27 April, 2024

Blog

ජනමාධ්‍ය හා ජඩ මාධ්‍ය භාවිතාව

පුණ්‍යා සමරකෝන්

පුණ්‍යා සමරකෝන්

අපිට ඉහටත් වඩා උසින් රූපවාහිනී නාලිකා ඇත. ඒත් රූපවාහිනිය අවබෝධයෙන් බලන ප්‍රෙක්ෂකයන් නැත. අපට ඕනෑතරම් ගුවන්විදුලි නාලිකා ඇත. ඒවාට නිවැරදිව සවන් දෙන ශ්‍රාවකයින් නැත. හතු පිපෙනවා වාගෙ පිපෙන පත්තර ඇත. අරුත් කියවන පාඨකයින් නැත. ඉතින් මේ රටට මේ තරම් ජනමාධ්‍ය වැඩක් නැතැයි මට සිතේ. මම එහෙම හිතුවාට ඒකෙනුත් ඇත්තටම වැඩක් නැත. මොකද අපේ රටේ ජනමාධ්‍ය තියෙන්නේ මම වැනි ග්‍රාහකයින්ගේ උවමනාවට නොවන නිසාය. රජයට අයත් මාධ්‍යට ඇත්තේ රජයේ වැඩය. පෞද්ගලික මාධ්‍යට ඇත්තේ ඒවායෙහි හාම්පුතුන්ගේ වැඩය. ඉතින් ඒවාට පොදු ග්‍රාහකයා අදාලම නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ පාරිභෝගිකයින්ය.

රාජ්‍ය මාධ්‍ය ආයතන වල ඉන්නේ රාජ්‍ය සේවකයින්ය. පෞද්ගලික මාධ්‍ය වල ඉන්නේ පෞද්ගලික සේවකයින්ය. ඔවුන් සිය හාම්පුතුන්ට සේවය කිරීමට බැඳී සිටින අතර ඒ අනට කීකරු නොවීම රැකියා විරහිත වීමට ප්‍රමාණවත් හේතුවක් වන්නේය. ඔවුන් කියවන ප්‍රවෘත්ති, පවත්වනු ලබන​ සාකච්ඡා, සම්පත් දායකයින්ගෙන් අසනු ලබන ප්‍රශ්න ගැන ඔවුන්ට දොස් පැවරිය නොහැකිය. හවසට ඔවුන් කීයක් හරි උපයාගෙන ගෙදර යා යුතුය. ඔහුගේ ස්වාධීන වීම තුළ යැපෙන්නන් බඩගින්නේ ඉන්නට සූදානම් නැත. ඉතින් ඔහු කුමක් කරන්නද? ඉතින් ජීවත් වීමට බඩු ගන්නට ඕනෑය. බඩු ගන්නට මාර්කට් යන්නට ඔනෑය. එකම දේ එවැන්නවුන්ට “ජනමාධ්‍යවේදීන්” යැයි කිව හැකිද​ යන්නයි. මන්ද ජනමාධ්‍යවේදියාට ලෝකයම පිළිගත් පැහැදිළි අර්ථ නිරූපනයක් ඇති නිසාය.

මේ මෑත දිනයක ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක රාත්‍රී දේශපාලන සංවාදයකට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයා එක්විය. එම සංවාදය මෙහෙයවනු ලැබුවේ මේ රටේ පරිණත ජනමාධ්‍යවේදීන්න් යැයි තමාම හදුනාගනු ලබන තිදෙනෙකි. ඔවුන්ට ජනමාධ්‍යවේදීන් යැයි සඳහන් කළ නිල හැදුනුම්පත් ද නිකුත්කර ඇත. රටේ ජනමාධ්‍ය හැසිරීම ගැන කියන්නට ඔවුන් තිදෙනා මට හොඳ නිදසුනක් විය.

දැන් අප සිටින්නේ අපේ රට ඉතිහාසයේ නින්දිතම දේශපාලන විකාරය අත් විඳිමින් සිටින මොහොතකයි. රටේ උත්තරීතර නීතිය උන්මත්තක බල වියරුවක් අතින් එළිපිටම අතවරයට ලක්වෙමින් ඇති දුක්ඛිත කාලවකවානුවකයි. විධායකය, ව්‍යවස්ථාදායකය අතර ද්වන්ධ සටනක් සිදුවන රණ භූමියකයි. මෙවන් අවස්ථාවක ජනමාධ්‍යවේදියෙකුගෙන් මා බලාපොරොත්තු වන්නේ ඉතා සාධනීය මධ්‍යස්ථ මැදිහත් වීමකි. පවතින තතු ඉතා ශූක්ෂමව අධ්‍යනය කරීමකි. මා ඉහත සඳහන් කළ මාධ්‍යවේදීන් තිදෙනා ඉදිරියේ සිටියේ මේ ගැටළුව මුල සිට ලිහා දිය හැකි දේශපාලනඥයෙකි. සටන්වැදී සිටින දෙපාර්ශවයේ එක් ප්‍රබල කඳවුරක නියෝජිතයෙකි.

මේ දේශපාලන කලබගෑනිය ගැන ඉතා වැදගත් යෝජනා සමමතයන්ද සිදුවෙමින් පැවතුනි. මෙම ප්‍රසිද්ධ රූපවාහිණී නාලිකාවේ දේශපාලන සංවාදයේ අවසන් අදියරේදී මෙම තීරණාත්මක පාර්ලිමේන්තු සැසි ගැන අවධානය යොමුවිය. සැබෑ මාධ්‍යවේදියෙකුට නම් ඇසිය හැකි, ඇසිය යුතු බෝහෝ ප්‍රශ්ණ තිබුනි. ඒත් මා පුදුමයට පත්කරමින් ඔවුන් ඇසුවේ පාර්ලිමේන්තු සභාවාරයකදී දෙමළ සන්ධානයේ සුමන්තිරන් එකසත් ජාතික පක්ශයේ කිරිඇල්ලට සැර උනාද කියාය. සම්පත්දායකයා තමා ඉදියෙන් සිටින නිවේදකයින් දෙස මදක් වික්ෂිප්තව බලාසිට මද සිනාවක් පෑවේය. ඊළඟ මොහොතේ ප්‍රශ්නකරුවාගේ සීමාව හදුනාගනිමින් සරල පිළිතුරක් දුන්නේය. මට හිනාව වාවාගත නොහැකි විය. මා මුලින් කියූ පරිදි පෞද්ගලික ආයතනයක සේවකයෙකුට එසේ කිරීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. එහෙත් මොවුන්ට වසරක් පාසා නිකුත් කරනු ලබන හැදුනුම්පතෙහි සදහන් වන්නේ ජනමාධ්‍යවේදියා කියාය. හාස්‍ය රසය අන් රසයන්ට වඩා හොදය. මොවුන් අඩුම තරමේ එවැනි රසයක් හෝ දෙන්නේය. ඒ නිසා පාර්ලිමේන්තු සභාවේ සම්පාදනය වෙන නීති වලට වඩා පාර්ලිමේන්තු කැන්ටිමේ රැස්වීමේ ඕපාදූප ඔවුන්ට වටින බව පෙනේ.

මම කාලයක් “යහපාලනය හා ජනමාධ්‍ය” හැදෑරීමට යුරෝපයට ගොස් සිටියෙමි. එවකට ජනමාධ්‍යවේදිනියකට හිමි හැදුනුම්පතක් සහිත රාජ්‍ය සේවිකාවක් ලෙස රාජ්‍ය මාධ්‍ය ආයතනයක කටයුතු කළෙමි. ඉතින් ඒ අත් දැකීම හරි අමුතුය. අපි කවදාවත් ක්‍රියාවේ නොයොදවන, එසේ කිරීමට අවශ්‍ය වූවත් එසේ කළ නොහැකි ජනමාධ්‍ය හා යහපාලන ප්‍රතිපත්ති ගැන මාස ගණනක් එකදිගට ඉගෙන ගත්තෙමි. එකී ප්‍රතිපත්ති එම රටවල ප්‍රායෝගිකව යොදාගෙන ඇති හැටි දැක්කෙමි. මගේ හැදුනුම්පතේ සටහන් වූ ජනමාධ්‍යවේදියා යන නාමය ගැන දෙවරක් හිතන්නට මම පෙළඹුනේ ඒ අධ්‍යනයෙන් පසුවය. මම හොදින් හෝ නරකින් ශිල්ප දැක්වීමට සිතාගත්තෙමි. ගතවූයේ මාස කිහිපයකි. මට වෙනත් රැකියාවක් සොයාගැනීමට සිදුවිය. ඉතින් මා එදා එසේ නොකර සිටියානම් හොඳයැයි අදත් මට හිතෙන වාර ඇත. ඒ නිසා මා කිසි දිනෙක, කිසිදු හේතුවක් මත මාධ්‍ය ආයතනවල සේවකයින්ට දොස් නගන්නේ නැත. මන්ද ඔවුන්ගේ දරු පවුල් රකින්නට මට බැරි නිසාය. ඉතින් ඔවුන් දිගටම ඇස් කන් වසාගෙන සිටියා වේ.

මාධ්‍යවේදීන්ගේ පෞර්ෂය​ ගැන මට දුක හිතුනේ මීට බොහෝ කලකට පෙරය. දවසක් ජනදාස පීරිස් හා නිවුටන් ගුණරත්න චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග සම්මුඛ සාකච්ඡාවක් කැඳවා තිබිණ. පොඩි මේසයක් වටේට පුටු තුනක් තබාගෙන පැවති මේ සාකච්ඡාව පසු කලෙක ස්වාධීන රූපවාහිනී පුස්තකාලයේ තිබී මට බලන්නට ලැබුනි. එම සාකච්ඡාව සිදුවන අතරවාරයේදී චන්ද්‍රිකාගේ ලේන්සුව වැරදීමකින් මේසය යටට වැටුනි. ඒ සමගම මාධ්‍යවේදීන් දෙදෙනාම එක විටම මේසය යටට නැමී ලේන්සුව අහුලා දීමට වෙහෙසුනි. චන්ද්‍රිකා නොසෙල්වී බලා සිටියාය. නමුත් එදා ලේන්සුව ගැනීමට මේසය යට රිංගූ නිවුටන් ගුණරත්න ස්වාධීන රූපවාහිනියේ සභාපතිව ඉන්නා විට එවකට විධායක ජනාධිපති සිටි චන්ද්‍රිකාට එරෙහිව මහින්ද රාජපක්ෂ ජානාධිපති පුටුවට තල්ලු කිරීමට විශාල මාධ්‍ය මෙහෙයුමක් ද කළේය. ඒක හරි වෙනස්ය.

මේ මොන තත්වයක් යටතේ වුවද ඉතා නිවැරදි මාධ්‍යකරණයක නියැලුනු, මාධ්‍යවේදීන් මේ රටේ සිට ඇත. ඒ මාධ්‍යකරණය නිසාම මැරුණු, මරපු, අතුරුදන් කළ බොහෝ ජනමාධ්‍යවේදීන් අපි දනිමු. අදත් ජනමාධ්‍ය හැදුනුම්පත් ඇති හෝ නැති සැබෑ මධ්‍යවේදීන් මේ රටේ සිටින බව අපි දනිමු. සිස්ටම් එකේ අවුල් ලිහාගන්නට කැමරාව, පෑන හසුරුවන, එහි අවධානම නොබියව සියතට ගන්න තරම් පෞරුෂයක් ඇති ජනමාධ්‍ය වේදීන් සිටින බව දනිමු. ඒ ගොඩක් අය සජිත්ගෙන් ගෙවල් ගන්න මාධ්‍යවේදී ලයිස්තුවේ නැති බවද හොඳාකාරවම දනිමු. ප්‍රධාන ප්‍රවාහයේ සියලුම මාධ්‍ය ආයතන සිය පෞද්ගලික අරමුණු පෙරදැරිව දියත් කරන දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් සියලු සම්පත් යොදවද්දී, වෙබ් අඩවි හරහා, ෆේස්බුක් හරහා සෑබෑ මාධ්‍ය මෙහෙවරක නියැලෙන ස්වාධීන මාධ්‍යවේදීන්ද සිටින බව දනිමු. ඒ ගැන අවංක සතුටක් ඇත.

අද මේ මොහොතේ මේ රටේ ඇති වී තිබෙන තත්වය ජනමාධ්‍ය සදාචාරය හා මූලධර්ම ගැන ඉතා හොද විචාරයක් ලබාගත හැකි අවස්ථාවකි. ජනාධිපතියවරයා අංගවිකල ආණ්ඩුවක් සිය පුද්ගලික සිතැගියාවට අනුව, කලුවර පිරුණු, වැසිබර රාත්‍රියක, අකුණු පිපිරුම් මධ්‍යයේ පිහිටවූ දින රාත්‍රියේම​ (ඇත්තටම එය රොමැන්ටික් හැඟීම් දනවයි) රාජ්‍ය මාධ්‍ය පිනුම් ගැසුවේය. කොහොමත් මහින්ද පිලට කඩේ යමින් සිටි පෞද්ගලික මාධ්‍ය එම භාවිතාව සියයට සියයකින් වැඩි කලේය. ග්‍රාහකයින්ගේ අවාසනාවට හා මාධ්‍ය මුදලාලිලාගේ වාසනාවට අපේ රටේ මාධ්‍යට නීති රෙගුලාසි නැත. යන්තම් හරි නීතියක් රෙගුලාසියක් තිබෙන්නේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරණු ලැබූ පසු මාස දෙක තුනකට පමණි. ඒ නිසා සියලු මාධ්‍ය ආයතන රිසිසේ කඩේ යති. බඩු ගනිති. කති. බොති. සැනසෙති, නිදියති. යන්තං හරි අවධියෙන් ඉන්න මිනිසුන්ට හොඳ වෙලාවට සාමාජ මාධ්‍ය ඇත. ඒවාගේ තමාට අවශ්‍ය එළවලු වාවාගෙන, උයාගෙන පිහාගෙන හෝ කැමට ඉඩ ඇත. එබැවින් මාර්කට් වල රසකාරක යෙදූ කෑම කා අජීරන හදාගන්නට ග්‍රාහකයාට උවමනාවක් නැත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.