේ ආවේනිකයන් නිසා අතෘප්තියට පත් වූ ජන කොටස් ඔහුගෙන් ක්‍රමයෙන් ඉවත් විය. එනිසා පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය තම ඡන්ද ප්‍රතිශතය අඩු කර ගත්තේ ය. බොහෝදෙනෙකු කීවේ විධායක ජනාධිපති ක්‍රමය තුළ විපක්ෂයේ කාරයභාරය හැකිලෙන බැවින් රනිල් දුර්වලයකු වූ බව ය. එහෙත් 2015 ජනාධිපතිවරණයෙන් පසුව ඔහුට ශක්තිමත් වන්නට බොහෝ ඉඩ තිබුණි. එහෙත් ඔහු ජනප්‍රසාදය දිනා ගන්නට අපොහොසත් නායකයකු විය. 

බොහෝදෙනෙකු රනිල් වික්‍රමසිංහව විවේචනය කරන්නේ ඔහුගේ ප්‍රාතමික ලක්ෂණ පෙන්නුම් කරමිනි. ඔහු කැරිස්මාවක් නොවීම, පෞර්ෂවත් සිංහලබෞද්ධ පෙනුමක් නොවීම,  ප්‍රබල කථිකයකු නොවීම ආදී කරුණු ඒ අතර වේ. එහෙත් රනිල් වික්‍රමසිංහට අනන්‍යතාවක් ගොඩ නගා ගන්නට තිබුණේ වෙනත් සාධක මත ය. ඔහු ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රගතිශීලී දැක්මක විය. ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ප්‍රගතිශීලී දැක්මක විය. ජාත්‍යන්තර තලයේ පිළෛගත් නායකයකු විය. මේ නිසා සිංහල නොවන ජන කොටස් අතර ද ප්‍රජාතන්ත්‍රවාදී ජන කොටස් අතර ද ඔහු ජනප්‍රිය චරිතයක් විය. මේ සියළු ලක්ෂණ රනිල් වික්‍රමසිංහට ධනාත්මකව බලපාද්දී ඔහු තම පාලන කාලය තුළ ජනතාවගෙන් ඈත් විය.

ඊට ප්‍රධාන හේතුව වූයේ නව ලිබරල්වාදයේ දේශීය නියෝජිතයා වෙමින් කන්සර්වේටිව්වාදී ලෙස සමාජය සමග ගනුදෙනු කරන්නට යෑමයි. මහින්ද රාජපක්ෂ ද නව ලිබරල්වාදයේ දේශීය නියෝජිතයෙකි. එහෙත් ඔහු උපාය උපක්‍රමශීලී වෙමින් නව ලිබරල්වාදයේ ආර්ථික කම්පන සමාජය කරා යෑම ප්‍රමාද කළේ ය. ඔහු ඒ සදහා සමාජයට ආර්ථිකමය ලෙස අල්ලස් දුන්නේ ය. එහෙත් ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගේ  තියුණු මර්දනයට ගොදුරු වී ආන්තීකරණයට ලක්වූ ජන කොටස් සමග රනිල් වික්‍රමසිංහ ගනුදෙනු කළේ ඔවුන්ව මිනිස් දූවිලි ලෙස සැලකිල්ලට ගනිමිනි. එනිසා ආන්තීකරණය වූ ජන කොටස් ඔහු හා වෛර බැද ගත්හ.

මහින්ද රාජපක්ෂ තම දේශපාලන ව්‍යපෘතිය ජයග්‍රහණය කරවා ගැනීම සදහා සමාජයට අල්ලස්දීම ආර්ථිකමය ලෙස රට අගාධයට හෙලීමකි. එහෙත් ආන්තීකරණයට ලක්වන ජන කොටස තේරුම් ගන්නේ තමන්ගේ එදිනෙදා ජීවිතය ගැන මිස රටේ අනාගතය ගැන නොවේ. එනිසා රාජ්‍ය අංශය ලක්ෂ පහලොව දක්වා පුළුල් කිරීම, පොහොර සහනාධාරය ලබාදීම, විශ්‍රාම වැටුප් සදහා ලොකු වියදමක් දැරීම මෙන්ම හැකි සෑම අවස්ථාවකම බදු සහන හා සහනාධාර දීම මහින්ද රාජපක්ෂ්ගේ උපක්‍රමය විය. රනිල් වික්‍රමසිංහ එවැනි ගාධයකට රට තල්ලු කළ යුතු නැති බව ඔහුව බලයට පත් කළ ජන කොටසේ අභිලාශය බව සැකයක් නැත. එහෙත් ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගෙන් ආන්තීකරණයට ලක්වන ජන කොටසට රජයේ ශක්තිය හිමිවිය යුතු බව ඔවුන්ගේ ද පිළිගැනීම වුවත් රනිල් වික්‍රමසිංහගේ දර්ශනය තුළ ඊට ඉඩක් නොවීය. 

අවසානයේ දී පොහොර සහනාධාරය අහිමි වූවන්, ගම්මිරිස්, තේ, රබර්, බුලත් වැනි කෘෂි නිෂ්පාදනයන්ට සාධාරණ මිලක් නොලැබූවන්, විශ්‍රාම වැටුප් අහිමිවූවන්, බදු සහන අහිමි වූවන් ආදී වශයෙන් අතර මැදි පන්තියේත් පීඩිත පන්තියේත් ජන කොටස් රනිල් වික්‍රමසිංහ සමග දේශපාලන සම්මුතිය අත් හලහ. එමගින් පෙන්නුම් කළේ රනිල් වික්‍රමසිංහ ආර්ථික අවකාශයේ හැල හැප්පීම් කළමනාකරණයට සුදුසු අයකු නොවන බව ඒ ඒ ජන කොටස් තේරුම් ගැනීමයි.

මෙවැනි පරිහානියක් ඉන්දීයාවේ භාරතීය ජනතා පක්ෂයට ද වරක් සිදු විය. “දිදුලන ඉන්දියාව” නම් තේමාව යටතේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ  භාරතීය ජනතා පක්ෂය ඉන්දීය පහළ ජන කොටස් අතරින් අතු ගෑවී ගියේ ය. ඊට මුහුණ දුන්නේ ඉන්දියාවේ විශිෂ්ට නායකයකු වන අතල් බිහාරි වජ්පායි ය. ඉන්දීය සමාජයේ ග්‍රාමීය ගොවි කම්කරු ජනතාව ඔහුගේ පාලන කාලය තුළ විශාල පීඩාවකට මුහුණ දුන් අතර මහා මැතිවරණයේ දී ඊට වන්දි ගෙවන්නට භාරතීය ජනතා පක්ෂයට සිදු විය. නැවත බලයට ආ ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයට ද තත්ත්වය සමනය කරන්නට නොහැකි විය. දැන් නැවත ඉන්දියාවේ බලයට පත් වී ඇත්තේ භාරතීය ජනතා පක්ෂයයි. ඉන්දීය වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිකවාදී කතිකාව තුළින් ආන්තීකරණයට ආර්ථික විසදුම් දෙමින් නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණයන් කරමින් සිටී.

රනිල් වික්‍රමසිංහ 2015 දී බලයට ආවේ විශාල දේශපාලන ප්‍රතිසංස්කරණ පැකේජ් එකක් හදුන්වා දෙමිනි. එහෙත් ඔහු එම දේශපාලන ප්‍රතිසංස්කරණයන් පසෙක තබා ආර්ථික ප්‍රතිසංස්කරණයන් න්‍යය පත්‍රයේ අංක එකට තෝරා ගත්තේ ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් කළ අපරාධයන්ට දඩුවම් නොකර එහි කොහිල කටු ඇන ගනිමින්ම ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා කිඹුලාට කියා කව්වා ගන්නට මිනිසුන් කැමැති නැත. එහෙත් රනිල් වික්‍රමසිංහ කළේ ඒ දෙස හැගීමකින් තොරව බලා සිටීම පමණි.

සමාජයේ පරිකල්පනය වෙනස් කරමින් සමාජ චින්තනය පවතින තත්ත්වයට වඩා විදග්ධ, ශික්ෂිත, ප්‍රබුද්ධ හා ප්‍රජාතාන්ත්‍රික තලයකට ඔසොවා තබන්නට මහින්ද රාජපක්ෂ කිසිම උත්සාහයක් නොදැරුවත් රනිල් වික්‍රමසිංහ උත්සාහ ගත්තේ එවැනි ක්‍රියාවකට ය. එනිසා රනිල් වික්‍රමසිංහ යනු ග්‍රාමීය/නිර්ධන/ලුම්පන් සංක්‍රාන්ති සමාජ තීරුවල චින්තන භාෂා සංස්කෘතික විඥාණය හා භාවිතාව වෙනස් කිරීමට අවශ්‍ය බවට හැගවුම්කරණය කළ නායකයකු ලෙස සටහන් වී තිබුණි. එසේම ලිබරල් මැද පාන්තික චින්තනයේ දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධ උනන්දුව තාමත් ග්‍රාමීය ජන කොටස් අතරට ගලා ගොස් නොමැත. එහි ප්‍රතිඵලයක් වශයෙන් රනිල් වික්‍රමසිංහ පරාජය වූ අතර එය ලාංකික ධනවාදය මුහුණ් දුන් සුවිශේෂී පරාජයක් ලෙස ද හැදින් විය හැකිය. 

වැලිමඩ ගොවිබිමේ තාවකාලික විකාශන මධ්‍යස්ථානයක එළවළු ගොවීහු සිටිති. ගොවීන්ගේ මැසිවිළි රැසකි. නිෂ්පාදන වියදම ඉහළ ය. පොහොර නැත. අරක නැත. මේක නැත. එළවළු මිල දී ගන්නේ සොච්චම් මිලකට ය. ඔවුහු නොසන්සුන් ය. විරියෙන් කෑගසමින් රූපවාහිනී කැමරාව හමුවේ සජීවීව  ඉල්ලා සිටින්නේ සහනාධාර ය.

එවකට වෙළෙද ඇමති  කිංස්ලි ටී වික්‍රමරත්න කොළඹ රූපවාහිනී මැදිරියේ සිටී. ඔහු සන්සුන්ව පැහැදිලි කරන්නේ ලංකාවේ එළවළු වගාවේ පාඩුවයි. නිෂ්පාදන වියදම ඉහළ ය. ඒවාට සහනාධාර දීම දැරිය නොහැක. පාරිභෝගිකයන් එළවළු මිල දී ගන්නේ ඉහළ මිල ගණන් වලට ය.  ඔහු කියන්නේ එළවළු ආනයනය ලාභදායි බව ය. 

1994 දී බලයට පත්වූ පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ සිටි එකම විද්‍යාත්මක ධනවාදී චින්තකයා වූයේ කිංස්ලි ටී වික්‍රමරත්න විය හැකිය. ඔහු ධනේශ්වර ආණ්ඩු ව්‍යුහයක ආදායම් බෙදීයෑමේ විෂමතාව ගැන කතා කළ දේශපාලකයෙකි. ධනේෂ්වර දියුණුවේ ප්‍රතිලාභය සමාජය පුරා බෙදී යා යුතු බව ඔහු කීය. ඔහු වෙළෙද ඇමතිවරයා වශයෙන් මෙරටට එළව්ළු ආනයනය කළේ ය. ඔහුගේ තර්කය වූයේ නිෂ්පාදන වියදම වැඩි බෝග ඵලදාම ආනයනය කළ යුතු බව ය. නිෂ්පාදන වියදම අඩු බෝග මෙරට වගා කළ යුතු බවය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික වූ ද එම පක්ෂයේ කඩුවෙල ආසන සංවිධායකයා වූ ද පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ වෙළෙද ඇමතිවරයා වූ ද කිංස්ලි ටී වික්‍රමරත්න  2000 වසරේ මහ මැතිවරණයෙන් පරාජය විය. අනතුරුව ඔහු රූපවාහිනී වැඩ සටහනක් කරමින් දේශපාලනය, ආර්ථිකය වැනි කාරණා සම්බන්ධව ඔහුගේ පෘථුල දැනුම ලෝකයාටම පෙන්නුම් කළේ ය. දේශපාලකයකු වශයෙන් අසාර්ථක වූ ඔහු මතදාරියකු, සම්පත්දායකයකු වශයෙන් අතිශයෙන් සාර්ථක විය. එවකට ඔහුගේ ප්‍රතිවාදියා වූ කඩුවෙල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු කීවේ “කිංස්ලි දැන් නම් නියම ට්‍රැක් එකට ඇවිල්ල” කියා ය.

දේශපාලන, ආර්ථික ආදී විෂයන්ගෙන් ප්‍රමාණික දැනුමක් තිබූ කිංස්ලි ටී වික්‍රමරත්න දේශපාලකයකු වශයෙන් අසාර්ථක වුනත් විද්වතෙකු ලෙස සාර්ථක විය. එක් පාර්ශ්වයකින් අසාර්ථක වන දේශපාලකයන් තවත් පාර්ශ්වයකින් සාර්ථක විය හැකිය. එය වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ද අදාළ විය හැකිය.

ධනපති නායකයකුට නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටීම අත් හල නොහැක. එහෙත් එම නායකයාට උපායශීලී වෙන්නට කිසිම බාධාවක් නොමැත. සමාජයේ ආන්තික ජන කොටස් වල ජීවත්වීමේ අයිතිය පිළි ගනිමින් ඔවුන්ට ආර්ථික ශක්තියක් රජය මගින් හදුන්වාදීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. එසේ නොවන්නට රනිල් වික්‍රමසිංහ කෙතරම් දර්ශනයක් සහිත නායකයකු වුවද අසමත්ව ගෙදර යන්නටවීම කිසිවකුට නතර කළ නොහැක.

Back to Home page