20 April, 2024

Blog

රාජපක්ෂවරුන්ගේ පළි ගැනීම

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

රාජපක්ෂවරු උපතින්ම ගැමියෝය. ඔවුන් ඈත ගිරවාපත්තුවේ වසර සිය ගණනක් පුරා වාසය කරයි. ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ජීවත් වුවද කොළම ගල්කිස්සේ ජීවත් වුවද, කොල්ලුපිටියේ අරලියගහ මන්දිරයේ වාසය කලද රාජපක්ෂවරුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමියෝ වෙති. එමෙන්ම ඔවුන් ශ්‍රී ලංකාව තුළ නියෝජනය කරන්නේද ග්‍රාම්‍ය ඡන්ද පදනමයි. නැතහොත් මහින්ද රාජපක්ෂගේම වචන වලින් කියන්නේ නම් බයි ප්‍රජාව නොහොත් බයියන්ය. එය 2014 කුප්‍රකට අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු “කොහොමද බයියන්ගේ වැඩ” යැයි කියා එවකට විපක්ෂයේ සිටි රෝසි සේනානායකට අත දික්කර ඇසුවේය. ඉන්පසු උඩ රැවුල අතගා තේජස් ගමන් විලාසයකින් රෝසි සේනානායක දෙස ඇස් කොනින් බලමින් සභා ගැබෙන් පිටත්ව ගියේය. ඒ ගැමිකම තම තේමාව කරගත් මහින්ද රාජපක්ෂය.

රාජපක්ෂවරුගේ ගති ලක්ෂණ තුළ හොද නරක දෙකම තිබේ. ඒ ඔවුන්ට ඈත ගිරවා පත්තුවෙන් සමාජ අනුයෝජනයෙන් පැමිණි ගති ලක්ෂණ මෙන්ම ජාන වලින් පැමිණි ගති ලක්ෂණද වේ. මහින්ද රාජපක්ෂ හා රාජපක්ෂවරුන්ගේත්, එම පිළේත් දේශපාලනය තේරුම් ගැනීමට නම් රාජපක්ෂවරුන්ගේ පදනම වූ ගම සහ ගැමියා තේරුම්ගත යුතුය. ගම ලස්සනය. කොළ පාටය. වැව්, ඇළ දොළ, ගංගා, කුඹුරු මගින් එය අමුතු චමත්කාරයක් ඇසට ගෙන දෙයි. ඒ ගම මතුපිටින් බලන්නෙකුටය. නැතහොත් උඩින් බලන්නෙකුටය. නමුත් ඇත්ත ගම මීට වඩා බොහෝ සංකීර්ණ මෙන්ම අවලස්සන වේ. එම ගම සැබෑ ලෙසම දැක ගැනීමට නම් ගම තුළට යා යුතුය. ගමේ වෙසෙන මිනිසුන් හමු විය යුතුය. එවිට අපට දරිද්‍රතාවයෙන්, කුස ගින්නෙන්, ලෙඩ රෝගවලින් හා අමන කම් වලින් පිරුණු මිනිසුන් හමුවේ. එසේම දුප්පත් කමින්, අවිධිමත්කමින් සකස් වූ නිවාසද, හිතාමතාම අසල්වැසියාගේ වතුර බොන ළිද ආසන්නයේ ඉදිකරන ලද වැසිකිළිද දැක ගත හැකිය. පිටින් පෙනෙන සුන්දර ගම අභ්‍යන්තරයේ දුක්ඛ දෝමනස්නයන්ගෙන් පිරුණු ඛේදවාචකයකි. අද ලංකාවේ දේශපාලනයත් සමාජයත් මුහුණ දෙමින් සිටින්නේ එම ඛේදවාචකය මැද තම ජීවිතය ජයගත් දේශපාලනඥයින් කීප දෙනෙකු විසින් කරනු ලබන බල අරගලයකටය. ඔවුන් අද කටයුතු කරනුයේ ගම තුළ ගැමියෝ කටයුතු කරනා අරාජික ආකල්පයෙන් යුතුවය. 

එනම් ගැමියෝ ගමේ කිසිවක් ස්ථිරසාරව, ශක්තිමත්ව තිබෙනවාට විරුද්ධය. මන්දයත් කිසිවෙක් ගම තුළ ශක්තිමත් වන්නේ නම් එය අනෙකාගේ ආරක්ෂාවට තර්ජනයකි. එම නිසා ගම තුළ සියල්ල අනාරක්ෂිතව, අස්ථාවරව පවත්වා ගැනීමට ගැමියෝ පරිස්සම් වෙති. කවුරුන් හෝ එයට අභියෝග කරමින් ශක්තිමත් වන්නේ නම් පළිගැනීමේ ක්‍රියාවලියක් පටන් ගැනීමට ගැමියෝ කිසිදු පැකිලීමක් නොදක්වති. 

ගැමියෝ පළිගැනීමට රුසියෝය. එය ඉතාම කුඩා පැලඉන්නේ, පොල් ගෙඩියේ සිට මගුල් තුලා දක්වා පරාසයක විහිදේ. පළිගැනීම දෙවෙනි වන්නේ ලාංකික ගැමියන්ගේ ආගමටය. මේ මොහොතේ ශ්‍රී ලාංකික දේශපාලනය මුහුණ දෙමින් සිටින්නේ රාජපක්ෂවරුන්ගේ පළිගැනීමේ ක්‍රියාවලියටය. 2015 ජනවාරි අට වෙනිදා එක්සත් ජාතික පක්ෂය, සිවිල් බලවේග හා මෛත්‍රීපාල සිරිසේන පරාජය කරන ලද්දේ වසර 70 ක් මේ රට අඛණ්ඩව පාලනය කිරීමට පිඹුරු පත් සාදා, නීති රීති සම්මත කොට රටේ පරිපාලනය අතැඹුලක් සේ තම දෑතට ගෙන සිටි රාජපක්ෂවරුන්ය. ඉන් පසු පසුගිය වසර තුන හමාර තුළ රාජපක්ෂවරුන්ට මුහුණදීමට සිදුවූ දුක්ඛ දෝමනස්නයන්, මදි පුංචිකම්, නොසලකා හැරීම් හා අවාසි වලට පළිගැනීමේ චේතනාවක් ඔවුන් තුළ නොමැති යැයි කවුරුන් හෝ කියන්නේ නම් එය පට්ට මුසාවකි. 

රාජපක්ෂවරුන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් පළි ගනිමින් සිටිති. ඒ මේ ලෝකයේ ඇති සියලුම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වලට පිටුපාමිනි. රාජපක්ෂවරුන් ආර්ථිකයෙන් පළි ගනිමින් සිටිති. ඒ ආර්ථිකය කාබාසිනියා කොට නැත්තට නැතිකිරීමෙනි. එසේම ඔවුන් ජාත්‍යන්තරයෙන් පළි ගනිමින් සිටිති. ඒ ජාත්‍යන්තර මතය අලුයම ලූ කෙල පිඩක් මෙන් නොසලකා හරිමිනි. එසේම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑලි කෑලි වලට කඩා කාබාසිනියා කොට පළි ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරමින් තිබේ. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය මහා පාරට ඇද දමා සුව පහසු රාජ්‍ය පාලනයෙන් අව්ව, වැස්ස, දුක් දෝමනස්නයන් ඇති මහා පාරේ දේශපාලනය තුළට තල්ලු කිරීමෙන් එම පක්ෂයෙන්ද පළි ගත්තේය. 

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ගේ පළිගැනීම කුඨප්‍රාප්තිය සිදුවන්නේ දෙසැම්බර් මාසයේ හත් වෙනිදා හෝ ඊට පසු දිනක ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබීමෙන් පසුවය. එහිදී ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නීත්‍යානූකූල ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගතහොත් රාජපක්ෂවරු මුලු රටම සමග පාර්ලිමේන්තු මැතිවරණයකට යනු ඇත. එහිදී සිරිසේන ජනාධිපතිවරයාට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එහි නායකයින්ට එකදු පාර්ලිමේන්තු ආසනයක් හෝ දිනා ගැනීමට ඉඩ නොතිබීමට ඔවුන් කටයුතු කරනු ඇත. එසේම මැතිවරණයෙන් පසු සිරිසේන ජනාධිපතිවරයාට එරෙහි පළිගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ඇත්තේ සිරිසේන ජනාධිපතිවරයා පාරට ඇද දැමීමේ අභිලාෂය මුදුන්පත් කර ගැනීමටය. අනික් අතින් ශේෂ්ඨාධිකරණය සිරිසේන ජනාධිපතිවරයාගේ ගැසට් පත්‍රය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධී යැයි තීරණය කලහොත් අනිවාර්යයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව චේතනාන්විතව කටයුතු කලා යැයි චෝදනාවෙන් ගැලවීමට සිරිසේන ජනාධිපතිවරයාට නොහැකි වන අතර ඔහුට එරෙහිව හැකි ඉක්මනින් ජනතා විමුක්ති පෙරමුණ විසින් දොශාභියෝගයක් ගෙන එනු ඇත. එහිදී රාජපක්ෂවරුන්ට අවුරුදු හතරක් තිස්සේ පුලපුලා බලාසිටි පළිගැනීම සදහා වූ ස්වර්ණමය අවස්ථාව උදා වේ. අවසාන වශයෙන් කිව යුත්තේ පළිගැනීම කලාවක් නම් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරු එහි පිකාසෝලා බවයි. 

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    3

    A very logical argument. no one can deny,Rajapaksa;s are truly revengeful persons. It’ a exsoteric fact

  • 3
    1

    මේක නම් ලියන්න දෙයක් නැති කමට ලියපු දෙයක්. නගරේ මිනිස්සුන්ට නැති මනුස්සකම් ගමේ මිනිස්සුන්ට තියෙනව. නගරේ මිනිස්සු show එකට වැඩ කලාට ගමේ මිනිස්සු එහෙම නැහැ. එක පවුලක් දෙකක් එහෙම ඔය කියපු දේවල් කරන්න ඉඩ තියෙනවා. නමුත් ඒ මිනිස්සු සමහර විට ඒ ගමට පිටින් ඇවිල්ල පදිංචි වෙච්ච මිනිස්සු වෙන්න පුළුවන්. ගමේම හැදුනු වැදුණු මිනිස්සු ඔය වගේ දේවල් කරන්නේ නැහැ.
    තුෂාර යලි ඉපදිලා වගේනේ කතාව. ඇයි මතක නැත්ද පහුගිය අවුරුදු 4 රනිල් සහ මෛත්‍රී විරුද්ධ දේශපාලකයන්ගෙන් පළිගත්ත හැටි? ඒගොල්ලෝ හිතන්න ඇති හැමදාම ඉන්න. මෛත්‍රී සහ ඒ පැත්තේ හිටපු ශ්‍රී ලංකා කාරයෝ කිසි කෙනෙක්ට ආපහු පාර්ලිමේන්තු එන්න දෙන්න හොඳ නැහැ කියලා මමත් කියනව. කිසි දවසක සමාවක් දෙන්න හොඳ නැහැ. හරියට බැලුවොත්, මහින්දට නොතේරුනාට, මිනිස්සු රනිල් එක්කට වඩා තරහ මෛත්‍රී එක්ක.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.