20 April, 2024

Blog

රාජපක්ෂවරු අලුත් වටයකින් අඩව් ඇල්ලීම

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කොටි සංවිධානයේ අනුත්තර නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සිංහලබෞද්ධ ස්වෝත්තමවාදී සමාජයේ සංකේතීය සතුරෙකි. ඒ සතුරා මරා දමා වසර අටක් ගෙවී ගිය තැන පවා සතුරාට ගිනි බිදීමට උදව් උපකාර කළ ඉන්දියාව අමතක නොකිරීමට තරම් මහින්ද රාජපක්ෂ ඉන්දියාවට කුළුපග ය. රාජතාන්ත්‍රිකව උපක්‍රමශීලී ය. පසුගිය දා ඉන්දියාවේ වයෝ නිවුස් පුවත් සේවයට අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මෙසේ කීය.

“ඉන්දියාව අපට යුද්දයේ දී උදව් උපකාර කළා. අපට ඔවුන්ගෙන් උදව් ඉල්ලන්න අවශ්‍ය වුනේ නෑ.මොකද මම කළේ ඔබේ යුද්දයක්. ඉන්දියාවේ යුද්දයක්. ඇත්තටම එය මගේ යුද්දයක් නෙවෙයි”

“එල්ටීටීඊය ඔබේ අගමැති රජීව් ගාන්ධි මහතා ඝාතනය කළා. එල්ටීටීඊය ඔබේ රටේ බොහෝ දෙනෙක් ඝාතනය කළා. ඒ නිසා එය මගේ යුද්දයක් විතරක් නෙවෙයි. එය ඉන්දියාවෙත් යුද්දයක්. එය මානුෂීය යුද්දයක්. චීනය හා පකිස්ථානය විතරක් නෙවෙයි අපට බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාවත් උදව් කළා.”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඉන්දියාව අගයමින් ඉන්දියාව සමග නව සබදතා ඇති කර ගැනීමට අවශ්‍යව ඇත්තේ වෙනස් වූ සිතකිනි. ඔහු පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වූ වහා ඉන්දියාවට බරපතල ලෙස චෝදනා කළේ තමාගේ පරාජයට ඉන්දියාව වගකිව යුතු බව කියමිනි. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපදෙස් පරිදි ඔහුගේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවෝල්ගේ මෙහේයවීම යටතේ රෝ බුද්ධි අංශය තමා පරාජය කිරීමට කටයුතු කළ බවට මහින්ද රාජපක්ෂ එල්ල කළ චෝදනාව බරපතල එකකි. එහෙත් අද ඔහු එය සුළුවෙන් තකා අමතක කිරීමට සූදානම් ය. මේ මහින්ද රාජපක්ෂ ඒ ගැන විමසූ විට ඉන්දීය වයෝ නිවුස් පුවත් සේවයට පැවසූ කතාවයි.

“අතීතය හාරා ඇවිස්සිය යුතු නෑ”

තමාගේ පරාජයට ඉන්දියාව සම්බන්ධ යැයි විශේෂයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සම්බන්ධ යැයි චෝදනා කළ මහින්ද රාජපක්ෂ අද එය අමතක කරමින් ඉන්දියාවේ ගුණ වැයීමටත් යුද්දයේ දී ඉන්දියාව ලබාදුන් සහාය අගය කිරීමටත් ඉක්මන්වීම ඔහුගේ අලුත් දේශපාලන පෙරලියක් විය හැකිය. එය තවදුරටත් සනාථ කරන කරුණක් වන්නේ පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට ඔහු විසින් අවස්ථාවක් ඉල්ලා සිටීමයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ සැලසුම අනුව හිටපු ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් වෙන් කර නොතිබුණි. එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද ඉල්ලීමක් අනුව තමා හමුවීමට අවස්ථාවක් ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පසුව පෙළබුණි.

පසුගිය මැයි දිනය වෙනම පවත්වමින් ගාළු මුවදොර පිටියට කැදවා තිබූ විශාල සෙනග දැක මෝහනයට පත්වූ හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම දේශපාලන සගයකු වන විමල් වීරවංශ ඉල්ලා සිටියේ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරන දිනවල ඔහුට විරෝධය පා කළු කොඩි ඔසොවන ලෙසයි. බොළද හා නූගත් දේශපාලඥයකුගේ නොමේරූ එම ඉල්ලීම මහින්ද රාජපක්ෂව අපහසුතාවට පත් කෙරුවා නොඅනුමාන ය. විමල් වීරවංශලා මෙරට ගැලරිය පිනවීමට කුමන මෝඩ කතා කීව ද ජාත්‍යන්තරය හා ගනුදෙනු කළ යුත්තේ මහින්ද රාජපක්ෂ ය.

මහින්ද රාජපක්ෂගේ දේශපාලන උපදේශකයකු විය හැකි ආචාර්ය දයාන් ජයතිලක පසුව ජනමාධ්‍ය අමතමින් කීවේ හිටපු ජනාධිපතිවරයා ඉල්ලීමක් කර ඉන්දීය අගමැතිවරයා හමුවීමට යෑම සුදුසු නොවන බවයි. දයාන්ගේ එම ප්‍රකාශය පැහැදිලි නැතත් ඔහු කීවේ රාජපක්ෂගේ දෙවන පාලන කාලය තුළ විදේශ සබදතා සම්බන්ධව උපදෙස් දුන් පිරිසගේ වැරැදි උපදෙසක් අනුව එම ඉල්ලීම මහින්ද රාජපක්ෂ විසින් කරන්නට ඇති බවයි. ඒ අනුව ගම්‍ය වන්නේ හිටපු ජනාධිපතිවරයාට උපදෙස් ලබාදෙන විදේශ සබදතා බුද්ධිමත්තු ඇත්තටම බුද්ධිමත් නොවන බවයි.

ආචාර්ය දයාන්ට අනුව ඉන්දීය අගමැතිවරයා හමුවීමට ඉල්ලීමක් කර ඔහු පසුපස යෑම නුසුදුසු ක්‍රියාවකි. එසේම ජනාධිපතිවරණයෙන් පසුව තමාගේ පරාජයට ඉන්දිය අගමැතිවරයා වගකිව යුතු යැයි චෝදනා කිරීම ද නුසුදුසු ක්‍රියාවක් විය හැකිය. රාජ්‍ය තාන්ත්‍රිකව මහින්ද රාජපක්ෂ කරගත් අඥාණ ප්‍රකාශය පසුව ඔහුටම භූ රංගයක් වී ඇත. ඔහු ඉන්දීය අගමැතිවරයාගේ පසුපස යමින් ඉන්දියාව සමග අලුත් සබදතා ආරම්භ කරන්නට උත්සාහ ගන්නේ එබැවින් විය යුතුය.

කෙසේ හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අවශ්‍යව ඇත්තේ ඉන්දියාව සමග ඇතිවූ නොහොද නෝක්කාඩු අමතක කරමින් අලුත් සබදතා ඇති කර ගෙන ඔහුගේ දේශපාලන ගමනට වාසියක් අත් කර ගන්නට ය. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දරණ කාලයේ ඉන්දියාව සමග සමීප සබදතා තිබුණි. ඔහු අද පවසන පරිදිම කොටි සංවිධානයට එරෙහි යුද්දය සාර්ථක කර ගැනීමට ඉන්දියාවේ උපරිම සහාය ලැබුණි. එවකට ආරක්ෂක ලේකම් වූ ඔහුගේ සහෝදර ගෝටාභය රාජපක්ෂ යුද්දයේ අවසන් අදියරේ දී ප්‍රකාශ කළේත් එවැන්නකි. මේ ගෝටාභය රාජපක්ෂ 2008 සැප්තැම්බර් 19 දින ඩේලි මිරර් පත්‍රයට පැවසූ කතාවයි.

“අපට අවඩාත්ම වැදගත් වන්නේ ඉන්දියාවයි. ඉන්දියාව 100%ක්ම ඉන්නේ අප සමගයි. පාකිස්ථානය හා චීනය සමග සබදතා පවත්වන්නට අපට සිදුව ඇත්තේ ඇයි ද යන්නත් ඉන්දියාව හොදින් තේරුම් ගෙන ඉන්නවා. ඊළගට එක්සත් ජනපදයත් එක්සත් රාජධානියත් යුරෝපා සංගමයත් ඉන්නවා. මේ සෑම රටක්ම ත්‍රස්තවාදයට එරෙහි නීතිමය පියවර ගනිමින් සහ අරමුදල් රැස් කිරීමට තිත තබමිනුයි ඉන්නේ”

රාජපක්ෂවරුන්ට ඉන්දියාව ප්‍රමුඛ බටහිර රටවල සහාය ලැබීම 2005 වර්ෂය තරම් ඈතට දිව යන්නකි. 2005 ජනාධිපතිවරණය අවස්ථාවේ දී මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා මහ කොමසාරිස්වරයාගේ නිවෙස තුළ පැවති උත්සව ප්‍රිය සම්භාෂනයන්ට රාජපක්ෂ පිළ නියෝජනය කරමින් බොහෝ පිරිස සහභාගී වූහ. තමන්ගේ නියෝජිතයා ලෙස ඒ වනවිටත් බටහිර රටවල් හා ඉන්දියාව තෝරාගෙන තිබුණේ මහින්ද රාජපක්ෂ බව සැකයක් නොතිබුණි.

කොටි සංවිධානය සමග සාකච්ඡාමය ක්‍රියාදාමයකින් කල් පවත්නා වූ සාමයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළ යුතු බව එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල ස්ථාවරය වී තිබුනද ක්‍රමයෙන් එම ස්ථාවරය වෙනස් වෙමින් තිබුණි. 2002 පමණ වනවිට ඔවුන් ශක්තිමත් තීන්දුවක් ගෙන තිබුණේ කොටි සංවිධානය මිලිටරිමය ලෙස අහෝසි කිරීමට ය. තවදුරටත් සාකච්ඡා මගෙහි ගියහොත් කොටි සංවිධානයේ ක්‍රියාකාරීත්වය “කාර්මික සාමයට” බරපතල ලෙස හානි කරන බව ඔවුන්ට දැනෙන්නට ඇත. ඒ නිසා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විටෙන් විට මැදිහත්ව පූර්ව පියවරයන් ගත යුතු බව එක්සත් ජනපදය නොවලහා කීය. ත්‍රිකුණාමලය ආශ්‍රිත ප්‍රදේශය සම්බන්ධයෙන් ආරක්ෂක පියවර ගත යුතු බව එක්සත් ජනපදය ශ්‍රී ලංකා රජයට යෝජනා කරන්නේ 2002 තරම් ඈතක දී ය.

එහි කූට ප්‍රාප්තිය වන්නේ 2007 මාර්තු 05 වැනි දින පවරා ගැනීමේ හා සේවා හුවමාරු ගිවිසුම එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සමග අත්සන් කිරීමයි. කැබිනට් මණ්ඩලයට හෝ නොදන්වා එවකට ආරක්ෂක ලේකම් ගෝටාබය රාජපක්ෂ අත්සන් කළ එම ගිවිසුම මගින් ශක්තිමත් ආරක්ෂක බැදීමක් එක්සත් ජනපදය සමග ඇති කර ගන්නා ලදි. රාජපක්ෂගේ සමීප සගයකු වන වාසුදේව නානායක්කාර පසුව පැවසූ පරිදි ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් මේ ගැන විමසූ විට ජනාධිපතිවරයා පවසා ඇත්තේ “ඒක ගණන් ගන්න එපා. ඇමෙරිකන්කාරයො දෙන්නෙක්නෙ අත්සන් කරල තියෙන්නෙ” යන්නයි. ඒ අනුව ඉතා තීරණාත්මක ආරක්ෂක ගිවිසුමක් මහින්ද රාජපක්ෂට ඉතා සරළ ක්‍රියාවක් බවට දක්නට ලැබී තිබේ.

භූ දේශපාලන කටයුතු වල දී එක්සත් ජනපදය ඉන්දියාවේ කැමැත්තෙන් බාහිරව දකුණු ආසියාවේ කටයුතු වලට අත පොවන්නේ නැත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එකසත් ජනපදයේ සියළු මැදිහත්වීම් සිදු කරන්නේ ඉන්දීය රජයේ පූර්ව නිර්දේශය සමගිනි. යුද සමයේ ආයුධ ප්‍රවාහනය කළ කොටි සංවිධානයේ නෞකා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විනාශ කළේ එක්සත් ජනපදය විසින් අදාළ ඔත්තුව ඝෘජුවම ඉන්දීය රජයට ලබාදීමෙන් පසුව ඉන්දීය නාවික හමුදාවේ සහාය ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා දෙමිනි. භූ දේශපලානය තුල බලවත් රටවල් හැසිරෙන්නේ එලෙස ය. එනිසා එක්සත් ජනපද අවශ්‍යතා ඉන්දීය අවශ්‍යතා ඉක්මවා යන්නක් නොවේ.

කොටි සංවිධානය මිලිටරිමය ලෙස අවලංගු කිරීමට එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර විසින් ගත් තීන්දුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූයේ ද ඉන්දියාවේ දැනුවත්භාවය මතය. ඉන්දියාවේ භූ දේශපලාන අවශ්‍යතාවන්ගෙන් ඔබ්බට කිසිවක් සිදු නොවීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙය මගේ යුද්දයක් නොවෙයි ඉන්දියාවේ යුද්දයක් යැයි කියන්නේ ද එබැවිනි. ඇත්තටම එය ඉන්දියාවේ යුද්දයක් ද නොවීය. එය ඇමෙරිකන් එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල යුද්දයකි. ගෝලීය ප්‍රාග්ධනයේ යුද්දයකි.

එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ලෝක පරිමාණව තිබූ ත්‍රස්තවාදී ව්‍යාපාරයන් අවලංගු කර දැමීම ප්‍රාග්ධනයේ නිදහස් සංචලනයට අවශ්‍ය විය. එනිසා ලෝක පරිමාණයේ ත්‍රස්තවාදී සංවිධාන යැයි එක්සත් ජනපදය හදුනා ගත් සංවිධාන විනාශ කිරීම ඇරඹුණි. කොටි සංවිධානය විනාශ කිරීම ද එක්සත් ජනපද න්‍යාය පත්‍රයට ආවේ එලෙසිනි. ඒ සදහා ශ්‍රී ලංකාවේ නියෝජිතයා ලෙස එක්සත් ජනපදය තෝරා ගත්තේ මහින්ද රාජපක්ෂයි. එය ඉන්දියාවේ පූර්ණ එකගතාව මත් සිදු විය. ඒ අර්ථයෙන් කොටි සංවිධානය විනාශ කිරීමේ යුද්දයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂත් පවසන පරිදි ඉන්දියාවත් ඇමෙරිකා එක්සත් ජනපදයත් පූර්ණ සහාය ලබාදුනි.

නමුත් රාජපක්ෂ රෙජීමයට අවශ්‍ය වූයේ එය තමාගේ යුද්දයක් කර ගැනීමට ය. ගෝලීය භූ දේශපාලනයේ එකගතාව නොමැතිව එවැනි විශාල යුද්දයක් කරන්නට තරම් කුඩා රටකට හයියක් නොමැති බව ශ්‍රී ලංකාවේ තක්කඩි බුද්ධිමතුන් දැන සිටියත් මුනිවත් රැක්කේ රාජපක්ෂගේ හිත හොද දිනා ගැනීමට ය. ලාංකික සමාජයේ ගැලරියට බොරුවෙන් හා මුලාවෙන් අමතා බලය රැක ගැනීම රාජපක්ෂගේ උපාය විය. එහෙත් ඊට වැඩි ආයුෂ නොමැති වූයේ භූ දේශපාලන අවශ්‍යතා ඉක්මවා යෑමට රාජපක්ෂට හදිසියක් තිබූ බැවිනි. යුද්දය මෙන්ම යුද්දයේ අවසානයත් ඉන්පසුව මානුෂීය පදනමින් කටයුතු කිරීමත් සම්බන්ධයෙන් ගෝලීය ප්‍රාග්ධනයට න්‍යාය පත්‍රයක් තිබුණි. යුද්දයට පමණක් ඊට එකගව ඉන් පසුව හිතූමනාපයට උද්දච්ඡ ස්වරයෙන් කටයුතු කරන්නට ගිය රාජපක්ෂලාට දඩුවම් ලැබුණි. දැන් නැවතත් පව් සමා කරගන්නට අවශ්‍යව ඇත්තේ බලය සදහාය.

පවතින ආණ්ඩුව පරාජය කර අලුත් ආණ්ඩුවක් සාදා තමන්ට එල්ල වී ඇති චෝදනා වලින් ගැලවීම රාජපක්ෂලාගේ උපක්‍රමික අවශ්‍යතාවයි. ඒ සදහා ජාත්‍යන්තරය දිනා ගැනීම ඔවුන්ගේ අරමුණයි. බලය සදහා බටහිර අවශ්‍යතාවන්ට එකග වන්නට පසුබට නොවන බව ඔවුන් ඔප්පු කළේ 2005 දී ය. නැවතත් බලය සදහා බටහිර අවශ්‍යතා තෘප්ත කරන්නට ඔවුන් තුළ කිසිම පිළිකුලක් නොපවතී.

යුද්දය සම්බන්ධයෙන් වූ සමාජ පරිකල්පිතයට එරෙහිව මෙන්න මේ ගෝලීය ව්‍යුහය තුළින් විග්‍රහ කළ විට රාජපක්ෂ පාලනය යනු එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ඈලියේ ගෝලීය ධනේශ්වය අවශ්‍යතා ඉෂ්ඨ කළ පාලනයක් බව පැහැදිලි වේ. ඒ අනුව අනුකම්පා විරහිතව කොටි සංවිධානය සමූල ඝාතනය කිරීම රාජපක්ෂවරුන්ගේ දේශපාලන අවශ්‍යතාවක් යැයි විග්‍රහ කරන ජාතිකවාදී සමාජ පරිකල්පනය අමූලික බොරුවකි. ඒ අනුව ගෝටා විග්‍රහ කිරීමට ඔහු උපන් ගෙයි ජාතිවාදියෙක්, ෆැසිස්ට්වාදියෙක් යන්න යොදා ගැනීම නොමේරූ ප්‍රවේශයකි. ගෝටාභය රාජපක්ෂ යනු (රාජපක්ෂ රෙජීමය මෙන්ම) එක්සත් ජනපදය මෙන්ම බටහිර ඈලියේ ගෝලීය ප්‍රාග්ධන අවශ්‍යතා අනුව නැටවුන චරිතයකි. ඒ අනුව ගෝටා හැසිරෙන්නේ ජාතිකවාදී අවශ්‍යතා මත නොවන බව ද කිව යුතුය.

ගෝලීය ප්‍රාග්ධන අවශ්‍යතාව මත වරක් ජාතිවාදියකු, ෆැසිස්ට්වාදියකු, ඒකාධිපතියකු හෝ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වූවකු ලෙස හැසිරුණ ගෝටා ඊළග නිමේෂයේ දී වෙනස් ආඛ්‍යානයකින් හැසිරිය හැකිය. ඒ ආඛ්‍යායනය තීරණය වන්නේ ගෝලීය ප්‍රාග්ධන අභිලාශයන් සාර්ථක කරවා ගැනීමට සුදුසු වන හා අවශ්‍ය වන දේශපාලනය මත ය. 2020 ජනාධිපතිවරණයේ දී සමහරවිට ඒ සදහා “ප්‍රජාතන්ත්‍රවාදී” රනිල් වික්‍රමසිංහ තෝරා ගැනීමට ඉඩ ඇත. සමහර විට ඒ සදහා ” ෆැසිස්ට්වාදී” ගෝටාභය රාජපක්ෂ තෝරා ගැනීමට ඉඩ ඇත. ඊටත් වෙනස්ව සමහර විට ඒ සදහා “ෆැසිස්ට්වාදී ගෝටාභය රාජපක්ෂ” “ප්‍රජාතාන්ත්‍රවාදී ගෝටාභය රාජපක්ෂ ” කෙනෙකු බවට රූපාන්තරණය කෙරෙණු ඇත.

2020 දී ජය ගන්නා ජනාධිපතිවරණ අපේක්ෂකයා කව්දැයි ගෝලීය ධනේශ්වරය විසින් තීන්දු කිරීමේ දී යහපාලන ආණ්ඩුවේ දේශපාලන අභිලාශයන් සාර්ථකවීම හෝ අසාර්ථකවීම ද සාධකයක් වන බව නොඅනුමානය.

Shan.info19782gmail.com

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.