27 April, 2024

Blog

රාජපක්ෂ දේශපාලනයේ විදේශ ප්‍රතිපත්තිය හා චණ්ඩි මල්ලි සැමරුම

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

කේ.ජී.පිලිප් ශාන්ත

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උගන්ඩා සංචාරය බොහෝදෙනාගේ කතාබහට ලක්වූවකි. ඒ සම්බන්ධ විවිධ විවේචන එල්ල වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ආණ්ඩු පාක්ෂික ඇමතිවරුන් ද ඊට විවේචන එල්ල කරන ලදි. තම පක්ෂයේම දේශපාලකයන් රාජපක්ෂගේ උගන්ඩා සංචාරයට විරුද්ධව කතා කරන අන්දම සම්බන්ධයෙන් විස්සෝප වූ එක්සත් ජනතා නිදහස් සංධානයේ විමතික කණ්ඩායමේ ප්‍රබලයකු වන ඩලස් අලහප්පෙරුම ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කතා කර තිබුණි. ඔහුගේ අදහස වී තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ විදේශ ප්‍රතිපත්තිය සුදු හම මත තීරණය වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදේශ ප්‍රතිපත්තිය කළුහම මත ද තීරණය බව බවකි. එමගින් අලහප්පෙරුම මන්ත්‍රීවරයා නොකියා කියන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු බටහිර රටවලට ගැති වූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු එසේ ගැති නොවී නොබෙදුනු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවත් විය හැකිය. ඒ අන්දමින් ඔහු උත්සාහ කළේ හිටපු ජනාධිපතිවරයාගේ උගන්ඩා මිත්‍රත්වයට නොබෙදුනු විදේශ ප්‍රතිපත්තියක පරමාදර්ශය ඌනනය කරන්නට ය.

එජාප/ ශ්‍රීලනිප විදේශ ප්‍රතිපත්ති

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු බොහෝවිට බටහිර සමග සබදතා දැඩිව පැවැත්වූ බවත් ඒ අනුව බටහිරට සමීප විදේශ ප්‍රතිපත්තියක් දැරූ බවත් ඇත්ත ය. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු කිසිම රටකට පාර්ශ්වික නොවූ නොබෙදුනු විදේශ ප්‍රතිපත්තියක සිටි බව ද ඇත්ත ය. එකතරා ලෝක දේශපාලන ආකෘතියක් තුළ මේ පක්ෂ දෙකම තමන්ට ආවේනික වූ ප්‍රතිපත්තියක පිහිටමින් තම විදේශ ප්‍රතිපත්තිය සකස් කර ගත්හ. ඒවා මතුපිටින් පෙනෙන අන්දමින් එක්කෝ ගැතිය. එහෙමත් නැත්නම් අදීනය. එහෙත් සමස්තයක් ලෙස ගත්විට ලෝක බල දේශපාලන රටාවෙන් එපිටට නොගිය එකකි. එහෙත් බොහෝ අවස්ථාවන්හි ආදර්ශමත් අන්දමින් තම දේශපාලන පෞර්ෂය රැක ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණි. දෙවැනි ලෝක යුද්දය සම්බන්ධයෙන් ජපානයේ භූමිකාවට අදාළව ජේ ආර් ජයවර්ධනගේ අදහස ජාත්‍යන්තර දේශපාලනයේ දී කාලයක් කැපී පෙනුනි. එසේම සිරිමා බණ්ඩාරනායක ශීනය, ඉන්දියාව හා චෙකොස්ලෝවැකියාව සමග පැවැත්වූ ආදර්ශමත් විදේශ සබදතා කැපී පෙනුනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ දී ලක්ෂ්මන් කදිරගාමර් අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තිය හා ඊට ආවේනික පෞර්ෂය කැපී පෙනුනි.

Chandi Malli Mahinda Rඑහෙත් ජාතික රාජ්‍යයේ දේශපාලනික වටිනාකම ක්‍රමයෙන් අහෝසිවෙමින් ප්‍රාග්ධනය ගෝලීයව ව්‍යාප්තවීම ආරම්භ වූ හැත්තාව දශකයේ අවසන් කාලයේ දී කුඩා රටවල විදේශ ප්‍රතිපත්තීන්ට එල්ල වූයේ දැඩි අභියෝගයකි. ඒ තත්ත්වය වඩාත්ම උග්‍ර වූයේ අනූව දශකය ආරම්භයේ දී සෝවියට් දේශය බිදවැටීමෙනි. ලෝක දේශපාලන බලතුලනය වෙනස් වී එක්සත් ජනපද දේශපාලන ව්‍යාපෘතිය අධිකාරී ලත් දේශපාලනය ලෙස ලෝකය පුරා ව්‍යාප්ත වෙන විට හා පසු කාලීනව ප්‍රාදේශීයව ප්‍රබල රටවල් කේන්ද්‍ර කර ගනිමින් ආර්ථික කලාප ඇතිවෙන විට “ගැති විදේශ ප්‍රතිපත්තිය” මෙන්ම ” නොබෙදුනු විදේශ ප්‍රතිපත්තිය” ද අවලංගු වීම ආරම්භ වුණි. ඒ නිසා රට රටවල විදේශ ප්‍රතිපත්තියේ පදනම වූයේ පරමාදර්ශය නොව උපයෝගීතාවයි. ඊට අනුරූපව තම විදේශ ප්‍රතිපත්තියේ හැඩතල වෙනස් කර ගැනීමට අපොහොසත් වූ බොහෝ රටවල් ලෝක සිතියමෙන් මැකී ගියේත් දුර්වර්ණ වූයේත් කනගාටුදායක ලෙසය.

චීනය, රුසියාව හා ඉන්දියාව වැනි ප්‍රබල රටවල් පවා උපයෝගිතාව මත තම විදේශ ප්‍රතිපත්තිය තීරණය කර ගනිද්දී ශ්‍රී ලංකාව වැනි කුඩා රටක් තවදුරටත් නොබෙදුනු විදේශ ප්‍රතිපත්තියක සිටිනවා යැයි යමෙක් කියන්නේ නම් එය දේශපාලන තක්කඩිකමකි. ඒ නිසා නිවැරදි විදේශ ප්‍රතිපත්තියක දේශපාලනය තීරණය වන්නේ “සුදු හම” හෝ “කළුහම” හෝ මතය යන්න අවලංගු තර්කයකි.

රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියේ විදේශ ප්‍රතිපත්තිය

රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියට රාජ්‍ය බලය හිමිව තිබූ දශකයකට ආසන්න කාල රාමුව තුළ ලෝක දේශපාලනයේ මේ මූලික රාමුවෙන් ඉවත්වීමට ශ්‍රී ලංකාවට ද අවශ්‍ය නොවුණි. ඒ නිසා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය හා යුරෝපා සංගමය වැනි රාජ්‍යයන් සමග සමීපව සබදතා පවත්වන ලදි. විශේෂයෙන් රාජපක්ෂගේ විශාලම දේශපාලන ව්‍යාපෘතිය වූ යුද්දය පවත්වාගෙන යෑමට බටහිර රටවලින් ලැබුණේ අපමණ සහායකි. රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය තම පැවැත්ම සදහා පසුව කුමක් කීව ද බටහිර රටවල් සමග පැවැත්වූ ඒ සමීප සබදතාව මොනවට තහවුරු වන ප්‍රකාශයක් එවකට ආරක්ෂක ලේකම් වූ ගෝටාභය රාජපක්ෂ “ඩේලි මිරර්” පත්‍රයට පවසා තිබුණි.

“අපට වඩාත්ම තීරණාත්මක වන්නේ ඉන්දියාවයි. ඉන්දියාව 100%ක්ම ඉන්නේ අප සමගයි. …. ඊළගට එක්සත් ජනපදයත්, එක්සත් රාජධානියත්, යුරෝපා සංගමයත් අප සමග ඉන්නවා. මේ සෑම රටක්ම ත්‍රස්තවාදීන්ට එරෙහිව නීතිමය පියවර ගනිමින් සහ අරමුදල් රැස් කිරීම් වලට තිත තබමිනුයි ඉන්නේ”

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක ලේකම් වූ ගෝටාභය රාජපක්ෂ 2008.09.19 ඩේලිමිරර්

යුද්දය නිමවීමෙන් පසුව රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියේ ශක්තියට මහජන චීනය පැමිණීමත් සමග රාජපක්ෂවරුන් බටහිර සමග යම් යම් ගැටුම් ඇති කර නොගත්තා නොවේ. තම පැවැත්ම සදහා මහජන චීනය සිටිනවා යන අධි තක්සේරුව රාජපක්ෂවරුන්ගේ අධිමානය වන විට ලෝක දේශපාලන බල රටාවට එරෙහිව යෑමට ඔවුන්ට අවශ්‍ය වුණි. එම පෙළඹුම වඩා ශක්තිමත් කළේ යුද්දයේ අවසන් කාලයේ දී වූ මානව හිමිකම් කඩ කිරීම් ගැන බටහිර ප්‍රජාව උනන්දුවීමට සමාන්තරව ය. ඒ සමග රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය ආර්ථික ශක්තිය මහජන චීනයෙන් ලබා ගනිමින් දේශපාලන ශක්තිය ලෝකයෙන් කොන්වූ රටවලින් ලබා ගැනීමට පෙළඹුණි.

ඒ අනුව රාජපක්ෂවරුන් අපූරු මිත්‍රයන් හඹා යෑමට පසුබට නොවුණි. ලිබියාව, මියන්මාරය, උගන්ඩාව, සිම්බාබ්වේ, ඉරානය, ස්වාසිලන්තය වැනි දේශපාලනයේ අපුල දනවන ඉතිහාසයක් හිමි රටවල් රාජපක්ෂවරුන්ගේ මිතුරන් වුණි. ඔවුන් ලෝක දේශපාලනය තුළ කොන් වී තිබුනේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම අහෝසි කර ගනිමින් තම පෞද්ගලික ස්වාර්ථය පතා ලෝක ප්‍රජාව සමග ගැටුම් ඇති කරගෙන තිබූ නිසාය. එසේ නොමැතිව ලෝක සමාජ සාධාරණය වෙනුවෙන් පෙනී සිටීම නිසා විමුක්තිකාමී ඉතිහාසයක් ඇතිව ප්‍රබල රටවලින් ඈත් වූ නිසා නොවේ. අවාසනාවකට රාජපක්ෂවරුන් තම පැවැත්ම සදහා රිංගා ගත්තේ ද එවැනි ලෝකයෙන් කොන්වූ රටවලට ය. “කළු හම ” පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදේශ ප්‍රතිපත්තිය පවත්වාගෙන ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම විළි ලැජ්ජාවකින් තොරව කියන්නේ ලෝකයෙන් කොන් වූ රටවල් සමග රාජපක්ෂවරුන් පැවැත්වූ කුප්‍රකට සබදතා සාධාරණීකරණය කිරීමට ය.

කුප්‍රකට මිත්‍රයන්ගේ ප්‍රකට දේශපාලනය

එක්සත් ජනපදය සමග ගැටුම් ඇති කර ගන්නා සෑම රාජ්‍යයක්ම ප්‍රගතිශීලී යැයි මතයක් ඇති කළේ රාජපක්ෂවරුන්ම ය. ඇත්තටම එක්සත් ජනපදය සමග ගැටුම් ඇති කර ගත් බොහෝ රටවල් ඒ ගැටුම් වලට පදනම කර ගත්තේ ප්‍රාග්ධනය ගෝලීයව හසුරවමින් බල දේශපාලන ආධිපත්‍ය පවත්වාගෙන යන එක්සත් ජනපදයේ දේශපාලන ක්‍රියාකාරීත්වට එරෙහිව නොවේ. ඒ ගැටුම් අනිවාර්යෙන්ම ඇති වූයේ තම දේශපාලනයේ ආධිපත්‍යවාදී ඒකාධිපති ස්වරූපය රැක ගන්නට එක්සත් ජනපදයේ සහයෝගය කුමන කරුණක් නිසා හෝ නොලැබුන බැවිනි. ඒකාධිපති පාලනයක් ගෙනගිය මියන්මාරයේ හමුදා ජුන්ටාව හොදම සාක්ෂියකි. මහජන ඡන්දයෙන් බලයට ආ අවුන් සාන් සුකීට පාලනය භාර නොදී හමුදා ජුන්ටාව දිගටම රට පාලනය කළේ ය. මහජන චීනය අවස්ථාවාදීව මියන්මාර පාලනයට තම සහාය දුන් නිසා මියන්මාරය තම ඒකාධිපති පාලනය ගෙන ගියේ ය. එක්සත් ජනපදය මොන අර්ථයකින් හෝ හමුදා ජුන්ටාවේ පාලනයට එකග නොවීය. එහෙත් මියන්මාර හමුදා ජුන්ටාව යනු ප්‍රජාතන්ත්‍රවාදයට හිස නොනැමූ ඒකාධිපතියකු බව ලෝකයම දැන සිටියහ. නමුත් රාජපක්ෂවරුන් කළේ ඒ හමුදා ජුන්ටාවේ නායකයා ශ්‍රී ලංකාවට ගෙනවිත් රතු පළස් මතින් පිළිගැනීමයි. අවසානයේ ලෝක දේශපාලන පීඩනය මැද අභ්‍යන්තර දේශපාලන ප්‍රතිසංස්කරණයන්ට එකගවීමට මියන්මාරයට ද සිදුවුණි. එතෙක් තම ආරක්ෂකයා වූ මහජන චීනයට ද ලෝක දේශපාලන හැඩතලයන්ට ගරු කිරීමට සිදුවුණි.

රාජපක්ෂ දේශපාලනයේ විදේශ ප්‍රතිපත්තියේ අන්ධබව.

රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය තම විදේශ මිතුරන් තෝරා ගත්තේ එවැනි නින්දා සහගත අන්දමිනි. ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ සාරධර්මයන්ට ගරු නොකරන නිසා ලෝකයෙන් කොන්වූවන් රාජපක්ෂ දේශපාලනයේ මිතුරන්වීම නිසා අපහසුතාවට පත්වූයේ සමස්ත ශ්‍රී ලංකාවමය. ඩලස් අලහප්පෙරුම කියන පරිදි කළු හම ඇත්තවුන් ද මිතුරන් ලෙස සැලකීමට රාජපක්ෂවරුන්ට අවශ්‍ය වූවා නම් දකුණු අප්‍රිකාව නොසලකා හැරීමේ මන්දැයි සලකා බැලිය යුතුය. නෙල්සන් මැන්ඩේලාගේ ප්‍රශස්ත විමුක්ති සටනකින් පසුව නිදහස ලත් දකුණු අප්‍රිකාවේ දේශපාලන සටන් ඉතිහාසය ආඩම්බරයට හේතුවන්නකි. එසේම පරමාදර්ශී දේශපාලනයකින් යුත් පාලන ක්‍රමයකි. ඔවුන් සමාජ ව්‍යුහයන් දෙස බලන්නේ නව අරුතකිනි. එහෙත් දනුණු අප්‍රිකාව තම මිතුරකු කර ගැනීමට රාජපක්ෂවරුන්ට අවශ්‍ය නොවීය.

බලය අහිමිව තිබිය දී ත් උගන්ඩාවට ගොස් තම මිතුරාට ශක්තියක්වීමට රාජපක්ෂට අවශ්‍ය වූයේ තම දේශපාලන සංස්කෘතික පදනම ගොඩනැංවී ඇත්තේ ඒකාධිපති, ප්‍රජාතන්ත්‍ර විරෝධී හා මානව අයිතීන් නොසලකා හරින ප්‍රතිපත්තියක මූලික රාමුව තුළ බැවිනි. රාජපක්ෂවරුන් බලය තිබිය දී මෙන්ම බලය නොමැති විටදී ද ඒ මූලික රාමුවෙන් පිට නොපනී. එය ඔවුන්ගේ දේශපාලන සංස්කෘතියේ පදනමයි.

එම්.කේ. රංජිත් නොහොත් චණ්ඩි මල්ලි දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකි. ඉතා අප්‍රසන්න හා නින්දා සහගත දේශපාලනයකට උරුමකම් කියූ චණ්ඩි මල්ලි මහින්ද රාජපක්ෂගේ අතිජාත මිත්‍රයෙකි. රාජපක්ෂ දේශපාලනය වටා මැරයන් රදවා තබා ගැනීම සම්බන්ධීකරණය කළේ චණ්ඩි මල්ලිය. ඒ චණ්ඩි මල්ලි ඇමතිකකම දරද්දීම රහස් පොලීසියට ප්‍රකාශයක් ලබාදීමට යමින් සිටිය දී ඒ අසල දී වෙඩි වරුසාවකින් ඝාතනයට ලක්වුණි. මැදමුලනේ දේශපාලනය දන්නා කිසිවකුට චණ්ඩි මල්ලි අමුත්තෙක් නොවේ. ඒ තරමට ඔහුගේ දේශපාලනය ලියවී තිබුනේ බලහත්කාරය, ප්‍රචණ්ඩත්වය හා අවනීතිය සමගිනි.

එහෙව් ඉතිහාසයක් ඇති චණ්ඩි මල්ලිගේ පිළිරුවක් ඉදිකර එය මහින්ද රාජපක්ෂ අතින් විවෘතවීම රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය විනිවිද යන සිද්ධියකි. මෑතක දී උගන්ඩාවට ගොස් ජාත්‍යන්තර තලයේ ඒකාධිපතියකු හා මිත්‍රත්වය ශක්තිමත් කර මහින්ද රාජපක්ෂ පසුගිය දා කුප්‍රකට චණ්ඩි මල්ලිගේ පිළිරුවක් තනා එය විවෘත කිරීම එකිනෙකින් වෙනස් දේශපාලන හැසිරීමක් නොවේ. එසේම එමගින් කියන්නේ රාජපක්ෂ දේශපාලනයේ සංස්කෘතික හැඩරුවයි. රාජපක්ෂට විදේශ රටවල සිටින මිතුරන් මෙන්ම දේශීයව සිටින මිතුරන් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහිත සමාජ සබදතා වලින් පරිපූර්ණ මිතුරන් නොවේ. ඔවුහු කුප්‍රකට ඒකාධිපතියෝ ය. මැර චණ්ඩියෝ ය. අශිෂ්ට සංස්කෘතික පදනමක් ඇත්තවුන්ය.

රාජපක්ෂ දේශපාලනය මෙතැනින් කොතැනටද?

ඩලස් අලහප්පෙරුමලා පරාජය වී අපහසුවෙන් ගත කරන මේ යුගයේ මහන්සි විය යුත්තේ රාජපක්ෂ දේශපාලනයේ ජුගුප්සාජනක ක්‍රියාකාරකම් වලට සළු පිළි පැළදවීමට නොවේ. ආලවට්ටම් දමමින් සාහිත්‍යමය වචන කියමින් කොතෙක් උත්සාහ ගත්ත ද ඩලස්ලා මහන්සි වෙන්නේ රටේ මහජනතාව විසින් දෙවරක් පරාජය කළ රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියේ කළුව රටට සැගවීමටයි.ඒ නිසා අපුලදනවන දුර්ගන්ධය සමාජයට මුදා හැරියත් ඒ නිසා සමාජය අගලකින් හෝ පවතින තැනින් ඉහළට ඔසොවා තැබීමට කිසිම දායකත්වයක් නොදරයි. එක්සත් ජනතා නිදහස් සංධානයේ විමතික කණ්ඩායමට හෘදය සාක්ෂියක් ඇත්නම් කළ යුත්තේ රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය පසු ඇගයුමකට ලක් කර එහි සදොස් තැන් නිවැරදි කර ගැනීමයි. එහෙත් දක්නට හා අසන්නට ලැබෙන කටයුතු වලින් නම් සිද්ද වෙන්නේ පැවැති රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය ඒ අන්දමින්ම නැවත ඔසොවා තැබීමට කටයුතු කිරීම පමණි. එය අගති සහගත ක්‍රියාවක් බව කිවයුතුය.

Shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Writers comments are absolutly correct. Mahinda sinc I knew the Rajapaksa family in 1965 kept associations with people labeled as IRC people. He used Chandigarh Mali to eliminate Wambotta and now constructing a statue for him.
    I think Mahinda is not aware that people in Hambantota District knows politics and the thugs better than him.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.