24 April, 2024

Blog

ඩිලාන්ගේ වස කුප්පිය හා පළමු ගල් පහර එල්ල කිරීම

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

මේ මොහොත වනවිට දෙකඩව ඇති එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තරග කරන අපේක්ෂකයෝ තම ජයග්‍රහණය තහවුරු කර ගැනීම සදහා නොකරන දෙයක් නොමැති තත්ත්වයට පත්ව තිබේ. ජයග්‍රහණය කිරීමට නම් තමන් මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ යැයි සමාජයට පෙන්විය යුතු බව ඔවුන් අතර මතයක් තහවුරු වී ඇති අන්දම පැහැදිලිව පෙනේ. ඒ තත්ත්වය තුළ සාමාන්‍ය ශ්‍රී.ල.නි.ප. අපේක්ෂකයන් පමණක් නොව ජාතික මට්ටමේ කැපී පෙනෙන චරිත පවා උත්සාහ ගන්නේ තමන් මහින්ද පාර්ශ්වයේ බව ඔප්පු කොට පෙන්වීමටය.

හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා පසුගිය දා මාධ්‍ය හමුවක් පවත්වමින් වස කුප්පි කිහිපයක් ප්‍රදර්ශනය කරමින් සමාජ ගත කළ පණිවුඩය සලකා බලන්නට සිදුවන්නේ ද මෙවැනි වටපිටාවක් තුළ ය. හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරාට අනුව බරපතල දූෂණ, වංචා හා සමාජ විරෝධී කටයුතු කර ඇති එක්සත් ජාතික පක්ෂ නායකයන් තම වැරදි හමුවේ වස පානය කළ යුතු ය.

ඩිලාන් පෙරේරා මෙවැනි ප්‍රකාශයක් කරන්නට යොමු වෙන්නට ඇත්තේ සිවිල් සංවිධාන කිහිපයක් විසින් එක්සත් ජාතික පෙරමුණට සහාය පළ කරන්නට ගිවිසුමක් අත්සන් කළ මොහොතේ මාදුළුවාවේ සොභිත හාමුදුරුවන් කළ ප්‍රකාශය නිසා යැයි කිව හැකිය. අනාගත එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් යටතේ තම රජයේ ඇමතිවරුන් වංචා, දූෂණ හා සමාජ විරෝධී කටයුතු කරන්නට පෙළබුණහොත් ඔවුනට සියදිවි හානිකර ගැන්නැයි යෝජනා කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් උන්වන්වහන්සේ ඉල්ලා සිටියහ. එම ඉල්ලීම හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරාට ද එල්ලෙන්නට හොද වැල් පොටක් ලෙස පෙනී ගොස් තිබීම හාස්‍යජනක ය.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව පිහිටවූ සුළුතර ආණ්ඩුවේ කොටස්කාරයන් ලෙස ඇමතිධූර භාර ගන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගෙන තිබුණි. ඒ තීන්දුව තමවත් අහෝසි වී නැතත් සමහර ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් මේ වනවිට තම ධූර වලින් ඉල්ලා අස් වී ඇත. තමන් නියෝජනය කරන්නේ මහින්ද පාර්ශ්වය යැයි පෙන්වා ජනප්‍රසාදය දිනා ගැනීමට මැතිවරණ උපක්‍රමයන් යෙදීම ඔවුන්ගේ පෞද්ගලික තීන්දුවකි. එහෙත් පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් සිටින්නේ එක්සත් ජාතික පක්ෂය හා හවුල් ආණ්ඩුවක කොටස්කාරයන් විය යුතුයැයි කියන දේශපාලන ස්ථාවරයේ ය.

Dilan Mahindaඩිලාන් පෙරේරා ඇතුළු කිහිපදෙනෙකු ආණ්ඩුවේ තනතුරු වලින් ඉල්ලා අස්වූවාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනෙක්ම තවමත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ අමාත්‍ය ධුර දරති. එක්සත් ජාතික පක්ෂ නායකයන් වස බී සියදිවි නසා ගත යුතුයැයි හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා යෝජනා කරන්නේ නම් එහෙව් දූෂිත එක්සත් ජාතික පක්ෂය හා තවමත් ඩිලාන් පෙරේරාගේ පක්ෂය අත්වැල් බැදගෙන සිටීම උත්ප්‍රාසය දනවන කරුණකි.

මේ ආණ්ඩුවේ තනතුරු දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික අමාත්‍යවරුන් පවා ආණ්ඩුවේ සිටිමින්ම ආණ්ඩුව විවේචනය කිරීම දැන් දේශපාලන මෝස්තරයක් කරගෙන තිබේ. ආණ්ඩුව හා තමන්ට ප්‍රතිපත්තිමට ගැටළු තිබේනම් රීතියක් ලෙස කළ යුත්තේ ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීමයි. එහෙත් ආණ්ඩුවේ අමාත්‍ය ධූර දරමින්ම ආණ්ඩුව විවේචනය කරමින් ඡන්ද ගරා ගැනීමේ බොළද උත්සාහයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් යොමුවීම කනගාටුදායක ය. පෞද්ගලිකව එම අමාත්‍යවරුන් තමන් තනතුරු දරන ආණ්ඩුව විවේචනය කිරීම අමාත්‍ය මණ්ඩල සාමූහිකත්වය බිද හෙලීමක් වන අතර පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරන්නේ ද අමාත්‍ය මණ්ඩල සාමූහිකත්වය බිද දැමීමට තම සාමාජිකයන්ව යොමු කිරීමයි.

විවිධ අමාත්‍ය ධූර දැරුවත් මහජන නියෝජිතයකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළත් ඩිලාන් පෙරේරා කරන ප්‍රකාශයන්හි දේශපාලන වටිනාකමක් ඇතැයි පැවසිය නොහැක. පසුගිය රාජපක්ෂ රෙජීමයට 2007 දී පමණ රත්නපුර දිස්ත්‍රික් එජාප මන්ත්‍රීව සිටි සුසන්ත පුංචිනිලමේ බදවා ගත් අවස්ථාවේ දී ද මෙවැනි කලකෝළාහලයක් ඔහුගෙන් ප්‍රදර්ශනය වුණි. හිටපු ශ්‍රීලනිප මන්ත්‍රී තම හිතමිත්‍ර නාලන්ද එල්ලාවල ඝාතනයට චෝදනා ලත් සුසන්ත පුංචිනිලමේ රාජපක්ෂ රෙජීමයට බදවා ගෙන තනතුරු පිදීම නිසා කෝප වූ ඩිලාන් පෙරේරා මාධ්‍ය සාකච්ඡා කිහිපයක්ම අමතමින් බරපතල තීන්දුවක් ගන්නා බව ප්‍රකාශ කළේය. එහෙත් නාලන්ද එල්ලාවලගේ හිතමිත්‍ර ඩිලාන් පෙරේරා පමණක් නොව ඩලස් අලහප්පෙරුම පවා සුසන්ත එල්ලාවල සමග ආණ්ඩුවේ අසුන්ගෙන සිටියේ කිසිම අපුලකින් තොරවය.

පෞද්ගලික ප්‍රකාශ කරමින් සමාජයේ විහිළුවක් බවට පත්වීමට හුදකලා පුද්ගලයන්ට හැකිවුවත් සමාජ වගකීමක් සහිත දේශපාලන පක්ෂයකට එවැනි කටයුතු වල යෙදෙන්නට අයිතියක් තිබිය නොහැක. මේ මොහොත තුළ එකිනෙකට පරස්පර ප්‍රකාශ කරමින් කෙසේ හෝ ඡන්ද ටිකක් ලංකර ගැනීමට පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම සාමාජිකයන්ට අවස්ථාව ලබා දී තිබීම වගකිවයුතු පක්ෂයකට තරම් නොවේ. ඩිලාන් පෙරේරා එක්සත් ජාතික පක්ෂ නායකයන්ට වස කුප්පි ලබාදීමට කටයුතු කිරීම ද එවැනි වගකිවයුතු ක්‍රියාවක් නොවේ.

වංචා, දූෂණ හා වෙනත් සමාජ විරෝධී ක්‍රියා මැඩපැවත්විය යුක්තක් නොවන බව මේ නිසා ගම්‍ය නොවේ. අවශ්‍යයෙන්ම එවැනි සමාජ විරෝධී කටයුතු මැඩපවත්වන ක්‍රමයක් සකස් කර ගත යුතුය. රාජපක්ෂ රෙජීමය බිද දැමීමේ අරගලය තුළ ප්‍රධාන සටන් පාඨයක් වූයේ ද එම රෙජීමයේ අට අනූවක් වංචා, දූෂණ හා සමාජ විරෝධී කටයුතු ය. එක්සත් ජාතික පක්ෂය පවා වංචා, දූෂණ හා සමාජ විරෝධී කටයුතු වලින් ඈත් වූ පක්ෂයක් යැයි කිසිවකුට පැවසිය නොහැක. එහෙත් පසුගිය මාස හතක කාලයක් තුළ කටයුතු නිසා එක්සත් ජාතික පක්ෂ නායකයන් වස පානය කළ යුතු නම් දස වසරක කාලයක් තුළ රාජපක්ෂ රෙජීමය කළ වංචා, දූෂණ හා සමාජ විරෝධී කටයුතු වලට තම පක්ෂ නායකයන් පානය කළ යුත්තේ කවර වර්ගයේ විසක් දැයි රටට ප්‍රකාශ කිරීම ඩිලාන් පෙරේරාගේ යුතුකමකි.

ජනවාරී අටවැනිදා ජයග්‍රහණයෙන් පසුව දේශපාලන ව්‍යාපාරයක් ලෙස මෙත්‍රී/ රනිල් සුසංයෝගය කටයුතු කළේ යහපාලනයක් කරා සමාජය ගෙන යෑමටය. ඒ සදහා කළ යුතු සමාජ ප්‍රතිසංස්කරණ අපමණය. සමාජ ව්‍යුහයම වංචා, දූෂණ හා අපරාධ වලට සුදුසු ලෙස සකස් කර ඇති තත්ත්වයක එක් රැයකින් සුපිරිසිදු සමාජයක් බලාපොරුත්තුවීම අගතිවිරහිත නොවේ. එහෙත් පසුගිය හත්මාසය තුළ අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණය කරමින් උත්සාහ කළේ එවැනි පරිසරයක් නිර්මාණය කර ගැනීමට බව අත්හළ නොහැකි කරුණකි.

සමාජ විරෝධී ක්‍රියා මුළුමනිම තුරන් කිරීම හෝ ඒවා අවම කිරීම සමාජයක වගකීමයි. ඒ සදහා මෙත්‍රී/ රනිල් සුසංයෝගය විසින් තැබූ පියවර දේශපාලන ව්‍යාපාරයක ප්‍රතිපලයකි. එහෙත් ඒ දේශපාලන ව්‍යාපාරය ඉදිරියට යෑම සදහා පවතින බාධා අපමණය. වංචා, දූෂණ වලින් තොර රටක් නිර්මාණය කර ගැනීම සදහා යන ගමනේ දී මේ මොහොත තුළ සමාජය හමුවේ පවතින ප්‍රබල බාධාව වන්නේ මහින්ද චින්තන සංස්කෘතියයි.

සමාජයක් ලෙස ඉදිරියට ගමන් කරන්නට නම් බැහැර කිරීම්වාදය සුදුසු ප්‍රතිපත්තිමය ස්ථාවරයක් නොවේ. වරක් පරාජය කළ මතවාදයක් දරන්නන් හා පවා එකට එක්වෙමින් සමාජය තුළ ඉදිරියට යෑම දේශපාලන ව්‍යාපාරයක වගකීම විය යුතුය. එහෙත් මහින්ද චින්තන සංස්කෘතිය පවතින්නේ එය හා සංධාන ගතවිය හැකි තත්ත්වයක නොවේ. පසුගිය ජනාධිපතිවරණයේ දී සමාජය ප්‍රතික්ශේප කළත් තවදුරටත් මහින්ද චින්තන සංස්කෘතිය තම ගමන දෙස හැරී බැලීමකින් තොරව ඉදිරියට යන්නට තැත් කරන බවක් පෙනෙන්නට තිබේ. වරක් ප්‍රතික්ශේප වූ දේශපාලන ව්‍යාපාරයක් ප්‍රතිසංස්කරණ වලින් තොරව තවදුරටත් සමාජය තුළ කටයුතු කරයි නම් එය හා සංධාන ගතවීම නොකළ යුත්තකි. දේශපාලන ව්‍යාපාරයක් ලෙස මහින්ද චින්තන සංස්කෘතිය ද අද පවතින්නේ එවැනි තත්ත්වයක ය.

ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොත තුළ බරපතල ප්‍රතිපත්තිමය හැරී බැලීමකට හා විමර්ශනයකට යොමු විය යුතුව තිබේ. තමන්ට වැරදුනේ කොතනද ඒ වරද සකසා ගන්නේ කෙසේද යන්න බරපතල ලෙස විමර්ශනය කර සකසා ගන්නා ප්‍රතිපත්ති රාමුවකින් තොරව සමාජය දෙස අලුත් ඇසකින් බැලිය නොහැක. එවැනි වැඩපිළිවෙළක් නොමැතිව එක්සත් ජාතික පක්ෂය හා හවුල් ආණ්ඩුවක කටයුතු කිරීමට යෑම තර්කානුකූල නොවේ. තමන්ට සමාජ ගමනේ බරපතල ස්ථාවරයක් දරන්නට අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ යුත්තේ අලුත් ආණ්ඩුවේ යහපාලන ප්‍රතිපත්ති හා සංධාන ගතවීමට උර දැරීම මිස හුදු තනතුරු දැරීම පමණක් නොවේ.

පුළුල් අරමුණකින් යහපාලන ප්‍රතිපත්ති ස්ථාපනය කිරීමේ දී ප්‍රධාන පක්ෂ දෙකටම ඇති වගකීම බරපතල ය. එකිනෙකා හා අත්වැල් බැද ගනිමින් පොදු අරමුණක් කරා යන අන්දම ගැඹුරින් කල්පනා කිරීමත් ඒ අනුව කටයුතු කිරීමත් යුතුකමය. එසේ නොවන්නට ඩිලාන් පෙරේරලාට හැමදාමත් සිදුවන්නේ වස කුප්පි ප්‍රදර්ශනය කරමින් සිටීම මිස අගතිවිරහිත දේශපාලන මැදහත්වීමකට සම්මාදම්වීම නම් නොවේ.

shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.