23 October, 2017

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටිනාකම් හා ඇඹිළිපිටියේ තරුණ ජීවිතයේ අළෙවිය

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

පොලීසිය හා ඇතිවූ ගැටුමකින් තරුණයකුගේ මරණය වාර්තාවීමෙන් අනතුරුව එළඹුන රාජපක්ෂ රෙජීමය බිද වැටීමේ වසරක සංවත්සරය දා මාධ්‍ය අමතමින් විමල් වීරවංශ විසින් දුක්මුසු ලීලාවෙන් ප්‍රකාශ කළේ පොලිස් රාජ්‍යයක් බිහිවී ඇති බවය. සුපුරුදු උද්වේගකර හඩින් මාධ්‍ය අමතමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ තරුණ දරුවකු මරාදැමීමෙන් රට පාවාදීමේ සංවත්සරය ආණ්ඩුව විසින් සමරා ඇති බවයි.

මංගල උත්සවයක් අතර තුර ඊට මැදිහත් වූ ඇඹිළිපිටිය පොලීසියේ නිලධාරීන් සමග ඇතිවූවා යැයි කියන ගැටුමකින් පසුව තරුණයකු මිය යෑම ඇත්තෙන්ම කණගාටුදායකය. මෙම මරණය සිවිල් ජනතාවට සාමාන්‍ය ජන ජීවිතයේ දී එල්ල වන තර්ජන හා මානව හිමිකම් සම්බන්ධ බරපතල ප්‍රශ්න ඇති බවට යළි සිහි කැදවයි. සිවිල් සමාජයක මනුෂ්‍ය ඝාතන සිදුවීම නොවිය යුක්තක් වුවද මානව ගැටුම් පවතින තාක් කල් මනුෂ්‍ය ඝාතනයන් වාර්තාවීම වැළැක්විය නොහැක. එහෙත් රාජ්‍යයේ නියොජිතයකු වන පොලීසිය හා සමග ඇතිවූ ප්‍රශ්නයකින් මනුෂ්‍ය ඝාතනයක්වීම සුළුකොට තැකිය හැක්කක් නොවේ.

සිවිල් වැසියකු රාජ්‍යයේ ආරක්ෂක බලමුළුවකින් කවරාකාරකින් ඝාතනයට ලක්වුවද ඊට ආණ්ඩුව වගකිව යුතුය. නමුත් දේශපාලන අරගල අවස්ථාවන්හිදී රාජ්‍යයේ ආරක්ෂක බලමුළු වලින් පහර දී ඝාතනයට ලක්වන සිවිල් වැසියන්ගේ මරණ වල දී ආණ්ඩුවට වඩා වැඩි වගකීමක් පැවරේ. කෙසේ හෝ වේවා රාජ්‍යයේ ආරක්ෂක බලමුළු වලින් පීඩාවට පත්වන සිවිල් ජනයා ආරක්ෂා කිරීම සදහා කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී හා නීතියේ ආධිපත්‍ය සුරකින රාජ්‍යයක් ඇති කිරීමයි.

ඇඹිළිපිටියේ ඇතිවූ ගැටුමකින් මිය ගිය තරුණයා මිය ගියේ කවරාකාරයකින් දැයි තවමත් පැහැදිලි නොමැත. එහෙත් ඒ නිසා රාජ්‍යයේ ප්‍රතිසංස්කරණයට ලක් විය යුතු ක්ෂේත්‍රයන් කිහිපයක්ම ඉස්මත්තට ගෙනවිත් ඇත. යම්කිසි මරණයක් සම්බන්ධයෙන් පොලීසියට චෝදනා එල්ල වූ වහා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පළමුවෙන්ම කරන්නේ චෝදනාවෙන් පොලීසිය ගලවා ගැනීමට උත්සාහ දැරීමයි. එසේම සමාජය තුළ පොලීසියට ඇති අතිමහත් බලය උත්කර්ශයට නැංවෙන ප්‍රකාශ ඔහුගෙන් ප්‍රකාශයට පත් වේ. පොලීසියට චෝදනාවක් එල්ල වූ පසුව මැදහත්ව චෝදනාව සලකා බලා කටයුතු කිරීමේ ලක්ෂණය පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයාට නොමැත. ඔහු නිතරම උත්සාහ කරන්නේ විසදුමේ කොටස්කරුවකුවීමට නොව ප්‍රශ්නයේ කොටස්කරුවකුවීමටයි.

ඇඹිළිපිටියේ තරුණයාගේ සිද්ධියේ දී පමණක් නොව උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍යයන්ගේ උත්ඝෝෂණයට එල්ල කළ පොලිස් ප්‍රහාරයේ දීත් දැරියක පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ සිද්ධියකට අදාළව කොටදෙණියාව පොලීසියට එල්ල වූ චෝදනා වලදී ත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හැසුරුණේ මේ අන්දමින්ම ය. එසේම ශිෂ්‍ය උද්ඝෝෂණයට එල්ල කළ අමානුෂික පොලිස් ප්‍රහාරයෙන් පසුව වැඩ බලන පොලිස්පතිවරයා මාධ්‍ය හමුවක් කැදවමින් උත්සාහ කළේ ද චෝදනාවන්ගෙන් පොලීසිය බේරා ගැනීමට මිස පොලීසියේ බලය අයුතු ලෙස යොදා ගැනීම වැළැක්වීමට පියවර ගැනීමට නොවේ.

වසර හතලිහකට අධික කාලයක් සාමාන්‍ය සිවිල් නීතියෙන් බාහිරව හදිසි නීතිය යටතේ ද සාමාන්‍ය නීතිය ඉක්මවා යන අත්තනෝමතික බලයක් පොලීසියට ලැබෙන නීති යටතේ ද රාජකාරී කිරීමේ සංස්කෘතික පුරුද්ද ද නිසා පොලීසියට මේ ඉරණම අත්වෙන්නට ඇත. එසේම රාජපක්ෂ රෙජීමය තුළ ඇති කරගෙන තිබූ ජාතික ආරක්ෂක රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ නොතිත් ආශාවත් ඊට සමාන්තරව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටිනාකම් අත්හැරීමත් මේ තත්ත්වයට හේතුවන්නට ඇත.

දස වසරකට ආසන්න රාජපක්ෂ පාලනය තුළ පළමුව ආණ්ඩුව ද දෙවැනිව සමාජය ද එක හඩින් වර නැගුවේ ජාතික ආරක්ෂාවයි. එල්ටීටීඊයට එරෙහි යුද්දය සමාජයේ අධිපති මතය වූ පසුව එහි එකම ඉලක්කය වූයේ “ත්‍රස්තවාදී කණ්ඩායමක්” මුළුනුපුටා දැමීමම නොවේ. එය රාජ්‍ය කිරීමේ විළි වසා ගැනීමට අනුගමනය කළ උපක්‍රමයක් පමණක් විය. ඇත්තටම රාජපක්ෂ පාලනය විසින් ජාතික ආරක්ෂාව යැයි අර්ථකතනය කළේ ආණ්ඩුවේ ආරක්ෂාව හා පැවැත්මයි. ඒ අනුව සියළු ආණ්ඩු විරෝධී ක්‍රියා ජාතික ආරක්ෂාවේ නාමයෙන් මර්දනයට ලක් වුණි. එපමණක් නොවේ. ඇත්තටම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ පුද්ගලයන් පවා දේශපාලන පක්ෂපාතීත්වය රාජපක්ෂ පාලනයට පෙන්වූ පසුව චෝදනා වලින් නිදහස් වුණි. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක චෝදනාලාභීයකු පවා අවසානයේ රාජපක්ෂ පාලනයට පක්ෂපාතවීම නිසා සියළි චෝදනා වලින් නිදහස්ව අමාත්‍ය ධූරයකින් ද පිදුම් ලැබීය. රාජපක්ෂ පාලනය තුළ ජාතික ආරක්ෂාව යන්න කෙතරම් උත්ප්‍රාසජනක වචනයක්දැයි එමගින් පැහැදිලි වුණි.

සියළු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අහෝසි කරමින් ජාතික ආරක්ෂක රාජ්‍යයක් කරා පල්ලම් බැසීමේ ප්‍රතිඵලය වූයේ සිවිල් ජනතාවගේ මානව අයිතීන් ගිලිහී යෑමයි. ඒ තුළ මිනිස් නිදහස මෙන්ම ජීවත්වීමේ අයිතිය ද තුට්ටුවකට තැකුවේ නැත. ඒ නිසා බීමට ජලය ඉල්ලා මහ මගට බැස්ස රතුපස්වල ජනයා මරා දැම්මේ මහා ත්‍රස්තවාදී මෙහෙයුමක් මර්දනය කරන පරිදි ය. රැකියාවේ අයිතීන් ඉල්ලා මහ මගට බැස්ස කටුනායක කම්කරුවන් මරා දැම්මේ ද මහා ත්‍රස්තවාදී මෙහෙයුමක් මර්දනය කරන පරිදි ය. ඉන්ධන මිල පහළ බස්සන්නැයි මහ මගට බැස්ස මීගමුවේ ධීවරයින් මරා දැම්මේ මහා ත්‍රස්තවාදී මෙහෙයුමක් මර්දනය කරන පරිදි ය.

ඇඹිළිපිටියේ තරුණයකු මිය යෑමත් සමග පොලිස් රාජ්‍යයක් බිහිවී ඇතැයි ද තරුණ දරුවකු මරා දමමින් ආණ්ඩුව තම පළමු සංවත්සරය සමරන්නේ යැයි ද විමල් වීරවංශ විස්සෝප වන්නේ එදා ආරක්ෂක රාජ්‍යයක් හදන්නට මහන්සි වී පසුව රාජපක්ෂවරුන්ගේ පරාජයෙන් පසුව ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇතැයි විස්සෝපවීමේ අත්දැකීම් අත දරාගෙන වීම හාස්‍යජනකය. ආරක්ෂක රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටි සමාජ කොටසකට සිවිල් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතියක් නොමැත.එසේම මානව හිමිකම් යනු බටහිර ආධිපත්‍යවාදය සදහා ගොඩනැංවූ සංකල්පයක් යැයි කියූ දේශපාලන අදහස් දරන්නකුට මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නට අයිතියක් නොමැත. එහෙත් සම්මුතිවාදී ආණ්ඩුව යටතේ විපක්ෂය නියෝජනය කරන්නේ මෙවැනි හාස්‍යෝත්ජනක චරිතයන් වීම කනගාටුවට කරුණකි.

දස වසරක රාජපක්ෂවරුන්ගේ පාලනය පෙරලා නව දේශපාලනික සංස්කෘතියක් රටේ බිහි කළේ විශාල අරමුණක් පෙරදැරි කරගෙනය. ඒ බලාපොරුත්තු ඒ හැටියෙන්ම ඉටුවී නැතත් ඉටුවන්නේ ද නැතත් 2015 ජනවාරී 08 දා ජයග්‍රහණය ලාංකික සමාජයට අත් කර දුන් වරප්‍රසාද අතර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් රාජ්‍ය විසින් යළි පිළිගැනීම ප්‍රශස්තය. ඒ නිසා රාජ්‍යයේ ආරක්ෂක බලමුළු රාජකාරිය ඉටු කිරීමේ දී කරන්නා වූ මිනිස් අයිතීන් උල්ලංඝනය අවශ්‍ය දෙයක් යැයි රාජ්‍ය විසින්ම අවසන් තීන්දුව ලබාදෙන්නේ නැත. උසස් තාක්ෂණික ඩිප්ලෝමාවේ ශිෂ්‍යයන් කළ උද්ඝෝෂණයට කළ තිරිසන් පොලිස් ප්‍රහාරය රාජ්‍ය විසින්ම වැරදි තීන්දුවක් යැයි නිගමනය කරන්නේත් ඊට අදාළ වැරදිකරුවන්ට දඩුවම් දෙන්නේත් පූර්වාදර්ශ සපයමිනි. ඒ අනුව රාජකාරී ඉටු කිරීමේ දී තවදුරටත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වලට ගරු කළ යුතු යැයි ද ඒවාට වටිනාකමක් ලබාදිය යුතු යැයි ද රාජ්‍ය විසින්ම පණිවුඩයක් ලබා දී තිබේ.

එසේම මානව හිමිකම් කොමිසමේ ක්‍රියාකාරීත්වය ද ශක්තිමත් ලෙස වර්ධනය කරමින් පවතී. අවස්ථා කිහිපයක දී ම මානව හිමිකම් කොමිසම ක්‍රියාකාරීව මැදිහත් වූ අතර ඉතා අගය කළ යුතු අවස්ථාවක් වන්නේ ජාතිවාදී ප්‍රකාශයන්ට එරෙහිව නීති පනවන්නට රාජ්‍ය උත්සාහ කළ අවස්ථාවේ දී ඊට මැදිහත් වෙමින් විරෝධය පළ කිරීමයි. ගත වූ කෙටි කාලය තුළ පොලිස් කොමිසම හා මානව හිමිකම් කොමිසම ප්‍රශස්ත ලෙස ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටිනාකම් වල ස්ථිරතාව හා වැදගත්කම වෙනුවෙන් පෙනී සිට ඇත. ඊට ශක්තියක් වූයේ විධායක ජනාධිපති බලය අවම කළ කොමිසන් සභා ස්ථාපිත කිරීමයි. එම ප්‍රතිසංස්කරණය ජනවාරී අට උදා කරදුන් වැදගත් දේශපාලන ජයග්‍රහණයකි.

ආරක්ෂක රාජ්‍යයේ ජාතික ආරක්ෂාව ප්‍රමුඛ වූ සංස්කෘතිය තුළ ආණ්ඩු මාරුවකින් හුදු සියළු ප්‍රතිසංස්කරණයන් සම්පූර්ණ නොවේ. එහෙත් මානව අයිතීන් උල්ලංඝනය වන සිවිල් වරප්‍රසාද අහිමිවන ආරක්ෂක රාජ්‍යය සංකල්පයෙන් ඉවත්වීම ධනාත්මක පරිවර්තනයක ආරම්භයකි. මේ සංක්‍රාන්ති පරිවර්තන සමය තුළ අලුත් සංස්කෘතියක් සදහා චින්තන වෙනස්කම් ඇති කර ගත යුත්තේ රාජ්‍ය නිලධාරීන් හා දේශපාලකයන් එකවිටය. එසේනොවන්නේ නම් ඒ පරිවර්තනයට හුරුවන්නටත් ඊට අනුගතව ජීවත්වන්නටත් නොහැකිවීම මගින් සමාජයට එල්ල කරන හානිය ප්‍රබලය.

රාජ්‍යයේ ඉලක්ක සංකල්පය වෙනස් වී ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් වටිනාකම් වලට ගරුත්වයක් ලබාදෙන ගමනේ සමාජයක් ලෙස තවමත් ඉන්නේ සංක්‍රාන්ති අවස්ථාවකය. ඒ තුළ ජනමත නායකයින් කටයුතු කළ යුත්තේ සමාජ පරිවර්තනය ඉක්මන් කිරීමට මිස එය ආපිට හැරවීමට නොවේ. එහෙත් සම්මුතිවාදී ආණ්ඩුව බලය ලබාගත් පසුව සමාජයට මුහුණ දෙන්නට වී ඇති බරපතලම ඛේදවාචකය වී ඇත්තේ සමාජ පර්වර්තනය ඉක්මන් කරන ලෙස කටයුතු කරන විපක්ෂයක් නොවීමයි.

එක්සත් ජනතා නිදහස් සංධානයේ විමතික කණ්ඩායමේ ප්‍රබලයකු වන විමල් වීරවංශ ඇඹිළිපිටියේ තරුණයාගේ මරණය අර්ථදැක්වූයේ හුදු පටු පක්ෂ දේශපාලනයෙනි. ආරක්ෂක රාජ්‍යයක් වෙනුවෙන් කටයුතු කළ විමල් වීරවංශ සිවිල් පුරවැසියකුගේ මානව අයිතීන් ගැන කතා කිරීම ගෞරවයට හේතුවන්නක් නොවේ. එහෙත් ගැටළුව වන්නේ එවැනි පරිවර්තනයක දී දේශපාලනික වශයෙන් හැසිරෙන අන්දම තේරුම් ගැනීමට තරම් විමතිකයන් ගැඹුරු අවබෝධයක නොවීමයි. ඔවුන් කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ උත්සාහ ගන්නේ රාජපක්ෂවරුන්ට අහිමි වූ රාජ්‍ය පාලනය නැවත ලබා ගැනීමට මිස මිනිස් අයිතීන් තහවුරු කර ගැනීමට නොවේ. ඒ අර්ථයෙන් ඒකාබද්ධ විපක්ෂය යැයී තමාම හදුන්වා ගත්තත් විමතික කණ්ඩායම යනු අල්ලපු අත්තත් පය ගහපු අත්තත් බිදී ගිය දේශපාලන අසරණයන් පිරිසකි. හිගන්නන්ට උණු බත් කොහෙන්දෝයි කීවා සේ විමතික කණ්ඩායමේ දේශපාලකයන්ට රටේ සිදුවිය යුතු පරිවර්තනයට අවශ්‍ය ශක්තිය ලබාදෙන නිර්මාණාත්මක ජවයක් නොමැත.

මේ මොහොත තුළ රට ඉදිරියේ පවතින අභියෝගය වන්නේ 2015 ජනවාරී අට වැනිදා ලබාගත් ජයග්‍රහණය ඉදිරියට ගෙන යමින් සමාජයට ලැබෙන වරප්‍රසාද ශක්තිමත් කිරීමයි. ඒ සදහා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සමාජය තුළ ස්ථාපනය කිරීමට ආණ්ඩුවට බල කිරීම සදහා වූ ක්‍රියාකාරී පුළුල් මහජන ව්‍යාපාරයක ජවය අවශ්‍යව තිබේ. රාජ්‍යයේ දේශපාලන ව්‍යුහය ක්‍රමිකව ප්‍රතිසංස්කරණයට හා පරිවර්තනයට ලක් කිරීම අවශ්‍ය වෙන වේගයෙන්ම රාජ්‍යයේ යාන්ත්‍රණයට ඒ පරිවර්තනය හුරු කිරීම ද අවශ්‍ය සාධකයකි. ඒ සදහා කොමිසන් සභාවන්ගෙන් කරන්නා වූ කාර්යභාරය අතිමහත්ය.

ඊට සමාන්තරව සමාජයේ දේශපාලන මනෝභාවයේ ද පරිවර්තනයක් විය යුතුය. ආරක්ෂක රාජ්‍ය ව්‍යුහයක කටයුතු කළ සමාජයක් මිනිස් වටිනාකම් වලට ගරු කරන්නට පුරුදු කරවිය යුතුය. එසේම ඒ සදහා වූ දේශපාලනික ප්‍රතිසංස්කරණයන් කොමිසන් සභාවලින් ඔබ්බට එනම් සමාජයේ ඉහළ සිට පහළට ගෙන යෑම ද අවශ්‍යයෙන්ම කළ යුත්තකි. අදට අවශ්‍ය වන්නේ ඒ ප්‍රතිසංස්කරණයන් සමාජ ගත කළ හැකි දේශපාලනයකි. ඒ සදහා දේශපාලන කණ්ඩායම් වලට ඇති ශක්තිය මත රටේ අනාගතය තීරණය වන බව අවශ්‍යයෙන්ම කිව යුතුය.

*shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.