24 June, 2026

Blog

නවකථාවක් පමණක් නොවන නවකථාවක්: බව තරණයේ යථාර්ථ රිතිය, දර්ශනිකත්වය සහ සමාජ විමුක්ති යොමුව

ප්‍රේමකුමාර ද සිල්වා

මහාචාර්‍ය ප්‍රේමකුමාර ද සිල්වා

මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් ලියා පළ කරන ලද මෙම කෘතිය පිළිබඳ අදහස් කිහිපයක් එය කියවා නිම කිරිමෙන් පසුව ඉදිරිපත් කිරිමට සිත්විණි. මෙම අදහස් දැක්වීම සම්පුර්ණ කෘතියම මඟහැර මා සිත්ගත් ප්‍රධාන පරිච්ඡේද කිහිපයක් මුල්කොට සිදු කරන්නක් බව ප්‍රථමයෙන්ම සඳහන් කළ යුතුය. මා සිතන්නේ මෙම ග්‍රන්ථයේ වැදගත්ම සාකච්ඡාව නාභිගත වී ඇත්තේ 7 වන පරිච්ඡේදයේ සිටය. එනම් “සමාජ විමුක්තිවාදී” යොමුව වඩා විනිවිද යන සුළු අයුරින් එම පරිච්ඡේද තුළ ගෙනහැර පැමට දරා ඇති උත්සාහය අති ප්‍රබලය. මා සිතන පරිදි කෘතියේ මුල් පරිච්ඡේද (01සිට 06 දක්වා කොටස) බුදුදහමේ සමාජ විමුක්තිවාදි යොමුව වඩා හොඳින් මතුකොට දැක්විම සදහා අවශ්‍ය දාර්ශනික, ක්‍රමවේදාත්මක හා බුද්ධිමය මැදිහත් විමේ පදනම පැහැදිලි කෙරේ.

බව තරණයේ යථාර්ථවාදය, සබුද්ධිකවාදය හා සමාජ විමුක්තිවාදය ස්ථානගත කිරිම, හා බව තරණය සහ සමාජ විමුක්තිය යන පරිච්ඡේද 7 හා 8 ගොනුකොට ඇත්තේ ඉහත කී බුදුදහමේ සමාජ විමුක්තිවාදය පිළිබඳ සාකච්ඡාව 19 වන හා 20 වන සියවස් තුළ බුදුන්ගේ ඉගැන්වීම්වලට සබුද්ධිකවාදි අර්ථකථන (rationalist) සැපයිම නූතන බුදුදහම මත ස්ථානගත වී ඇති අයුරු පැහැදිලි කිරිමටය. එහිදී කතුවරයා දක්වන පරිදි ” බුදුන්වහන්සේ සහ එතුමන්ගේ ධර්මය සම්බුද්ධිකවාදි සහ නූතනත්වවාදී අර්ථකථනයකට භාජනය කිරීමේ ආරම්භකයා වුයේ ලංකාවේ බුදු දහම බ්‍රිතාන්‍ය යටත්විජිත යුගය තුළ “පුනරුදයට” භාජනය කිරිමේ ගෞරවයද ලබා සිටින අනගාරික ධර්මපාලතුමාය” (පිටු 88).

නවකතාවක් පමණක් නොවන නවකතාවක්: බව තරණයේ යථාර්ථ රිතිය, දර්ශනිකත්වය සහ සමාජ විමුක්ති යොමුව
පිටු 174.
සරස ප්‍රකාශනයකි .
මිල රු.700

ධර්මපාලතුමා නූතන බුදුදහම සබුද්ධික කිරීමේ බුද්ධි ව්‍යාපෘතියේ පුරෝගාමියකු වන්නේ නමුත් ඔහුට ප්‍රථම එම පුරෝගාමී ව්‍යාපෘතියේ නිර්මාතෘ ලෙස සැලකිය හැක්කේ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් බව මගේ අදහසයි. විශේෂයෙන්ම ඔහුගේ පරම විඤාණාර්ථ සංගමයේ (Buddhist Theosophical Society – BTS) ගමන් මග මෙන්ම ඔහු විසින් පළ කර ඇති ග්‍රන්ථ හා පොත් පිංච තියුණු නිරික්ෂණයට භාජනය කිරිමේදී ඒ පැහැදිලි වේ. ඕල්කොට් විසින් රචනා කරන ලද බෞද්ධ කතෝපකථන සංග්‍රහය (The Buddhist Catechism) නිදසුනක් ලෙස දැක්විය හැකිය. ඇත්තටම බුදුදහම සබුද්ධිකරණය නැතිනම් විද්‍යාත්මකකරණය (Scientification ) ලක් කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භකයා ඔල්කොට්ය.

බුදුදහම බටහිරට සම්ප්‍රේෂණය කිරීමේදී මෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ ඇතැම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරවල සාර්ථකත්වයටද විද්‍යාවට එකඟව බුදුදහම අර්ථ නිරූපණය කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වී ඇත. බටහිරයන් සහ ආසියානුවන් යන දෙපිරිසම දහනව වන සියවසේ අගභාගයේ සහ විසිවන සියවසේ මුල් භාගයේ ඔවුන්ගේ විවිධ වූ වෙනස් සංස්කෘතික සන්දර්භයන්හි තුළ දී පවා ‘බුදුදහම හා විද්‍යව’ අතර අන්තර් -සම්බන්ධිත අනවබෝධයන්ට ප්‍රතිචාර වශයෙන් විද්‍යාත්මක බුද්ධාගම පිළිබඳ කතිකාව වර්ධනය කළහ. ඩොනල්ඩ් එස්. ලෝපෙස් (ජූනියර්) (2012) විසින් රචනා කරන ‘ද සයන්ටිෆික් බුද්ධා’ (The Scientific Buddha: His Short Life and Happy Nirvana) නමැති ග්‍රන්ථ යේ බුදුදහම විද්‍යාත්මකකරණය පිළිබඳ නැතිනම් විද්‍යාත්මක බුදුන් වහන්සේ කෙනෙක් 19 වන හා 20 වන සියවස් හි නිර්මාණය කරන ලද අයුරු පැහැදිලි කරයි. ඔහුව උපුටා දක්වන්නේ නම්.

“බෞද්ධ මූලධර්මයට අනුව, සෑම ඓතිහාසික යුගයකටම එක් බුදුවරයෙකු පමණක් සිටිය හැකිය. නව බුදුවරයෙකු ලෝකය තුළ පහළ වන්නේ පෙර බුදුන්ගේ ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම අමතක වී ඇති විට, ඉතිරිව ඇති – ධර්ම ග්‍රන්ථ, ප්‍රතිමා, චෛත්‍යය නටබුන් හෝ ශබ්දකෝෂ යොමුවක් පවා නොමැති විට පමණි. ගෞතම බුදුන්ගේ ඉගැන්වීම්, ඓතිහාසික බුදුන් – එනම්, අපගේ බුදුන් – ලෝකයේ පවතින බැවින්, අපට නව බුදුවරයෙකු අවශ්‍ය නොවේ. නමුත් 19 වන සියවසේදී, කිසිදු අනාවැකියක සඳහන් නොවන බුදුවරයෙකු හදිසියේම ලෝකය තුළ දර්ශනය විය, ඔහු ගේ ඉගැන්වීම් නූතන විද්‍යාවට අනුකූල යැයි කියනු ලැබේ, එබැවින් මම ඔහුව විද්‍යාත්මක බුදුන් ලෙස හඳුන්වමි” (පිටු :01)

ඔහුට අනුව, විද්‍යාත්මක බුදුන් වහන්සේ බොහෝ විට ගෞතම බුදුන්, ඓතිහාසික බුදුන්, සැබෑ බුදුන් ලෙස වරදවා වටහා ගනු ලැබේ. නමුත් එකම බුදුන් නොවේ. මෙම වැරදි අනන්‍යතාවය ගෞතම බුදුන්ගේ ඉගැන්වීම් තේරුම් ගැනීමට සහ ක්‍රියාවට නැංවීමට උත්සාහ කරන අයට විශේෂ ප්‍රතිවිපාක ඇති කරයි. ඔහු මෙහිදී තර්ක කරන්නේ 19 වන සහ 20 වන සියවස්වලදී බුදුදහමේ යුරෝ-සබුද්ධික අනුවාදයක් නිර්මාණය වූ බවත් එය ජනප්‍රිය ආගමේ පෙර පැවති චින්තන, විඥාන සහ භාවිතාත්මක සම්ප්‍රදායන්ගෙන් ඉදුරාම වෙනස් වූ “ඥානමීමාංසාත්මක ඛණ්ඩණයක්” ලෙස ලෝපෙස් තර්ක කරයි. වික්‍රමසිංහ ගේ බව තරණය සංදර්භගත වන්නේ මෙම නව ඥානමීමා‍ංසාව තුළ බව පැහැදිලිය.

1860 ගණන්වල – වික්ටෝරියානු යුගයේ යුරෝපයේ සහ ඇමරිකාවේ – බුද්ධාගම බුද්ධිමය කවයන් තුළ විලාසිතාවක් බවට පත් වූ විට සහ ඒ සමඟම ආසියාවේ – බෞද්ධ චින්තකයින් ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ගේ ප්‍රහාරවලට එරෙහිව තමන්ව ආරක්ෂා කර ගනිමින් සිටියදී – බුද්ධාගම සහ විද්‍යාව අතර ගැළපුම පිළිබඳ නව කතිකාවක් මතුවිය. මේ අනුව,වත්මනේ බුදුදහම සහ විද්‍යාව අතර ගැළපුම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට, සියවස් එකහමාරකට පෙර එහි අර්ථය තේරුම් ගැනීම අවශ්‍ය වේ.

බෞද්ධයන් මුලින්ම විද්‍යාවට මුහුණ දුන්නේ,ඇතැම් විට උත්ප්‍රාසාත්මක ලෙස, ක්‍රිස්තියානි ධර්මයේ පැමිණීමත් සමගමය. 16 වන සියවසේ ජපානයේ ෆ්‍රැන්සිස් සේවියර්ගේ සිට 19 වන සියවසේ ශ්‍රී ලංකාවේ ස්පෙන්ස් හාඩි දක්වා බුදුදහමට එල්ල කළ මිෂනාරි ප්‍රහාරවලදී, ක්‍රිස්තියානි ධර්මය බුද්ධාගමට වඩා උසස් යැයි ප්‍රකාශ කරනු ලබන්නේ, ලෝකය නිවැරදිව විස්තර කිරීමට විද්‍යාත්මක දැනුම ක්‍රිස්තියානිය සතුව ඇති බවත් නමුත් එවැන්නක් බුදුදහම සතු නොවූ බවයි. ඒ අනුව මිෂනාරිවරුන්ට විද්‍යාව ආගමේ විරුද්ධවාදියෙකු හෝ අවම වශයෙන් සැබෑ ආගමේ විරුද්ධවාදියෙකු නොව, එහි මිතුරෙකු ලෙස අර්ථකථනය විය. විද්‍යාව මිෂනාරිවරයාගේ ප්‍රබල මෙවලමක් ලෙස භාවිත කරමින් ක්‍රිස්තියානි නොවන පිරිස ඊට බදවා ගැනීම සාධාරණීකරණය කිරීමට යොදා ගැනිණි. පසුව, විද්‍යාව වඩාත් සාමාන්‍යකරණය කරන ලද “යුරෝපීය ශිෂ්ටාචාරයේ” නිෂ්පාදනයක් ලෙස නිරූපණය කරමින්, එම අධිපති ශිෂ්ටාචාරය ලොව පුරා රැගෙන යාම සඳහා යටත් විජිතවාදය යොදා ගත්හ.

19 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ බෞද්ධ ප්‍රභූන් බුදුදහම පිළිබඳ ක්‍රිස්තියානි අර්ථකථනවලට එරෙහිව සටන් කිරීමට සහ ඊට ප්‍රතිවිරුද්ධව, බුද්ධාගම සැබවින්ම විද්‍යාත්මක ආගම බව තර්ක කිරීමට ගත් උත්සාහයන් ක්‍රිස්තියානි ප්‍රහාර මගින් සෘජුවම අවුළුවන ලදී. ඇත්ත වශයෙන්ම විද්‍යාත්මක ආගම වූයේ ක්‍රිස්තියානි ධර්මය නොව බුදුදහම බව ඔවුන් තර්ක කළහ, ආසියාවේ පමණක් නොව ලොව පුරා නූතනත්වයට වඩාත් ගැළපෙන ආගම බුදුදහම බව තර්ක කළහ. ක්‍රිස්තියානි ආගමට මැවුම්කාර දෙවියෙක් සිටින අතර බුදුදහමට දෙවියෙක් නැත; ක්‍රිස්තියානි ආගම ඇදහිල්ලක් වන අතර බුදුදහම ට තර්කයක් (logic) ඇත; ක්‍රිස්තුස් වහන්සේ දිව්‍යමය වන නමුත් බුදුන් වහන්සේ මනුෂ්‍යයෙකි. යුරෝපීයයන් සොයා ගැනීමට පටන් ගත් දේ සහස්‍ර ගණනාවකට පෙර දැන සිටියේ බුදුන් වහන්සේ බව මෙම නව විද්‍යාත්මක කතිකාව යොදාගනිමින් තර්ක කළහ. වෙනත් වචනවලින් කිවහොත්, නවීන විද්‍යාවට අනුකූල වන සහ වඩාත් නිවැරදිව ‘විද්‍යාත්මක බුද්ධාගම’ නිර්මාණය කරන ලද බුදුදහම මේ යුරෝ-සබුද්ධික අනුවාදයක් සොයා ගැනීමය. එම අනුවාදනයේ ලංකේය ප්‍රකාශනයේ පුරෝගාමියා වුයේ ඕල්කොට්ය. මෙම ව්‍යුහාත්මක පරිවර්තනය වඩා පුළුල් අර්ථයෙන් ඔබේසේකර විසින් සුත්‍රගත කරනු ලබන්නේ “ප්‍රොතෙස්තන්ත බුදුදහම” ලෙසය.

මෙම නූතන බුදුදහම ඕල්කට් වැනි බටහිර විද්වතුන්ගේ සහාය ඇතිව යටත් විජිත ශ්‍රී ලංකාවේ අලුතින් නැගී එන ඉංග්‍රීසි කථා කරන නාගරික මධ්‍යම පංතියට ලෝකය පිළිබඳ විද්‍යාත්මක දැනුම හා බුදුදහම අතර ඇති සම්බන්ධය පැහැදිලි කළහ.

ක්‍රිස්තියානි ඇදහිල්ලේ අර්බුදයට ප්‍රතිචාර වශයෙන් ඕල්කොට් සහ තවත් ඇමරිකානුවෙකු වන පෝල් කාරස් බුද්ධාගමේ විද්‍යාත්මකභාවය ස්ථාපිත කිරීමට උත්සාහ කළහ. බුදුදහම මේ සබුද්ධිකවාදි සහ දාර්ශනික සංරචක කෙරෙහි ඕල්කොට්ගේ අවධාරණයෙන් පෙන්නුම් කරන්නේ 18 වන සියවසේ යුරෝපීය ප්‍රබුද්ධත්වයේ විද්‍යාත්මක හා දාර්ශනික සම්ප්‍රදායන් තුළ ඔහුගේ මූලයන් ඇති බවයි.

ධර්මපාලගේ බුදුදහම පි‍ළිබඳ සබුද්ධික අර්ථකථනය ඔහුට ලැබෙන්නේ ඕල්කොට් හරහාය. ඒ තරුණ ධර්මපාල පරමවිඥානාර්ථ සංගමයේ ලිපිකරුවකු ලෙස කටයුතු කළ අවදියේ සිටය. කතුවරයා ට අනුව වික්‍රමසිංහ ගේ බවතරණය නවකථාව හා ධර්මපාල ගේ බුදුන් හා ඔහුගේ ධර්මය පිළිබඳ අර්ථකථන අතර ආඛ්‍යානමය සමානත්වයක් පෙනෙන බව අවධාරණය කරයි. නමුත් කතුවරයාට අනුව බුදුදහමේ විද්‍යාත්මකත්වය සහ සබුද්ධිකත්වය පිළිබඳ ධර්මපාල තිසීසය ලංකේය බුදුදහමේ ප්‍රධාන ප්‍රවාහයේ දෘෂ්ටිවාදයට එකතු නොවුණු බවට තර්ක කෙරේ. එනම් එම තිසීසය නුතන බුදුදහම තුළ අධිපති කතිකාවක් බවට වර්ධනය නොවුණු බවය. මෙම අදහස තරමක් විවාද සම්පන්න බව මගේ අදහසයි. කතුවරයා මෙම අදහස තවදුරටත් විදාරණය කරමින් පෙන්වා දෙන්නේ බුදුදහමේ විද්‍යාත්මක හා සබුද්ධික අර්ථකථනය පශ්චාද් යටත්විජිත සමාජය තුළ සම්භාවනාවට පාත්‍ර වුයේ චූල චින්තන ධාරාවක් ලෙසටය. එම ධාරාව තුළ වඩාත් කැපී පෙනුණු පුරෝගාමී ගිහි බුද්ධිමතුන් ලෙස කතුවරයා හදුනා ගනු ලබන්නේ ජී. පී.මලලසේකර, ඩබ්ලිව්. එස්. කරුණාරත්න සහ කේ.එන්. ජයතිලක මෙන්ම ඊ.ඩබ්ලිව්. අදිකාරම්ය.. මෙම ධාරාවට අයත් පැවිදි බුද්ධිමතුන් ලෙස උඩකැන්දවල සරණංකර, වල්පොළ රාහුල, නාරාවිල ධම්මරතන, යක්කඩුවේ පඤ්ඤාරාම, කොටගම වාචිස්සර හා බඹරැන්දේ සිරි සිවලි යන හික්ෂූහු ප්‍රමුඛ විය. මේ බොහොමයක් භික්ෂුන් එච්. එල්. සෙනවිරත්න දක්වන ආකාරයට අයත් වන්නේ ධර්මපාල ගේ පටු ජාතිවාදි අදහස් පෝෂණය කළ විද්‍යාලංකාර ගුරුකුලයටය. මෙම ගුරුකුලයේ මතවාදය කෙසේවත් චූල චින්තන ධාරාවක් ලෙස හඳුනා ගත නොහැක. බුදුදහම පිළිබඳ සබුද්ධික අර්ථකථන කෙසේ වෙතත් දේශපාලන අර්ථකථන සැපැයීමට එම භික්ෂුන් උනන්දු වූ බව පෙනේ. බුදුදහාම පිළිබඳ ජනවර්ගිකවාදි අර්ථකථන අධිපති මතවාදයක් ලෙස ඉදිරියට එන්නේ මෙම කණ්ඩායම් හරහාය..
ධර්මපාලගේ මතවාදය ඔස්සේ බිහි වූ සිංහල බෞද්ධ ජාතිකවාදී කතිකාවේ කෙන්ද්‍රිය ගැටලුවක් ලෙස දිගින් දිගටම “විද්‍යාත්මක බුදු දහම” හා දේව ඇදහිලි විශ්වාස සහිත ජනප්‍රිය බුදුදහම අතර ඇති පරස්පරය මතු කිරීම හරහා “නිර්මල බුදුදහමක්” ගොඩ නැඟීමේ අවශ්‍යතාව වරින් වර මතු කිරීමේ ප්‍රවණතා දැකගත හැකිය. වල්පොල රාහුල හිමියන් විසින් රචිත ‘සතොද්‍යය පත්‍රිකා’ මෙන්ම මෑත කාලීන නිදසුනක් ලෙස ගංගොඩවිල සෝම හිමි ගේ බුදුදහම පිළිබඳ අර්ථකථන පිළිබඳ අවධානය යොමු කළ හැක.

කතුවරයා දක්වන පරිදි වික්‍රමසිංහගේ බව තරණය ඉහත සඳහන් “චූල චින්තන ධාරාවට” මෙන්ම සාමාන්‍ය ගිහි බොද්ධ ව්‍යාපාර‍යක් ලෙස ගැණිය හැකි වඩා රැඩිකල් ආස්ථානයක් ගත් විනයවර්ධන ව්‍යාපාරය මෙන්ම දකුණු ආසියාතික සමාජ විමුක්තිවාදී බෞද්ධ ව්‍යාපාර හරහා උත්තේජනයක් ලබා ඇතිබවද කෘතිය තුළ පැහැදිලි කෙරේ. 9 වන පරිච්ඡේද කැපකොට ඇත්තේ ඉන්දීය සමාජය තුළ කුල පීඩනයට එරෙහිව මතු වූ බුද්ධි ව්‍යාපාරයේ ස්වභාවය හා ගතිකත්වය මෙන්ම බුදුන්වහන්සේගේ සමානාත්මතා ඉගැන්වීම් පිඩිත ජනයා ගේ සමාජ විමුක්තිය සදහා ප්‍රායෝගිකව යොදාගත අයුරු පැහැදිලි කිරීමටය. 1890 දශකයේ සිට දකුණු ඉන්දියාවේ මතුව ආ මෙම සමාජ විමුක්තිවාදී බුද්ධි ව්‍යාපාරයේ පුරෝගාමින් වූයේ ඉයෝති දාස්, ලක්ෂ්මී නරාසු, සහ සිංගාරවේලු වැන්නන්ය පසුකාලීනව එම රැඩිකල් සමාජ ප්‍රතිසංස්කරණවාදි පරම්පාරවේ ප්‍රමුඛ බුද්ධිමතා වුයේ ආචාර්ය අම්බෙඩ්කාර්ය. ඔහුගේ මැදිහත්වීම පිළිබඳ දිර්ඝ සාකච්ඡාවක් 10 වන පරිච්ඡේදය තුළ දක්වා ඇත. “බුදු දහමේ හරය” වඩා ඉස්මතු කරමින් බුදුන්ගේ ඉගැන්වීම් මෙන්ම බුද්ධ චරිතයද බ්‍රාහ්මණහරණයට ලක් කිරිම කේන්ද්‍රිය ගැටලුවක් ලෙස මෙම බුද්ධි සම්ප්‍රදායයන් හදුනා ගැනිමත් වික්‍රමසිංහ ගේ බවතරණය නවකථාවේ ඇති අර්ථදීපන ව්‍යාපෘතිය ලෙස කතුවරයා හඳුනාගනී. වික්‍රමසිංහගෙන් පසුව මෙම ආස්ථානය වඩා තර්කානුකූල අන්තයකට ගෙන එන බුද්ධිමතෙකු ලෙස කතුවරයා වේගවත් පිම්මක් පනිමින් නලින් ස්වාරිස්ගේ බුද්ධිමය දායකත්වය හුවාදක්වන අතර ඊට පෙර එවැනිම බුද්ධිමය මැදිහත්වීම් සිදු කළ බෞද්ධ ගිහි බුද්ධිමතුන් ලෙස සැලකිය හැකි ඩේවිඩ් කළුපහන, මහින්ද පළිහවඩන, අසංග තිලකරත්න වැන්නන් ගේ මැදිහත් වීම් කෙරෙහි අවධානය යොමු නොකිරීමෙන් කෘතියේ ප්‍රධාන තර්කනයට බධා වී නොමැති බව සදහන් කළ යුතුය. නමුත් වික්‍රමසිංහගේ සිට සුවාරිස් දක්වාත් ඉන්පසුවත් බුදුදහම සබුද්ධිකවාදි ආස්ථානයක තබා අර්ථකථනය කිරිමට සිංහල බෞද්ධ ජාතිකවාදී ගිහි උගතුන් හා භික්ෂුන්ද උත්සාහ දැරුබව අප අමතක නොකළ යුතුය. නිදසුනක් ලෙස ගංගොඩවිල සෝම හිමිගේ මැදිහත් විම සඳහන් කළ හැකිය. ‘විද්‍යාත්මක බුදු දහම’ යන අර්ථය (Scientific Buddhism ) සැකසීම බටහිර නූතනත්ව චින්තනයෙන් පරිබාහිරව තේරුම්ගත නොහැකිය. එය බටහිර සබුද්ධිකවාදි බුද්ධි සම්ප්‍රදාය තුළ ඉහළට ඔසවා ඇති සංකල්පයකී. එම බුද්ධි සම්ප්‍රදාය යටත්විජිත නිර්මිතයකි. එවැනි සම්ප්‍රදායක් ව්‍යුහවිභාගයට ලක්කිරීමෙන් “සමාජ විමුක්තියේ සැබෑ අරුත” මතුකොට ගත හැකි බව මගේ අදහසයි. 19 වන සියවසේ දෙවන භාගයේ සිට ඇරැඹූ 20 වන සියවස දක්වා පැවත එන චූල බුද්ධි ව්‍යාපාරයක් ලෙස කතුවරයා හඳුනාගත් බුදු දහමේ ‘සමාජ විමුක්තිවාදී කතිකාව’ එනම් බුදුන් වහන්සේගේ ධර්මය තනි පුද්ගල ආත්ම විමුක්තියට සිමා නොවී සමාජ විමුක්තියද ඉලක්කොට ගත් ධර්මයක් යන අදහස වත්මන් දේශපාලන සංදර්භය ප්‍රයෝජනයට ගනිමින් විසි එක්වෙනි සියවසේ ජනතාවාදි අධිපති කතිකාවක් ලෙස යළි කරළියට රැගෙන ඒමට මහාචාර්ය උයන්ගොඩ ගේ නවකතාවක් පමණක් නොවන නවකතාවක් කෘතිය පිටිවහල් කරගත යුතු බව අවධාරණය කරමී.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.