Colombo Telegraph

බයියන් සහ ටොයියන්

ප්‍රසාද් මොහොට්ටි

ප්‍රසාද් මොහොට්ටි

මෑත කාලයේ සමාජ භාවිතයට අලුතින් එකතු වු වචන දෙකක් වන බය්යන් සහ ටොයියන් යන වචන යුගලයේ මනෝ සමාජීය හැඟවුම්කරනය පිලිබඳ අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීම මෙම ලිපියෙන් උත්සාහ කරමි.

ටොයියන් සහ බයියන් යන වචන ද්විත්වය දේශපාලනික අර්ථකින් මුලින්ම සමාජ භාවිතයට ගෙන ආවේ x කන්ඩායමයි. අසූව දශකයේ අගභාගයෙදී උතුරේ සහ දකුනේ ඇතිවූ සමාජ ප්‍රචන්ඩත්වයෙන් සහ නය්‍යායාත්මක සොදාපාලුවෙන් පසු සම්ප්‍රදායික වම බෙලහීන වී මිය ගියෙය. x කන්ඩායම යනු එම හිස්තැන් පිරවීමට බිහිවු නාගරීක සහ අගනාගරීක තරුණයන්ගේ සංවිධානයක් විය. එතැන් සිට රටේ උත්තරීතර ආයතනය යයි කියන පර්ලිමේන්තුවේ ප්‍රධාන පුරවැසියා වූ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අයවැය කතාව දක්වා මෙම වචන දෙක භාවිතා විය. විධග්ද සමාජභාවිතයක් නොතිබුනද බයියා සහ ටොයියා යන වචන වෙබ් අඩවි සහ සමාජ ජාලා සන්නිවේදනයේ බහුලව යොදා ගැනුනි.

මෙය බය්යන් සහ ටොය්යන් යන වචනවල භාෂාමය විග්‍රහයක් නොව හුදෙක් එහි සමාජමය භාවිතය ගැන අදහස් කීපයකි.

භාෂාමය හෝ සමාජ විද්‍යත්මකව මෙතෙක් අර්ථදක්වා නොමැති ප්‍රපංචයක් ගැන සාකච්චා කිරීමේදී ඇතිවන ප්‍රායෝගික ගැටලුව මෙම ලිපිය තුල ඇති වීම නොවැලක්විය හැකි බව මතක් කිරීමින් ලිපිය ආරම්භ කිරීම සුදුසු යයි සිතමි.

බයියන් සහ ටොයියන්ගෙ පොදු ලක්ශන

බයියන් බොහෝ විට සිංහල බුද්ධාගම වන අතර ත්‍රීපිටකයට වඩා මහාවංශය විස්වාශ කර‍යි.ඔවුන් ලෝකය දකින්නේ තම වර්ගයා අතීතයේ හෝ වර්ථමානයේ ඉතා උසස් සම්භවයකින් පැවත එන්නන් ලෙසය.

සමස්තයක් වශයෙන් ගත් කල බයියන් ජාතිකත්වය මත පදනම් වූ මතවාදයකින් ලෝකය විග්‍රහ කරයි. රටේ දියුනුව සඳහා බටහිර දේශපාලනික සහ සමාජීය අදර්ශයන්ට වඩා ආසියාතික ආගම් සහ ජාතිකත් මත පදනම් වු පුද්ගල බද්ධ විධික්‍රමයක් යොජනා කරයි.

රටට බලපාන කාරනා වලදී බහුතරයක් වූ සිංහල ජනයාට හෝ ඔවුන්ගේ නියොජිතයන්ට තීරන ගැනීමේ ඇති පරම අයිතිය වෙනුවෙන් පෙනී සිටී.

ඔවුන් සමාජය වෙන්ස් කිරීමේ ප්‍රදාන සාදකය ලෙස නිශ්පාදන විදික්‍රමයට (mode of production )වඩා නායකත්වයේ පෞරුෂය මත රඳා පවතින මත රඳා පවතින දෙයක් බව සිතයි. පාලකයා සහ පාලිතයා අතර සමබන්දතාවය දරුවා සහ පියා අතර සම්බන්දතාවයක් ලෙස දකී.( parent and child relationship) .

සඟ, ගුරු, වෙද, ගොවි, කම්කරුවන්ගෙන් සමන්විත, පනස් හයේ දරුවන්ද, අසූව දශකයේ ජාතික චින්තන මතවාදීන්ගෙන්ද බයියන්ට මතවාදී නායකත්වය සපන බව දැකිය හැක. මෙම සමාජ මතවාදයේ නූතන ප්‍රකාශකයා මහින්දරාජපක්ෂයි යි. ජනප්‍රිය සන්නා නාමය (Brand Name ) අප්පච්චීය.

ටොයියන්ට ලෝකය යනු , අනුව ජාතිකත්වයට එහා යන සංකීර්න සහ උපක්‍රමශීලීව ජයගත යුතු අඩවියකි.

නායකයාගෙ පෞරුශයට වඩා ඉදිරිපත් කරන වැඩ පිලිවෙල ගැන උනන්දුවක් දක්වයි.

අතීත කාමයට වඩා අතීතය ගැන ස්වයංවිවේචනාත්මක නැඹුරුවකින් වර්ථමානය විග්‍රහ කරයි. මහජාතිය සහ සෙසු ජාතීන් අතර සංහිඳියාවක් බලාපොරුත්තු වේ.

පාලකයා සහ පාලිතයා අතර සම්බන්දය වැඩිහිටියන් දෙදෙනෙකු අතර සම්බන්දයක් ලෙස දකී.(adult and adult relationship).

ජනවාරි 8 දේදුනු විප්ලවයට සබුද්ධික කාර්ය්‍ය සාදනයක් සැපයූ, රනිල් වික්‍රමසිංහ, පුරවැසිබලය සහ රාජ්‍ය නොවෙන සංවිධාන ටොයියන්ගේ මතවාදය දෙශපාලන බලයක් බවට පත්කරන ලදී. මේ අන් කිසිවක් නොව කොම්ප්‍රදොරු ධනෙශ්වරයේ සහ මාර්ක්ස් වාදීන්ගේ නූතන දිගුවයි

බයියන් හෝ ටොයියන් වීම කිසි විටකත් අධ්‍යාපන මට්ටම හෝ බුද්ධි මට්ටම අනුව වෙනස් නොවේ.

ලෝකයේ නමගිය විශ්ව විද්‍යාල වල සෙවය කරන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ආචාර්ය, මහාචාර්ය වරු ඇතුලු බොහෝ වෘත්තීකයන් ලෝකය විග්‍රහ කරන ස්වභාවය මෙම දෙබෙදුම මත පිහිටනු දැකිය හැක. බයියන්ගේ මතවාදයේ වර්ථමාන පුද්ගල ප්‍රකාශකයා වන මහින්ද රාජපක්ෂ මෙහි ලිට්මස් පරීකෂාවයි. ඔබට බොහෝ විට දැකිය හැක්කේ මහින්ද රාජපක්ෂට දිවිහිමියෙන් ආදරය කරන අය සහ වෛර කරන අයයි. මෙම දෙක අතර මැදියන් ඇත්තේ ඉතා සුලුතරයකි.

ලාංකික සිංහල සමාජයේ එකිනෙකට ගැටුන සමාජ පන්තීන් දෙකක චලිතය හඳුනා ගැනීම මෙම ලිපියේ එක අරමුණකි.

එම ගැටුම නියෝජනය කරන පුද්ගලයන්ගෙ මනොසමාජීය හැසිරීම විග්‍රහ කිරීම අද දවසේ දෙශපාලනය තේරුම් ගැනීමට නව මානයක් සපයයි.

වැඩවසම් ගැමියාගේ දෘෂ්ටිය

ගෝත්‍රයක් යනු, එකම ගෝත්‍රික නාමයකින් එකට බැදුන පවුල් සංස්ථාවකි, ඔවුන් එකම ප්‍රදේෂයක ජීවත්වේ, තවද ඔවුන් එකම භාෂාවක් කථා කරයි. බොගාර්ඩස්ට අනුව් ගෝත්‍රික සමාජයක පදනම වන්නේ බිය මගින් ජනිත කරන්නාවු ආරක්ෂාව,ලේ නෑකම සහ එකම ආගම යන තුන් ආකාරයෙන් ගොත්‍රික බැමි තුනයි.

ගෝත්‍රීක සමජය, ඉතාමත් සරල,ඒකපාක්ෂික සහ ඒක්මිතික අතර, දැඩි අන්තර් පුද්ගල බැදීම්, විවිධත්වයට පත් නොවු සමාජමය ව්යුහකින් සමන්විත වේ. වනගත ගෝත්‍රික සමාජයන් ඒ ආකාරයෙන්ම අද දවසේ ඒ ආකාරයෙන්ම දැකිය හැකි නොවූවද, බොහෝ ආසියානු සහ අප්‍රිකානු රටවල මෙම සමාජ සම්භන්ධතා වල නෂ්ටාවෂේශ ක්‍රියාත්මක වන බව සමාජ විද්‍යාර්ථයින්ගේ මතයයි.

මෙම දෘෂ්ටිවාදයේ දෙවන මූලාරම්භය වැඩවසම් සමාජයයි. වැඩවසම් සමාජයක ප්‍රධාන ලක්ෂණය නම් ඉඩම් හිමි රදලයාට අනෙකුත් සියල්ලන්ම පාලනකිරීමට ඇති ආධිපත්‍යයි.

භූමිය, ලේ නෑකම සහ බිය ජනිත කිරීම ම්ගින් යටත් වැසියාට සපයන්නාවු ආරක්ශාව යන කාරනාවන් මහින්ද දෘෂ්ඨිවාදයේ මූලික හරයන්ය. මහින්ද දෘශ්ටිවාදයේ හරය ගැමි වැඩවසම් සහ ගෝත්‍රවාදයයි. බයියන් මගින් සමාජ ගත වන්නාවූ, මෙම කතිකාව අතීතයේ සිට පැවතුනු සිංහල ගැමි දෘෂ්ටිවාදයේ නූතන ප්‍රක්ෂේපනය ලෙස හදුනාගත හැක.

කොම්ප්‍රදෝරු ධනේශ්වරයේ දෘෂ්ටිය

අධිරාජ්‍යවාදීන් වැඩවසම් ලංකාව තුල සිය ආගම,නීතිය සහ සදාචාරයට අමතරව කොම්ප්‍රදෝරු ධනේශ්වර පන්තියක්ද නිර්මානය කරන ලදී. මෙම දේශීය ධනපති පන්තිය නිර්මානය වුයෙ අරක්කු රේන්දමගින් ධනය උපයා ගැනීමෙනි. මෙම නව ධනපතියන් බොහෝ දුරට බටහිර ආකල්ප හා ජීවන රටාවකට අනුගත වූ සිංහලයන් කොටසකි. වැඩවසම් ලංකාව තුල නවීනත්වයේ බීජ රෝපනය කලේ කොම්ප්‍රදෝරු ධනපති පන්තියයි. රෝම ලන්දේසි නීතිය සහ වික්ටොරියානු ආකල්ප වල ආභාශය ඔවුන්ට ලැබින.

බටහිරින් අපටලැබුනු තවත් දායාදයක් නම මාර්ක්ස් වාදය යි.පසුකාලීනව මර්ක්ස්වාදී අදහස් ධනපති සම්භවයක් ඇති උගතුන් විසින් සමාජයට කාන්දු කරන ලදී.

ටොයියන්ගේ මතවාදයේ මූලික හරයන්ගේ අතීතය සොයන විට අපට හමු වන්නේ බටහිර නැඹුරුවක් ඇති කොම්ප්‍රදෝරු ධනේශ්වරය සහ සම්ප්‍රදායික මාර්ක්ස් වාදීන්දීන්ගේ ආභාශයයි.

සිංහල බෞද්ධ ජාතිකත්වයේ නැගීම

මිනිසෙකුගේ පෞද්ගලික ජීවිතයේ චර්යාවක් හෝ මිනිස් සමූහයක සාමාජීය ක්‍රියාකාරකම විවිධ නිර්නායකයන් භාවිතා කරමින් විග්‍රහ කල හැක.

සිංහල ජාතික වාදීන් බොහෝ විට එම චරිත වල ඇති ජාතිකත්වයේ ප්‍රමානය මගින් එම අරගල වල පසුබෑම විග්‍රහ කලහ. එසේත් නැතහොත් විජාතික බලවේගවල කෘරත්වය මත පදනම් වෙමින් විග්‍රහ කලේය.

සම්ප්‍රදායික මාර්ක්ස් වාදීන් මෙය පන්ති අරගලයේ සවභාවය මත පිහිටා ,එම සමාජ ව්‍යපාර ධනේෂ්වර හෝ සුලු ධනෙෂ්වර පන්තියේ අර්බුධයක් ලෙස විග්‍රහ කලේය.

දෙමල ජාතිකවාදීන්ට පෙනෙන ආකාරය මෙම දෙකටම වඩා වෙනස් වේ. ඔවුන්ට අනුව මෙය සිංහල බෞද්ධ ස්වෝතමවාදයයි.

නමුත්, මෙම ලිපියේ සාකච්චාවට බඳුන් වන්නෙ හුදෙක් මනෝ සමාජීය අර්ථයෙන් මෙම සමාජ ව්ය්‍යාපාර වලට හේතු වූ චරිත තේරුම් ගැනීම මිස, ඉහතකී විග්‍රහයන් සනාත කිරීම හෝ විරුද්ධ වීම නොවේ.

මෙම ලිපියේ සිංහල බෞද්ධ නැගීම යනුවෙන් අදහස් කරන්නේ වසර සීයක පමන මෑත ඉතිහාසයේ සිංහල බෞද්ධ සමාජ දේශපාලන ව්‍යපරයන් තුලින් බහුතරයක් වූ පීඩීත සිංහල ජනයා සිය ඉරනම වෙනස් කිරීමට දරන ලද උත්සාහයයි.

දෙමල සමාජය තුලද මීට සමගාමීව ඇති වූ වෙනස්කම් වැදගත් මෙන්ම එකිනෙකට සම්බන්දය. නමුත් මෙම ලිපිය විෂේශයෙන්ම ලේඛකයාට සමීප සහ මූලාශ්‍ර සොයාගැනීමට හැකිවු සිංහල සමාජය ගැනයි.

ඉතිහාසය නිරීක්ෂනය කිරීමේදී මෙම මහඟු අවස්තාවන් වලට නායකත්වය සැපයූ අය මෙන්ම ඒවාට දායකත්වය සැපයු ජනයාගේ අභිලාෂයන් ඉටු නොවුන බව පැහදිලිය. එසේම එම අරගල සමහර විට නිමාවට පත් වුයේ එම නායකයන් එම බලවෙග වලම ගොදූරක් බවට පත්වීමෙනි.

විශේෂයෙන්ම අර්ථිකය සහ ජාතීන් අතර සමගිය ගොඩනැගීම සම්බන්දයෙන් මෙම නැගිටීම් වඩාත් අවාසිදායක ආකාරයට බලපා ඇති බව නිදහස ලැබී වසර හැටකට පසුව හැරීබලන විට පෙනී යයි.

අනගාරික ධර්මපාල

අනගාරික ධර්මපාල දකුනේ මුදලි වරයෙකුගේ පුත්‍රයෙක් ලෙස ඉපදි කොලඹ සාන්ත තෝමස් සහ රාජකීය විද්‍යාල වලින් බටහිර අධ්‍යාපනය ලැබූ විදිවතෙකි.

අගනුවර පිහිටිප්‍රකට දොන් කරෝලිස් ලීබඩු වියාපාරය හිමිකරුවෝ ඔහුගේ මව් පාර්ශවයයි. ඪේවිඩ් හේවාවිතාරන චතුර ඉංග්‍රීසි කථිකයකු මෙන්ම නිර්මානශීලී ව්‍යවසායක මනසක් සහ දූර දක්නා නුවන්කින් යුතු පුද්ගලයෙකු බව ඉතා ප්‍රකට කාරනයකි. අනගාරික ධර්මපාල තුමා සිය ආගමික දේශපාලන කටයුතු වලදි බොහෝ විට බටහිරට නැඹුරු අනාගතයක් ගැන සිහින මැවීය. ඔහුගේ සමාජ අරගල වලට දායක වූයේ ඕල්කට්තුමා,බ්ලැවට්ස්කි මැතිනිය වැනි බටහිර උගතුන් මිස සිංහල ගැමියන් නොවේ.

අනගාරික ධර්මපාල තුමාගේ අරගලනිමා වුයේ ඔහු බලාපොරුත්තු වු සමාජ වෙන්ස්කම් සාක්ෂාත් කරගැනීමෙන් නොවේ. අවසානයේ ඔහු සිංහලයන් ගැන කලකිරී විසිපස් සැරයක් හෝ ඉන්දියාවේම ඉපදේවා යයි ප්‍රාර්ථනා කල බව සඳහන් වේ.

මෙයට හේතුව කුමක්ද? වැඩවසම් සිංහල ජනයාගේ ආකල්ප සහ අපේක්ෂාවන්, නූතනවාදී අනගාරික ධර්මපාලගේ මතවාදය සමග බද්ධවීමට නොහැකිවීමයි. අනගරික ධර්මපාල තුමාට ලංකාවේ ගාන්ධි වීමට නොහැකි විමට මෙයත් එක හේතුවක් විය.

බයියන් සහ ටොයියන්ගේ සීයලාගේ අරගලය නිමාවුයේ එසේය.

සිංහල ගැමි ජනයාගේ මෙම දේෂපාලන අභිලාශයන් සහ සමාජ අපේක්ෂාවන් එම සමාජ ව්‍යපාරයට දායකත්වය සැපයු “බුද්ධි මතාට” කලමනාකරනය කරීමට නොහැකි වුයේ ඇයි?

අද දවසේද, අප හමුවේ ඇති ප්‍රධාන ප්‍රශ්නය මෙම ප්‍රතිවිරුද්ද සමාජ බලවේග දෙක කලමනාකරනය කරන්නේ කෙසේද යන්නයි.

බන්ඩාරනායක යුගය

ඇන්ග්ලිකානු කතෝලික භක්තිකයවු මහමුදලි සොලමන් ඩයස් බන්ඩාරනායක තම පුත්‍රයාට යෝජනා කල නම සිය ස්වාමියාවු වෙස්ට් රිජ්වේ ආන්ඩුකාරයාගෙ නමයි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යලයේ නීතිය හදාරා ලංකාවට පැමිනි සොලොමන් වෙස්ට් රිජිවේ ඩයස් බන්ඩාරනායකට තමා අයත් වන, තමාගේ සිතැඟි අදුනන කොම්ප්‍රදොරු ධනෙශ්වර පනිත්යේ පක්ෂ්ය වන එක්සත් ජාතික පක්ෂය තුල ඇතිවු සිත් තැවුල නිසා නව පක්ෂයකින් දේශපලනය කිරීමට සිදු විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පීඩිත සිංහල ගැමි ජනතාවගේ වේදනාවට නායකත්වය සැපයීම පහසුම විකලපය විය..

සම්ප්රදායිකව ශ්රිලන්කා නිදහස් පක්ෂය නියොජනය කල, සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පන්ච මහා බලවෙගයේ අතිබහුතරයක් සිංහල ගැමියන්ගෙන් පැවත එන අධිරාජ්‍යවාදය විසින් පීඩනයට පත්කල ජනතාවයි. ඔවුන්ගේ ලෝක දැක්ම වැඩවසම් ක්‍රමය විසින් උරුමකර දුන් භූමිය,ලේ නෑකම සහ රදලයා තමන්ගේ ආරක්ශකයා යන දැක්මයි.

නාගරීක කම්කරු පන්තිය හො දුර්වල දේශීය දනේශ්වරය එහි ගාමක බලවේගයක් නොවීය.

අවසානයේදී මෙම වැඩවසම් බලවේගය විසින් විසින් බන්ඩාරනායක මහතාගේ දේශපාලනය මෙන්ම ජීවිතයද විනාශ කරනලදි. මෙම මතවාදයන්ගේ නොගැලපීම කොතෙක්ද යත්, ඔහුගේ ප්‍රතිවාදීන් ඔහුට කීවේ සෙවල බන්ඩා කියාය. චෙල්ව්නායගම් සමග දෙශපාලන විසදුමක ගැන කතාකීරීම, අද වාගේම එදාත් සෙවල කමකි.

දෙහිඕවිට තල්දූවේ ගැමි දෙමාපිය යුවලකට දාව උපන් රතුගම රාලලාගෙ වේරිස් සිඤ්ඤො විසින් (තල්දූවේ සොමාරාමගෙ ගිහිනම) ඔක්ස්ෆර්ඩ් උගත් බටහිර ශිෂ්ථත්ව විසින් මනාසේ හික්මවනු ලැබූ බන්ඩාරනායක සිරිමතානන්ගේ හදවත කුඩුවෙන්න වෙඩිතබන ලදී.
වෙඩි තැබීමෙන් අන්තුරුව සෝමාරාම මහ හඩින්, රට, ජාතිය, ආගම යයි කියා කෑගැසූ බව සඳහන් වේ.

අවාසනාවකට මෙන් දශක ගනනාවකට පසුත් අපේම රටේ උපන් මිනිසුන්ට වෙඩි තබන කාල වලදී උච්චාරනය කරන්නේ මෙම වචන තුනම නොවේද?

එවකට තල්දූවේ සෝමාරාම බොරැල්ල දේශීය ,ආයුරුවේද වෛද්‍ය විද්‍යාලයේ ගුරැවරයෙකි. ඉතිහාසයේ සරදමකට මෙන් ඝාතකයා පන්ච මහා බලවේග වලින් බලවේග තුනකට නෑකම් කියන්නෙකි(සඟ,වෙද,ගුරැ). තමන්ගේ සනුහරේටම ආගන්තුග සිංහල ගැමියාගේ ජාතිකවාදී අරගලයකට නායකත්වය සැපයීම නිසා ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.

බයියන්ගේ සහ ටොයියන්ගේ තාත්තලාගේ සටන තවත් ඛේදවාච්කයකින් අවසන් විය.

උගත් බුද්ධිමතෙක් මෙන්ම යහපත් මිනිසෙකු අපේ රටට අහිමි කල මනෝ සමාජීය ක්‍රියා වලිය කුමක්ද? පීඩනයට පත් සිංහල ගැමිජනතාවට,සිය ජීවිතය වෙනස් කරගැනීමේ අවිස්තාව නැවත වරක් අහිමි වුයේ ඇයි?

අනගාරික ධර්මපාලට සහ බන්ඩාරනායකට කලමනාකරනය කරගත් නොහැකි වූ මනෝභාවය නම් සියවස් ගනනක් පීඩනයට සහ සමාජ අසාදාරනයට ලක් කරන ලද ගැමියාගේ වෛරයයි . ගැඹුරැ නිහඩතාවයක් ගිලී සිට විටින් විට ඉතා විසකුරු ලෙස සටන් වදින්නේ සමාජ පරිවථනයක් ඉල්ලන ගැමි වෛරයයි.

මහින්ද බලවේගය

මහින්ද රාජපක්ශ දෘෂ්ථිවාදයේ ප්‍රදාන චරිත දෙක වන්නේ මිනිසුන් විසින් ඉහලට ඔසවා තැබූ මහින්ද රාජපක්ෂ ප්‍රතිරූපය සහ විමල් වීරිවංශ හිටුපු ඇමතිතුමාය. සෙසු චරිත පරිවාර චරිත මිස ප්‍රධාන නලුවො නොවුනහ.

මෙම චරිත දෙක තමන්ට සුවිසෙශ වු සමාජ දේශපාලිනික පරිසරයන් සමග රූපාන්තනරනය් වු ආකාරය අදුරා ගැනීම උත්සාහයයි.

ඩෙවිඩ් හේවාවිතරන හෝ සොලමොන් වෙස්ට් රිජ්වේ ඩියෙස් බන්ඩාරනයක මෙන් නොව මහින්ද රාජපක්ෂ කාලය, දේශය, දීපය, කුලය මව අනුව ,නියම අඩුවක් නැතිව ගැමි වැඩවසම් නිෂ්පාධනයකි.

රාජපක්ෂ පරපුර පැවත එන්නේ දකුනේ ගිරුවාපත්තුව නම් දුෂ්කර කෘෂිකාර්මික ප්‍රදේශයෙනි. බොහො වැසියෝ අඳ ගොවියො හො හේන් ගොවියො විය. ඉඩම් හිමියෝ ගොවිගම ප්‍රභුන් වු අතර වත්කම සහ සමාජ තත්වය තීරනය වුයේ ඉඩම් ප්‍රමානය හෝ ගව සම්පත අනුවයි.

ප්‍රකට සමජ විද්‍යාඥ්ඥ මහාචාර්ය කුමාරි ජයවර්දනට අනුව අධිරාජ්ය වාදී අර්ත ක්‍රමය තුල, ගොවිගම කුලයට අර්තික සම්මුචකරනයට තිබු අවස්තාවන් සීමසහිත විය.

මෙහිදී වඩාත්ම කොන් කිරීමට ලක්වුයේ බෞද්ධ ගොවිගම රදල පවුලය.

අධිරාජ්‍යවාදීන් විසින් වී ගොවිතැන සිතාමතාම විනාශය කරා යොමු කල අතර වෙදානේ සහ වෙල් විදානේ වරුන්ට ආන්ඩුවේ රේන්ද සදහා අයදුම් කිරීම තහනම් කරන ලදී. මේ නිසා ගොවිගම වැඩවසම් ප්‍රභුන්ගේ සමාජ අධිකාරීමය බලය අහෝසි විය. ග්‍රාමීය ධූරාවලිය බලවත් ලෙස අර්බුධයකට පත් කෙරිනි.

අධිරාජ්‍ය වාදීන්ගෙන් නොයෙක් නම්බුනාම සහ තනාන්තර ලබාගෙන සිටියේ ඇන්ග්ලිකානු හෝ ප්‍රොතස්තන්ත භක්තිකයන්ය. මහින්ද රාජපක්ෂගේ පරපුර නියෝජනය කරනු ලබන්නේ නාගරික කොම්ප්‍රදොරු ධනපති පන්තිය නොව, ගැමි ගොවි, වඩාත් වැඩවසම් සංස්කෘතික ලක්ශන වලින් ආභාෂය ලත් පරම්පරාවකින් පැවත එන පන්තියකි.

නාගරීක කොම්ප්‍රදෝරු ධනපතියන් සිය අධිරාජ්‍යවාදී හාම්පුතුන්ගේ ජීවන රටාව සහ සමාජ සාර්ධර්ම වඩ වඩාත් අනුගමනය කරන්නට විය. එහෙත් පිටිසරබද ගොවි ඉඩම් හිමි රදලයන්ට වැඩවසම් බව විසින් උරුම කරදුන් ජීවන රටාවට ඔබ්බෙන් සිතීමට ඇති අවකාශය අසුරන ලදී.

මෙම උරුමය නිසා නිසා ම්හින්ද රාජපක්ෂගේ සමාජ දේශපාලන භාවිතය තුල ඔහුට ප්‍රධාන අභියොගයන් දෙකකට මුහුන දීමට සිදු විය. පලමු සහ ප්‍රධානම අභියොගය වුයේ ගැමියාගේ ලෝක දෘෂ්ටියට ඔබ්බට ඇති ලෝකය සමග ගනුදෙනු කිරීමට නොහැකියාවයි.

දෙවැනි අභියෝගය නම් තම ග්‍රාමීයත්වය විසින් ජනිත කරන ලද අනන්‍යතා අර්බුදය පාලනය කිරීමට නොහැකියාවයි

ගැමි රදලයා තමාගේ ගැමිකම සහ සිය වත්කමේ ප්‍රාග්දනමය නොවටිනාකම නිසා හීනමානයකින් පෙලෙන අතර නාගරීක දනපතියාගේ සමාජ තත්වය ගැන ආසාවකින් පසුවේ. .මේ නිසා බොහෝ විට ඔහුට අනන්‍යතා අර්බුදයක් හටගනී.

ගැමි රදලයා බොහෝ විට නාගරීක කොම්ප්‍රදෝරු ධනපතියාට ඇත්තේ වයිරය මුසු ඉරිසියාවකි.

දේශීයව ඔහු සතුරන් හැටියට හඳුනාගත් කොලඹ හතේ කොම්ප්‍රදොරු දනපති පන්තියට විරුද්දව සටන් වැදීමට භාවිතා කලේ මැදමූලන ගැමි වැඩවසම් ක්‍රමෝපායන්ය.

විමල් වීරවංශ චරිතය

විමල් වීරවංශ මාතර කැකනදුර නම් ග්‍රාමයේ කන්ද නමින් හැදින්වෙන කුඩා ප්‍රදේශයක ජීවත් වන පාරම්පරීක බෙරවාදන ශිල්පීන්ගේ පවුලක උපත ලදී.

දරිද්‍රතාවය සහ කුලපීඩනය විසින් උපතින්ම ඔහු බරපතල සමාජ අසාධාරනයකට ලක් කරන ලදී.කැකනදුර කන්දේ මිනිසුන් සිය දරුවන් සමග වෙනත් ප්‍රදේශ වල පදිංචියට ගොස් වාසගම් වෙනස් කරගත්තේ මෙම සාපරාදී ධුරාවලියෙ සාපයෙන් මිදීමටයි.

වීරවංශ විමුක්තිවාදියා සමාජ පීඩනය ගැන කතා කලද කුලපීඩනය ගැන කතිකාව ඔහුගෙන් ගිලිහී ගියේය.මෙම අතපසුවීම ඔහුගේ අනන්‍යතා අර්බුදයේ ප්‍රථිපලයකි.

විමල් වීරවංශගේ ආශාවෙ වස්තුව (object of desire ) රදලයාගේ ජීවන රටාවයි

කොලඹ පදිංචියට පැමින තම පුතුන් අන්තර්ජාතික පාසලකට ඇතුලු කරගත්

වීරවංශ ඇමතිතුමාට කුල පීඩනය හෝ දරිද්‍රතාවය ගැනකතා කිරීම යනු තමා අමතක කිරීමට උත්සාහ කරන තමගේම අනන්‍යතාවයේ දුක්බර තුවාලය නැවත පාරවා ගැනීමකි. බටහිර කුමන්ත්‍රන ගැන හො ගූගල් වර්ජනය ගැන කතාකිරීමෙන් ඔහුට තමාගේ ආත්මභිමානයට ඇතිවන කැලල අවම කරගත හැක.

අනන්‍යතා අර්බුදයක් නොතිබුනානම් ඔහු ජාතියේ වීරවන්ශය ලිවීමට පලමුව කුල පිඩනයට එරෙහිව සුලු හෝ සමාජ ප්‍රතිසංස්කරනයන් යෝජනාකල යුතුවේ.

වීමල් වීරවංශගේ පසු කාලීන දේශපාලනයේ පරමාර්ථ කැප වූයේ රදලයාගෙ, භූමිය,ලේ නෑයන් සහ රදලයා විසින් සපයන සපයන ලද ආරක්ශාව රැකගැනීමයි.

වැඩවසම් රදලයා සහ ප්‍රවේනිදාසයා තම වැඩවසම් සාරධර්ම රැක ගැනීම සඳහා (භූමිය,ලේ නෑකම සහ රදලයා සපයන ආරක්ෂාව) බටහිර ප්‍රමුක නඩයට විරුද්ධ වීම එදා අරගලයේ වර්ථමාන ප්‍රහසනයයි.

පුද්ගලය චරිත දේශාපාලන වේදිකාවෙන් බැස ගියද, බයියන් සහ ටොයියන්ගෙ අරගලය තවත් විනාශකාරී මුහුනු වරකින් ඉදිරියට ගමන් කරුනු ඇත.

මෙම සමාජ ස්ථර දෙක ලේ සැලීමකින් තොරව කලමනාකරනය කල හැක්කේ ශ්‍රී ලංකාව කාර්මීකකරනය හා නවීකරනය කිරීමෙන් පමනකි.

කාර්මීකකරනය යනු මිනිස් සමූහයක සමාජමය සහ ආර්ථිකමය පරිවර්ථනීය අව්දියකි,එහිදී සම්ප්‍රදායික කෘෂි ආර්ථික රටාවෙන් මිදී භාන්ඩ සහ සේවා නිපදවීම සදහා සමාජය ප්‍රතිනිර්මානය වේ. එවිට වැඩවසම් නශ්ටාවශේෂ සමාජයෙන් තුරන් වේ.

වර්ථමාන රජයේ අගමැතිවරයාට සහ ජනාධිවරයාට ඇති අභියෝගය එයයි.

Back to Home page