25 April, 2024

Blog

වැලිඅමුණ වාර්තාව මහින්දගේ මස්සිනා නිශාන්තට එරෙහි අපරාධ නඩු ගොනු කිරීමට යෝජනා කරයි

ඩොලර් බිලියන ගණනාවක් දක්වා දිවෙන අති දූෂිත ගනුදෙනු, නීති විරෝධී සේවා කොන්ත්‍රාත්තු, නුසුදුස්සන්ට ලබා දුන් තනතුරු සහ අන්තරාදායක ආරක්‍ෂක කඩතොළු පිළිබඳ විස්මිත තොරතුරු ගණනාවක්, ශ්‍රී ලංකන් ගුවන් සේවාව පිළිබදව සොයා බැලීමට පත් කළ දූෂණ විමර්ශණ මණ්ඩලය මගින් අනාවරණය කොට ඇත.

දූෂණ විරෝධී කටයුතු පිළිබදව පුරෝගාමියකුවූ නීතිඥ ජේ. සි. වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ කටයුතු නිරික්‍ෂණය කළ විද්වත් විමර්ෂණ මණ්ඩලය තම වාර්තාව පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දෙන ලදී.

Chairman Nishantha Wickremasinghe'එහි හිටපු සභාපති ජනාධිපති රාජපක්‍ෂගේ මස්සිනා වූ නිශාන්ත වික්‍රමසිංහ, තරුණ ගුවන් සේවිකාවන් කෙරෙහි දැක්වූ ලොල් බව නිසා, ණය බරින් පිරුණු ගුවන් සේවය තව තවත් ආගාධයට ගිය අයුරු එම වාර්තාවේ සවිස්තරාත්මකව සඳහන් ය.

වඩාත් ලාභදායි සහ කාර්යක්‍ෂම ගුවන් යානා තිබියදී, ඩොලර් බිලියන 2.3ක්වූ නවතම ගුවන් යානයක් ලබාගැනීමට මග පැදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව පරිපාලන අංශයේ වෙනස්කම් පවා සිදු කර ඇති අයුරු අනාවරණය කරගැනීමට වැළිඅමුණ විමර්ශන කමිටුවට හැකිවිය.

ගුවන් සේවාවට ගුවන් යානා ලබාගැනීමට ගෙනගිය වැඩ පිළිවෙල අතිශය දූෂිත ක්‍රියාදාමයක් බව පැහැදිලි වන හෙයින් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට විරුද්ධව අපරාධ චෝදනා ඉදිරිපත් කොට දඬුවම් ලබාදිය යුතුයයි වැලිඅමුණ වාර්තාව නිර්දේශ කර ඇත.

හිටපු සභාපති වික්‍රමසිංහගේ සුව පහසුව සඳහා සුඛෝපභෝගි ජව සම්පන්න මෝටර් රථයක් ගෙන්වීමට ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ එක්ව අසත්‍ය තොරතුරු සපයා ඇතැයි ද අනාවරණය විය. මේ සුපිරි වාහනය ගෙන්වා ඇත්තේ ඔහුට ලබා දී තිබු මර්සිඩිස්් බෙන්ස් රථයටත්, සුපිරි ප්‍රාඩෝ රථයටත් අමතරවය.

එසේ වුවද ගුවන් සේවාවට නව යානා ලබා ගැනීමේදී සිදු කර ඇති මගෝඩිය සහ අතරමගදි අත්හැර දමන ලද ගුවන් ටැක්සි සේවය ආරම්භ කිරීම වෙනුවෙන් කර ඇති මුල්‍ය සම්පත් විනාශය හා සමකරන විට මෝටර් රථ ගනුදෙනුව සුයුරකට වට දිය දෝතක් හා සමානය.

සභාපති වරයාගේ අකාර්යක්‍ෂම හා අසාර්ථක වැඩ පිළිවෙල හේතුවෙන් එවකටත් පණ අදිමින් තිබුණු ගුවන් සේවයට ඩොලර් මිලියන ගණනාක පාඩුවක් සිදු වී තිබේ.

ශ්‍රී ලංකන් පාලක මණ්ඩලය අතුරු පල විපාක හොදින් දැන දැනත් මිළදී ගැනීම්වලට උපදෙස් දීමට පත්කර තිබු පුද්ගලයන්ට සම්බන්ධ සමාගම් සමග ප්‍රෝඩාකාරි ගණුදෙනු කිරිමට පෙළඹිමෙන් සිදු කර ඇත්තේ විශාල ආර්ථික හානියකි.

එවකට ජනාධිපති ලේකම්වරයාවූ ලලිත් වීරතුංගගේ ඉල්ලීමක් උඩ එක් ගුවන් සේවිකාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය සඳහා අනුයුක්ත කර නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයාගේ දේශපාලන කටයුතු සඳහා යොදවා තිබේ.

ඇය විසින් මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉටුකළ සේවාවන් පිළිබඳව කිසිදු වාර්තාවක් නැත. එසේ වී තිබියදී ගුවන් යානාවක සේවය කළා සේ සළකමින් ඇයට කර ඇති අමතර විශේෂ ගෙවීම රුපියල් ලක්‍ෂ 42කට අධිකය.

වැඩිපුර ඇයට ගෙවා ඇති මුදල් සම්භාරය ආපසු අයකර ගැනීමටත් මහජන මුදල් අයථා ලෙස පරිහරණයට අනුබල දුන් නිලධාරින්ට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන ලෙසත් දූෂණ විමර්ශන මණ්ඩලය නිර්දේශ කර ඇත.

කිහිප වතාවක්ම ඇතුලූවීමේ විභාගවලින් අසමත් වූ ඇතැමුන්ට පාලනාධිකාරියේ කට වචනය උඩ පත්වීම් ලබා දී ඇති අයුරුත් මේ මණ්ඩලය හමුවේ අනාවරණය වී තිබේ.

සභාපති වික්‍රමසිංහ විසින් ඔහුගේ හිතවතියක් වූ ගුවන් සේවිකාවක් ෙශ්‍රී ලංකන් ගුවන් සේවා සන්නාම තානාපතිෙ ලෙස පත් කර ගෙන ඇති අතර, එවැනි තනතුරක් ගුවන් සේවා අනුමත කාර්ය මණ්ඩලයේ නොමැත. මෙම යුවල ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානාවලින් පමණක් නොව, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මුදලින් ලබා ගත් ගුවන් ප්‍රවේශ පත්‍ර උපයෝගී කර ගනිමින්, වෙනත් සමාගම් වලට අයත් ගුවන් යානාවලින් ද ලොව පුරා සවාරි ගොස් තිබේ.

ගුවන් සේවිකාවන් ගණනාවක් සමග සභාපතිවරයාගේ පවත්වාගෙන ගිය අයථා සබඳකම් නිසා, අනිසි ප්‍රයෝජන ගැනීම් හා දූෂිත කටයුතු අප්‍රමාණ ලෙස සිදුවී ඇති අතර, එමගින් ගුවන් සේවයේ හොඳ නම කැළැල් වී අධික මුල්‍යමය පාඩු ද සිදුව ඇති බව මණ්ඩලය හමුවේ අනාවරණය වී ඇත.

සමාගමට අනර්ථකාරි ලෙස සමාගමේ සභාපතිවරයා හැසිරෙන විට දීත්, ඒ පිළිබදව යම්කිසි විනය ක්‍රියාමාර්ගයක් ගත හැකි අන්දමේ කශේරුකාවක් ඇති අධ්‍යක්‍ෂ මණ්ඩලයක් හෝ ඉහල පෙළේ පාලන අධිකාරියක් සමාගම තුළ ක්‍රියාත්මක නොවීම නිසා සමාගමට බරපතල හානියක් සිදුව තිබේ.

ප්‍රධාන විධායක නිලධාරි ධූරය දැරූ කපිල චන්ද්‍රසේන එම තනතුරට කිසිසේත්ම සුදුස්සෙකු නොවූ අතර, අනෙකුත් දීමනාවලට අමතරව ඔහු ලක්‍ෂ පහලොවක වැටුපක් ලබා තිබීම ගැන විමර්ශන මණ්ඩලය විමතියට පත්විය. එසේම තවත් තනතුරු ගණනාවක් දරමින්, ඒ සඳහා ද ඔහු රජයෙන් වැටුප් ලබා ගෙන තිබේ.

මොබිටෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද, මිහින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද, නීති විරෝධී ලෙස අමතර වැටුප් ලබා ගෙන ඇති බව මණ්ඩලය හඳුනා ගෙන ඇත.

මේ නිසා, මණ්ඩලය නිරදේශ කර ඇත්තේ වික්‍රමසිංහ හා චන්ද්‍රසේන මෙන්ම මෙම දූෂිත කටයුතුවලට හවුල් වූ අනෙකුත් උසස් නිලධාරින්ට විරුද්ධව ද නීති මගින් කටයුතු කල යුතු බව ය.

යෝෂිත රාජපක්‍ෂ විසින් ශ්‍රී ලංකන් ගුවන් යානා පාවිච්චි කරමින්, නීති විරෝධී ලෙස මොටර් රථ අමතර කොටස් මෙරටට ගෙන්වීමේ ජාවාරමක් සිදු කරද්දී ලන්ඩන් නුවර ශ්‍රී ලංකන් කළමණාකරු ඊට එරෙහි වී ඇත. ඔහු වහාම මාරුකර යවන මෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කළ නියෝගය, කිසිදු සාධාරණ පදනමකින් තොරව ක්‍රියාත්මක කිරීමට ද පාලනාධිකාරිය කටයුතු කර තිබේ.

ඒ අතර, ප්‍රධාන ගුවන් නියමු ද්‍රෘවි පෙරේරා සහ කපිතාන් යු.ඒ.වී. පතිරණ යන දෙදෙනා අතින් සිදුවන්නට ගිය භයානක ගුවන් අනතුරු දෙකක් යට ගැසීමටත් ගුවන් සමාගම කටයුතු කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා මිනිස් ජවාරම් සිදු කළ බවට ද සැක පහළ වී ඇත. මිනිස් ජාවාරමේ යෙදුණු මාණ්ඩලික නිලධාරින් දෙදෙනෙකුට විරුද්ධව කිසිදු පියවරක් ගෙන නැති අතර, ඇතැම් ගුවන් සේවකයන් මිනිස් ජවාරම් කරුවන් සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ බවටද තොරතුරු ලැබෙමින් පවතී.

ගුවන් සේවා ආරක්‍ෂක කටයුතු පිළිබද කිසිදු අත්දැකීමක් නොමැති පී චන්ද්‍රවංශ නැමැති විශ්‍රාමික මේජර් ජනරාල් වරයෙකු රුපියල් හාර ලක්‍ෂ පනස්දාහක වැටුපකට ගුවන් සේවාවට බඳවා ගෙන තිබේ. කිසිදු විධිමත් පටිපාටියකින් තොරව පත්කළ මේ පුද්ගලයා සිදු කර ඇත්තේ, ශ්‍රී ලංකන් සමාගමෙන් විශාල වැටුප් ලබමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් දේශපාලන වැඩකටයුතුවල නිරත වීම ය.

මේ පුද්ගලයාගේ සේවය වහාම අත්හිටුවන ලෙස නිර්දේශ කරන විමර්ශන කමිටුව සමාගමේ නීති රීති උල්ලංඝනය කිරිම පිළිබදව විනය පරීක්‍ෂණයක් වහාම පැවැත්විය යුතු බවට යෝජනා කර ඇත. ගුවන් සේවා ආරක්‍ෂක අංශය දැවැන්ත ලෙස දේශපාලනීකරණයට ලක් කර ඇති බවටත් මණ්ඩලය අනතුරු හඟවා තිබේ.

ආධුනික ගුවන් නියමුවන් බඳවා ගනිද්දී ලකුණු මට්ටම පහළ දැමීමට ගත් තීරණයට විරෝධය පාමින්, තම තනතුරුවලින් ඉල්ලා අස්වූ පැට්රික් ප්‍රනාන්දු සහ රංගා අමදෝරු යන ජ්‍යේෂ්ඨ ගුවන් නියමුවන් දෙදෙනා විමර්ශන මණ්ඩලයේ පැසසුමට ලක්වී ඇත.

2013 වසරේදී ආධුනික නියමුවන් වශයෙන් නුසුදුස්සන් තෝරා ගැනීම වැළකි ගියේ ඔවුන් දෙදෙනා ගත් එඩිතර තීරණය හේතුවෙනි. සම්මත වෘත්තීමය ප්‍රමිතීන් ආරක්‍ෂා කිරිම සඳහා එවනි පියවරක් ගැනීම පිළිබඳව ඔවුන් දෙපළ සුවිශේෂී ප්‍රශංසාවකට ලක් කළ යුතු බව මණ්ඩලය යෝජනා කර තිබේ.

ටෙන්ඩර් ප්‍රදානය කිරිමේදි කටයුතු කර ඇති දූෂිත ආකාරය ලැයිස්තු ගත කර ඇති අතර, මත්පැන් සහ තීරු බදු රහිත භාණ්ඩ අලෙවියේදී සිදු කර ඇති වංචනික ක්‍රියා රැසක් ද මණ්ඩලය විසින් හෙළි කර ගෙන තිබේ. මේ පිළිබදව විධිමත් අපරාධ පරීක්‍ෂණයක් කළ යුතු බවට ඔවුන් නිර්දේශ කර ඇත. රටවල් ගණනාවක ප්‍රධාන අලෙවි නියෝජිතයන් පත්කරද්දී ක්‍රියා කර ඇති විෂමාචාර සහ යටිකුට්ටු වැඩ පිළිවෙල සම්බන්ධව ද විමර්ශන මණ්ඩලය චෝදනා කර තිබේ.

අ්‍රධාන අලෙවි නියෝජිතයන් පත් කරද්දි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග හා ඩිලාන් ආරියවංශ යන දෙදෙනාගේ මැදිහත්වීම ගැන අපරාධ පරීක්‍ෂණයක් ආරම්භ කළ යුතු යැයි ද, වැලිඅමුණ විමර්ශන මණ්ඩලය යෝජනා කරයි.

ශ්‍රී ලංකන් සමාගම ගෙන ගිය අවිධිමත් පාලන සංස්කෘතිය නිසා, බලය අනිසි ලෙස යොදා ගැනීමට පමණක් නොව, ව්‍යාපාර කටයුතු සඳහා බාහිර බලපෑම් හා ඇඟිලි ගැසීම් සිදු කිරීමටත් පසුබිම සැලසී ඇතැයිද, එය සමාගමේ විනාශයට හේතු වී ඇතැයි ද, විමර්ශන මණ්ඩලය අවධාරණය කර තිබේ.

*අග්‍රාමාත්‍ය කාර්යාලයේ විශේෂ නිවේදනය – 2015 අප්‍රේල් 05

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    2

    Boru nadagam

  • 1
    0

    තවත් එක් වාර්තාවක් පමණි. වහාම පෙට්ටියකට දමා අගුලු දමා. වාර්තාව හදපු කෙනාගේ ගාස්තුගෙවා අවසන් කරන්. කිසිදු දඩුවමක් සිදුවන්නේ නැත.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.