6 April, 2020

Blog

කුල පීඩිතයකුගේ උත්ප්‍රාසජනක මොහොත

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

ඊයේ පෙරේදා දවසක එක්සත් ජනතා නිදහස් සංධානයේ මහා මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් කරන්දෙණියේ පැවති අතර එහි ප්‍රධාන කථිකයා වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයි. එහිදී රැස්වීම ඇමතූ කරන්දෙණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් අපූරු ප්‍රකාශයක් කර තිබුණි. එම ප්‍රකාශය ජනාධිපතිවරණයෙන් පසුව මැදමුලනට පසුබැස ගිය මහින්ද රාජපක්ෂ විසින් මැදමුලනේ දී මුලින්ම ප්‍රකාශ කළ තිබුණි.

“මහින්ද මහත්තය ජනාධිපතිවරණෙ දි පැරදුනේ දකුණෙන් නෙවෙයි. එයා පැරදුනේ උතුරෙන් සහ නැගෙනහිරින්. සිංහල බෞද්ධ මිනිස්සු කවදත් ඡන්දෙ දුන්නෙ මහින්ද මහත්තයට”

මේ ප්‍රකාශය තවත් සිංහලබෞද්ධ කුලවතෙකු විසින් පුනරුච්ඡාරණය කළා නම් එහි අපූර්වත්වයක් ගම්‍ය වීමට ඉඩක් නොලැබෙන්නට තිබුණි. එහෙත් ගාල්ල දිස්ත්‍රික්කයේ පීඩිත කුලයක් වන වහම්පුර කුලයේ නියෝජිතයකු වන ගුණරත්න වීරකෝන් එවැන්නක් ප්‍රකාශ කිරීම ඇත්තටම අපූර්ව ය. එසේම පිළිකුලෙන් බැහැර කළ යුතු වර්ගවාදී ප්‍රකාශයකි.

වහම්පුර කුලය පාදක කර ගනිමින් 1976 දී පමණ ඇති කළ කරන්දෙනිය මැතිවරණ කොට්ඨාශය සාපේක්ෂව සීමිත ඡන්ද ප්‍රමාණයකින් සමන්විත වූවකි. ඒ නිසා කරන්දෙනියෙන් මැතිවරණයට ඉදිරිපත්වන කුමන පක්ෂයක වුවද නියෝජිතයන්ට සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ තේරී පත්වීමට අපහසු වූයේ කුල භේදය මත සෙසු කුලයන්ගේ ඡන්ද නොලැබෙන බැවිනි. ඒ නිසා 1988 දකුණු පළාත් සභා මැතිවරණයෙන් ද 1989 මහා මැතිවරණයෙන් ද 1993 පළාත් සභා මැතිවරණයෙන් ද කිසිම පක්ෂයකින් කරන්දෙනිය මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරන මහජන නියෝජිතයෙක් තේරී පත් නොවුණි. ඊට හේතුව වූයේ කුල ඡන්ද වලින් පමණක් මහජන නියෝජිතයකු ලෙස තේරීමට ප්‍රමාණවත් නොවීමයි. එය වඩා උග්‍ර වූයේ පාර්ලිමේන්තු මැතිවරණයක දී ය.

mr_national_clothe1991 දී කරන්දෙනිය ප්‍රාදේශීය සභාවට තේරී පත්වන විට ගුණරත්න වීරකෝන් ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේ දේශපාලන විද්‍යා ආචාර්යවරයා ය. 1993 දී ආ දකුණු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වුවද ඔහුට තේරී පත්වීමට ඉඩක් නොලැබුනේ ගාල්ල දිස්ත්‍රික්කයේ කුලවත් ඡන්ද ඔහුට නොලැබුන නිසා ය. එහෙත් කුල සීමා ඉක්මවන පුළුල් දේශපාලන අර්ථයකින් තරග කළ ගුණරත්න වීරකෝන් 1994 දී මුල් වරට දකුණු පළාත් සභාවට තේරී පත්වූ අතර පළාත් අමාත්‍ය ධූරයක් ද ලැබුණි.

කරන්දෙනිය ආසනයට සමීපතම ආසනය වූ බෙන්තර ඇල්පිටියේ ශ්‍රීලනිප සංවිධායක ප්‍රදේශයේ ජනතා අභිලාශයන් ඉටු කිරීමට අසමත්ව ඒ වනවිට ජනතාවගෙන් ඈත්වෙමින් සිටීම ගුණරත්න වීරකෝන්ට විශාල ආශ්වාදයක් වුණි. එසේම ඔහු ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයකු වී සිටීම ද වාසියක් වුණි. ඒ නිසා කුලභේද අමතක කරමින් ගුණරත්න වීරකෝන්ට මනාපයක් ලබාදීමට බෙන්තර ඇල්පිටියේ පොදු ජන එක්සත් පෙරමුණට චන්දය දෙන ජනතාව පෙළබුණි. එහෙත් ඔහුගේ කුල නාමය සදහන් කරමින් ඔහුට එරෙහි යම් කිසි විරෝධයක් බෙන්තර ඇල්පිටියේ නොතිබුණා නොවේ.

කුලවාදය අමතක කරමින් පුළුල් දේශපාලන දැක්මකින් කටයුතු කළ ගුණරත්න වීරකෝන් බෙන්තර ඇල්පිටිය ප්‍රධාන අනෙකුත් මැතිවරණ කොට්ඨාශයන්ගේ කුලවත් ඡන්ද ලබා ගැනීමට සමත් වුවද පසුව ඒ සම්මුතිය තමා විසින්ම ක්‍රමයෙන් පළුදු කර ගනිමින් තිබුණි. ක්‍රමානුකූලව ඔහු කුලවාදය වැළද ගැනීම තම කුලයේම ජනතාවගේ අවශ්‍යතාවක් ඉෂ්ඨ කිරීමක් යැයි යමෙකුට පැවසිය හැකිය. 1994 දී පළාත් සභාවට තේරී පත්වී අමාත්‍යවරයකු ද වූ පසුව ඔහු කටයුතු කළ අන්දම කරන්දෙණියේ පීඩිත කුල ජනතාව සිතුවේ තමන් නොතකමින් ඉහළ කුලයන් හා සම්මුති ගත වීමට ගුණරත්න වීරකෝන් දක්වන කැමැත්තක් ලෙසිනි. ඒ අනුව තම දේශපාලන නියෝජනයේ බහුතර ජන පදනම වන වහම්පුර කුලයේ ජනතාවගෙන් ඔහුට එල්ල වූ පීඩනය ඉක්මවා කටයුතු කිරීමට ගුණරත්න වීරකෝන් අසමත් වුණි. එහි ප්‍රතිපලයක් නිසාදෝ ඊ ළග මැතිවරණය වනවිට බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශයෙන් ගුණරත්න වීරකෝන්ට ලැබුණ ගොවිගම කුලයේ මනාප ප්‍රමාණය අඩු වුණි.

කුමන සීමිතකම් යටතේ දේශපාලනය කළ ද කුල අසාධාරණයන් නිසා පීඩාවට පත්ව තිබූ කරන්දෙණිය මැතිවරණ කොට්ඨාශය අද තිබෙන තත්ත්වයට ඔසොවා තැබුවේ ගුණරත්න වීරකෝන් බව ඔහුට ගෞරවයක් වශයෙන් සදහන් කළ යුතුය. 1994 වන විට කරන්දෙනිය මැතිවරණ කොට්ඨාශය පැවතුනේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිළිකන්න ලෙසිනි. ඔහු ඒ සදහා ප්‍රජාතන්ත්‍ර විරෝධී හා නීත්‍යානුකූල නොවන ලෙස කටයුතු කළ ද විශාල ප්‍රාග්ධනයක් කරන්දෙනියට මුදාහැර භෞතික සංවර්ධනක් සදහා මහන්සි වූයේ ඔහුයි. ඒ නිසා වහම්පුර කුලයේ තම ජනතාවට අභිමානයකින් යුතුව ජීවත්වීමට ගුණරත්න වීරකෝන් නිසා හැකිවුණි.

නමුත් කරන්දෙනියෙන් ජනතා නියෝජිතයකු ලෙස තේරී පත්වීමට නම් වහම්පුර කුල සීමා ඉක්මවමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව නොරහසකි. එය වඩා ගැඹුරින් තේරුම් ගෙන තිබුනේ ගුණරත්න වීරකෝන් බව කිව යුතුය. බෙන්තර ඇල්පිටියේ ගොවිගම ඡන්ද ඔහුට අඩුවෙන විට ඊට සමාන්තරව රත්ගම, අම්බලන්ගොඩ හා බලපිටිය යන මැතිවරණ කොට්ඨාශයන්ගේ ඡන්ද ලබාගැනීමට ඔහු සමත් වුණි. රත්ගම, අම්බලන්ගොඩ හා බලපිටිය මැතිවරණ කොට්ඨාශයන්හි ප්‍රධාන වශයෙන් ජීවත් වන්නේ කරාව, දුරාව හා සලාගම කුලයන්ට අයත් ජනතාවයි. එම ජනතාවගේ මනාපය දිනා ගනිමින් ගුණරත්න වීරකෝන් ඔප්පු කළේ මැතිවරණ දේශපාලනයේ දී කුල සාධකය කළමනාකරණය කිරීමට තමන්ට ඇති දක්ෂතාවයි. ඒ නිසා 1999 දකුණු පළාත් සභා මැතිවරණයෙන් නැවතත් ජයග්‍රහණය කළ අතර 2004 හා 2010 මහා මැතිවරණයන්ගෙන් ද ජය ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් මහජන නියෝජිතකු ලෙස තේරී පත්වීමට කුල සාධකය නිසා අසීමිත පීඩාවකට පත්ව සිටින ගුණරත්න වීරකෝන් සිංහලබෞද්ධ සීමාන්තිකවාදියකු වීම උත්ප්‍රාසජනක බව අමුතුවෙන් කිව යුතු නොවේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ උතුරු හා නැගෙනහිර සිංහලබෞද්ධ නොවන ඡන්ද නොලැබීම නිසා යැයි ප්‍රකාශ කිරීම කරුණක් වශයෙන් අසත්‍ය වෙයි. 2010 ජනාධිපතිවරණයේ දී ද උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වලින් ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්ෂ නොවේ. එසේම 2010 ජනාධිපතිවරණය හා සැසදූ විට 2015 ජනාධිපතිවරණයේ දී යාපනය හා වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයන්ගෙන් මහින්ද රාජපක්ෂ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව වැඩිවී තිබේ.

 

ELමහින්ද රාජපක්ෂ උතුරු පළාතෙන් 2010 ජනාධිපතිවරණයට වඩා 2015 ජනාධිපතිවරණයේ දී වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත්ත ද ලබා ගත් ඡන්ද ප්‍රතිශතය අඩු වී තිබේ. ඒ ඒ අවස්ථා දෙකේ දී තම ප්‍රතිවාදියා ඡන්ද ප්‍රමාණය වැඩි කර ගන්නා සීඝ්‍රතාවට සමාන හෝ ඊට වඩා වැඩියෙන් හෝ තම ඡන්ද ප්‍රමාණය වැඩිවීමේ සීඝ්‍රතාව පවත්වා ගැනීමට අපහසුවීම මහින්ද රාජපක්ෂ උතුරු නැගෙනහිරින් පරාජය වීමට හේතුවයි. සිංහලබෞද්ධ නොවන ඡන්ද වලින් පමණක් නොව සිංහලබෞද්ධ ඡන්ද සලකා බැලූවිට ද එම ලක්ෂණය ඉස්මතුව පෙනේ. ඒ සදහා ත්‍රිකුණාමළය දිස්ත්‍රික්කයේ සේරුවිල මැතිවරණ බල ප්‍රදේශයේ හා දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අම්පාර මැතිවරණ බල ප්‍රදේශයේ දී මහින්ද රාජපක්ෂ ලැබූ ඡන්ද ප්‍රමාණයන් සලකා බැලීම යෝග්‍ය වේ. මේ මැතිවරණ බල ප්‍රදේශයන් දෙකෙහිම බහුතරය වන්නේ සිංහලබෞද්ධ ජනතාවයි.

මැතිවරණ බල ප්‍රදේශය 2010 දී ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2015 දී ලබාගත් ඡන්ද සංඛ්‍යාව

PSයුද්දය අවසන් කර රට සාමකාමී කළේ මහින්ද රාජපක්ෂ යැයි පුරසාරම් දෙඩූවද යුද ගම්මානයන්හි සිංහලබෞද්ධ ජනතාවගේ කැමැත්ත පවා මහින්ද රාජපක්ෂගෙන් ක්‍රමයෙන් ගිලිහී ගොස් තිබේ. සේරුවිල හා අම්පාර මැතිවරණ බල ප්‍රදේශයන්හි ඡන්ද ප්‍රථිපලයන්ගෙන් පවසන්නේ එයයි. ඒ තත්ත්වය මුළු දිවයිනටම අදාළ වූවක් බව පහත සංඛ්‍යා වගුවෙන් තහවුරු වේ.

 

Statමේ අනුව පැහැදිලි වන්නේ මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ සිංහලබෞද්ධ නොවන ඡන්ද ඔහුට නොලැබුණ නිසා නොව සිංහලබෞද්ධ ඡන්ද ප්‍රමාණවත් පරිදි නොලැබුන නිසා බවය. ඒ අනුව ගුණරත්න වීරකෝන් පුනරුච්ඡාරණය කරන පරිදි සිංහලබෞද්ධ නොවන ඡන්ද නොලැබුන නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පැරදුන බව කීමත් සිංහලබෞද්ධ ඡන්ද හැමදාමත් ඔහුට ලැබුණ බව කීමත් කරුණුමය වශයෙන් අසත්‍යය වේ.

අනෙක මෙවැනි අසත්‍ය කරුණක් පවසා හෝ තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට තැත් කිරීම කුල පීඩිතයකු වන ගුණරත්න වීරකෝන්ට තරම් නොවන ක්‍රියාවකි. සමාජය භේද කිරීමට තමන්ට අවශ්‍ය තැනින් නතර නොවන බව ඔහුට නොතේරීම ඛේදයකි. මේ අවස්ථාවේ දී සිංහලබෞද්ධ සමාජ තීරුව උසි ගන්වමින් වර්ගවාදය මත ඡන්ද ගොඩ පුළුල් කිරීමට තැත් කළ ද සිංහලබෞද්ධ සමාජ බෙදීම සිංහලබෞද්ධ ගොවිගම දක්වා පුළුල් වූ අවස්ථා දේශපාලනය තුළ එමටය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ද එමගින් අග්‍රාමාත්‍ය ධූරය ද හිමිවීමට තිබූ සී.පී. ද සිල්වා අවසානයේ පක්ෂය අත්හැර එක්සත් ජාතික පක්ෂයට බැදුනේ ශ්‍රී ලනිපයේ තිබූ කුලවාදය නිසාය. සී.පී. ද සිල්වා සිංහලබෞද්ධයකු වුවද කුලයෙන් ගොවිගම නොවීම ඔහුට අසාධාරණය සිදුවීමට බලපෑවේය. එසේම 1977 මැතිවරණයේ දී හාරිස්පත්තුව ආසනයට ස්වාධීනව තරග කර ජය ගත් ආර්.පී. විජේසිරි සිංහලබෞද්ධයෙකි. ශ්‍රීලනිපය අසරණව සිටි මොහොතක පවා එම පක්ෂයට බැදුනු ඔහුව ඉන් එළවා දැමුවේ ආර්.පී. විජේසිරි කුලයෙන් ගොවිගම නොවූ නිසාය. අනුර බණ්ඩාරනායක පාර්ලිමේන්තුවේ දී විජේසිරිගේ කුලනාමය සදහන් කරමින් බැන වැදීමේ ප්‍රථිපලය වූයේ ඔහු එජාපයට සම්බන්ධවීමයි. කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයකුව සිටි ආර්.ඒ.ඩී. සිරිසේනට කුලනාමය සදහන් කරමින් පාර්ලිමේන්තුවේ දී ම බැන වැදුනේ තම දිස්ත්‍රික්කයේම ආණ්ඩු පක්ෂයේ වාමාංශික ඇමතිවරයකු විසිනි. සිංහලබෞද්ධ වුවත් කුලයෙන් ගොවිගම නොවීම අසාධාරණයට හේතු වී ඇත්තේ එලෙසිනි.

එහෙත් කුල පීඩිතයකු වන ගුණරත්න වීරකෝන් සමාජ බෙදීම් අසාධාරණයට හේතුවක් බව දැන දැනම සිංහලබෞද්ධ වර්ගවාදය ඔසොවා තබා ඡන්ද ගරා ගැනීමට තැත් කිරීම පිළිකුල් සහගතය. ඔහු එමගින් සාධාරණීකරණයට ලක් කරන්නේ කුලනාමය සදහන් කරමින් ඔහුට ඡන්දය නොදෙන ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවිගම කුලයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ පිළිකුල් හැසිරීම බව ඔහුට නොවැටහීම කනගාටුදායක ය.

මේ වනවිට ගුණරත්න වීරකෝන්ගේ පමණක් නොව එක්සත් ජනතා නිදහස් සංධානයේ නොනිල ප්‍රතිපත්තිය වී ඇත්තේ වර්ගවාදය ඇවිස්සීම බව පැහැදිලිය. ඒ අර්ථයෙන් මෙවරත් මහින්ද රාජපක්ෂ තැත් කරන්නේ වර්ගවාදී ගිනිදැල් මතින් බලය ලබා ගැනීමටය. ජාතිකත්වය, ආගම, කුලය හා වෙනත් සමාජ භේදකාරී සීමිතකම් පරාජය කරමින් සියළු ජනතාවගේ වැඩි ඡන්දයෙන් ජනාධිපතිවරයකු තෝරා පත් කරගෙන ඇති මේ මොහොත තුළ එක්සත් ජනතා නිදහස් සංධානය වර්ගවාදය පසුපස යෑම බරපතල දේශපාලන අගතීන් එම සංධානය කරා කැදවා ගැනීමේ මූලාරම්භයක් බව පැවසිය යුතුය.

shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    3

    pilip shantha….you’re a fruit salad

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.