24 April, 2024

Blog

හිටලර් තුළින් සිරිසේන කියවීම

පුණ්‍යා සමරකෝන්

පුණ්‍යා සමරකෝන්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති සිරිසේන ගත් තීන්දුව නීති විරෝධී බව පවසමින් උපරිමාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත්කළේය. සත් පුද්ගල විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයාගේ විධායක බලතල ව්‍යවස්ථාවෙන් සීමා කර ඇති අයුරු එකින් එක පැහැදිළි කළහ. ජනාධිපතිවරයාගේ හිතුවක්කාර හැසිරීමට හා පෞද්ගලික කෝන්තර වලට ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් දීම සඳහා පාවිච්චි කළ ජනතා පරමාධිපත්‍යය යන වචනය ව්‍යවස්ථාවේ අර්ථකථනය කර ඇති අයුරු පෙන්වා දුන් විනිසුරු මඩුල්ල එම ජනතා පරමාධිපත්‍ය ජනාධිපතිවරයාට කිසිසේත් හෑල්ලුවට ලක් කිරීමට නොහැකි බව අවධාරණය කර තිබුණි. 

දැන්වත් රටේ ව්‍යවස්ථාවට තම ධූරයට  වඩා වැඩි බලයක් ඇති බව ජනාධිපතිවරයා තේරුම් ගෙන ඇතැයි විශ්වාස කරමු. රනිල් යටකරගෙන යාමට මහින්ද අගමැති කළ මෛත්‍රී එයින් කෙතරම් අභිමානයට පත් වූවාද යන්න කියතොත් රනිල් පමණක් නොවේ දැන් මහින්ද සමඟ ව්‍යවස්ථාව ද පෙරළා ගෙන යා හැකි බව සිතුවේය. ඔහුගේ චක් ගෝලයන් (ඇතැම් අය මෙම චක් ගෝලයින් හැඳින්වීමට යොදාගත්තේ පර්සිගේ දඩ බල්ලන් යන යෙදුමයි) පාර්ලිමේන්තුවේදී ව්‍යවස්ථාවෙන් බෝල ගැසුවේ සිය නායකයාගේ මග යමිණි. සිරිසේන ජනාධිපතිවරයා පමණක් නොවේ, මහින්ද ඉන්නවානම් කිසිවක් අවශ්‍ය නැති බව හිතන මිනිසුන් කොටසක්ද මේ රටේ වෙසෙති. එළඹෙන​ මැතිවර්ණයේදී අගමැති පුටුවට මහින්ද වැඩමකරවීමට පාර කාපට් කරමින් සිටියදී සැප්තැම්බර් 26 වෙනිදා  රාත්‍රීයේ මහින්ද කැලේ කඩාගෙන දිවුවේය. එසේ දුවද්දී පවා මේ පිරිස කිරිබත් කෑහ, හුරේ දැමූහ, රටකට මහින්ද විනා ව්‍යවස්ථාවක් අදාලම නෑ කියා සිතූහ. මහින්ද යන නාමයට තමාගේම ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස නීතිය හා ස්වාධීනත්වය පූජා කරන්නට ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ කල්ලිය සූදානම

ප්‍රංශයේ ජනතා පාලනයක් ඇතිකිරීමට දාර්ශනිකව දායක වූ රූසෝ එවැනි මිනිසුන් ගැන දැක්වූයේ මෙවැනි අදහසකි: “If u say you do not want to be free, there must be a radical wrong. Man has to be forced to be free because, if he say he does not want to be free it is against to real human nature” එයින් ඔහු අදහස් කළේ යමෙක් සිය නිදහස ප්‍රතික්ෂේප කරන්නේනම් එහි කිසියම් බරපතල වරදක් ඇති බවයි. නිදහස ප්‍රතික්ෂේප කිරීම ස්වභාවික හා මානව නීතියට පටහැනි වන අතර එවැනි පුද්ගලයින්ට නිදහස ලබාගැනීම උදෙසා බලකළ යුතු බව රූසෝ අවධාරනය කලේය.  

ජනරජයක පාලකයින් පත් කරන්නේ ජනතා ඡන්දයෙනි. මෙයින් සරලව අදහස් කරන්නේ ජනතාව තමන් විසින්ම තමන් පාලනය කරවාගන්නා බවයි. එබැවින් කලින් කලට පවත්වන මැතිවරණ මගින් සියළු පාර්ලිමේන්තු සභිකයින් හා ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ අවස්ථාව ජනතාවට හිමිව ඇති අතර එමගින් ඔවුන්ගේ පරමාධිපත්‍ය බලය තහවුරු වේ. මෙවැනි ආකෘතියක දී පාර්ලිමේන්තු සභිකයෙකුගෙන් නියෝජනය වන්නේ එකී සභිකයා තෝරා පත්කරගත් ජනතාවයි. එබැවින් ඔහු පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කර ගැනීමට දායක වෙද්දී ඔහු නියෝජනය කරන ජනයාද ඒ සඳහා දායක වන බවද, ඔහු පාර්ලිමේන්තු සභාව වර්ජනය කරමින් පාර්ලිමේන්තු කැන්ටිමේ කාලය කා දමන්නේනම් එහිදී ඔහු නියෝජනය කරනු ලබන ජනතාව රස්තියාදු වන බව ද හැඟවේ. එනම් ජනතා නියෝජිතයා යනු හුදෙක්ම ජනතාව යන්නයි. 

අකාලේ මහ මැතිවරණයකට පාර කපාගැනීමට දැඟලූ ජනාධිපති පාර්ශවය ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාට ආණ්ඩුව කුමක්ද යන්න තීරණය කළ නොහැකි බවයි. එය තීරණය කිරීම සඳහා ජනතාව ඉදිරියට යා යුතු බව ඔවුන්ගේ අදහස විය. එහෙත් මේ ශ්‍රී ලංකා ජනරජයේ නිශ්චිත කාලයක් සඳහා තෝරා පත් කරගන්නා පාර්ලිමේන්තු නියෝජිතයින් 225 දෙනාගෙන් ජනතාව නියෝජනය වන බව ඔවුන් නොදන්නවා විය නොහැකියි. ඔවුන් සිතන්නේ එය අසා සිටින සාමාන්‍ය ජනතාව එය නොදන්නා බවයි. 

එහෙත් මෙවැනි දෑ කියන සියලු දෙනා දැනගත යුතු තවත් කරුණක් තිබේ. එනම්, පසු ගිය මාස දෙක තුළ ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ඉතා විශාල වශයෙන් අලෙවි වී ඇති බවයි. මේ වන විට පාර්ලිමේන්තු ලේඛනාගාරයේ ව්‍යවස්ථාවේ හා ස්ථාවර නියෝගවල පිටපත් සියල්ල අවසන් වී ඇති බවත් වහා ඒවා යළි මුද්‍රණයට සූදානම් වන බවත් ඔවුන් දැනගත යුතුය. ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැන ජනතාව තුළ මෙතරම් අවධියක් ඇති වී ඇති අවස්ථාවක තවදුරටත් ඒවාට අමුතු ජාතියේ අර්ථකතන දෙමින් විහිලු කාරයන් නොවීමට සියලු දෙනා වගබලාගත යුතුය. 

අනෙක් අතින් ව්‍යවස්ථාව කියවීමට ජනතාව මෙලෙස පෙළඹීම රටක් ලෙස අප ලැබූ විශාල ජයග්‍රහණයකි. 90% ඉක්මවූ සාක්ෂරතාවයක් සහිත ශ්‍රී ලංකාව අද වන විට ව්‍යවස්ථාව පිළිබඳ අවබෝධය අතින්ද අඩුම තරමේ සීයට අසූවක් වත් ඉක්මවා ඇත. එම තත්වය මත දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී දූරදර්ශී වීමට ඡන්ද දායකයාට හැකි වේ. දේශපාලන අදූරදර්ශය රටකට කිසිදු ආකාරයෙන් යහපතක් වන්නේ නැත. ඡන්ද දායකයා දත යුතු තවත් කරුණක් වන්නේ පාලකයාට පුරවැසියාගේ පෞද්ගලික නිදහසට හෝ මූලික අයිතීන්ට අනවශ්‍ය ලෙස මැදිහත් වීමට කිසිදු බලයක් නොමැති බවයි. රටේ මානව නීතියට හා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීමට පාලකයා සෑම විටම බැඳී සිටින බවයි. 

ප්‍රජාතන්ත්‍රවාදයේ දී අප සලකන තවත් කරුණක් වේ. එනම් සෑම විටම සිය පාලකයා පිළිබඳ අන්ද විශ්වාසයක් ඇති කර නොගැනීමයි. මෙයින් කිසිවිටෙක විශ්වාසවන්ත පුද්ගලයෙකු සිය පාලකයා ලෙස පත්කර ගැනීම නොකළ යුතුය යන්න අදහස් නොවේ. මින් අදහස් වන්නේ පාලකයා පිළිබඳව අන්ද විශ්වාසය තබා ගැනීමෙන් පුරවැසියා සිය නිදහස හා මූලික අයිතීන් තමන් විසින්ම අහිමිකරගැනීමේ අවධානමක් පවතින බවයි. “Democracy is always destructing the ruler” යන ප්‍රසිද්ධ කියමනෙහි අර්ථය එයයි. මහින්ද හා ඔහු වටා ගොනුවන පිරිස මෙම කියමනෙහි වැදගත්කම පෙන්වන හොඳම උදාහරණයකි. මහින්ද පිළිබඳව වන අන්ද විශ්වාසය මත ඔහුගේ අනුගාමිකයින් ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස එපා කියමින් සිටී.

ලෝකය බොහෝ යහපත් එළබුම් කරා යොමුවූයේ අයහපත් අත්දැකීම් මතිනි. එලෙස වඩා සුභවාදී දිශානතීන්ට ලෝකය ගමන් කිරීමට හේතු වූ නොහික්මුනු පාලකයන්ද විය. මානව හිමිකම් පිළිබඳ විශ්වීය අවධියක් ඇතිකළේ ඇඩොල්ෆ් හිට්ලර්ය. හිට්ලර්ගේ සමූල ඝාතන වලින් පසු මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ වැදගත් කම පිළිබඳව ගෝලීය මට්ටමේ කථිකාවක් ඇතිවිය. සිරිසේන ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය හේතුවෙන් අපේ රටේ මිනිසුන් ව්‍යවස්ථාව පමණක් නොව, නීතිය, නීතියේ ආධිපත්‍යය, ස්වාධීනත්වය, මූලික අයිතිය යනාදී සෑම කරුණක් ගැනම අවබෝධයක් ලබාගත්තේය. එය යහපත් තත්වයකි.

පාලකයාට නීති සැදිය හැකිය. එහෙත් එම නීති යුක්ති සහගත විය යුතුය. හිට්ලර් නීති හැදුවේ සිය දේශපාලන අභිමතාර්ථ මුදුන් පමුණුවාගැනීමේ අරමුණු ඇතිවය. නමුත් මානව ධර්මයට එරෙහිව ස්වභාවික නීතියට එරෙහිව නීති සැකසීමට නොහැකි බව හිට්ලර් දැනසිටියේය එහෙත් නොසලකා හැරියේය. සිරිසේන ජනාධිපතිවරයාද එලෙසම සිදුකළේය. රටේ උත්තරීතර නීතිය නොසලකා කටයුතු කළ නොහැකි බව සිරිසේන දැන සිටියේය. එහෙත් එය නොසලකා හැරියේය. 

යුරෝපය හිට්ලර්ගේ මෙම තකතීරු ක්‍රියාකලාපය හැඳින්වූයේ displaced aggression ලෙසයි.  සිරිසේන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය හැඳින්වීමටද ඒ යෙදුම සියයට සියයක්ම ගැලපෙන්නේය. වරෙක ප්‍රතිවාදීන් හිටලර් වෙත පණිඩිඩයක් යවමින් ඔහුගේ මානය බිඳ හෙලීය. එම පණිවිඩය මෙසේය, Hitler, you are not big enough to control Europe, though you big enough to remain in Europe. 

දැන් සිරිසේන ජනාධිපතිවරයා අමතා ලංකා වාසීන් කියන්නේද​ එයමය.

සිරිසේන මහතාණෙනි ලංකාවේ ජීවත්වීම සඳහා ඔබ සුදුස්සකු වියහැකිය. එහෙත් ශ්‍රී ලංකාව පාලනය කිරීම සඳහා ඔබට කිසිඳු සුදුසු කමක් නැත.

Print Friendly, PDF & Email

Latest comment

  • 2
    0

    Very interesting read….and funny too.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.